Thursday, October 29, 2015

බැටළුවෝ






“ආලෝක, ඔන්න ඔයාගෙ වොලට් එක ගන්න හරිද! නැත්නම් මෙයා පාර්ටි දීලා අන්තිමේ අපිට ගෙවන්න වෙයි.” 

සමහර ගෑනුන්ගේ කටහඬවල් හිසේඇම්ම ඇතිකරවන තරම් ඉහළ තානයකින් ඇහෙන්නේ. ඒ මදිවට හිකිහිකි ගෑවිල්ල. උන්ට තියෙන්නෙ බටනලා වගේ හීන්වෙච්ච උගුරුදඬු වෙන්න ඕනෙ.


රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙක් උනානම්, එහෙම නැතත් සාම්ප්‍රදායික ප්‍රධානියෙක් උනානම් මටත් තිබුණා මේසෙට මිටිගුලි පහරවල් දෙකක් ගහලා මුන් සේරෝම නිස්සද්ද කරන්න. එහෙම උනානම් මේ රිපෝර්ට්ස් ටික නිවීහැනහිල්ලේ බලලා ඉවරයක් කරන්නත් තිබුණා.ඇත්තම කියනවනම් ලෝකෙ මීට වඩා සැනසිලිදායකව දැනෙන්න තිබුණා.


ඒත් කෑකෝගැහිල්ල හෙමින් අඩුවෙලා ගියා. කියුබිකල් එකේ දොර යන්තම් ඇරිලා බව මම දැක්කෙ ඒ වෙලාවෙ. හත්වලාමෙ, මේ වටේටම තියෙන්නෙ හඬ-වරන වීදුරු බව මට අමතකවුණේ කොහොමද! මනුස්සයෙකුට ඒ තරම් ලේසියෙන් දේවල් අමතක වෙන්න පුළුවන්ද?


බෙල් එකක් ගහලා දොර වහන්න කෙනෙක් ගෙන්වා ගන්නෙ සාම්ප්‍රදායික බොස්ලා. අපේ කම්පනි එකේ තේමාවම “සාම්ප්‍රදායෙන් ඔබ්බට” කියන එක. මමම අනුමත කරපු තේමාවක් නිසා මට මේ පුටුවෙන් බැහැලා දොර ගාවට ඇවිදින්න වෙලා.


දොර පියන අදින්න අත දිගුකරනකොටමයි මම ඒක දැක්කෙ.

ලුමිනස් රෝස පාට අඩි උස සපත්තු දෙකක්!

තත්පරයක් ගතවෙන්නත් කලින් මම බිමට නැමිලා ඒ සපත්තු ජෝඩුව දෝතින්ම බදාගෙන හිටියා. 


මද තිගැස්මකින් ඔළුව උස්සලා හතරවටේ බැලුවේ එකෙක් හරි, වැරදිලාවත් බලාගෙන ඉන්නවද කියලා සැකයක් හිත ඇතුළෙ දෙමෝලෙ පිටිකොටන්න පටන්ගත්තු නිසා. දකුණු කෙළවරේ වීදුරු බිත්තිය ඇතුළේ උන්න රන්මාළු  උන්ගේ පාඩුවේ බිත්තිය පුරා ඉහළපහළ පීනනවා. මාළු කියන්නේ හිත ඒකාත්මික කරවන ආරම්මණයක් කියලා කිව්වෙ ගොඩනැගිල්ල සැලසුම් කරපු එළු රැවුලා. එළු රැවුලා නොදන්නව උණාට ගෑනු සපත්තු ජෝඩුවක් කියන්නේ මාළු ටැංකියකට වඩා විජ්ජා බලයක් තියෙන ආරම්මණයක්.


මම කියුබිකල් එකේ දොර වහන්න කලින් ආයෙමත් හැරිලා බැලුවා. විවේක කාමරයේ දොර ළඟ එල්ලා තිබුණ හැමොක් තොටිල්ල උඩ ඉඳගෙන බටර් පාට ටෙඩි වලහෙක් මා දිහා ඇස් ඩොගිත්තාගෙන බලන් උන්නා.


මම සපත්තු දෙක නැහැයට ලං කළා. සිහින් කෝමාරිකා කුයිලක් නැහැපුඩු අතරේ සක්මනක. ගුප්ත සුවඳක්. පෙරදිග සුවඳක්.අත්දෙක සපත්තු ඇතුළට ඔබාගෙන බෙල්ල වටේ යන්තම් මසාජ් කරගන්න ආශා හිතෙන විදියේ සුවඳක් ඒක. දැනටමත් මම ඇතුළතින් දැල්වෙන්න පටන් අරන්. ඒත්, දැල්වීම සම්පූර්ණ වෙන්න කලින් මම සපත්තු ජෝඩුව කබඩ් එකක් ඇතුළට එබුවා.


“ඊයියා අමෝදි අර පුඩින් එකේ තිබිච්ච ස්ට්‍රෝබෙරි කෑලි අහුල අහුල බෙදාගත්තා. ඉතියෝපියාවෙන් ඇවිත් කියල හිතන්න ඇති!” 


කෙල්ලන්ට මේ ඇඟ හිරිවැටෙන උච්ච ස්වර නැතුව හිත නිවන මන්ද්‍ර ස්වරයෙන් කතා කරන්නම බැරිද? වයි ජෙනරේෂන් එක කියන්නේ නාහෙට නාහන බැටළු රැළක්. හැබැයි කලට වෙලාවට ලොම් කපාගන්නනම් පුළුවනි. 


“තොපි හින්දා තමයි මට අර ඉරානියන් කෙල්ලගෙන් මොබයිල් නම්බර් එක ඉල්ලගන්න බැරි වුණේ.” 

ඒත් එක්කම ඇහෙන කොස්සන් හිනාවක ඉරානියන් කෙල්ල ගිලිලා ගියා. බටර්පාට ටෙඩි වලහා පියාඹලා ගිහින් මේසයක් උඩට ‘තඩ්’ හඬින්පතිත වෙන හැටි විනිවිද පෙනෙන සිහින් වීදුරු තීරුව අතරෙන් පෙනුනේ යන්තමට. ආයෙමත් කොස්සන් හිනා හඬ.


“කවුද මගේ ෂූස් දෙක ඉස්සුවේ. වගීස! ඔයා තමයි ඔහොම වැඩක් කළොත්. !!"

"ආලෝක ඔයා මොකද හිනාවෙන්නෙ? කියනවා. ඔයා නේද හැංගුවේ?”



එතකොට මම නමයේ පන්තියේ. එයා කිරි සුදුපාට උල් සපත්තුවෙන් පෑගුවේ මගෙ සෙරෙප්පු කකුල. ඕනෑම සාමාන්‍ය කොලු ගැටයෙක් වේදනාවෙන් බෑඟිරි තියමින් දෙකට නැමිලා කකුල බදාගන්න අවස්ථාවක මම ඇස් පියාගෙන ආයෙමත් ආයෙමත් ඈට පෑගුණා. ගෑනු සපත්තුවලට පෑගෙන්න තියෙන ආශාව පිළිකාවක් වගේ මගේ සෛලයක්, සෛලයක් ගානේ පැතිරෙන්න වුණා. නහරයක්, නහරයක් ගානේ වැතිරෙන්න වුණා.


මම නීරස කළු පිරිමි සපත්තු ජෝඩුව ගලවලා ඇඳ යටට තල්ලු කළා. ටයිගැටය ලිහිල් කරමින් මෙට්ටය මතට කඩා වැටුණා. ලුමිනස් රෝසපාට සපත්තු දෙක ගෙදර ගේන්න අමතකවුණ එක හැබෑ අපරාධයක්! සාප්පුවලින් එන සපත්තු ජෝඩුවලින් හමන හම් සුවඳ වගේ නෙමෙයි ගෑනු පතුල්දෙකකින් ගැබ්බර වෙලා උන්නු සපත්තු ජෝඩුවකින් එන කෝමාරිකා කුයිල!


කොක්ටේල් පාටියකින් පස්සෙ ගෙදර ආපු දිලිසෙන දම්පාට තනි සපත්තුවක් මගේ වම් කලව දිගේ ඉහළපහළ යන්න ගත්තා. රත්තරන් පාට මනාලී සපත්තු ජෝඩුවක් පපුව උඩ වැතිරිලා රෝම කූප ඇද ඇද ඒ ගැන නෝක්කාඩු කියනවා. ඇලපත දිගේ ඉහළ නගින්න හදන්නේ අලුත් සැම්පළේ සුදු බාලිකා සපත්තු ජෝඩුවක්.


ඉන් පස්සෙ මං ගැස්සිලා ඇහැරුණා.


සීතල කාමරය ඇතුළෙ හුවමාරු උණේ උණුසුම් අදහස්. බැටළුවො වුණත්, වයි ජෙනරේෂන් එක බොහොම උද්‍යෝගිමත්. වැදගත්ම දේ උන් තවම සපත්තු දානවා. 


“ඔයා ඔහොම කිව්වට ට්‍රෙන්ඩ් ලයින්ස් දිහා නොබල අපිට එකපාර උපකල්පන වලට පනින්න බැහැ.”


“ඒක හරි. ඒ විස්තර ටික ඇති කබඩ් ලාච්චුවේ.” මම සර්ප ආකෘතියක් සිර කල වීදුරු බරුව දකුණතේ පිටි අත්ලෙන් මේසය මත ඒ මේ අතටපෙරළන අතරේ වමතින් සීනුව නාද කළා.


'ටිව්හෝයි! ටකස් ටක්ටකස් ට්ලන්ක්' 


හඬ ඇහුණ අතට ඔළුගෙඩි දහනමයක් හැරවුණා. විසිවැනියා; මම උන්නේ කලබගෑනියට හරි කෙළින් මුහුණලා ඇති ආසනයක.


කැඩුණ ස්පීකර් හිසක්, ඩීවීඩී රාක්කයක් සහ ලුමිනස් රෝස පැහැ සපත්තු ජෝඩුවක් වැටුණ වැටුණ තැන්වල ඔහේ දිගාවෙලා හිටියා.


“කාගෙද මේ සපත්තු ජෝඩුව?”


සාමාන්‍ය බොස් කෙනෙක්ගේ සාම්ප්‍රදායික ගිගුරුම් හඬක් එක්ක මම වගේ කෙනෙක් කැරකෙන පුටුව පිටුපසට තල්ලු කරලා නැගිට්ටා.



*******************



ඊළඟට වුණ දේ බොහොම සරලයි. ශීත කාමරයේ මමත්, රෝස සපත්තුකාරියත් මුහුණට මුහුණලා වාඩිවී උන්නා. සපත්තු හොරකම් කළේ කවුද කියලා තමන් නොදන්නා බව කඳ සෘජුව තබා ගනිමින් බොහොම විශ්වාසයෙන් යුතුව ඈ කියා හිටියා.


“දරුවෝ, මේක කළේ විහිළුවට විතරක් වෙන්න බෑ!” මම නිවුනු ස්වරයෙන් කිව්වා.


“මේක කළේ කවුරු වුණත්, මෙක නිකම්ම නිකම් විහිළුවක් කියලා අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.” 

දොරට එපිටින් ඇහෙන්නේ බොහොම සැනසිලිදායක මන්ද්‍ර තානයක කටහඬක්. කෝමාරිකා කුයිල අහිමිවීම සෑහෙන පාඩුවක් තමයි. ඒ වුණාට, බැටළු හමක් පොරවගත්තු වෘකයෙක් ගැන හිතමින් බයෙන් බිරන්තට්ටු වෙලා ඉන්න බැටළු රැළක් පාලනය කරන එක බොහොම පහසුයි.




~ ඉ ව ර යි ~


63 comments:

  1. පැටලුනා.. ආයි කියවන්න ඕන..

    ReplyDelete
    Replies
    1. පැටලුම ලෙහුනද?

      Delete
    2. කතාව හොදයි.. එක පාරටම කබඩ්එකෙන් එළියට සපත්තු දෙක ගන්න එනවට වඩා එතනදීත් මනස මෙහෙයවන හැටි ලිවව්නං මරේ මරු.. මට පැටලුනෙ එතන.. එක එක ජාතියේ පොරවල් ඉන්නවා බං.. උඹල දන්නවැ ඇති නේ කැම්පස් හොස්ටල් වල පෑන්ටි ගනන් බලාගෙන ඉන්න උනුත් හැම තැනම ඉනනේ... අපි හැමෝම සිංහ, බැටලු, මුව, බලු වෙස් ගත් වෘකයො තමා බං.. ( මම එක පාරක් පරිවර්තන කෙටි කතාවක් කියෙව්වා. ඒකේ තිබුනේ තරහට ගත්ත සපත්තුවක් ආය දෙන්න විදියක නැති කමින් පිස්සු වැටුන හෝ මානසිකව විදවන කෙනෙක් ගැන.. ඔච්චර තමා මට මතක.. හැක්)

      Delete
    3. සමනල සංධවනියේ ලියුම් කෑල්ලක් දී ගන්න බැරුව පිස්සු කෙලින සීන් එකක් තියේ නේද? මට ඒක මතක් වුණා...

      Delete
    4. එතන තව ටිකක් විස්තර කරන්න තිබුනනම් හොඳයි තමයි. සපත්තුව වැටුනට පස්සෙ කතානායකයගෙ මනෝභාවය. මොකද මම හිතන්නෙ සපත්තුව වැටෙනකම් පොරට සිහිකල්පනාවක් නෑ ඒ සපත්තු දෙක ඔබපු කබඩ් එකයි ඇරියෙ කියන එක. බොහොම ස්තුතියි දේශෝ!!

      Delete
    5. දේශා, සෑම් :

      ලාංඡන භක්තිය ගැන කියවෙන අපූරු කෙටිකතාවක් තියෙනවා. මතක හැටියට කතාවෙ නම කෙස්වැටිය. ඒකෙ කතානායකයා ආදරේ කරන්නෙ විග් එකකට.

      Delete
  2. ||ඉන් පස්සෙ මං ගැස්සිලා ඇහැරුණා.||
    එතැනින් එහාට තේරුම් ගන්න සෑහෙන්න බොන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. හොඳ වතුර වීදුරුවක් බීලා ඇවිත් ආයෙම කියෙව්වොත් තේරෙයිද? :)

      Delete
  3. මගේ පළවෙනි කොමන්ටුව.හැමදාම වගේ මේ කතාවත් සුපිරියි....

    JK

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!
      සාදරයෙන් පිළිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!

      Delete
  4. කොමද බං අපේ හිත් උඹ කියවන්නේ.. එක්කෝ උඹලත් හිතන්නේ අපි වගේද...?

    පට්ටයි ඕං ඈ....

    ReplyDelete
    Replies
    1. හෙහේ!
      මට හිත් විනිවිද පේනවලු ඈ. පරෙස්සමෙන්!

      Delete
  5. ///“තොපි හින්දා තමයි මට අර ඉරානියන් කෙල්ලගෙන් මොබයිල් නම්බර් එක ඉල්ලගන්න බැරි වුණේ.” ///

    හයියෝ චාමර :D

    ඉරානියන් කියද්දි මට ඉවානයව මතක් වෙන්නෙ ඇයි ??? අස්ලාම් අලෙයිකුම්.. අපි කැපුණා

    ReplyDelete
    Replies
    1. ඹව් මං චාමර තමයි..බොලව්.....

      Delete
    2. චාමර සැලුනාවේ - තාප්ප කැඩුනාවේ :D

      Delete
    3. තාප්ප වලට එරෙහිව නැගී සිටිමු... (උපුල් සමග)

      Delete
    4. පත්තරේ,
      මුලින්ම එතනට 'රුසියන් කෙල්ල' කියලා ලියලා, ආයෙම ඉවාන්ව මතක්වෙලා 'ඉරානියන්' කියල වෙනස් කලා.

      Delete
    5. ඒ මොකද්ද තාප්ප කතාව?

      Delete
  6. මචෝ බස්සි.. අවංකවම කියනවනං මං උඹේ කතන්දර වලට කැමතිම නෑ.. මොකද මට මෙච්චර ගතියට ලියන්න බැරි හින්දා..ඒ කියන්නේ පැහැදිලි ඉරිසියාව...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. චැහ් … පාපමිත්‍රයෝ :D

      Delete
    2. කල්‍යාන,
      වචීපරම,
      අපාය සහය, යනාදී වශයෙන්ද මිතුරන් සිටිති ථD

      Delete
    3. හික්ස්!
      තැන්කූ විදානේ!!

      Delete
  7. "ඩොගිත්තාගෙන" ...
    මොකැයි කිව්වා??

    ReplyDelete
    Replies
    1. ඇස් ඩොගිත්තාගෙන = ඇස් දෙක සම්පූර්ණයෙන් ඇරගෙන (ඇස් දෙක ලොකු කරගෙන)

      Delete
  8. අර විදානයා කිව්ව්වත් වගේ උඹේ කතා කියෙව්වම ඉරිසියා හිතෙනවා ,අපිටත් මෙහෙම ලියන්න බැරි මොකෝ කියලා . පට්ටයි ඈ

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ ඉතින්!
      තැන්කූ මචං. උඹ ඉතින් ගුරුතුමා නෙව.

      Delete
    2. ගුරුතුමා එක දවසක් කිව්ව අර බටකොස් ද කවුද මංද කියන කිවියගේ අඟල් දහයෙ සම්බාව්ය හයි හීල් එකකට පෑගුනොත් ඕනෙ එකෙක්ට කවි විසිවෙයි කියල

      Delete
  9. කටු තුඩු මතින් එන්න - කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරි තලා..
    පෑතුන් සඳක් නිසරු - අහසේ දිලේවා
    කටුවැට උඩින් පාවෙලා... 

    - කපුගේ

    ReplyDelete
  10. ....//සමහර ගෑනුන්ගේ කටහඬවල් හිසේඇම්ම ඇතිකරවන තරම් ඉහළ තානයකින් ඇහෙන්නේ. ඒ මදිවට හිකිහිකි ගෑවිල්ල//...

    ඉස්කොලේ ගිය කාලේ ගුරුවරයෙක් නැති වුනාම අපේ පංතියේ කෙල්ලෝ ටිකත් මේ වගේ තමයි...

    සාර්ථක ලස්සන ලියවිල්ලක්.............සපත්තු හොරැ තවම අහුවුනේ නැතිද ඉතින් ?

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කූ මනෝ!

      බැටළුවන් අතර ඉන්න 'බැටළු හම් පෙරවූ වෘකයෙක්' ගැන සැකයක් නිර්මාණය කලාම උන් ගොවිපල තුල රැඳීමත්, අස්වනු ලබාගැනීමට පහසුවීමත් වැඩියි. "සපත්තු හොරකම් කලේ සේවකයන් අතරින් කෙනෙක්" කියන්නේ, කතා නායකයා ඔහුට අවාසිදායක වෙන්න ගිය අවස්ථාවක් වාසියට හරවාගත් ආකාරය.

      Delete
  11. වෙනස් විදිහක කතාවක්. ඒ හන්දමද කොහෙද සමහර තැන් පැටළුනා වගේ දැනුනේ. කියවන් එද්දි ආයේ කලින් ඡේදේ පොඩ්ඩක් බලන්න උන තැන් දෙකක්ම වගේ තිබ්බ.. එහෙම නොවුනනම් කතාව ගලායාම නියමයි.

    ඒත් මම මේ තාම කල්පනා කරන්නේ මේකේ යටි අදහස මගේ ඔළුවට තාම හරියට ආවද කියල බං..

    ReplyDelete
    Replies
    1. කතාව ගලාගෙන යද්දි ඉවුරු, ගල්පරවල වැඩිපුර හැප්පිලා මං හිතන්නෙ.

      තැන්කූ දිනේෂ් අයියේ! කතාව තව ටිකක් සුමට කරන්න උත්සාහ කරන්නම්.

      I'll inbox u the "යටි අදහස". :P

      Delete
  12. සමහර තැන් ටැපලිලා පැටලුනා....ආයෙත් ආයෙත් කියවලා පැටලුම් ඇර ගත්තා....

    ReplyDelete
    Replies
    1. කොහොමහරි කමක්නෑ වැටුන වැටුන හැම වතාවෙම නැගිටගත්තනම් එච්චරයි! :D

      Delete
  13. සපත්තු හොරා හොයන්න දෙයක් නෑ. අර ඉවානය, විදානය, පත්තරය, මන්දිරය වෙන්නැති.


    බස්සි දැන් ටික දවසක ඉඳලා කොල්ලො හිතන විදිහට හිතන්න අරගෙන නෙව. හොඳයි හොඳයි. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. හොරු කිව්වම එක නමක් කියහන්කෝ... ඒකත් අර පාපොච්චාරණ පෝලිම වගේ...

      Delete
    2. හතර දෙනාම හොරු
      (..සමාවන්න--මන්දිරයා ලෙස සදහන්ව ඇත්තේ මුද්‍රණදෝෂයකිනි.මන්දිරයා යන්න වෙනුවට කසුට්ටා ලෙස නිවරදි විය යුතුය.එවිට ලැබෙන නම් හතරම කම්බ හොරුන්ගේය.....හික්ස් ....)

      Delete

    3. බොහොම ස්තූතියි කසුන්!

      මම මීට අවුරුදු දෙකකට කලින් බ්ලොග් එකේ මුල්ම කෙටිකතාව දැම්මෙත් කොල්ලෙක් කතාව කියන විදියට.

      Delete
    4. කොටදෙණියාවෙ පොලීසිය එහෙම ඔය නම් ලැයිස්තුව දැක්කනම් පස්වනක් ප්‍රීතියෙන් පිනා යයි!

      Delete
  14. බස්සිට කියන්න බස්සියෝ.. මම සෑහෙන වෙලා බලාන හිටියා පින්තුරෙයි මාතෘකාවයි. ම්ම්ම්ම්හු... කෝ කොයි කොටසද බන් බැටළුවෙක් වගේ තියෙන්නේ? එළුවෙක් වගේ නම් ඩිංගක්වත් හිතාගත්තකි. හි හි...

    බස්සි, මේකට නම් සවිස්තර විචාරයක් උරුමයි. හිටහන් ලියන්න වෙලාව ආවම. මම ඉක්මනට් ආවේ ඉඩම් කෑල්ල අල්ලලා යන්න. නැත්තම් හෙලිකොප්පරේ යන්න එපැයි කොමෙන්ටුවක් දාන්න.

    ReplyDelete
    Replies
    1. Upeksha, I am waiting for your detailed review about this story. :)

      Delete
    2. හහ්! මේ ඉයර් එන්ඩ් කාලෙ උඹට විචාර ලියන්නම ෆ්‍රී ටයිම් තියෙයි කියලා තමයි මට බය. කමක් නෑ දැන් ඉඩම් කෑල්ල අල්ලලනෙ තියෙන්නෙ. මම දෙසැම්බරේ වැකේෂන් එව්වා මෙව්ව ලැබෙන කාලෙට උඹට මේ ඉඩං කොටහ ගැන මතක්කරන්නම්කො.

      Delete
    3. පළවෙනි දෙබසින්ම අපිව ඒ තත්වයට ඇදල දාන්න සමත් වෙනවා. දැන් මේ තියෙන පරිසරේ කෙල්ලෝ සෙට් එකක් එක්ක කොල්ලෝ/කොල්ලෝ සෙට් එකක් අවුටින් එකකට යන බව කියලා අපිව ඔෆිස් මානසිකත්වයට වට්ටන්න ලේසියි. ( මොකද වෙන කොහෙද වොල්ට් අරන් යන්නේ පාර්ටි දෙන්න? හි හි) එත් එක්කම මේ පරිසරයේ ඉන්න අනිත් ප්‍රතිවිරෝධී එකාගේ කෝපය, කොටිම්ම කිව්වොත් යටපත් කටගත් කෝපය උත්තර දීලා මෙතන තියෙන්නේ බාහිර නෙවෙයි අභ්‍යන්තර මානසික යුද්ධයක් කියල පෙන්නනවා. කොටිම්ම මේ ඉන්නේ මැදි වයසේ හෝ මදි වයස ඉක්මවපු 'බොසෙක්' සහ පිඩිතයෙක් කියල අපිට වැටහෙන්න ඒ මානසික කියවිල්ල හොඳටම ඇති. ඔහොම මානසික තත්වයන් එන්න තියෙන වයස ගැන අපි අනුමාන කරගන්නවා, එකිනෙකාට සාපේක්ෂ වශයෙන්.

      අනිත් එක තමයි සතුටක්, ප්‍රීතියක් ඇතුලට එන්න විතරක් නෙවෙයි, තමන් ඇතුලේ තියෙන යුද්ධයත් පිටතට නොයන්නට තමන් විසින්ම දමාගත්ත වාරණ මැද්දේ මේ මනුස්සයා ඉන්න බව 'හඬ-වරණ' විදුරු ආවරණ හොඳ සංකේත. පිටතින් සාමාන්‍ය වගේම 'අසාමාන්‍ය සුහද' බව වගේම ඇතුලත ඉන්නා සම්ප්‍රදායික යක්ෂයා ඔහුව පෙලනවා. ඒ බව කියන්න පාවිච්චි කරපු වචන සහ වාක්‍ය හරිම බුහුටියි. තමන් විසින්ම හදපු , තමන්ගේ අභ්‍යන්තරයට හාත්පසින්ම වෙනස් තේමාවක හිර උනත් නිලධාරි උන ඔහුගේ හිතේ. කොතරම් පීඩනයක්ද ?

      හැබැයි බස්සියෝ, මෙහෙම එකක් මට හිතුනා. පාර්ටියක් දෙන්න හිතාගෙන එළියට යන කට්ටියකගේ කෙනෙක් සපත්තු දෙකක් දාල යන්න තියෙන පොසිබිලිටි එක මොකද්ද? මම ඒ ගැන තාම හිතනවා.

      මම ආසම අර ටෙඩ්ඩා ගේ කොටසට. ඒ කියන්නේ ඔහුගේ හිතේ තිබ්බ ප්‍රීතිය සහ උද්‍යෝගයට ඔහු වටා තියෙන දේවල් පෙනෙන විදිය.

      ඒත් එක්කම ඔහුගේ මේ ආකර්ෂණයේ ඇති අපුරුව, අපිට හිරිකිතයක් දනවන්නේ නැතුව කියන්නට ලස්සනට වචන තෝරලා තියෙනවා. එතැනදී 'ගෑනු.. සහ උන්ගේ හිකි හිකිය...' ඉවසන්න බැරි මේ පුද්ගලයා අඩුම තරමේ මේ සපත්තු එක්ක තෙරපෙන් තරුණ ගැහැණු කකුලක් කෙරෙහිවත් ආසක්ත වෙන්නේ නැහැ! ඊටත් වඩා ලොම් කැපීම මගින් අලුත් වෙන එකත් ඉවසගන්න බැහැ !! කොටිම්ම ටෙඩ්ඩා විදියට උඩ පන පන හිටපු සතුට ආපහු එන තරුණ උන් අතරින් නතර වෙනවා. හරියට අර ටෙඩ්ඩා අතුරුදහන් උනා වගේ.

      ඊට පස්සේ අපිව කතා නායකයාගේ මුල් අද්දකීමකට එක්කගෙන යනවා. එය ලස්සනට කෙටියෙන් කියල තියෙනවා. ( හොඳ කෙටි කතා කාරියෙක්ගේ ලක්ෂණයක්) ඒ වගේම තව සපත්තු එකතු කරපු බවත්, ඒ සැම තැනකදීම විශේෂ බවත් කීමෙන්, ඔහුගේ 'ටේස්ට්' එක ගැන යමක් හීනියට කියවන්නා තුල ඇති වෙනවා. ලොකු ලොකු සම්භාෂණ විතරක් නෙවෙයි, පාසල් දරුවන් පවා මෑතකදී ඔහුගේ මේ වැඩේට අහුවෙලා නේද? අපේ සපත්තු අතුරුදහන් වීම ගැන අපි අපෙන්ම ප්‍රශ්න කරනවා එතකොට. ඒ වගේම කාල පරාසය ගැන අපිටම හිතාගන්න පොඩි වාක්‍යක් ඉතුරු කරලා ඒ ඒ රූපරාමු ලස්සනට පටන් ගන්නේ, කලින් රූපරාමු බොඳවීගෙන යන්නට ඉඩ හරිමින්. එතනදි කුතුහලය ඉතුරු කරනවා.

      //බැටළුවො වුණත්, වයි ජෙනරේෂන් එක බොහොම උද්‍යෝගිමත්. වැදගත්ම දේ උන් තවම සපත්තු දානවා. //
      මේ කොටස ලොකු කතාවක්. එකවරම මේ පුද්ගලයා තරුණකම බැටළුවෙක් ලෙස දකිනවා. ඒ කියන්නේ සමුහ වශයෙන් ඉන්න ඇරලා, කන්න බොන්න දීලා, අස්වැන්න කපාගන්න එක තමයි බැටළුවෝ බලාගන්න එකා විදියට ඔහුගේ 'වගකීම' ලෙස ඔහු දකින්නේ. ඊටත් වඩා එහෙම ඉවර උනහම මසට උනත් ගන්න පුළුවන් බැටළුවෙක් උනහම. මොකද බැටළුවෝ ඉන්නෙම ඒ ජාති දෙකට විතරයි. ඒකෙන් ඔහුගේ ඇතුලාන්තය වගේම තරුණ ජිවිත ගැනත් යමක් කියනවා. සපත්තු දැමීම නිසාම මේ පුද්ගලයා ඔවුන් එක්ක නිහඬ අභ්‍යන්තර අරගලයක් කරනවා.

      //මනුස්සයෙකුට ඒ තරම් ලේසියෙන් දේවල් අමතක වෙන්න පුළුවන්ද?

      මුලදී බස්සි මෙහෙම කියන්නේ නිකම්ම නෙවෙයි කියලා මට හිතුනේ පස්සේ. මේ පුද්ගලයාට අමතක වෙනවා. නමුත් අමතක වෙන්නෙම ඔහු වැදගත් කියා හිතන දේමයි. වඩා පරිස්සම් කිරීමට තිබ්බ දේම අමතක වෙන එක ඔහු ප්‍රශ්න කරනවා. ඇත්තටම ප්‍රශ්නේ නැගෙන්නේ අප තුලින්මයි.

      එතැනදී ගුගුරන්නේ ඔහුගේ තනතුර. මෙතෙක් වෙලා බැටලුවන්ගේම කෙනෙක් වීමේ පීඩනය ඔහු මුදාහරිනවා, බැටළුවන් දෙසටම. ඇත්තටම අපි දෙසට... එතනින් පස්සේ බැටළුවන් සහ ඔහු අතර ඇඳගන්න බැරුව තිබ්බ වෙන් කිරීමේ ඉර සමාගමේ ප්‍රතිපත්ති වලට උඩින් ඇඳගන්න සමත් වෙනවා. එහි මුහුරත් උළෙල වෙනුවට සපත්තු දෙකේ අයිතිකාරි සහභාගී වෙනවා.

      මේ තමයි ලංකාවේ මොඩර්න් කියන කම්පැනි වල ඉහල නිලධාරීන්ගේ හරස්කඩ. ඇතුලේ ඉන්න එකා එළියට දාන්නේ වෙලාවට, ඒ මොකටවත් නෙවෙයි, අර බවුන්ඩර් ලයින් එක ඇඳගන්න

      Delete
    4. මචං උපේ

      මම ආයෙත් බස්සිගේ කතාව බලල ඔයාගේ කොමන්ටුව බැලුවා..
      බස්සි කතාවක් දැම්මට පස්සේ ඒකට ඔයාගේ විචාරයකුත් එකතු කරානං පට්ට ...

      Delete
    5. උපයා, ඔයා විචාරයක් දෙනවා කියද්දිම මම හිතුවා කතාව වැදිලා වෙන්න ඕනෙ කියලා. මට ගොඩක් සතුටු හිතුන මේ කමෙන්ටුව කියවද්දි. ඔව්, මේ කියන්නෙ ෂූ ෆෙටිෂ් එකක්, එහෙමත් නැත්නම් ලාංඡන භක්තිය තියෙන බොසෙක්. මැදිවයසෙ.

      ආ අර සපත්තු තියෙන එකද? අඩේ මම නං වැඩිපුර සපත්තු කුට්ටම් දෙකක් තියාගෙන ඉන්නෙ. ලොම්බ විකන ෆැෂන් කොරද්දි හොම්බෙන් ගිහින් සපත්තු කැඩුනොත් කියලා බැකප් එකක් විදියට ඒ. මම වැඩකරපු ඔපීසි දෙකේම කෙල්ලො එහෙමයි. විශේSඑන් මගේ උසට සමාන, බොරු කකුල් පලඳින කෙල්ලො.

      මම මොනවා කියන්නද, ළඟ හිටියනම් බොට ලොකු හග් එකක් දෙනවා ඇරෙන්න!

      Delete
    6. බස්සි මට මේ ගැන තව පිටු දෙක තුනක් ලියන්න හැකියි කියලා හිතුනා. එහෙම කලේ නැත්තේ මම සමහර තැන් දකින විදිය සමහර වෙලාවට තව කෙනෙක්ට වෙනස් විදියට පේන්න පුළුවන් නිසා. කතාවේ පේලියෙන් පේළියට ලිහනකොට වෙන අවාසිය තමයි සමස්ථ ආකෘතිය නොපෙනී ගිහින් ගැටපද විවරණයක් වගේ එකක් වන හින්දා. මේ කතාව එතරම් සංකීර්ණ කරලා නැති නිසා එහෙම ඕනේ උනේ නැහැ. නමුත් හැම වාක්‍යකම තිබ්බ බුහුටි යෙදුම් මාව ඒකට පෙළඹෙව්වා. ( ඔන්න උඹ තමයි වැරදිකාරයා ඈ ! )

      සමස්ත පින්තුරය බැලුවම මේ වගේ සපත්තු හොරකම් කරන්නේ නැති උනත් බොසෙක් යටතේ හිතොඋ එකෙක් විදියට මම මේ කතාවෙන් උද්දාමයට පත්වෙන එක අහන්නත් දෙයක්ද බස්සි? මේ වගේ උන් තරම් භයානක සත්තු මොන්ස්ටර් යුනිවර්සිටි එකේවත් නැතුව ඇති. උන් උන්ව සත්තු විදියට නොපෙන්වා ඉන්නතාක්කල් මට නම් භයානකයි. එතකල් උන් ගොදුරක් මානනවා.

      තව කෙටිකතා ලියහන් බස්සි. එක එක විදියට උත්සහ කරන්න තරම් ටැලන්ට් එකක් තියෙන නිසයි කියන්නේ. එන්නං ඈ !!

      Delete
  15. පොඩ්ඩක් පැටළුණාට මොකද දැං තේරුනා කියලා හිතනවා....... පට්ටයි.........

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අවංක ආර්යන්!

      Delete
  16. කියවන් එද්දි සමහර තැන් වල ආයෙමත් කියෙව්වා.... උඹ නම් කතා උල්පතක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානු අක්කා.

      පහුගිය ටිකේ කට්ටිය හරිහරියට වතුර අරගන්න හැදුවා. දකින්න ඇතිනෙ.

      Delete
  17. මුලින්ම ඔබේ පියාගේ අභාවය ගැන කනගාටු වන අතර එතුමන්ට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

    kleptomania නම් මානසික ව්‍යාධියෙන් පෙලෙන හොරෙකු හොරකම් කරන ගැහැණු සපත්තු දෙකකින් නැගෙන කුයිලයට ඔහු මහත් සේ ඇලුම් කරයි. ඒ සනකෙන් අතීතයේ පාසල් වයසට දිවයන ඔහු ශානු ආදී උස සපත්තුවක පෑගී යටවී යාමේ ආශාව සිත තුල නලියයි, තමන් හට ව්හාධියක් තිබෙනා බව කෙසේ වෙතත් හෙරකමට ලක්වන්නන්ගේ හැසිරීම් හා විලාසිතා ඉතාමත් සියුම්ව ග්‍රහණය කරන ඔහු මැදිවියේ අයෙකුදැයි වරෙක සිතේ. ඔහුට අනුව උන් බැටලුවන්ම වෙති, උන් පලදිනා පාවහන් අඩිය පහසුවෙන් බැටලුවන්ගෙන් ගලවා ගත හැකි ලෝමා වගෙය ඔහුට.

    කතාව ලිවිමෙදී ලිවීමටත් වඩා අවසන් කිරීමට හදිසි වුවදෝ යි සිතුනත් අපුරු කතාවකි, මට මතක් වුයේ ගී ද මෝපසාන්ගේ නුල් කැබැල්ල කතාවය. සුබ පතනවා අක්කා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොමියා මල්ලි! ගොඩක් කාලෙකින්.
      එක්සෑම් හෙම ඉවර ඇති කියා හිතනවා.

      Delete
    2. බැටලු කතාව කීවෙ මෙයා ආයතන ප්‍රධානියෙක් නිසා මල්ලි. එතන තියෙන්නෙ අර සපත්තු උස්සන සීන් එක නම් නෙමෙයි. (මම කතාව ලිව්වම ඒක ඔයා කැමති විදියට කියවන එක ඔයාගෙ නිදහස.) මම කිව්වෙ මම ලියද්දි හිතපු විදිය.

      ස්තූතියි ඔයාට. අන්න උපේක්ෂා ඔයා බලන් උන්න විචාරෙ ලියල.

      Delete
  18. කාලෙකින් මේකට රිංගන්න හම්බුනේ.. යකොඩෝ .. ගෑණු සපත්තු උස්සන හොරු ගැන ඇහුවමයි. අපි නං අහල තියෙන්නෙ වෙන එව්වා උස්සන එවුන් ගැන.. බූලන් සහ හිල්මන් කැටගරි එක...

    ReplyDelete
    Replies
    1. සිරාවටම මෙහෙම උන් ඉන්නව සජ්ජෝ!
      සජ්ජා පියපදවි ලැබුවට පස්සෙ හෙන බිසීනෙ. විවේක වෙලාවට අලුත් පට්ටම නිසා ලැබුන අලුත් අත්දැකීම් ගැන ලියමු?

      Delete
  19. මෙන්න මගේ හිත් ගත් තැන්
    තානය
    හඬ වරන වීදුරු
    ලුමිනස් වලටත් වචනයක් හොයා නොගත්ත එක පුදුමයක්.
    ආරම්මණයක්
    කුයිලක් (මම හිතා හිටියේ මේක දුගඳක් කියලා.)


    මම යට ඇඳුම් උස්සන හොරු ගැන නම් අනන්ත අහලා තියෙනවා. නමුත් සපත්තු උස්සන උන් බල්ලෝ කියලයි මෙච්චරකල් හිතා හිටියේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කස්ටියත් ඉන්නව ඩූඩ්. තැන්කූ හොඳේ... වචන විතරෙයි සිත්ගත්තෙ?

      Delete
  20. අම්මප මට තේරුනේ නෑ ..
    තරහ ගන්ට එපා මයෙ වැරැද්ද ...

    ReplyDelete
    Replies
    1. කියවන්නාට නොතේරෙනවනම් ඉතින් මගෙ දුර්වලකම.
      කාගෙවත් වැරැද්දක් එතන නෑ ඇනෝ

      Delete
  21. බ්ලොග් එකේ කමෙන්ටු යටින් රිප්ලයි කොටන්න බැරි ලෙඩක් වැළඳිලාය. ප්‍රමාදයට සමාවෙන්න!!

    ReplyDelete