“මට ඔයාව අමතක කරන්න බෑ.”
එයා දාහත්වෙනි වතාවටත් එවලා තිබුනා. මේ වතාවෙ ඒ මැසේජය ආවෙ ෆේස්බුක් සල්ලාප පෙට්ටියට. එදා නත්තලට පස්සෙ දවස නිසාද, නැත්නම් දාහත කියන්නෙ වාසනාවන්ත අංකයක් නිසාද කියන එක හරියටම පැහැදිලි නැතත්, මං මැසේජය කියවලා මිනිත්තුවක් ඇතුලත එයාගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා තිබුනා.
එදා විය යුතු පරිද්දෙන්ම තෙතබරිත දවසක්. කවුළුවෙන් එපිට හොඳටෝම වැස්ස. මම ඇඳන් උන්නේ නිල් ඉරි වැටුන අත් දිග කමිසයක්. එක්සෙල් ලිපිගොනු කිහිපයක් මැද්දෙන් හිත සන්සුන් කරවන සුළු අහස් නිල් පාට ෆේස්බුක් පිටුවක් පිපුනේ අහම්බෙන්. දීප්තිමත් කහ පැහැ මවුස් පොයින්ටරය නිල් අහසෙන් වැටෙන ඉර එළිය කැටිත්තක් වගේ දැන් ඇක්සෙප්ට් කල ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක හොයාගෙන ගියා.
හැම ඇල්බමයක්ම, හැම පින්තූරයක්ම තිබුනේ හිමෙන් වැහිලා. මම තව ටිකක් කමිස අත් ඇතුලට ගුලි වුනේ ඒ ලේ මිදෙන සීතල ලැප්ටොප් තිරයෙන් එලියටත් කාන්දු වෙන්නා වගේ දැනුන නිසා.
කුඩා කවියක් පැන නැංගේ නොහිතපු මොහොතක.
මදක් දියවූ හිම මල් ය
අලුත් තණපත් නිකැලැල් ය
අඳුරු තුරු සිරස මත - රන් ඔටුනු පලඳවන
වසත් හිරු රැස් කෙඳිති කෙලිලොල් ය.
එහෙනම් ඈ තවමත් ලියනවා. ඒ කියන්නේ තවමත් ඉල් වැස්ස නතර වීමේ සම්භාවිතාවක් තියෙන බවද?
කල්පෙකට විතර පස්සෙ ආයෙමත් පුරුදු විදියට ඔරලෝසු කටු කරකැවෙමින් තිබුණා. දුරුතු සීතල එක්ක තිබුන අරියාදුකම් හිතෙන් අකා මකා දමලා මමත් පරණ පුරුදු විදියට අකුරු ඇතුලෙන් නැගෙන උණුහුම උරා බොන්නට උගනිමින් උන්නා.
සමහර ඇස් වලට ඒක විසාල වරදක් විදියට පෙනෙන්න පුළුවනි. ඒත් මම රාමු කරපු ඇස් වලින් එල්ල වෙන විවේචනාත්මක ගිනි පුළිඟු පයිසෙකටවත් මායිම් නොකරන්න තීරණය කලා.
හැබැයි, මම ජංගම දුරකථනයේ පසුතලයට හිමෙන් වැහිච්ච ෆූජියාමා කන්දේ පින්තූරයක් දමාගත්තා. අකුරුවලට පණ එන වාරයක් පාසා මම මුලින්ම දැක්කේ ෆූජි කන්ද වසාගෙන පිපුණු හිම පියලි. කවදාදැයි නිශ්චිතව කියන්නට නොහැකි වුනත්, අනිවාර්යයෙන්ම යම් දවසක ඒ හිම පියලි අඟුරු වෙලා යන්නට නියමිත බව මතක්වීමෙන් මගේ අසීමාන්තික උද්දාමය යම්තාක් දුරට සමනය වුනා.
මම හිතන්නේ එයත් ඒක මම තරමටම තේරුම් අරන් උන්නා.
ඒ ගැන පූර්ණ විශ්වාසයක් තියන්න අමාරුයි. එයාට තිබුනෙ ඉතාම ඉක්මනින් වෙනස්වෙන සුළු හදවතක්. ඒත්, හිත තවදුරටත් ඉහිල් කරන්න හිතාගෙන මම ඕනෑම පිදුරු ගහක එල්ලෙන්න කැමැත්තෙනුයි හිටියේ.
වැහිකෝඩ ගෙනෙන බැව් සැක නැතී
කිරිකෝඩු කිව නොහැකි ස්නේහෙකී
මුකවාඩමින් වැසුන සෙව්වන්දියක තොල් පෙතී
යුනිකෝඩ මත සුසුවඳක් තවරා ඇතී
කොයිතරම් ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරලා තිබුනත් යුනිකෝඩ මත පිපෙන සමහර මල් නිසා පිනි වැටීම උත්තේජනය උනේ නිරායාසයෙන්මයි.
කවිවලට එපිටින් හිටියේ ලාබ පෑනක් අතින් ගත්ත කෙසඟ, සුදුමැලි කෙල්ලෙක්.
දෙවටොරෙහි හැපෙන තරමට දිග, තුනී කොණ්ඩා කරල් දෙකක්.
මද සිනාවක ඡායාවක් එක්ක තදින් පියාගත් දෙතොළක්.
‘උඹට මැච් වෙන්නෙ නෑ බං, ඒකි මෙලෝ රහක් නැති කෙල්ලෙක්.’
ඒත්. . .
ඒ නිදිබර, සුදුමැලි පින්තූරය අතරින් මතුවෙන්නේ, අමතක කරන්න බැරි දැල්වෙන ඇස් දෙකක්.
මම තවමත් නැවතිලා ඉන්නෙ එතැන.
පියවි ලෝකයට පය තැබීම පහසු කරගන්න හිතාගෙන මම වැරෙන් පිටි අත්ල නිකට මත ඇතිල්ලුවා. වායුසමීකරණයේ සීතලෙන් වියැලී තිබුන සම මත රැවුල් කොට වලින් සුදු පැහැ සිහින් ඉරි ජාලාකාරව පැතිරුනා. ලැප්ටොප් තිරය මත අඩක් නිම වුන ව්‍යාපෘති වාර්තාවක් මා දිහාට ඔරවගෙන උන්නා.
තවමත් අර ඇස් දෙකේ දිලිසීම අඩුවෙලා තිබුනෙ නෑ...
එතැනින් එහා මෙහා වෙන්න ඕනෑය කියන හැඟීම නැවත වරක් මගේ පපුව මැදට තඩිබාන්න ගත්තා.
"තවමත් එහෙමමද?”
වචන දාස් ගාණක ප්‍රශ්ණයක් නියපොත්තක් තරමට හකුළුවලා මම සල්ලාප පෙට්ටියට අතෑරියා.
“නැහැ.”
ඉස්සර වචන දෙකක උත්තරයක් උනත් මාගලක් තරමට ප්‍රසාරණය කරන එයා, තවමත් එතැන එහෙමම නොවන බව තේරුම් ගන්න මට ඒ තනි වචනය හොඳටම ප්‍රමාණවත් වුනා.
“ඒ කියන්නේ. . . . ?”
“මෙහෙට ශරතය. නොගිනිය හැකි තරම් සුළු දේවල් කිහිපයක් ඇරෙන්න, මෙහේ හැම තුරුපතක්ම පොළවට වැටෙන්න අරන්. හැමදේම වෙනස්. නොහිතනම විදියට.”
“මට බලන්න ආසයි.”
"සොබාදහම මැරෙන්න පණ අදින හැටිද?"
"නෑ.
තුරුපතක් ගානේ ගිනි රත් පැහැයෙන් ඇවිලෙන හැටි."
“දැන්ම ඉක්මන් වැඩි නැද්ද?” එයා ඇහුවා.
“ෆූජි කන්ද පිපිරෙන්නේ කොයි වෙලාවෙද කියන එක අපිට අනුමාන කරන්න බැහැ. ඉක්මන් වෙන තරමට හිතට හොඳයි.”
“ඒත්, හිතේ තියෙන සමහර රාමු කැඩිලා බිඳිලා යන එක දරාගන්න අමාරුවේවි. පියවිය කියන්නේ මහ භයානක දෙයක් වෙලාවකට.”
“තිරයක් ඇතුලෙන් දකින්නේ පියවියයි කියලා සහතික වෙන්න අමාරුයි. ඒක හිතට සහනයක් නෙමෙයිද?”
සල්ලාප පෙට්ටියෙන් දිලිසෙන ඇස් දෙකක් මා දිහා බලන් උන්නා. වායුසමීකරණ යන්ත්‍රය ගැන වගේ වගක් නැතිවයි අත්ල මත දහදිය බින්දු නැගුනේ.
ඈ මොනවා කිව්වත් වැහිකෝඩ නතර වෙන බව දැන් නම් සහතිකයි.
දම්පාට අහසට යටින්, ගිනිපෙට්ටි වාහන අතුරාපු කළබල වීදි දිගේ මම එදා හවස සුක්කානම කැරකෙව්වේ පුදුම තරමේ සැහැල්ලුවකින්. සන්ෂයින් එෆ්.එම් එකේ ආදරණීය හැන්දෑවේ වැයෙන සින්දුවලට මම හිතපුරා අත්වැල් ගායනාවලින් සහය වුනා. කබල් බස්වලින් පිටවෙන අළුපාට දුම් කැරලි පවා පෙනුනෙ කුඩා වළා කැටිති වගේ.
ඒ වළාකුළු අතරේ අර දිලිසෙන ඇස් දෙක තරු වගේ පායලා තිබුනා.
මම ඉහල ඇදෙන එලවේටරයේ වීදුරු බිත්තියට මූණ තදකරගෙන බලන් උන්නේ කලින් අසා නුපුරුදු ජෑස් සංගීතයක් හිස තුල වාදනය වන අතරේ. ඊගාවට මම ඒ තාලයට උස් හඬින් සිවුරුහන් කරමින් ටයි ගැටය ලිහිල් කරන ගමන් කොරිඩෝවට පැන්නා. එලවේටරයට ඇතුල්වෙන්න බලාගෙන උන් කෙටි කොණ්ඩාකාරිය, ම්හ්, ජීවන සහකාරිය, බස්සියෙක් වගේ ඇස් තඩි කරන් බෙල්ල ඇල කරලා බැලුවා.
“අද වේලාසනින්.”
ඈ අහන්න කලින්ම මම වචන එලියට දැම්මා.
“මම එන්න පාන්දර වෙයි, නයිට් ශිෆ්ට්.” ඈ වැහෙන්නට ගිය එලවේටරයේ බොත්තම ලුමිනස් කොල පැහැ නියපොත්තකින් තදකරමින් අඩියක් ඉදිරියට තිබ්බා.
“අද මූඩ් එක වෙ-න-ස්!”
වැහෙන එලවේටර් දොරට කලින් ඈ දකුණු ඇහැ පුංචි කරමින් ලතාවකට කිව්වා.
පිළිතුරක් දෙන්න පමා වෙන්නේ නැතුවම මම සිවුරුහන් කරමින් අංක දාහත සටහන්ව තිබුනු දොරට පා පහරක් දුන්නා. සෝෆාව මතට කඩන් වැටිලා කමිසයේ බොත්තම් විවර කරන්නට වුනා.
සපත්තු දෙක ටීපෝව යටට තල්ලු වෙලා නැවතුනා. එක මේස් එකක් ටීපෝව උඩත්, අනිත් මේස් එක සෝෆාව අයිනේ බිමත් වැතිරිලා මහන්සි අරින්නට වුනා.
නාන කාමරය තුලින් හමා ආවේ සිහින් ලැවැන්දර සුවඳක්.
රැවුල සේරම කැපුවොත් ඉස්සර වගේ ලාමක පෙනුමක් ඒවි. මම සබන් දියර තැවරූ හිසකේ තලමින් කල්පනා කලා. නිකට මුල නැගුනු එකම එක කුරුලෑවක් කඩන්න කණ්නාඩියට එබුනෙ ලොවි රතුපාට ඇස් දෙකක්.
උරහිස් මත පිපුනු කුඩා දිය බිංදු පිහදාන්න කරදර නොවී මම සෝෆාවේ වැතිරුනා. අංක දාහත චැනලයේ ජපන් භාෂාවෙන් ෆූජි කන්ද ගැන වාර්තා වැඩසටහනක් විකාශය වෙමින් පැවතුනා.
“ගුඩ් මෝර්නින්!”
මේ මොහොතේ ඉඳන් දුනු මිදි පාට වයිබර් සල්ලාපයන්ට මම මුළු හදවතින්ම ආදරේ කරන්න පටන් ගන්නවා.
“අපිට දැන් හැන්දෑව. නගරය පුරාම කළාමැදිරි එළි වගේ නියොන් එලි තිත් විසිරෙන්නට අරන්.”
“ඒ වුනාට මට මෝනින්.” එයා ඩිජිටල් වෙලාව දක්වනයක පින්තූරයක් එව්වා. උදෑසන හතයි දාහතයි.
මම ටැබ් තිරයේ ඉහළ කෙලවරට ඇස් දිවෙව්වා, හවස හයයි දාහතයි.
“එකම වෙලාවක ලෝකයේ දැතැනකදි, එකම දවස ඉපදෙන්නත්, මැරෙන්නත් පුලුවනි.” මම ස්කයිප් කවුළුවෙන් එබෙමින් කිව්වා.
මුලින් තිරය පුරා දිස්වුනේ බොඳව ගිය දුඹුරු පැහැයක්. ඉන් පස්සෙ පොරෝණා ප්‍රාවරණයක් තුලින් රත් පැහැ හිසකේ ඇති කෙල්ලෙක් ස්කයිප කවුළුවෙන් හිස පෙව්වා.
“පේනවනේ, මිනිස්සු වෙනස් වෙනවා.”
ඈ සමනල් පියාපත් ටැටූවක් කෙටූ අත්ල මිටි කරගෙන, දබරැඟිල්ල තිරය දෙසට ලෙලවමින් කිව්වා.
“ඒත්, සමහර තාරකා එහෙම ලේසියෙන් මිය ඇදෙන්නේ නැහැ.”
මම ඇගේ නිදිමතෙන් කුඩා වුන ඇස් දිහා බලාගෙනයි උන්නේ, බොහොම සුළු දේවල් කිහිපයක් තවමත් නොවෙනස්ව පවතිනබව මට ඒ වෙලාවේ පසක් වුනා. අකුරු සහ දිලිසීම. ඊට අමතරව හිස් මුදුනට කඩාපනින ප්‍රහර්ෂයේ අකුණු සැර!
පැය එකහමාරකට පස්සෙ ඈ ස්කයිප කවුළුව වහල දැම්මා.
මම ගැඹුරු ආශ්වාස ප්‍රාශ්වාසයන් තුල කිමිදෙමින්, ‘සී’ අකුරක හැඩයට වකුටු වෙලා ඇස් පියාගත්තා.
කෙටි නින්දකට වැටුන පරක්කුවෙන් හිම පියළිවලට යටින් ලාවා බුබුළු දාන හැටි හීනෙන් දැකලා මං ඇහැරුනා.
තත්පරේකින් පංගුවකදී
සෙවණැළිය කියන්නේ
සෙවණැළිම පමණෙකැයි
හොඳටෝම අමතකව යයි....
මම සීතල දුරකථන තිරයට හාද්දක් දුන්නා. තවත් බියකරු සිහින උහුලන්න අමාරුයි. ඒ නිසා මම කුඩා තැඹිලි පැහැ පෙත්තක් උගුරට හලාගෙන සීතල වතුරෙන් සෝදා හැරියා.
බිත්තියේ ඇලවූ වර්ණ කරදාසි දීප්තිමත්ව දැල්වුනා. නීරස භූමි දර්ශන සහිත පින්තූර රාමුවලින් පවා ආදරේ හිතෙන උණුසුම් වර්ණ පැනනැංගා. දොර, ජනෙල් තිර පවා වැළැඳ ගන්නට තරම් ආනන්දයකින් හදවත වේගයෙන් ගැහෙන්නට වුනා.
පයේ හැපුනු වතුර වීදුරුව “සලාං” හඬක් නගමින් පෙරැලුනා. මම වීදිරුව ටයිල් පොළව මත පෙරලෙන තාලයට රවුමක් කරකැවෙමින් දණහිස් නැටෙව්වා.
ඉන් පස්සෙ වළාකුළු පොළවට පාත්වෙලා මාව වැළඳගත්තා.
එයා වළාකුළු මිරිකලා රෝස පාට තීන්තක් බෝතල්වලට පිරෙව්වා. වළාකුළු මිරිකන ගානේ සිහින් අකුණු සැරක් වැදිලා මාව වෙව්ලුම්කෑවා. ගණන් ගත යුතු තරම් දේකුත් නෙමෙයි. ඒත් කකුල් පණ නැතුව යනවා සුළු මොහොතකට.
රෝස පාට තීන්තට හුස්ම පිඹලා එයා හිස් අවකාශයේ අකුරු අඳින්නට වුනා. ඒ අකුරු තද නිල් පාට පසුතලය මැද්දේ ෆ්ලොරොසන්ට් ආලෝක කණිකා නිකුත් කරමින් කරකැවෙනවා.
කඳු හිසකින් දිය ඇල්ලක් කඩාහැලෙන තරම් සැහැල්ලුවකින් එයා තීන්ත බෝතලය මගේ ගෙල දෙපසට වැක්කෙරුවා. ඉන් පස්සෙ දබරැඟිල්ල තීන්තේ ඔබමින් මගේ පිට දිගේ අකුරු අඳින්න ගත්තා. ඒ අකුරු කවි වෙලා සම් මස් නහර විනිවිදගෙන පපුව ඇතුලට කාන්දු වුනා. හෘත් පේශි ඇතුලෙ කවි කුඩා කැටිති විදියට තැන්පත් වුනා.
ඔන්න දැන් ලබ් ඩබ් හඬත් එක්ක කවි ගැහෙනවා.
ගැහෙනවා - ගැහෙනවා - ගැහෙනවා.
ඉන් පස්සෙ ඈ සේද ඇතිරිල්ලක් වගේ මගේ පපුව මත වැතිරිලා වචන අපැහැදිලි ගීයක් කන් පෙත්තට මුමුණන්න ගත්තා. හුස්මවල උණුහුම වැදිලා කන් පෙත්ත රත්වුනා. මම අසිහියෙන් අත දිගුකරලා පැති මේසය උඩ තිබුණු වීදුරු ඩිකැන්ටරය උගුරට ඇල කලා. පපුව දිගේ වතුර බේරෙනකොට එයා දියවෙලා ගියා.
ඊට පස්සෙ මම කොට්ටෙ බදාගෙන හදවතක රූපයක් ඇන්දා.
හදවත් රූපයේ වටකුරු සුමට මුහුණත් දෙකේ ඉඳගෙන අපි රෑ එළිවෙනකම් සී-සෝ පැද්දා. මුලින් බොහොම හෙමිහිට. ටිකෙන් ටික සීසෝව පැද්දෙන වේගෙ වැඩි වෙලා එක්වරම මාව පහළට රූටාගෙන ගිහින් ඇඳ උඩට වැටුනා.
එයා හදවත් රූපය අත් දෙකෙන්ම උස්සලා ඒකෙ උල් කෙලවරෙන් මගෙ පපුවට ඇනගෙන ඇනගෙන ගියා. සිදුරු වුනු පපුවෙන් ලේ රතුපාට කවි විද්දා!
*******
“හනී-බී, නැගිටින්නකෝ අනේ.”
ජීවන සහකාරියගේ ඇඟිලිතුඩු හිසකේ අතරින් සීරුවට එහාමෙහා යනවා.
යාන්ත්‍රිකව දෙතොල් එහාමෙහා වෙන හාද්දක්.
මිනිත්තු කිහිපයක් ඇතුලත කොරිඩෝවට පැනගත්තේ ටයිපටිය අතේ ගුලි කරගෙන, සැනසුම් සුසුමක් හෙලමින්.
හෙඩ්ෆෝනය හරහා ඇහෙන්නේ ඈ හුස්ම ගන්නා හඬ. තමන් හුස්ම ගන්නා බව දැනෙන්න ඒ වගේ පසුබිම් සංගීතයක් නැතුවම බැහැ.
"මේ කතාවේ අවසානය මොකක්ද?"
එයා ඇහුවේ නොහිතපු වෙලාවක.
"ඇයි?" මම මෝඩ තාලෙට හිස කසමින් ඇහුවා.
"මම අහන්නේ, ඔයා අනුමාන කරන විදිය."
"එක්කෝ සුඛාන්තයක්, එහෙමත් නැත්නම් ඛේදාන්තයක්." මම සුසුමක් හෙලමින් කිව්වා. "මොක වුනත් මොකද? එකම කාසියක දෙපැත්ත වගෙයි."
"සුඛාන්තයකුත් නොවෙන - ඛේදාන්තයකුත් නොවෙන අවසානයන් තියෙන්නම බැරිද?"
ඈ ඉස්සරත් ඔහොමමයි. අහන්නෙම නුවුමනා දේවල්.
"ම්හ්!"
"කාසියක් උඩ දැම්මාම පැත්ත වැටෙන්නේ නැතුව කෙලින් හිටගන්න අවස්ථාවනුත් තියෙන්න පුලුවනි."
"වෙන්න පුලුවනි. ඒත් මම කැමති, කාසිය බිමට වැටෙන්න කලින් මේ මොහොත ඇතුලෙ ජීවත් වෙන්න."
"ඉස්සර කලා විද්‍යාලයේදි මම ලියන දේවල් වලට ගුරුවරුන්ගෙන් කිසිම පිළිගැනීමක් නොලැබුන තරම්. ඔවුන්ට ඛේදාන්තයක් හෝ සුඛාන්තයක් නැති කතා විශ්වාස කරන්න බැරි වුනා. කුඩා පැන්සයකට වුනත් කෙලින් හිටගන්න වාරයක් එන බව හැමෝම බොහොම කැමැත්තෙන් අමතක කලා."
"මට තේරෙන්නෙ නෑ."
මං ආයෙමත් පුරුදු පොදු-පිරිමි පිලිතුර දුන්නා.
"ඔව්. ඔයාට තේරෙන්නෙ නැහැ නේන්නම්."
ආයෙමත් සිහින් හුස්ම හඬ.
ඉන් පස්සෙ මමයි, ෆූජි කන්දයි අතරේ අහස තරම් උසට තාප්පයක් බැඳලා තිබුනා. ගිනි කන්දක් එක්ක තියෙන ඇඟෑලුම්කම ශෝකාන්තයකින් කෙලවර නොවෙන්නේ කොහොමද කියන එක කොච්චර හිතුවත් මට තේරුම්ගන්න බැරි වුනා. මං බය වුනා.
පහුවදා හවස වැඩ ඇරිලා ගෙදර එන ගමන් මම පෙට්ශොප් එකට ගිහින් සුදුපාට ලොම් උඩින් තැඹිලිපාට පුල්ලි වැටුන හැම්ස්ටර් මීයෙක් මිලදීගත්තා. ඌට තිබුනෙත් දිළිසෙන චූටි ඇස්.
අඩුම තරමේ ඌව අතට අහුවෙනවා. පපුවට තුරුල් කරගන්නත් පුලුවනි.
තවම හදවතේ නොවැහුනු සිදුරු තියෙනවානම් ඉඳලා හිටලා කවියක් දෙකක් ඔබාගෙන හිස්තැන් පුරවගන්න බැරියෑ!
- ඉ ව ර යි -