“ලස්සන ලෝකයේ – මට හිමි ආදරේ
සොයමී ජීවිතේ – පාළු මකා.........”
ලුමිනස් කහ පාට වයර් දෙකක් දිගේ ඉහළ ඇදෙන නාද තරංග කන් බෙරයට හෙමිහෙමින් තට්ටු කරනවා. මියුසික් කියන්නේ යටි ගිරියෙන් කෑ ගහගෙන පාර පුරා දුවන විදුලි ටැක්සිවල කරච්චලෙන් කන් දෙක බේරගන්න හොඳ ආවරණයක්. හවස පහමාරයි; මිනිස්සු කඩිමුඩියේ ගෙවල් හොයාගෙන දුවන වෙලාව. ඇත්ත, කකුල් අද්ද අද්දා නිස්කාංසුවෙ ඉදිරියට ඇදෙන මේ ගමන් විලාසය බ්‍රහස්පතින්දා හවස්වරුවකට කොහෙත්ම ගලපාගන්න අමාරුයි.
නගර උද්‍යානය පාළුයි. තවමත් ව්‍යායාම ඇඳුම් ඇඟලා ගත්තු බඩ තඩි ගෑණු මිනිස්සු එකා දෙන්නා මෙතැන පහලවීම නතර වෙලා නැහැ. සමහරවිට ඔවුන්ට මේද-හරණ සත්කාර ගැන ඒ හැටි විශ්වාසයක් නැතුවා වෙන්න පුලුවනි. කොහොමත් වයසක පරම්පරාව අළුත් සොයාගැනීම් දකින්නේ දම්පාට බූවල්ලෙක් වගේ. අදහාගන්න අමාරු දෙයක් විදියට, සැකෙන් වගේම අවිශ්වාසයෙන්.
මම හුරුපුරුදු අළුපාට සිමෙන්ති බංකුවට බරවුනා. ටයි ගැටය බුරුල් කරලා කමිස අත් ඉහලට නවාගෙන පෙණහළු පිරෙන්න කොලපාට හුස්මක් ගත්තා. නොමිලේ කොලපාට හුස්ම ඉහල අදින්න ඉතිරිවෙලා තිබුන එකම තැන කුඩා නගර උද්‍යාන විතරමයි. ඉස්සරෝම කාලේ මෙතැන උස ගස්, ඝනට වැඩුණු යටිරෝපණයක් අතර හැබෑ වන සත්තු ජීවත්වුන වන රක්ෂිතයක් තිබුන බවයි කියන්නේ.
දැන් වන සත්තු වෙනුවට ත්‍රිමාණ සජීවීකරණය කරපු සත්තු පඳුරු අතරේ මුළුගන්වලා තියෙනවා. කුරුළු කූජන තැටි වාදනය වෙන නිසා ඔළුවටත් සැහැල්ලුයි. විසි එක්වෙනි ශතවර්ෂයේ මුල් කාලේ වගේ මදුරුවන්ගෙන් බෝවෙන වසංගත, හිටි අඩියේ මිනිස්සු මරා දාන වල් සත්තු හිටියොත් කොහොම තියේවිද? මේ තමයි හොඳම විදිහ. නිස්කාංසුවේ ඈ හමුවෙන්න හොඳම විදිහ.
මෙතැනට අන්තර්ජාල සංඥා නොමිලේ ලැබෙනවා. ඔව් ඉතින් ඇතුල්වීමේ ටිකට්ටුවේ මිල එක්ක සසඳනකොට ඒක මහලොකු දේකුත් නෙමෙයි. වැදගත්ම දේ අනවශ්‍ය බාධා නැතිකම.
මම අත්-පරිඝනකය දිගඇරලා සුපුරුදු ක්‍රීඩා කේතය ඇතුලත් කලා. පහයි – හතරයි – තුනයි – දෙකයි – එකයි. මම එතැන. තද දුඹුරු පාට අක්බඹරු කොණ්ඩය අත්ලෙන් හැඩ කරමින්. ලා නිල් ඩෙනිමකුත්, සැහැල්ලු දම් පැහැ ටී කමිසයකුත් ඇඟලාන, වර්චුවල් ආදර උද්‍යානයේ මේ බංකුව මතම.
ඉස්ටෝරුවේ හදවත් හැඩේ බැලුම් බෝලත්, රෝස මල් පෙතිත් තිබෙන බව කියමින් උඩපනින ඉන්බොක්සු මැසේජයක්. වෙලාව පහයි පනහයි. කතිකා කරගත් වෙලාව අනුව ඈ එන්න තව විනාඩි දහයක් තියෙනවා.
රතු, තැඹිලි සහ රන් පැහැ හදවත් හැඩේ බැලුම් බෝලවලින් උද්‍යාන බංකුව අවට සැරසීමක් කියන්නේ ලකුණු එකසිය පණහක්. වියදම සැර වුනත් රෝස මල්පෙති ඇතිරුමකට ලකුණු හත්සියයක් ලැබෙනවා. සැරසිලි හමාර කරනවාත් සමගම මම ආදර උද්‍යානයේ අවසන් අදියරට තල්ලු කරන ලදුව, ත්‍රිමාණව සහ තවතවත් ජීවමානව බැබලෙමින් උන්නා.
“ඔහෝ! මාලන් මාලන් මාලන්. . . ඒවා ඉතාම අලංකාරයි. උත්කෘෂ්ඨ පිලිගැනීමක්! හරිම උත්කෘෂ්ඨ පිලිගැනීමක්!!”
ඔන්න ඈ තරු දෙනෙත් දිදුලවමින් එතැන. රන් පැහැ කෙහෙ කැරලි මගේ නළලේ වැදෙමින්, රඟදෙමින්. ඇගේ මුහුණ විචිත්‍රයි, හැඟුම්බරයි. ආශා දනවන සුළුයි.
ලකුණු? ලකුණුවලින් තවදුරටත් පලක් නැති බව මට හැඟුනා. වැදගත් වෙන්නේ මේ මොහොතයි. පාපැදි මංතීරුවේ ඉදිරියට ඇදෙන පාපැදියක කිරිකිරි හඬ නිසාවත්, හිටි අඩියේ උයන සිසාරා දිවෙන වර්ණවත් නියොන් ආලෝක ධාරා නිසාවත් මගේ දැහැනට බාධා වුනේ නැහැ.
"මාලන්?" ඈ ප්‍රශ්ණාර්ථයක් රැඳි කුඩා මුහුණ වම් පසට ඇල කරමින් දෙබැම රැලි ගැන්වුවා.
"ම්හ්?"
"අකර්මන්‍යව ගෙවන සෑම තත්පරයක් පාසාම ඔබේ ලකුණු රැස් කිරීමේ හැකියාව දුර්වල වෙනවා මාලන්." ඈ දබරැඟිල්ල ලෙලවමින් මට තරවටු කරනවා. කෙහෙල්මල් ලකුණු. කෙහෙල්මල් ක්‍රීඩා. මට ඕනේ මේ මොහොත. මේ මොහොතේ ජීවත්වෙන්න.
“අපි විලෝ ආරුක්කුව මැදින් ඇති පෙත්මඟ හරහා ඇවිදින්න යමුද?” මම නොඉවසිලිමත් ඇඟිලිතුඩු තිරය හරහා දිවෙව්වා. “එතැන හාදු මල් පිපෙන ආන්ද්‍රෝ වෘක්ෂයක් තියෙනවා. මං හිතන්නේ ඔයා ඒකට බොහොම කැමතිවේවි.”
ඈ වදනකුදු නොබැන, සිය අත්දඬුව මා වෙතට පෑවා. එය බටර් පැහැතියි, සිලිටියි. මම ඇගේ අත ගෙන හැකිතාක් කෙටි පියවර තබමින් පෙත්මඟට පිවිසුනා. පියවර ගණන වැඩි වෙනවාත් සමඟම මාවත දෙපසින් දිදුලන කුඩා හදවත් මතුව එන්නට වුනා.
ඒ තවදුරටත් ඩිජිටල් තිරයකින් වෙන් වූ සීතල ත්‍රිමාණ සජීවීකරණයක් නොවෙයි. මට ඇගේ අත්ලේ උණුසුම දැනෙනවා, ඇගේ දිගු සැඳෑ ගවොමෙන් හමන්නේ මුදු ලැවැන්දර සුවඳක්. කුස හරහා සමනල්ලු අහිනක් පියාසලන්නාක් මෙන් දැනෙන්නට ගත්තේ මන්දැයි මා දන්නේ නැහැ. මට අසනීප ගතියක් දැනෙන්නට වුනා.
හාදු මල් පිපෙන ආන්ද්‍රෝ වෘක්ෂය යටදී මට එය එක්වරම පසක් වුනා.
මම ඇයට ප්‍රේම කරනවා.
වෙව්ලන දෙඅත්ලෙන් මම ඈව මවෙතට ඇදගත්තා. ඇගේ සුස්ම පහරවල් වැදි වැදී මගේ ගෙල දෙපස උණුසුම්ව යන්නේ, උරබාහු සිට දෙකන්පෙති දක්වාම ලා රත් පැහැ ගැන්වී ප්‍රාණය උතුරනවා. ඉතා කෙටි මිනිත්තුවකට පසු අපි අනායාසයෙන්ම දීර්ඝ හාදුවක් ඇතුලත ගිලෙමින්, අතින් අත ගෙන පිහිනමින්, ගැඹුරු අහුමුළු සොයා කිමිදෙමින් උන්නා.
“ආදර උද්‍යානයේ අවසන් පියවර ඔබ සාර්ථකව හමාර කලා. සුභපැතුම් මාලන්!” කුඩා සීනු දහසක් සැලෙන්නාක් වැනි ඇගේ කටහඬ. උද්‍යානය හාත්පස උස් පහන් කණුවලින් වෑස්සෙන මන්දාලෝකයෙන් නැහැවෙමින් තිබුනා.
“ඉතින් ඊට පස්සෙ?” මම මෝඩයෙක් වගේ හිස කසමින් ඇහැව්වා.
“ඒක ඔබේ තීරණය මාලන්. මේ ආලය බව ඔබට සම්පූර්ණයෙන්ම විශ්වාස නම් අපිට ඊළඟ පියවරට පිවිසෙන්නට හැකියි.”
තිරය සිසාරා රන්සුණු පිරවූ සබන් පෙණ බුබුළු පාවෙනවා. ඈ සෙල්ලක්කාර මන්දස්මිතයකින් යුතුව, යටි තොල යන්තම් සපාගෙන හැඩැති රත් පැහැ නිය තුඩුවලින් සබන් බුබුළු පුපුරවාහරින්නට පටන් ගත්තා. 'ක්ලන්ක් - ක්ලන්ක්" හඬින් සබන් පෙණ පුපුරා යන අතරේ රන් සුණු අසරණ ලෙසින් බිම ඇදහැලුනා.
"මාලන්?" ආයෙමත් ඒ සිහින් සීනු හඬ. මට වෙන තේරීමක් තිබුනේ නැහැ. විශාලනය වුන අත්-පරිඝණක තිරය සමග ඒකාත්මික වීම හිතූ තරම් අපහසු වුනෙත් නැහැ.
*******************
සිව් වසරක ආලයෙන් පසුව මම ආයෙමත් ආදර උද්‍යානයේ. පරිඝණක ක්‍රීඩාවට ඇබ්බැහි වුන පෙම්බරිය, ටාන්යා දේශණ අහවර වී එනතුරු මගබලමින්. ටාන්‍යා කොලපාට හුස්මවලට කැමතියි. ඒ නිසාම මමත් ඈට කැමතියි. මට හිතෙන විදිහට ඈ ඉක්මනින්ම පූර්ණකාලීනව ඩිජිටල්කරණය වේවි.
ඒත්, ඒත්, ඇයි මා දිහා ඔහොම බලන්නෙ?
මනුස්සයෝ! පියවි ලෝකේ නැති ස්ථිර ආලයක් වර්චුවල් ලෝකෙ තියේවිද???
තවත් Sci-fi
1. නිකෝ
3. වැරැද්ද?