පෙරේදා ඔපීසියේ වැඩ ගොඩක් අස්සෙන් යාන්තම් ඔලුව උස්සනකොටම ෆේස්බුකියට ආ මැසේජයකි.
"බස්සි, හෙට ඔයා එනවා නේද?"
මල හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වාය. ඒ අපේ දිලා නගා ය. බස්සි ගත් කටටම ඇහැව්වේ "කොහේ ද? මොකද්ද?" කියලාය. "නෙළුම් යායට" කී විට තරු පන්ති පිටින් පෙනෙන්නට වූයේ බස්සිගේ අන්දමන්ද මතක ශක්තියේ මහිම ඇස් පනාපිට පසක් වුන නිසා ය.
කොහොමින් කොහොම හරි එකට විතර ඔපීසියෙන් පැන්න මං තුමිය බසු සොයා ආවේය. බසුව වහ වහා ඔපීසියෙන් එළියට ඇද යං සුදෝ නාරාහේන්පිට කියා ගූගල් මැපේ සරණ ගියා ය. ගූගලයා මල් වට්ටිය වගේ හැඩට ආසිරි හොස්පිටිතාලය අසල පොට් එකක් පෙන්නුවේය. ඉතිං බස්සි වැඩ්ඩා සේ බස්සාට පාර කියන්නට විය.
මලා ය. එතන ඇති මීඩියා මිනිස්ට්‍රියක් නැත. එවර බස්සාගේ බැනුම් වරුසා මධ්‍යයේ ඉවානයා ඇමතුවේ ය. ඌ කියූ මග සළකුණු වලින් බසු මැප් එකේ සටහන් වූයේ 'ලංකා හොස්පිටල්' සහ 'දකුණට හැරෙන්න' යන වචන විතරමය.
ලංකා හොස්පිටිතාලය ලඟින් දකුණට හරවා නැවත වරක් බස්සාගේ ප්‍රසංසා මැද ඉවානයා ඇමතූ විට 'දෙවැනි කලර් ලයිට් එක ගාවින්' කියනවා ඇසුනේය. ඒ ගමන ආපහු හරවාගෙන වැරදියට කලර් ලයිට් ගණන් කර යළිත් වැරදි පාරකින් හැරෙන්න පාර පෙන්නුවේ ඉතා අභිමානවත් ලෙසය.
ඒ වනවිට මග සළකුණු කීමෙන් හෙම්බත් වූ ඉවානයා පාර අයිනට එන්නට තීරණය කර තිබුනේය. යාන්තම් ආමි කෑම්ප් එකක් ඉදිරියේ පෙරළෙමින් සිටි ෆුල් ඩීසන්ට් ලුකින් ගෝලාකාර චේගුවේරා කෙනෙක් දුටු කෙනෙහි අපි යාන්තම් නිවැරදි තැනට පැමිණ ඇති බැව් පසක් විය.
ඒ අස්සේ අර මහේෂ් ශාමිනයා කෝල් කොරලාය. අන්න අච්චර ජංජාලයක පැටලී වල්මත්ව උන් අසරණ මම ෆෝන් ආන්ස්වර් නොකල බව කියලා පෝස්ටුවකුත් දාලා ය. අපි නම් ඔව්වාට සැලෙන්නේ නැතිය.
කොහොම හරි මීඩියා දේවාලෙ ඇතුලෙන් මාව හලලා බස්සා ආපහු ඔපීසි ගියේ මග දිගටත් මට ප්‍රසංසා කරමින්ම වෙන්න ඕනෑය.
කා පාර්ක් එක ගාවදිම දකින්න ලැබුනේ ලොකු හිනාවක් එක්ක ජම්බෝල හැඩැති මාතලන් අංකල්ය. ගෝලාකාර චේ සහ මාතලන් එක්ක ඇතුලට ගියාම අපේ සැට් එක දැකගැනීමට ලැබුනේය.
හරිම කඩිමුඩියේ දුව ඇවිදින අතරේම බොහොම සුහදව වචනයක් දෙකක් කියා යන්නට නැවතෙන අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා) අංකල්, නන්නත්තාර වී බලන් ඉඳලා ඉක්මනින්ම අලුත් යාලුවො ගොඩක් සෙට් කරගත්තු ගණ අඳුර සහ හිත හීලෑ නෑ මල්ලිලා ඩබල, සුදීකයියා, වෙනී මාමා, හුරුබුහුටි ප්‍රා ජේ, ගිටාරය කරපින්නාගත් මනා, රන් පාට සාරියකින් සැරසුනු සුන්දර දිලා, බට්ටිච්චියෝ දෙන්නෙකුත් මල් සූටික්කියෙකුත් එක්ක ආපු දම් ගුණේ අයියා, හිනා උතුරන මනෝ, රන්දිල් අක්කා, නැටුමකට වගේ අමුතු ඇඳුමක් ඇඳන් උන්නු අටම් අයියා, කම්මල අංකල්. ඕනමැන්ටල්, චුට්ටං කසුට්ටා, පුංචි කලාහිත සහ නම් මගහැරුණු තවත් බොහෝ දෙනෙක් එතන සිටියෝ ය.!!!
පැත්තකින් බලන් ඉන්නේ අජිත් ධර්මා අංකල් ය.
හොරෙක්, මං පහරන්නෙක් ලියන හොඳම බ්ලොග් අඩවිය
මලක් වගේ හැඩ පුංචි දිලා
රවි අයියා නැති වුනාට සම්මානයේ පොටෝ ඇත.
කරුවල ජයසූරිය මාමා අපිට සම්මානත් දුන්නේය. තිබුනු දේශණ අතරින් නාලක ගුණවර්ධනගේ දේශණ විලාසයට බොහොම කැමති හිතුනේය. වේදිකා නාට්ටි, සිංදු හෙම තිබුනු අතර දිලා ලියූ නෙලුම් යාය තේමා ගීය ගායනා කලේ අපේ ගිටාර් මනා ය.
පස්ස හරවං ඉන්නෙ බස්සි කියන එකී ය.
මට අර අභිරූපනයා එක්කනම් ගේමක් තියෙනවාය. ඒකා දම්ගුණේගේ පොඩි උන් දෙන්නාට විහිලු කරනවාට සමෝසමේ මටත් විහිලු පාර්ට් දාන්නේ මගේ කොටභාවය නිසාවත්දැයි සැකයක්ද තියෙනවා ය.
කොහොමින් කොහොම හරි ඒ ගත වුනේ අපූරුම සැඳෑවක් ය. බ්ලොග් කරුවන්ට මේ තරම් ඉහළ ඇගයීමක් ලබාදීම ගැන නෙළුම් යාය සංවිධායක මඬුල්ලට බොහොම ස්තූතිවන්ත වෙනවාය.
බස්සි ඊයේ වැස්සේ ගෙදර ආවේ මෙන්න මේ කවි දෙක බුකියේ පල කරන ගමන් ය.
සිනහ මල් පිරි සුහද අත් දිගුවෙනකොට
"බස්සි, බස්සී" කියකියා අමතනකොට
උරහිසට ආදරෙන් පහරක් දෙනකොට
හිතේ සමනල් තටු නටනවා එතකොට
උඹව දුටු එක සතුටකියි පැවසෙනකොට
දෙකම්මුල් අග හාද්දක් තැවරෙනකොට
බරැති ඇගයුම් දෙඅත් මත රැඳවෙනකොට
හිතත් බරවෙයි ඇසුත් උතුරයි සතුටට
~~~~~~~~~~~~~~~