නිර්මලා කෑලි හතරෙන් මහතට ගොතාපු කොණ්ඩ කරල් දෙක බෙල්ල පිටිපස්සට දාල හැඩ බැලුවා. ආයෙමත් අත් දෙක කරකවලා කෙහෙ කැරලි අවුල් නොවෙන්න සීරුවට කොණ්ඩා කරල් දෙක අරන් පපුව උඩින් පහළට වැටෙන විදියට දමාගෙන පැත්තට හැරිලා බැලුවා. නළලට වැටෙන අකීකරු කෙහෙමුදුවක් කීකරු කරපු කොණ්ඩ කටුව හෙමින් ඇදලා ගලවලා දැම්මේ කුඩා කෙහෙමුදුවක් දෙකක් හුළඟේ යනකොට ලස්සන බව ඇයට ඇහිලා තිබුන නිසා. ආයෙමත් ඈ දකුණු කොණ්ඩා කරල මද ගැස්සීමක් සහිතව පිට මැදට තල්ලු කලේ ගණන් අච්චු පොතේ තිවුනු අසමමිතික රූප, සමමිතික රූපවලට වඩා ලස්සන බව හදිසියේම මතක් වුන නිසයි.
“තේ බොන්න වරෙල්ලා ළමයිනේ…!” මද විඩාපත් ගතියක් තිබුනත් අම්මගෙ කටහඬේ ආදරේ උතුරනවා. මල්ලි කලබලේට කුස්සියට දුවගෙන ගියේ සාලෙ තිවුන ප්ලාස්ටික් පුටු දෙකේම හැප්පීගෙන. මැටි කහ පාට පුටු හතර ගෙදර ගෙනාපු දවසෙම තාත්තා මහ උජාරුවෙන් එයින් එකක් නිර්මලාගෙ කාමරෙනුත්, අනික මල්ලිගෙ කාමරෙනුත් ගෙනිහින් තිබ්බෙ “ඔන්න දැන් මයෙ කෙල්ල අඹ ලෑලි බංකුවෙ ඉඳන් පාඩම් කරපු කාලෙ අහවරයි.” කියමින්.
“අනේ මන්දන්නෙ නෑ මේ කොලුවට තියෙන හදිස්සිය. තාත්ත නැහිල නැහිලා ගෙනත් දෙන බඩු මූට්ටු ටික පෙරළලා කඩාදාපං පුලුවන්නම්.” අම්ම කිව්වේ බොරු තරහවක් මවාගෙන. සුදු ගවොමේ රැළි ටික නොඉහිරෙන්න අත් දෙකෙන්ම තද කරලා ඉනේ හිට පහළට දෙවරක් පිරිමැදගත්තු නිර්මලා කුස්සියෙ දොරෙන් ඇතුළු උනේ පැත්තට හැරිලා. සමහරවිට බිත්තිවල තියෙන දැලි පාට සුදු ගවුමේ ගෑවෙන්න පුලුවනි.
මේසෙ උඩ බෙලෙක් කෝප්ප දෙකක තේ කහට පුරවල තිබුන. ඊට ටිකක් එහායින් නිර්මලාට ගිය අවුරුද්දෙ සාහිත්‍ය උත්සවේදි තෑගි ලැබුනු නිල් පාට පෝසිලේන් මග් එක. මග් එක සීරුවට අතට ගන්නකොටම මල්ලි ඇවිත් දඩස් ගාල හිස් බෙලෙක් කෝප්පෙ මේසෙ උඩට අතෑරලා පිටි අල්ලෙන් කිරි රැවුල පිහදාල හිනා වුනා.
“දාංගලේ විතරක්! තව පොඩ්ඩෙන් සුදුගවුමෙත්තෙක්ක කිරි ඉහෙනව.” නිර්මලා මූණ හපුටු කරගෙන මල්ලිට එරෙව්වා.
*************
“ආන්න බස්සෙක එනව. පරෙස්සමින් ගෙහින් එන්න මයෙ අම්ම.” සිරිදාස නිර්මලාගෙ හිස අතගාලා පිටට තට්ටුවක් දැම්මා. ප්‍රති ආචාරයක් නොලැබෙන බව දැන දැනම බස් එකට අත වැනුවා. ළමයි දෙන්නට හොඳින් උගන්නලා තැනකට ගන්න හීනෙ සිරිදාසගේ පපුව පුරාම මුල් ඇදලා තිබුන. නිර්මලා ඒ හයක් එක්ක සාමාන්‍ය පෙල පාස් වෙච්ච එකෙන් ඒ හීනෙ මල් පොකුරක්ම පිපුන නිසා සිරිදාස උන්නේ බොහොම ආඩම්බරෙන්.
“උඹත් අක්ක වගේ විබහගෙ පාස් උනොත් ටවුමෙ ඉස්කෝලෙට ගිහුන් ලොකු මහත්තේක් උනෑකි. අපේ කොම්පැණියට අලුතෙන් ලොකු මහත්තයෙක් ආව පොඩි එකෝ, හිනාවෙනකොට උඹේ මූණ වගේම කම්බුල් පිම්බෙනව.” පොඩි පුතාගේ කුඩා අත්ල වැරෙන් අල්ලාගෙන, ඉස්කෝලෙ පාරට හැරෙන අතරෙ සිරිදාස කියවන්නට උනා.
ළමයි දෙන්නව ඉස්කෝලවලට ඇරලවලා ආපහු දුවන ගමනින් බස්ටෑන්ඩ් එකට එනකොට සිරිදාසට කොළඹ බස් එකේ එල්ලෙන්න වෙලාව හරි.
*************
“අනේයිය! මටනං බෑ.” නිර්මලා කට උල් කරගත්තා.
කසුන් නළල රැළි කලා. යටැසින් බලාගෙන ඉන්නකොට ඒ මූණ මහ නපුරු පාටයි. නිර්මලා බිම බලාගෙන උල් සපත්තුවෙන් පොළව හාරන්න වුනා. සිහින් පස් කැටිතිවලින් සුදු සපත්තුවල දුඹුරු පැහැ කුඩා පැල්ලමක් දෙකක් තැවරුනා.
“මොනාද හලෝ, මම දැන් සතියක් තිස්සෙ චාටර් වෙනවා. අනික, ඔයාමනෙ එදා කීවෙ මේ ටවුම එපා වෙලා කියල.”
“හරි ඉතින් මම කියල ආවෙ අද හවස ඉකෝන් පංති කියල.” නිර්මලා සපත්තු දෙකත් එක්ක හීනියට හිනා වෙමින් යටැසින් බැලුවා.
“මොට්ට මෝඩි. ආව මෙතන මට බොරු කියන්න.” කසුන් නිර්මලාගෙ කන්පෙත්ත මිරිකන්න අඩියක් ඉස්සරහට පනිනකොටමයි උදේ පන්සිල් ගන්න රැස්වීමට බෙල් එක වැදුනෙ.
*************
“තමුසෙ අද සෑහෙන්න පරක්කුයි නෙව සිරිදාස.” කලමනාකාර තැන මූණ අකුලගත්ත. “අපේ කට්ටියව යවලත් ඉවරයි.”
සිරිදාස බෙල්ල වම් පැත්තට ඇල කරලා බයාදු ඇස් දෙක බිමට හරවගත්තා. වරක් දෙවරක් ඔලුව කැසුව. “බස් පරක්කුයි සර්” ඇහෙන නෑහෙන හඬින් කිව්වා.
“උදේට ටිකක් කලින් එනව අයිසේ, මොනවද තමුසෙට ඔච්චරටම තියෙන වැඩ රාජකාරි?”
“ළමයින්ව ඉස්කෝලෙට ඇරලන්. . . . .”
“අයිසේ උන්ට තනියම බස්වල ගමන පුරුදු කරනවා. ලමයි කියන ජාතිය මල්පෙති වගේ උස්මහත් කරන්න යන්න එපා ඕයි. මම තමුසෙට දවසකුත් කිව්ව මතකද? උන්ට පොඩ්ඩක් පොලවෙ පය ගහල ජීවත් වෙන්න ඉඩ අරිනවා.”
සිරිදාස මුකුත්ම නොකියා මේසෙ කෙලවටක තිබුනු ඇපල් හැඩැති වීදුරු බරණිය දිහා බලාගෙන උන්නා. ඒ ඇතුලෙ පුරවාපු ලා රෝස පාට දියරයක වෛවර්ණ සරුව පිත්තල කෑලි ඒ මේ අත පාවෙනවා.
‘මේ මිනිහගෙ ඉරිසියාව. එකත් එකටම පුතන්ඩියා විබහගෙ පේල් ඇති.’ සිරිදාස තනියම කල්පනා කලා.
“තමුසෙ පරක්කු නිසා මම රිසර්ච් ඉන්ස්ටිටියුට් එක සුද්ද කරන වැඩේට පියසේනව යැව්වා. අද ඉතින් තමුසෙට තමයි පියසේනගේ තැනට යන්න වෙන්නෙ.”
“අනේ සර් ඔපිස් වල මුකුත් වැඩ නැද්ද?”
“පිස්සුද අයිසේ, තමුසෙට සෙනග ඉන්න තැන්වලට යන්නත් බෑ. උදේ පාන්දරින් එන්නත් බෑ. තමුසෙ හිතුවෙ හැමෝම කියන කියන විදියට වැඩකරන්න දෙන්න මේක මොන්ටිසෝරියක් කියලද!”
“ගමේ කවුරුවත්, බැරිවෙලාවත්” සිරිදාස බෙල්ල පිටුපස කහමින් තාවර වුනා.
“යනව යනව ඕයි. තවත් මෙතන කාලෙ කන්නෙ නැතුව. තමුසෙට මම බුරුල දෙනව වැඩියි. හා, හා අදට යනවකො. හෙට උදෙන්ම එනව. හෙට ඉඳන් පරණ තැනටම යවන්නම්.”
*************
“මේ ෆිල්ම් එක ඇවිත් දැන් අවුරුදු තුනකටත් වැඩියිනෙ අනේ.” නිර්මලා තොඳොල් වෙවී ඇහුවා. “මට මතකයි මේක ගමේ හෝල් එකේ පෙන්නුව අපි නමයෙ පන්තියෙ ඉන්න කාලෙ.”
“ෆිල්ම් එක මොකක් උනාම මොකෝ. මම නම් ආවෙ ෆිල්ම් බලන්න නෙවි.” කසුන් නිර්මලාගේ නිකටින් අල්ලලා තමා දෙසට ඇදගනිමින් කිවුවා. නුහුරු සීතලක් දැනෙන්න උන නිසා ඈ තවත් තදින් කසුන්ගේ පපුවට තුරුලු උනා. කොල පාට ටයි පටිය පොත් බෑග් එක ගාව බිම වැටිල තිබුනා.
සුදු ගවුමේ බුරුලට අල්ලාපු බොත්තමක් ගැලවිලා බිම වැටෙන සද්දෙ නිර්මලාට ඇහුනෙ නෑ. තිරය මත එක එක ගෑනු මිනිස්සු නොතේරෙන භාෂාවකින් මොනවාදෝ කියනව කරනවා ඈට හීනෙන් වගේ වරින් වර ඇසී නෑසී ගියා විතරයි.
*************
“අපේ කෙල්ල මේ ලඟදි ගායනා තරඟෙකිනුත් පළවෙනියා උනා ඔන්න.” සිරිදාස ගොඩනැගිල්ලේ පිටුපසට වෙන්න ඇනතියාගෙන හතරවැනි වතාවටත් කියවනකොට අනුර වෙනසක් නොපෙන්වාම අහගෙන උන්නා.
“මෙතෙන්ට එන එවුන්ට සල්ලි වැඩිවෙලාද කොහෙද! දැක දැකම ඇස් කන් පියාගෙන ඇති අම්මල අප්පලත්.” සිරිදාස තමන්ටම කොඳුරගත්තා.
“යමන් සුද්ධයක් දාල එන්න. බැල් එක වැදුනා.” අනුර බිත්ති කණ්ඩිය උඩින් ටකස් ගාල බිමට පනින අතරේ සිරිදාස තුනටියට අත තියාගෙන හෙමින් කෙලින් වුනා.
*************
“එනවකෝ ඉක්මනට ටැග් ගැහෙන්නෙ නැතුව.” කසුන් නොයිවසිලිමත් ‘චක්’ හඬක් නැගුවා.
“පොඩ්ඩක් ඉන්න අනේ. හැම එකටම හදිස්සියනෙ ඉතින් මෙයාට. මෙහෙම යතෑකිද බස්සෙකේ?” නිර්මලා කොණ්ඩේ අවුල් හරිමින් ටයි පටිය ගැටගහගත්තා.
“දැන්වත් ඉවරද හැඩවෙලා.”
“හරි හරි යමු ඉතින්.” නිර්මලා කුඩා ලෑලි කුටියෙන් පිටත කොරිඩෝවට පය තිබ්බා.
කොස්සකුත්, කසල බඳුනත් අතින් ගත්තු සිරිදාස එතැන එහෙමම ගල් ගැහිලා බලාගෙන උන්නා. කසුන්ගේ පයේ හැපී ඉදිරියට විසිවුනු සුදු පැහැති බොත්තමක් සිරිදාසගේ දෙපා ලඟ නතර වී කැරකි කැරකී තිබුනා.
සිරිදාසට ජීවිතයේ විය හැකි අසභ්‍යම සිදුවීම අධ්‍යක්ෂවරයෙකුට සම්භාව්‍ය සිනමා නිර්මාණයටද අත්දැකීමක් වී ඒ සිනමාහලේදීම තිරගත වීමේ හැකියාවද තිබේ
ReplyDeleteසිරාවටම!
Deleteඑක හුස්මට කියෙව්වා ...... මේක ටිකක් බස්සි ස්ටයිල් එකෙන් එහාට ගිය ගතියක් දැනෙනවා ..... එත් ඒ වෙනසත් එක්ක කතාව දැනෙන්න තියෙනවා ......;. එල ..........
ReplyDeleteඔක්කොමත් හරි මොකද්ද බෝල මේ නම (සිංහලෙන් මදිවට ඉංග්‍රීසියෙනුත් දාලා )
විසදෘශ = Poisonous vision? Poisoned vision?
Deleteunparalleled වගේනම් හිතෙන්නෙ නෑ.
කවි විතරක් නෙමෙයි වගේ මට තේරෙන්නෙ නැත්තෙ. හොඳ වෙලාවට මේවගෙ block බැරි නේද? නැත්නම් මාව මෙලහකට block වෙලා. persona non grata ! ;-D
විසදෘශ= unparalleled, unequal, conflicting :) සම නොකලහැකි, සමාන නැති, අනුපමේය, අසම.. (ඔක්කොම ලඟින් ලඟින් යන වචන)
Deleteමැලේ :
Deleteඕක ඉංගිරිසියෙන් නොදැම්මනම් උඹලා මාත්තුරුකාවෙ තේරුම අහනවනෙ. මොකද විසදෘෂ කියන වචනෙට තේරුම් ගොඩක් තියෙනවා.
ප්‍රා :
Deleteබ්ලොගර් එකේ ෆලෝවර් කෙනෙක්නම්, බ්ලොක් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ෆලෝවර්ස්ලා නොවෙන අයව බ්ලොක් කරන හැටිනම් මම දල්ලෙ ලෑ.
යකූ උඹවනම් බ්ලොක් කරන්න නෙමෙයි හමගහන්න වටින්නෙ!
කලණේ :
Deleteතැන්කූ මචෝ. නැත්තම් මට ඔය වචන ලිස්ට් එක ටයිප් කොරන්නත් වෙනවනෙ.
මට මෙහෙම හිතෙනවා.ඔය කතාවේ මං කසුන් උනානම් මං මේ කතාවට ගොඩාක් කැමතියි.ඒත් සිරිදාසගේ කෝණයෙක් කියවද්දි මොකක්දෝ අමුතු දුකක්,අවුලක් දැනෙනවා.මං හිතන්නේ යථාර්තය ඒක...
ReplyDeleteමම කසුන් උනානම් මට මේ මොහොතේ නොවුනත් ඊට ටිකකට පස්සෙ ඉඳන් embarrassed ගතියක් දැනෙන්න ගනීවි. පස්සෙ ඒක කලකිරීමක් බවට වර්ධනය වේවි.
Deleteමේක නම් බස්සිට මදි...
ReplyDeleteඔව් මාමේ, කලබලේ ලිවුවෙ වැඩ ගොඩක හිරවෙලා ඉන්න ගමන්.
Deleteමේ මාමා කමෙන්ට් කල පලමු වතාව වෙන්න ඕනෙ? සාදරයෙන් පිලිගන්නවා බස්සිගෙ නවාතැනට!
බස්සිගෙ සාමාන්‍ය ලියන රටාවෙන් බැහැරව ලියපු නිර්මාණයක් කියලා මටත් දැනුනා. ලස්සනට ලියල තියෙනවා. ස්ටයිල් එක වෙනස් උනත් එක දිගටම කියෙව්වා. නියමයි.
ReplyDeleteජය වේවා!!!
හිහී! බ්ලොග එහෙන් මෙහෙන් පරණ එවුවා බැලුවොත් බසු ස්ටැයිල් එකේ වේරියේශන් අටෝරාසියක් බලාගන්න පුලුවනි මනා. ඔයාල ඔය "බස්සි ස්ටයිල්" කියන්නෙ ඒවයින් තමතමන් කැමති ස්ටයිල් එකට වෙන්න ඕන.
Deleteතැන්කූ ඈ...
සෝ කෝල්ඩ් බස්සි ස්ටයිල් නොවීම ගැන මුලින්ම මගේ ප්‍රණාමය.. කතාවටනම් තව ජවය කවන්න උඹට තිබුණා.. සෑහෙන්න හිතල හිතල දාපු මාතෘකාවට මම නම් ලයික්.
ReplyDeleteජවය බිංදුවට බැහැල ඕයි වෙඩිමක්, දානයක් සහ ඔපීසියේ වැඩ කෝටියක් නිසා.
Deleteතැන්කූ ඈ....
අම්මා තාත්තා මවන හීන තප්පරෙන් සුනු විසුණු වෙලා යන හැටි....
ReplyDeleteඅනිවා!
Deleteඅවසානය කිට්ටු වෙද්දි නවතින්නෙ කොතනද කියලා දැනුනා. එහෙම පෙර ලකුණු පහල නොකර අන්තිමට හෙන ගැහුවා වගේ දෙන බස්සි ඉට්ටැයිල් එකටයි මං මනාප.
ReplyDeleteපාසැල් ඇඳුමෙන් සිනමාශාලා ඇතුලට යන්න දෙනවාද?
තවමත් සිනමා ශාලාවලට යනවද ??
Deleteමේක වෙනමම "බසු ඉට්ටැයිල්" එකක් මදුවයියේ. පොඩ්ඩක් පරණ එව්ව බලන්ටකෝ... පහුගිය කාලෙ තමයි ටිකක් එකම ඉට්ටැයිල් එකේ ඒව වැඩිපුර ලියවුනේ. තැන්කූ ඈ...
Deleteමධුගේ ප්‍රශ්ණයට : ඔව්, තහනමක් නෑ නේද එහෙම?
Deleteඋපුල්ගේ ප්‍රශ්ණයට : ලංකාවෙනම්, ඔව්.
හොඳ නිර්මාණයක් බස්සි...
ReplyDeleteමුලදී අර කොන්ඩ සීන් එක කියවගෙන යද්දී කියවන්න කම්මැලි හිතුනා, පස්සේ ගිහින් කිචියගේ කමෙන්ට් එක කියෙව්වට පස්සේ ආපහු බැලුවේ...
ඇස්දෙක ඉස්සරහම හීන කුඩු වෙන හැටි...
සිරිදාස දරුවෝ ගැන තියා ගත්තු බලාපොරොත්තුව ලොකු වැඩියි.එකයි සිරිදාස ගැන ලොකු ආත්මනුකම්පාවක් අපිට දැනෙන්නේ.
ReplyDeleteමම කසුන්ගේ භූමිකාවේ ඉඳලා තියෙනවා.....!
ReplyDeleteඒත් සිරිදාසගේ සපත්තු දෙක මම දාගෙන ඉන්නවා කියලා තේරුනේ අන්තිමට ඇති වෙච්ච කම්පණය නිසා.....!
හොඳ කෙටි කතාවක්.....!
කතාවේ මාතෘකාව දැක්ක කරකවලා අත ඇරිය වගේ. කතාවත් එහෙමයි. ආදරේ කරද්දී සමහරු ඔය දේවල් ගැන නොහිතුවට ඇත්තටම එහෙම තාත්තා කෙනෙක් ඔක දැක්කම ඒ ජීවිතේම කොච්චර විදවයිද.
ReplyDeleteෙබල් එක ගහද්දි බස්සිත් දුවල වගේ කතාව නැවතිලා. සුපිරි අැරඹුමක්
ReplyDeleteබලාන්ට ඒකෙත් හැටි නේ? Adventure එකක් වෙන්න තිබ්බ කතාව, බස්සි පාට කරලා තිබ්බ පසුබිම හන්දා misadventure එකක් වෙච්ච හැටි!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපේ කාලයේ ෆිල්ම් හෝල් වල දවස ගෙවා ජීවිතයේ අනාථවූ අයත්, උදේ ෆිල්ම් හෝල් එකේ සිට හවස ටියුශන් පන්තියේ පිහිටෙන් උගෙන අද සමාජයට වැඩ දායී ලෙස ගෙවන අයත් මම දනිමි. එසේම උදේ සිට පන්තියේ සිට අද උසස් තැන්වල වැජබෙන මෙන්ම අද අයාලේ යන අයත් ගැන දනිමි. ගෑනුන්ගේ ගතේ පිරිසිදුකම කම හොයන සමාජයේ සිරිදාස පැරදුනා ලෙස ගත හැකිමුත් නිර්මලාගේ සාර්ථකත්වය මැණීමට කථාවේ ඉතිරි කොටස් ඇත්නම් ඒවා කියවන තෙක් පමා කරමි. ගලවූ පමණින් කැඩී යන සේ බොත්තම් මැසූ ටේලර්ට විශ්වාස භංගයක් ගෙන ආ හැකිදැයි සොයා බැලීමද සුදුසුය.
ReplyDeleteහප්පා තවමත් මට අමුතුයි. අසරණ දෙමව්පියොන්ගේ හීන...
ReplyDeleteසිරිදාස බෙල්ල පිටුපස කහමින් තාවර වුනා. තාවර වුනා -ලස්සන වචන ගැලපීම
ReplyDeleteඑක රාමුවකට කොටු වෙන්න ඕන නෑ. බස්සි කියන්නේ ළොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන දේ බොරු කරපු දස්සියෙක්...
ReplyDeleteඅපොයි හිත කීරි ගැහිලා ගියා .
ReplyDeletehttp://nelumyaya.com/?p=3145
ReplyDeleteහැමෝටම ගොඩක් ස්තූතියි අදහස් වලට. පහුගිය කාලේ බ්ලොග් වලින් ටිකක් ඈත්වුන නිසා කමෙන්ට් වලට රිප්ලයි කිරීම අතපසු වුනා. ඒ ගැන සමාව බාජනේකට දාන්න හොඳේ...!
ReplyDelete