Showing posts with label බස්සිගෙ කොලම. Show all posts
Showing posts with label බස්සිගෙ කොලම. Show all posts

Thursday, February 25, 2016

අහඹු හාදකම්





හාදකම් කියන්නේ හරිම සුන්දර දෙයක්. නීරස ජීවිතේට හුස්ම පිඹින්නේ හාදකම්, අයාලේ පාවෙනකොට අරමුණක් පෙන්වන්නෙත් හාදකම්, සීතලම සීත සෘතුවක කෝපි දුමාරයක් වගේ හිත උණුහුම් කරන්නෙත් හාදකම්.


හාදකම් විවිධාකාරයි. පවුලත් එක්ක, නෑදෑයෝ, අසල්වැසියෝ එක්ක, නිතර මුණගැහෙන ගමන් සගයින් එක්ක ගොඩනැගෙන හාදකම් ස්වාභාවිකයි. ඒ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් විදියටයි හැඟෙන්නේ. ඒ ජාතියේ හාදකම් බොහොමයක් ස්වභාවයෙන්ම අපේ සම්, මස්, නහර තුලටම කිඳාබහිනවා. නිතර දෙවේලේ දකින්නට, කතාකරන්නට ලැබෙන නිසා ඒ හාදකම් බොහොම ප්‍රභලයි. 


ඒ වගේම, කිසිම සැලසුමකට අනුගත නොවන, අහම්බෙන් වගේ අපේ හිස මතට, හරියටම කියනවානම් 'හිත මතට' කඩාවැටෙන හාදකම් ගැනත් ඔයාලට අත්දැකීම් නැතුවා වෙන්නට බැහැ. සමහර වෙලාවට එවැනි හාදකම් එක්වරම අපේ ජීවිතය ඉස්සරහ පැනනගිනවා. බූවල්ලෙක් වගේ අඬු විහිදලා අපිව වෙලාගන්නවා. බොහෝ කාලයක ඉඳන් දැන හඳුනනවා වගේ හැඟීමක් දනවනවා. ඒ එක්කම අපිට 'සාංසාරිකයි' කියන වචනේ නියම අර්ථය හමුවුනා වගේ හිතෙන්නට පටන් ගන්නවා.


කෝච්චියේදි අහම්බෙන් දකින මුහුණක්, මාස දෙකතුනකට පස්සේ ඔයාගේ හොඳම මිතුරිය බවට පත්වෙන්නට පුළුවනි. ටියුෂන් ක්ලාස් එකේදී අහම්බෙන් පැරණි සටහනක් පිටපත් කරගන්නට පොත ඉල්ලාගත්තු පිරිමි ළමයා ටික කලකින් ඔයාගෙ පෙම්වතා වෙන්නත්, වසර ගණනකට පස්සේ සැමියා වෙන්නත් පුළුවනි. අළුතෙන් පාසලට ආපු ගණිත ගුරුතුමිය ඉදිරි අවුරුදු විස්ස විසිපහ ඇතුලත ඔයාගෙ හොඳම හිතවතිය සහ ජීවන උපදේශකවරිය වෙන්න පුළුවනි. 


අහඹු හාදකම් ඒ වගේ, පටන් ගන්නා මොහොතක් හෝ අවසාන වෙන මොහොතක් ගැන අනාවැකි කියන්නට බැහැ. කොයි අතට ගමන් කරාවිදැයි නිශ්චය කරන්නටත් බැහැ. එය හරියටම කුඩා මාලිමාවක් පමණක් අතැතිව, නම නොදන්නා සුන්දර පලාතක අතරමං වීම වගෙයි. ඉදිරි ගමන බොහොම සුන්දරයි. නමුත් පය පැකිලී බිම ඇද වැටෙන්නට, විෂ දලැති කෘමි සතෙකුගේ ප්‍රහාරයකට ලක්වෙන්නට, දෙඇස රතු වෙන්නට විතරක් නොවෙයි මංමුලා වෙන්නට පවා පුළුවනි. පෙර සැලසුමකට අනුගත නොවෙන ගමනක් කියන්නේ එහෙමයි.


නමුත් ඔයාගේ අතේ මාලිමාවක් තියෙන බව අමතක කල යුතු නැහැ. මේ මාලිමාව වෙන කිසිවක් නෙමෙයි. අපේ මොළය, බුද්ධිය, අත්දැකීම්වලින් ලබාගත් දැනුම. ඉතින් මාලිමාව හරි විදියට පාවිච්චි කලොත් අතරමග නතර වෙන්නට, අතරමං වෙන්නට තියෙන සම්භාවිතාවය බොහොම අඩුයි. මොළය කියන මාලිමාව අපි හැමෝටම උපතින්ම ලැබෙනවා. එය නිසි ආකාරයට හසුරුවන වගකීම තියෙන්නෙ අපේ අතේ.


ඉතින්, සැලසුම් සහගත හාදකම් වගේම අහඹු හාදකම්වලත් මිහිර විඳගන්න. හදවතින් රසවිඳින්න. ඒත් මොළය කියන මාලිමාව කිසිම විටක අමතක කරන්න එපා. ජීවිතේ සුන්දර සුවිසැරියක් වෙන්නේ එතකොටයි.




Wednesday, February 17, 2016

වේලිච්ච හදවත් පොඟවන්න





වැලන්ටයින්ස් ඩේ එක, එහෙමත් නැත්නම් පෙම්වතුන්ගේ දවස පහුවෙලා දවස් දෙකකුත් ගතවෙලා. පෙම්වතුන්ගේ දවස අපේ සංස්කෘතියට තරමක් ආගන්තුකයි. අපේ වැඩිහිටි පරම්පරාවේ සමහරු පෙම්වතුන්ගේ දිනය හඳුන්වන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය කාබාසිනියා කරන්න ආපු පරදේසක්කාර සිරිතක් කියලා. ඇත්තටම ඒක එහෙමද? මම නම් ඒ කතාවට එකඟ නෑ.


ඇස් ඇරලා පොඩ්ඩක් අපි අවට බැලුවොත් පෙනේවි, අද කාලෙ හොයාගන්න අමාරුම දෙයක්, ලබාගන්න දුෂ්කරම දෙයක් තමයි ආදරේ කියන්නෙ. මොන්ටිසෝරි යන පොඩි එකාගෙ ඉඳන්, රිටයර් වෙච්ච ආච්චිලා සීයලා දක්වාම, හැමදෙනාම නමක් නැති, නිමක් නැති රේස් එකකට වැටිලා උදේ ඉඳන් රෑ වෙනකම් දුවනවා දුවනවා දුවනවා. ඉතින් කෝ ආදරේ කරන්න වෙලාවක්? ආදරේ ලබන්න වෙලාවක්?


ඒ අතින් බලනකොට, ආදරේ හිඳිච්ච ලෝකෙක, අවුරුද්දට දවසක් හරි ආදරේ ගැන කතා කරන එකම කොයි තරම් වටින දෙයක් ද?


අපේ රටේ ආදරවන්තයන්ගේ දිනය කියන්නේ කොටුවෙච්ච, හිරවෙච්ච, රාමුවෙච්ච සංකල්පයක්. ආදරවන්තයන්ගේ දිනය ඉස්කෝලෙ දවසක වැටුනොත් විනය කමිටුවෙන් පැනලා පොත් බෑග් චෙක් කරනවා. නිදහස් උද්‍යානවලට විසිල් බෙල්ලේ එල්ලාපු ආරක්ෂකයො බහිනවා. මුහුදු වෙරල දිගට පොලිස් නිලධාරීන් ඇවිද ඇවිද ආදරේ පොලීසියට කුදලගෙන යන්න මාන බලනවා. 


ඉතින්, ආදරේ පහලවෙන්න පටන්ගන්න වයසේ ඉඳන්ම, ආදරේ කියන්නේ 'බරපතල වරදක්' බව හිතන්න පුරුදු කරපු පරම්පරාවක්; රොබෝ පරම්පරාවක් බිහිවීමේ අවදානම කරපින්නාගෙන අපි සංස්කෘතිය රැකගත්තා කියල උදම් අනනවා.


අපිට මෙතනින් එලියට එන්න බැරිද? ආදරවන්තයන්ගේ දිනය, අවිවාහක පෙම්වතුන්ට සීමාවුන දිනයක් කියලා හිතන්නෙ ඇයි? මේ තහංචි, සීමා, වැටකඩුළු සේරම උපදින්නේ එතැනින්. ආදරවන්තයන් කියන්නේ අපි ආදරේ කරන අය. මම මගේ තාත්තට, අම්මට, ගුරුවරුන්ටට, යාළුවන්ට ආදරෙයි. සහෝදර සහෝදරියන්ට, දුවට, පුතාට, අසල්වැසියන්ට ආදරෙයි. ඉතින් ඇයි අපිට බැරි එකම ආදරවන්තයෝ සමූහයක් විදියට ආදරේ දවස සමරන්න?


රතු රෝස මලටයි, චොකලට් පෙට්ටියටයි, හාට් එකක් බදාගෙන ඉන්න ටෙඩිබෙයාටයි ආදරේ සීමා කරන්නේ ඇයි? ආදරේ වෙනුවෙන් අපිට කරන්නට පුළුවන් දේ, මුදල්වලින් මනින්නට බැරි තරම් වටිනා දේ බොහොමයි.


ඉතින් ශ්‍රී ලාංකීය සංස්කෘතිය කාබාසිනියා කරනවා කියන ආදරවන්තයන්ගේ දිනය අපි අපේ රටට ගලපා ගනිමු. අපේ රටට ආදරේ තදින්ම අවශ්‍යයි. පෙම්වතුන් අතර විතරක් නෙමෙයි. ජාතීන් අතරට ආගම් අතරට, කුලගෝත්‍ර අතරට, මෙකී නොකී දහස් ගණනක් පළුදුවීම් අතරට ආදරය අවශ්‍යයි. තම තමන්ගේ කුඩා ලෝකවල හුදෙකලා වුන අපේ මිනිස්සුගේ වේළිලා ගිය හදවත් පොඟවන්න ආදරය අවශ්‍යයි.


එන්න. අපි ආදරේ කරමු!






Tuesday, February 9, 2016

ආතල් ගන්නවද?





ගිය සතියේ බස්සිගෙ කොලමෙන් ගෙනාවෙ "අකාල වර්ණනාව" ගැන. ඉතින් මේ සතියෙ බස්සි කතාකරන්න හිතුවෙ 'අකාල වර්ණනාවේ' නිවුන් සහෝදරී කියලා කියන්න පුළුවන්, ඒ තරමටම හානිදායක වන 'දෙන්නං බැටේ විවේචන' ගැන.


ජීවිතේ යංග් කාර්තුව කියන්නේ අපිව අඹලා, කපලා, ඔපදමලා සිරා වැඩිහිටියෙක් විදියට සමාජෙට තල්ලු කරන්න තියෙන අන්තිම චාන්ස් එක. වර්ණනාවත්, ප්‍රශංසාවත්, විචාරයත්, විවේචනයත් මේ ක්‍රියාවලියට බොහොම වැදගත්වෙන උපකරණ. හැබැයි දැලි පිහියෙන් කිරි කන්න වගේම බෙල්ල කපන්නත් පුළුවන් බව අමතක කරන්න හොඳ නෑ!


අපි උදාහරණෙකට ගනිමු ටියුෂන් ක්ලාස් එකේ සගයෙක්. පොර අවුරුද්දක, දෙකක ඉඳන් කිසිම ක්‍රීඩාවකට සහභාගි වෙන්නෙ නෑ. බඩ පැලෙන්න කනවා. කාල බීලා ක්ලාස් එකේ පිටිපස්සෙ පේලියට වෙලා ගොරොද්දෙ ඇද ඇද නිදාගන්නවා.


සමහර එවුන් අර ළමයට 'බඩ තඩියා' කියල නමක් දානවා. ඊට පස්සෙ පොර නිදාගෙන ඉන්නකොට පිටේ 'බඩ තඩියා' කියල ලියපු කොලයක් අලවනවා. ඊට පස්සෙ ඒකෙ පින්තූරයක් අරන් ෆේස්බුක් හරි ඉන්ස්ටාග්‍රෑම් හරි අප්ලෝඩ් කරනවා. 'බඩා හෙවත් බඩ තඩියා' කියල කැප්ෂන් කරනවා. ඉන් පස්සෙ ඊට යටින් කමෙන්ටු ගණනාවකින් බනිනවා, උසුළු විසුළු කරනවා, හිනාවෙනවා.


එහෙමත් නැත්නම් පොර අමාරුවෙන් බඩ ගෙඩිය උස්සගෙන ක්ලාස් එකේ එහා මෙහා යද්දි කකුල් පූට්ටු දානවා. පාරෙ යද්දි හයියෙන් හූ කියනවා.


එහෙම අයගෙන් ඇහුවොත් ඒකට හේතුව මොකක්ද කියලා බොහොම ආඩම්බරෙන් උත්තර දෙන්නේ, "ඒ යකාව හදාගන්නයි අපි මෙහෙම කරන්නේ" කියලයි. ඒත් පොඩ්ඩක් නැවතිල්ලේ හිතන්න. ඔබ ඔය කරන දේවල්වලින්, ඔබේ රහස් කසුකුසුවලින් තවත් මනුස්සයෙක්ගේ ජීවිතයක් දිරදිරා යනවනම් ඒකට ඔබ වගකියනවද? අනුන්ගේ ජීවිත තියෙන්නේ 'දෙන්නං බැටේ ගේම්'වලින් ආතල් ගන්නද?


නමුත් සමහරු, බොහොම අඩු ප්‍රතිශතයක සමහරු ඉන්නවා එයාගෙ කරට අත දාල 'මොකක්ද මචං ප්‍රශ්ණෙ?' කියල අහන. සමහර විට 'බඩ තඩියා' ජීවිතේ එපා වෙච්ච නියුට්‍රල් මූඩ් එකෙන් ඉන්නෙ බූට් කේස් එකක් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මිනිහට අවලාද කියන එකෙක් මිනිහ ගැන ඉස්කෝලෙට කියපු බොරු කේලමක් නිසා වෙන්නත් පුළුවන්. අපි නොදන්න ගොඩක් කතා ඒ ඇතුලෙ තියෙන්නට පුළුවන්.


ඒ වගේ කෙනෙක්ට ඇත්තටම උදව් කරන්න. ඌව හදාගන්න ඕනෙ තමයි. පොරට තනියම උපදෙස් දෙන්න. ඔව්, තදින් කතා කරන්න. ජිම් එකට, ග්‍රවුන්ඩ් එකට එයාව ඇදගෙන යන්න. තමන්ගෙ ටීම් එකට අරගෙන පොර සෙල්ලම් කරද්දි චියර් කරන්න. ක්ලාස් එකේදි පොරට නින්ද යනකොට වැලමිටෙන් ඇනල ඇහැරවන්න.


තමන්ගේ කල්ලිය අතරෙ බැබලෙන්න හිතාගෙන තව මනුස්සයෙක්ගෙ ජීවිතේට "දෙන්නං බැටේ!" කියනවට වඩා කොයිතරම් ලස්සනද අගාධෙට වැටෙන්න යන කෙනෙක්ට අත දීලා උඩට ඇදල ගන්න එක?






Tuesday, December 22, 2015

The බසු corner!







හැන්දෑවෙ අහස දම්පාට වේගෙන එනකොට තමයි බස්සන්ගෙ දවස පටන් ගන්නෙ. දවසට kick start එක දෙන්නෙ පාන්දරද, හැන්දෑවෙද කියල වෙනසක් නෑ බස්සන්ටත් problems එමට!


හවස tution එකට යනවද, නැත්නම් කට් පාර දාලා සෙටාර් එකත් එක්ක shopping රස්තියාදුවක් දානවද? News බලනවද නැත්නම් අලුතෙන් බාගත්තු TV series එක අදිනවද? බෝඩිමට ආව ගමන් අම්මට කෝල් කරනවද, නැත්නම් කොල්ලට කෝල් කරනවද?


දවසින් දවස choices පැටව් ගහනවා. ඉතින් අපේ ඔළුගෙඩි තම්බපු නූඩ්ල්ස් ගොඩක් වගේ complex වෙනවා.


ක්‍රිස්මස් පාටියට අඳින්නේ frock එකක්ද, glamorous කුර්තා එකක්ද, විච්චූරණ cocktail dress එකක්ද කියන එක වගේ සිම්පල් දේකදිත්, A Level ඉවරවෙලා කෙලින්ම ජොබකට යනවද, results එනකම් ගෙදරට වෙලා මාලු බානවද, ආණ්ඩුවෙ campus එකකට හොම්බ දා ගන්නවද, ප්‍රයිවෙට් කැම්පස් යනවද, එහෙමත් නැත්නම් short term course එකක් පටන් ගන්නවද කියන ජීවිතේ කඩඉම් ප්‍රශ්ණෙකට එනකම් අපිට ගෝනි ගනන් choices ලැබෙනවා.


දෙමං හන්දියකදි නම් යන්න ඕනෙ පාර කාසියක් උඩ දාල decide කරන්න පුළුවනි. ඒත් මචංලා, කඩඉම් හන්දියෙදි පාර අතු දහයකට, පහළවකට බෙදෙනකොට තමයි තනි ඇහැට ඇඬෙන්නෙ.


අන්න ඒ වගේ තැනකදි හරි track එක තෝරගත්තෙ නැත්නම් life එකම totally මස්තබාල්දු වෙලා යන්නත් පුළුවන්.


මෙහෙමයි. ඒ වෙලාවට බලන්න ඕනෙ පොඩි අංජනමක්. අවුරුදු දහයක්, විස්සක්, තිහක් එහාට. කොයි පාරෙ ගියොත්ද අපිට වැඩියෙන්ම සතුටෙන් ඉන්න ලැබෙන්නෙ කියන එකනෙ අන්තිමේදි වැදගත් වෙන්නෙ. සුනාමි, ටෝනාඩෝ එන එක නවත්තන්න බෑ තමයි මචං. ඒ වුනාට අපිටත් කාලගුණේ ගැන පොඩි ඉවක් තියෙනවනෙ. නැද්ද මං අහන්නෙ?


CHOICE එක හැමවෙලාවෙම map වෙන්න ඕනෙ HAPPINESS එකත් එක්ක, ඒත් එක්කම අපේ personal values එක්ක.


අන්න එතකොට දෙමං හන්දියකදි උනත් කාසි උඩදාන්න, දාදු කැට කරකවන්න වෙන්නෙ නෑ. 


මම මේ කල්පනා කරන්නෙ, පිහාටු tint කරගන්නෙ දම් පාටින්ද, dark brown වලින්ද, නැත්නම් hot pink වලින්ද කියලා. ඒකට නම් කාසියක් උඩදාන්න වෙයි වගේ. 


Choices තුනෙන් එකක් select කරගන්න පැති තුනක් තියන කාසියක් හොයාගන්න එකනෙ මචං මොලේ  මැල්ලුං වෙන problem එක!