Sunday, July 9, 2017

කුරුළු පිහාටුව




ඒකි තනිකරම විකාර කවිකාර වකාරයක්. අපාර සංසාරෙ පුරාම මගෙ පස්සෙන් පන්නගෙන පන්නගෙන ආවයි කියල හිතවන්න පුලුහං විදියෙ පුදුමාකාර සැහැල්ලු කුරුලු පිහාටුවක්. හීනියි සුදුයි ඇබිතිල්ලං කෝලමකට බෙල්ලෙන් අල්ලලා ඉසකුඩිච්චියක් දාන්න වෙන තරමේ දඟකාරකමකුත් එක්කහු උනාම කොහොමද සනීපේ? ඒ තමයි මං ඔය කියපු කුරුළු පිහාටුව. මගෙ කුරුලු පිහාටුව.


මං මෙහෙම ‘පපු කුහර කුස්තුර’ පිරෙන්න දිග හුස්මක් කාරිය අරගෙන ‘මගේ කුරුලු පිහාටුව’ කිව්වට මොකද, ඇත්තටම එයා කාගෙද කියල එයාවත් දැනගෙන හිටියෙ නෑ. කාටවත් අයිති නැති වීමම එක්තරා විදියක සෞන්දර්යක් නෙව. ඇරත්, වෙන කාගෙ වුනත් මේ මගේ වේවි කියලනම් එයැයිට හීනෙක අන්තරා කොටසෙ අන්තිම තත්පර කාලෙදිවත් හැඟෙන එකක් නෑ. මං රඟපෑවෙ ඇගේ හොඳම රසිකයාගෙ චරිතෙ.


වෙන එකක් තියා ‘පපු කුහර කුස්තුර’ කියන්නෙත් මං ඔය වෙන කාගෙහරි කවියකින් කියවලා කටපාඩමේ තියාගත්තු වාක්‍යාංශයක්. මට තිබුනා සුපිරි මතකයක්. බැරිවෙලාවත් එහෙම මම මාවල් හරි ඩී.සී. හරි කොමික් එකක චරිතයක් වුනානම් මගෙ සුපර් පවර් එක විදියට කිසි ගින්නක් නැතුව මේ අසාමාන්‍ය මතක ශක්තිය පාවිච්චි කරන්න තිබුණා. ඒත් ඉතින් අවාසනාවට මම කොමික් කැරැක්ටර් එකක් නෙමෙයි. මගෙ කුරුලු පිහාටුවේ හොඳම රසිකයා.


කුරුලු පිහාටුවට තිබුනා සිල්ක් වගේ සිනිඳු, එක ගානට ට්‍රිම් කරපු කෙස්සක්. ඒ වගේම හයිය දිග නාරටියක්. නාරටිය දිගේ මහත දොළපාරක් වගේ වචන ගලාගෙන ගලාගෙන ආවා. උල්පත තිබුනෙ කොහෙද කියලනම් මම දැනගෙන හිටියෙ නෑ. හැබැයි මම ඒක දන්නව වගේ හැසිරුනා. වචන දියවෙලා හදාපු උකු තීන්තයකින් තමයි ඈ කවි ලිව්වේ. ඒ කවිවල තිබුනේ එක එක විදියේ සුවඳවල්, රසවල් සහ ස්පර්ශයන්. එක්ස්ටසි ගැහැව්වා වගේ කණිනිකාව විසාල වෙලා මුළු ලෝකෙම ඇස් දෙකෙන් උරාගෙන, රැයක් එලිවෙනකම් ඒ වචනවල රිද්මයට නටන්න හැකියාව ලැබෙන මහ පුදුමාකාර පිබිදීමක් එයින් ලැබුනා. හොඳම රසිකයා චරිතය රඟපාමින් උන්නු මම ජීවිතේ වැඩිකාලයක් ගතකලේ අඩසිහියෙන් මත්වෙලා නටමින් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ? ඒ කවි ආඝ්‍රාණයෙන් පස්සේ මම උද්දීපණය වෙන්නේ රොකට් එකක් වගේ. දිඩි දිඩි ගාලා රක්තාණුයි ස්වේතාණුයි ලේ නහර දිගේ රේස් දුවන්නෙ කන් අඩි පුපුරන තරම් මහ සද්දෙට. ඒ වෙලාවට මට ඕනෙ වුනේ මගේ කුරුලු පිහාටුව වෙනුවෙන් මරාගෙන මැරෙන්න.


ඔව් ඔව්. මරාගෙන මැරෙන්න තමයි. හැමෝම කුරුලු පිහාටුවට ආදරේ එක ඇත්ත තමයි මනුස්සයෝ. ඒ හින්ද තමයි මම හන්දියක් හන්දියක් ගානෙ සරම කැහැපොට ගන්නාගෙන කවුරුහරි එනකම් බලාගෙන උන්නෙ. මක් කිව්වා? හාංකවිසියක් නොදන්න අසරණයො? අනෙ මේහ් තමුෂෙගෙ මමීගෙ ඉස්කර්ට් එක තමයි. ඕකුන් සේරම කුරුමානං අල්ලන්නෙ මගෙ කුරුළු පිහාටුවට කෙලින්ඩ!


මම දැන් කියකියා උන්නෙ මගේ රසවින්දන කර්තව්‍ය ගැනනෙ. මත් ගතිය අඩුවෙනකොට මට ඕනෑ වුනේ මීයෙක් වෙලා ඈ කවි ලියන කරදාසි කපාගෙන කපාගෙන යන්න. එව්වා නූඩ්ල්ස් රැලි ගානට තීරු කරලා, උණුවතුරෙ දාල තම්බලා, වතුර බේරෙන්න ඇරල, ලූනුයි මුද්දරප්පලනුයි එක්ක තෙම්පරාදු කරල කන්න. පරණ තාලෙ මිනිස්සු පිහාටු පෑනෙන් කවි ලිව්වෙ කරදාසිවල වුනාට මගේ කුරුලු පිහාටුව මොඩර්න් පැටර්න් දන්න හැට ආච්චම්මෙක්. ඒකි ලියන තරමක් දේවල් ලිව්වෙ වලාකුළුවල. සිංදුවකුත් සිවුරුහන් කරගෙන කේතු හැඩේ පයිනස් අතු අගිසිවල හැප්පි හැප්පි, මීදුම් සේලෙ අස්සෙන් වැටෙන හිරු කිණිතිවල දැවටි දැවටි පියාඹන ගමන් ඈ කවි ලිව්වෙම වලාකුළුවල.


තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව. මමත් ඈට ලිව්වනෙ. ඒ කවිවලට බොහොම දෙනා පිලිතුරුත් ලිව්වා.


හද කෙමිය
වියලී මියෙන්නෙය කනාටුව
සුහදිනිය
සුළඟේ පාව යන පිහාටුව
පුබුදුවන් ඔය හිනා මුව


අපි දෙන්නා තකට තක කැපෙන කවිකාර යාළුවෝ ජෝඩුවක් කියපු සමහරුන්ට කවිකාර කරකාර බන්ධනයක් දැකබලා ගැනීමේ වුවමනාවකුත් ඇතිබවට යන්තමින් ඉඟි බිඟි පවා ලැබෙන තත්වයකුයි පැවතුනේ. ඒ වුනත් සුදෝසුදු පිහාටුවේ පරම පිවිතුරු රසිකයා විදියට මම ශෘංගාර ස්වප්න සේරම අංගාර ආගරයක අගුල්ලලා හිරකරලා මත්වීම පවත්වාගෙන ගියා. ආගාර ද්වාරය දෙදරුම්කන වෙලාවන් නොතිබුනාම නෙමෙයි. ඒ වෙලාවට “හිතූ හිතූ ගාතේ පාරක් පාරක් ගානේ ආදරේ ප්‍රකාස කරකර යන්ඩ මේක ප්‍රංසෙද?” කියලා මගෙ සාම්ප්‍රදායික සාන්තදාන්ත ලාංකික යටිහිත ලිබරල් වෙස්තට්ටුව ඇඳපු උඩුහිතෙන් බොහොම දරුණු විදියට ප්‍රස්න කලා - දෙදරීම ඒකක්ෂණයෙන් නතර කලා.


මත්වීම් දෙකක් අතර කාල අන්තරය ගෙවාදමන එක කොයිතරම් සීරු මාරුවට කලමනාකරණය කරගන්න උත්සාහ කලත් එන්න එන්නම අසීරු වුනා. බලන බලන අත පෙනුනේ කුරුලු පිහාටුව විතරමයි. සංසාර චක්කරේකට එකක් බැගින් හටගන්න මේ වගේ විරල බැඳීමක් සරලව හිතලා අමතක කරල දාන්න පුලුවන්යැ. ආයෙමත් ආයෙමත් වචන ඇබින්දක් ඉල්ලලා කෙඳිරිගාන එක විතරමයි කරන්න ඉතිරිවෙලා තිබුනෙ. අසමසම හොඳම රසිකයා කියන පට්ටම නිසා ඒ ඉල්ලීම කරන්න නිසඟ අයිතියක් ලැබීම උරුමයක්. නිදහසේ මගේ මාවතක හමායන්න ඉඩ ඇති කුඩා විවර සියල්ලම අහුරන මේ හඹායාම, කරුමයක් කියලා එක මොහොතකටවත් නොහිතුනේ ඒ උරුමය නිසාම වෙන්නැති.


ඇබ්බැහිය උත්සන්න වෙච්ච පාන්දරක මම බොහොම තනුක කවි ද්‍රාවණවල ගිලෙමින්, යලි යලිත් ඉල්පෙමින් වෙව්ලීම නවත්වාගන්න යත්න දරමින් උන්නා. බොලේ! ඒ ද්‍රාවණ හැමෙකකම පුරවලා තිබුණේ ඇගේ පියාසැරිය අතරමැද්දේ බිම හැළුණු පිච්කාංග. නොදෝමකින්! ඇල්කොහොල් සැර ඇල්වතුර ගානට තනුක වේගෙන යනකොට ඒවා මගේ ඇඟේ ඇනෙන්න ගත්තේ ඇල්පෙනෙත්ති මිටියක් වගේ.


“දුෂ්ඨ පාහර කොල්ලකාරයා!” මං පාන්දර දෙකයි හතලිස්පහට හිස් අවකාශය පුරා කුරුටුගාමින් උන්නා. 

“පාපිෂ්ඨ අසම්මජ්ජාතියා!” ඇත්තම කිව්වොත් ඇගේ පිච්කාංග කොල්ලකාපු කල්ලතෝනියෙක් අමතන්න මං පාවිච්චි කරපු වචන හොඳ වැඩියි.


“අපි දෙන්නා හිතන්නේ පතන්නේ එකම විදියට.” පහුවෙනිදා උදේ පාන්දරම කුරුලු පිහාටුව මට ලියමනක් එවලා තිබුනා. කිව්වට විශ්වාස කරන එකකුත් නෑ, ඒ වචන ටික දැකලා මට ඉගිල්ලෙන්න හිතුනා. ප්‍රංසෙට යංද අහන්නත් හිතුනා.


“අපි දෙන්නා හිතන්නේ පතන්නේ එකම විදියට.” ඈ ආයෙමත් කියනවා. “ඔයා මගේ හොඳම රසිකයා වගේම විශ්වාසවන්තම යාලුවා. දන්නවද? එයාටයි මටයි තියෙන්නේ එකම අදහස්, එකම රිද්මය, එකම තානය, තාලය. මං හුඟ දවසක ඉඳන් එයාට යටි හිතෙන් පෙම් කරමින් හිටියේ. ඔයා දන්නවද දන්නෙ නෑ කිටිකිටියෙ සරීරෙම වෙලාගෙන පෙලාගෙන හිටිහැටියෙ යටිහිතෙන් පැනනඟින අප්‍රකාශිත ප්‍රේමයන් ගැන. ජාති ජාතිත්, හතුරෙක්ටවත් වෙන්න එපා ඒ වගේ පජාති විඳවිල්ලක්.”


“මොකක්?” සර්පිලාකාර කළු කුහරයක කල්ල කටුක අන්ධකාරෙට ඇදීගෙන යන අතරෙ මං අමාරුවෙන් අකුරු තුනක් ගැටගහගත්තා.


“මීටපස්සෙ එහෙම එයාට බනින්න ලෑස්තිවෙන්න එපා, තේරුණාද? අද මහ පාන්දර සමයමේ ඔයාගෙ පරුස වචන ඇඟේ වැදිල ඇහැරිච්ච වෙලාවේ තමයි අපි දෙන්නට දෙන්නා එකට වලාකුළුවලට නගින්න තීරණේ කලේ. ඔයා වගේ රසිකයෝ ලේසියෙන් කාටවත් මුණගැහෙන්නෙ නෑ රත්තරනේ! ඒකනෙ මං ඔයාට මෙච්චර ලෙන්ගතු.”


හෝස් ගාල හිත හිස්වෙන්න තත්පර දෙකක්වත් ගියෙ නෑ. වඩා ඉක්මන් කෝච්චියට බෙල්ල තියන එකද, කුරේටර් කන එකද කියලා කල්පනා කරලා කරලා බැරිම තැන මම කාසියක් උඩ දැම්මා. පුල් හන්තර් වෙලා ලෙල්ලටම සාටර් වෙලා හිටපු මගෙන් සම්භාවිතාවයත් ආතල් ගන්න හිතපු නිසා වෙන්නැති කාසිය පෙරලෙන්නෙ නැතුව කෙලින් හිටගත්තේ. ඒ ගමන මම තීරණය කලා ආකාසෙන් බිමට පනින්න.


මම අත්දෙක මිටිකරගෙන තුං හතර වතාවක් දෙපැත්තට පද්දලා පද්දලා පහලට පැන්න. වළාකුළුවල හැප්පෙනකොට සිඟිති මල්වැහි බිංදු චිරි චිරිස් සද්දෙට මගේ කම්මුල් උඩ හැප්පිලා පහල බේරුණා. හුලං රැල්ලකට අහුවෙලා හතර අතේ විසික්කා වෙවී සෑහෙන දුරක් තිරස් අතට ගමන් ගත්තට පස්සෙයි එකපාරටම මට ඒක තේරුං ගියේ.


මමත් කුරුළු පිහාටුවක් වෙලා!



15 comments:

  1. බකුසු පිහාටුවක විසිතුර........+++++++

    ReplyDelete
  2. පස්පංගුව නං තියනව අප්පා. සමහන් පැකැට් දෙකකුත් තිබුණා... ඉසකුඩිච්චියකට හාමුකරගන්ඩ ඔච්චරයි ඇත්තෙ..... අර පෙති ජාතිය ගන්ඩ තැනක් හොයාගන්ඩ ඕන.
    විකාර කවිකාර වකාරි......!!!

    ReplyDelete
  3. විචාර හිත මට හොම්බට ඇන කියන්නේ, විචාරයක් ලියාපියෝ කියල.....!

    හම්මේ.... නියමයි

    ReplyDelete
  4. මල් හතයි....නියමයි....අක්කෙ

    ReplyDelete
  5. විවිධාකාර වචන යෙදුම් රාශියක් දැක්කා. ඒවයින් යම්කිසි උත්ප්‍රේරණයක් ලැබෙනවා වගේ.

    ReplyDelete
  6. වචන බස්සිගෙ වහළුන් වුනා දෝ

    ReplyDelete
  7. මෙහෙම එව්වා ලියන්න පුළුවන් බස්සිට විතරමයි

    ReplyDelete