ඉක්කෝලෙ කාලෙ කතා ලියන්නෙයි කියල දත කට මැදගෙන සූදානම් උනාට මොකෝ තාම කතා දෙකයිද කොහෙද ලියාගන්ට ලැබුනෙ. ඉතිං බස්සි හිතුවා දෙදාස් දාහතරටත් මුල්වරට ඉක්කෝලෙ කාලෙ කතාවක් අතාරින්ට.
අපේ සැට් එකේ හිටපු අති විශේෂ චරිතයක් තමයි අද කතාවේ මේන් ඇක්ටර්. පොර තමයි කිරිහාමියා. ආයෙ අහන්නත් දෙයක් යැ. ඔව්, උගේ වැඩ වලට ගැලපෙන්නම තමයි ඒ නම වැටුනෙ.
ආ දැනුයි මතක් උනේ… මේ වෙනකොටත් කස්ටිය කිරිහාමියව අඳුනගෙන ඇති. මොකද මම කාලෙකට කලින් ලියාපු “බයිට්” කතාවෙත් මූ ප්‍රධාන චරිතයක් ඇක්ට් කලා.
පොරට ඒ කතාවෙ ලින්ක් එක යැවුවාම මට හැරෙන තැපෑලෙන් ආවා මෙන්න මේ පින්තූරෙ සහිත මේල් එකක්.
තෝ මාව කාල! මේ මෝරාම කාපිය.
මෝරා තෝව කෑවෙ නැත්තං සුදු වෑන් එකකට කොන්ත්‍රාත් එක බාර දෙනව!!!
ඉතිං අද කතාවෙ ලින්ක් එක යැව්වම මොනවා එවයිද දන්නෙ නෑ. ලියලම බලමු.
කිරිහාමියා ගැන කියන්න රස කතා ගොඩයි. කොහෙන් පටන් ගන්නද මන්දා…
ඔන්න දවසක් අපි කට්ටිය සෙට් වෙලා යනව කිරාගෙ ගෙදර. අපේ මලියායි, රඟසොබායි CTB බස් වල ඉක්කෝලෙ එන්නෙ. සීසන් තියෙන නිසා උන් මලාට නගින්නෑ ප්‍රයිවෙට් එවුවයෙ. ඉතින් අපි කට්ටියම ඇදගෙන උන් දෙන්නයි, කිරිහාමියයි ගොඩවුනා CTB එකකට.
ආයෙ නෑ ඒකනම් බස් එකේ යන්න සුපිරි වෙලාව. අපේ ඉක්කෝලෙයි, සහෝදර පාසලෙයි දෙකේම, මාදම්පෙ පැත්තට යන උන් හැටහුටහමාරක් බස් එකේ. චප්ප වෙනවා ලෙසටම. ඉතින් කොහොමින් කොහොම හරි අපි නිරුපද්‍රිතව මහවැව ටවුන් එක වෙත ලඟා උනා කියමුකො. මහවැව හරියට කිට්ටු වෙද්දි යාන්තම් අතපය දිගඇරගන්ට ඉඩකඩක් ලැබුනා.
අහෝ ඛේදයකි. ඉරකි. තිතකි කියලා මහවැව ටවුන් එක පහු වෙනවත් එක්කම නැග්ගෙ නැතැයි මහා මුසල්මානු ජන ගංගාවක්. මක් කොරන්නද ඉතිං අපි ආයෙ පරණ පුරුදු පරිදි චප්ප වෙමින් මාදම්පේ නගරය වෙත ළඟා වුනා.
කොහොමින් කොහොම හරි කිරිහාමියගෙ ගෙවල් පාර ගාවින් අපේ දහදෙනාගෙ සැට් එක බැහැගත්තාය කියමුකො. කොයිකටත් කියලා ගැනලා බැලුවා සේරම ඉන්නවද කියලා.
මමයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි.
ම්හු…. එකෙක් අඩුයි නෙව.
බලමු ආයෙ පාරක් ගැනලා.
මමයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි…. ඒ පාරත් අටයි.
බලාගෙන යනකොට නැත්තෙ අපේ ප්‍රධානම චරිතෙ; කිරිහාමිය… දැන් අපි දහ අතේ කල්පනා කොරනව මොකද කරන්නෙ කියලා. ඇයි හත්දෙයියනේ මූ නැතුව මුංගෙ ගෙදර ගිහින් ගෙදර මිනිස්සුන්ට වග උත්තර බඳින්න වෙනවනෙ අපිට.
ඉතිං කරකියාගන්න දෙයක් නැතුව අපි එකඑකා විවිධ ඔප්ෂන් ඉදිරිපත් කරමින් පාර අයිනට වෙලා ඉන්නව. ඔන්න ටික වෙලාවකින් පාරෙ ඈත කෙලවරෙන් මතු වෙනවා සුපුරුදු රූපයක්.
“කොහෙද ගොං අලියෝ ගියේ?” කේන්තිය වැඩි කමට අපි කිරිහාමියාව පිළිගත්තෙ බොහොම ආදරණීය වදන් පෙළකින්.
කිරිහාමි : “අනේ සොරි මචංලා, මම හෝල්ට් දෙකක් කලින් බැහැලනෙ.”
අපි : @$# $%&* %#$@
කිරිහාමි : “ඉතිං බන් අර ආප්ප අයියලා ටික සේරම බහිනකොට මමත් උන් එක්ක බැස්සා. බලද්දි උන් බැහැලා තියෙන්නෙ අපේ ගේ ගාව නෙමෙයි පල්ලිය ගාව.”
************************
අපි ඒ ලෙවල් කලෙ කණ්ඩායම් ව්‍යාපෘතිය (සිංහලෙන් කිවුවොත් ගෘප් ප්‍රොජෙක්ට් එක.) විදියට කලේ අපේ කෙමෙස්ට්‍රි ලැබ් එක පිළිසකර කරන එක. ලැබ් එකේ තීන්ත ගාලා, අපිට හදන්න පුලුවන් තත්වයේ තිවුන අබලන් බඩු බාහිරාදිය පිළිසකර කරලා. සබ්ජෙක්ට් එකට අදාළ ඉගෙනුම් උපකාරක සටහන් එහෙමත් බිත්තිවල එල්ලලා සෑහෙන වැඩ ගොඩක් කලා අපි දහදෙනා එක්කාසු වෙලා.
දුක තමයි රංජනීලයෙ අම්මෙ කිවුවලු, තීන්ත වැඩේ පටන් අරන් ටික දවසකින් තීන්ත වලට කිරිහාමියව ඇලජික් වෙලා ඒකගෙ ඇඟ පුරාම ලප්ලන්තෙ වගේ පලු දාන්න පටන් ගත්තා.
ඉතිං එදා ඉඳන් අපි කිරිහාමියව ප්‍රධාන මෙහෙයුමෙන් ඉවත් කරලා වෙනත් අවශේෂ කාර්යයන් සඳහා අනුයුක්ත කෙරෙවුවා. එහෙම වෙලාවක තමයි කිරිහාමියට මලියගෙන් අණක් ලැබුනෙ ෆිසික්ස් ලැබ් එකෙන් ඇණ ටිකක් අරන් ඇවිත් ඇදවෙලා තිවුන රාක්කයක් කෙලින් කොරන්නෙයි කියලා.
බිත්තිය පැත්තට මූණ දාල තීන්ත ගාන අපිට මෙහෙම ඇහෙනවා.
“ටොක් ටොක් ටොක්!”
“මගුල!”
“ටොක්”
“ආව් අතත් තැලෙනවා තව පොඩ්ඩෙන්!”
“ටොක්”
“ඒකත් නැමුනා”
“ටොක්”
“දඩබඩස්!!!”
“මහ බාල ඇණ! අපේ සිස්ටර් (ප්‍රින්සිපල්) ලෝබකමට ලාබෙට අරන්ද කොහෙද!!!”
අපෙත් ඕපාදූප සෙවීමේ සහජ ආශාව නැගී ආ නිසා කිරිහාමිය රාක්කෙ බිම අත ඇරලා දොස් දෙවොල් තියන තැනට ගියා බලන්න.
මදැයි කොලා! මූ රාක්කෙ අටවන්න හදලා තියෙන්නෙ ප්‍රකාශ අල්පෙනෙත්ති වලින්. කිරිහාමියා කවදාවත් ෆිසික්ස් ප්‍රැක්ටිකල් එන්නෙ නැති නිසා ඌ ඒවෙනකම් ඒව දැකලා තිබිලා නෑ!
************************
මායි කිරිහාමියයි කාලයක් ඇල්ෆා එකේ පිචිස් ක්ලාස් එකකට යද්දි වෙච්චි සීන් එකක් තමයි මේ.
ඔන්න ඉතින් අපි දෙන්නා කාර්ඩ් මාර්ක් කරන්න පෝලිමේ ඉන්නවා. මතක ඇතිනෙ ඒ කාලෙ කාර්ඩ් පෝලිම්. මහා ජන සන්නිපාතයක් මැද්දෑවෙ අතරමං වෙලා හරි අමාරුවෙන් නෙව ක්ලාස් එකේ දොර හොයා ගන්නෙ.
“යශ්, අර බලහන්කො අරය.” ඔන්න අර මහා ජනසන්නිපාතෙ මැද්දෙ කිරිහාමිය ඇඹරෙනව.
“කෝ කවුද?” කවුද කියල ඇහුවට මම දන්නව මූ මේ පෙන්නන්නෙ මොකෙක් හරි කොල්ලෙක්ව තමයි කියල.
“අර රතු පාට කොලර්ලස් ටී එක ඇඳන් ඉන්නෙ. කොන්ඩෙ කර්ල්. සුදු.” ඔන්න ඉතින් මගෙත් උනන්දුව වර්ධනය වෙනවා ඒ විස්තරේ ඇහෙනකොට.
කිරිහාමියා දැන් මගෙ ඇස් දෙකට ඩිරෙක්ෂන් එක කියනවලු මෙන්න මෙහෙම.
“ඔන්න මේ පේලිය දිගටම බලාගෙන යමං.
ඔය පේලිය නෙමෙයි මැට්ටෝ කෙමෙස්ට්‍රි රිවිශන් එකේ පේළිය.
ඔව් ඔව් ඔය තාප්පෙ කෙරෝලෙ එක.
ඔහොම ගිහින් අර ගහ පහු කලාම
කැන්ටිම ගාව තියෙන්නෙ
ලොකු කටවුට් එක.”
මටත් මල පනින්නෙ ඔය වගේ අවස්ථා වලදි තමයි.
“ඇයි ගොන් වහන්සෙ කෙලින්ම කැන්ටිම ගාව කිවුවනම් ඉවරනෙ.”
“හරි හරි බං අහපන්කො ඉතින්.”
“ඔන්න කැන්ටිම ඉස්සරහ තියෙන කටවුට් එකේ
ALPHA කියලා ලොකු අකුරෙන් ගහලා තියෙන්නෙ.
අන්න ඒකෙ H අකුර යට
හිටන් ඉන්නව කොල්ලෙක්.”
“දැක්කද??”
කිරිහාමිය තොරණෙ විස්තරේ ඉවරවෙලා මම එතන හොයාගන්නකම් බොහෝම උනන්දුවෙන් මගෙ මූණ දිහා බලන් ඉන්නවා.
“උගෙ කොහෙද කොණ්ඩෙ කර්ල්. ඒ තට්ටයෙක් නෙ.” මම ඇහුව.
“ආන්න හරි, දැන් බලන්න ඊට පිටිපස්සෙ ඉන්නවා
කලු පාට කෙල්ලො දෙන්නෙක්.”
“ඊට එහායින් ඉන්නවා කහ පාට ටී ශර්ට් එකක්.”
“ඒ කොල්ලගෙ කරට අත දාගෙන ඉන්නෙ අර.”
“රතු පාට කොලර්ලස් ටී එක ඇඳන් ඉන්නෙ.
කොන්ඩෙ කර්ල්,
සුදු”
යාන්තම් මම කොල්ලව හොයාගත්ත. ඒත් ඒ කොල්ලගෙ මූණෙ නම් කිසිම ප්‍රියමනාප ගතියක් නෑ. නහය අකුලගෙන බුම්මන් ඉන්නව.
“සික් බලපන්කො උගේ මූණ.”
“අම්මේ ඇති යන්තම්. ඔන්න අපි ළඟටම ආව.”
“මොකක්?”
“බලා….න්නකෝ…. ඊට පිටිපස්සෙන් ඉන්න කොල්ල. අර අර අරය නේ....”
මේ ටිකත් කියන්නම ඕනෙ. ඉක්කෝලෙ කාලෙ යාලුවන්ගෙන් තවමත් මගෙත් එක්ක ඉන්න, මුල අමතක නැති කීපදෙනාගෙන් කෙනෙක් තමයි කිරිහාමියා. ලංකාවෙ ඉන්න සමහර යාලුවොත් කරදරේකදි අහක බලන කාලෙ, මූදු දෙකකට එහා ඉන්න කිරිහාමියා තවමත් අපේ යාලුකම අමතක නොකල එක මට ගොඩාක් වටිනවා......
ඉක්කෝලෙ කාලෙ තවත් රසකතා කිහිපයක්....
1. දුකාගේ දුක :
2. කොමාගේ කොම් :
3. බයිට් :