Monday, September 29, 2014

බළලෙකුගේ පරමාධිපත්‍යය (කෙටිකතාව)







ඩොමිනික් පුරු පුරු ගාමින් මවගේ සිරුරේ ඇතිල්ලුනේය. මහ බැළලියගේ රෝස පැහැ රළු දිවේ ස්පර්ශය උණුහුම් ය. පාන්දර හීතලට උගේ ලොම් කබාය පිම්බිලා ය. මවගේ සාත්තුවෙන් හැඩවුන තැඹිලි පැහැ ලොම් දිලිසෙන්නේ රිදී කෙඳිති මෙනි.


"ඩොමිනික් මගෙ ලොම්බෝලේ, අද පාඩමට ලෑස්තිද?" මහ බැළලිය රැවුල් කෙඳි නැටෙවුවාය.


ඉතින් ඩොමිනික් ශිල්ප උගැන්මට සූදානම්ය. සහෝදර සහෝදරියන් සියල්ලෝම එක එක ගොවිපළවල්වලින් රැගෙන ගිය නිසා දැන් ඩොමිනික් ඉගෙනගන්නේ තනියම ය. අම්මාගේ වලිගා කොනට පනිමින් පුරුදු වෙන ළඟ පිමි, කහ දුඹුරු පාට අඹ කොළ වලට පනින දුර පිමි, උස පැනුම්, දඟර පැනුම් සහ හිටි පැනුම් සියල්ලම ඩොමිනික් ඉගෙන ගත්තේ කජු කන්නා වාගේය.


ඒත් එදා මහ බැළලිය පිනුම් අභ්‍යාස ඉක්මනින්ම හමාර කලාය. මහ අඹගහ පහු කරමින් ඈතට, තවද ඈතට ඇවිද්දාය. පුලුන් කොට්ට පාද වලට පෑගෙන තණ පඳුරු වලින් හඬක් නොනැගින. බාගදා තෘණ පත් අතර අවදියෙන් හුන් කුරුමිණියෙකුට ඒ හඬ යාන්තමට ඇසෙන්නට ඇත. නෑසෙන්නටත් ඇත.


ඩොමිනික් අම්මාගේ වල්ගා කෙලවර පසුපස ඇදුනේය. මහ බැළලිය ගොවි ගෙදර ගේට්ටුවෙන් පිටතට රිංගුවේ අපහසුවෙන් වුවද ඩොමිනික් ඉතා පහසුවෙන් ගේට්ටුව යටින් වීදියට පිවිසුනේය. ඌ තවම ගැටවර බළලෙකි. යන්නේ කොහේදැයි අහන්නට ඩොමිනික්ට වුවමනාවක් තිබුනේද නැත. ටිකක් නවතිමුදැයි අහන්නට හිතනකොටම මහ බැළලිය වීදි කෙලවර නැවතුනාය.


"මෙහෙ වරෙන් ලොම්බෝලෙ, ලං වෙයන් තව ටිකක්"  බැළලිය සිහින් කෙඳුරුම් හඬක් නැගුවාය.


"මම දැනන් හිටිය ඉතුරු වෙන එකා උඹ වේවි කියල. මම හදන්නෙ උඹට අපේ පරම්පරාවෙන් පැවතගෙන එන පුරාණ රහසක් එක්ක අන්තිම පාඩම උගන්නන්න."


ඩොමිනික් දෙකන් මදක් ඉදිරියට දිගු කළේ උනන්දුවෙනි. "රහසක් කියන්නේ රහ දෙයක් වියයුතුයි." ඌ සිතන්නට විය.


"බළලෙකුගේ පරම වගකීම කුමක්ද?" 
මහ බැළලිය පපුව පිරෙන්නට හුස්මක් ගනිමින් ඇසුවාය.



"කරදරකාර කුරුකුට්ටං සත්ව ප්‍රජාවගෙන් ගොවිපළ මුදවා ගැනීම බළලෙකුගේ පරම වගකීම වේ."
ඩොමිනික් කටපාඩමෙන් පිළිතුරු දුන්නේය.


"කරදරකාර කුරුකුට්ටං සත්ව ප්‍රජාව උදාහරණ සහිතව පහදන්න"


"කරදරකාර කුරුකුට්ටං සත්ව ප්‍රජාව යනු, මීයන්, හූනන්, කැරපොත්තන්, හෝහපුට්ටන් හා දඩාවතේ යන හොරි බලු කුක්කන් වේ. මීයන් මේ අතරින් ප්‍රධානය."


"ගොවිපළ මුදවා ගැනීමට ප්‍රයෝජනයට ගන්නේ මොනවාද?"


"දික් වූ ද, උල් වූද රදනක දත්,
තියුණු වූ ද, ඝන වූ ද නිය පහුරු,
විචක්ෂණ වූද, අධි සංවේදී වූද සවන්,
දිවාලෝකයේද, නිශාන්ධකාරයේද දැල්වෙන ඇස්."




මහ බැළලිය ඩොමිනික් වෙත තවද ළං වූවාය. මවගේ හුස්ම වැදීමෙන් කන්පෙති මත වූ සිහින් ලොම් කෙඳි සෙලවෙන අන්දම ඌට දැනිණ. මහ බැළලිය මොළොක් හඬින් කෙඳිරුවාය.



"වැරදියි පුතා."


"මොනවා!" එය සිදුවිය නොහැක්කකි. ඩොමිනික් යනු පාඩම් වනපොත් කිරීමෙහි රුසියෙකි. වරදින්නට හැටියක් නැත.


"ගොවිපළ මුදවා ගැනීමට ප්‍රයෝජනයට ගන්නේ එක දෙයයි පුතා." මහ බැළලිය මිමිණුවාය.



"ඒ තමයි 'මීයො'!!!"


ඩොමිනික් කලබල කලේ නැත. ඌ තවද හරිබරි ගැසී හිඳගත්තේය. බාගදා අම්මා විහිලු කරනවා වෙන්නටත් පුළුවන.


"ගොවිපළ ආරක්ෂා කරනවා කියන එක අපි බළල්ලුන්ට කරන්න ලේසි වැඩක් නෙමෙයි. තනි බළලෙක්ට පුලුවන්ද නැහෙන්න ඔය හැටි. උඹලාගෙ සීයගෙ තාත්ත තමයි මුලින්ම ඕක කල්පනා කලේ. ඒකට කරන්න පුළුවන් මොනවාද, උන්දෑ දිවා රෑ නැතුව කල්පනා කලා ඒ ගැන.


අන්තිමේ ලැබුනා උත්තරේ. 
ඒ තමයි මීයො!


අපි පත්කලා මී නිලධාරී මණ්ඩලයක්. ගොවිපලේ ආරක්ෂාවත්, පිරිසිදුකමත්, පිළිවෙලත් පවත්වාගෙන යන්න. නැට්ට දිග පොඩි එවුවො නෙමෙයි. ඔළුව ලොකු, ඉස්සරහ දත් දෙක උල් එවුවො.


බයවෙන්න දෙයක් නෑ ලොම්බෝලෙ. අපිට කරන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි මී නිළධාරි මණ්ඩලය පාලනය කරන එක. බැරිවෙලාවත් එකෙක් හරි සීමාවට පිටින් යනවනම්, මී නිළධාරියො ඒකට වගකියන්න ඕනෙ. උන් විනාස කරනව වදකාර හූනො,  කැරපොත්තො, හෝහපුට්ටො, දඩාවතේ යන හොරි බලු කුක්කො හැම එකෙක්වම..."


"අම්මා"


ඩොමිනික් මෘදු ලෙස මහ බැළලියගේ දේශණයට බාධා කලේය.


"එතකොට සීමාව ඉක්මවා ගියොත් මී නිළධාරියො?"


මහ බැළලියගේ විසල් කළු ඉංගිරියා යුගලය දිලිසෙන්නට විය. ඈ සිය පුළුල් දිවෙන් එක්වරක්, සෙමෙන් ඩොමිනික්ගේ හිස පිරිමැද්දාය.


"මතක තියාගනින්, අපිට තමයි මීයන් පාලනය පිළිබඳ පරමාධිපත්‍යය හිමි. උන් අපේ සේවකයො. අපියි උන්ගෙ පාලකයො. අනවශ්‍ය උන්ව නිළයෙන් පහ කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ අපිට. වුවමනානම් කෑමට ගන්නත් පුලුවනි හොඳට වැඩුනු එකෙක් නම්." මහ බැළලිය රැවුල් ගස් නටවමින් කීවාය.


පෙරදිග අහස ලා රෝස පැහැයෙන් බබළයි. එළිය වැටෙන්නට ඇත්තේ විනාඩි ගණනකි.


"මගෙ ලොම්බෝලෙ උඹ දැන් ආපහු ගොවිපළට පලයං." බැළලිය ඩොමිනික්ගේ හිස අතගාමින් ඈත බලා උන්නාය. "දැන් මගේ විශ්‍රාමයට කාලෙ හරි."


ඩොමිනික් අවුල් සහගත දෑසින් මව දෙස බැලුවේය. ඌට මේ සිදුවීම් දාමය සම්පූර්ණයෙන්ම ආගන්තුක ය. ඒ නිසාම නැවත ගොවිපලට ගියවිට මේ දිගු බළල් සිහිනය නිමාවී වෙනදා වාගේම අවදි වෙන්නට හැකිවෙතැයි ඌ කල්පනා කලේය.


"ලොම්බෝලෙ!"


පිටත් වී යන ඩොමිනික් දෙස බලා මහ බැළලිය හඬ තැලුවාය.



"අමතක කරන්න එපා. පරමාධිපත්‍යය!!"



ඩොමිනික් එදා සිට ගොවිපලේ බළලා බවට පත්වූවේය. ඌ ගොවි දියණිය සමග හොඳටෝම යහළු වූවාය. ඒ යහළුකමේ තරම කොතෙක්ද යත්, ඌට ඉක්මනින්ම අලුත් රාජකාරියක් පැවරිණි.


ගොවි දියණිය ඩොමිනික්ව සුරතලුන්ගේ තරඟවලට ඉදිරිපත් කරන්නට පටන් ගත්තාය.


"හොඳම දඩයම් බළලා තේරීමේ තරඟය, දිගම වල්ගය හිමි බළලා, සිනිඳුම ලොම් කබාය සහිත බළලා, වසරේ වල්ගා විලාසිතාව ආදී මෙකී නොකී තරඟ අටෝරාසියකට මුහුණ දෙන්නට ඩොමිනික්ට සිදුවිය.  තරඟවලින් ජයග්‍රහණය කරන්නට හැමදාම විලාසිතා කරන්නටත්, වෙහෙස නොවී පුෂ්ටිමත් වෙන්නට හොඳට කා බී නිදියන්නටත් ඌට සිදුවිය.


ඒ විතරක් නම් මදැයි, තරඟ වලින් ජයග්‍රහණ ලැබීමෙන් පසු පුවත්පත් සාකච්ඡා, රූපවාහිනී වාර්තා වැඩසටහන් ආදියට මූණ පෙන්වන්නට යන්න වීමෙන් ඩොමිනික් හොඳටම කාර්යබහුල බළලෙක් බවට පත් වූවේය.


ඉතින්, විය යුතු පරිද්දෙන්ම, ඩොමිනික්ට කරදරකාර කුරුකුට්ටං සත්ව ප්‍රජාවගෙන් ගොවිපළ මුදවා ගැනීමේ පරම වගකීම සහමුලින්ම අමතක වුනේය.










මී නිළධාරී මඬුල්ල ආරම්භයේදී ඩොමිනික්ට බිය වූහ. ඌ හොඳ පුෂ්ටිමත්, ආඩම්බරකාර බළලෙකි. නමුත් හොඳම ලොම් විලාසිතාව තේරීමේ තරඟයට ඉදිරිපත් වීම පිණිස ගොවි දියණිය උගේ ලොම් රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ දා සිට බොහෝ දේ වෙනස් වෙන්නට විය.


මුලින්ම සිදුවූයේ ඩොමිනික් කෙරෙහි වූ ගෞරවය පෙරදැරි කොටගත් බිය දියාරු වී යෑමයි. අනතුරුව ඩොමිනික් බැහැර ගිය දිනවල ගොවිගෙදර මුලුතැන්ගෙයින් චීස් පෙත්තක් දෙකක් අතුරුදහන් වන්නට වූයේ කුස්සි අම්මාට නොදැනෙන්නටය. මී නිළධාරී මඬුල්ල දිනෙන් දින තරවෙන බවත්, උන්ගේ ලොම් වඩාත් සිනිඳු, දිලිසෙන පැහැයකට හැරවෙන බවත් තැනින් තැන කටකතා පැතිරවූයේ හූනන්ය.


හූනන් විසින් ගොවිගෙදර වැට මායිමේ සිට කොඳුරන දූසමාන ආරංචි කන වැකුනේ කැරපොත්තන්ටය. ඔවුහු ස්වභාවයෙන්ම කට්ට වෙට්ට පිත්තල ගති ඇත්තෝ වූහ. ඊට දෙදිනකට පසු ගොම්මන් අඳුරට වහන් වූ කැරපොත්තන් යුවලක් සබන් රාක්ක භාර මී නිළධාරියා සමඟ කෙඳිරිලි හඬින් කෙරෙන සාකච්ඡාව අසන්නට ඩොමිනික්ට නොහැකි වූයේ ඌ අගනුවර සිට ගොවිගෙදරට දීර්ඝ ගමනක යෙදීමෙන් හොඳටෝම විඩාපත්ව නින්දට වැටී සිටි බැවිනි.


කාලයත් සමග මීයන් තවද තර වූහ. ඉඳහිට දිනෙක නිළධරයන් විසින් මී ළදැරියන් පැහැරගැනීම් ගැනද ඕපාදූප පැතිරෙන්නට විය. අස් හලට යාබද තණකොල ගොඩක් මත වැටී තිබුනු තරුණ මීයන් තිදෙනෙකුගේ කවන්ධයන් ගොවිරාළ විසින් පුලුස්සා දැමුවේ ඩොමිනික් ගැන උපන් පහන් හැඟුමෙනි. නමුත් කුස්සි අම්මා දිගින් දිගටම නොසන්සුන් වූවාය.


ඩොමිනික්ගේ රාත්‍රීන් වඩාත්, වඩවඩාත් දීර්ඝ විය. එබැවින් “ගැහැණු ගති ඇති රෝස බළලා” යැයි කොඳුරමින් මීයන් තමන් වටා දිවයන හඬ ඩොමිනික්ට නෑසිණ.


අන්තිමේදී පිපිරීම සිදුවූයේ බොහොම සාමාන්‍ය දිනයක නොසිතූ විරූ ලෙසටය.  කොහොමත් ලෝකේ කාරණා කටයුතු සිද්දවෙන්නේ ඒ විදියටය.


ඩොමිනික්ට කාලාන්තරයකට පසු නිවාඩුවක් ලැබුනේ පළාත්සභා ඡන්දයක් නිසා විලාසිතා දැක්මක් අවලංගු වූ නිසාවෙනි. ඌ අලස ගමනින් මුලුතැන්ගෙය දෙසට ඇදුනේය. 


“මෙන්න එනවා කම්මැලි බළල්ගෙඩියා.” ඩොමිනික් දෙස වරක් බැලූ කුස්සි අම්මා මුහුණ පුළුටු කරගෙන නෝක්කාඩු කීවාය.

“දැන්ද උඹට රාජකාරිය මතක් වුනේ?”


ඩොමිනික් සිහින් පුරුපුරු හඬක් නගමින් ඇගේ ගවොම් සායේ ඇතිල්ලුනේය. බාගදා ඈ අමනාපෙන් සිටින්නේ රොටී උවමනාවට වඩා කර වුන නිසා වෙන්නට පුළුවන. තව ටිකකින් ඈ චීස් පෙත්තකුත්, කිරි පීරිසියකුත් තමන්ගේ දෙපාමුල තබනවා ඇත. කුස්සි අම්මාගේ හැටි එහෙම ය.


එක්වරම මුස්න අතට ගත් කුස්සි අම්මා ගබඩා කාමරයේ දොර දෙසට මුස්නෙන් දමා ගැසුවාය. ඉලක්කය වැරදුන මුස්න පහර වැදී කිරි බෝතලයක් පෙරලින. සුදෝසුදු කිරි මුලුතැන්ගෙය පුරා ගලා යන්නට විය.


ඩොමිනික් එළිමහනට යන්නට හිතුවේය. බාගදා මේක දවසේ වැරැද්දක් වෙන්නට පුලුවන.


එක්වරම කුස්සි අම්මා ගිරිය යටින් හඬ තැලුවාය. අට ඉස්බක් උඩ විසිවුනු ඩොමිනික් ආපහු මුලුතැන්ගෙය දෙසට හැරුනේය. දුටු දසුනෙන් ඌ පුදුමයෙන් පුදුමයට පත් විය.


ඉහිරුණ කිරි බෝතලය වටා රැස්ව සිටියේ කරදරකාර කුරුකුට්ටං සත්ව හමුදාවකි. එහි මී නිළධාරීන් දෙදෙනෙක්, හූනන් සිවු දෙනෙක්, රතුපාට කැරපොත්තෙක් සහ හෝහපුට්ටන් විසි එක් දෙනෙක් වූහ.


“මියෑවෝහ්!!”


ඩොමිනික් නිය පහුරු විහිදා උන් මැදට පැන්නේය. සතතාභ්‍යාසයේ වටිනාකම සිහිකැඳවමින් ඌ අලගෙඩියක් මෙන් පෙරළී ගියේ හෝහපුට්ටන් අටදෙනෙක් තලා දමමිනි. ගේ ඇඟට යටවූ කැරපොත්තාට පාද දෙකක් අහිමිවූ අතර හූනන්ටද සුලු තුවාල සිදුවිය. මී නිළධරයෙක්ගේ ලොම් කබාය යන්තම් සීරුනා පමණි.


“වහාම කැඳවාපල්ලා මී නිළධාරී මණ්ඩලය!” ඩොමිනික් ගිගුරුවේය.


වැටීමෙන්ද, පෙරැලීමෙන්ද ඩොමිනික්ට අමාරුය. ඌ කුස්සි අම්මා ළඟ දැවටුනේ සුපුරුදු කිරි පීරිසිය ලබා ගැනීමේ අටියෙන්ය. ඒත් කුස්සි අම්මාට කන් දෙක රත් පැහැ ගැන්වෙන තරමටම කේන්ති ගොස් තිබුනි.


“අපොයි උඹ වගේ කම්මැලි බළල්ගෙඩියෙක්! කිරිත් දීපල්ලාකො තව මූට පීරිසියකට වඩම්මලා.” ඈ පුපුරා හැලුනාය. “ගිහින් මීයන්ව අල්ලගෙන කන්න පුරුදුවෙයන්. උන් දැන් මේ ගොවිපලට මහා වසංගතයක් වෙලා. අම්මපා මගෙ අම්ම මුත්ත කාලෙකවත් වෙලා නෑ මෙහෙම විනම්බෑසියක්.”


ගවොම් සාය වමතට කැටි කොටගත් ඈ පය ඔසවා ඩොමිනික්ව ඈතට තල්ලු කර දැමුවාය.


වී අටල්ල පිටුපස මී නිළධාරී මණ්ඩලය රැස් කකා සිටියහ. ගතවූ කාලය තුල නිළධරයන් ශරීර ප්‍රමාණයෙන් මෙන්ම සංඛ්‍යාවෙන්ද වැඩිවී තිබුනේය.


රතු පැහැයෙන් දිලිසෙන ඇස් ඇතිව ඩොමිනික් එක්වරම වී අටල්ල මත ප්‍රාදූර්භූත විය.


“මම පත් කරාපු විසිදෙනාගේ නිළධාරී මණ්ඩලය එකසිය දොළහක් දක්වා වැඩි වුන හැටි මුලින්ම පැහැදිලි කරපල්ලා.” ඩොමිනික් ගිගුරුවේය.


“සමාවෙන්න තුමනි.” මීයා පෙර මෙන් දෙකට නැමුනේ නැත. “රාජකාරි වැඩි වෙනකොට අපිට සිද්ද වුනා පවුල්වල ඇත්තන්ට, නෑදෑයන්ට එහෙමත් නිලතල බෙදාදෙන්ට.”


“හූනන්, කැරපොත්තන් සහ හෝහපුට්ටන් ගොවිපල සීමාවට ඇතුලුවීම පැහැදිලි කරපිය” ඩොමිනික්ගේ ස්වරය වඩාත් ගැඹුරු විය.


“අපි උන්වත් ගොවිපල පාලනයට හවුල් කරගත්තා තුමනි. සුලු ජාතීන් සඳහා නියෝජිතයන් පත් කිරීමෙන් ගොවිපලේ සාමය රැකෙනබව අපේ සමීක්ෂණයක ප්‍රතිඵල වලින් තහවුරු වුනා තුමනි.”


කොනකට වී කසුකුසු ගාන කහ පැහැ පුෂ්ටිමත් මීයෙක් ඩොමිනික්ගේ ඇස ගැටුනි. ඌ කුස්සියේ කිරි බෝතල් සිද්ධියේ චූදිතයෙක් බව ඩොමිනික්ට මතක් විය.


“උඹ වරෙන් ඉදිරියට.” ඩොමිනික් ඌ ඇමතුවේය.


මීයා උගේ තරබාරු සිරුර දෙපසට පද්දමින් ඉදිරියට ආවේය. ඌ ඩොමිනික්ගේ රෝස පැහැ වල්ගය දෙස හොරැහින් බලා ඇස් කැරකෙවුවේය. එහෙම කරන විට උගේ කට කොනක් අමුතු විදියට ඇදවී සිනහවෙන්නාක් වැනි පෙනුමක් ඇඳී තිබුනේය.


“මුලුතැන්ගෙයි කිරි බෝතල් සිද්දියට තමා වරදකරු ද? නිවැරදිකරුද? වහාම කියාපන්!” ඩොමිනික් කඩාපැන්නේය.


“නිවැරදිකරු තුමනි.” මීයා වගේ වගක් නැතුව දෙපසට පැද්දෙමින් කීවේය.


“වහා පැහැදිලි කරනු.”


“මගේ අධීක්ෂණය යටතේ පවතින කිරි බෝතලයක් මට විකුණගන්න බැරිනම් මම මීයෙක්ද තුමනි.” මීයා සමච්චල් සහගත සිනහවක් අතරින් කීවේය.



එතැන, ඒ ඇසිල්ලේ විසාල ලොම් බෝලයක වේගවත් ඉදිරි පිනිමත්, සිහින් ‘චීපියෝව් චීප්’ හඬකුත්, අඳුරු රතු දුඹුරු පැහැයත්, රුධිරයේ අප්‍රසන්න ගන්ධයත් එකකට එකක් පරයා ඉදිරියට නැගිනි. ඉන් මොහොතකට පසුව ඩොමිනික් පසෙකට වූ අතර උගේ දෙපා මුල මීයාගේ හිසත්, වල්ගා කොටයත් වැටී තිබුනි.


“තොපි නිසයි කුස්සි අම්මා මට කන්න බොන්න නොදෙන්නෙ.” ඩොමිනික් දත් විලිස්සා කෑ ගැසුවේය. “දැනගනියව්! මේ ගොවිපොලේ පරමාධිපත්‍ය ඇත්තේ මටයි.”


මීයෝ තරමක් නොසන්සුන් වූහ. උන් සිය තරබාරු සිරුරු සොලවමින් කවයක් සෑදුනහ. ඩොමිනික් අඩක් කා අවසාන වුන මී වල්ගය ලෑටිගාමින් ඒ දෙස බලා සිටියේ විමසුම් දෑසිනි.


මීයන් දෙදෙනෙක් ඉදිරියට ආහ. උන්ගෙන් එකෙකුගේ අතෙහි වූයේ රන්වන් පැහැ චීස් කුට්ටියකි. අනෙකා සුදෝසුදු කිරි බෝතලයක් ඉදිරි ගාත් වලින් පෙරලාගෙන ආවේය.


“ගරු ඩොමිනික් තුමනි!” ඔවුහු හිස නමා ආචාර කර එකත්පස්ව සිටගත්හ. “ඔබතුමා වෙනුවෙන් පුංචි තුටු පඬුරක් සූදානම් කලා.”


රන්වන් පැහැ චීස් කුට්ටිය දෙස බලන ඩොමිනික්ගේ දෑස දිලිසුනේය.


“උතුමාණන් මේ ගතකරන්නේ දීර්ඝ නිවාඩුවක් ද?” මී නායකයා රැවුල් ගස් නටවමින් ඇසීය.


“පොඩි විරාමයක් විතරයි බොල. බාගදා හෙට අනිද්දාම මට ආපහු යන්නට සිදුවේවි.” ඩොමිනික්  රමක් මෘදු, එහෙත් උදාරම් ලීලාවෙන් පැවසුවේය.


ඉතින් ඌ බඩපුරා චීස් කෑවේය. කිරි බෝතලයත් එක හුස්මට අහවර කලේය. රැවුල්ගස්වල තැවරුනු කිරි බිඳිති පිස දමාගන්නටත් කලියෙන් ඩොමිනික්ට අටල්ල මතදීම නින්ද ගියේ කාලාන්තරයකට පසු සිදුවූ ඇබැද්දි කන්දරාව හේතුවෙන් ඌ මැරෙන තරම් වෙහෙසට පත්ව සිටියේය.


අටල්ල උඩින් හූනන්ද, කැරපොත්තන්ද සරසර හඬ නගමින් එහා මෙහා දිව ගියහ. හෝහපුට්ටන් උණුසුම් වාතලය සිසාරා එහා මෙහා පියාසර කලහ.  විසිර යාමට මත්තෙන් මීයෙක් දිව ඇද විසුලු මුහුණක් පෑවේය. සෙස්සෝ අතින් මුව වසාගෙන හඬ නොනැගෙන ලෙස සිනාසුනහ.


රන්වන් පැහැ සිහිනයක් තුල ඩොමිනික් චීස් කුට්ටියක් හාරා තනාගත් ඔරුවකින් සුදු දියර කිරි විලක ඈතට, තවතවත් ඈතට යාත්‍රා කරන්නට විය.



~ ඉ ව ර යි ~






Wednesday, September 24, 2014

ඉරයි මමයි (4)










එයා ලියන වචන හැම එකකම තියෙන්නෙ මොකක්ම හරි යටි අරුතක්. අවුරුදු ගානක් ඉඳන් එයා ගැන දන්න නිසා මට දැන් ඒක හුරුවෙලා. ඒත්, අදත්  එයා ලියපු දේ තේරුම්ගත්තු බව පිලිගන්න බැහැ කියලමයි හිතුනෙ.


"කියෙව්වද?"

වයිබර් පණිවුඩයක් දුරකථන තිරය මත පොප් අප් උනා. ඒත් එක්කම සුරංගනා මුහුණක්.







"නෑ"



මම එහෙම කියන්න හේතුව මමවත් දැනගෙන හිටියෙ නෑ.



"ඇයි?"

"වැඩ තිබුන. ටිකක් කියෙව්ව, එහෙන් මෙහෙන්."

"හ්ම්ම්ම්"





දුක මූණක්.  තවත් දුක මූණක්. ඔහ්, තවත් එකක්. එයා එවන ඉමෝ අයිකන් එකයි, ඒ ඉමෝ අයිකන් එක එවන වාර ගණනයි අනුව එයාගෙ හැබෑ මූණ මගෙ හිතේ ඇඳෙන්නෙ නොදැනුවත්වමයි.



"මම කියෙව්ව. ඒත් කවුද ඉර. මොකද්ද මේ ඉර හඳක් වෙලා උන්න. හිම පියල්ලක් වෙලා කියල කියන්නෙ? පුනරුත්පත්ති කතාවක්ද?"

ඒ ගමන පුංචි හිනාවක්.




"ඔයා පුනරුත්පත්තිය විශ්වාස කරනවද?"


"ඔව්. මම බෞද්ධයෙක් නෙ."


හයියෙන් හිනාවෙන මූණු. LOL. 







"බෞද්ධයො පුනරුත්පත්තිය විශ්වාස කරන්නෙ නැහැනෙ. දන්නවද ත්‍රිලක්ෂණය ගැන?""



“මේ මේ මම දහම්පාසල් කට් කලාට ඒක දන්නව හරිද! අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නෙ.”


“ඔහෝ ඔයා දන්නව නේන්නම්. ඉතින් අනාත්ම කියන්නෙ ආත්මයක් නැහැ කියන එක. ආත්මයක් නැහැ, තියෙන්නෙ අස්ථීර සිත් පරම්පරාවක් විතරයි. සදාකාලික ආත්මයක්? එහෙම දෙයක් ගැන මම විශ්වාස නොකරන නිසයි කියන්නෙ පුනර්භවයක් ගැන.”



පණ්ඩිත කතා. එයා පුංචි කාලෙ ඉඳන් ඔහොමයි. නර්සරි ස්කූල් එකේදි පවා. මම ආදරේ කලේ ඒ වෙනසට. හ්ම්ම්ම්. . .  අන්තිමේදි අනාදරය, උදාසීනත්වය හටගත්තෙත් මේ වෙනස තුලින්මයි.


“අහා. . . පුනර්භවය කියලාම කියමුකො. ඔයා කැමති විදියට. දැන් කවුද මැරුනෙ? කවුද ආයෙ ඉපදුනේ?”

ගැලවිල්ල වෙනුවෙන් මම හැමදාම පාවිච්චි කරන උපක්‍රමය. සුපුරුදු මෝඩ ප්‍රශ්ණ. ඒත් එයා දැන් ඉවසන්නත් පුරුදු වෙලා. ඒකෙන් නොයිවසිලිමත් වෙන්නෙ මගෙ හිතයි.


"""මැරුනෙ??"""


“මැරුනෙ ඔයයි අරවින්ද. ඔයා මැරුනෙ මාත් එක්කමයි. ඉන් පස්සෙ තවත් භවයක ඉපදිලා ඔයාව මැරුවෙ මම. ආයෙමත්, ආයෙ ආයෙමත් අපි එකිනෙකාව මරාගත්ත, මේ උදාසීන අවස්ථාවට එනකල්ම.. මතකද ඔයාට?”



මට දැනුනෙ උගුරට පිහියෙන් අනින්නා වගේ වේදනාත්මක හැඟීමක්. තරහක්. නොරිස්සුමක්. පපුව හිර කරනව වගේ  හැඟීමක්.


එයා අඬනවා ඇත්ද?


“ඔයාගෙ කවි ලස්සනයි.”


“කියෙවුවද?”


“නැතුව. හරිම ලස්සනයි, මං කිවුවෙ, ඔයාගෙ වචන. ඒත් මට තේරුමක් නැහැ ඒ ගැන. දන්නවනෙ. මගෙ සාහිත්‍ය දැනුම.”


ආයෙමත් හිනා මූනු. එයා හිනා වෙනකොටත් මේ වගේ. ඇස් පුංචි වෙලා මහත කම්මුල් දෙක පිම්බෙනව.








“ඉතින්”


“ඉතින් මොනවද?”


“මට කියල දෙන්නෙ නැද්ද තේරුම.”


“අහන් ඉන්නකෝ එහෙනම්;


නිශා අහසේ - නැගී තරුවැල්
සිනා සැලුවත්
කොයිතරම්
වලා සළු මැද – දිලෙන පුරහඳ
කෙසේ උන් හා
සමකරම්


දැන් මගෙ ලෝකෙට දවාලක් නැති තරම් අරවින්ද. තියෙන්නෙ සදාකාලික නිශාවක්. හැබැයි නිශා යාමයත් සුන්දරයි, සෞම්‍යයි. මටසිලිටියි.  දන්නවද? නිශා අහසට තරුකැටවල ඉඟිබිඟි වලින් අඩුවක් නෑ. පොළවට කඩාවැටෙන්න උනත් අකැමැත්තක් නැති තරු. මගෙන් ආදරේ ඉල්ලපු  තරු. ඒ සමහරු ඔයාගෙම යාලුවො. . .


ඒත් මම කොහොමද අරවින්ද පුරහඳේ එළියෙන් ඇස් නිලංකාර වෙලා තියෙද්දි තරුවල ආරාධනා දකින්නෙ. ඒ පුරහඳ ඔයා. 



අනේ පුරහඳ – වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං
ඔබේ දසුනෙන්
සැනසුනෙම්


මම හැඩකාර නෙළුමක්වත්, මානෙල් මලක්වත්, ඕලු මලක්වත් නෙමෙයි. නිකම්ම නිකම් කුමුදු මලක්. මම පිපුනෙ ඔයා වගේ අහසෙ නෙමෙයි අරවින්ද. මම පිපුනෙ කැලෑවක පුංචි දිය කඩිත්තක. මට ඔයාව දැක්කත් ඇති කියල මම අපි පහුකරගෙන ආපු හැම භවයකදිම ඔයාට කිවුව නේද?



කෙසේ ගගනත
පියමනිම්

සෙනේ සඳකැන්
විදාලන්, විල් දිය මතින්

සිහිල විඳගමි
හදවතින්

අමාවකනම් 
එපා
මොහොතක්වත් ඉතින්


විලේ පිපුණු කුමුදු මලකට අහසට නගින්න අවසර නෑ අරවින්ද. අහසට නැගල කුමුදු මලකට පණ ගැටගහ ගන්නත් බෑ. හඳක් එක්ක පෑහෙන්නත් බෑ.


පුරහඳට පොළවට එන්නත් බෑ. තරු කඩා වැටුනට, හඳ කඩාවැටෙන්නෙ නෑනෙ. හැබැයි හඳට පුලුවනි එක දෙයක්. කුමුදු මලට සැනහෙන්න සහන් එළියක් වෙන්න. ඒ එලියෙන් හදවත පුරවගත්තම සීතල නිශායාමය උනත් උණුහුම් වේවි.


ඒත් දවසක අමාවක උදා උනොත්. . . . 

මම ඒ ගැන හිතන්නවත් කැමති නෑ අරවින්ද."



“ඕ ලෙවල් කාලෙ ඇහුවට පස්සෙ මම මේ කාව්‍ය විචාරයක් ඇහුවමයි. ඒක අහල මට නිකං පිස්සු වගේ. මාරයිනෙ.”


මට අමතක නෑ. ෆිසික්ස් ක්ලාස් ඇරිලා ගෙදර යන අතරෙ ඔයා මට හෙමි හෙමින් කවි කීයකට විචාර කියලා දුන්නද. මතකද නුයෙන් වෑන් ටෝයි වෙනුවෙන්, පනාගෝලිස් වෙනුවෙන් ලියපු කවි. මට ඒ හැම එකක්ම මතකයි. හැබැයි, මට ඕනෙ අමතක කරන්න.


ඔයාට රිදෙන බව මම දන්නව. 
ඒත් මක් කරන්නද දෙවියනේ. . . මගෙ හිත ගලක් !






Monday, September 22, 2014

මග්දලේනා සොයා හැටේ වත්තට ගිය ගමන









එදාමෙදාතුර මොනතරම් පොත් පෙරලුවද පොතක් අවැසි වූ විට එය සොයා ගැනීම බස්සීට අපහසු කාරියක් වූයේ නැතිය. තාත්තා රස්සාවට යන කාලයේ නම් පොතක් අවැසි වූ විට එය කියන්නට යන මහන්සිය ඉතරය. සතියකින් තාත්තා මුලු කොළොම්පුරයම පීරා කෙසේ හෝ බස්සිට අවශ්‍ය පොත ගෙනැවිත් දෙන්නේ ය. තිබුනේ ඇඳ මුල්ලට ගුලිවී කියැවීම පමණය. තාත්තාටත් සොයා ගැනීමට අපහසු වූ එකම එක පොතක් මගේ මතකයේ තියෙනවාය. ඒ නම් ජෙරල්ඩ් ඩරල් විසින් රචිත හාස්‍යයෙන් පදම් කර, සොබා අසිරියෙන් වර්ණ ගැල්වූ My Family and other animals කෘතියේ සිංහල පරිවර්තනය වන "මගේ පවුලයි අනිත් සත්තුයි" පොත ය.


ඒ වුනත් මෑත කාලයේදී බස්සිට පොතක් අතපත් වන තුරු නොසෑහෙන කාලයක් බලා ඉන්නට සිදුවන අන්දමේ ගිරහ යෝගයක් උදා වුනේය. පොත ගැන දැනගත්තේ මීට මාස ගණනාවකට පෙර අපේ සිහිනයාගේ බ්ලොග් අඩවියේ පල වුන කවිපොත් ඔත්තු පෝස්ටුවක් නිසා ය.



බස්සි මැසිවිලි නගමින් පොත හොය හොයා කඩයෙන් කඩයට ඇවිද ගිය හැටිත්, පොතක් මිළදී ගැනීමට සිදු නොවන තැනටම ඉතා දරුණු ග්‍රහචාරයක් යෙදී තිබුන හැටිත් දන්නවානම් පොත් රචකයා හෝ ප්‍රකාශකයාම අනුකම්පා කර පොතක් එවනවාය. ඒත් "වසන්තය උදා වෙනවා සත්තයි" යනුවෙන් ගුරු ගීතයේ දුයිශේන් බිණූ වදන් සැබෑවක් කරමින් ඔන්න, පහුගිය සඳුදා හවස මට ඇය හමුවුනා ය.


ඒ හැටේ වත්තේ මග්දලේනා ය.



 http://www.cultura.lk



සිහිනගේ ලිපිය කියවීමෙන්ම මග්දලේනා කියවීමේ පිස්සුව හදාගත් මම ඉන් පසුව එළැඹි පළමු සති අන්තයේම ඈ සොයා නික්මුණා ය. ගියේ පොත් තුනක් හොයන්නටය. "වෙනස් එකෙක්", "අසම්මජ්ජාති ආදරය" සහ "හැටේ වත්තේ මග්දලේනා" ඒ පොත් තුනය. ඇවිදින අතරමගදී පිස්සුවට මෙන් මුහුණු පොතේ අහවල් පොත් තුන සොයා ඉගිලෙමි යනුවෙන් ස්ටේටසයක් කුරුටු ගෑවාය. ප්‍රතිඵලය ආවේ හැරෙන තැපෑලෙන්ය.



"මොනවද බන් මේ ෆේස්බුක් දාන කුණුහරුප?" ඒ මගේ පාසැල් වියේ මිතුරෙක්ය. මම අම්බානකට බයවුනා ය.


"ඇයි.. ඇයි මොකද වෙලා තියෙන්නෙ??"

එසමයෙහි මගේ නමින් ව්‍යාජ ගූගල් ප්ලස් ගිණුමක් ඇරඹූ අසහනකාරයෙක් බ්ලොග් අඩෙවිවල පහරා තිබූ හෙයින් මම තැතිගත්තා ය.. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බයය. ෆේස්බුක් ගිණුමත් දෙවරක් හැක් වුනේ. බේරා ගත්තේ අමාරුවෙන් ය. යළිත් මොකෙක් හෝ හැකෙක් පිස්සු කෙළිනවා වෙන්නට හොඳටෝම ඉඩ තියෙනවාය.


"අසම්මජ්ජාතිකමේ යනවනම් පලයං. ඒක ලෝකෙට කියන්න ඕන නැහැනෙ."


"මො.. මොකක්???"


"උඹ ෆේස්බුක් දාල තියෙන්නෙ අසම්මජ්ජාති ආදරයක් වෙනස් එකෙක් මොනමොනවද මන්දා සොයා ඉගිලෙමි කියල. උඹට පිස්සුද? මිනිස්සු මොනවද හිතන්නෙ උඹ ගැන." 


ඌ කියවාගෙන යනවාය. මම පටස් ගා අදාළ ස්ටේටසය මකා දැමුවාය.














ඔන්න පොත් කඩ කිහිපයක් පසු කොට මම නුගේගොඩ පිහිටි එක් "මහා පොත්හලකට" ඇතුල් වුනාය. පොත්හල සිසාරා ඒ ටු ඉසෙඩ් පිරික්සුවත් හමුවූයේ "වෙනස් එකෙක්" පමණය. "අසම්මජ්ජාති ආදරය" ගැන විමසන්නට ගොස් "පොත් අලෙවිකරුවන්ගේ" කින්ඩිය මුසු වූ මන්දස්මිතයට ලක්වීම එපා වෙලා ය. ඒ හින්දාම රාක්කයක් අසල කවිපොත් අහුරමින් සිටි නිල් පැහැ සාරියක් හැඳ සිටි යුවතියක් වෙත කිට්ටු කලා ය.



"එක්ස්කියුස් මී මිස්. හැටේ වත්තේ මග්දලේනා පොත කොතනද තියෙන්නෙ?"


ඇගේ මුවින් "බකස්" ගා හිනාවක් පුපුරා ගියේය.


"මොන.... මොන ලේනා?? ඒ කවුද ඒ? හිහිහි.... පොතේ නම කියන්නකො..."


ඇයි හත්දෙයියනේ මේ පොත් කඩවල සේවකයෝ ය. මුන්ට අලෙවිකරණය ගැන අබැටක තරමවත් දැනුමක් නැත්දැයි මට හිතෙන්නේ ය. එහෙම තිබුනා නම් මේ විදියට පාරිභෝගිකයාට කෝලිත්තම් කරන්නේද නැත්තේ ය.


තවත් රවුමක් යනවිට හමුවූ පිරිමි සේවකයෙක්ගෙන් පොත ගැන විමසූවාය. පිටපත් විකිණී අහවරය. ඔහු නම් පොත් ගැනත්, අලෙවිකරණය ගැනත් හදාරා ඇත්තෙක්ම ය. කවි පොත් අතර සරමින් අලුත් පොත් කිහිපයක්ම ම' අත පත් කලේය. මාර්කටිං කියන්නේ ඒකය.


මගේ කමකට නැති පට්ට බිසී ජීවන රටාව නිසාම පොත් රස්තියාදුවලට ඉසිඹුවක් ලැබෙන්නේ අහම්බෙන්ය. පසුගිය කාලය තුල මග්දලේනා සොයා කඩවලට ගොඩවැදුනු වාර ගණනින් හතරක්ය. ඒ හැම වතාවේම ඇය මට හොරා අතුරුදන් වී තිබුනා ය.


අන්තිමේ ඔන්න අපි බුක් ෆෙයාර් ගියෝය. එදා කවි පොත් සල්පිලෙත් ඈ සිටියේ නැත්තේය. සුපුරුදු පිළිතුර ය. පිටපත් විකිණී අහවරය.


මම ඈ සිතෙන් අතහැරියා ය.



ඒත් පොත් රස්තියාදුව අහවර කරන්නට ඉඩ නොලැබුනේ 'පොත් ප්‍රදර්ශණයෙන් සොයා ගත නොහැකි වූ සන්නස්ගලගේ "අම්මා" කොහෙන් හෝ අරන් වර!' යනුවෙන් අපේ නංගී විධානයක් පැණවූ හින්දාය. පහුවදා පාරට බැස්සේ "අම්මා" හොයන්න ය.


මේ නම් මගේ දරුණුම අපල සමයකි. දැන් "අම්මා" පිටපත් සියල්ල විකිණී අහවරය.


ඒත් හදිසියේම මම කල්පයක් විතර සොයමින් හිටි ඇයව දුටුවාය. මෙන්න රාක්කයක් අසල, අහුරන්නට මොහොතකට පෙර බිම ගොඩගැසූ පොත් කන්දක මුදුනේම ඉන්නවා ඇය. ඒ හැටේ වත්තේ මග්දලේනාය.


විශ්වාස කරන්න. මම එතැන් සිට පොත දෑතින් බදා අල්ලාගෙන හිටියේ කොයි මොහොතක හෝ ඈ මගෙන් මිදී පැන දුවතැයි බයෙන් වාගේමය.


දැන් මම බිල් කවුන්ටරය අසල පෝළිමේය. මට ඉදිරියෙන් උන්නේ මැදිවියේ මවක් සහ ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ නිල ඇඳුමෙන් සැරසුනු ඇගේ දරු දෙදෙනාය. අම්මා මගේ අත රැඳි එකම එක පොත දෙස හොරෙන් බැලුවාය.


"දුව මට ඔය පොත චුට්ටක් පෙන්නන්න." ඇය ඉල්ලා සිටියා ය. මමත් පොත් ඇයට දෙන අතර දැරියන් අත වූ පොත් දෙස විමසුම් බැල්මක් හෙලුවා ය.


Half of the Yellow sun, Host, Deception point ඒ පොත් මිටියෙන් සමහරක් ය. සියල්ලම මා කියවා ඇති පොත් ය. මට අපේ නංගීව සිහිවුනේය. ඇයත් මේ වාගේමය.


"ඇයි මේ පොතම ගත්තෙ?" ඈ වමත රැඳි රහස් පරීක්ෂණ කතා ගොන්න දකුණතට මාරු කරනතර මගෙන් විමසනවාය.


"මේ හොඳ කවි පොතක්. රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුන පොත." මම පොතේ කතාව සැකෙවින් ඇයට කිවුවා ය.


"ඔයා කැම්පස් නේද?" ඈ අසන්නීය. 'නේද?' කියා අසන පැනයකට කැම්පස් අවුට් වී ජොබක් කරන වැල්වටාරම් අවැසි නැත්තේය. ඉතින් මම හිස සැලුවා ය.


"අම්මා කොහොමද කිවුවෙ ඒ අක්ක කැම්පස් බව?" එක් දැරියක් මවගෙන් සෙමින් අසන්නීය. හැබැයි ඉංගිරිසියෙන් ය.


"එයා අතේ තිබුනෙ පොඩි කවි පොතක් විතරනෙ. මෙච්චර ඩිස්කවුන්ට් තියෙද්දි අරන් තියෙන්නෙ එක පොතයි.  ඔහොම 'අමුතු' පොත් ගන්නෙ කැම්පස් ළමයි. අනිවාර්යයෙන්ම ආර්ට් ෆැකල්ටියක ළමයෙක් වෙන්නම ඕන. සිංහල සාහිත්‍යය වගේ විෂයයක් කරන ළමයෙක් වෙන්න ඇති. " අම්මා සෑහෙන බර තබමින් රහසින් කියනවාය. ඒත් මට නොතේරේයැයි හිතන කඩුවෙන්ම ය. අනේ මට කට කොනින් හිනාය.


එතකොට කැම්පස් යන ළමයි සේරම පොතක් ගන්න අතේ සතේ නැති හිඟන්නො ද? අනික සිංහල උපාධි කරන උන්ට ඒ අම්මාගේ කඩු හරඹ තේරෙන්නේ නැති ද? කොටින්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යනු උපහාසයට ලක්විය යුතු අයෙක් ද?


මම සාමාන්‍ය පෙළින් පසු සිංහල හදාරා නැත්තේය. දහතුන වසරෙන් පසු කිසිවක් සිංහල මාධ්‍යයෙන් උගෙන නැත්තේ ය. ඉතින් එහෙව් මම කියවිය යුත්තේ අණුක ජීව විද්‍යාව ගැන ලියැවුන බරසාර කඩු පොත් විතරද? නැත්නම් මිල න්‍යාය, කලමනාකරණය අනම් මනම් ගැන ලියවුන ඉලක්කම් හරඹ විතරද මට කැපඅනේ කලා-උපාධියක් නැති අපිට කවි අකැපද


ඒ දරු දෙපලට කියවන්න දෙවන මහලේ ඇති මේ අපූරු කවි පොත ගෙනයන්නැයි කී මම අතේ පිච්චියක් නැතිව එක පොතක් ගෙදර ගෙනියන, බරසාර ඉංගිරිසි පොත් අකැප, ඔවුන්ගේ සරල කතා-කඩු ද නොතේරෙන එකෙක් ලෙස නිගමනය වී හමාර ය. සිනා වෙන්නද, අඬන්න ද කියා නොතේරේය.


මම සිනාසීමට තීරණය කෙරුවා ය. කාර්ඩ් එකෙන් නොගෙවා. පසුම්බිය දෙස සෝ බර බැල්මක් හෙලා, අත් බෑගයේ සාක්කු අතගා බස් එකට දෙන්නට තිබූ මාරු සල්ලි කොල එකතු කර, රැලි නවා දිගහැර කවුන්ටරයට දිගු කලාය. වුවමනා වෙලාවට මටත් රඟපාන්නට බැරිකමක් නැතිය.


මදැයි. ලියන්නට හිතුවේ පොත ගැනය. ලියැවුනේ අතුරු කතාය. දැන් පොත ගැන නොකියමි ය. ඔබම අරන් කියවන එක වඩා හොඳ ය.


මගේ ප්‍රියතම කවි පොත "හිතේ කෙටූ ටැටූ" ය. "මග්දලේනා" ට ෆේවරිට් රැඩිකල් ලැයිස්තුවේ දෙවැනි තැන හිමි වුනේ නිතරඟයෙන්ය. එහි මගේ ප්‍රියතම කවිය 'සුපින්වත් දේශය' (පිටුව 36) ය. 'දියමැටියෝ' (පිටුව 23) කවියටත් ඒ තරමටම ආසා ය.





සෞම්‍ය සඳරුවන් ලියනගේ, ඉන්දික ගුණවර්ධනලාගේ පරම්පරාවේ පට්ට කවියෙකි. මට උඹ පොරක් ය. අපිට වුවමනා, රටට වුවමනා උඹලා වගේ නිර්මාණකරුවන්ව ය. ඒ නිසා මග නොවරද්දාගෙන ඉස්සරහටම පලයන් ය.