බස්සි පහුගිය සතියේ සඳුදා උපාධිය ලැබුවේය. මෙතෙක් කල් ග්‍රැජුවේට් වී තිබුනේ අණ්ඩ විතරය (undergraduate). ඉතින් උපාධිය ලැබීම ප්‍රීති ප්‍රීති කරුණක්ය.
අම්මාත් තාත්තාත් නංගීත් පමණක් නොව බස්සාත් තකහනියක් නිවාඩු දමාගෙන බස්සිට සුභ පතන්නට ආවේය. ඒත් උත්සවයට සහභාගි වෙන්නට අවසරපත් තිබුනේ අම්මාටත් තාත්තාටත් පමණක් නිසා බස්සාටත් නංගීටත් සිදුවුනේ එලියේ සිට ටී.වී. එකෙන් උත්සවය බලන්ටය.
උපාධිය ලැබීම හිතට තටු ලැබෙන සිදුවීමකි. බස්සි පහුගිය අවුරුද්දේ CIMA උපාධිය ලැබුවේය. ඉතින් මේ උත්සවය එච්චර ප්‍රීතියක් ගෙනෙන්නේ නැද්ද? මොන බොරුද? එස්.බී. කාරයා කොයිතරම් කෙප්ප කෙලියත්, රාජ්‍ය විශ්ව විද්‍යාලයක උපාධි ප්රදානෝත්සවයකදී හිතට දැනෙන අභිමානයෙන් සියයට දහයක්වත් බස්සිට CIMA උපාධිය ලබන විට දැනුනේ නැත.
ඒත් ඒ සතුට අහිමි වූ, වඩාත් නිවැරදිව කියනවානම් අහිමි කරවූ සහෝදරියක්ද එදා ඒ විද්‍යාර්ථීන් අතරට මුහු වී සිටියේය. මේ ඇයගේ කතාවය.
උපාධි ප්රදානෝත්සවය ආරම්භ කිරීමට තිවුනේ සුලු වේලාවකි. උපාධිලාභීන්ගේ පෙරහැරද, ආචාර්ය මහාචාර්ය වරුන්ගේ පෙරහැරද උපාධි ශාලාවට ඇතුලු වී අවසන්ය. සක් හඬත් සමග කුලපති ස්වාමීන් වහන්සේගේ පෙරහැර ශාලාවට ඇතුල් වන්නට විය.
ඒ සමගම කලබලයෙන් උපාධි ශාලාවේ දොරටුව වෙත දිව ආ ගැහැණු ළමයෙකි. ඇය පසුපසින් ඇයගේ තරමක් වයස්ගත මවද, පියාද, නෑදෑ කාන්තාවක්ද පැමිණියහ.
දොරටුවට එහායින් සිටි හමුදා නිළධාරීන් දෙදෙනෙකු වහවහා ඉදිරියට පැන ඔවුන්ගේ ගමන අවහිර කලහ.
"කොහේද මේ දුවන්නෙ? ගමේ යනව කියල හිතුවද?" ආමි අංකල්ලා සුපුරුදු ආමන්ත්‍රණය දැක්වූහ.
"අනේ මහත්තයෝ අපි එන්නෙ ගොඩක් දුර ඉඳලා. කොළඹ මෙච්චර රස්තියාදු වෙන්ට වේය කියාල අපි හිතුවෙ නෑ. අපිව ඇතුලට යවන්ට මහත්තයෝ...." අම්මා අයැදින්නට වූවාය.
"දැන් කුලපති හාමුදුරුවන්ගෙ පෙරහැර නම් ඇතුලට ගිහින් ඉවරයි. ඉන් පස්සෙ කිසිම කෙනෙක්ව ඇතුලට ගන්නෙ නැහැ." ගැහැණියගේ අසරණ හඬ ඉදිරියේ ආමි අංකල්ගේ සැර බාල විය.
"අනේ ඒකත් එහෙමද? අපි එලියෙන් ඉඤ්ඤ්ං මහත්තයෝ අනේ මේ කෙල්ලව ඇතුලට යවන්ටකො එහෙනම්. අපිට ඒ ඇති." අම්මා ඔසරි පොටින් නළලත නැගුණු දහදිය පිසලමින් කියන්නට වූවාය.
"පොඩ්ඩක් ඔතනම ඉන්න. අපි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ කට්ටියට කියලා බලන්නම්." ආමි අංකල්ලා දෙදෙන වහා නික්ම ගියෝය.
අම්මා සැනසුම් සුසුමක් හෙලුවාය. තාත්තාගේ රැළි වැටුනු මුහුනේ ඇත්තේ විස්මපත් බැල්මකි. අපේ සහෝදර විද්‍යාර්ථියා උපාධි ලෝගුවත්, කරමාලයත් පැළඳ ගත්තේ ඇතුලට යන්නට සූදානම් සිතිනි. දෙමවුපියන් එලියේ තනිකර දමා යන්නට සිදුවීම ගැන ඇයගේ සිතේ රැඳි අවිනිශ්චිත භාවය දෙනෙතින් දෝරේ ගලයි.
හැඩි දැඩි ආරක්ශක නිළධාරියෙක් ශාලාවෙන් පිටතට පැමිණියේය.
"මේ සර්. ඔබතුමාලා ආමි එකේ බව ඇත්ත. ඒත් එක එකා කියන කියන ගානෙ හැම කොල්ලයි බල්ලයිම මේක ඇතුලට රිංගවන්න මට බෑ."
මග බලා වුන් පිරිස තිගැස්සුනේ ඔහුගේ ගොරහැඩි කටහඬත්, නොතෙත් ඇමතුමත් කන වැකීමෙනි.
"කෝ කව්ද? මේ ගොල්ලොද?"
"අනේ මහත්තයෝ, අපි එලියෙන් ඉන්නම් මහත්තයෝ. මේ කෙලි පැටියව ඇතුලට දාන්න. මේකි අවුරුදු ගානක් තිස්සෙ මාන්සි වුනේ මේකට නෙව." අම්මා ගොතගසමින් වදන් අමුනන්නට විය.
"කතා කරන්න එපා. වෙලාවට වැඩකරන්න ඉගෙන ගන්නවලා. දුර ඉඳන් එනවානම් වාහනයක් අරගෙන එන එකනෙ." ආරක්ෂක නිළධාරියා තමන්ගේ රැස් පෙන්නා ආඩම්බරයෙන් යන්නට හැරුනේ තමන්ගේ තනතුරේ ගෞරවය රටටම පෙන්නූ හැටි ගැන අභිමානයෙන්ය.
අම්මාගේ පපු කැවුත්තේ හැංගුන වේදනාව වාන් දමන්නට වූයේ එවිටය.
"අපි දුප්පත් මිනිස්සු නිසාද සර් අපිට මෙහෙම කරන්නෙ? අපි බස් එකට නැග්ගෙ පාන්දර දෙකට. කෑමක් බීමක් වත් නැතුව පැය හතක් අටක් ඇවිත් තමයි මෙතෙන්ට ආවෙ. පාන්දර දෙකට කලින් බස් නෑ සර්. අපිට කියන්නෙ කලින් දවසෙ බස් එකේ ඇවිත් රෑ මෙතන නිදාගෙන ඉන්ට කියලද? සල්ලිය බාගෙ තිවුනනම් අපිටත් වාහන අරන් එන්ට තිවුන මහත්තයෝ..." අම්මා පපුව බදාගෙන කෑ ගසන්නට වූවාය.
"අම්මෙ දැන් කෑ ගහල වැඩක් නෑ අම්මෙ. අපි ගෙදර යමු." දෙනෙත රතු කරගත් සහෝදර විද්‍යාර්ථියා අම්මාගේ දෑතින් අල්ලාගෙන කියන්නට විය.
"අපි උඹ ඉපදුනු දා ඉඳන් දහදුක් විඳලා, බඩට නොකා උඹට ඉගැන්නුවෙ මේකටයි දුවේ. ඉර හඳ දෙයියන්ට පෙනිච්චාවයි මේ අවනඩුව. ඇයි මහත්තයෝ අපේ කෙල්ල අවුරුදු හතරක් දහදුක් විඳල විභාග පාස් කොරල ගත්තු උපාධිය අරන් එන්න ඒකිව ඇතුලට යවන්ට බැරි? ඇයි දුප්පත් අපිටම මෙහෙම වෙන්නෙ?"
අම්මා ඒ පැනය ඇසුවේ අවට රැස්වී හිටි හැමදෙනාගෙන්මය. ගැහැණු තුන් හතර දෙනෙක් ඈව වත්තම් කරගෙන ගොස් එළියේ තිවුනු කුඩා මඩුවක වාඩි කරවීය. අපේ සහෝදර විද්‍යාර්ථියා අසරණ දෑසින් වටපිට බලා රූපවාහිනී තිරය අසල අසුන් ගත්තේ තම සොයුරු විද්‍යාර්ථීන් උපාධි ලබනවා බලා සැනසෙන්නට විය හැක.
උපාධි ශාලාවේ තමන්ගේ නම කියැවෙන විට ඇයට මොනවා හිතෙන්නට ඇතිද? ඒ අම්මාට මොනතරම් වේදනාවක් දැනෙන්නට ඇතිද? කරකියාගන්නට දෙයක් නොමැතිව, කතා කරගන්නට වචනත් නොමැතිව ඒ තාත්තා හිතෙන් මොන වේදනාවක් උහුලන්නට ඇතිද?
වරද කාගේදැයි, කොතැනදැයි බස්සි අහන්නට යන්නේ නැත. මේ කතාව බස්සිට අකුරක් නෑර කිවුවේ එලියට වී සිටි බස්සාය. ඒ කතාව ඇහුවායින් පසු බස්සිගේ මූණටද වැහි වළාවක් වැටුනේ දෙනෙත බර කරවමිනි. ඒ සහෝදරියගේත්, ඔහුගේ දෙමවුපියන්ගේත් හිතේ බර කොතෙක් වන්නට ඇතිද???
ඇඳුමත්, මුහුණත් බලා සැලකුම් දැක්වීම උපාධි ප්රදානෝත්සවය පුරාම දක්නට ලැබුනේය. කාර් වෑන් වලින් බැස, ජය පහට සැරසී එන දෙමවුපියන්ව ශාලාවට ගෙනගොස් වඩා හිඳුවන්නේය. සරොම් බැනියම් ඇඳ එන අසරණ තාත්තලා, පාට වියැකුනු සාරිවලින් සැරසී, වත්සුනු හා නෙතු අඳුනෙන් වියුක්ත අම්මලා ආරක්ශක අංශයේ මනා සෝදිසියට ලක්වෙන්නේය. ඔවුන්ට ජංගම දුරකතනයක්වත් ළඟ තබා ගන්නට ඉඩ දෙන්නේ නැත. බස් එකේ උත්සවයට ආ ඔවුන් ජංගම දුරකතන පඩිපෙළ උඩ දමා යන්නද?
අසරණ ගම්බද පෙනුමින් යුත් දෙමව්පියන්ට එක ළඟ ආසන දෙකක වාඩි වීමටවත් ඉඩ නුදුන් බැව් බස්සිගේ තාත්තා බස්සිට පැවසුවේය. ටයි කෝට් දමාගත් දෙමව්පියන්ට වදනකුදු නොදොඩා, ගමෙන් පැමිණි, කොළඹ රටට ආගන්තුක දෙමාපියන්ව දුරස් අසුන් වලට යොමු කිරීමත්, එමතුද නොව ඔවුන්ගේ ජංගම දුරකතන පවා ඉවත් කරවීමත් කොපමණ සදාචාරයට පටහැනිද?
මේ උපාධියේ රසය මැද බස්සී ඇසූ කතාය. බස්සී දැකපු සහ විඳපු කතා මීළඟ ලිපියෙන් ලියන්නම්ය.
සරසවියෙන් අපි ලැබුවේ විද්‍යා උපාධිය පමණක් නොවේ. ඊට වඩා සිය දහස් ගුණයකින් වටිනා ජීවන උපාධියකි.




















