Thursday, November 27, 2014

නාන බාල්දි (බස්සිගේ විස්මලන්තයෙන්)






මං ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන්.


ඔෆිස් ඇරිලා ගෙදර යනවා කිව්වට ඇයි දන්නෑ ගෙදර ඇරිලා ඔෆිස් යනවා කියන්නෙ නැත්තෙ. ගෙදර ඇරිලා ඉස්කෝලෙ යනවා. ගෙදර ඇරිලා ක්ලාස් යනවා. නැත්නම් බෝඩිම ඇරිලා කැම්පස් යනවා. අපි භාෂාවේ වටිනාකම අවප්‍රමාණය කරනව කියන්නෙ ඔන්න ඕකනේ.


කොහොමහරි මම මේ ඔපිස් ඇරිලා ගෙදර යන ගමන්.


මේ දවස්වල වැඩ වැඩියි. 'වැඩ වැඩියි' කියන වචන දෙක ආංශික අනුකලනය කලාම 'මහන්සියි' කියන ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න පුලුවනි. ඒ කියන්නෙ මට දැන් මහන්සියි.


මහන්සිය කියන්නෙ මස්තිෂ්කයේ පාර්ශ්වික අනුඛණ්ඩිකාවල වැවෙන පාසි වර්ගයක්. ඒවා දීප්තිමත් ලුමිනස් කොල පාටයි. මහම මහ පල් ගඳක් තියෙන්නෙ. අන්න ඒ හින්දයි අපි මහන්සි වෙලා ආවම ඇඟපත සෝදන්නෙ. ඔය සංසිද්ධිය ආශ්‍රයෙන් හැදුන ප්‍රස්තා පිරුලක් තමයි 

"පෙරලෙන ගලේ පාසි නොබැඳේ."


අන්න ඒ නිසා මං තීරණය කලා මගදිම නාගෙන යන්න.


හරියටම ඒ සිතුවිල්ලට මයික්‍රො තත්පර දශම අටයි එකකට පස්සෙ කොන්දොස්තර කෑ ගැහැව්වා "නෙළුම් පොකුණ බහින්න" කියල. මං දඩිබිඩියේ බස් එකෙන් බිමට පැන්න. 


කලබල වැඩිකමට පැන්නෙ දකුණු පැත්තෙ කෙලවරේ තිවුන බාගෙට වහපු කවුලුවෙන්. නරක වෙලාව කියන්නෙ මගෙ හදිස්සියට නාන බාල්දිය එතන ඉඳගෙන උන්න පණ්ඩිත පෙනුමක් තිබුන රැවුල්කාර පිරිමි ළමයගේ කොණ්ඩ කැරැල්ලක පැටලුනා. 


එයා මට ඇහැක් ගහල නාන බාල්දිය උදුරලා අරන් දබරැඟිල්ල උඩ කරකවමින් බස් එකත් එක්ක ඈතට ඈතට, තව තවත් ඈතට යන්න ගියා.


මං ඇස් පුංචි කරන් ඒ දිහා බලන් උන්න.







මට තේරුනා මම ලොකු ඇබැද්දියක වැටිලා විත්තිය. නාන බාල්දිය බස් එකේ. බාල්දියක් අතේ නැතුව ගෙදර යන්න විදියක් නැහැ. මම කොයිකටත් කියලා වෙදැඟිල්ල කෙලවරේ රතු කොඩියක් ගැටගහගෙන බස් එකකට දෙහෙකට කතාකලා. ඩ්‍රයිවර්ලා බස් එක නවත්තන්න හැදුවත් කොන්දොස්තර බැලුවෙ ඔලොක්කුවට වගේ. මං හිතුවා හරි. නාන බාල්දිය අතේ නැති මනුස්සයෙක්ව කවුද බස් එකට නග්ගා ගන්නෙ!


කරන්න ඉතුරු වෙලා තිවුනෙ එක දෙයයි. මම මේ කතාව මූණුපොතේ ඇලෙව්වා. ඊට පස්සෙ අතට අහුවෙන තරම් මූණු අහුරු අහුරු අරන් ඒ කතාව පහළින් එල්ලුවා.


මට හොඳටම විශ්වාසයි ඒක කියවාපු කොල්ලො නෙළුම් පොකුණට එන්න රොකට් හදන්න ජරබර ගෑවිල්ලේ ඩබල් රූල් පොත්වල මැදපිටු ඉරාගන්න හැටි මට යාන්තමට ඇහුන බව. තනිරූල් පොත් විතරක් තිබුන අය හූල්ල හූල්ලා ඇඬුවා. මොනව කරන්නද, ඩබල් දාල යන්න රොකට් එකක් හදාගන්නනම් ඩබල් රූල් පොතක්ම ඕනෙ නෙව.


ඔය අල්ල පනල්ලේ මට ඇහුනා මගෙ ෆෝන් එක බක බක ගානවා.  කොල්ලෙක් මූණුපොතේ අලවපු පණිවිඩේට උත්තරයක් එවලා. බලද්දි ඒ අපේ නාඩියා.


රැවුල්කාර පිරිමි ළමය ඈතට යනවා වගේ පෙනුනෙ මම ඊට සාපේක්ෂව නිශ්චලව උන්නු නිසාය කියලා නාඩියා කාටිසීය ඛංඩාංක තලයක ඇඳපු අක්වක් හැඩයේ ශ්‍රිතයකින් ඔප්පු කරලා පෙන්නලා තිවුනා.


මම නාඩියගෙ ප්‍රස්තාරෙ සීරුවට රෝල් කලා. පහන් තිරයක් තරමට දිගැටි සහ කුඩා වෙනකම් රෝල් කලා.


ඊට පස්සෙ සීරුවට ඒක දකුණු කනෙන් රිංගවල අපර මස්තිෂ්ක අර්ධගෝලයේ මැද කොටසට ඇතුලු කලා. 



අන්න එතකොට මට සාපේක්ෂතාවාදය හෙමින් හෙමින් අවබෝධ වෙන්න පටන් ගත්තා. අන්තිමේදි මං හොයාගත්තා නාඩියා ඇඳපු අක්වක් හැඩයේ ශ්‍රිතය උඩ ඉඳන් උන්නු වයි අකුරක්. ඒ වයි අකුරට බොහොම මහන්සි බව පෙනුනා.  ඒ ඇයි කියලා බලන්න තව නැනෝ මීටක් දශම අටක් ලං උනාම මට තේරුනා ඒ වයි අකුරටත් නාන බාල්දියක් නැති වග.


මං එයාගෙ, ඒ කිවුවෙ වයි අකුරෙ එහාපැත්තෙන් වාඩි වෙලා කකුල් පද්ද පද්දා මූණට මූණ බලාගෙන උන්නා. මං හිතන්නෙ මුලු දවසක්ම අපි දෙන්නා එහෙම බලන් ඉන්න ඇති. 


අන්තිමේ මට ඒ දිගම දිග නිශ්ශබ්දතාව තවත් උහුලගෙන ඉන්න අමාරු උනා.


"කෝ ඔහෙගෙ නාන බාල්දිය?"

මං ඇහුවෙ එච්චරයි. හායි කියන්නෙවත්, සුභ පතන්නෙවත් නැතුවම. අඩුම ගානෙ ආරම්භයක් විදියට මම එයාගෙන් වෙලාව කීයද කියලවත් ඇහුවෙ නෑ. ඒ ප්‍රශ්ණෙ පළවෙනි දෙබස විදියට ටිකක් රළුයි තමයි. විශේෂයෙන්ම මටත් නාන බාල්දියක් නැති හින්ද ඒ ප්‍රශ්ණෙ තවත් අසාධාරණයි. 


වයි අකුර ඇස් පුංචි කරලා මගෙ දිහා බැලුවා.


"ඒක අයින්ස්ටයින් ඇන්න ගියා."


අයින්ස්ටයින් කිසිම සිහිකල්පනාවක් නැති කුරුල්ලෙක්. එයා නෙළුම් පොකුණෙ ගැට්ට උඩ වාඩි වෙලා නිල්පාට වතුරෙ දණක් ගැඹුරට කකුල් දෙක ඔබාගෙන උන්නා. ඔලුව වටේට ඇලුනු කැරලි පිහාටු එහා මෙහා පද්දමින් එයා නාන බාල්දියට සාපේක්ෂතාවාදය ගැන නැලවිලි ගීයක් ගායනා කරනවා.



"වරෙන්. ගිහින් නාන බාල්දිය ඉල්ලගමු."


වයි අකුර ඇස් දෙක කරකවමින් මා දිහා බලන් උන්නා.


"උඹට පිස්සුද?" වයි අකුර ඔලොක්කුවට වගේ ඇහැව්වා.


"ඇයි?"


"නෙළුම් පොකුණෙ නාන්න පුලුවන් අයින්ස්ටයින්ලාට විතරයි. මොනවද ඔට්ටු උඹට ඔය වැටෙන් ඇතුලට පනින්නවත් බෑ...!!!"










~ මොළේ cRaCk උන පිස්සු බස්සි ~










Monday, November 24, 2014

ඉරිදා පොහොට්ටු (බස්සිගේ විස්මලන්තයෙන්)






ඊයෙ රෑ නිදාගත්තෙ කීයටද කියලා මට මතක නෑ. දහයට, එකොළහයි තුන්කාලට, නැත්නම් පාන්දර එකයි දශම තුනයි අටට වෙන්න ඇති. හැබැයි කොහොමින් කොහොමහරි ඇහැරෙද්දි මං හිටියෙ සල්මලක් මැද්දෑවෙ. එකපාරටම සමනලයෙක්ගේ අත්තටු කෙලවරක් කම්මුලේ වැදිලා මං ගැස්සිලා ඇහැරුනා.


"අද ඉරිදා!

ඌ මගේ කනට මිමිණුවා.

 
මිමිණුමක් උනාට උගේ කටහඬ මහා සද්දයි. මං ඔය ඇහැව්වමයි කෑ ගහන සමනලයෙක්ගෙ සද්දෙ. මහ ගොරහැඩි කටහඬක්. කන ඇදුම් කෑව උනාට මම ඒ සද්දෙ නිසා හොඳටම ඇහැරුනා. ඔව්. කලින් ඇහැරිලා උන්නෙ සියේට දශම ගානයි. කවුරු වුනත් ඇහැරෙනෙ එහෙම තමයි. දශමෙන් දශමෙ. ගණන් බැරි නිසා ගොඩක් උදවියට ඔය අවදිවීමේ සමීකරණෙ තේරුම් ගන්න අමාරුයි.


ඇඟපතේ හිරි කඩලා පුරුදු විදියට මං පෙණහළු පිරෙන්න හුස්මක් ඉහලට ඇද්දා.


හුස්මත් එක්ක සල්මලෙන් ගැලවුන කහපාට පරාග මගෙ ස්වසන පද්ධතියෙ සීරුවට අඩුක් වෙනව මට දැනුන. ඒක මුලින්ම ගෙනාවෙ තෘප්තියක්. හැබැයි අන්තිමට පරාග සුණු නැහැ තුඩේ දැවටෙනකොට කරදරකාර කිතියක් දැනෙන්න ගත්ත.


එන්න එන්නම කිතිය වැඩි වුනා. නහය මුදුනෙ කූඹි පේළියක් යනව වාගෙ. බලනකොට පරාග සුණු පේළියක් හැදිලා නහය වටේ කාවාඩි නටනවා. ඒ ගමන මං ලොකුම ලොකු කිවිසුමක් පිටකලා. එකක් නෙමෙයි කිවිසුම් පේළියක්ම.


ඉන් පස්සෙ මට හොඳ සනීපයක් දැනුන.

 
කිවිසිල්ලත් එක්ක පිටට විසිවුන පරාග මගෙ වටේට ඉහිරිලා තිබුන. ඒවා බලන් ඉඳිද්දි සල් මල් පෙතිවල වැටිලා තිබුන සමනල් බිත්තර එක්ක සංසේචනය වුනා. අන්තිමේ හැම පැත්තෙන්ම අමුතු හැඩේ පැළෑටි මතුවෙන්න පටන් ගත්තා.

 
ඒ හැම පැළෑටියකම ඉරිදාවල් තුනක් ගනනේ පිපුනා. හැබැයි සම්පූර්ණ ඉරිදාවල් නෙමෙයි. පැය අටේ නමයේ ඉරිදා පොහොට්ටු.

 
"අද ඉරිදා! අද ඉරිදා!! අද ඉරිදා!!"
 
ඉරිදා පොහොට්ටු ලතාවකට ගායනා කරන්න පටන් ගත්තා. හරියටම පුංචි කාලෙ ඇහිච්ච නැළැවිලි ගීතයක් වගේ.

 
ඉතින් මට ආයෙමත් ලොකු නිදිමතක් දැනුනා.

 
හවස් වෙලා ඉරිදා පැලවලට වතුර ටිකක් ඉහින්න ඕන. පැය හතළිස් අටක ඉරිදාවක් වවා ගන්න පුලුවන් නම් සතිඅන්තේ පොළේ තියල හොඳ ගානකට විකුණ ගත්තැකි. ඉරිදා පැළ ඉරිදා පොළේ විකුණන එක තහනම්ද දන්නෙ නෑ. හොයල බලන්න ඕනෙ!

 
ඒත්, 
අද සඳුදාය කියන්නෙ!


එතකොට මම මේ ගෙවන්නෙ පැය හතළිස් අටේ ඉරිදාවක්ද?


~ මොළේ cRaCk උන පිස්සු බස්සි ~









Friday, November 21, 2014

දූවිලි (කෙටිකතාව)








වැස්ස එක සීරුවට උස් වීදුරු කවුළුවට පහර පිට පහර දෙයි. මංගල ආරාධනා පත් සැකසීම ආරම්භයේදී හිත අරාගත් උද්‍යෝගය වැස්සට හේදී ගියා වැන්න. ගැඹුරු අළු පැහැ වැහි බීරුම මගේ හදවත කොටසින් කොටස ශීතනය කරනු මට දැනේ.



ලියමින් සිටි ඇරයුම් පත එහෙමම මේසය මත දිගහැර දැමූ මම වීදුරුවට මෙපිටින් වම් කම්මුල වැහි හීතලට තද කරගෙන බේරේ වැවේ ලා කොල පැහැති දිය සේලය මත වැස්ස අඳින බින්දු රටාව දෙස අනිමිසලෝචනයෙන් බලා හිඳිමි. දැවි දැවී හුන් ගතත් සිතත් ඇසිල්ලකින් නිවී යයි. ඒ සැනින් වැහි දියෙන් පණ ලද අකීකරු හිත තෙමී දියබත් වූ පුරාණ මතක පොදියක් කොණහමින් දඟ කරයි.


වැසි දියෙන් තෙතබරිත වූ කෙහෙරැලි අතින් පිස හරිමින් ඔහේ ඇවිද යන කෙසඟ සිරුරැති ගැටවරයෙක්  කවුළුව මත විසිරුණ මීදුම් පටලයට එපිටින් පෙනී නොපෙනී යයි. ඔහු නූස්ය, සුදුමැලිය. කොහෙත්ම කඩවසම්යැයි කීමට නොහැකි වුවද ඉතා හුරුබුහුටිය.




*
*
*
*
*




“සනූ….” ඔහු ඉදිටියට නැමී මගේ දකුණු කන් පෙත්තට කොඳුරයි.


“හ්ම්ම්ම්…?”


“මම එන්නද ඔතනට?”


“ම්හු.” මම හිස සලමි. මගේ විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකරන ඔහු ඉදිරි අසුනට පැන මා කවුළුව අසලට තවද තල්ලු කර හරී. මම බස් රියේ කවුළුවට කොපුල තදකරගෙන ඉවත බලමි. වීදුරුව දිගේ පහළ ඇදෙන වැහි බිඳු සුලං පහරට ඒමේ අත විසිරී අමුතුම රටාවක් මවයි.


“බලාගෙන හොස්ස බිම වදියි.” ඔහු යළිත් මුමුණයි. දකුණු කන්පෙත්තේ දැවටෙන ඔහුගේ හුස්ම රැලි උණුහුම්ය. මම තිගැස්මෙන් අවට බලමි. බසය සිසාරා බැලුවද සියල්ලම නාඳුනන මුහුණුය. මම සැනසුම්  සුසුමක් හෙලමි.


“හෝම් වර්ක් කලාද?” ඔහුට මගෙන් පිළිතුරු වුවමනා නැත. මගේ ඇකයේ වූ පොත් කිහිපය අතට ගත් ඔහු කඩිනමින් පිටු පෙරළයි.


“ඔයා ඩිස්කෂන් එක ලිවුවෙ නැද්ද? සර් බනීවි.”


පසුපිටේ ලියා ඇති යමක් වෙත ඔහු දුරකතන කැමරාව මානයි. පෙරදිනක සර්  පද්‍ය පන්තියක් ඇගැයීමේදී උදාහරණයට ගත් Christina Rossetti ගේ පදවැලකි ඒ.









“ලස්සනයි නේද?” මම අසමි.

“හ්ම්ම්…. ඔයාගෙ අකුරෙන් ලියපු නිසා.”




****************************





මම ගෙලට සිර කරගත් ලා දම් පැහැ කුඩය ලතාවකට කරකවමින් මග බලා හිඳිමි. ඔහු පුරුදු පරිදි හිතත් හිසත් වැහි වතුරෙන් පොඟවමින් මා අසලට දිව අවුත් අනුමාන  ප්‍රශ්ණ පත්‍ර එකතුව ම'අත තබයි.


“අද ස්කූල් කට් කලාද?” මම විමසුම් දෙනෙතින් ඔහු විනිවිදින සැර බැල්මක් හෙලමි.


“ඔව්.”


“ඇයි?”


ඔහු නිහඬවම පාර කෙළවර වූ ගල් කැටයකට පා පහරක් එල්ල කරයි. පෙරැලී යන ගල් කැටය වතුර වලකට වැටෙන්නාහාම මගේ සුදු සපත්තු යුගලයේ අලුතින් මඩ පැල්ලම් රටාවක් ඉහෙයි. මම ඔහු දෙස ඔරවා බලමි. කළු පැහැ බාටා යුගලය තුලරැඳි ඔහුගේ දෙපා ඉතා පිවිතුරු ය. සීතලෙන් නියපොතු ලා නිල් පැහැ ගැන්විලා ය.


“එක්සෑම් ෆේල් වෙයි. එතකොට?”


“එතකොටත් මෙහෙමම තමයි සනූ…. කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ.”

 


ඔහු කී දේ හරියටම හරිය. වෙනස් වී ඇතැයි සිතා හුන් බොහෝ දේ දශමයකින්වත් වෙනස් වී නැති බැව් මෙතැන, මේ මොහොතේ ඇස් වලින් වැහි මීදුම උරා ගන්නා කල්හි මට පසක් වෙයි. කිසිම දෙයක් වෙනස් වී නැත. කොපමණ උත්සාහගත්තත් වෙනස් කිරීමටද නොහැක.



“රෝස මල් නැහැ. චොකලටුත් නැහැ. ඒ කියන්නෙ වැලන්ටයිනුත් නැහැ. මේ එකක්වත් නෑ කියන්නෙ ඉතින් ආදරෙත් නැහැ.” 


මම නොපුරුදු කලකිරීමකින් හිස දෙපසට පද්දමින් නෝක්කාඩු කියමි. ඔහු මහා වරදක් කර හසුවුන පොඩි එකෙකු සේහිස බිමට බර කරගෙන සිතිවිල්ලේ හිඳී.


“අදවත් ඩෙනිම හෝදලත් නැහැ.” ඔහු තවම බිම බලාගත්වනමය. මම තරහින් ගවොම් සාය ගසා දමමින් නැගී සිටිමි.


“ඉගෙන ගන්නෙත් නැහැ. රස්සාවක් කරන්නෙත් නැහැ. තාත්තගෙ බිස්නස් වලට ජොයින් වෙන්නෙත් නැහැ.” කවදාවත් නැතුව මම උස් හඬින් කියවාගෙන යමි.


“මට ලැජ්ජයි. යුනි එකේ යාලුවො අහනකොට මම ඔයා මොකෙක් කියලද කියන්නෙ? කියන්න. මොනවද මම එයාලට කියන්නෙ?”


“සනූ…. මේ අහන්න. මම….” ඔහු අතේ ගුලි කරගෙන සිටි යමක් ම'වෙත පායි. ඒ පොතක හැඩයේ කුඩා යතුරු රඳවනයකි. එය විසි කර දමන්නට හිතුනත් මමත් නොදන්නා මොනවාදෝ හේතුවකට මම එය උදුරාගෙන ගවොම් සාක්කුවෙහි රුවා  ගනිමි.


“මං යනව.”


“තව පොඩ්ඩක් ඉන්න සනූ. ලෙක්චර්ස් පටන් ගන්න තව පැය දෙකක්ම තියෙනව නේද?”


“හිතුවද මමත් ඔයා වගේ නිකමෙක් කියල? මට වැඩ තියෙනව.”


මගේ වදන් වලින් ඔහු හුන් තැනින් ඉවතට විසි වුනා වැන්න. ඔහු තවත් මොන මොනවාදෝ කීවත් මම වහ වහා දේශන ශාලාව වෙත යන කලුගල් පඩි එකක් හැර එකක් ගානේ පා තැබුවේ ඉක්මනින්ම ඔහු කෙරෙන් ඈත් වීමට ය.




තවමත් එක සීරුවට වැස්ස ය. අතීත මතකයන්හි උණුහුම මගේ ගෙල දෙපසින් ඉහළ නැගී  කොපුල් රත් පැහැ ගන්වනු මට දැනේ. 



ඒ උණුහුම කාන්දු වීමෙන් කුහුල් වූ වීදුරු  කවුළුව එක්වරම මා ඉවතට තල්ලු කර හරියි. පිටත වැහි බීරුමේ සීතලත්,ඇතුලත එක්වනම පැන නැගි උණුහුමත් දරාගත නොහී වීදුරුව සට සට නදින් කම්පනය වන්නේ ජනෙල් පඩිය මත වූ පරණ ආභරණ පෙට්ටියක් බිම පතිත විය. මම තිගැස්මෙන් කවුලුව අසලින් මෑත් වී බිම විසිරුණු කොණ්ඩා කටු, අමුතු හැඩයේ බොත්තම්, මාල පෙති එකින් එක අහුලන්නට වීමි.


එක්වනම මගේ ඇස ගැටුනේ ලියන මේසය යටට පෙරැලී ගිය දුහුවිලි වැකුණු මාල පෙත්තකි. 


නැත, 

ඒ යතුරු රඳවනයකි.


වහා එය ඇහිඳගත් මම ගැහෙන ඇඟිලි තුඩු වලින් එය මේසය මතට අත හරිමි. බිම පතිත වීමෙන් එහි කෙලවරක් කැඩී ගොස්ය. මම සෙමෙන් ඒ පොත් හැඩැති යතුරු රඳවනය අත්ලට මත ඒ මේ අත පෙරළා බලමි.


එක්වනම එහි පියනක හැඩැති ඉදිරි කොටස ගැලැවී වැටුනි අතර එතුලින් එලියට පෙරැලී ආවේ නිල් පැහැ කරදාසි ගුලියකි. වෙවුලන දෑතින් කරදාසිය විවර කරද්දී එය දෙතුන් පලකින්ම ඉරී ගියේ මගේ නොයිවසිල්ල නිසාමය.


එහි වූයේ හදවත් හැඩැති රිදී තෝඩු දෙකකි.









මම යතුරු රඳවනය අත්ලට තදකරගෙන කවුළුව අසලට ඇවිද ගියේ සිහිනයෙන් මෙනි. ඇතුලත්, පිටතත් එකවාගේම වැස්සය. කැඩුනු යතුරු රඳවනය ආභරණ පෙට්ටිය තුල තැන්පත් කල මම වහ වහා තෝඩු යුගල කන් පෙත්තේ රුවා ගෙන කවුළුවෙන් පෙනෙන ඡායාවෙහි හැඩ බලමි.


මගේ වත බොඳවී ගොස් එතැන ඔහු මැවී පෙනෙයි. ඔව්, සුදුමැලි මුහුණ, දිගටි දෙතොල්, කිසිදා නොපීරූ හිසකෙස් ඒ වාගේමය. 


නැහැ! වෙනස්ය. 

මේ ඉන්නේ ඔහු නොවේ. ඒ පරණ නව යොවුන් කෙල්ලද නොවේ. සියල්ලම හොඳටෝම, ආපසු හරවන්නට හිතන්නවත් නොහැකි ලෙසම වෙනස් වී ඇත.


තෝඩු දෙක ගලවා ආභරණ පෙට්ටියේ පතුලටම විසි කර දැමූ මම දිලිසෙන තීන්ත පිරවූ පෑන අතට ගෙන අඩක් ලියා අහවර කල මංගල ඇරයුම්පත ලං කර ගනිමි.


යතුරු රඳවනයේ වූ දුහුවිලි වලින් මංගල ඇරයුම්පත පැල්ලම් ගැසී තිබුනි.



~~~~0~~~~








අතරමං වූ කතාවෙන් එළියට එන්න පාර කියාදුන්
තිලකසිත, නාඩි, තනූජා, රන්සිරිමල්  සහ  පිරේ
වත්පොත්  මිතුරන්ට තුති!!











Tuesday, November 18, 2014

චූටි සුරතලාගේ සත්ව කරුණාව




ගොඩක් කුරුලු යාලුවො දන්නවත් ඇති බස්සිට ඉන්නවා චූටි හුරතල් නංගි කෙනෙක්. චූටි හුරතල් කිවුවම මට මතක් උනේ අපේ කැම්පස් එකේ සමහර බැචාලට කාර්ඩ් දාල තිවුනු විදිය. අපේ ෆැකල්ටියෙ හිටපු උස…..ම බැචාගෙ කාර්ඩ් එක තමයි “කොටා”. විසාලම ගෑල්ලමයගෙ කාර්ඩ් එක “සිඟිති”. ඇයි බස්සගෙ බැචෙක් හිටිය ඒ අයියා කලුම කලු, දැකුම්කලු උනාට නම “සුදු පුතා”.



තව දිගට මේ නම් ලිස්ට් එක ලියන්න ගියොත් මට ඇටෑක් කරන්න අපේ නගාට අමතරව කැම්පස් එකෙනුත් බැටෑලියන් එකක් සෙට් වෙයි. ඒ හින්දා ආපහු චූටි හුරතල් නංගියා ගැන කතාවට එමුකෝ.







අපේ නංගිගේ රතු මල් කුඩේ ගැන මම කලින් පෝස්ට් එකකත් කියල තියනව නෙව. ඔන්නොය රතු මල් කුඩේ ගැන උන්දෑ බොහොම ආඩම්බරෙන් උන්නු බවත් මම එදා කිවුව නෙව. ඉතින් ඕකෙ පොලිස් විසිල් එක ගලවාපු දවසෙ ඉඳන් මාසයක් විතරම අපේ තංගච්චි මාත් එක්ක ඔරොප්පුවෙන් තමයි උන්නෙ. 



මම ඉස්සර උදේට නැගිටින්න හොරයි. දැන් කියලත් මහලොකු වෙනසක් නෑ තමයි ඉතින්. එකම වෙනස අම්මාගේ චිරප්‍රසිද්ධ වතුර ප්‍රහාරය එල්ල කරල ඇහැරවන්න කෙනෙක් නැති එක විතරයි. ඉතින් ඔහොම පරක්කු වෙලා ඇහැරෙද්දි අපේ නංගියා ආදර්ශමත් දියණියගේ භූමිකාව අති සාර්තක ලෙස රඟදක්වමින් මේස් සපත්තු පළඳිනවා බොහෝම පිළිවෙලට.



ඉන් පස්සෙ උස ස්ටූල් එකට නැගලා, කකුල් පද්ද පද්ද අර “ඇගෙ මාමණ්ඩී මාමණ්ඩී පාර කපනවා” ට්‍රැක් එක නොකඩවා ගායනා කරමින් පොර අම්මට කියලා කොණ්ඩෙ පීරවා ගන්න සුලු කාලය ඇතුලත මං ආලෝකයේ වේගයෙන් දඩිබිඩියේ ලකලෑස්ති වෙනවා. මොකද වෙලාවට කලාවට වැඩ කරන “සිරිමත් මගෙ සකි”ගෙ ආච්චි අම්ම වගේ උන්නු අපේ නගාට හරිම අමාරුයි ඔය ප්‍රමාද වීම් වලට මුහුණ දෙන්න. අනික පරක්කු වෙලා ස්කූල් බස් එකේ උන්දැගෙ ප්‍රියතම ආසනය අහිමි උනොත් ආය ලෝක විනාසෙයි මහා පිපිරුමයි එකට සිද්ද උනා වගේ සීන් එකක් ෂුවර් ඇන්ඩ් ෂොට්.



ඉතින් ඔන්න මේ කියන දවසෙ මං ටිකක් වැඩිපුර හැඩවැඩ වෙන්න ගිහින් පරක්කු උනා. මං පරක්කු වෙන බව දැක්ක නගා පොඩ්ඩගෙ ඉවසීමෙ රතු කට්ට පැනපි. මුන්දැ කොරපු වැඩේ “අක්කා එනකම් පොඩ්ඩක් ඉන්න” කියලා ඉහල තැන් වලින් ලැබුනු අණපණත් තුට්ටුවකට මායිම් නොකර ගාල කඩාගත්තු අස්පය වගේ අර රතු මල් කුඩෙත් කිහිලි ගන්නාගෙන මගට බැහැපි.



මක් කොරන්නෙයි ඉතින්, ගිය යකා ගියාවෙ කියල මාත් නිවාඩු පාඩුවෙ ලකලෑස්ති වෙලා එලියට බැස්සෙ ස්කූල් බස් එක රවුම ගිහින් ළමයි එකතු කරන් ආපහු අපේ ගෙවල් පාරෙන් අනිත් පැත්තට යන්න අඩුම තරමේ පැය කාලක්ත් ගතවෙන හින්දයි.



කල් යල් බලා පාරට බැහැලා ටික දුරක් උඩහට ඇවිදගෙන යද්දි මට ඇහෙනවා හයි පිච් ළමා වොයිස් එකක්;


“දුප්! දුප්! දූඌඌඌප්!!!”


ඒත් එක්කම මගේ පින්බර නෙත් ඉදිරියේ විද්‍යාමාන උනේ මේ ලෝකෙ පහලවෙන පින්වන්තයන් ඉතාම අතළොස්සකට පමණක් තම තමන්ගේ පුණ්‍ය මහිමය නිසාම කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස දකින්නාසේ ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන දර්ශනයක්.


අපේ නංගි අර රතු මල් කුඩේ පොළව දෙසට අංශක හතළිස් පහක කෝයකින් ඇල කරගෙන වේගයෙන් කැරකෙනවා. ඒ වටේට චූටි බලු පැටව් තුන් දෙනෙක් පිස්සො වගේ උඩ පනින්නෙ ඒකගෙ සපත්තු වල එල්ලෙන්න. කුඩේ පිහිටෙන් වෘත්තාකාර ආරක්ෂක වලල්ලක් නිර්මාණය කරගත්තු අපේ නගා සුනඛ උවදුරෙන් බේරෙන්න කොරන සටනෙ බරපතලකම තේරුම් අරන් දුවල ගෙහුන් උන්දැව බේරගත්තටත් පස්සෙ පොඩ්ඩක් බඩ අල්ලං හිනා උනා කියල මට ලැබුනෙ රැවුම් ගෙරවුම් විතරමයිලු ඕං.








******************************


ඔන්න දවසක් නගා උන්දැ කාමරේට වෙලා පාඩම් කොරනව. මං වගේ නෙමෙයි පොර අධ්‍යාපනයට ලැදි හොඳ කීකරු දරුවා. ඒ නිසාම උන්දෑ පාඩම් කරන වෙලාවට, ගේම් ගහන වෙලාවට, පොත් කියවන වෙලාවට, ෆිල්ම් බලන වෙලාවට, පත්තරේ බලන වෙලාවට මට අපේ නගාගෙ කාමරේ තහනම් කලාපයක් බවට පත්වෙනවා. (යකෝ බලාගෙන ගියාම ඒ කාමරේ හැම වෙලාවකම මට තහනම් කලාපයක් වෙලානෙ තිබිල තියෙන්නෙ!!) ඒ වුනත් ඉතින් ඕපදූපයට ලොල්වූ මගේ දෙසවන් නිරතුරුවම ඒ පැත්තට ටියුන් වෙලා තමයි තිවුනෙ. ඔහොම ඉන්නකොට එකපාරටම ඇහෙනව;







“තාත්තේ…. මැස්සෙක් ඇවිත්!”

“තාත්තේ….. බේරගනියෝ…. මැස්සෙක්!”

“තාත්තේ…..!”

“තාත්තේ…..??”

“තාත්ත එන පාටක් නෑ. හොඳ හිතින් පලයන් මැස්සෝ මාව යකා කරගන්නැතුව!”


“මැස්සො… ඉහි ඉහි අනේ යන්ඩකෝ එලියට කිවුවම අහලා….”


නගා පොර කාමරේ මැද දනගහගෙන මැස්සට ආයාචනා කොරන හැටි මැවිලා පෙනුනත් මම සද්ද නැතුවම ඉවසා වදාරගෙන හිටියා ඉතුරු ටිකත් අහගන්න.


“මැස්සෝ ඔන්න මං 
න ර ක ළ ම ය යි   කි ය න් න  එ පා !!!


“දඩස්!”

මහා හයියෙන් දඩාර පොතක් මේසය මත පතිත වෙන හඬ!


“දඩස්!”

“දඩස් !!” “චක් !!” “දඩබඩස් !!”


නිහඬතාවයක්


“මලා?”

“මලා.”

“අනේ මලානෙ…” 
පොරට ඇඬෙන්න ඔන්න මෙන්න!


“මොකද්ද මැස්සො උඹ මේ කරගත්තු අපරාදෙ?”

“උඹ මලා නේද?!”

“ඔන්න අපි දන්නෑ. අපිට මේ මරණෙට කිසිම සම්බන්ධයක් නෑ.”




******************************



ඔයවගේම තවත් එක් සුන්දර සැන්දෑවක අපේ චූටි සුරතලා කුස්සියට වෙලා තේ බොනවා.  ඔන්න ඔය වෙලාවෙ කිසිම හැලහොල්මනක් නැතුව නිවීසැනසිල්ලේ බිස්කට් එකක් හපහපා හිටපු අපේ අම්මා එකපාරම පුටුවෙන් අහකට විද්දා.


විද්දා කියන්නෙ අර කාලතුවක්කුවකට දාලා පත්තු කලා වගේ තමයි ඉතින්. කෙලින්ම තිරස් ප්‍රක්ශිප්තාකාර පථයක ගමන් කිරීමෙන් අනතුරුව කොස්ස පාමුල නතර වුනා.


කොස්ස ඉතාම දරුණු ආයුධයක් විදියට මානාගෙන දැන් අම්මා කුස්සිය දෙවනත් කරනවා. කබඩ් වලට අනිනවා, ලිප මුල්ලට ප්‍රහාර එල්ල කරනකොර අළු සහ දූවිලි වළාකුලු පාවෙනවා, මේස යටට අනිනවා, ආයෙ උඩ පැනලා පැන්ට්‍රි කබඩ් සමතලා කරන්න යනවා, එක විජ්ජුම්බරයයි.


අන්තිමේ කුතුහලයේ පීක් පොයින්ට් එකෙන් විඩාපත් වුන අපේ සවන් පත් මතට මේ කොසු හරඹයට හේතු භූත වූ කාරණාව ඇම්බියුලන්ස් නාදයක අනුකරණයෙන් අහගන්න ලැබුනා.


“මීයා මීයා මීයා මීයා”


කොසුපාරට දෙදරුම්කාපු භාජන වගයක් සලබලාං සද්දෙන් බිම වැටෙද්දි යළිත් වරක් අම්මාගේ ඇම්බියුලන්ස් නාදය ඇහුනා.


“මීයා මීයා මීයා මීයා”








ඒත් එක්කම අර්තාපල් අලයක් විතර මී පැට්ටෙක් රෝඩ් රනර් ශෝ පරදවමින් අපි ඉඳගෙන හිටපු පුටු පේලිය දිහාවට ඇදී ආවා. අපි එකාවන්ව පුටු උඩ සීරුවෙන් හිට ගත්තා.


ඒත් එක්කම කන පාලාගෙන යන තරම් සද්දෙට ඇහුනෙ අපේ නංගිගේ සයිරන් එක.


“ආ….. ආ ආ ආ ආ….. 
ආ…… ආ ආ ආ ආ….. ආආ……………….”







විනාඩි දෙකකට ආසන්න කාලයක් පැවතුන ඒ සයිරන් නාදය නිහඬ වෙනවාත් සමගම අපේ මහත් පුදුමයට හේතුවුනේ මී තඩියා සයිරන් එක ගහන්න පටන් ගන්නකොට උන්නු තැන එහෙමම නිසොල්මන්ව ඉන්න එක.


“මීයෝ…” අපේ නංගි හෙමින් මීයාව ඇමතුවා.


“ඕයි මීයෝ.. දුවපන්”


මීයා හැලහොල්මනක් නැහැ. මීයාව එලවන්න එකාවන්ව පුටු උඩ නැගී සිටි බැටෑලියන් එකම ඌට ප්‍රථමාධාර දෙන්න රොක් වුනා.


අනේ…. 
ඒ වෙනකොටත් මී අසරණයාගේ හුස්ම නැවතිලා.


එක්කො ඌට හාර්ට් ඇටෑක් එකක් හැදෙන්න ඇති, නැත්නම් කන් අඩි පැලීමෙන් මරුමුවට පත්වෙන්න ඇති කියලා අපි නිගමනය කලා.


“මොකද්ද මීයෝ උඹ මේ කරගත්තු අපරාදෙ?”

“උඹ මලා නේද?!”

“ඔන්න අපි දන්නෑ. අපිට මේ මරණෙට කිසිම සම්බන්ධයක් නෑ.”


සූටි හුතල් නංගියා තොල් මතුර මතුර හෙමින් හෙමින් කාමරේට ඇදුනා.




තාත්තයි - අම්මයි - නංගියි - බස්සියි











Saturday, November 15, 2014

බළලෙකුට බැරිද සමනළයෙක්ට පෙම් කරන්න?







දිගැටි උල් රදනක දත් ද
තියුණු මුවහත්කල නිය ද
දඩයම් ඇස් ද ගෙරවුම් ද
අතර සැඟවෙන්නට බැරිද

බොළඳ ආදර හදවතක්


අළුවන් දෘෂ්ටියක් ඇතැයි කිවුවට
ඇස් පියාගෙන බලනවත් ඇති
දේදුනු පාට හීනයක්



ඉඟිමරන්නේවත් නැතුවම
ආදරේ සීරුවට තවරා
හුළඟෙ පා කරනවත් ඇති
උණුසුම් බළල් හාදුවක්



සීරුවෙන් නිය පහුරු හකුළා
ඉතා හෙමිහින් - මද තිගැස්මෙන්
පිරිමදිනවත් ඇති
මුදු පියාපත් කෙලවරක්



පොරවගෙන දම් පාට ගොම්මන
සේද අත්තටු නොරිද්දෙන ලෙස
තුරුල්කරගෙන ඉන්නවත් ඇති
සේදවන් සමනළයෙක්



"අදත් මූ ගිහිල්ලා
අමන දඩයම් ගමනක්!"
බළල් හද ගැන නිනව්වක් නැති
අයිතිකාරිය බනිනවත් ඇති
නැතිව කිසි ඉස්පාසුවක්



~ බස්සි ~







මං දන්නවා කවි වලට වඩා ගොඩක් අය කැමති කතාවක් කියවන්න. මේ දවස්වල අවුරුද්ද අවසාන කාලෙ නිසා බස්සිට අර "බොරුබිසී" කියන ලෙඩේ හැදිලා ඉන්නෙ. ඒකයි කෙටි කවි පල කරන්නෙ. ඉක්මනින්ම සුපුරුදු ඇන්ඩි-කතා, පිස්සු-කතා, විද්‍යා විනෝද කතා, කට කතා, කෙටි කතා, මෝඩ කතා සහ සින්දු කතා අරගෙන එන්නම්.



තව කණගාටුදායක ආරංචියක් ලැබුනා. අපේ බ්ලොග් ලියන ගාලු කොල්ලා ගෙ අම්මා නැතිවුනා ඊයෙ දවල්. අවසන් කටයුතු හෙට හවස හතරට. වැඩි විස්තර දන්න අය ඉන්නවානම් කියන්න.




 

Thursday, November 13, 2014

ජීවිතය හිම කිරමකි









ජීවිතය
හිම කිරමකි

නොඑක් පැහැ ගැවසී ඇති
කැරමල්ද කජු පියලිද
ඝනවු චොකලට් කැබැලිද
වියළි මුද්‍රික ඵලද
තැන තැන විසුරවා ඇති


සරත් සමයෙහි නිති
සිහිල් සුව ගෙනදෙනු ඇති
දිවගා උරනු රිසි වෙති

එළඹුන පසුව සිසිරය
දෙතොල හිරිවට්ටනු ඇති
සියොළඟම වෙව්ලුම් දෙති


ජීවිතය
හිම කිරමකි

දින දින දියව වැගිරෙති
අත තබා කල්මරන්නෝ වෙති
රස තැන් උන්ට නොදැනිම
ගැලැවී බිම පතිත වෙති

රසින් පැහැයෙන් වියැකුන
සුවඳක් රැඳුන නොරැඳුන
සිහින් කෙටි ලී පතුරක්
අතැඟිලි අග ඉතිරි වෙති



~~~~@~~~~







Sunday, November 9, 2014

පරිණත යාත්‍රිකයෝ සහ නුපුරුදු පිහිනුම්කරුවෝ





අද කාලෙ හැමදේම යන්නෙ රැල්ලට. රැල්ලට යන්න එපා කියල නවකයන්ට බනින එකත් එක්තරා විදියක රැල්ලක් වෙලා. ඒ කියන්නෙ මුලු ලෝකෙම යන්නෙ රැල්ලට.


මම හිතන විදියටනම් දෙයක් කරන්න රැල්ල ස්පර්ශ  නොකර බැහැ. වැල්ලෙ ඉඳගෙන රැල්ල නරඹන උදවිය වෙනුවෙන් රැල්ලට බහින්නම වෙනව. මේක කවියට, සංගීතයට, නර්තනයට, රංගනයට, චිත්‍ර මූර්ති වලට විතරක් නෙමෙයි, සකලවිධ කලාවන්ටම පොදුයි. සකලවිධ කලාවන්ටම පොදුයි කියන ප්‍රකාශයේ ඉඳන් බලනකොට ඉවුම් – පිහුම් ඉගැන්වීමත් කලාවක්, ඒ ලෙවල් විභාගෙට ටියුෂන් දීමත් කලාවක්, ජ්‍යෝතිෂ්‍යවේදියෙක් සෙනසුරු මාරුව ගැන සන්නිවේදනය කිරීමත් කලාවක්.


හැමෝම යන්නෙ රැල්ලටනම් අපි වැල්ලෙ ඉඳගෙන මොන වන්නම් නැටුවත් වැඩක් නැහැ. අපිත් රැල්ලට බහින්නම ඕනෙ.






ඒත්, රැල්ලට යන උන් අසාර්ථකයි කියන කතාව විශ්වීය නියමයක් තරමටම මිනිස්සුන්ගෙ හිත්වලට කා වැදිල තියෙන්නෙ ඇයි? අපි සාර්ථකයි කියන්නෙත් රැල්ලෙ රඟදක්වාපු උදවියටමයි. හැබැයි, එයාලගෙ සාර්ථකත්වය නිසාම අපි හිතනව එයාල ඉන්නෙ රැල්ලට ඉහළින් කියල.


රැල්ල ස්පර්ශ කරපු, එහෙමත් නැත්නම් මුහුදට පැනපු උදවියගෙන් සමහරක් දක්ෂ යාත්‍රිකයො වෙන්නෙත්, සමහරක් අඩි දහයක් යනකොට ගිලෙන්නෙත්, සමහරක් අය රැල්ලට ඉහළින් උන්නා වාගෙම පෙනිල එකපාරට බර්මියුඩාවට ඉහළින් ගියා වගේ අතුරුදහන් වෙන්නෙත් ඇයි?


දක්ෂ යාත්‍රිකයෙක්, එහෙමත් නැත්නම් රැල්ලට ඉහළින් ඇවිදිනව වගේ පේන කෙනෙක් වෙන්න ලේසි නෑ. මුලින් ඔයා යන්න ඕනෙ වැල්ලට. වැල්ලෙ ඇවිද ඇවිද බලන්න රැල්ලට ඉහළින් ඉන්න අයගෙ විශේෂත්වය.


එකපාරම පේන එකක් නෑ. එහෙනම් ඉතින් දුරදක්නයක් අරගන්න. මොකද නිරීක්ෂණයයි වැදගත්.





ඔය රැල්ලට ඉහළින් යනව වගේ පේන සාර්ථක නාවිකයො හැමෝටම තියෙනව තමන්ගෙම පිරිසැලසුමකට අනුව නිර්මාණය කරගත්ත යාත්‍රාවක්. ඒ යාත්‍රාව සැලසුම් කරල තියෙන්නෙ එයා යාත්‍රා කරන මුහුදට ගැලපෙන්න. මෙහෙම කියමු, කිමිදුම්කරුවෙක්ගේ යාත්‍රා පිරිසැකසුම දූපත් ගවේෂකයෙකුගෙ යාත්‍රා පිරිසැකසුමට වඩා හාත්පසින්ම වෙනස්. තේරෙන භාෂාවෙන්ම කියන්නම්කො, කවියෙකුගේ ශක්තතාවය කෙටිකතා කරුවෙක්ගේ ශක්තතාවයට වඩා වෙනස්.


හැබැයි එක මුහුදක දිනන්නෙ එක්කෙනයි. ජයග්‍රාහකයෙක් වෙන්නම ඕනෙනම් ඔයාට සිද්ධවෙනව වෙනස් මුහුදක් හොයාගන්න.


මුහුදක් හොයාගත්ත කියමු, මගේම ආරක යාත්‍රාවකුත් හදාගත්ත කියමු, ඒත් කෝ අර පරණ මුහුදුවල වෙරළෙ පිරිල උන්නු මිනිස්සු?


අන්න ඒක දරාගන්න වෙනව. මුලදි වෙරළ මලපාලුයි. පවුලෙ කෙනෙක්වත් නෑ, එයාලත් අර පරණ මුහුදක් ගාව ඔල්වරසන් දෙනව. හැබැයි ඔයාගෙම ක්‍රමේකට ඉස්සරහට යනකොට ඔන්න ඈත වැල්ලෙ නරඹන්නො එකා දෙන්නා එක්කාසුවෙන විදිය ඔයාටම පෙනේවි.


එහෙම ඉන්න අතරෙ ඔයාගෙ යාත්‍රා ශෛලිය ඒකාකාරියිනම් එයාල මුහුදටම ඇහෙන්න හූ කියාවි. එතකොට තියෙන්නෙ අලුත් යාත්‍රා විලාසයන් අත්හදා බලන එකයි.






ඔන්න ඔහොම කාලයක් යද්දි එකා දෙන්නා ඔයාගෙ මුහුදු වෙරළට ඇවිත් අන්තිමේ බොහොම පිරිසක් ඔයා දිහා බලන් ඉඳීවි. ඔල්වරසන් දේවි. කුණාටුවට යාත්‍රාව හෙලවුනොත් හූ කියාවි. කීපදෙනෙක් කෑගහල ඔයාව දිරිමත් කරාවි.


ඔය අතරෙ හොඳට වෙරළ දිහා බලන් උන්නොත් තව දෙයක් දැකගන්න ලැබේවි. ඒ තමයි ඔයා දිහා වැල්ලෙ ඉඳන් බලන් උන්න සමහරු ලෑලි කෑල්ලක්වත් නැතුව නිකම්ම මූදට පනින හැටි. ‍යාත්‍රාවක් හදාගෙන මුහුදට පනින්නයි කියල කොච්චර කෑගැහුවත් සමහර කොලු කුරුට්ටො ගල් පරයක වැදිල කුඩුපට්ටම් වෙනකම් කියන දේ නාහ රැල්ලටම යාවි. ඔවුන්ගෙ සුන්බුන් වැල්ලට ගහගෙන එද්දි වැල්ලෙ ඉන්න මිනිස්සු කම්මුලේ අත තියාගෙන පුරුදු විදියට කියාවි “රැල්ලට යන්න ගියොත් නිකම් නහින්නයි වෙන්නෙ.” කියල.


සමහර කොලු කුරුට්ටො ඊටත් වඩා මෝඩ වේවි. ඔයාගෙ යාත්‍රාවෙන් ගැලවුන ලෑලි කෑල්ලක් බදාගෙන ඈත මුහුදට පාවෙන්න යාවි. ඒ විතරක්යැ, සමහරු ඔයාගෙ යාත්‍රාවෙ කොටස් මංකොල්ල කන්නත් හදාවි. එහෙම හොරකම්කරගත්තු ලෑල්ලක් උඩ ඉඳන් පිනුමක් ගහද්දි වැල්ලෙ ඉන්න මිනිස්සු ඔවුන්ටත් ඔල්වරසන් දේවි.





ඔයාගෙ යාත්‍රාවෙන් කොල්ලකාපු ලෑල්ලක්, ඔයා මහන්සියෙන් මල්කම් ලියකම් කැටයම් කරපු ලෑල්ලක් වෙන කෙනෙක් මංකොල්ලකාපු හැටි දැක්කම ඔයාගෙ හිතත් රිදේවි. සමහරවිට ඔයා ඒ ගැන දන්නෙවත් නැතිවෙන්නත් පුලුවනි.


ලස්සන වැඩේ කියන්නෙ, ඔය මගෙන් හොරකම් කරපු එකක් නේද කියල ඇහුවොත් සමහරු ඔයා එක්ක සණ්ඩුවටත් ඒවි. අපහාස උපහාස කරාවි. ඊගාවට තමන්ගේ කුණු ගඳ හංගාගන්න හිතාගෙන ඔයා එයාගෙන් කොපි කලා කියල වුනත් කියාවි.


ඒ තමයි අපරිණත මිනිස්සුන්ගේ හැටි. ඒවට කම්පා වෙන්න එපා. බොහෝවිට කාලයත් එක්ක වැල්ලේ ඉන්න මිනිස්සු අඳුනාගනීවි ඒ ඔයාගෙන් හොරකම් කල කැටයමක් කියල.


ඔහොම ටික කාලයක් ගතවෙනකොට ඔයාට හමුවේවි වෙනස් වෙරළවල් වලින් වෙනස් මුහුදු හොයාගෙන යාත්‍රා කරන සහෘද යාත්‍රිකයෝ. ඔවුන් ඔයාට අතවනාවි. මුලදි  ඔයා පෙනෙන නොපෙනෙන මානයේ ඉඳන් අතවනද්දි ඔවුන් මෙහෙම කෑගහවි;

“ඔහෝ අතදරුවා! සාදරයෙන් පිළිගන්නවා උඹව මහ මුහුදට!!”


ඔයා අතදරුවෙක් නොවෙන බව හගිස්සන්න යාමෙන් වෙන්නේ ඔයා අතදරුවෙක් බව තහවුරු වීමමයි. ඒ නිසා කලයුත්තේ ඔයා අතදරුවෙක් බව පිළි අරගෙන ප්‍රවීන යාත්‍රිකයන් සමග සුහද සිතින් තමන්ගේ ගමන යන එකයි.


අන්තිමේදි ඔයාට පෙනේවි ප්‍රවීණ යාත්‍රිකයොත්, නවක යාත්‍රිකයොත් හැමෝම වෙනස් යැයි කියාගෙන යාත්‍රා කරන්නෙ එකම මුහුදක බව. වෙනස් වෙන්නේ වැල්ල මිසක්, මුහුදවත්, රැල්ලවත් නොවෙන බව.


නමුත් අමතක කරන්න එපා, ටයිටැනික් නැවත් නොහිතූ විදියට මුහුදෙ ගිලුන බව.


මේ සයුරු තරණය කාලයත් එක්ක ඔබට එපාවෙන්න පුලුවනි. බොහෝ යාත්‍රිකයො කරන්නේ තමන්ට එපා වුනත් වැල්ලේ ඉන්න නරඹන්නන්ගේ ආකර්ශණය හින්දම දිගටම රැල්ලත් එක්ක යනවා. වැල්ලේ ඔල්වරසන් දෙන්නන්ගේ අවසාන අත්පොළසන් හඬත් නෑසී ගියාම තමයි ඔවුන් මහා කම්මැලිකමකින් ආපහු වැල්ලට එන්න හැරෙන්නේ.




මම පෞද්ගලිකව හිතන්නේ සයුරු තරණය රඳා පැවතිය යුත්තේ ඔබේ ප්‍රීතිය උදෙසාමයි කියලයි.


ඇයි මම මේක ලිවුවෙ? මම කැටයම් කරපු ලෑලි කෑලි දෙකතුනක් මංකොල්ල කාපු නුපුරුදු පිහිනුම්කරුවො දෙන්නෙක් නිසා. නුපුරුදු පිහිනුම්කරුවෙක් වුනත් අන්තිමේ පළපුරුදු යාත්‍රිකයෙක් වෙනවනම් කොයිතරම් වටිනවද නේද……






ප.ලි.

Inspired by ;

කුරුලු නිස්කලංකගේ ෆේස්බුක් ස්ටේටස් එකක තිබුනා “රැල්ලට නොලියන්න – වැල්ලට ලියන්න” කියලා. එතැනින් තමයි රැල්ලයි, වැල්ලයි ගැන කියැවීම පටන් ගත්තේ. ලින්ක් එක හොයාගන්න බෑනෙ ඒක හොයාගන්න පුලුවන් පින්වතෙක් හිටියොත් එවන්න. එතන කමෙන්ට්ස් විදියටත් වටින අදහස් ගොඩක් තිබුනා.