පළමු කොටස මෙතැනින්
මම දොරත්, බිත්තියත් අතර කෙලවරට ගුලිවෙලා කල්පනා කරමින් හිටියා. අත් සෝදා ගත්තත්, රෝස පාත්තියේ තිබුණු කළු පාට පස්වලින් නියපොතු පිරිලා ගිහින් බව මම දැක්කේ එතකොටයි. කළුපාට නියතුඩුවලින් මම අරමුණක් නැතුව දොර ලෑල්ලට තට්ටු කරන්නට වුනා.
'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්'
නොහිතපු විදියට සිහින් කිරි කිරි හඬක් නගමින් දොර පියන විවර වුනා. දොරට හේත්තු වෙලා හිටි මම, මකුළු දැල් පදාසයකුත් ඔළුවේ ඔතාගෙන ඉදිරියට තල්ලු වුනා. ඒ වගේ අනපේක්ෂිත ඉදිරි තල්ලුවක් නිසා වෙන්න පුලුවන් හොඳම දේ විදියට එතනින් පහල තිබුන කෙටි පඩිපෙළකින් මාව පහලට පෙරලිලා ගියේ රෙදි බෝනික්කෙක් වගේ.
පඩි පෙළ කෙලවර වුනේ කුඩා ශාලාවකින්. ඒ දකින්නේ හීනයක්ද, නැත්නම් හැබෑවක්දැයි මට හිතාගන්න බැරි වුනා. මම ඇස් කණ්නාඩිය ගලවලා බැලුවත් වෙනසක් වුනේ නෑ. ඒ කාමරයේ කහ පාට ප්‍රතිදීප්ත විදුලි ආලෝකය යටතේ විශාල පළිඟු ගෝලිකාවක් කැරකෙමින් තිබුනා. ඒ අසල, උස ස්ටූලයකුත්, ඊට සවි කල දිග මේස ලෑල්ලක් හා ස්පර්ශ සංවේදී තිරයකුත්, පිටුපස දිග රාමුවකට සවි කල ස්විච්චි සහ බොත්තම් රැසකුත් ඇහැට අසුවෙන අතරේ මම මාවම කොනිත්තාගෙන බැලුවේ මේක හීනයක්දැයි සැක හිතුන නිසයි.
විශ්වාස කරනවානම් විශ්වාස කරන්න. ඒ ගෝලිකාවෙන් නිරූපණය වුනේ පෘතුවි ගෝලය. මම කවදාවත් භූගෝල විද්‍යාව විෂයට මහලොකු කැමැත්තක් තිබුනෙ නෑ තමයි, ඒත්, කොලපාටින් තිතක් වගේ ලකුණු කරලා තිබුන අපේ නගරය මම එක්වරම අඳුනගත්තා. ඒ සතුටටම මම ඒ ලුමිනස් කොලපාට තිතට ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දැම්මා.
එක්වරම තිරය මත දිගහැරුනේ අපේ කුඩා නගරය. හැම ගෙයක්ම, ගහක් කොලක්ම, කුඩා අතුරු පාරක්ම ඒකෙ ඉතා පැහැදිලිව සටහන් වෙලා තිබුනා. ඒත්, ඒ අතරේ කුහුඹුවන්ගෙ ප්‍රමාණයේ මිනිස් රූප රැසක් එහා මෙහා ඇවිදිනවා පෙනුනා. ඉතින්, මම තිරයට ඇහැ ලං කරලා බැලුවා. ඒ හැම රූපයකින්ම නිරූපණය වුනේ අපේ නගරවැසියෝ....!
ටික වෙලාවක් අර ස්විච්චි, බොත්තම් සහ යතුරු එක්ක ගැවසෙනකොට මට හෙමින් හෙමින් අවබෝධ වෙන්න ගත්තා මෙතැනින් මට ඒ අයගේ හැසිරීම් පාලනය කරන්න පුලුවන් බව. යකඩ ඉන්නක් ගිල්ලා වගේ තනි කෙලින් පාරෙ ඇවිදින, මූණෙ හිනා පොදක් නැති අපේ ෂෙරිෆ්ව පරීක්ෂණේකට යොදාගන්න හිතහදාගන්න මට අමාරු උනේ නෑ.
මම ෂෙරිෆ්ව තැපැල් කන්තෝරුව එහාපැත්තෙ තියෙන මෙගා මාර්ට් එකට යවලා චොකලට් ඩිලයිට් අයිස්ක්‍රීම් දෙකක් මිලදී ගත්තා. සතියක් තිස්සෙම මෙගා මාර්ට් එක ඉස්සරහින් එහා මෙහා ගිහින් තිබුනත් චොකලට් ඩිලයිට් එකක් කන්න තරමට මුදලක් සාක්කුවෙ ඉතුරු වෙලා තිබුනෙ නෑ. කොහොමින් කොහොම හරි ෂෙරිෆ් අයිස්ක්‍රීම් දෙකක් දෑතින් අරන් අපේ ගේට්ටුව ගාවට එනකොටයි මම දැක්කේ තාත්තා ඇස් දෙක නළලට අරන් මිදුල හරහා ගේට්ටුව අරින්න දුවනවා.
"මේ, එන්න ඇතුලට මහත්මයා. ඒත් මොකද මේ අවේලාවෙ?" තාත්තගෙ කටහඬ ඇහෙද්දි මට දෙලෝ රත් වුනා. කලබලේට තාත්තව පාලනය කරන යතුරු හොයන අතරේ ෂෙරිෆ්ගේ කමිසෙ අයිස්ක්‍රීම් තලියක්ම තැවරුනේ මගේ අත්වැරැද්දෙන්.
තාත්තව නිදන කාමරේට පිටත් කරලා, මගේ චොකලට් ඩිලයිට් දෙක කාමරෙන් තියපු ෂෙරිෆ්ව පරෙස්සමට ගේට්ටුවෙන් එළියට යැව්වට පස්සෙ මම ඒ දෙන්නවම මගේ පාලනයෙන් මුදා හැරියා. ෂෙරිෆ් කමිසයේ තැවරුනු අයිස්ක්‍රීම් තලිය දිහාත්, ගුරු පාර අයිනෙ තිබුන ලොකු මැයිමාර ගහේ අතු දිහාත් මාරුවෙන් මාරුවට බලන හැටි දැක්කමනම් මට හොඳටෝම හිනා ගියා.
පහුවදා දවසම මම කල්පනා කලේ මේ අලුත් වාසනාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියලයි. කොයිතරම් බර කල්පනාවක හිටියද කිවුවොත්, රසායන විද්‍යාව පාඩම ඉවරවෙලා මිස්ටර් හන්ටර් මගේ නම කියල තුන් පාරක් කෑ ගහනකම් මට ඇහුනෙත් නෑ. හැබැයි, එයා මගේ ව්‍යාපෘති වාර්තාව මූණට දමා ගහපු එකයි, පහුවදාට අලුතෙන්ම වාර්ථාවක් ලියාගෙන එන්න කියපු එකයි තමයි මට උහුලගන්න බැරි ලැජ්ජාවක් වුනේ.
මම දැක්ක, ලකුණු අනූ හයක් එක්ක රත්තරන් පාට පෑනකින් අති විශිෂ්ඨයි කියල ලියපු වන්යාගෙ වාර්ථාව. ඉතින්, විය යුතු පරිද්දෙන්ම මම කලේ වන්යා ලවා මගේ වාර්තාව ලියවාගෙන ගෙදරටම ගෙන්වා ගන්න එකයි. වාන්යාගෙ උදව්වෙන් මාස තුනක් යනකොට මම ඉස්කෝලෙ දක්ෂම ශිෂ්‍යයා බවටත් පත් වුනා.
සති කිහිපයක් යද්දි, පෝසත් නාකි ස්මිත් ගැන මට දැනගන්න ලැබුනෙ ඉස්කෝලෙ සගයන්ගෙන්මයි. ස්මිත් කිසිම කෙනෙකුට තමන්ගේ ගේ ඉස්සරහ පාරේ විනාඩි පහක් නැවතිලා ඉන්නවත් ඉඩ නොදෙන බවත්, උන්දෑ උතුරන්න සල්ලි තියෙන නාකි හොල්මනක් බවත් කියකියා ගමේ ගොඩක් දෙනෙක් අවලාද කියනවා මට ඇහිල තිබුනේ වරක් දෙවරක් නෙමෙයි. ඔය අතරේ එක සිකුරාදාවක නාකි ස්මිත් බස්තම ඇන ඇන මහ හදිස්සියකින් ඉස්කෝලෙට එනව මම දැක්කා.
මිනිහ කෙලින්ම ආවෙ ඔයා ගාවට. ඔයාගෙ අතේ තිබුන බාගයක් කාපු ලොකු රතු ඇපල් ගෙඩිය උදුරගෙන ඒ යකා නාකි අත් දෙක ඒ මේ අත විසි කර කර කෑ ගහනවත්, ඔයා කඳුළු පුරෝගෙන පන්ති කාමරේට දුවනවත් මම පිට්ටනිය කෙලවරට වෙලා බලන් හිටියා. ඒ වෙනකොටත් මම දැනගෙන උන්නා ඒ ඇපල් ගෙඩිය ඔයාගෙ ආදරවන්තයා ගිල්බර්ට් හොරකම් කරගෙන ඇවිත් තිබුනේ ස්මිත්ගේ ඇපල් වත්තෙන් බව. මං කියන්නේ, ඌ කොන්ද නැති හාල්පාරුවෙක්. නැද්ද? ඌට තිබුනා නියම පිරිමියෙක් විදියට ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. නැද්ද?
එදා ඔයාගෙ රතු වෙලා ඉදිමිච්ච මූණ දැක්කම මට බොහොම කණගාටු හිතුනා. මේ.... මේ... ඒක ආදරයක් කිව්වත් වැරැද්දක් නෑ. අඳුර වැටුනට පස්සේ මම ස්මිත් ලව්වා එයාගෙ උද්‍යානයෙ තියෙන රතුම රතු, ලොකුම ලොකු ඇපල් ගෙඩි පහක් කඩාගෙන, පෙට්ටියක අහුරලා අපේ ගෙදරට ගෙන්වා ගත්ත. දකිනකොට කටට කෙළ ඉනුවත්, ඒ එකක්වත් නොකා මම පරෙස්සම් කලේ ඔයාට ඇපල් පෙට්ටිය තෑගි කරන්න. හැබැයි ඉතින් ඔයා පහුවදා මගේ ඇඟට කඩාපැනලා ඇපල් පෙට්ටිය පොළවෙ ගහපු හේතුවනම් මට තවමත් හිතාගන්න අමාරුයි.
කොහොමත්, ඒ වගේ සිදුවීමකින් පස්සෙ ඕනෙම කොල්ලෙක්ගේ ආත්ම ගරුත්වය තරමක් සසල වෙන එක පුදුමයක් නෙමෙයි. මම ස්මිත් ලව්වා සල්ලි මිටියක් ගෙන්නවාගත්තෙ ඒ නිසයි. මතක් කරල බලන්න. ඔයාට අයිස්ක්‍රීම් අරන් දෙන්න, බීෆ් බර්ගර් අරන් දෙන්න, පැණි දාපු අල තීරු අරන් දෙන්න මම කොයිතරම් නම් උත්සාහ කලාද! ඔයා ඒ එකකටවත් කැමති වුනේ නෑ නෙව. හිස්ටීරියාව හැදුන බැළලියෙක් වගේ මගේ ඔලුවට කඩන් පැන්න මිසක.
මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මට සිද්ධ වුනා ඔයාව මගේ පාලනය යටතට ගන්න.
ඔයා යාලුවොත් එක්ක කණ්ඩායම් ඇගැයීම කරමින් හිටපු හැන්දෑවක මම බොහොම සුළුවෙන් වැඩේ පටන් ගත්තා. ඕපදූපකාර රිබේකා විලියම්ස්ව ඔයා ගාවින් වාඩි කරවලා, ඔයාගෙ අතින් පොතේ අන්තිම පිටුව පිරෙන්න ලොකු හදවත් රූපයක් ඇතුලේ 'මම ජෝෂුවා සමග පෙමින්' කියලා ලියෙව්වේ මම. ඒ ගැන හැමෝම විහිළු කරද්දි ඔයා ඒ පිටුව සෙන්ටිමීටරේ කෑලි වලට ඉරලා දැම්මත්, රිබේකාට පින්සිද්ද වෙන්න පහුවදා වෙනකොට ලැව් ගින්නක් වගේ ඒ ආරංචිය මුලු ඉස්කෝලෙ පුරාම පැතිරිලා තිබුණා.
ඔයාව අපේ ගෙදරට ගෙන්න ගන්න සිද්ධ වුනේ ඉන් පස්සේ. ඔහොම ඔරවන්න එපා මෙලීසා. ඒක වුනේ ඔයාගෙ වරදින් නෙව. ඔයා ඒ කාලෙ මට යාලුකමින් සැලකුවෙ නෑ කොයියම්ම දවසකවත්. ඉතින් මම තීරණය කලා ඔයාව අපේ ගෙදරට ගෙන්නවා ගන්න.
පළවෙනිම දවසේ ඔයාට මල් වත්තේ රෝස පඳුරු අතරේ ඇවිදින්න සලස්වලා මම එතැනට ආපු වෙලාවෙ ඔයා මාව අඟුරු වෙලා යන තරමට ඔරවලා ආපහු යන්න ගිය නිසයි ඊගාව වතාවෙ මගෙ පුස්තකාල කාමරේ ඔයා ආසම විද්‍යා ප්‍රබන්ධවලින් පුරවලා ඔයාව එතනට ගෙන්වා ගන්න සිද්ධ වුනේ. පොත් කියවන්න තිබුණු උවමනාවටම ඔයා මගෙ යාලුවෙක් වුනා. මමත්, දවස ගානෙම ඔයාව අපේ ගෙදරට ගෙන්නවා ගත්තා. ඒ කිසිම දවසක, ඔයා අපේ ගේ ඇතුලට ඇතුල් වෙනකල්ම මම පේන්න නොහිටි බව කල්පනා කරල බැලුවොත් ඔයාට මතක් වෙයි.
අද සිද්ධ වුන දේ ගැන කියනවනම්, ගිල්බර්ට් මට දිගින් දිගටම ඇනුම්පද කිව්වා මම ඔයාට අල්ලස් දීලා යාලුකම් පවත්වන බවට. ඇත්ත ආදරයක් හැම වෙලාවෙම ද්වීපාර්ශ්වික විය යුතු බවත්, ඒ නිසා මම දවස ගානෙම ඔයාට අරන් දෙන තෑගිබෝග හිලව්වට ඔයාගෙන් මට ප්‍රසිද්ධියේ හාදුවක්වත්, නැත්නම් අඩුම තරමේ හදවත් හැඩේ චොකලට් පෙට්ටියක්වත් ලැබෙන්න ඕනෙ කියල කීවෙ විලියම්. ඉතින් මට සිද්ධ වුනා ඔයාව කඩේ යවලා චොකලට් පෙට්ටියක් මිලදීගන්න. හැබැයි ඔයා ඒක මට දෙන්න ඕනෙ පියවි සිහිකල්පනාව ඇතුව. එහෙම නොකලානම්, එයාල කියාවි ඔයා දුන්නු තෑග්ගක් කියලා මම බොරු මවාපෑමක් කරන බව.
**********************
"ඕක තමයි කතාව." ජෝෂුවා දෙපා දිගහැර, ටීපෝව මත වූ උස් වතුර වීදුරුව එක හුස්මට හමාර කර මෙලීසා දෙසට විමසුම් බැල්මක් හෙලීය.
මෙලීසාගේ කන්පෙති දෙකත්, දෙකොපුලත් බීට් අලයක් මෙන් රත් පැහැ ගැන්වී තිබිණි. ඈ යටිතොල දත් පේලි අතරේ ඒ මේ අත පෙරළමින් විකන්නට වූවාය.
"මං කිව්වනෙ. ඔන්න ඔයා මාව අවිශ්වාස කරන්න පටන් අරගෙන." ජෝෂුවා නොපහන් ස්වරයෙන් තෙපලේය. "මේ සිද්ධ වෙච්ච හැමදේකටම පස්සෙ, අවිශ්වාසයක් නිසා ඔයා මගෙත් එක්ක තරහ වෙනව කියන්නෙ නම් ලෝක අපරාදයක්!"
මෙලීසා තවම සිතිවිල්ලෙනි. අවසන, සෝෆාවෙන් බිමට පිනූ ඈ හඬ අවදි කලාය.
"මට ඒක බලන්න ඕනෙ.කරුණාකරලා." ඈ මිහිරි මදහසක් සමග ජෝෂුවා වෙත තවද ළං වූවාය.
"අනිවාර්යයෙන්ම ආදරිය! ඔයාට නොපෙන්වන රහසක් මගෙ ගාව නෑ."
ඉනික්බිති, අඳුරු බරාඳය කෙලවරින් 'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' හඬක්ද, සිහින් කිරි කිරි හඬක්ද නැඟුනි. දීප්තිමත් කහ පැහැ ප්‍රතිදීප්ත පහනේ ආලෝකයෙන් මෙලීසාගේ උරබාහු බටර් පැහැයෙන් දිළිසෙන්නට විය. පළිඟු ගෝලිකාවෙන් තිරය මතට ඇදගත් කුඩා නගරයේ මිනිස්සු, තැන් තැන්වල විකාරරූපී රංගනයන් දක්වන්නට වීම වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වූයේද නැත. සිය හිස ඇපල් ගසක තදින් හප්පා ගත් ගිල්බර්ට්, නළලෙහි සීරුම් තුවාල රැසක් සමහ කොරගසමින් නිවසට ඇදෙනු දක්නට ලැබීමත් හුදු අහම්බයක් පමණක්ම විය.
මෙලීසා හිස ගස්සා උස් ස්ටූලය මත හරි බරි ගැහී හිඳගත්තාය.
"එතකොට ජෝෂුවා, මේ මෙතැන ඉන්නේ ඔයාද?"
ජෝෂුවා හිස සැලීය. මෙලීසා ඒ කුඩා රූපයට නියතුඩින් ඇන්නාය.
**********************
"ජෝෂුවා, ඔය උණුවතුර බේසම මෙතනින් තියනවා." මෙලීසා සිය දෙපා ලී බංකුවක් මත රැඳවූයේ යතුරු පුවරුවෙන් දෑත ඉවතට නොගනිමිනි.
"ඔතන දණගහගෙන මගෙ කකුල් දෙක මසාජ් කරනව."
"ආන්න හරි. අන්න එහෙම. යන්තමට. ඔය විළුඹ ගාව රවුමට මසාජ් කරනව. ආන්න හරි!!!"