Tuesday, December 30, 2014

ශාරුක් ඛාන්ට ජයවේවා!








මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය ය. නහය උඩින් වතුර ගියත් ඇඟිලි තුඩු වලින් හිටගෙන උඩ පැන පැන ජෝගි දමන පට්ට අභිමානවත් ජාතියක් වෙසෙන අමුතු ඇටය මේකය.




ස්වාධීනත්වය කියන වචනය සිංහල හෝඩියෙන් අහක් කල යුතු බව අපි උදක්ම අපේක්ෂා කරනවා ය. ඇත්තටම ඔය "ස්වා" අකුරු දෙක බල්ලෙක්ගේ අධෝමුඛයේ ගසා "දීනත්වය" ලැමිනේට් කර හන්දියක් හන්දියක් ගානේ එල්ලනවාට අපි පට්ට මනාපය. කොහොමත් මාර අභිමානවත් රාජාණ්ඩු ආතල් පිරී ඉතිරී ගිය අතිශය ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ කශේරුකාව රබර් මිශ්‍රිත බව ජාන විශ්ලේෂණයක් කලොත් සාක්කිත් එක්කම බලාගන්නට පුලුවන්‍ ය.


අපි වැඩිපුරම ආසා කරන්නේ රජකතා බලන්නය. මේ දවස්වල නැගලාම යන ට්‍රෙන්ඩ් එකත් රජ කතාය. පර සතුරු උවදුරු රටෙන් අතුගා දැම්මාට පස්සෙන් පහු රජා කිරිකිරියේ දිලිහෙන ඇලුමිනියන් කඩුව අරගෙන ඉස්ටේජ් එකට නගිනකොට ඇත්තමයි අපිට චූ යන තරම් ආතල් ය. ආතල් වැඩිකමට  සටන් බිමේදි පතුරු ගිය බර කඩු කොපුවේ දමාගෙන ඉස්ටේජ් එක පිටුපස ඉන්න රණවිරුවෝ ගැන හාංකවිසියක් අපිට මතකක් නැතිය. 


අනේ ඉතින් අපිට පාන් ද? එළාරව පරද්දා රට එක්සේසත් කලේ දුටුගැමුණුය කියද්දී ඉස්කෝලෙ උළු උඩ යන්න චියර් එක දුන්නා මිසක ඒ කාලෙත් දුටුගැමුණු ඕක කලේ තනි සුලැඟිල්ලෙන්දැයි අහන්නට තරම් මන්ද මානසිකත්වයක් අපිට නම් තිබුනේම නැති ය.


අපි කොහොමත් නාට්ටි බලන්න පට්ට ලැයික් ය. හතට සාලේ සෝෆාවට බර දී හරිබරි ගැහුනාට පසු දහයමාර වෙනකල් පස්ස කෙලින් කරන්න අපි මාර අකමැතිය. ඇත්තටම ඒ අපි මෙගා නාට්ටිවලට ඇති පරම පිවිතුරු ප්‍රේමය නිසාමය. අපිට ප්‍රසන්න විතානගේ කිච ය. ජයන්ත චන්ද්‍රසිරි චාටර්‍ ය. උන්දලාගේ නාට්ටි වලින් කරන්නේ මොළේ හාරන එකය. මොළේ හාරද්දි අපිට රිදෙනවාය. අපිට ඕනා බත්ගුලිය උගුරෙන් පහළට යවාගන්නත්, පොප්කෝන් එකක් හපාගන්නත් ගටක් සපයන මෙගා පත්තරයක් විතරමය.


අපේ මේ මනාපය අවබෝධ කරගත්තු බොහොමයක් මීඩියා මහතැන්ලා දැන්  උදේ පිරිතේ හිට රෑ ජාතික ගීය දක්වාම පෙන්නන්නේ නාට්ටි විතරමය. වෙනකක් තියා ඒ චැනල්වල නිවුස් ද නාට්ටි ය. ඉඳහිට නාට්ටි නිවුස් වෙන වෙලාවලුත් පහුගිය දොහක දැකගන්නට පුලුවන් විය. ඒ කියන්නේ අපිට උවමනා ආතල් එක ඕනෑවටත් වැඩියෙන් ලැබෙනවා කියන එකය.


හැබැයි ඔය සේරටම වඩා අපිට ෆන් එකක් ලැබෙන්නේ බොලිවුඩ් කෑලි දකිනකොටය. අපේ අයියලා ජැකලින් නංගිට මාර ලවු ය. ඉටි රූපෙ වගේ නංගි ඉස්ටේජ් එකට වඩිනකොට ලොවෙත් ෆන් ය. ප්‍රේම ගංගා උතුරා ගලා යනවාය.


ඊට නොදෙවැනි නංගිලා තාරුණ්‍යයේ උත්කර්ෂය මොනවට විදහා දක්වමින් සල්මන් ඛාන්ට ෆ්ලයිං කිස් ලොරි ගණන් විසුක්කා කොරනවාය. සල්මන්ගේ පිරිපුන් බාහු යුගලත්, කට කොණින් නගන අපූරු මනමාල හිනාවත් දකිනකොට අම්මපා අපේ අක්කලා නංගිලා ප්‍රීතියේ පරම ලක්ෂයටත් වඩා දශම ගානක් උඩ විසිවෙනවාය.


ටික දොහකට කලින් අපේ ආතල් එක කඩන්න ජයතිලක බණ්ඩාර කියලා කොහෙදෝ යන එකෙක් එලියට බැස්සේය. ඌ නිදහස් කලාකරුවෙක් කියලා කියනවාය. සාමකාමී පාගමනක් ගියා කියනවාය. සාමකාමී උනත් ඒ පා ගමනේ අරමුණ අපේ ආතල් කුඩු කිරීමය. ඉන්තේරුවෙන්ම ඕකා යන්න ඇත්තේ අපේ ඔලු සුද්ද කරන්නය. ඉතින් නෙලන්ඩ තිබුනේ අතින් පයින් නොව හොඳ ඇඹුල් පොල්පිත්තකින් ය .


අලුත් පරපුරේය කියන පඟර නැට්ටෝ ටිකක් ඒ අවුඅස්සේ කළඑලි බැහැලාය. අනුමානයක් නෑ ඕකුන්ට තියෙන්නේ සල්මන් අයියත් ජැකලින් අක්කත් එක්ක ඉරිසියාව ය. අනික අපිට ඕකුන්ගේ මූණු මතකත් නැතිය. උදය ධර්මවර්ධන, ලක්‍ෂමන් විජේසේකර කියන නම් අනේ අපිනං අහලාවත් නැතිය. මොහාන් රාජ් මඩවල කියන්නේ සිංදු කියන එකෙක් වෙන්න ඕනෑය. සමනළී, අමා හැඩය. ඒ උනාට කිසි ගෝ එකක් නැතිය. ජැකලින් අක්කා තරම් පොත්ත සුදකුත් නැතිය. 


බලාපවු අර ජගත් මනුවරණයා, මූඩ් කන්නම උපන් එකෙක්‍ ය. ඌ රඟපානකොට ඕඩියන්ස් එක අඬනවාය. කසුන් චාප ජෝඩුව ඊට හපන් ය. මේකලා පාරට බහින්න ඇත්තේම අපේ සල්මන් අයියා ගැන උපන් ඉරිසියාවෙන් පැහි පැහි වෙන්න ඕනෑ ය. ඕකුන්ට ඔය ගැහුවා මදිය. අර නාය ගිය පත කළුගල් ඔලු කුඩු වෙන්න ඉලක්කෙට විදින්න තිබුනාය. දේවදත්තත් කොරපු ඒ ටික අපේ මහත්තුරුන්ට අමතක වෙච්චි එකට මාර කණගාටුය.


කොහොමත් සලමන් අයියත් ජැකලින් අක්කත් අපිව බලන්න අවතැන් කඳවුරුවලට එනවාය. හින්දි පිචෑර් ලයිව් බලන්න තියනවානම් ගංවතුර එකට හතක් ගැලුවත් අපිටනම් වගේ වගක් නැතිය. ගේ කැඩුනත් සල්මන් අයියා එක්ක කරට අතදාගෙන ඉන්න පොටෝවක් අවතැන් කඳවුරේ ඉස්සරහ බිත්තියේ අලෝගන්න තියනවානම් ඊට වඩා මුකුත්ම එපාය.  




මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය ය. ඒ අමුතු ඇටයේ වෙසෙන නහය උඩින් වතුර හතක් ගියත් ඇඟිලි තුඩු වලින් හිටගෙන උඩ පැන පැන ජෝගි දමන පට්ට අභිමානවත් ජාතිය අපිය. අපි හින්දාම අපේ තාත්තා හරිම ආඩම්බරකාර ය.







~~~~~~~~~





Monday, December 29, 2014

ආදරේ මූනිස්සමක් ගෙන - හදවතට වෙඩි තියපං!








විවර කර හදවත පතුල තෙක්
මුවහත්ම නිය සැතකින්
කොනහමින් මෘදු පටක එකිනෙක
රැස් කලෙමි ලේ සායම්



තදින් පිඹ ඝන හුස්ම ධාරා
උණු රුහිරු අවුළුවමින්
පදම් කර නිවැරදිම මිනුමට
තැනූයෙමි මූනිස්සම්



හද දොරේ යතුරද ගලවගෙන
මයිනහම ඇද තව වැරෙන්
ලෝහ උණු කර අච්චුවක ලා
තුවක්කුව නිමැවූවෙම්



කරදහිය ආදරේ ලයිසන්
ඔබ සුරතෙහිම තැබුවෙම්
දැන් ඉතින් හති වැටෙනකම් හරි
හදවතට වෙඩි තියපං



ලෙයට ලෙය හඳුනන නිසාවෙන්
වහා සුවපත් වෙයි මං
පෙනී නොපෙනෙන කුඩා කැළලක්
ලය මත ඉතිරි වීමෙන්



ඉසි ක්‍රෝධ විස තවර තවරා
තුවක්කුව මානයි නම්
කැළැල් නැතුවම මා මියෙන බව
මතකයේ රඳවාපන්

ඒ වුනත් තරහක් දැනෙන්නෑ
උඹට ඒ සතුටක් නම්
හදවතට වෙඩි තියපං


~~~~



.




Thursday, December 25, 2014

ශීත පිළිස්සුම් (නත්තල් කෙටිකතාව)







මම කෙලවරක් නොපෙනෙන දිග බරාඳයක අරමුණක් නැතුව ඔහේ ඇවිදිමින් උන්නා. ඉදිරියට තියන පියවරක් පියවරක් පාසා දශමයෙන් දශමය හැකිලෙමින් උන්නා.


හරියටම අර ඇඳුම් සාප්පුව ඉස්සරහ ආරුක්කුවේ එල්ලලා තියෙන හදවත් හැඩේ බැලුම් බෝලයක් වගේ.  නත්තල් සැරසිලි තොග ගනනට එල්ලාගෙන ඉන්න නිසා පුරුදු කඩසාප්පු එක්වරම අඳුනා ගන්නත් අමාරුයි. බරාඳය දෙපස එල්ලා ඇති උස් හා පැහැදිලි කැඩපත්වලින් පරාවර්තනය වෙන නිල් හා සුදු පැහැ විදුලි ආලෝකය නිවෙන දැල්වෙන වාරයක් පාසා මාව තවත්, තව තවත් හැකිලෙන බව මට තේරුනා.


දැන් මම ඉන්නෙ ශූන්‍ය ලක්ෂයට ආසන්නයේ. දෙනෝදාහක් කලබල සෙනග මැද මම පේන නොපෙනෙන තිතක් බවට හැකිලෙන හැටි කිසිම කෙනෙක්ට දැකගන්න බැරි වුනා. ඉතිං මට මහ අසරණකමක් දැනෙන්න පටන් ගත්තා.


ශූන්‍යයට ආසන්නයේ පවතින පුංචිම පුංචි හදවතකට උනත් දෙනෝදාහක් මැද්දෙ තනිවෙන එක හිතට මහ බරක් විදියටයි දැනෙන්නෙ. 


ඔයා? ඔව්. ඔයා අත්විඳල නැද්ද ඒ කාලකණ්නි හැඟීම? අන්න ඒ වෙලාවට සක්‍රීය ගිනිකන්දක මධ්‍ය ලක්ෂයේ ලාවා වල දැවටිලා පැහෙමින් තියෙන හදවතක් උනත් සීතලෙන් ගල් ගැහිලා යනවා. ජීවය බිංදුවක්වත් ඉතිරි නොවුන අයිස් කුට්ටියක් බවට පත්වෙනකම්ම.


ශීත පිළිස්සුම් ; ඒ වචනයෙම තියෙන්නෙ මහා අනුකම්පා විරහිතකමක්. 


සීතලයි ශූන්‍යත්වයයි තවත් දරාගන්න අපහසු වුන තැන මම සපත්තු කඩ දෙකක් මැදින් වැටුන පටු පෙත්මගකට හැරුනා. ඒ ඔස්සේ ආලෝකයේ ප්‍රවේගයට මදක් අඩු වේගයකින් රූටාගෙන ගිහින් ෂඩාස්‍රාකාර සිමෙන්ති කැට අල්ලාපු පදික වේදිකාවට පය ගැහුව.


කන් දෙක වැහෙන්න තොප්පිය පහළට ඇදගෙන අත් දෙක කබා සාක්කු ඇතුලෙ හංගා ගත්තයි කියල සීතලෙන් සම්පූර්ණයෙන්ම අත්මිදෙන්න බැහැ. ඒත් තට්ට තනියම අර සෙනග ගංගාව මැද්දෙ පිහිනද්දි හදවතට මරණීය තුවාල එල්ල කරන්න පුලුවන් ශීත පිළිස්සුම්වල අවදානම පාළු වීදි කෙළවරකදි දැනෙන්නෙ නැහැ. 


ඒ කියන්නෙ මම දැන් ආරක්ෂිතයි.


පාර අයිනේ ඇති කොට ගඩොල් තාප්පයට හේත්තුවෙලා සිගරැට්ටුවක් දල්වා ගත්තෙ සීතල හින්දාම නෙමෙයි. මම උත්සාහකලා පූර්ණ කවාකාර දුම් වළලු ඉහළ යවන්න. ඒත් ඒ හැම දුම් වළල්ලකම මොකක් හෝ අඩුපාඩුවක් තිබුනා.


එකක් ඉලිප්සාකාරයි. තව එකක් වම් පැත්තට යාන්තම් ඇලවෙලා, ඇදවෙලා. හතරවැනි දුම් උගුරත් එක්ක පිටවෙච්ච දුම් වළලු සේරම එකකට එකක් හා වුන සර්පිලයක් වගේ.


ඇත්තමයි මට එපා වුනා. එතකොට මට පෙනුනා සිහින් මුල් පහුරු වලින් තාප්පයේ රතු ගඩොල් පසාරු කරගෙන තාප්පෙට ඇලිලා ඉන්න වැල් ගොමුවක්. දුඹුරු කොල පාට පත්‍ර අතරෙ තැනින් තැන පුංචි පුංචි දම් පාට මල් පිපිල තිවුන. ඒ දම් පැහැ මල් මට මතක් කලේ ඒකිව.






දම් පාට ඇස් තියෙන කෙල්ල. ඒකි ඇස්වල පළඳින්නෙ දම් පාට ස්පර්ශ කාච. ඒ දම් පාට කණීනිකාවන් ඈට ගෙනාවෙ මායාකාරී පෙනුමක්. ඒකිගෙ හිසකේ දිගයි. තනි කෙලින්, මේ දැන් නාන කාමරයෙන් පිටතට ආවා වගේ ඒ හිසකේ තෙතට පහලට කඩාහැලුනා. ඔන්න දැන් මට මතක් වෙනවා කවදාවත් ඇගේ කෙස්වැටියෙන් වතුර බිංදු කාන්දු නොවුනු විත්තිය. හැබැයි නිතරම ඒ කෙස්වැටියෙන් හමා ආවෙ වයලට් මල් සුවඳක්.


ඒකි මගෙ පස්සෙන් ආවෙ හරියටම
මායාකාරියෙක් වගේ. 



මුලින්ම මම ඈ දිහා බැලුවෙ තිගැස්මෙන්. හැමදාමත් ප්‍රමාද වෙලා දේශන වලට කඩාපාත්වෙන ඒකි හැම මොහොතෙම මුවෙක් වගේ දිවිල්ලේම ඉන්න බවයි මම ඒ දවස්වල හිතාන උන්නෙ. ඈ දේශන ශාලාවට කඩාවදින වේගයෙන්මයි එතැනින් පිටවුනේ. මහා හදිස්සියකින් වගේ. මහා සිනමා කෘතියක ප්‍රධාන චරිතයට පණපොවන අතරෙම ගමේ ඉස්කෝලෙ නත්තල් නාට්‍යයක අවශේෂ චරිතයක් රඟපාන්න ආව වගේ.


ඒකිගෙ ඇස් දම්පාට බව මම දැක්කෙ අහම්බෙන්. හරියටම අදට දවස් අටසිය පනස් එකකට කලින් එළඹුන සෙනසුරාදා රාත්‍රියක. 


ඒ අවන්හල පොඩියි. හැමතැනම ගලාගෙන ගියේ දේදුනු පාට දුමාරය. ඇටමිදුලු පවා වෙවුලුම්කවන සියුම් චෙලෝ නාදයක තාලයට දෙපා සොලවමින් මම දේදුන්නක අන්තිම කෙලවරේ වාඩිවෙලා උන්නෙ පුදුම තරමේ සැහැල්ලුවකින්. අන්න ඒ වෙලාවෙ තමයි හුස්ම හිරකරවන වයලට් මල් සුවඳ මගේ දකුනු උරහිසේ දැවටෙන්න ගත්තේ.



හැබැයි මම ඇස් ඇරියෙ විනාඩි විසි එකයි තත්පර හතළිස් දෙකක් ගතවුනු ගැඹුරුම හාදුවක පතුල ස්පර්ශ කරමින් ඉන්න අතරෙදි.



ඇගේ ඇස් දම් පාට පළිඟු මිණි වගේ දිලිසුනා. දේදුන්න වටේ  රැස් කකා හිටපු හැම මිනිහෙක්ගෙම, ගෑනියෙක්ගෙම ඇස් අග්ගිස්සෙන් ඉරිසියාව වෑස්සෙන බව මං දැක්කා. අන්තිමේ ඒ ඉරිසියාව දුඹුරු පැහැ උකු ද්‍රාවණක් වෙලා මුලු අවන්හලම යටකරගෙන ඉහල නගින්න ගත්තා.


අවලාද හිනාවක් අහසට විසිකරපු මම ඇගේ ඉන වටේ අතක් යවලා තදින් අල්ලාගෙන ඉන්නා අතරෙම දේදුන්නෙන් බිමට පැන්න.


ඒත්, ඒත් අවන්හලේ බිම ගලාගෙන ගිහින් තිවුන දුඹුරුපාට දියරය පතුල්වල ස්පර්ශ වෙනකොටම මාව පිළිස්සිලා ගියා. මට හිතුනෙම මේ වේදනාවට හේතුව ඒකිගෙ ඇස්වල මායා බලය කියලයි. 

ඉතින් මම පුලුවන් තරම් වීරිය යොදල ඒකිව ඈතට තල්ලු කරල දැම්මා.


එදා හිට හරියටම දවස් හැත්තෑ නමයක් ඒකි මා හඹා ආව. මම හැමවෙලාවෙම ඒ ඇස්, ඒ මායාකාර ඇස් මගහැරිය. එතකොට හිම මිදෙන්න පටන් අරගෙන. ඒත් මගේ හදවතේ තිබුනෙ පුදුමාකාර සිසිලසක්. හැඟීම් හුවමාරුවක් සිද්ද උනේම නැති තරමයි. 

බොහොම නිස්කලංක විශ්‍රාමයක් ඒක. 


අන්තිමේදි ඈ යන්න ගියා.


ශීත පිළිස්සුම්වල අවදානම දැනෙන්න ගත්ත පළමු දවස එදා. කළබලම කළබල වීදිවල දෙනෝදාහක් මැද මට පපුව හාරවන තනිකමක් දැනුනා. හරියටම මේ ඇඟිලි තුඩු ඇතුලට කාවදින සිගරට් කොටයේ අවසාන පුළිඟුවේ උණුහුම වගේ.


එදා ඉඳන් මම ඈව හොයනවා.


අරමුණක් නැති දීර්ඝ රාත්‍රීන්වල අහස දිහා බලන් ඉන්න වෙලාවට මම ඈව දැකල තියෙනව. ඇන්ඩ්‍රොමීඩා තරු පංතියට මදක් ඉහළින්, ලොකුම ලොකු දම්පාට තාරුකාවක් විදියට ඈ දැල්වෙනවා.


හිත දහිරිය කරගෙන මම ආයෙමත් නගර සැණකෙළිය පැත්තට පියමැන්නා. කන් සිදුරු පසාරු කරගෙන යන මහම මහ ඝෝෂාවක් නගර චතුරස්‍රය පැත්තෙන් පාවෙලා ඇවිත් මගේ කර්‍ණ පටහ පටලය දෙදරවන්න ගත්ත.


අන්න මට ආයෙමත් පේනවා ඒකිව. නගර චතුරස්‍රයට ඉහළින් ඇගේ ඇස්වල දම්පැහැ කාන්තිය එළි කිණිති දාස් ගාණකට ව්යෝජනය වෙලා තිවුනා. මම ඒ දිහාවටම ඇස් අලෝගෙන ඉදිරියටම ඇවිදගෙන ගියා.


නගර චතුරස්‍රය මැද්දේ විශාල නත්තල් ගහක් සිටුවලා තිබුනා. ඈ ඒ නත්තල් ගහේ උඩම රිකිල්ල මත උජාරුවට පැද්දෙමින් ඉන්නවා.


නත්තල් ගහක උසම රිකිල්ල කොයිතරම් උස වුනත් ඇන්ඩ්‍රොමීඩා තරු පංතියට වඩා සෑහෙන්න පහතයි. ඒ නිසාම මම  පා ඇඟිලිවලින් ඉස්සිලා ඈට ලංවෙන්න පුලුවන්ද බලන්න අත දිගු කලා.


අන්න ඒ ඇසිල්ලේ මගේ ඇඟිලිතුඩු නත්තල් ගහේ කෙලවරක එල්ලා තිවුන කුඩා කහපාට තරුවක කොනක ගැටුන. කිංකිණි හිනාවක් විසුරවපු ඒ කුඩා තරුව මා දිහා බලලා ඇහැක් ගැහුවා.


බර හුස්මක් ගත්තු මම ඒ කුඩා කහපාට තරුව සීරුවට නත්තල් ගහෙන් ගලවා ගත්තා. ඒ මොහොතේ මට දැනුනා උණු කෝපි සැර උණුහුමකින් මගේ ගෙල දෙපස රෝස පැහැ ගැන්වෙන බව.


හැකිලෙමින් තිබුන හදවත ආයෙමත් අසීමාන්තික ප්‍රීතියකින් පිම්බෙන්න ගත්තා. කුඩා කහ තරුව පරෙස්සමට පපුතුරේ හංගාගෙන මම ආපහු හැරුනා.


නගර චතුරස්‍රයේ යෝධ නත්තල් ගහේ මුදුන් රිකිල්ලෙ එල්ලාපු වල්ගා තරුවට වඩා මේ කුඩා කහපාට තරුව මගේ ආලින්දයේ හදාපු හුරුබුහුටි නත්තල් ගහට අපූරුවට ගැලපෙන බව තේරුම් ගියාම කාලාන්තරයකට පස්සෙ මගේ හිතටත් අකාලික සාමයක් දැනුනා.











Tuesday, December 23, 2014

හීන් හිරිකඩයක් වගේ








හීන් හිරිකඩයක් වගේ
යාන්තම් ඇවිත් නෑවිත් යන්න


පරණ ආදර කහට පැල්ලම්
හෙමින් දිය කර නික්මෙන්න
ආයෙමත් එකම එක හීනයක
මොහොතකට පෙනී නොපෙනී ඉන්න


හීන් හිරිකඩයක් වගේ
ඇහිපියන් තෙමා නොතෙමා යන්න





Monday, December 22, 2014

මහන්සි නැද්ද ඇත්තට?







පරණ සටහන් පොතක
දුඹුරු පිටුවක
නිසඳැසක
දිගැටි කුරුමිණි අකුරු අතරේ
මෙච්චරක් කල් හැංගිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?



හිර ඩෙනිම් සායක
කෙලවරේ සාක්කුව පතුලක
පැහැය වියැකුන බස් ටිකට් කොලයක
මෙච්චරක් කල් එල්ලිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?



පොත් මල්ල තුලම අමතක වුන
තැනින් තැන පොඩිවුන
ඉරුන කැන්ඩොස් කොලයක
මෙච්චරක් කල් දැවටිලා උන්නෙ කොහොමද?
මහන්සි නැද්ද ඇත්තට?



මටනම් මහන්සියි හරියට.
හිතන තරමට ලේසි නෑ නෙව
කඳුලු හංගන්
හිනාවෙන එක







Friday, December 19, 2014

ජන-අධිපති-වාරණය






පුරන් වී ගිය පාලු කුඹුරක
පඹයො දෙන්නෙක්
ද්වන්ධ සටනකි


ණයට ගත් බත් ඇටද විළඳද
විසුරුවා සියොතුන්ව
රවටති


වී කරල් පූදින්න ඉඩදෙන
ගොවියෙකුත් බිහි නොවෙන
හැටියකි


අළුත් කුඹුරක් 
හොයාගන්නට
සියොතුනේ කාලය
එළඹ ඇති


~~@~~




Thursday, December 18, 2014

මට ඕනෙ ලාවා කේක් එකක් වෙන්න







පිට අයට පේන්නට
විනීතව එකලස්ව ඉන්න
චාම් සුදු සීනි මල්
හිස වටේ සීරුවට පළඳින්න
සිහින් චොකලට් සුවඳ තැවරුන
නැවුම් උණු කවි පබඳින්න


ඔබේ මුදු ස්පර්ශයන් මැද
හදවතේ දොරපියන් හැරලන්න
මිහිරිතම චොකලට් ගඟක් මෙන්
උණුම උණු ආදරෙන් නහවන්න


ඔව් ඔබට විතරක්ම පුලුවන්
මගෙ හිතේ පතුලටම කිමිදෙන්න
උකුම උකු සිනහවක දැවටෙන්න
නිසල ප්‍රාවරණයක සැඟවුන
කෙලිලෝල ආදර ගඟක් ගැන
මිහිරි රහසක වචනයක්වත්
කිසිම කෙනෙකුට නොකියන්න


~~~~~~~~~~~~~~





Monday, December 15, 2014

සුදුම සුදු හිස් පිටු









ඔබේ දිනපොත්වලත්
ඔහේ අතහැර දැමූ
ලියන්නට දෙයක් නැති හිස් පිටු
තැනින් තැන හැංගිලා තියෙනවද?


දෙනෙත් යුග දිදුලවන - ලොකුම ලොකු හිනාවන්
දෙතොල් පෙති වෙවුලුවන - සොවින් බර  කතාවන්
කොපුල් රත් පැහැ ගැනුන -  නොඑක් රූ ලතාවන්
අතරමැද - හුදෙකලා හිස් පිටු
හිතේ පතුලට කිමිදි කිමිදී
හිස්බවම අතගාපු සුදු පිටු
ඔබේ දිනපොත්වලත් තියෙනවද?


ඒ වුනත්,
අන්න ඒ හිස් පිටු,
වචන දසදහසකට වඩා වැඩියෙන් වටින බව
සුමුදු සමනළ පියාපතකට වඩා වැඩියෙන් ඉහිල් බව
මහ ගැඹුරු කතාවක්
නිහඬවම කියන බව
ඔබත් දැකලා තියෙනවද?





Friday, December 12, 2014

නිමාවක් නැති හීන ඉපදුනේ මෙතැනය.









ඇහැළ ඇතිරිය නොපෑගෙන්නට
හෙමිහෙමින් අඩි තියා එනකොට
කතා අඩු සීනියර් කොල්ලා
බලා උන්නේ මෙතැනය





උදේ ලෙක්චර් දෙකක් කට් කර
තියාගෙන බර අතක් උර මත
දකුණු කන් පෙත්තට හුස්ම පිඹ
ආදරෙයි මිමිණුවේ මෙතැනය



තල් වැටේ හෙවනට මුවාවී
තව් මැරූ ලොකු කෙසෙල්කොලයක
එතූ බත්මුල ලිහා හෙමිහිට
අනා කැව්වේ මෙතැනය





පුස්තකාලේ හුස්ම ගන්නට
නීරසයි කම්මැලියි හිතුනම
උකුළ මත හිස තබා ඇලවී
කුප්පි දැම්මේ මෙතැනය



මහා ලොකු රණ්ඩුවක් අවසන
ක්‍රිකට් මැච් එක අතරමගදී
කඳුලු වල ලුණු රහක් තැවරුන
දෙතොල් සිම්බේ මෙතැනය



ස්ටේජ් ඩ්‍රාමා නිමාවී
පඩි පෙලේ කෙලවරක ඉඳගෙන
කතා සාරය, රස අරුත් ගැන
විචාරන්නේ මෙතැනය





හීන ගොඩකට පාර කිව්වේ
මෙතැනය
මතක මල් ගොමු සුවඳ දෙන්නෙත්
මෙතැනය





ඒ වුනත් හදවත පිපෙන්නේ
තාම කෙලවර නොදුටු
දීර්ඝම ස්වප්නයකට
උඹ ගේන
උණුහුමට ය.


~~~~~~~~







Thursday, December 11, 2014

ගෑල්ලමයි සහ තෑගි







මේ ගැන අපේ ප්‍රොෆා මල්ලිගේ ඉල්ලීම උඩ මල්මි කලින්ම ලියලා තිබුනා. මට නම් ඉතින් ප්‍රොෆා මල්ලි ප්‍රසිද්ධ වේදිකාවේ ඉන්වයිට් කලේ නෑ හැබැයි මෙහෙම ලිපියක් ලියන්න කියලා ඉන්බොක්ස් කරල තිබුනා. ඉතින් ඔන්න සේරටම කලින් මාතෘකා කොපි කලා කියන චෝදනාව හෝ පැනපැන දෙනව කියන චෝදනාවට වග උත්තර බැඳලාම වැඩේ පටන් ගත්තා.


නත්තල කියන්නෙ තෑගි දෙන, තෑගි ලැබෙන මාසයක්. මමත් මේ දවස්වල දාහක් වැඩ අස්සෙ හොරෙන් හොරෙන් ලොකු හෑන්ඩ්මේඩ් තෑග්ගක් සූදානම් කරනව හැම අවුරුද්දෙම වගේ. ඒක ගැන ඊගාව සතියෙ පෝස්ට් එකක් දාන්න පුලුවන් වෙයි.



පඳුරු තලන්නෙ නැතුව ඔන්න මම කෙලින්ම එනවා ටොපික් එකට. ගෑනු ළමයෙකුට තැග්ගක් තෝරනකොට මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.



1. අකමැති තෑග්ගක් වෙනුවට කැමති තෑග්ගක්






ඔයත් එක්ක ඉන්නකොට එයා වැඩිපුරම කැමති දේ ගැන ඔයාටම අදහසක් ගන්න පුලුවනි. එයා වැඩිපුර කැමති මොනවගේ චිත්‍රපටි බලන්නද? එයා පොත් ගුල්ලියක්ද? සපත්තු කුට්ටම් තිහක් විතර මාරුවෙන් මාරුවට දාන සපත්තු පිස්සියෙක්ද? නැත්නම් ශොපින් යනකොට දකින ලොකු ටෙඩිබෙයාලව තුරුල් කරගෙන හුරතල් කරනවද? අන්න ඒව තමයි ඔයාට එයා කැමති දේ අඳුනගන්න තියන අවස්ථාවන්.


මීළඟට කල්පනා කරල බලන්න එයා කොයි වගේ කෙනෙක්ද කියල. මිල අධික බ්‍රෑන්ඩඩ් දේ පමණක් හොයන කෙනෙක්ද? නැත්නම් බාට දෙක දාල පරණ ඩෙනිමයි, බැගී ටී ෂර්ට් එකයි ඇඳගෙන රස්තියාදු ගහන්න ඔට්ටු කෙල්ලෙක්ද? එයා උයන්න, කේක් හදන්න කැමතිද? 


එයාගේ විනෝදාංශ මොනවද? අත්කම් වලට කැමති කෙනෙක් ආස වෙයි ඔය එක එක crafting tools සෙට් එකක් අරන් දෙනවට. සිත්තරියක් කැමති වෙයි ඩ්‍රෝවින් ටැබ් එකකට. අලුත් වයලින් එකක්, හොකී ස්ටික් එකක්, චෙස් බෝර්ඩ් එකක් එයාගේ විනෝදාංශය එක්ක පෑහෙනවනම් මොනතරම් අගෙයිද.


එහෙමත් නැත්නම් එයාගේ රැකියාවත් එක්ක තෑග්ග ගලපන්න. (අපේ කකා වයිෆ්ට ස්ටෙත් එකක් අරන් දුන්නා වගේ.) මේ ගැලපීම විවිධ ආකාරයට කරන්න පුලුවනි. හිතන්න, දවස ගානේ පැය තුනහතරක් රැකියාවට යන්න එන්න වැය කරන කෙනෙක්ට අයිපොඩ් එකක් සෑහෙන්න වටීවි නේද?


එයා ගොඩක් කාර්යබහුලනම්, ඇයි අපි අපේ තෑග්ගෙන් එයාගෙ කාලසටහනට විවේකයක් එකතු කරන්න උත්සාහ නොකරන්නෙ. පළතුරු යුෂ ආහාර වේල් වලට එකතු කරගන්න කැමති ගෑණු ළමයෙක්ට magic bullet එකක් බොහොම වටිනවා. එහෙම නැත්නම් පුංචි washing machine එකක්. vegetable cutter එකක්, coffee maker එකක්. ඉතිරි වෙන කාලයේ වටිනාකම එක්ක බැලුවම තෑග්ගෙ වටිනාකම තවත් වැඩිවේවි.



2. එයා වෙනුවෙන්ම






මේ තමයි මමනම් ආසම කැටගරිය. හදන්නකෝ ඇය වෙනුවෙන් යමක්. මුදලින් මනින්න බැරි ඔයාගෙ වටිනා කාලය ඇය වෙනුවෙන් වැය කරන එක මොන තරම් වටිනවද.

හදන්නකෝ ෆැන්සි ජුවලරි සෙට් එකක්. නෝ ලිමිට් එකේ තියෙනව දැක්කා ඒකට ඕන කරන බීඩ්ස්, කොයිල් අරවා මෙව්වා ලටපට සේරම.

එහෙම නැත්නම් පොඩි වීඩියෝ එකක්. IT වහ වගේ වෙච්චි මාත් හදනවා කිවුවම එහෙම ඒවා. පොඩ්ඩක් IT දැනුම තියෙනවනම් ඉතින් වැඩේ සිම්පල්.



3. අපේම අපේම අපේ දෙයක්


ඔයාල දෙන්නගෙ පින්තූරයක් ප්‍රින්ට් කරපු මග් එකක්. සමරු සටහනක්. නැත්නම් එයාගෙ නම ගහපු ටෙනිස් රැකට් එකක් හෝ බ්‍රේස්ලට් එකක්. හිතනවට වඩා මේවට වැයවෙන මිල බොහොම අඩුයි.



4. තෑග්ග විවිධ ස්වරූපයන්ගෙන් ඉදිරිපත් වෙන්න පුළුවනි.






Movie night එකක්, ඉටිපන්දම් එළියෙන් ගන්න රාත්‍රී ආහාර වේලක්, 'Spend-the-day එකක්, එහෙමත් නැත්නම් දවසක දෙකක ට්‍රිප් එකක් හෝ හැන්දෑවක පුංචි picnic එකක් කියන්නෙත් බොහෝම වටිනා කියන තෑගි.



5. නිර්මාණශීලී වෙන්න


මෙහෙම හිතමු, මම එකපාරක් බස්සට බර්ත්ඩේ කේක් එකක් හදවලා උදේ පාන්දර එයා ඇහැරෙන්න කලින් කේක් එකයි, බස්ස කැමති කෑම බීම ජාතියි පික්නික් බාස්කට් එකකට දාලා පාන්දරම ගිහින් දුන්නා බසු අයියට. බසු අයියා බස්ස ඇහැරෙනකොට ඇඳ ගාව තෑගියි, කේක් එකයි තියල තිබුනා.


කුස්සියෙ කුකර් එක උඩ තෑග්ගක් තියන්න බැරිද? නැත්නම් කාර් එකේ. එහෙමත් නැත්නම් ඉස්කෝලෙ එයාගෙ ලොකර් එක ඇතුලෙ. අන්න ඒ පුංචි දේ ගේනවා ලොකුම ලොකු ආදරයක්.



6. උදව් ඉල්ලන එක හැමදේම වඩා යහපත් කරාවි.


හරියටම අපේ ප්‍රොෆා මල්ලි කලා වගේ. උදව් ඉල්ලන්න. ඒක හැමවෙලාවෙම සාර්ථකයි.

මමත් තෑගි දෙන්න වගේම ආස දෙයක් තමයි තෑගි තෝරන්න උදව් වෙන එක. තනියම වැඩේ ගොඩ දාගන්න බැරි වෙලාවට උදව් ගන්න එයාගෙ යාලුවන්ගෙන්, සහෝදරයන්ගෙන්, අවුලක් නැත්නම් එයාගෙ අම්මගෙන් වුනත් උපදෙසක් ගන්න.








තවත් පුංචි පුංචි උපදෙස් ටිකක්.


තෑග්ගත් එක්ක විශේෂ වූ ආදරණීය සිනහවක් එකතු කරන්න අමතක කරන්න එපා.


ලාබ උනාට බාල දේවල් දෙන්න එපා.


කවදාවත් උපන්දින, ඇනිවසරි, වැලන්ටයින් දිනය එහෙම අමතක කරන්නනම් එපා. ගැහැණු ළමයින්ට ඒක හුඟාක් දැනෙනවා.


මම හිතන්නෙ නෑ බහුතරයක් ගෑණු ළමයි කඹ වගේ මාල වළලුවලට කැමති වෙයි කියලා.


මල් වර්ග ගොඩක් තියෙනව තමයි. ඒත් විකාර පාට මල් දෙන්න එපා. රතු රෝස, සුදු රෝස, සූරියකාන්ත කියන්නෙ සාමාන්‍යයෙන් ගොඩක් අය කැමති මල්.


තෑගි කියන්නේ විශේෂ අවස්ථාවක් එක්ක හැමවෙලේම සම්බන්ධ වුන දෙයක් නෙමෙයි. අද ඉරිදා නිසා ඇයට තෑග්ගක් දෙන්න. ඊයේ රෑ කෑම වේල ඔයා කැමතිම විදියට උයපු නිසා අද වැඩට ගිහින් එනකොට ඇයට චොකලට් එකක් ගෙනත් දෙන්න.




ඊයෙ බස්සි තෑගි දුන්නු හැටි ඊගාව පෝස්ට් එකෙන් කියන්නම්කෝ......





Thursday, December 4, 2014

බෝතල් කල යුතුය වසන්තය










මහා කඩිමුඩියකින්
නික්ම යන්නට කලින්
බෝතල් කල යුතුය
මීළඟ වසන්තය


ඉන් පසුව එලැඹෙන
සිසිරයේ දිගු සැඳෑවන් මත
වසන්තය බිඳු දෙකක්
ඉහිරවන්නට හැකිය,



සීතලම හිම වුනත්
අවුලුවන්නට හැකිය.
කෝපි තිබුනත් නැතත්
කවි ලියන්නත් හැකිය.






Thursday, November 27, 2014

නාන බාල්දි (බස්සිගේ විස්මලන්තයෙන්)






මං ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන්.


ඔෆිස් ඇරිලා ගෙදර යනවා කිව්වට ඇයි දන්නෑ ගෙදර ඇරිලා ඔෆිස් යනවා කියන්නෙ නැත්තෙ. ගෙදර ඇරිලා ඉස්කෝලෙ යනවා. ගෙදර ඇරිලා ක්ලාස් යනවා. නැත්නම් බෝඩිම ඇරිලා කැම්පස් යනවා. අපි භාෂාවේ වටිනාකම අවප්‍රමාණය කරනව කියන්නෙ ඔන්න ඕකනේ.


කොහොමහරි මම මේ ඔපිස් ඇරිලා ගෙදර යන ගමන්.


මේ දවස්වල වැඩ වැඩියි. 'වැඩ වැඩියි' කියන වචන දෙක ආංශික අනුකලනය කලාම 'මහන්සියි' කියන ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න පුලුවනි. ඒ කියන්නෙ මට දැන් මහන්සියි.


මහන්සිය කියන්නෙ මස්තිෂ්කයේ පාර්ශ්වික අනුඛණ්ඩිකාවල වැවෙන පාසි වර්ගයක්. ඒවා දීප්තිමත් ලුමිනස් කොල පාටයි. මහම මහ පල් ගඳක් තියෙන්නෙ. අන්න ඒ හින්දයි අපි මහන්සි වෙලා ආවම ඇඟපත සෝදන්නෙ. ඔය සංසිද්ධිය ආශ්‍රයෙන් හැදුන ප්‍රස්තා පිරුලක් තමයි 

"පෙරලෙන ගලේ පාසි නොබැඳේ."


අන්න ඒ නිසා මං තීරණය කලා මගදිම නාගෙන යන්න.


හරියටම ඒ සිතුවිල්ලට මයික්‍රො තත්පර දශම අටයි එකකට පස්සෙ කොන්දොස්තර කෑ ගැහැව්වා "නෙළුම් පොකුණ බහින්න" කියල. මං දඩිබිඩියේ බස් එකෙන් බිමට පැන්න. 


කලබල වැඩිකමට පැන්නෙ දකුණු පැත්තෙ කෙලවරේ තිවුන බාගෙට වහපු කවුලුවෙන්. නරක වෙලාව කියන්නෙ මගෙ හදිස්සියට නාන බාල්දිය එතන ඉඳගෙන උන්න පණ්ඩිත පෙනුමක් තිබුන රැවුල්කාර පිරිමි ළමයගේ කොණ්ඩ කැරැල්ලක පැටලුනා. 


එයා මට ඇහැක් ගහල නාන බාල්දිය උදුරලා අරන් දබරැඟිල්ල උඩ කරකවමින් බස් එකත් එක්ක ඈතට ඈතට, තව තවත් ඈතට යන්න ගියා.


මං ඇස් පුංචි කරන් ඒ දිහා බලන් උන්න.







මට තේරුනා මම ලොකු ඇබැද්දියක වැටිලා විත්තිය. නාන බාල්දිය බස් එකේ. බාල්දියක් අතේ නැතුව ගෙදර යන්න විදියක් නැහැ. මම කොයිකටත් කියලා වෙදැඟිල්ල කෙලවරේ රතු කොඩියක් ගැටගහගෙන බස් එකකට දෙහෙකට කතාකලා. ඩ්‍රයිවර්ලා බස් එක නවත්තන්න හැදුවත් කොන්දොස්තර බැලුවෙ ඔලොක්කුවට වගේ. මං හිතුවා හරි. නාන බාල්දිය අතේ නැති මනුස්සයෙක්ව කවුද බස් එකට නග්ගා ගන්නෙ!


කරන්න ඉතුරු වෙලා තිවුනෙ එක දෙයයි. මම මේ කතාව මූණුපොතේ ඇලෙව්වා. ඊට පස්සෙ අතට අහුවෙන තරම් මූණු අහුරු අහුරු අරන් ඒ කතාව පහළින් එල්ලුවා.


මට හොඳටම විශ්වාසයි ඒක කියවාපු කොල්ලො නෙළුම් පොකුණට එන්න රොකට් හදන්න ජරබර ගෑවිල්ලේ ඩබල් රූල් පොත්වල මැදපිටු ඉරාගන්න හැටි මට යාන්තමට ඇහුන බව. තනිරූල් පොත් විතරක් තිබුන අය හූල්ල හූල්ලා ඇඬුවා. මොනව කරන්නද, ඩබල් දාල යන්න රොකට් එකක් හදාගන්නනම් ඩබල් රූල් පොතක්ම ඕනෙ නෙව.


ඔය අල්ල පනල්ලේ මට ඇහුනා මගෙ ෆෝන් එක බක බක ගානවා.  කොල්ලෙක් මූණුපොතේ අලවපු පණිවිඩේට උත්තරයක් එවලා. බලද්දි ඒ අපේ නාඩියා.


රැවුල්කාර පිරිමි ළමය ඈතට යනවා වගේ පෙනුනෙ මම ඊට සාපේක්ෂව නිශ්චලව උන්නු නිසාය කියලා නාඩියා කාටිසීය ඛංඩාංක තලයක ඇඳපු අක්වක් හැඩයේ ශ්‍රිතයකින් ඔප්පු කරලා පෙන්නලා තිවුනා.


මම නාඩියගෙ ප්‍රස්තාරෙ සීරුවට රෝල් කලා. පහන් තිරයක් තරමට දිගැටි සහ කුඩා වෙනකම් රෝල් කලා.


ඊට පස්සෙ සීරුවට ඒක දකුණු කනෙන් රිංගවල අපර මස්තිෂ්ක අර්ධගෝලයේ මැද කොටසට ඇතුලු කලා. 



අන්න එතකොට මට සාපේක්ෂතාවාදය හෙමින් හෙමින් අවබෝධ වෙන්න පටන් ගත්තා. අන්තිමේදි මං හොයාගත්තා නාඩියා ඇඳපු අක්වක් හැඩයේ ශ්‍රිතය උඩ ඉඳන් උන්නු වයි අකුරක්. ඒ වයි අකුරට බොහොම මහන්සි බව පෙනුනා.  ඒ ඇයි කියලා බලන්න තව නැනෝ මීටක් දශම අටක් ලං උනාම මට තේරුනා ඒ වයි අකුරටත් නාන බාල්දියක් නැති වග.


මං එයාගෙ, ඒ කිවුවෙ වයි අකුරෙ එහාපැත්තෙන් වාඩි වෙලා කකුල් පද්ද පද්දා මූණට මූණ බලාගෙන උන්නා. මං හිතන්නෙ මුලු දවසක්ම අපි දෙන්නා එහෙම බලන් ඉන්න ඇති. 


අන්තිමේ මට ඒ දිගම දිග නිශ්ශබ්දතාව තවත් උහුලගෙන ඉන්න අමාරු උනා.


"කෝ ඔහෙගෙ නාන බාල්දිය?"

මං ඇහුවෙ එච්චරයි. හායි කියන්නෙවත්, සුභ පතන්නෙවත් නැතුවම. අඩුම ගානෙ ආරම්භයක් විදියට මම එයාගෙන් වෙලාව කීයද කියලවත් ඇහුවෙ නෑ. ඒ ප්‍රශ්ණෙ පළවෙනි දෙබස විදියට ටිකක් රළුයි තමයි. විශේෂයෙන්ම මටත් නාන බාල්දියක් නැති හින්ද ඒ ප්‍රශ්ණෙ තවත් අසාධාරණයි. 


වයි අකුර ඇස් පුංචි කරලා මගෙ දිහා බැලුවා.


"ඒක අයින්ස්ටයින් ඇන්න ගියා."


අයින්ස්ටයින් කිසිම සිහිකල්පනාවක් නැති කුරුල්ලෙක්. එයා නෙළුම් පොකුණෙ ගැට්ට උඩ වාඩි වෙලා නිල්පාට වතුරෙ දණක් ගැඹුරට කකුල් දෙක ඔබාගෙන උන්නා. ඔලුව වටේට ඇලුනු කැරලි පිහාටු එහා මෙහා පද්දමින් එයා නාන බාල්දියට සාපේක්ෂතාවාදය ගැන නැලවිලි ගීයක් ගායනා කරනවා.



"වරෙන්. ගිහින් නාන බාල්දිය ඉල්ලගමු."


වයි අකුර ඇස් දෙක කරකවමින් මා දිහා බලන් උන්නා.


"උඹට පිස්සුද?" වයි අකුර ඔලොක්කුවට වගේ ඇහැව්වා.


"ඇයි?"


"නෙළුම් පොකුණෙ නාන්න පුලුවන් අයින්ස්ටයින්ලාට විතරයි. මොනවද ඔට්ටු උඹට ඔය වැටෙන් ඇතුලට පනින්නවත් බෑ...!!!"










~ මොළේ cRaCk උන පිස්සු බස්සි ~