Sunday, September 29, 2013

තව දුරයි මාවත



නිමිත්ත : ලියුකේමියා රෝගයෙන්, සහෝදර පාසලක සමවයසේ සිසුවෙක් මරණයට පත්වේ.





ගෙවී ගොස් ඇත වසන්තය
තුරු හිසක රත් කුසුම් පිබිදුන
සරු කෙතක හිරු කැළුම් ඉහිරුන
නිමා විය විහඟ ගීතය
හදවතට මල් හැඟුම් කැන්දන


දවාලයි ගත නැගෙන දාහය
හමා එයි වියලුන සුළo රැල්
රෝහලේ කවුළුවෙන් හෙමිහිට එකතු වී සේලයින් සුවඳට
යොමමි නෙතු කවුළුවෙන් එපිටට
සරත් හිරු රැස් පෙලයි නයනත


ඇට මිදුළු කකියවන සියුම් වේදනාවක්
රුධිරයට මුසුව පැතිරී ඇදෙයි, ගත වෙලෙයි
නියුරෝන කම්පිතව දුබල හද වෙවුළුවයි
ඇදුම් කන ළය මඬළ සුසුමකින් සසළ වෙයි


බලාපොරොත්තුව…… යළිදු මා පුබුදුවයි
ගගනත වළා කැටි මත
තරු අමුණලා පා කල
බලාපොරොත්තුව……


රෝහල් ඇඳට රහසේ ජීවය ගෙනා පෙරසේ
දිනිඳු රැස් දිසිසේ මුවට හසකැන් වළා පිවිසේ


උදා විය සොඳුරු ගිම්හානය
හරිත තුරු වියමන් සරසා රක්ත පැහැයෙන්
දසත අතුරා නිසoසල බව පළවා හරියි විහඟුන්
තවත් වියලෙයි සුසුමන්
තවත් උණුසුම් වේය කඳුළැල්


හැලෙයි රත් පැහැ කොල එකින් එක
නග්න තුරු අත් පියකරුයි, විළිබරයි
අහස වැලපෙයි කළු වළා විසිරෙයි
සුළඟ සසලයි කවුළු දොර හඬ දෙයි


සීතළ…. ලේ නහර කකියවන
ඇස් කෙවෙනි බොර පාට කරවන
කොපුල් තල කඳුළෙන් තෙමාලන

මද පවන සීතලයි
කඳුළු ඊටත් වඩා වැඩියෙන් සීතලයි


යළි නැගෙයි ගත වේදනා
ගයත් සැම දිවි රැක දෙනුව ආයාචනා
කැටි කරන් හද සීතළ
හෙලමි හදවත නිසල වූ වා තලයට


එද සියල්ලෙහි අවසානය?
විඳි වේදනා අවසානය.
මා තව බොහෝ දුර යා යුතුය………..



ප.ලි.

බස්සිගේ "මාරාන්තික නිල් චිත්‍රපටය" ලිපිය කියෙවුවායින් පසු ඉස්සර ලියූ කවි ඉතුරු වී නැද්දැයි බොහෝ දෙනා විමසූහ. මේ ඒ කුරුලු යාලුවන් වෙනුවෙන් පෝස්ට් කල වසර හයක් හතක් පැරණි කවියකි. හොයාගත්තේ පරණ Physics ටියුට් එකක අන්තිම කොළයේ තිබිලාය. හොඳ වෙලාවට බස්සිගේ නංගීගේ අධ්‍යාපනික උනන්දුව නිසා ටියුට් එක ගිනි දෙවියාට බිලි නොවී තිවුනේය.


16 comments:

  1. අයියෝ මම මේ වගේ කවි කියවන්න කැමති නෑ..... දුක හිතෙනවා

    ReplyDelete
    Replies
    1. දුක හිතුනට කොරන්න දෙයක් නෑ... ජීවිතේ හැටි ඔහොම තමයි රාළෙ.

      Delete
    2. සමාවෙන්න පරක්කු වෙලා ආවා මදිවට ස්වාධීනව අදහසක් දමා යනවා වෙනුවට (සියල්ල කියවා) මෙයටම මාත් ඈදුනාට
      මමත් දුක් බර දේට ආස නැති උනත් - ආස නැත්තෙ නෑ මොකද - කරන්න දෙයක් නෑ යථාර්තයෙන් පැනල යන්න බෑ මුහුන දෙන්නම වෙනව . හැන්ගෙන්න හැන්ගෙන්න - පැනල යන්න යන්න -අපිටම අවාසිය වැඩී කියල මට හිතෙන්නෙ.
      _____________
      කවිටික ලස්සනයි
      ස්තුතියි

      Delete
    3. කොමෙන්ටුවැලක කෙලවරට එකතු වුනත් ඒ අදහස ගොඩක් වටිනවා යාලු.

      ඇත්ත, අපිට කවදාහරි යථාර්තයට මූණදෙන්න වෙනවා. ඒක සුන්දරයි නම් අපි හැමෝම ඒ යථාර්තය ආදරෙන් පිළිගන්නවා. එහෙම කරන අපිම අසුන්දර අත්දැකීම් වලින් පලායන්න හදනවා. මරණයෙන් පැනලා යන්න බෑ, ඒත් බොහොම දෙනෙක් ඒකට උත්සාහ කරනවා. අන්තිමේදි ඉතුරුවෙන්නෙ කළකිරීම සහ පරාජය විතරයි.

      Delete
  2. ජීවිතය අපිටවත් අයිති නැති කල
    අන්තිමට ඉතුරු වෙන්නේ..
    වේදනා සුසුම් පමණය....

    ReplyDelete
    Replies
    1. ජීවත්ව ඉන්නකම් තමන්ගේ කියලා ලේබල් කරගන්න හැමදෙයක්ම අවසානයේදී සමුගැනීමකින් පවා තොරව අත්හැර යන්න සිදුවෙනවා නෙ.

      Delete
  3. කිසිවක් නිත්‍ය නැති නැති ලෝකයේ නිත්‍ය වූ එකම දෙය "අනිත්‍යය"

    ReplyDelete
    Replies
    1. බුදු වදනත් ඒකමයි නෙව.

      Delete
  4. ජීවිතේ ගැන හරියට කියන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැනේ..

    ReplyDelete
    Replies
    1. පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ......

      Delete
  5. මේ අත්දැකීම මම වින්දේ මං දහය වසරේ ඉන්නකොට , මගේ ලංගම හිටපු යාලුවා. අවුරුදු 13න් පහල 15න් පහල ,17න් පහල හැම පාපන්දු කන්ඩායමකම නායකයා. ඒ අතීතයට ගියා .

    එද සියල්ලෙහි අවසානය?
    ඔහු විඳි වේදනා අවසානය.
    මා බොහෝ දුර ඇවිදින්ය………..නමුත්..........

    ReplyDelete
    Replies
    1. අපි හුඟ දෙනෙක්ට මේ හා සමාන අත්දැකීම් තියෙනව සහෝ. මොන කරුමෙකටද මන්දා දැන් එන්න එන්නම පිළිකා රෝගීන් වැඩි වෙනවා පුදුම විදියට.

      Delete
  6. ජීවිතේ ගැන මම මුකුත්ම නොදන්නා උනත් මේ ගතෙහි ඔබ්බවා අසීරුවෙන් ඇති කය ආශාවන් ළඟ දණගසා ඇත. නිදහස ලබිමටන්ම් මරණය යෙහෙකි. නමුත් එයින් බිඳෙන්නේ සමාජ සම්බන්ධතාය. එම නියාවෙන් ඔවුනොවුන් කඳුළු සලති. එය දුකට යයි කියත්. නමුත් එයද හැගීමක් පමණි. එපා උන විට එයද අත්හැර දමා වර්තමාන තත්වයට පත් වෙයි.

    ReplyDelete
    Replies
    1. මරණයකදී බොහෝ දෙනා හඬන්නේ මියගිය කෙනා වෙනුවෙන් නොවේ. ඔහු නිසා තමාට අහිමිවූ සමාජ සම්බන්ධතාවය, රැකවරණය, මිත්‍රත්වය ආදී දේ කරණ කොටගෙනය. එසේ නම් ඔවුන් කඳුලු සලා ඇත්තේ තමන් උදෙසාමය. මරණයක් නිසා අනුන් විෂයෙහි කම්පා වෙන අය විරලය. ඔවුන් ඒ අහිමිවීම සිහිකර සැමදා සිතින් තැවෙති.

      Delete
  7. BUSසි සමඟ කඳුළු සලමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ. අනුන්ගේ කඳුලට සංවේදී උදවිය විරලයි අද කාලෙ.

      Delete