අප්‍රිකානු කෙල්ලෙක්ගේ වගේ මගේ තොල් මහතයි. හම දුඹුරු කහ පාට. ඔයා කැමතිම පාට ඒක කිව්වට ඔයාගේ ආසම පාට "දම්" පාට බව මම පස්සේ දැන ගත්තා. එකම තේරුම වගේ පෙනුනට කැමතියි ආසයි කියන්නේ අහසයි පොළවයි වගේ වෙනසක් තියෙන වචන දෙකක් වග තේරුම් ගත්තේ ඔයාගෙන්. ඒ වෙනුවෙන් ජපන් කෙල්ලෙක් විදිහට අංශක අනූවට නැමිලා " ස්තූතියි" කියන්න කැමතියි. ඔයාගේ කට කොණක ඉදිආප්ප රැල්ලක් ඇලවිලා. ඉන්න මම ඒක අහක් කරන්නම්.
ඔයාට ඉදිආප්ප කිව්වොත් වෙන මුකුත්ම ඔනි නෑ. ඒත් මට හොඳටම විස්වාසයි ඔයාට තුන් වේලටම ඉදිආප්ප දුන්නොත් ඔයාට ඉදිආප්ප එපා වෙන වග. ඒ ඔයාගේ හැටි!! මම ඒකත් හොඳටම දන්නවා. බැඳීම් හැමදෙයක්ම හිටගෙන ඉන්නේ කෑම උඩ. ඔයා වුනත් දවසට විසිතිස් වතාවක් මගෙන් අහන ප්‍රශ්නේ "සුදූ ඔයා කාලද?". මමත් එහෙම අහන කන් ඉන්න පුරුදු වෙලා. සමහර වෙලාවට කාලා හිටියත් "මට කන්න බෑ වගේ අද" කියන්න මම ආසයි. පස්සේ ඔයාගේ බැනුම් කෙළකෝටියට අහු වෙලා තෙමෙන ගමන් ආදරෙන් තෙත් වෙන්න කැමතියි. හොඳට කියවන්න කලින් වාක්‍යය. මම එතන කැමතියි ආසයි කියන වචන පාවිච්චි කරපු විදිහ ගැන.
ඔයා දන්නවා මට පිස්සු වග. මම මොකක් හරි විකාරයක් කිව්වම "මගේ පිස්සි" කියලා කියන්නේ ඒකයි ඔයා. ඒ ආදරේට. ඒත් ගෙවල් පැත්තේ ගෑනු පිස්සි කියන්නේ ආදරේට නෙමෙයි. එක වචනෙට හැඟීම දෙකක්. ඔයා දන්නවා මාසයකට සැරයක් මම කවුන්සිලින් යන විත්තිය. එයාලා කියන්නේ මට පිස්සු නෑ මානසික රෝගයක්ලු තියෙන්නේ. හැමෝටම හැදෙනවලු. ඒත් ඒ හැමෝම ඒ වාට්ටුවට කියන්නේ පිස්සු වාට්ටුව කියලා. "සබ්බේ සත්තා උන්මත්තකා"ලු නේද?
මට වෙලාවකට හිතෙනවා ඔයාගේ බෙල්ල මිරි කන්න. තුවායක් වගේ මිරිකලා ඔයාගේ ඇඟෙන් ඔයාව නිස්සාරණය කරගන්න. පස්සේ පව් කියලා හිතෙනවා. ඔයා මැරෙන්න බයයිද? මම නම් බයයි. ඔයාට පිස්සු නැති නිසා ඔයා බය නැතිව ඇති නේද? මේ බෙහෙත් වලට හරියට නින්ද යනවා. ඒකයි ඔයාගේ කෝල් වලට ආන්ස්වර් කරන්න බැරි වෙන්නේ. නැගිට්ටාට පස්සේ නාන්න ඔනි. හරියට වැඩ. වැඩ අස්සේ ඔයාට කතා කරන්න බෑ. මට හිත් ගොඩක් නෑ නෙහ්. පිස්සු කෙල්ලෙක්ටත් තියෙන්නේ එක හිතයි.
කෝ මේ වඩේ එක කන්න. ඔයා කන්නේ නැත්නම් කියන්න. මම හැන්ඩ්බෑග් එකේ දාගෙන යන්නම් ගෙදර. "සුරතලි" ආසයි වඩේ කන්න. අපි දැන් මෙතනින් යමුද? පයින් යන්න නම් බෑ. කකුළ් රිදෙනවා. ඔයා මාව උස්සගෙන ඉගිලිලා යන්න. තටු නම් වස කරදරයි. තටු ගහලා ඉගිලෙන එන මහන්සියි. ඔයාට තියෙන්නේ වළාකුළු වගේ පාවෙන්න. වළාකුළු යන දිහාවකට මාවත් එක්කගෙන යන්න. ඔයාට වාහනයක් නැති එක හොඳයි. මට නැත්නම් බය වෙන්න වෙයි ඔයා හැප්පිලා මැරෙයි කියලා. එහෙම වුනා නම් මිනිය කැත වෙනවා. හැප්පිලා මැරුනත් මූණ පරිස්සම් කරගන්න.
ඔයා බයයි නේද මගේ අතින් වත් අල්ලන්න. මෝඩයෝ! කෙල්ලෙක්ට කන්න අරන් දුන්නාට මදි. අතපත ගාන්නත් ඕනි. ඉබින්නත් ඕනි. උම්මා දුන්නා කියලා බඩ දරු වෙන්නේ නෑ. වුනත් මොකෝ. ඔයා බඩ වෙන්නේ නෑ නෙහ්...! ඒකත් මට නෙහ් ඉතින්. අපි විහාරමහදේවි එකට යමු. එතන කපුටෝ කක්කා නොකරපු බංකුවක් හොයාගෙන වාඩි වෙමු. මම ඔයාට ඇහෙන්න සින්දුවක් කියන්නම්. ඔයාට තියෙන්නේ අහගෙන ඉන්න. අහගෙන ඉන්න විතරමයි හරිද?
***************
කන වෙලාවට කතා කරන්න එපා කිව්වට ඔයා කැමතිම කොයි වෙලාවෙත් චූටි කිරිල්ලියක් වගේ කියවන්න. ඔයාට හැමදේම පේනව. මගෙ උඩු තොලේ දකුණු කෙලවරට වෙන්න ඇලිලා තියන ඉඳිආප්ප රැල්ල පවා ඔයාට පේනව. දන්නවද? අපේ අම්මත් ඔය වගේ. ඉස්සරහට නැමිලා පරිස්සමට මගෙ කට වටේ තැවරිච්ච පාන් කුඩු චීත්ත පොටෙන් පිහදානව. ඊට පස්සෙ තෙල් හලලා ඉස්මුදුන පිටි අල්ලෙන් තලලා තමයි කොණ්ඩෙ පැත්තෙන් බෙදන්නෙ. තෙල් ගෑවිච්ච අත්දෙක චීත්තෙ පිහදාගෙන පවුඩර් කුඩු ටිකක් අල්ලෙ පොඩි කරලා කම්මුල් දෙකේම අතුල්ලනවා. ඒ මුළු වෙලාවෙම අම්මා මොනමොනවදෝ කියවනව. කියවිල්ල නවතින්නෙ ඇස් දෙක හීනි කරල මගෙ මූණ දිහා ආදරේ උතුරන්න බලන් ඉන්න වෙලාවට විතරයි. ඔය ඔය, ඔයා බලන් ඉන්නෙ, අන්න ඒ වගේ!
ලෝකෙ ආපස්සට කැරකිලා ආපහු පුංචි කාලෙට යන්න තියෙනවනම් මං කැමතියි. අම්මගෙ හීන් ඇස් දෙකට තව එකපාරක් එබිලා බලන්න තිබුණනම් මං ආසයි. ඔයාට තියෙන්නෙ අම්මගෙ ඇස් දෙක.
බෙහෙත් කෝස් එක ඉවරවෙනකම් ඔයා හොඳට කන්න ඕන. මේ බේත්වලට ඇඟ වේලනවා. කෙට්ටු ගැහෙනවා. බලන්න බටර් පාට සුරංගනාවියක් වගේ හිටපු ඔයාගෙ ඇඟේ හැටි! මට දුකයි. ඔය වඩේ එක ගත්තෙ ඔයාට. ඉඳිආප්ප දහයක් කාලා එක උස්මට වතුර වීදුරු තුනක් බීගත්තාම බඩ ගල් ගැහෙනවා. නෑ! එහෙම වෙනවා කියල මම හිතනවා. හිත තමයි ලු හැමදේටම මුල් වෙන්නෙ. ඉඳිආප්ප දහයක් කෑවම උස්මුරුත්තයි කියල හිතන්න පුරුදුවෙන එක අමාරුයි තමා. 'සුරතලී'ටත් අමාරු ඇති, පැටව් පස්දෙනෙක්ට කිරිදෙන්නත් එපායැ. ඇඟපතේ අමාරුව. ඒක හිතේ අමාරුවට තරම් දරුණු නෑ. ඒත් නොසලකා ඉන්න බෑ. ඒ කොයිහැටි වෙතත් ඔය වඩේ එක ඔයාට. මං සුරතලීට දෙන්න චූං පාං කරත්තෙන් අඩුවට පරණ පාන් බාගයක් අරං දෙන්නම්කො. හොඳ ළමය වගේ කන්න.
අපිට වාහනයක් තිබුන නම් අම්මා කහ ඉර උඩදි හැප්පිලා මැරෙන්නෙ නෑ. වාහනේකින් ඔයාව ඉස්කෝලෙ ගාවට උදේ හවා එක්කන් යන්න, එක්කන් එන්න පුළුවන් උනානම් ඔයා සුදුගවුම පිටින් දිලිසෙන රතු කාර් එහෙක නැගලා නොදන්නා පාරවල්වල අතරමං වෙන්නෙත් නෑ. වාහන අයිතිකාරයො දිව්‍යලෝක සම්පත් විඳින්නෙ නැති බව ඇත්ත. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ එයාල ජීවත් වෙද්දි අපි මැරෙනවා. නැත්නම් මැරි මැරි උපදිනවා.
ඔය වඩේ එක කන්න හොඳ ළමය වගේ. නැත්තම් මං කවන්නද? ඉක්මනට කාලා දුවමු වාට්ටුවට. උම්මා දුන්නා කියල බඩදරු වෙන්නෙ නෑ. අඩු මාසෙන් ඉපදිච්ච ඔයාගෙ සේපාලිකා මල මට 'මාමේ' කියන්නත් කලින් ඇස් පියාගත්තු වග ඔයා දන්නෙත් නෑ. දැනගන්න ඕනෙත් නෑ.
පරිස්සමට නැගිටින්නකෝ. මං ඉන්නවනෙ. ඔයා ආයෙම ඉස්සර වගේ හුරුබුට්ටං තාලෙට ඇස් නටවලා 'සුදු අයියා' කියනකම් මං ඔයා ගාවම ඉන්නවනේ. ඇයි ඊට පස්සෙත්, හැමදාටමත් මං ඔයාව මලක් වගේ, ඇහැක් වගේ බලාගන්නවනෙ.
තවමත් කියෝනව. පිස්සු වාට්ටුවට හැරෙන්නෙ මෙතනින් පිස්සියේ. ඔයා හරි. ඒ පිස්සුවයි, මේ පිස්සුවයි දෙකක්. මං කියන්නෙ හැඟීම!
ඉතින් කියන්න. මං අහගෙන ඉන්නෙ. පිස්සි!
ප.ලි.
මේ කතාවේ පළමු කොටස ලියන්නේ 'අමාගේ හීන සාප්පුව' ලියන විසල් සේනාතිලක. ඒ කෙටිකතාවකටත් වඩා කලබලයේ ඔහේ ලියැවුන ෆේස්බුක් ස්ටේටස් එකක් විදියට.
බස්සාගේ එකවුන්ට් එක හරහා ඒ ස්ටේටස් එක අපි දෙන්නා කියවනවා. ඉන් පස්සේ මගෙන් ඒකට පිළිතුරක් ලියැවෙනවා. විසල්ට යවපු ඒ පිළිතුර අමුණලා විසල් මේ කෙටිකතාව එයාගෙ බ්ලොග් එකේ දානවා.
කවි-කෙටිකතාවලට වෙන් වුන නිර්මාණාත්මක බ්ලොග් අඩවිවලට, සිංහල බ්ලොග් අවකාශය තුලදී 'දේශපාලන සහ කාලීන' මාතෘකා යටතේ ලියවෙන බ්ලොග් අඩවිවලට තරම් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. ඒ හැටි. ඒත් අමාගෙ හීන සාප්පුවට වරක් දෙකක් ගොඩවැදිලා බලන්න.
තවම පාසැල් වයසේ පොඩි එකෙක් නිසා වැඩියෙ බ්ලොග් අවකාශය ඇතුලෙ තෙම්පරාදු වෙලා නැහැ. එක්සෑම් නිසා නිතර කමෙන්ට් කරන්න ජාලගතවෙන්න එහෙමත් තහංචි!
කොහොමින් කොහොම හරි ෆේස්බුක් වෝල් එකේ ලියලා කාලයත් එක්ක අතුරුදන් වෙන්න නියමිතව තිබුන නිර්මාණ විසල් බ්ලොග් අඩවියකට එක්කාසු කරනවා. යමු. අපි හීනයක් දෙකක් රහ බලලා එමු.
බූන්දියේ පලවුන විසල්ගේ ලස්සන කෙටිකතාවක් මෙතනින් බලන්න.