Tuesday, December 31, 2013

හසරැලි මැදින් නව වසරක් උදාවේ........!!!







ඔන්න ඉතින් දෙදාස් දහතුන අවුරුද්ද ගෙවිල ගෙවිල නැට්ටටම ගෙවිලා ඉවර වෙලා යන්නයි හදන්නෙ. ඒත් දුක් වෙන්ඩ එපා දෙදාස් දාහතර අවුරුද්ද එල්ලිලා ඉන්නවා දෙදාස් දහතුනේ නැට්ටෙ. අපි ඔයාකාර රතිඤ්ඤා පුපුරෝලා, අහස් කූරු උඩ ඇරලා, නිලා කරකෝලා සුභපතන්නෙ 2013 ගෙවිලා යන නිසාද, 2014 පටන් ගන්න නිසා ද කියන එක හරිම ප්‍රහේලිකාවක් බස්සිට නම්.


කොහොමින් කොහොම වෙතත් දෙදාස් දහතුන මගෙ ජීවිතේ එක පරිඡ්චේදයක අවසානයත්, අලුත් පරිඡ්චේදයක ආරම්භයත් සනිටුහන් කොරාපු අවුරුද්දක්. ඇයි හත්තිලව්වේ බස්සි බ්ලොග් ලෝකෙට පය ගැහැවුවෙත් දෙදාස් දහතුන අවුරුද්දෙ නෙව. ඉතිං මේ ගෙවිල යන අවුරුද්ද මටනම් අමතක නොවෙන මතක ගොන්නක් තෑගි කරල තමයි මේ ටටා කියල යන්ට තනන්නෙ.

 
දෙදාස් දාහතර අපේ ජීවිත පොතට එකතු කරනවා මොනවත්ම නොලියාපු, නැවුම් සුවඳ හමන, කිරිසුදු පාට පිටු තුන්සිය හැට පහක්ම. නැවුම් සුවඳ හිතට සහනයක් ගේනවා තමයි. ඒත්, දවස ගෙවිලා, පිටුව අවපැහැ ගැන්වෙන්න කලියෙන්, ඔයා ගාව තියෙන ස් පා වලින්, ඔයා ආස කරන විදියට ඒ පිටුව පාට කරන්න. ලැජ්ජාවක්, බයක් නැතුව මුලු ලෝකෙටම වුනත් පෙන්නන්න පුලුවන් විදියෙ පාට තෝරගන්න. පරිස්සමට, සීරුවට ස් පා කිහික් කලවම් කරන්න. එකම එක පාටකින් විතරක් මුලු කොලේම පුරවන්න ගියොතින් ඔයාගෙ සිත්තම ඔයාටම එපා වේවි.




 
පාට හිඟ කෙනෙක් හිටියොත් ඔයාගෙ පාට එයාටත් දෙන්න. හුවමාරුවකට කැමැත්තෙන් ඉන්න උදවියත් එක්ක පාට හුවමාරු කරගන්න. හැමෝගෙම සුදු පිටුවල පා සිත්ම් ඇඳෙන හැටි බලලා සැනසිල්ලෙන් හිනාවෙන්න.

 
පාට හිඟ නැතුව තිවුනත්, සිත්තමක් සම්පූර්ණ කරගන්න බැරි කෙනෙක් මුණගැහුනොත් දෙපාරක් හිතන්නෙ නැතුව එයාට උදව් කරන්න. එයා ඔයාට තීන්ත බිංදුවක් වත් නොදෙනවා වෙන්න පුලුවනි, වචනෙකින්වත් ස්තූතියක් නොකරනවා වෙන්න පුලුවනි. ඒත් ඔයාගෙ උදවුවෙන් හැඩ ගැන්වෙන එයාගෙ සිතුවමේ කාන්තිය ඔයාගෙ ජීවිතේ එලිය කරාවි.





 
කවි පද ටිකකුත් ලිවුවා ඕන් 2014 අවුරුද්දට ආසිරි පතලා.

 
සැණකෙලි සිරින් ලොව පිබිදෙන වෙලාවේ
ගිණිකෙලි නදින් අහසම සැරසුනාවේ
සිතිවිලි රුවින් විකසිත හද තලාවේ
හසරැලි මැදින් නව වසරක් උදාවේ

 
පෙට්‍රල් මිල වගේ සොම්නස වැඩි වෙන්නයි
මොඩ්ලර්ලගෙ ඇඳුම් මෙන් දුක අඩු වෙන්නයි
මෙන්ටල් අවුල් සේරම දුරු වී යන්නයි
පිස්ටල්, කඩු, කිණිසි සෙල්ලම් නොදකින්නයි

 
තියන තියන හැම පියවර සුභ වේවා
කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා





බස්සිගේ නවාතැනට ගොඩවදින කුරුලු යාලුවො හැමෝටම වාසනාවන්ත නව වසරක් වේවා....!!!


Sunday, December 29, 2013

මගෙ නොවන මගෙ කවිය




සාගරේ කළඹලා - වදන් මුතු වැල් නෙලා
ආදරේ රන් හුයක - සීරුවෙන් අමුණලා
කඳුලකින් මුතු කළඹ - ඔප දමා සරසලා
මගෙ නොවන මගෙ කවිය මම පවනෙ පා කලා


මද පවන රුදු වෙලා - වියරු සුළි කැරකිලා
ධූලි ගිනියම් වලා - නෙත දවයි මා වෙලා

දනිමි හද පෙලන බැව් එක හෙලා,
හිඳිමි එනමුදු තවම මග බලා



දෙනෙත් හැර බැලිමි රුදු කුණාටුව වියැකිලා,
ගෙතූ කවි වැල් ලිහී මුතු දසත විසිරිලා.....

මගේ හද මියැදිලා
ඉදින් මට පලක් නැත වැලපිලා......




Wednesday, December 25, 2013

ඔයා - එයා සහ මම



මම ජනෙල් තිරය මෑත් කරලා කළුවරට එබුනා. මල් වට්ටියක් ඉහිරිලා වගේ අහස පුරාම නිවි නිවී දැල්වෙන තාරකා. වෙලාව රෑ එකොළහට විතර ඇති. නිවාස සංකීර්ණයේ ගොඩාක් ගෙවල් අඳුරුයි. මුලු ලෝකෙම නිදි ඇති. මගෙත් ඇස් පිහාටු බරයි. ඒත් ඉතින් හෙට chemistry ක්ලාස් යනකොට ඉවර කරගෙන යන්න පතරංග ජාතකයක් වාගෙ ටියුට් එකක් තියෙනව නෙ. මම ආයෙමත් පෑන අතට ගත්තා.


ජනෙල් තිරය වහලා දාන්න අත දිගු කරනකොටම මට ඔයාගෙ කාමරේ ලයිට් එළිය ඇහැ ගැහුනා. ඔයා තරහෙන් වාගෙ ෆෝන් එක ඇඳ උඩල වීසි කරනවා මට කවුලුව අතරෙන් පෙනුනා. අදත් රණ්ඩුවක් වෙන්න ඇති. එයා ඔයාගෙ ජීවිතේට ආපු දවසෙ ඉඳන් මම ඔය මූනෙ හිනාව දැක්කෙ හරිම අඩුවෙන්.


"ඔයා හොඳින්ද?" මම කටු වැඩට ගෙනා කොලේක ලියලා ජනේලෙන් ඔයාට පෙන්නුවා.


"බොරු රැඟිලි එපාවෙලා." ඔයා හිනාවෙවී උත්තරේ ලියාපු කොලේ මට පෙන්නුවා.


"මටත් දුකයි" මම ලිවුවා.






"මම ආදරෙයි ඔයාට" මගේ අත පිලිපැද්දේ හදවතින් අණකරන දේ මිස මොලෙන් කියාපු දේ නෙමෙයි. ඒත් ඒක පෙන්නන්න හදනකොටම ඔයා ජනෙල් තිරය වැහුවා.




මම ලස්සන කියලා පිරිමි ළමයි අදහස් කරන දේ අහලකටවත් ළං වෙන්න බැරි කෙල්ලෙක්. මම කැමති බාච්චු වාගෙ ලොකු ටීෂර්ට් අඳින්න. ඇඟේ හැඩයක් පේන ඇඳුමක් අඳින්නයි කියලා මට අපේ අම්මා විතරක් නෙමෙයි ඔයාලගෙ අම්මත් කියල තියෙන වාර අනන්තයි. ඒත් ඩෙනිමයි, ලොකු ටීශර්ට් එකකුයි ඇඳලා, flip flops දෙකට බැහැලා ඇවිදිද්දි මොන සැපක්ද?






එයා අඳින්නෙ ලස්සන කලවා යුගලය පේන කෙටි සායවල්, ඇඟේ හැඩේ ඉස්මතු වෙලා පේන ලස්සන හිර ගවුම්, ඇඳුමට ගැලපෙන අඩි උස සපත්තු..... ඔයා විතරක් නෙමෙයි මම දන්න තරමින් ඉස්කෝලෙ හැම කොල්ලෙක්ම හීන මවන්න ඇත්තෙ ඒ වාගෙ කෙල්ලෙක් ගැනම තමයි.


ඔයා ඒ අතින් වාසනාවන්තයි. මුලු ඉස්කෝලෙම කොල්ලො ඔයාට ඉරිසියා කරනව ඇති.


මම Daddy බෑන්ඩ් එකේ පිස්සු සින්දුවක් දාගෙන නටන්න ගත්තෙ කම්මැලිකමට. මට එයාට වාගෙ ලස්සනට නටන්න බෑ. මම කරන්නෙ පිස්සු විකාර ඇක්ෂන් දාන ගමන් කණ්නාඩියෙන් මගේම විකාර බලලා සතුටු වෙන එක. T.V. එකේ යන එක එක commercials වල තියෙන කොටස් විකාර විදියට රඟපාන්නත් මම කැමතියි.






ඒත් ඒවා කොල්ලෙකුගේ හිත ඇදගන්නා ගෑනු ළමයෙක්ට ඔබින දේවල් නෙමෙයි වෙන්න ඇති.




*********************************************



සෙනසුරාදා පංති ඉවරවෙලා මම පාක් එකට ගියේ වෙනදා වගේම කතන්දර පොතක් ඇතුලෙ අතරමං වෙන්න. කවුරු හරි මා දිහා බලාන ඉන්නවා කියලා හැඟීමක් ආපු නිසා මම හෙමින් ඔලුව උස්සලා බැලුවා. ඔයා හිනා වෙවී මා දිහා බලාන ඉන්නව.







"මොකෝ මේ පැත්තෙ?"


"අදත් පරක්කුයි." ඔයා ඔරලෝසුව බලමින් කිවුවා.


"හ්ම්ම්.... ඔයා ආවෙ මාව බලන්න නෙමෙයි..." මගේ හිත මටම හිනාවුනා.



ඒත් එක්කම රතු පාට හුරුබුහුටි sports කාරෙකක් ඇවිත් අපි දෙන්න ඉන්න බංකුව ගාව නැවැත්තුවා.






"යන්නම්." ඔයා කීවෙ කලබලෙන් වාගෙ.


කාරෙකට නැග්ග ඔයාව එයා උණුසුම් හාද්දකින් පිළිගත්තා. ඒ අතරෙම ඔයාගෙ බෙල්ලට උඩින් මා දිහා පුරුදු විදියට ඔරවලා බලන්නත් එයා අමතක කලේ නෑ. එයාගෙ අලුත් කොණ්ඩා මෝස්තරේ දිහා මම ආසාවෙන් බලාන හිටියා. ඇත්තටම එයා ලස්සනයි. ඒත්........




********************************************* 



ඉරිදා තිවුන රගර් මැච් එකට මම මගේ ට්‍රම්බෝන් එකත් උස්සාන ආවෙ අපේ ටීම් එකට Cheer කරන්න. වාදකයෝ විස්සක් තිහක් අතරේ තවත් එක්කෙනෙක් විතරක් වුනු මාව ඔයාටනම් පේන්නවත් නැතුව ඇති.


එයාගෙ අලුත් කොණ්ඩා මෝස්තරේ අවුවට දිලිසෙනවා. Cheer leaders ලා එදා අලුත්ම steps වගයක් පුරුදු වෙලා ඇවිත්. හතුරු ඉස්කෝලෙ කොල්ලොත් බලන්නෙ අපේ Cheer leaders ලා දිහාමයි.


මැච් එක ඉවර වෙලා ඔයා විවේකාගාරයට ඇවිදගෙන එන හැටි මම ආදරෙන් බලාන හිටියා.


"මොකද්ද මෙතන වෙන්නෙ?" එකපාරටම ඔයාගෙ කටහඩ ඇහුනෙ අහස ගුගුරන්නා වාගෙ. එයා අනිත් පිලේ නායකයාගෙ උරහිසට හේත්තු වෙලා බර කතාවක්.




එතන සිදුවුන වචන හුවමාරුව මට ඇහුනෙ නැතත්, හෙල්මට් එක දමලා ගහලා ආපහු යන ඔයාගෙ මූණෙ තිවුන කලු වලාකුලු මම දැක්කා.






එදා රෑ මම පොත් ගොඩත් වටකරගෙන ඇඳට වෙලා පාඩම පටන් ගන්න ලෑස්ති උනේ. ඔයා එදා තිවුන ඩී.ජේ. එකට යන්න ලෑස්ති වෙලා.


"ඔයා එන්නෙ නෑද්ද?" ඔයා ලොකු අකුරෙන් කඩදාසියක ලියලා කවුලුව දිහාවට හැරෙවුවා.





"පාඩම් කරනවා." මම උත්තර බැන්දා.




"අපරාදෙ...." ඔයා පසුතැවෙන බව මට ඔයාගෙ මූනෙන් කියන්න පුලුවනි.




මම ඔයා කැමතිම සින්දුව දන්නවා. ඔයා කන්න කැමතිම කෑම. අඳින්න ආසම ටී ෂර්ට් එක පවා දන්නවා. ඔයාගෙ හීන ගැන අකුරක් නෑර ඔයා කිවුවෙ මටයි. ඒව දන්නෙ මම. මම විතරමයි.


එහෙනම් ඇයි ඔයාට මේක තේරෙන්නැත්තෙ? ඔයා මගෙ. මගෙ විතරක්මයි.


මම අක්කාගෙ Party Frock එකකුත් ඇඳගෙන ඩී. ජේ. එකට ගියේ ඔයාට එදා පෙන්නන්න බැරි වුන යමක් අතේ ගුලි කරගෙන.


ඔයා පුදුමෙන් වගේ මා දිහා බලාන හිටියා. මීට කලින් කවදාවත්ම මම ගවුමක් ඇඳලා නැති නිසා වෙන්න ඇති.





"මම ඔයාට ආදරෙයි" මම මෙතෙක් වෙලා අතේ ගුලි කරගෙන හිටපු කඩදාසිය දිගඇරියෙ හීනෙන් වගේ.


ඔයත් කමිස සාක්කුවෙන් කඩදාසියක් එලියට අදිනවා.


"මම ඔයාට ආදරෙයි" ඔයාගෙ ඇද අකුරු වලින් ඒකෙ ලියලා තිවුනා.



ඔයා මගේ තොල් සිපගන්න ළං වෙද්දි එයා ඈත ඉඳන් ගස්සාගෙන අපිට පිටිපස්ස හරවගත්තු හැටි මට පෙනුනා. එයාගෙ කෙස්වැටියෙ දිස්නයත් එක්ක ඇස් පියාගත්තු මම ඔයාගෙ තුරුලෙ උනුහුමට තව තවත් ගුලිවුනා..... 






You're on the phone with your girlfriend-she's upset,
She's going off  bout something that you said
'Cause she doesn't get your humor like I do.


I'm in the room, it's a typical Tuesday night.
I'm listening to the kind of music she doesn't like.
And she'll never know your story like I do.


But
she wears high heels,
I wear sneakers.

She's cheer captain
And I'm on the bleachers
Dreaming about the day when you wake up and find
That what you're looking for has been here the whole time.


If you could see
That I'm the one who understands you.
Been here all along. So, why can't you see

You belong with me,
You belong with me?


Walking the streets with you in your worn out jeans
I can't help thinking this is how it ought to be.
Laughing on a park bench thinking to myself,
"Hey, isn't this easy?"


And you've got a smile
That can light up this whole town.
I haven't seen it in a while
Since she brought you down.


You say you're fine - I know you better than that.
Hey, what you doing with a girl like that?


Dreaming about the day when you wake up and find
That what you're looking for has been here the whole time.


If you could see
That I'm the one who understands you,
Been here all along. So, why can't you see
You belong with me?


Standing by and waiting at your backdoor.
All this time how could you not know, baby?
You belong with me,
You belong with me.


Oh, I remember you were driving to my house
In the middle of the night.
I'm the one who makes you laugh
When you know you're 'bout to cry.
I know your favorite songs,
And you tell me about your dreams.
Think I know where you belong,
Think I know it's with me.


Can't you see
That I'm the one who understands you,
Been here all along. So, why can't you see
You belong with me?


Standing by and waiting at your backdoor.
All this time how could you not know, baby?
You belong with me,
You belong with me.


You belong with me.
Have you ever thought just maybe
You belong with me?


You belong with me……………







Saturday, December 21, 2013

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න



අපි හැමෝම හීන දකිනවා. හීන නිසා අපි ජීවිතේ ඉස්සරහට යනව. හීන පිරුනු ජීවිතේ ගැන අපේ බස්සත් ඉස්සර එකෝමත් එක දවසක මාත් එක්ක කතා කර කර ඉඳලා උන්දැගෙ බ්ලොග් එකේ මේන් මේම සටහනක් තියල තියෙනවා. පස්සෙන් පහු බස්සිත් දවසක් ලිවුවාලු හීන ගැන ටිකක් බරපතල මෙවුවා එකක් මේන් මේම.



හා හා ඒ මහාප්‍රාණ හීන ගැන නෙමෙයි මම අද කියන්ට යන්නෙ මගේ සුට්ටං අල්පප්‍රාණ හීන වට්ටෝරුව ගැන.



සුට්ටං බට්ටා කාලෙ නම් මම හීන දැක්කෙ පුළුන් වලාකුලු වල ගෙවල් හදාන ඉන්න සුරංගනාවියො ගැන, මල් පෙති මැද්දෑවෙ දොයියන සූටි පණු පැටව් ගැන වාගෙ බෝම ප්‍රාථමික ගණයේ මෙවුවා ගැන. මට මතකයි මම මොන්ටිසෝරි යන කාලෙ හිතන් හිටියෙ පැෂන් ෆෘට් මලක් ඇතුලෙ තියෙන්නෙ සුරංගනාවියෙකුගෙ ගෙදරක් කියලා. 



අද නිවාඩු දවසෙ ඔයාලත් පැෂන් ෆෘට් මලක් ගලවලා බලන්නකෝ බොරුද කියලා. ගේ මැද්දෙ වටේටම ලයිට් දාපු උස කුලුනක් තියෙනවා. ඒ වටේට මල් පෙති වලින් හදාපු සෝෆා කට්ටලයක්. ඔය කුලුන ඇතුලෙ තමයි නිදාගන්න කාමර තියෙන්නෙ. අර කුලුනට පිටින් තියෙන ලයිට් නිසා නිදාගන්න කාමර ටික ඉබේම උණුහුම් වෙනවා.







ඒ උනාට ඔය මාලිගාව ඇතුලෙ ඉන්න සුරංගනාවි කවදාවත් මගෙ අතට අහුවෙන්න ආවෙ නෑ නෙව. අහුවුනොත් මටත් ඒම මාලිගාවක් හදාදෙන්ට වෙයි කියල වෙන්ටැති. හ්ම්ම්ම්....



ඔය වගේම සූටි කුරුමිණි පැට්ටෙක්ගෙ ගෙයක් තමයි සල් මල. ඕන්නම් නිවාඩු දවසෙ ඒකත් කඩලා බලන්ටකෝ.

 





ගෙදර වටේට තියෙනවා අපූරු සුවපහසු සෝෆා. මැද්දෙ තියෙන වියන් ඇඳ ඇතුලට රිංගා ගත්තාම කුරුමිණි පැට්ටාව කාටවත් හොයන්ට බෑලු. ආ... අර රවුමට තියෙන වියන් ඇඳ මැද්දෑවෙ තියෙන්නෙ එයා වතුර බොන්න හදා ගත්තු ටැප් එක. එතෝට වතුර තිබහ උනාම මට වගේ කලුවරේ අතපත ගගා කෑම කාමරේට යන්න ඕනෙ නෑ නෙව.



මොන්ටිසෝරි කාලෙ ඕම හීන දැකපු සූටි බස්සි එක දෙක වසරට යනකොට හිතාගත්ත සත්තු වත්තෙ දොස්තර නෝනා කෙනෙක් වෙන්ට ඕනෙ කියල. ඇයි එතකොට හැමදාම සත්තු වත්තට ගිහින් සත්තු බැලුවැකි නෙව.






ඒත් ආපහු තුන වසරට එනකොට තාත්තා ග්‍රහලෝකාගාරෙට එක්ක ගිය හින්දා සත්තු දොස්තර වෙන්ට තිවුන හීනෙ චකබ්ලාස් වෙලා අලුත් හීනයක් ඉපදුනා. ඒ තමයි තාරකා විද්‍යාඥවරියක් වෙන එක. හතර වසරට එද්දි මං බැරි බැරි ගාතෙ පොතක් බලාන ටෙලස්කෝප් එකකුත් හැදුවලු.ඒකෙන් බලනකොට පේන්නෙත් පියවි ඇහැට පේන තරු ටිකම විතරයි උනාට මම හැමදාම හය වෙද්දි එලියට බැහැලා අහසෙ තරු ගනින්නයි, එවුවා තරු පොතක අඳින්නයි තිවුනේ පුදුම ආසාවක්.






අපේ තාත්තා මගෙ වද කරදරේට ග්‍රහලෝකාගාරෙ වැඩ කරන ප්‍රියංකා කුමුදුනී මහත්මියගෙ පොත් එහෙම එලිදක්වපු දවසෙම මට ගෙනත් දෙනවා ඒ කාලෙ. ඔය පොත් ප්‍රදර්ශනේකට ගොහින් එද්දි එයැයිව දවසක් අපි දෙන්නට මුණුගැහිලා මගෙ තාරකා විද්‍යාඥ හීනෙ ගැනත් මම බෝම ආඩම්බරෙන් කිවුවා එයැයිට.



ඔය අතරෙ තමයි මං සිස්සත්තෙ පාස් වෙලා ඕගන් එකක් ලැබුනෙ තෑග්ග විදියට. ඉන් පස්සෙ පියානෝ කලාස් එකකටත් දක්කන්න උනාම මට හිතුනා සංගීතඥයෙක් වෙන්ට ඕනෙ කියලා. ඒ ගමන වයලින් ගහන්ටත් ඉගෙන ගත්තා වයලින් කලාස් එකකට මංගච්චලා. හැබැයි මට ඕනැ උනේ සංගීතවේදී තාරකා විද්‍යාඥවරියක් වෙන්ට ඒ කාලෙ.






අනේ ඔය අහිංසක හීන පූට්ටුව මැද්දට ඉතාම අවාසනාවන්ත විදියට එක්තරා අඳුරු රාත්‍රියක කඩා පැන්නෙ නැතැයි..... කවුද? ෆොක්ස් මෝල්ඩර් ඇන්ඩ් ඉස්කලී. අපේ තාත්තා ඉස්සර කියන්නෙ නරියා සහ ඔලුකට්ටි කියලා.

 
ඉතිං අර සියලු සිහින හමස් පෙට්ටියට දාපු මම පේවෙනවා ඕන් රහස් පරීක්ෂකවරියක් වෙන්ට. ඒ ගමන එක්කාසු කොරනවා රටේ තියෙන සේරෝම රහස් පරීක්ෂක කතන්දර. දැන් තියෙන හීන පූට්ටුව තමයි සංගීතවේදී රහස් පරීක්ෂකවරියක් වීම.





මට මතක හැටියට අපේ ගෙදර මිනිස්සු වැඩිම විනෝදයක් ලැබුවෙ මගේ මේ හීනෙන් වෙන්ට ඕනෙ.


ඔන්න අය හීනෙ ඉදිරියට ගලාගෙන යද්දි අර සුන්දර ළමා වියෙන් බස්සිත් යොවුන් වියට පා තබනවා. අනේ සංසාරේ! බස්සිට දොළදුකක් පහල වෙනවා වේදිකා නාට්‍ය නිලියෙක් වෙන්ට.






බස්සි ඩැඩා ඒ අදහසට එකෙන්ම සහය දක්වනවා. බස්සිව ඇන්න යනවා ඩැඩාලගෙ ඔපීසියෙ කලා කවයෙන් කොරන වේදිකා නාට්‍ය පුහුණුවීම් බලන්ට. ඩැඩා තමයි එවුවා රචනය සහ අධ්‍යක්ෂනය. බස්සිත් ඉතිං බෝම උනන්දුවෙන් නලු නිලියන්ට දෙබස් මතක් කොරලා දෙනවා පාන්දර වෙනකම්. ඕම ඉන්න අතරෙ බස්සි ඩැඩා බස්සිටත් සුට්ටං චරිතයක් දීලා ඉස්ටේජ් එකට තල්ලු කොරනවා. ඉන් පස්සෙ බස්සි පණ ඇරගෙන රංගනය ඉගෙනගන්නවා.


හැබැයි නිලියොන්ට රූපෙ ලස්සන උවමනායි කියලා බස්සි දැනං හිටියෙ නෑ ඒ කාලෙ. ඒ නිසා ඉක්කෝලෙ වේදිකා නාට්‍ය වලින් බස්සි බෙල්ල මුලින් කැපිලා ඒ වෙනුවට ඉටිකිරිස් කෑලි ඉස්ටේජ් එකට නගිනවා. බස්සි ඉතිං කොරේ පැත්තක ඉඳන් ඉටිකිරිස්ලාට නටන්ඩ සිංදු කියාපු එක තමයි.


ඕම ඉන්නකොට එකදවසක්... ඔව්. එක සොඳුරු සැන්දෑවක ඕ.ලෙවල් සයන්ස් කලාස් එකේ ගුරුතුමා බස්සිට කියාදෙනවා ජාන ඉංජිනේරු විද්‍යාව ගැන.





කෙලියා නේද නිලි හීනෙටත්. බස්සි ඒ වෙලාවෙ ඉඳන් සූජානං වෙනවා ජාන තාස්සනේ හදාරන්ට. කෝම හරි ඒ හීනෙ හිතේ ගැඹුරටම කිඳා බැහැලා තිවුන නිසාද කොහෙද කැම්පොස් ගිහිනුත් කොලේ අණුක ජීව විද්‍යාව සහ ජාන තාක්සනේ ඉගෙනගත්තු එක තමයි.


ඔය අතරෙ බස්සිට තිවුනා තව තව mini dreams කප්පරක්. ඩේසි ටීචර්ගෙ ඉංගිරිස් පංතියට යන කාලෙ බස්සිට ඕනෙ උනේ කවියෙක් හරි කතාකාරියෙක් හරි වෙන්ට. ඒ කාලෙ අහක දාන ටොපි කොළ වලත් කවි ලියනවා.





යෝග භාවනා සහ මාර්ෂල් ආර්ට් ඉගෙනගෙන හටංකාරියෙක් වෙන්ට හිතාන කරාතෙ පන්තිත් ගාටලා ඇතිවෙනකං ගුටි අන්නාගෙන ගෙදර ආවා හැම සෙනසුරාදාවකම.




ඒ ලෙවල් ඉවර වෙද්දි ආපු හීනෙ තමයි සාර්ථක කළමනාකාරිනියක් වෙන්ට. ඕන් එතෝට තේරුං ගියා එහෙම වෙන්ට නම් තමන්ගෙ උපරිමය හොයා ගන්ට ඕනෙ කියාල. ඉතින් කැම්පොස් කාලෙ සියලුම ගොන් ආතල් ගන්නා අතරෙම ඒ හීනෙ වෙනුවෙනුත් මාන්සි උනා.







තාමත් මං මාන්සි වෙන්නෙ ඒ හීනෙ වෙනුවෙන්.


ඒත් ළඟදි ඉඳන් හිතෙනවා මගේම මගේම..... එක්කො ඕනෙ නෑ. ඒ හීනෙ හැබෑ කොරගන්ට පුලුවන් උනොත් කියන්නම්.


හැබෑ උනත් නැතත්, මං හරිම ආසයි මගේම හීනෙක ජීවත් වෙන්ට. හීන පිරුණු ජීවිතේ හරියට පාට පිරුනු සිත්තමක් වාගෙ.