කුඩා සුරඟන තාලයකට හිස නටවමින් කහ පැහැ මුහුදු වැල්ල යාන්තම් ඇවිස්සෙන ලෙස දෙපා සලන්නට වූවාය. ඕ නූස් ය. බුහුටි ය. බටර් පැහැතිය. දුඹුරු පැහැ වටකුරු දෙනෙත් ය. හිස් මුදුනෙහි ගැටගැසූ පොල් මලක හැඩැති අකීකරු හිසකේ ය.
මුහුදු රැලි දැරිවිය ඉස්සි ඉස්සී කුඩා සුරඟනගේ නැටුම් තාලය බලා උන්නාය. සුරඟනගේ ලගන්නා සුලු ලණු පැනුම් අනුකරණය කරන්නට ගොස් ගල් තලාවක පයද හප්පා ගත්තාය. දිය බිඳිති දසත විසිර ගියද ඇයට වේදනා දැනුනේ නම් නැති. කුඩා සුරඟන සමග මිතුරු වන්නට ඇත්නම් කොපමණ අගේ දැයි මුහුදු රැලි දැරිය නිතරෝම සිතුවා ය.
කුඩා සුරඟන වාසය කලේ වෙරළ කෙලවර ලෑලි මන්දිරයකය. ඈ සතු ගවොම් දෙකකි. එකක් ලා දම් පැහැ වූ අතර අනෙක මුහුදු නිල් පැහැ විය. මුහුදු නිල් පැහැ ගවොම අඳින දිනවල කුඩා සුරඟන බොහෝ හැඩ ඇති බව මුහුදු රැලි දැරිය කල්පනා කලාය. මදක් ඉරී ගිය ගවොම් වාටියක හිමිකාරියක් වීම කදිමයැයි සිතූ මුහුදු රැලි දැරිය සියක් පෙණපිඬුවලින් ලොවිච්චි යෙදූ සිය නිල් ගවොම් සායෙහි කොනක් ලෙහා දමන්නට තැත් කලාය.
කුඩා සුරඟන අහසට මුහුණ හරවා අත්ල බොකුටු කර නළලට ඉහළින් හිරු රැස් මුවාවක් තනා ගන්නී, 'අම්මා, අම්මා' යැයි සෙමෙන් මුමුණන්නීය. අහස් යාත්රා වළාකුළු ඉරා ඇදෙනයුරු ඈ බලා සිටින්නේ බැබලෙන දෑසිනි.
මුහුදු රැලි දැරිය කෙළිලෝල ය. බොහෝ සැන්දෑවරු වල ඈ සිය මිතුරු රැලිති කැටුව වෙරළට පැන පැන ඔට්ටු සෙල්ලම් කලාය. කුඩා සුරඟනගේ රෝස පැහැ පා පොඩිති මත දැවටෙමින් ආල පෑමත්, ඇගේ වැලි මන්දිරය යාන්තම් තෙත් කර පැන දිවීමත් මුහුදු රැලි දැරියට ඉතා ප්රිය ඉපිදවී ය. කුඩා සුරඟන සිය දෙපා හංකිති කැවෙන බව පවසමින් එක තැන උඩ පනින්නී මහ හඬින් සිනා පිපිරෙව්වාය. කුඩා අත් පොඩි වලින් දිය බිංදු අල්ලා සිර කරන්නට තැතනුවාය.
මුහුදු රැලි දැරියගේත්, කුඩා සුරඟනගේත් හිසට ඉහළින් හිරු බොහෝ වාරයක් ගමනේ යෙදුනේය. ඉතින්, විය යුතු පරිද්දෙන්ම, කුඩා සුරඟන ජේත්තුකාර තරුණියක් බවට පෙරලෙද්දී. මුහුදු රැලි දැරිය හැඩැති තරුණ රැලිත්තක් ලෙස වැඩුනා ය.
එකෝමත් එක මද්දහනක ජවසම්පන්න තරුණ රැල්ලක් මුහුදු රැලි තරුණිය වටා දැවටෙන්නට විය. ඕ හිස ගස්සා ආඩම්බර පාන්නී නෙත් කොනින් විසල් මුහුදු රළෙහි සවිමත් බාහු යුගලය දැක රත් පෑ ගැන්වුනාය. වහ වහා බිම බලා ගත්තාය.
දින සති වලටත්, සති මාස වලටත් පෙරැළෙන්නාහාම මුහුදු රැලි තරුණිය සිය පෙම්බරාගේ සවිමත් බාහු අතර දැවටෙනයුරු සැඳෑ වළාවන්ට දිනක් පාසා දැකගත හැකි විය.
'ආන් බලාපල්ලා අර තරුණකම ඉතිරෙන පෙම්වත් රැලිති.' කටකාර මුහුදු ළිහිණින් එකිනෙකාගේ ගෙල පිටුපසට හොටයෙන් ඇන ගනිමින් කසුකුසු ගෑහ. මුහුදු රැලි තරුණිය සිය පෙම්බරාගේ චුම්භන වරුසාවක කිඳී යනු දකින උසැති පොල් රුප්පාව සර සර නදින් කොස්සන් ලා සිනාසුනේය.
මේ සුරංගනා කතාවකි. ඉරණම්කාර කුමාරයෙක් නැති සුරඟන කතා ලොව කිසි තැනෙක නැති. ඉතින් ජේත්තුකාර තරුණියක් බවට වැඩුනු අපේ කුඩා සුරඟන වෙත හද බැඳුනු ඉරණම්කාර කුමාරයෙක් වෙරළ අයිනේ ගැවසෙන්නට පටන් ගෙන තිබුනි.
සුරඟන දැන් කහ පැහැ වැලි අවුස්සා සෙල්ලම් කිරීමද, අහස් යාත්රාවලට අත වැනීමද, තෙත් වැල්ලෙන් කෝම්පිට්ටු තැනීමද නවතා දමා බොහෝ කල් ය. ඈ වඩා ප්රිය කලේ වෙරළට පෙනෙන මානයේ පෙම් කරන තරුණ දිය රැලි දෙස හෝරා ගණන් බලා හිඳීමට ය. මුහුදු ලිහිණින් කියන ඇතැම් රහස් කන වැකෙන්නාහාම ඇගේ පිරුණු කොපුල් ලා රත් පැහැ ගැන්විණි. එවන් සැන්දෑවල ඕ වෙනදාටත් වැඩි කාලයක් වෙරළ අද්දර ගල් තලාව මත රැඳුනාය. දෙදණ තෙක් දිගු වූ සිය ඝන කෙස් කළඹ පිරිමදිමින් මොනවාදෝ මහ බරට කල්පනා කරන්නට යෙදුනාය.
ඉරණම්කාර කුමාරයා වෙරළට ආවේ සුදු අසු පිටින් නොව වයින් පැහැ යතුරුපැදියකිනි. ඔහු පැහැපත්ය. පුෂ්ඨිමත්ය. අක්බඹරු හිසකේ ය. නිල් පැහැති ගැඹුරු දෙනෙත් ය. මුහුදු රැලිවල ආල ලීලා දැකුමෙන් සසල වී සිටි සුරඟන ඔහු දැකීමෙන් ඔද වැඩී ගියාය.
එක් අටවක පොහොයක් ගෙවී යන හෝරාවක මුහුදු රැලි යුවල රැලි-පවුලක් බවට පත්විනි. කුඩා රැලි පැටව් දහස් ගණනක් අත්තල ගසමින් අම්මා රැල්ලත්, අප්පච්චි රැල්ලත් මැද එහා මෙහා ඇවිදින්නට උගනිමින් සිටියහ. උහු නුහුරු ලෙස ඒ මේ අත පැද්දින, පෙරැලින, නැවත නැවතත් නැගිට වැනි වැනී අඟලක් දෙකක් පෙරට ඇදින. සඳ රැස් පතිත වීමෙන් මුහුදු දිය දිස්වූයේ රන් මිටියාවතක් ලෙසිනි.
රැලි පැටව් ඉක්මනින් පිහිනන්නට ඉගෙන ගත්හ. ඔවුහු පිම්මේ වෙරළට දිව යන අයුරු අම්මා රැල්ල ආදරය උතුරන දෑසින් බලා උන්නාය. අප්පච්චී රැල්ල ඈත මුහුදේ පත්ලෙහි සැඟව ඇති විදුලි එළි එක්දහස් අටසියයකින් සැදි ගිලුණු නැවේ කතාව කොටස් වශයෙන් කියා දෙන්නේ රැලි පැටවුන්ගේ ඇස් විස්මයෙන් විසල් කරවීය.
කාලයත් සමග රැලි පැටව් වෙරළ වෙත පිහිනීමටද, කහ පැහැ වැලිතලය මත ඒ මේ අත පෙරලෙමින් දඟපෑමටද උගත්හ. වැටකේ පඳුරු අතර හැංගිමුත්තම් කරන බටර් පැහැ සුරඟනක් ගැනත්, ඇගේ නිල් ඇස් ඇති පෙම්බරා ගැනත් රැලි පැටවුන්ට කතාවෙන්නට බොහෝ ඕපාදූප තිබිණි. වැටකේ ගාල අසල නොගැවසෙන්නැයි අප්පච්චී රැල්ල තරවටු කලත්, ඒ නෑසූ කන්ව ඔවුහු තව තවත් හැංගිමුත්තමටම ප්රිය කලහ.
එක් අව අටවක රැයක අම්මා රැල්ල වෙරළ වෙත පාවී ආවාය. මෙන්න එහි ඇගේ මිතුරු සුරඟන, අර පරණ ගල්තලාව මතම, දෙදණ මත හිස රුවාගෙන සහ නිසොල්මන්ව! අම්මා රැල්ල වෛවර්ණ සිප්පි කටු තොගයක් හිසෙන් තල්ලු කරගෙනම සුරඟන වෙත එළැඹෙන්නී ඇගේ රෝස පැහැ දිගු දෙපා මත පෙරැලුනාය.
සුරඟන විපිලිසරව හිස එසවූවාය. මදක් ඉදිරියට නැමී ඕ කුඩා සන්දියේ වඩාත් ප්රිය කල දෙපියන් බෙල්ලෙක්ගේ ලා රෝස පැහැ කවචයක් අහුලා ගත්තාය. ඒ අත්ලට මිටි කර ගත් සුරඟන සඳ එළිය බිඳකුත් නැති අහස දෙස බලා 'අම්මා, අම්මා' යැයි සෙමෙන් මුමුණන්නට වූවාය.
අතීතකාමයෙන් මඩනා ලද අම්මා රැල්ල කුඩා රැලි දැරියකමෙන් සුරඟනගේ දෙපා මත සුදෝ සුදු පෙණ පිඬු විසිරෙව්වාය. නමුත් සුරඟන පෙර පරිදි දෙපා සැලුවේ නම් නැති. ඕ හිස් බැල්මෙන් ඈත ක්ෂිතිජය දෙස බලා උන්නාය. ඇගේ පා ඇඟිලි අතර රැඳි මුහුදු දියෙහි ලුණු රස වැඩිවී ඇති බැව් අම්මා රැල්ලට දැනුනි. 'ඈ බොහොම වෙනස් වෙලා.' අම්මා රැල්ල කම්පාවෙන් ආපසු හැරුනා ය. 'ඒ කුඩා සුරඟන ආයෙමත් එන එකක් නැහැ.' කනගාටුවෙන් හිස බරකරගත් අම්මා රැල්ල ආපසු මුහුදු නිවස්නය බලා ඇදුනාය.
සුරඟන ඇති තරම් හැඬුවාය. බොහෝ වේලාවක් හැඬුවාය.
මුහුදු රැලි පවුල දිනෙන් දිනම විසාල විය. මුහුදු ලිහිණින් පුරුදු තාලයටම ගී ගැයූහ. කාකයෝ පුරුදු කලබල ගමනින් රැලි හිස් වලට ඉහළින් කෝටි ප්රකෝටි වාරයක් ඒ මේ අත පියඹා ගියහ, සුළඟත් සමග කල ඕපාදූප කතාවක් අවසන පොල් රුප්පාව සරසර නදින් සිනා සැලුවේය.
එකෝමත් එක දවසක අම්මා රැල්ල ඇගේ මිතුරු කුඩා සුරඟන වෙරළේ ලණු පනින'යුරු දකින්නී, ලහිලහියේ ඈ වෙත දිව ගියාය. ඔව්, ඒ ඇගේ මිතුරු කුඩා සුරඟනමය. ඕ නූස් ය. බුහුටි ය. බටර් පැහැතිය.හිස් මුදුනෙහි ගැටගැසූ පොල් මලක හැඩැති අකීකරු හිසකේ ය.
වෙනසකට තිබුනේ ඇගේ ගැඹුරු නිල් පැහැ දෙනෙත පමණක්ම ය. ඔව්. එපමණමය.
බස්සි ලියූ වෙනත් කතා :