Sunday, July 14, 2013

දහනමවෙනි කොටස : බස්සා කැම්පස් යයි.



මතකයි නේද අර බස්සලාගෙ බැච් එකේ අයට විතරක් කැම්පස් එන්න ආරාධනා කරලා (අසරණ අපිව අමතක කරලා.) ඇඩ්මින් එකෙන් යවලා තිවුන රාජකීය ලියුම. ඒකෙ කැම්පස් එන්න කියලා ආරාධනා කරලා තිවුන දවසට කලින් දවසෙ අපේ බස්සා හොස්ටල් එක වෙත සැපත් වෙන්න බලාපොරොත්තු වෙන බව බස්සිට දැන්නුවා.

ඔන්න ඉතින් බදාදා දවසෙ ටවුන් එකේ රවුමක් ගහලා, අලුත් සපත්තු කුට්ටමකුත් අරගෙන, දිගට වැවිලා තිබුන ලස්සන කොන්ඩෙත් මෝඩයා වගේ බෙල්ල ගාවට එනකම් කපාගෙන (එච්චරක් කපලා හරි නැවැත්තුවෙ බස්සිගෙ කටේ බලේට තමයි ඕන්.) බස්සා පහුවදා ගමනට සූදානම් උනාලු.

බස්සලාගෙ ගෙදර ඉඳන් කොළඹ එන්න පැය පහමාරක් විතර යනවා. කොළඹ ඉඳන් කැම්පස් එක බලා පියාඹන්න තවත් පැය බාගයක්වත් යනවානෙ. ඒ ඉතින් එකසිය තිස් අටේ බස් දෙකක් රේස් එකක් යන්න සෙට් වුනොත් තමයි. කොහොමින් කොහොම හරි සම්පූර්ණ ගමනටම පැය හයකට වඩා ගත වෙනවා.

මේ නිසා බස්සා ඒ දීර්ඝ ගමන ආරම්භ කරන්න ගෙදරින් පිටත් වෙන්නෙ උදේ දහයට විතර.

ඒ දවස්වල අධිවේගී මාර්ග තිබුනෙ නැති නිසා බස් එක නිකම්වේගී මාර්ගයේ අධිවේගයෙන් යනකොට බස්සට නින්දත් ගියා. තොරණ හන්දියට ගොඩබාද්දි හවස තුනයි. උදේ දහයෙ ඉඳන් හවස තුන වෙනකම් ඉරට හැතැප්මක් දුරින් ඉඳගෙන බස් එකක නොකඩවා ගමනේ යෙදුනාම අප්පා! කොහොමද සැප!!

තොරණ හොස්ටල් එකට අර අලී බෑග් මල්ලත් කරේ එල්ලගෙන ගොඩබහිනකොට ගේට්ටුවෙන් බස්සව ඇතුලට ගන්න බැහැයි කියපි. ඒ මක්කෙයි ඒ අවනඩුව කියල ඇහැව්වම කීවලු ගේට්ටු අරින්නෙ හවස පහමාරෙන් පස්සෙයි කියලා.

අනේ ඉතින් බස්සා ආයෙමත් 138ක නැගලා ෆ්‍රැන්සිස් ලේන් එකේ පරණ බෝඩිමට සැපත් වෙනවා. ගිහින් බලද්දි, බස්සගෙ රූමො (රූම් මේට්ලා) දෙන්නත් ලෑන්ඩ් කරලා තියෙන්නෙ එතනට. තවත් කුරුල්ලො හත් අට දෙනෙක්ම ඒවෙලාවෙ බෝඩිමට ලෑන්ඩ් කරලා තිබුනෙ සෙකියුරිටි කාරයාගේ ක්‍රියාවට අති ශුද්ධ සින්හලෙන් ප්‍රශoසා කරමින්.

කොහොමින් කොහොම හරි බස්සා එදා දවල්ට බයි කනකොට හවස පහත් පහුවෙලා. ඔළුව රිදෙනවා කියකියා වුනත් බස්සා එදා රෑ හොස්ටල් එකට ඇවිත් බස්සි වෙනුවෙන් නිකුත් කරපු දවසේ වාර්තාව තමයි මේ.

1 comment: