ලවණ බිඳු ඇහිපිය අතර තවරා දුවන තෙත් මුහුදු සුළඟකි
ඔබේ කෙහෙ කැරැල්ලක අගිස්සෙන් මගේ ගෙල සෙමෙන් කිතිකැවෙන්නේ
රළුම රළු අත්ලතක මුදු රෝස පෙති ඇඟිලි තිය තියා
මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?
"ඔව් ඉතින් ඔයා කවි ලියන්නේ නෑ තමයි
කිව්වාම මොකද අර රතු වළාකුලත් කවියක් වගෙයි
කැන්වසය මත ඇඳෙන හැම ඉරක තිතකමත්
පින්සලෙන් වෑස්සෙන වර්ණ තලියක වුනත්
හැංගිලා තියෙන්නේ නොලියාපු කවියක අපැහැදිලි හෙවනැලියි"
රළ නැගෙන - යළි බිඳෙන'යුරු දැක පොල් කරටි කම්පාවෙනි
එයින් කමටහන් ගත් මුහුදු ළිහිණින් බවුන් වඩන්නේ
දල කටුක අමිහිරක කිරි සිනා පුබුදුවන්නෙමි කියා
තනියෙන්ම ඔරු බඳක් දියඹට ඇදෙන්නේ....
“අපි කැමති පාටත් – කෑම බීමත් එකමයි
රැවුල නැත්නම් හැබැයි මං චේට, ෆිදෙල්ට අකමැතියි
පොඩි ගෙයක් හදාගමු, සඳැල්ලට මූද පේන මානේ අපී
මමත් පර්මනන්ට් දැන් – ලෝන් ඇප්ලයි කරන්නත් හැකී
ඉන් පස්සෙ හැමදාම අතින් අත පටලාන උන්නැකී”
කෙසඟ කළු පොඩි කොලුවෙක් – හිම වළස් සුරතක ඇඟිල්ලක එතෙයි
තුරුණු යුවළක් සෙවණැලි අතර සැඟැවේ
නළලතට අත තියා මුහුදට ඔරවා, ධීවරියකද අර පෑල දොර අඩවල් කරන්නේ
තරුණියක් මද අඳුර අතරින් මතුවේ – ලාබ විලවුන් ගඳක් වැදිවැදී, නැහැ තුඩග කෙවෙන්නේ....
හිරු ගිලී අවසන්ය.
දැන් මුහුදු දිය ගොජ දදා උණු වෙනවද?
නැතිනම් ඉරත් නිවුනිද?
පපුව තුල උණු රුහිරු පැහෙන්නේ
දහසකුත් එකක් පැන බුබුලනය වෙවී ඉහලට ඇදෙන්නේ....
“අනේ ළමයෝ කතා නැතුවම ඉඳල ගොළුවෙයි
ඔයාටත් එක්ක මම කතා කරනවනෙ ඒකත් මදැයි
කාරෙකයි – පොඩි ගේකුයි
පොඩි පැටව් තුන්දෙනෙකුයි
මේක මහ පුදුමයක්! නැද්ද මං අහන්නේ?
අපි හිතන – අපි පතන හැමදේම එක වගෙයි!”
ලවණ බිඳු ඇහිපිය අතර තවරා දුවන තෙත් මුහුදු සුළඟකි
ඔබේ කෙහෙ කැරැල්ලක අගිස්සෙන් මගේ ගෙල සෙමෙන් කිතිකැවෙන්නේ
රළුම රළු අත්ලතක මුදු රෝස පෙති ඇඟිලි තිය තියා
මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?