ඇබිත්තං කළු කූඹියෙක් කම්පියුටර් ස්ක්‍රීන් එක දිගේ ඉබාගාතේ ඇවිදිනවා. කූඹියා වගේ තුන් හතර ගුණයක් විශාල අකුරු ටයිප් කිරීම එහෙමම නවත්තල මම උගේ අමන රස්තියාදුව දිහා බලන් ඉන්නව. ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද කියල තඹේකට මායිම් නොකරන නිදහස්, හිතුවක්කාර ප්‍රාණියෙක්, කම්පියුටර් ස්ක්‍රීන් එකෙන් ලක්ෂෙන් පංගුවක් තරම්වත් විශාල නොවෙන ක්ෂුද්‍රප්‍රාණියෙක් නිසා මගේ රාජකාරිය ලත් තැනම ලොප් වෙලා.
ඔන්න මට මේ කුඩා අමනයා ගැන කේන්තියක් මතුවෙනවා. දබරැඟිල්ලයි මහපටැඟිල්ලයි කූඹියා පිටිපස්සෙ පන්නනවා. ඌ පිටිපස්ස හැරෙන්නෙවත් නැතුව දුවනවා. දිවිල්ලෙන්ම අතුරුදහන් වෙනවා.
ඌ අතුරුදහන් උනේ කොහොමද? මම ඇඟිලි දෙක ඇහැට ලං කරල බලනවා. නියතුඩුවල කළුපාටට හිරවෙලා තියෙන්නෙ කළුකූඹියාගෙ අඬු කෑලිවත් ද? සමහරවිට මට නොදැනිම ඌ මහපටැඟිල්ල යට ඇඹරෙන්න ඇති. තලපයක් වගේ!
එහෙමත් නැත්නම් දබරැඟිල්ලෙ හැප්පිලා කම්පියුටරෙන් පහලට පෙරළුනා වෙන්නත් පුලුවනි. කම්පියුටර් ටේබල් එකෙනුත් බිමට වැටුනනම් ඌ දැන් අළු පාට කාපට් එක උඩ මුණින් අතට වැටිලා අඬු පඬු හතර අතේ විසිකරකර ලතෝනි දෙනව ඇති. එහෙමත් නැත්නම්. . . .
“සර්ගෙ කොෆී එක.”
සිරිපාලගෙ කටහඬට මම ගැස්සිලා පිටිපස්ස බැලුවා. කළු කූඹියව සිරිපාලගේ සෙරෙප්පුවලට අහුවෙලා තැලිලා ගියාවත්ද?!
“ඔහු බූවල්ලෙක් වැන්න. එක් පාදයකින් සහෝදර පුවත්පත් කලාවේදී වගීෂ තිලකරත්නගේ ලයට ගිනිබිඳින මේ කෲර පාලකයා තවත් අඬු යුගලකින් ගමේ පන්සලේ නව ධාතු මන්දිරයට මුල්ගල තියයි, සිල් ඇත්තන්ට තම උඩුකය සේයාරුව මුද්‍රිත බිත්ති ඔරලෝසු බෙදයි.”
අකුරු පේළිය ඇකිලිලා කුඩා කූඹි පේලියක්බවට රූපන්තරණය වුනා. ඉන් පස්සෙ ස්ක්‍රීන් එක පුරාම වමට, දකුණට, ඉහළට, පහළට, කෙලින් සහ ඇදේට ඉබාගාතේ ඇවිදින්න වුනා.
මම ඇස් දෙක තදින් පියාගෙන කෝපි උගුරක් උගුරෙන් පහලට තල්ලු කලා. උණු කෝපි දියරය උගුර පුච්චාගෙන පහලට ගලාගෙන යනවා.
“මචං, මට උඹ ගැන බයයි.”
වයිබර් චැට් බුබුලක් මොබයිල් ෆෝන් එක දෙදරවාගෙන පොප්-අප් වුනා.
“ලන්ච් ගත්තද?”
ඒක නොගැලපෙන ප්‍රතිචාරයක් තමයි. ඔළුව පුරා කළුකූඹි දුවන වෙලාවක ඒ අස්සට පත්තෑයෙක් වගේ නලියනලියා දෂ්ඨ කරන්න සම්භාවිතාවක් ඇති සංවාදයක් ඔබ්බවාගන්න මට කොහෙත්ම වුවමනාවක් තිබුනෙ නැහැ.
“මට උඹ ගැන බයයි. මං මහ නරක හීනයක් දැක්කා.”
ආයෙමත් මොබයිල් ෆෝන් එක දෙදරන්නේ මේසයත්, කීබෝඩ් එකත්, ඒ උඩ එහෙමෙහේ දුවන අත්දෙකත් කම්පනය කරවගෙන. මොබයිල් එකේ දෙදරිල්ලට කී බෝඩ් එක සහකම්පනය වෙනවා. එතකොට වගීෂගේ මරණය ගැන? සෙනෙවිගෙත්, තාරිගෙත් අතුරුදහන්වීම් ගැන?
මම අහක බලාගෙනම වයිබ්‍රේශන් ඕෆ් කලා. ඒ කියන්නෙ කම්පනය අවසන් කලා.
“නිදා සිටින්නන් ඇහැරවීම අපහසුය, එහෙත් ඒ නොකල හැක්කක් නොවේ. වඩා දුෂ්කර කාර්යය වන්නේ නිදා සිටින්නාක් මෙන් රඟපාන උදවිය ඇහැරවීමයි. මිනී කන ව්‍යාඝ්‍රයෙක්, සුරතලයට ඇතිකරන බළල් පැටවෙක් ලෙස කරන මාධ්‍ය සංදර්ශනය නිද්‍රාවෙන්ම අනුමත කරන ජනතාවක් යනු. . . . .”
ආයෙමත් කළු කූඹි. මම ලියලියා උන්නු ලිපිය එහෙමම නවත්තලා බැල්කනියට ගියා. එතනට බම්බලපිටියේ මුහුද පේනවා. මුහුදෙන් මිලියනේකින් පංගුවකටත් වඩා කුඩා බෝට්ටුවක් විසාල රළගෙඩි අතරේ ඉහල පහල යනවා.
අත් ඔරලෝසුවක් බඳින පුරුද්දක් මට කවදාවත් තිබුනෙ නැහැ. මේ වෙලාවෙ අතේ මැණික් කටුව වටේ එතිල තියෙන්නෙ මැදපු පොල්කටු කෑලිවලින් හදාපු බ්‍රේස්ලට් එකකුයි, රොකීගෙ බෙල්ලෙ තියන එකට වඩා පොඩ්ඩක් හීනි ඇලුමිනියම් පාට දම්වැලකුයි. පුරුද්ද මොබයිල් එකේ වෙලාව බලන එක. තුනයි හතලිස්පහයි.
මිස්ඩ් කෝල් දෙකක්. උණ සන්නිපාතෙ හැදිලා වගේ දඟලන වයිබර් සහ මැසෙන්ජර් අයිකන්. යූ ගොට් අ නිව් ටෙක්ස්ට් මැසේජ්.
“කෝල් කරපියකො. තමුසෙ මැරිලද ඕයි. මට බයයි.”
සුලු නොරිස්සුමක් එක්කයි මම ඇමතුම ගත්තෙ. ඒත්, ටකරං වහලෙකට වැහි බිංදු වැටෙන්නා වගේ හෙලෝ කියන්නෙවත් නැතුව ඒකි බනින විදියට මට හිනා ගියා.
“ඔලමොට්ටලයෙක් වගේ හිනා වෙන්න එපා ඕයි. තමුසෙට ඇත්තටම තමුසෙගෙ ජීවිතේ වටින්නෙ නැද්ද? අනික, අනික, ඇයි යකෝ අච්චර මැසේජ් එවද්දි කෝල් කරද්දි උන්නද මලාද නොකිය ගල්බීත වෙලා ඉන්නෙ?”
“මට ඇහුනෙ නෑ බං.”
“ඈ ඕයි, තමුසෙ බීරෙක්ද? හා. හා, එහෙනම් උඹ බීරෙක්මයි කියමු. මැසේජ් නොපෙනෙන්න ඇස් දෙකටත් හෙන ගහලද?”
ඒ වෙලාවෙ මට ටිකක් හයියෙන් හිනා ගියා. හිතල කල දෙයක් නෙමෙයි. හැබැයි නොහිතා කල දෙයක් කියන්නමත් බැහැ. කොහොමහරි මට හකහක ගෑවිල්ලේ හිනා ගියා. අන්න ඒ නිසයි එකපාරටම ඉකිබිඳුමක් පුපුරා හැලෙන්න ගත්තේ.
"ඒයි, හරකි, අඬන්න එපා බං. මොන මගුලක්ද?"
"උඹට, උඹේ ලිපිවලට උන් ඇහැගහගෙන ඉන්නෙ ආදිත්‍ය. ඇයි දෙයියනේ මම කියන දේ තේරෙන්නෙ නැත්තෙ? උඹට උඹේ ජීවිතේ වටින්නෙ නැද්ද ආදි? මං අහන්නෙ, ඇයි අර විශේෂාංග පිටුවට තීරු ලිපියක් දෙකක් ලියාගෙන පාඩුවෙ ඉන්න බැරි උඹට?"
ඒ ඒකි අඬනව මට ඇහුන පළමුවෙනි වතාව. ඒ නිසා මම තරමක් කලබල වුනා. ටිකක් නෙමෙයි, මම සෑහෙන්න කලබල වුනා.
"ආදිත්‍ය, මේ අහපන්. උඹට උඹේ ජීවිතේ වටින්නේ නැති වෙන්න පුලුවන්. ඒත් මට, මට උඹව වටිනවා."
අන්න ඒ වෙලාවෙ තමයි අකුණක් කෙටුවෙ. හරියටම මුහුද මැදට. මම වමට, දකුණට, මුහුද පේනතෙක්මානෙට ඇස් දිවෙව්වේ අර තනි බෝට්ටුවේ සලකුණක් හොයාගන්න. ඒත් සලකුණක් නොතියාම ඒක අතුරුදහන් වෙලා තිබුනා. සමහරවිට ඒ බෝට්ටුව රළගෙඩිවලට පැරදිලා දියබත් වෙන්න ඇති. එහෙමත් නැත්නම් මගෙ ඇස් මානෙන් එහා, මුහුදෙ කෙනහිලිකම් මැද්දෙ තවමත් යාත්‍රා කරනව ඇති.
"මං හවසට එනවා. දැන් ඔය චුරුචුරුව නවත්තගන්නවා." මම බෝට්ටුවේ ඡායාවක් ඇහැට අහුකරගන්න, මුහුද පුරා දුවන අතරේ කිවුවා.
* * * * * * * * * *
"මටත් ආසයි නයෙක් අරින්න." ප්‍රාර්ථනා අහස දිහා බලාගෙන කියනවා. මම බලාගෙන හිටියේ මූදු හුලඟ එක්ක ඉහළ යන්න පොරබදින ඒකිගෙ ලා දුඹුරුපාට කොණ්ඩ කැරලි දිහා. කෘතිමව වර්ණ ගන්වලා තිබුනත්, ඒ කොණ්ඩ කැරලිවලින් මට දැනුනෙ ස්වාභාවික සුන්දරත්වයක්.
"ඕයි, මටත් ආසයි" ඒ කඩාපැනීම ඉවරවෙන්න කලින් මම අනපේක්ෂිත විදියට ඒකිගෙ තොල් දෙක හරහට දබරැඟිල්ල තියල තද කලා. වෙනදා වගේ කට මිරිකීමක්, නැත්නම් කුඩා කම්මුල් පහරක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඕනෙ ඒකි ඇස් දෙක දොඹ ගෙඩි වගේ ලොකු කරගෙන මගෙ දිහා බලාගෙන හිටියේ.
"ඇයි නයෙක්? කොම්බුවෙක්, උකුස්සෙක්, නැත්නම් ප්ලේන් එකක් අරින්න කැමැත්තක් නැද්ද?" මම මෙලෝ රහක් නැති ප්‍රශ්ණයක් ඉතාම රොමෑන්තික විදියට ඒකිගෙ කන ගාවට පහත් වෙලා අතඇරියා.
"කෙහෙල්මල"
එකි එහෙම කියන්නෙ කියාගන්න දෙයක් නැතිවුනාම කියල මම අත්දැකීමෙන් දැනගෙන හිටියා.
"නයෙක් උනත්, හුලං හමන අතට ඔහේ පාවෙන්න ඉඩදෙන්නෙ නැතුව, ඊට ප්‍රතිවිරුද්ධ අතට හුලං කපාගෙන යන්න ඉඩදෙන්න බැරිද?"
ප්‍රාර්ථනා ඇස්දෙක හීනි කරල, දෙබැම එකට ගෑවෙන නොගෑවෙන තරමට ලං කරන් මගේ සිතුවිලි පරිලෝකනය කරන්නා වාගෙ බැල්මක් වීසිකලා.
"පණ්ඩිත කතා" ඒකි ඊගාවට කිවුවා. "පැහිච්ච මෝඩ කතා."
මිනිස්සු, නානාප්‍රකාර මිනිස්සු මුහුදු වෙරළ පුරාම නිදහසේ එහෙ මෙහෙට ඇවිදිනවා. සරුංගල් අරිනවා. රැල්ල පාගනවා. පැටි වයසේ එවුවො වගේම හිතෙන් පොඩි ළමයි වුන මහ එව්වොත් තරඟෙට වැලි මාලිගා හදනවා. කඩල කනවා. අන්නසි අච්චාරු කනවා. පාට පාට අයිස්පලම් කනවා. හාදු දෙනවා.
මම ප්‍රාර්ථනාගෙ පිරුණු කම්මුලකට හාද්දක් දුන්න. හාද්දක් කියනවට වඩා දෙතොල් පහරක් කිව්වොත් තමයි වඩා නිවැරදි. කැළල් නොහිටින පහරක්.
ඉන් පස්සෙ ඒකි දෙබැම ඇකිලුවෙ නෑ. ඇස්ගෙඩි දෙක තඩි කරන් කන්න වගේ බලන් උන්නෙත් නෑ. වෙනෙකක් තියා ඇස් හීනි කලෙත් නෑ. ඒ වෙනුවට බෙල්ල පැත්තකට ඇල කරල, මූණ වම් පැත්තට හරවලා, විනිවිදින සුළු බැල්මකින් මාව සිදුරු කරන්න වුනා.
අන්න ඒ වෙලාවෙ ආයෙමත් අපි වටේ කළුකූඹි කැරකෙන්න පටන් ගත්තා. සරුංගල් අරින, රැල්ල පාගන, වැලි මාලිගා හදන, කඩල, අන්නාසි අච්චාරු, අයිස්පලම් කන කළු කූඹි. තම තමන්ගේ ලෝකවල ඉබාගාතෙ ඇවිදින කළුකූඹි. තම තමන් තුලටම, වඩවඩාත් ගැඹුරට ඇතුලුවෙන, තම තමන් තුලම සඟැවෙන කලු කූඹි. උන්ගෙන් අබැටක් තරම්වත් අවධානයක් නොලැබෙන නිසාම මට ඒකිගෙ ස්ට්‍රෝබෙරි සුවඳ දෙතොල ආක්‍රමණය කරන්න හිතුවටත් වඩා පහසු වුනා. කළු කූඹි ස්තර ගණනාවක් මැද්දෙන් අපි දීර්ඝ හාදුවක් තුලට කිමිදෙන්න ගත්තා.
* * * * * * * * * *
ප්‍රාර්ථනාගෙ පිරුණු රෝස පාට තොල් අතරින් සිගරැට්ටුව ඇතුලටත් පිටතටත් ගමන් කරන හැටිත්, ඒ වඩවඩාත් දීප්තිමත්ව දැල්වෙන හැටිත්, උණුහුමැති දුම් වළලු ඉහළ නගින හැටිත් සමාධියකට සමවැදෙන්න අපූරු කමටහනක්. ඉතින් මම එරමිණිය ගොතාගෙන සමාධිගත වෙන්න උත්සහ කලා. ඇස් අඩවන් කරගෙන, කුඩා කෙඳිරීමක්වත් නොනගා ඉන්න තතනමින්, වරින් වර බර හුස්ම පහරවල් පමණක්ම පිට කරමින් මම සමාධිගත වුනා. තවදුරටත් ඒකිගෙ දෙතොලින් ස්ට්‍රෝබෙරි සුවඳ නොහමන එකම මට සමාධිගත වෙන්න උපකාරයක් වුනා.
ප්‍රාර්ථනා දෙතොල් උල් කරලා මගේ පපුව මැදට විසාල දුම් ගුලියක් පිම්බා. එක්වරම දරුණු ඇවිලීමක් හටගත්තා. උස් ගිනිදළු සිරුර පුරා විහිදෙනකොට, මද ගැස්සීමක් සහිත විදුලි කාන්දුවකින් සමාධිය අවසන් වුනා.
ඒකි නිකට දෙ'අත්ල මත තියාගෙන මා දිහා බලන් උන්නා.
"මමත් කළු කූඹියෙක් වෙනවා." මං පිරිසිදු සුදු තුවායක් ඉනවටා දවටා ගනිමින් කිවුවා.
"ම්හ්?"
"මමත් අර විශේෂාංග පිටුවට තීරු ලිපියක් දෙකක් ලියාගෙන පාඩුවෙ ඉන්න කළු කූඹියෙක් වෙනවා."
"ඒ ඇයි?"
"මට ජීවත් වෙන්න සිද්ධවෙලා තියෙනව. ප්‍රාර්ථනාවක් තියෙනව. නැද්ද? මම හිතන්නෙ, අද දවල් මගේ කම්පියුටර් ස්ක්‍රීන් එක උඩ අරගල කරපු කළු කූඹියට දැන් මොනව වෙලා ඇතිද? මට හිතෙන්නෙ, ඌ කම්පියුටර් ටේබල් එකෙන් පහල වැටිල සිරිපාලගෙ සපත්තුවට පෑගෙන්න ඇති. මට මේ වෙනකම් ඒක කල්පනා උනේ නෑ."
ප්‍රාර්ථනා මගේ උරහිසට උඩින් නැමිලා කනට කිට්ටු වුනා. කන් පෙත්තෙ තොල් ගෑවෙන නොගෑවෙන තරමටම.
"මම එහෙම හිතන්නෙ නැහැ."
"ම්හ්?"
"ඒ කළු කූඹියා මේ වෙද්දිත් උඹේ කම්පියුටර් එක ඇතුලට රිංගගෙන කෑල්ලෙන් කෑල්ල හෙමින් කාල දානව ඇති. සමහරවිට ඌගෙ වම් පැත්තෙන්, ගෑවි නොගෑවි ඉන්න පෙම්වතියකුත්, හරි හරි, අපි කියමු ජීවන සහකාරියක් එහෙමත් නැත්නම් සයිඩ් කික් එකක් කියල. ඒ දෙන්න දෙපැත්තකින් කම්පියුටරේ කාල දානව ඇති. කොහොමද ඒක?"
ඈ අඩක් හමාර කල සිගරැට්ටුව මා අතට දුන්නා. මම උස් වීදුරු දොර විවර කරගෙන බැල්කනියට ඇතුල් වෙද්දි මුහුදු හුලං වලට වඩා සියුම් හුස්ම පහරක් ගෙල පිටුපස උණුහුම් කරන්න වුනා. බැහැගෙන යන ඉර වියරු රත් පැහැයෙන් දැල්වෙනවා. කළු කූඹි පිච්චි පිච්චි ක්ෂිතිජය අද්දරින් මුහුදට වැටෙනවා.
"තනි කූඹියෙක්ට කරන්න බැරි ගොඩක් දේවල්, හවුල් සමාගමකට කරන්න පුලුවනි."
මම ලොකු දුම් ගුලියක් පිම්බා. වියරුවෙන් ගිනි ගනිමින් තිබුණු ඉර, ඒ දුම් ගුලියෙ දියවෙලා මුහුදට වැක්කෙරෙන්න පටන් ගත්තා.