මට තියෙන අසහාය හැකියාවන් කීපයක්ම ගැන මම ඔයාලට පහුගිය පෝස්ට් වලින් කියල ඇතිනේ.
අද කියන්න යන්නෙත් ඒ වගේම තවත් එක් අනුපමේය, අසහාය, සහ සියොළඟ කිළිපොලා යන සුවිශේෂී හැකියාවක් ගැන. ඒ තමයි; "මේ හිටියා මේ නෑ!"
ඔය හැකියාවට සීයට අනූපහක්ම දායක වෙන්නෙ ඕනෑම වැදගත් අවස්ථාවක සිහින කල්පනා අතරේ අතරමං වීමේ හැකියාවක් ඇති මගේ අතිවිශිෂ්ඨ චිත්ත ඒකාග්‍රතාවය. ඒ හින්දාම ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද කියලා මෙලෝ අදහසක් නැතුව ජීවිතේ ගෙවන සුන්දර අවස්ථා බහුලයි.
ඉස්සර ක්ලාස් යනකොට තනියම යන සිරිතක් නෑනෙ. ඕනෙම ක්ලාස් එකකට සම්පූර්ණ බැටෑලියන් එක පිටින්ම බස්සනව. හැබැයි අවාසනාවකට ඒ පොදු සමීකරණයෙන් අපගමනය වුන කෙමෙස්ට්‍රි ක්ලාස් එකකට මට තනියම යන්න සිද්ද වෙලා තිබුනා.
අවාසනාවක මහත කියන්න පින්වතුනි, ඒ වෙලාවටම අපේ සැට් එකේ අනිත් උන් අට දෙනෙක් විතරම මීගමුව ටවුන් එකේ අනිත් කෙලවරේ තිබුන ක්ලාස් එකට යනවා.
නමුත්. වාසනාවක මහත කියලත් කටපුරා කියන්න පුලුවන් වෙන්නම අරඅරයා හෙවත් මගේ ඒ කාලයේ ක්‍රස් එක (මගේ ක්‍රෂ් නිකම් ඔරේන්ජ් ක්‍රෂ් වගේ කාලෙන් කාලෙට අළුත් වෙන ජාතියක්!) ඒ ක්ලාස් එකටම එනවා.
එදත් සුපුරුදු පරිදි අපි සියල්ලෝම මීගමුව බලා ධාවනය වෙන මලකඩ කාපු ටකරං බස් එකකට අප්ලෝඩ් වුනා. දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි කියන්නැහෙ ඊගාව හෝල්ටෙකේ පිරිමි ඉස්කෝලෙ ගාවින් අරඅරයා සඳක් වගේ බස්සෙකට පෑව්වා කියහල්ලකො.
අරඅරයා සුදෝ සුදුයි. මූණ නිකම් හඳක් වගේ. තොල් රෝස පාටයි. අක්බඹරු හිසකේ. ලැජ්ජාශීලී, කුලෑටි, අනියමාර්ථයේ අසම්භාව්‍ය බැල්ම. . . . එක්ස්කියුස්මී පින්වතුනි මේ කියන්නේ ඉන්තේරුවෙන්ම පිරිමි ළමයෙක් ගැන. හැබැයි ඉස්කෝලෙ යන කාලෙ මං කොච්චර අවිහිංසකද කියනවානම් අපේ උන් බලන් හිටියේ මම අරඅරයාගෙ වටේ රවුමක් කැරකිලා, දැලි පිහියකින් බෙල්ල කසන ගමන්, “ඇයි නංකී අපි කළුද?” කියලා අහන ආදරණීය, සිනමාත්මක අත්දැකීමක් ඇස් පනාපිට දැක බලාගැනීමේ භාග්‍යය උදාවෙනකම්.
හැප්පුනොත් පිටගැස්ම හැදිලා මැරෙන මලකඩ බස්සෙකේ මං හිටගෙන උන්නු තැන ආසන්නයේම තඩි හිලක්. ඉක්කෝලෙ කාලෙ සෙටාර් එකේ කුඩාම ජීවියා වෙච්ච මං මීගමුවට යන්න කලින් ඔය හිලෙන් වැටිලා අතුරුදහන් වේවියැයි කැට තියමින් අනිත් උන් අර අරයාගේ හඳ මුහුන ඉස්සරහ තියාගෙනම අසරණ මාව සිත්පිත් නැති ලෙසින් බයිට් එකට ගන්නවා.
අනේ ඉතින් අපේ කලාස් එකට යන්ට සෝට්කට් පාරක් සහ දිග පාරක් තියෙනවා. වෙනදා අපි යන්නේ සෝට් කට් පාරෙන් උනත් මෙන්න අර අරයා දිග පාර පටන් ගන්න තැනින් බහිනවා. පොරගෙ අතේ මම සෙනසුරාදා ක්ලාස් එකේ දාල ආපු කුඩේ තියනවා මම දැක්කෙ ඒ වෙලාවෙයි.
ඇත්තටම මම ඒ චංචලා ස්ටැයිල් කුඩේට හිත පුරෝල ආදරෙයි. ඔව් ඒක අනාදිමත් කාලයක සිට පවතින සාංසාරික, ආත්මීය බැඳීමක්. අන්න ඒ එකම එක හේතුව නිසා මම අනිත් එකෙක්වත් දකින්ඩ කලින් වහවහා බස්සෙකෙන් ඩවුන්ලෝඩ් උනා.
(හා! දැන් තොපි බලන් ඉන්නේ කුඩේ ඉල්ලගත්තු කතාව අහන්ටනේ. එව්වා හඳේ හරිද පින්වතුනි!)
ඉතින් මම අර අරයාට අතිශය රොමෑන්තික, බඩවැල් ඇඹරිලායන මරණ තර්ජන කරමින්, යලියලිත් කුඩේ ඉල්ලා පිංසෙණ්ඩු වෙමින් සහ හිත යටින් හිටිපිණුම් ගහමින් ක්ලාස් එකට සම්ප්‍රාප්ත වුන අතරේ. . . .මගේ අතිජාත සමාන සුඛ දුක්ඛ මිත්තරයෝ බස් එක පීරමින් මාව සෙවීමේ මෙහෙයුමක් අඹරලා.
අන්තිමේදී සවස හතර දක්වා මීගමුව නගරය පීර පීරා මාව සොයනා අතර අතිසාර්ථක ලෙස තමන්ගේ කෙමෙස්ට්‍රි ක්ලාස් එකද කට් කරපු සෙටාර් එකට අන්තිමේදී අපේ ටියුෂන් ක්ලාස් එකෙ ඇතුලේ මම බැරිවෙලාවත් ඉන්නවාදැයි සෙවීමට තරම් ප්‍රඥාවක් හදිසියේම පහලවෙලා.
"ඔයාගෙ යාලුවො පහල බලන් ඉන්නවා. මොනවද කියනවා අපිට තේරෙන්නෙ නෑ."
ඒ පණිවුඩය එන්නේ අතින් ඉරපු, පොඩිවෙච්ච තනිරූල් කොලයක කැතම කැත අකුරුවලින්. ඉබ්බා දියේ දැම්මට ඇන්නෑවේ කියන්නැහේ මම දණිපණි ගාලා බෑග් එක කරට අරන් වහවහා පල්ලම් බැස්සා.
එතැන් සිට මීගමුව බස්ටෑන්ඩ් එක ගාවට යනකං තියපු අඩියක් අඩියක් පාසා කන් දෙක පිරෙන්න ටකරමකට වැහි වැටෙන්නැහේ බැනුං අතරෙ සෑම වචන දහයකට වරක්ම මලියා අතිශය උදාර ලීලාවෙන් “ආයෙ තෝ යාපනේ ගිහින් අතුරුදහන් උනත්, අපි ඇහැක් ඇරලා බලන්නෑ” කියන්න අමතක කලේ නෑ.
*****************
එදායින් පස්සෙ මම මොන තූත්තුකුඩියක ගියත් අරුන් මාව හොයන්නෙ නෑ කියන ස්ථාවරයේ තදින් ඇලිලා ගැලිලා හිටියෙ සීනි සිරප් එක්ක ඇඹරිච්ච ඇඹලයො වගේ.
දැන් ඒ ලෙවල් විභාගය කිට්ටුයි. ක්‍රෂ් එකක් පවා තදබල හිත් රිදවීම් ඇති කරන්න හැකි තරමට සමීපයි. නරක වයස කියන්නේ කට කහනවටම නෙමෙයි.
(හා! දැන් තොපි ආයෙම බලන් ඉන්නේ රොමැන්ටික් නොම්මරයක් ඩයල් වෙනකම් නෙ. එව්වා හඳේ බව මතක තියාගෙන හයියෙන් සාදු කියන්න පින්වතුනි!)
අපේ කෙමෙස්ට්‍රි ක්ලාස් එක ඇරෙන්නේ මගේ බැටෑලියන් එක යන ක්ලාස් එක ඇරුනට පැය එකහමාරකට පස්සේ. මගේ සිලිටි මල් සිත (සහන්ගෙන් ඉස්සූ වචනයකි.) තැලී පොඩිවී ගිය දවසක අපේ එවුන් ටික ආයෙම මම ක්ලාස් ඇරිලා එනකම් ඉන්න පොරොන්දු වෙනවා.
ඔන්න හවස හයට හයහමාරට ක්ලාස් ඇරෙනවාත් එක්කම මම අත් දෙක සතර අතේ වීසි කරමින් තනියෙන් බස්ටෑන්ඩ් එකට යන්න පිටත් වෙනවා. අරඅරයා මයෙ පස්සෙන් එන්නේ මිහිකත නළවාලා තාලෙට සුලලිත ගමනින්. මම ශෙල් ගෑස් සිලින්ඩරයක් බවට රූපාන්තරණය වෙමින් පසු නොබලා ගමන් ගන්නවා.
පාර පනින්න හදනකොටම මට පේනවා බස් එකක්. ඒක ඇතුලේ අපේ සැටාර් එක ඉඳගෙන ඉන්නවා. මම වාහන ගංගාව තරණය කරමින් වහ වහා දුවගෙන ගිහින් බස්සෙකේ ඉස්සරහ දොරේ එල්ලෙනව. ඉන් පස්සෙ ජන සන්නිපාතය අතරෙන් ගැඩවිල් පණුවෙක් වගේ ඇඹරෙමින් බස් එක මැද්දෑව බලා යාත්‍රා කරනවා.
මලකෙලියයි. අපේ උන් එකෙක්වත් ඒ බස්සෙකේ නෑ.
මම බහින්න හිතාගෙන දොර ගාවට දුවනවා. බස් එක හුලං කපාගෙන අද්දනවා. බස් එක දෙදරවන දමිත් අසංකගේ විරහ ගීයක් හින්දා ඕං මගෙ හිත බරවෙනවා. ඒත් එක්කම ළඟ සීට් එහෙක ඉඳන් උන්න අංකල් කෙනෙක් නැගිටිනවා.
"මේ ලෝකෙ හැමදේම දෘෂ්ඨි මායාවල් විතරයි සහෝදරයා. දෘෂ්ඨි මායාවල් විතරයි." මං හිතිවිල්ලේ පස්ස සීට්ටෙකට බර කරනවා. මනෝ පාරක් ගහගෙන ගෙදර යනවා.
රෑ නමයට විතර, සිංදුවක් කනේ ගහගෙන ශෝකභරිත මනෝ පාරක කිමිදෙන්න මම තඩි ෆිසික්ස් පොතක් ඉස්සරහ වාඩි වෙනවා. ඔව් ඉතින්, නිකම්ම මේසෙට ඉඳගත්තහම පිළිකුල් භාවනාව වඩන්න බැහැ නෙව, ඒකට නිමිත්තක් එපැයි.
ඔන්න සන්ටෙල් සී.ඩී.එම්.ඒ. තෙලබනුව නාද වෙනවා.
"හෙලෝ!"
"#$%@ %^#@ &^#!!"
"මොකද යකෝ?"
"#$%@ %^#@ &^#!! 7#$%@ %^#@ &^#!!"
මල හත්තිලව්වට ගහපු කලාබරේ කියන්නැහේ මට එතකොට මතක් වෙනවා මුන් මට උන් එනකම් ක්ලාස් එක ගාව බලන් ඉන්න කියපු බව.
"අපි බස් එකේ එනකොට දැක්කා තෝ අස්පයා මැරිච්ච කව්බෝයි වගේ ඔලුව බාගෙන අතපය විසික් කොරගෙන ඇවිදං එනවා. අපි ටක් ගාලා පිටිපස්සෙ දොරෙන් බැස්සා."
"ඉත්තින්!"
"බැහැලා අරූගෙන් ඇහැව්වා උඹ කොයි කියලා. ඌ කිව්වා එකපාරට සෙනග අතරෙ අතුරුදහන් උනා කියලා. ඊගාවට අපි මීගමුව පීරලා තෝව හෙව්වා. රෑ අට වෙනකම් හෙව්වා."
"මලකෙලියයි ඉත්තින්!"
"ඊට පස්සේ අපිට ගෙදර යන්ඩ බස් නෑ. උඹලගෙ ගෙදරට කෝල් කරන්නත් බයයි. හොඳ වෙලාවට අරයගෙ යාලුවො කට්ටියත් ආව උඹව හොයන මිෂන් එකට. අන්තිමේ කොල්ලො ටික මාරවිලට යන බස් එකකට වැඳලා වගේ මාදම්පෙට යන්න කතා කරව ගත්තා. මේ දැන් ගෙදර ඇවිත් පණ බයේ උඹලගෙ ගෙදරට ගත්තේ!"
"???"
"මට හොඳටම සුවර් උඹව තමයි අපි ඒ බස් එකේ ඉන්නකොට දැක්කෙ! අපි හිතුවෙ උඹව මොකෙක් හරි පැහැරගෙන ගිහින් කියලා. සිරාවටම උඹට මොකද උනේ?"
"තොපි කියන්නෙ අර කහපාට තොරොම්බල් බස්සෙකද?"
"ඔව් යකෝ ඔව්."
"අඩේ! එහෙනම් ඒක දෘෂ්ඨි මායාවක් නෙමෙයි!"
"මොකක්ද?"
"මම දැක්කා උඹලා බස් එකේ ඉන්නව. ඉතින් මම ටක් ගාල පාර පැනල ඉස්සරහ දොරෙන් නැග්ගා. නැගල බලද්දි උඹල නෑ."
"ඉතින් ඇයි තෝ බැස්සෙ නැත්තෙ හිවලො?"
"මං ඉතින් හිතුවා ඒක දෘෂ්ඨි මායාවක් වෙන්න ඇති කියල බං. මේ ලෝකෙ හැමදේම දෘෂ්ඨි මායාවල් නෙව. මම එහෙම හිතලා එන්න ආව."
"#$%@ %^#@ &^#!!"