මේ ලිපිය ලියන්නේ මගේ සූටි සුරතල් නංගියා වෙනුවෙන්.
අපේ සූටි සුරතල් නංගියා ජීවිතයේ ප්‍රථම වතාවට ගෙදරින් පිටවෙන්නයි ලකලෑස්තිය. මම වගේ ඇට්ටර ඇම්බැස්ටයෙක් නොවුන නිසාම උන්දෑ උපන් දා හිට මේ වෙනකම් නිදාගන්නෙ අම්මයි තාත්තයි මැද්දෙ. ඉතින් පොර සත්‍ය වශයෙන්ම වුවමනා ප්‍රමාණයට වඩා බොහොම වැඩියෙන් හුරතල් වී ඇති නිසාත්, තනියම ජීවත්වීම කියන එක උන්දැට බිහිසුණු සිහිනයක් වෙන්න ඉඩ ඇති නිසාත් මම අපේ නගාත්, තව වසර තුන හතරක් ඇතුලතවත් තනිව ජීවත් වෙන්න හිතාගෙන ඉන්න ඒ වයසෙ අනිත් ඇච්චොත් වෙනුවෙන් පණ්ඩිත වාක්‍ය කිහිපයක් ලියල දාන්න හිතුව.
මට මුලින්ම කියන්න තියෙන්නෙ, හතර පහ වසරෙ ඉඳන්ම ගෙදරින් පිටවෙලා ජීවත්වීමේ “උණක්” තිබුන, යාලුවන්ගේ ගෙවල්වල සති ගණන්, මාස ගණන් ගත කල, තුන වසරෙදි වෙන් වුන කාමරේක තනියම නිදා ගන්න පුරුදු වුන මටත් uni ගිය පළවෙනි සතියෙ ඒ ජීවිතේ එපා වුනා.
ඔබ මොන සමාජ තරාතිරමක කෙනෙක් උනත්, ගෙදර ජීවිතය සුඛෝපභෝගීයි. තනියම ජීවත් වීම කට්ටක්. හැබැයි ඒ කට්ටෙ තියෙන්නෙ පුදුම රහක්.
ඔන්න එහෙනම් අද කියන්න යන්නෙ බෝඩිම් ජීවිතයේදී දැන සිටිය යුතු මූලිකම කාරණා කිහිපයක්. ඉඩ තියෙන විදියට තවත් ලිපි කිහිපයක් ලියන්නම් මේ ගැන.
කැම්පස් හොස්ටල් ජීවිතේට මේ උපදෙස් හරියටම ගැලපෙන්නෙ නෑ. මොකද ඒ සංස්කෘතිය සහමුලින්ම වෙනස්. ඒ ගැන වෙනමම කතා කරමු.
නාන කාමරය
#ගොඩක් වෙලාවට බෝඩිමක ඉද්දි ඔයාට වෙනවා බාත් රූම් එක ශෙයාර් කරගන්න. ඒ නිසා නාන/ඇඟ සෝදන ඒවට යන කාලය හැකි තරම් අවම කරගන්න. අනිත් අයට පෝළිමේ හිටගෙන ඔයාට බැන බැන බලන් ඉන්න සලස්වන්න එපා.
#රෑ නින්දට පෙර වොශ් දැමීම සහ උදේ ලෙක්චර්ස් යන්න කලින් විනාඩි දහයෙන් මූණ සෝදාගෙන පිටත් වීම තමයි වඩාත්ම ඵලදායක විසඳුම.
#ඔයාගේ සබන්, බොඩිලෝෂන්, ෂැම්පු වගේ දේවල් බාත් රූම් එකේ දාල යන්න එපා. සමහර විට අනිත් අය ඒව හවුලෙ පාවිච්චි කරන්න කැමති වෙන්න පුලුවන් ඔයාට නොදන්වා. (හොඳයි ටූත්පේස්ට් වගේ ඒවා බෙදා හදා ගන්න පුලුවනි, ඒත් ලිප් බාම් එකක් වගේ දෙයක් ශෙයාර් කරගන්න බැහැනෙ.) ඒ නිසා ඒ වගේ බෙදා ගන්න අපහසු ආලේපන වෙනම පසුම්බියක හරි බොක්ස් එකක හරි දාල තියාගන්න.
#වතුර උරා නොගන්නා පසුම්බි තියනව ඉතාම අඩු මිලට. එතකොට අර ආලේපන සෙට් එක අරන් යන්නත් පහසුයිනෙ.
#කාමර දෙක තුනක ඉන්න අය බාත් රූම් එක ශෙයාර් කරගන්නවානම්, ගෙදර අයිතිකරුවන් ඒක පිරිසිදු කරන්නෙත් නැත්නම් ඒකට කාලසටහනක් හදා ගන්න. එතකොට ඔයාට ක්ලීන් කරන්න වෙන්නෙ සති තුනකට හෝ මාසෙකට සැරයයි.
ආහාර
අහා මේක තමයි අපේ චූටි සුරතල් නගාටනම් වැදගත්ම මාතෘකාව. :P
කැම්පස් ජීවිතේ තමයි ඕනෑම ආහාරයක් සිරුරට පත්තියන් කරගැනීම පුරුදු වෙන්න තියන හොඳම අවස්ථාව. ඒක අපතේ යවන්න එපා.
#සයිවර් කඩ යනු ලාබෙට, රහට කෑ හැකි තැන් ය.
#ක්‍රීම් බනිස් වගේ ඇසුරුම් කල බනිස් ජාති කලින් දවසෙ අරගෙන පහුවදා උදේට කන්න පුලුවනි. උදේට ලෙක්චර්ස් නැති නම් කලින් දවසෙ ඒ බනිස් ගෙනත් තියාගත්තම කිසි ගින්නක් නැතුව දහය එකොළහ වෙනකම් නිදා ගන්න පුලුවනි.
#කොත්තු මී;
කෑම කඩ වසා ඇති දිනවලදී ඉතා වැදගත් වේ. කොත්තු මී පැකට්ටුව කඩා නූඩ්ල් කේක් එක උතුරන වතුර බඳුනකට දමන්න. විනාඩි හතරක් තබා පෙරා ගන්න. යලිත් වරක් එයට උණු වතුර පුරවා විනාඩි දෙකකින් පමණ පෙරාගන්න. (දෙපාරක් වතුර යෙදීමෙන් බඩවැල් විනාස වීම තරමක් පමා වනු ඇත.) ඉන් පසු රසකාරක සහ චිලි පේස්ට් මිශ්‍ර කර කෑමට ගන්න.
#සැන්ඩ්විච්
බිත්තර දෙකක් තම්බා ගන්න. කැරට් අලයක් සිහින් කැබලි කපාගන්න. මේ දෙක එකට මිශ්‍ර කරන්න. සැන්ඩ්විච් පාන් පෙතිවල බටර් ස්වල්පයක් ගා ගන්න. (බටර්/මාජරින් සැශේ පැකට් ගන්න, කල් තියාගන්න අමාරු නිසා) ඉන් පසුව බිත්තර සහ කැරට් පිරවුම තවරා සලාද කොලයක් මැදට තියාගෙන සැන්ඩ්විච් හදා ගන්න.
#තේ/කෝපි
තේ කුඩු බැහැර කිරීම කරදරයි. ටී බෑග් වඩා පහසුයි. තම තමාගේ කම්මැලිකම අනුව ඒක තීරණය කරන්න.
නෙස්කැෆේ කියන්නේ නිදිවරාගෙන ක්රෑම දැමීමට අගනා උත්තේජකයක්. එනර්ජි ඩ්‍රින්ක්ස් වලින්නම් ඇති සෙතක් නැහැ. බොරු ඇඩ් එක විතරයි.
#අඩුම කුඩුම
හැමදාම එකම තැනින් කන්න වෙලානම්, ගෙදරින් ගේන චට්නි බෝතලයක්, චිලි පේස්ට්, අච්චාරු හෝ බැදුම් (මික්ස්ඩ් බයිට්.) බෝතලයක් බොහොම වටිනවා. ලුණු කුඩු ටිකක් උනත් පුංචි බෝතලයක දමා තියාගැනීමෙන් පාඩුවක් වෙන්නෙ නෑ.
#වැදගත්ම දේ තමයි, “ආහාර යනු හෝම්-සික් සඳහා විකල්පයක් නොවෙයි.” කෑමෙන් සිදුවන්නේ “හෝම්-සික්” අඩු වීම නොව ඔබ ජිම්බතලයෙක් බවට පත් වීමයි.
ඇඳුම්
#බැගී ටී ෂර්ට්, අඳුරු පැහැ ඩෙනිම් සහ ෆ්ලිප්-ෆ්ලොප්ස් නිසා ඇඳුම් පිළිබඳ ගැටලුව සෑහෙන දුරට නිරාකරණය වනු ඇත. ඩෙනිම් යනු මාසයකට වරක් සේදීම ප්‍රමාණවත් රෙදි වර්ගයක් නිසා ඩෙනිම් කලිසම්, ඩෙනිම් ජැකට් සහ ඩෙනිම් ගවුම් ඔබේ ජීවිතය වඩවඩාත් පහසු කරනවා ඇති.
#සර්ෆ් එක්සෙල් ඇඳුම් වලට අහිතකරයි, නමුත් කාලයකට සැරයක් සෝදන බර ඩෙනිම්, ඩෙනිම් බෑග්, බෙඩ්ශීට් යනාදියට සර්ෆ් එක්සෙල් යෙදීමෙනුත් ජීවිතය පහසු වෙනව.
#යුනි ඉන්න කාලෙදි ඇඳුම් සෝදන්න හොඳම වෙලාව රෑ. පාඩම් කරද්දි නිදිමත බ්රේක් එක අරන් ඇඳුම් හේදුවනම් නිදිමත එහෙමම නැති වෙනවා. බාත් රූම් රශ් එකත් නෑනෙ ඒ වෙලාවට.
#ටී ෂර්ට්, ඩෙනිම් සම්බන්ධව ගජේ ගැසීම තමන්ගේ සහ අනුන්ගේ කැමැත්ත මත ගලපා ගන්න. සමහරු ගජේට කැමතිම නෑ. සමහරු මුදල් අගහිඟයක් නැතත් ගජේ ගැසූ ඇඳුම් මතම යැපෙනවා. සූත්තරෙන් ඔලුව බේරගෙන ඉන්න ඕනෙ. (ගජේ = ශෙයාර් කර ගැනීම.)
අදට ඔය ඇති නේද? මේ මාතෘකා තුනට අදාළව කියවන අයගේ අදහසුත් කමෙන්ට් විදියට එකතුවෙනවානම් තවත් වටිනවා.