Saturday, December 21, 2013

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න



අපි හැමෝම හීන දකිනවා. හීන නිසා අපි ජීවිතේ ඉස්සරහට යනව. හීන පිරුනු ජීවිතේ ගැන අපේ බස්සත් ඉස්සර එකෝමත් එක දවසක මාත් එක්ක කතා කර කර ඉඳලා උන්දැගෙ බ්ලොග් එකේ මේන් මේම සටහනක් තියල තියෙනවා. පස්සෙන් පහු බස්සිත් දවසක් ලිවුවාලු හීන ගැන ටිකක් බරපතල මෙවුවා එකක් මේන් මේම.



හා හා ඒ මහාප්‍රාණ හීන ගැන නෙමෙයි මම අද කියන්ට යන්නෙ මගේ සුට්ටං අල්පප්‍රාණ හීන වට්ටෝරුව ගැන.



සුට්ටං බට්ටා කාලෙ නම් මම හීන දැක්කෙ පුළුන් වලාකුලු වල ගෙවල් හදාන ඉන්න සුරංගනාවියො ගැන, මල් පෙති මැද්දෑවෙ දොයියන සූටි පණු පැටව් ගැන වාගෙ බෝම ප්‍රාථමික ගණයේ මෙවුවා ගැන. මට මතකයි මම මොන්ටිසෝරි යන කාලෙ හිතන් හිටියෙ පැෂන් ෆෘට් මලක් ඇතුලෙ තියෙන්නෙ සුරංගනාවියෙකුගෙ ගෙදරක් කියලා. 



අද නිවාඩු දවසෙ ඔයාලත් පැෂන් ෆෘට් මලක් ගලවලා බලන්නකෝ බොරුද කියලා. ගේ මැද්දෙ වටේටම ලයිට් දාපු උස කුලුනක් තියෙනවා. ඒ වටේට මල් පෙති වලින් හදාපු සෝෆා කට්ටලයක්. ඔය කුලුන ඇතුලෙ තමයි නිදාගන්න කාමර තියෙන්නෙ. අර කුලුනට පිටින් තියෙන ලයිට් නිසා නිදාගන්න කාමර ටික ඉබේම උණුහුම් වෙනවා.







ඒ උනාට ඔය මාලිගාව ඇතුලෙ ඉන්න සුරංගනාවි කවදාවත් මගෙ අතට අහුවෙන්න ආවෙ නෑ නෙව. අහුවුනොත් මටත් ඒම මාලිගාවක් හදාදෙන්ට වෙයි කියල වෙන්ටැති. හ්ම්ම්ම්....



ඔය වගේම සූටි කුරුමිණි පැට්ටෙක්ගෙ ගෙයක් තමයි සල් මල. ඕන්නම් නිවාඩු දවසෙ ඒකත් කඩලා බලන්ටකෝ.

 





ගෙදර වටේට තියෙනවා අපූරු සුවපහසු සෝෆා. මැද්දෙ තියෙන වියන් ඇඳ ඇතුලට රිංගා ගත්තාම කුරුමිණි පැට්ටාව කාටවත් හොයන්ට බෑලු. ආ... අර රවුමට තියෙන වියන් ඇඳ මැද්දෑවෙ තියෙන්නෙ එයා වතුර බොන්න හදා ගත්තු ටැප් එක. එතෝට වතුර තිබහ උනාම මට වගේ කලුවරේ අතපත ගගා කෑම කාමරේට යන්න ඕනෙ නෑ නෙව.



මොන්ටිසෝරි කාලෙ ඕම හීන දැකපු සූටි බස්සි එක දෙක වසරට යනකොට හිතාගත්ත සත්තු වත්තෙ දොස්තර නෝනා කෙනෙක් වෙන්ට ඕනෙ කියල. ඇයි එතකොට හැමදාම සත්තු වත්තට ගිහින් සත්තු බැලුවැකි නෙව.






ඒත් ආපහු තුන වසරට එනකොට තාත්තා ග්‍රහලෝකාගාරෙට එක්ක ගිය හින්දා සත්තු දොස්තර වෙන්ට තිවුන හීනෙ චකබ්ලාස් වෙලා අලුත් හීනයක් ඉපදුනා. ඒ තමයි තාරකා විද්‍යාඥවරියක් වෙන එක. හතර වසරට එද්දි මං බැරි බැරි ගාතෙ පොතක් බලාන ටෙලස්කෝප් එකකුත් හැදුවලු.ඒකෙන් බලනකොට පේන්නෙත් පියවි ඇහැට පේන තරු ටිකම විතරයි උනාට මම හැමදාම හය වෙද්දි එලියට බැහැලා අහසෙ තරු ගනින්නයි, එවුවා තරු පොතක අඳින්නයි තිවුනේ පුදුම ආසාවක්.






අපේ තාත්තා මගෙ වද කරදරේට ග්‍රහලෝකාගාරෙ වැඩ කරන ප්‍රියංකා කුමුදුනී මහත්මියගෙ පොත් එහෙම එලිදක්වපු දවසෙම මට ගෙනත් දෙනවා ඒ කාලෙ. ඔය පොත් ප්‍රදර්ශනේකට ගොහින් එද්දි එයැයිව දවසක් අපි දෙන්නට මුණුගැහිලා මගෙ තාරකා විද්‍යාඥ හීනෙ ගැනත් මම බෝම ආඩම්බරෙන් කිවුවා එයැයිට.



ඔය අතරෙ තමයි මං සිස්සත්තෙ පාස් වෙලා ඕගන් එකක් ලැබුනෙ තෑග්ග විදියට. ඉන් පස්සෙ පියානෝ කලාස් එකකටත් දක්කන්න උනාම මට හිතුනා සංගීතඥයෙක් වෙන්ට ඕනෙ කියලා. ඒ ගමන වයලින් ගහන්ටත් ඉගෙන ගත්තා වයලින් කලාස් එකකට මංගච්චලා. හැබැයි මට ඕනැ උනේ සංගීතවේදී තාරකා විද්‍යාඥවරියක් වෙන්ට ඒ කාලෙ.






අනේ ඔය අහිංසක හීන පූට්ටුව මැද්දට ඉතාම අවාසනාවන්ත විදියට එක්තරා අඳුරු රාත්‍රියක කඩා පැන්නෙ නැතැයි..... කවුද? ෆොක්ස් මෝල්ඩර් ඇන්ඩ් ඉස්කලී. අපේ තාත්තා ඉස්සර කියන්නෙ නරියා සහ ඔලුකට්ටි කියලා.

 
ඉතිං අර සියලු සිහින හමස් පෙට්ටියට දාපු මම පේවෙනවා ඕන් රහස් පරීක්ෂකවරියක් වෙන්ට. ඒ ගමන එක්කාසු කොරනවා රටේ තියෙන සේරෝම රහස් පරීක්ෂක කතන්දර. දැන් තියෙන හීන පූට්ටුව තමයි සංගීතවේදී රහස් පරීක්ෂකවරියක් වීම.





මට මතක හැටියට අපේ ගෙදර මිනිස්සු වැඩිම විනෝදයක් ලැබුවෙ මගේ මේ හීනෙන් වෙන්ට ඕනෙ.


ඔන්න අය හීනෙ ඉදිරියට ගලාගෙන යද්දි අර සුන්දර ළමා වියෙන් බස්සිත් යොවුන් වියට පා තබනවා. අනේ සංසාරේ! බස්සිට දොළදුකක් පහල වෙනවා වේදිකා නාට්‍ය නිලියෙක් වෙන්ට.






බස්සි ඩැඩා ඒ අදහසට එකෙන්ම සහය දක්වනවා. බස්සිව ඇන්න යනවා ඩැඩාලගෙ ඔපීසියෙ කලා කවයෙන් කොරන වේදිකා නාට්‍ය පුහුණුවීම් බලන්ට. ඩැඩා තමයි එවුවා රචනය සහ අධ්‍යක්ෂනය. බස්සිත් ඉතිං බෝම උනන්දුවෙන් නලු නිලියන්ට දෙබස් මතක් කොරලා දෙනවා පාන්දර වෙනකම්. ඕම ඉන්න අතරෙ බස්සි ඩැඩා බස්සිටත් සුට්ටං චරිතයක් දීලා ඉස්ටේජ් එකට තල්ලු කොරනවා. ඉන් පස්සෙ බස්සි පණ ඇරගෙන රංගනය ඉගෙනගන්නවා.


හැබැයි නිලියොන්ට රූපෙ ලස්සන උවමනායි කියලා බස්සි දැනං හිටියෙ නෑ ඒ කාලෙ. ඒ නිසා ඉක්කෝලෙ වේදිකා නාට්‍ය වලින් බස්සි බෙල්ල මුලින් කැපිලා ඒ වෙනුවට ඉටිකිරිස් කෑලි ඉස්ටේජ් එකට නගිනවා. බස්සි ඉතිං කොරේ පැත්තක ඉඳන් ඉටිකිරිස්ලාට නටන්ඩ සිංදු කියාපු එක තමයි.


ඕම ඉන්නකොට එකදවසක්... ඔව්. එක සොඳුරු සැන්දෑවක ඕ.ලෙවල් සයන්ස් කලාස් එකේ ගුරුතුමා බස්සිට කියාදෙනවා ජාන ඉංජිනේරු විද්‍යාව ගැන.





කෙලියා නේද නිලි හීනෙටත්. බස්සි ඒ වෙලාවෙ ඉඳන් සූජානං වෙනවා ජාන තාස්සනේ හදාරන්ට. කෝම හරි ඒ හීනෙ හිතේ ගැඹුරටම කිඳා බැහැලා තිවුන නිසාද කොහෙද කැම්පොස් ගිහිනුත් කොලේ අණුක ජීව විද්‍යාව සහ ජාන තාක්සනේ ඉගෙනගත්තු එක තමයි.


ඔය අතරෙ බස්සිට තිවුනා තව තව mini dreams කප්පරක්. ඩේසි ටීචර්ගෙ ඉංගිරිස් පංතියට යන කාලෙ බස්සිට ඕනෙ උනේ කවියෙක් හරි කතාකාරියෙක් හරි වෙන්ට. ඒ කාලෙ අහක දාන ටොපි කොළ වලත් කවි ලියනවා.





යෝග භාවනා සහ මාර්ෂල් ආර්ට් ඉගෙනගෙන හටංකාරියෙක් වෙන්ට හිතාන කරාතෙ පන්තිත් ගාටලා ඇතිවෙනකං ගුටි අන්නාගෙන ගෙදර ආවා හැම සෙනසුරාදාවකම.




ඒ ලෙවල් ඉවර වෙද්දි ආපු හීනෙ තමයි සාර්ථක කළමනාකාරිනියක් වෙන්ට. ඕන් එතෝට තේරුං ගියා එහෙම වෙන්ට නම් තමන්ගෙ උපරිමය හොයා ගන්ට ඕනෙ කියාල. ඉතින් කැම්පොස් කාලෙ සියලුම ගොන් ආතල් ගන්නා අතරෙම ඒ හීනෙ වෙනුවෙනුත් මාන්සි උනා.







තාමත් මං මාන්සි වෙන්නෙ ඒ හීනෙ වෙනුවෙන්.


ඒත් ළඟදි ඉඳන් හිතෙනවා මගේම මගේම..... එක්කො ඕනෙ නෑ. ඒ හීනෙ හැබෑ කොරගන්ට පුලුවන් උනොත් කියන්නම්.


හැබෑ උනත් නැතත්, මං හරිම ආසයි මගේම හීනෙක ජීවත් වෙන්ට. හීන පිරුණු ජීවිතේ හරියට පාට පිරුනු සිත්තමක් වාගෙ.



Monday, December 16, 2013

හාවා සහ ඉබ්බා - kit kat version



හිංචි පිංචි හාවා,
යද්දි තනි වෙලා...
විලේ උන්නු ඉබ්බ දැකලා
වතුරේ නෑවිලා...
ඉබ්බ දැකපු හාවා,
ඉවුරේ නැවතිලා...
ඔට්ටු තියලා අපි දුවමු ද?
ඇහුවා ලං වෙලා.....



අපි සූටි බබාල කාලෙ ඉබ්බයි හාවයි රේස් දුවපු හැටි කියවෙන කතන්දරෙත්, ඒ කතන්දරේ ගැන ලියැවුන මේ සිංදුවත් අහලා ඇති බොහෝ වතාවක්.  ඒ කතන්දරේ ඉතින් බස්සි මෙතන ආලවට්ටම් දාල කියන්ඩ ඕනෙ නෑ නෙව. ඉබ්බයි හාවයි රේස් දුවාපි. හාවා දොයියපි. ඉබ්බා දිනාපි.






හාව දුව යනා,
නිදන්නට උනා.....
ඉබ්බ හෙමින් හෙමින් නියම තැනට ළං උනා,
නිදා උන්නු හාව ඌට උඩින් පැරදුනා.....



"ඉක්මන් නොවූ අනවරත ගමනක යෙදෙන්නා නියත වශයෙන්ම ජයග්‍රහණය කරා ළඟා වේ."



අපි ළමා කාලෙ හැදී වැඩුනෙ ඉබ්බගෙනුයි හාවගෙනුයි ඉගෙනගත්තු ඔන්න ඔය ආදර්ශයත් එක්ක.

 

*********************************



නමුත් දැන් කාලෙ වෙනස්. තාලෙ අලුත්.


රේස් දුවපු හාවගෙ මුණුපුරෙක්ට දවසක් මොන්ටිසෝරියක් ගාවදි මේ කතාව අහන්ට ලැබුනා. තමන්ගෙ සීයාට පොඩිඋන් හිනාවෙනව ඇහිච්චි හා ඉලන්දාරියට පොඩි චාටර් හැඟීමක් ඇති වුනා.

 
හා කොලුවා වහාම තීරණය කලා රේස් දුවපු ඉබ්බාගෙ මුණුපුරාව මුණගැහෙන්න. මොන්ටිසෝරිය ගාව රූස්ස ගහක කොලාතු වලින් වැහිලා ඇලට් එකක් දාගෙන හිටපු බස්සි "හ්ම්ම්... හ්ම්ම්..." ගගා බලාන හිටියා හා ඉලන්දාරියා ඉබ්බට කෝල් එකක් ගන්න හැටි.





 

"ඉබ්බෝ ඉබ්බෝ, අපි දුවමුද රේස් එකක් ආයෙත්?"


හාවා මෙහෙම ඇහුවෙ තමන්ගේ සීයාගෙ දුර්වලතා ගැන ගවේශනයක යෙදුනාට පසුවයි.


හාව එතනදි තේරුම් ගත්තා එයාගෙ සීයා තමන් ගැන තිවුනු අධිතක්සේරුවත්, නොසැලකිලිමත්බවත් නොවෙන්ට, බොහෝම පහසුවෙන් රේස් එක දිනන්ට තිබුනු බව.


රේස් එක දවසෙ හාව ඉබ්බාව සැතපුම් ගණනාවක පරතරයක් ඇතුව පරාජය කලා.






"වේගවත් සහ ස්ථාවර තැනැත්තා නිරතුරුවම ඉක්මන් නොවූ අනවරත ගමනක යෙදෙන්නාට වඩා ඉදිරියෙන් සිටියි."


 
*********************************


කතාව එතනින් ඉවර වුනේ නෑ.......


ඉබ්බට ලැජ්ජයි. සීයා පරම්පරාවට ගෙනාපු නම්බුව අවුරුදු ගානකට පස්සෙ තමන් විහින් නැති නාස්ති කොර ගත්තා නෙව. කොහොමද මේ අවමානෙන් ගැලවෙන්නේ කියලා ඉබ්බ කල්පනා කොලා. අන්තිමේදි ඉබ්බාට අවබෝධ උනා තමන්ට දැනට තියෙන හැකියාවන් එක්ක හාවාව රේස් දුවල පරද්දන එක කරන්න බැරි බව.


ඉබ්බා වැඩේ අතඇරියෙ නෑ. උන්දෑ හාවට අභියෝග කලා ආයෙමත් රේස් එකක් දුවන්ට. බස්සි බලාන හිටියා ගහ උඩ නවාතැනට වෙලා.






මේ පාර රේස් එක දුවන්නෙ වෙනස් මාර්ගයක!!


තමන්ගේ කැපවීමත්, ස්ථාවර වේගයත් ගැන විශ්වාසයෙන් හාවා පිම්මේ දුවන්න පරන් ගත්තා. නමුත් ඒ මීටර් ගානක් පළල් ගංගාවක් ළඟට එනකම් විතරයි.


හාවා ගං ඉවුරෙ නැවතිලා බලාන උන්නා. ඉබ්බා තමන්ට පුරුදු ඉබි ගමනින් ඇවිත් කිසි කලබලයක් නැතුව ගඟට බැහැලා පීනලා එහා ඉවුරට ළඟා වුනා. ඒවුරට අඩි කිහිපයක් ඈතින් දිනුම් කණුව හිටවලා තිවුනා.





ගඟ ගාව ගහක වහලා හිටපු මල් සූටික්කෙක් බස්සිගෙ නවාතැනට ගොඩවැදුනු වෙලාවකයි මේ කතාව බස්සිගෙ කනට වැටුනෙ.

 
"ප්‍රථමයෙන් ඔබ සතු හරවත්ම ශක්‍යතාවය හඳුනා ගන්න. දෙවනුව ඔබේ ශක්‍යතාවය ඉස්මතු වෙන ක්‍රීඩා පිටියක් තෝරා ගන්න."



*********************************
 

මේ වෙනකොට ඉබ්බයි හාවයි හොඳ යාලුවො. ඉබ්බා හැම සති අන්තෙකම හවහට එනවා බස්සිගෙ නවාතැන තියෙන ගහ යට හදාපු හා බෙනේට. දෙන්නා එකතු වෙලා ගොම්මන් වෙලාව වෙනකම්ම ඉරමුසු බිබී කැරම් ගහනවා.


කතාව එතනින් ඉවර වුනේ නෑ......

 
ඉබ්බයි හාවයි ගිය ඉරිදා සෙට් උන වෙලාව කතා කොර ගත්තා ආයෙමත් අර ගඟ හරහා පාරෙ රේස් එකක් දුවන්න. හැබැයි තනි තනියෙන් නෙමෙයි. දෙන්නාම එක කණ්ඩායමක් විදියට.


එදානම් බස්සිත් තීරණය කලා අව් කණ්නාඩියක් දමාගෙන මේ රේස් එක බලන්ට යන්න.






තරඟය පටන් ගනිද්දි හාවා ඉබ්බාව කරේ තියා ගත්තා. ගං ඉවුර ගාවට යනකම්ම හාවා ඉබ්බාව කරේ තියන් නොනැවතී දිවුවා.

 
ගං ඉවුරෙදි ඉබ්බා හාවගෙ පිට උඩින් බැහැලා හාවාව කරේ තියා ගත්තා. දෙන්නාම ගඟෙන් එගොඩ වුනා.





 
ආයෙමත් හාවා ඉබ්බාව පිටේ තියාන දිනුම් කණුවට ළඟා වුනා.


දිනුම් කනුව ගලවලා ගත්තෙ දෙන්නාම එකතු වෙලා. ඒ දිහා බලාන හිටපු කුරුල්ලො, සමනලයො, පුංචි පුංචි සත්තු සේරම සතුටින් අත්පොළසන් දුන්නා.





 

"ස්වාධීන උද්දීප්තයත්, ශක්තිමත් හර නිපුණතාත්, ඔබව ඉහලට ගෙන යනු ඇත. නමුත් කණ්ඩායම් හැඟීම පුහුණු කරන තාක් කල් ඔබ උපරිමයට වඩා මඳක් පසුපසින් සිටිනු ඇත. මන්ද යත්, ඔබේ ශක්‍යතාවන් සහ හර පද්ධතීන් නිෂ්ප්‍රයෝජන වී තවකෙකුගේ ශක්‍යතාවයට වැඩි වටිනාකමක් ලැබෙන අවස්ථාවන් දුලබ නොවන බැවිනි."


 
ඉතින් ඕං හා මුණුපුරාගෙයි, ඉබි මුණුපුරාගෙයි සෙල්ලම බලාන හිටපු බස්සි තමන්ගෙ නවාතැනට එන යාලුවන්ට මෙන්න මේම කතන්දරේ කියලා හමාර කොලාලු. දැන් ඉතින් කුරුලු යාලුවො ටික ගෙවල්වල ගිහින් තම තමන්ගෙ කුරුලු පැටවුන්ටත් මේ කතාව කියා දුන්නොත් අපේ කුරුලු ලෝකය හෙට දවසේ වඩා යහපත් තැනක් වේවි නේද?


Saturday, December 14, 2013

යුද්දෙට නැති කඩුව


 

දැනට සති දෙක තුනකට කලියෙන් බස්සිට ඉක්කෝලෙ පලාතෙ රස්තියාදුවක් ගහන්න චාන්ස් එකක් වැදුනා. ඉක්කෝලෙ අවට පාරවල් වල පරණ මතකයන් එක්ක රස්තියාදු වෙද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර සනීපයක්.



ඒ.ලෙවල් කාලේ එකට ක්ලාස් ගිය, දහම් පාසලේ අයියෙක් බස්සිට මුණගැසෙන්නේ ඒ වෙලාවෙ.



"හලෝ නංගි..... අඳුර ගන්නත් බැරි වුනා එකපාරටම. කාලෙකින් දැක්කෙ."

 
"ආනේ.... අයියා වෙනස් වෙලා හොඳටම. ළඟට එනකම් මමත් ඇඳින්නෙ නෑ. දැන් කැම්පස් එකෙන් අවුට් නේද?"

 
"ඔව් නංගි, ඔයාල අවුට් වෙන්න මාසෙකට විතර කලින් නෙ."

 
"ඉතින් අයියා මේ කොහෙ යන ගමන්ද?"

 
"මම ක්ලාස් යනවනෙ, "සිසුරුවන"ට.

 
"ක්ලාස්?"

 
"ඔව්. ඉංගීසි ඉගෙන ගන්න යනවා. ජොබක් හොයාගන්න ගියාමයි තේරෙන්නෙ ඒ කාලෙ කරපු මෝඩකම්.  මම යනවා නංගි. ක්ලාස් එක පටන් අරගෙනත් ඇති දැන්."






 

අනිච්චේ දුක්කේ..... අයියා යන දිහා බලන් හිටපු බස්සිට හිතුනේ එකම දෙයයි. "යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?"

 
බස්සිලා කැම්පස් එකට ඇතුල් වෙනකොටම දෙක වසරෙ අයියලාගෙන් ලැබුන උපදෙසක් තමයි කඩු ෂෝ දාන්න එපා කියන එක. මම හිතන්නෙ ජෙප්පො වේවා, පොද්දෝ වේවා, අලයො වේවා, බොහොමයක් විශ්වවිද්‍යාල වල මේ නීතිය පනවනවා නවක ශිෂ්‍යයින්ට.


සීනියර් කෙනෙක් තෙල බෙදනකොට අහන ප්‍රශ්නෙකට කඩු කෑල්ලක් හරි ගෑවුන උත්තරයක් ලැබුනොත් ඉතින් දිව විකාගෙන අභාවප්‍රාප්ත වෙන්න තමයි තියෙන්නෙ.


ඒ තරමට අපේ සමහර "උගත්" යැයි කියාගන්නා උන්දැලා කඩ්ඩ පරිභවයට ලක් කොරනවා.


ඔය කස්ටියටම ඈඳෙන්ට අපේ ෆැකල්ටියෙ ඒ කාලෙ හිටිය ඩීන් තුමාත් බටහිර විද්‍යාව අලුයම ලූ කෙල පිඬක් සේ බැහැර කොරපු, පර සුද්දාගෙ ඉංගිරිසිය නියපොත්තේ ඉඳන් හෙලා දැකපු උත්තමයෙක්.






අපේ ෆැකල්ටියෙ විතරක් නෙමෙයි, බස්සි දැකපු විදියට බොහොමයක් විශ්ව විද්‍යාල වල බොහොමයක් ෆැකල්ටි වල තත්වෙ ඔහොම තමයි. (මෙඩ්ඩන් හා ඉන්ජන් ගැන නම් නොදනිමි.) සමහර කලා පීඨ වල එහෙම මේ කඩ්ඩ හෙළා දැකීමේ මේනියාව ඉතාම දරුණුයි කියලා බස්සිට ඇහිලා තියෙනවා.


බස්සිට අර කාලෙකින් හමු වෙච්චි අයියත් ඒ වාගෙ කඩ්ඩ තරයේ හෙළා දැකපු කෙනෙක්. වෙන එකක් තියා උන්දෑ ඕ.ලෙවල් වලට ඉංගිරීසි සාහිත්‍ය කරන උදවියට දොස් තිය තියා සිංහල සාහිත්‍ය බොක්කෙන්ම හැදෑරුවා. උසස් පෙළට කලේ නම් විද්‍යාව.


බස්සිට මතක හැටියට ඔය කඩු හරඹ පාසලේදි උගන්නන්න පටන් ගන්නෙ එක වසරෙ ඉඳන්මයි. පෙළ පොතක් එන්නෙ නම් තුන වසරෙ ඉඳන්ද කොහෙද... ඒත් බොහොමයක් ගුරුවරුන්ගෙ අඩුපාඩු සහ පෙළ පොත් වල නිසි පෙලගැස්මක් නොමැතිකම හේතුවෙන් ගොඩාක් ළමයි හය හත වසරවල ඉඳන් කඩු හරඹයෙන් පරදින්න පටන් ගන්නවා.






බස්සි මුලින්ම කඩ්ඩට කපා ගත්තෙ හය වසරෙදි. ජයග්‍රාහී ලකුණු හතළිස් හතයි බොලව්. හය වසර තමයි කඩු සටනේ කපා ගැනීමේ ආරම්භය. මුලු ඉක්කෝලෙම හයේ උන්ගෙ ලකුණු ඒ ජාතියෙම  උනත් බස්සිගෙ අම්මා ඒ වෙලාවෙ හැමදාමත් එයා කියන උදාන වාක්‍ය ප්‍රකාශ කලා.


"කෙල්ලේ මට එක
කාගෙ කුණු වලින් වැඩක් නෑ. මට ප්‍රශ්නෙ තියෙන්නෙ උඹේ ලකුණු ගැන විතරයි."


කන රත් වෙන්න සබ්බුව ලැබුනාටත් පස්සෙ අම්මා බස්සිව කනෙන් ඇදන් ගිහින් අතඇරියෙ ඩේසි ටීචර්ගෙ කඩු ෆයිට් ක්ලාස් එකට.





ඕන් ඔතනදි තමයි බස්සිට අපේ නාඩි මලයා
ත් අඳුර ගන්න ලැබෙන්නෙ.


අම්මා එදාකරපු දේ වටිනාකම බස්සිට පේන්නෙ අද. අනිත් උන්ටත් ලකුණු අඩුයිනෙ පුතේ උඹ දුක් නොවී හිටපං කිවුවානම් බස්සිත් තවම ක්ලාස් මංගච්චනවා.


මම කියන්න උත්සාහ කරන්නෙ මේකයි;
සුද්දා අපිත් එක්ක සටනට එන්නේ කඩුවක් අරගෙන නම්, අපි ඌව මට්ටු කරන්න මෝල් ගහක් අතට ගත්තට හරියනවද බොලව්??


මෝල් ගහ හොඳ හයිය බව ඇත්තයි. ආඩම්බරෙන් කතා කොරන්ට පුලුවන් තරම් පරණ බව, වටින බව ඇත්තයි. ඒත් කඩු ෆයිට් එකට යන්න ඕනෙ කඩුවක් අතේ තියාගෙන.


හැබැයි තව දෙයක් කියන්ට ඕනෙ. මෝල් ගහෙන් කොරන වැඩේ කඩුවෙන් කොරන්න යන්න එපා. නිකම් ඇඟපත කපාගෙන ඉස්පිරිතාල ගානෙ ලගින්නයි වෙන්නෙ.


ඒ.ලෙවල් පාස් වෙලා කැම්පස් එන්න නම් ඉංග්‍රීසි වලට අවම සාමාර්ථයක් ලැබීම අත්‍යාවශ්‍යයි කියලා ඇස්.බී. මාමා කියාපු දවස්වල අපේ කැම්පොස් අයියලා සමහරක් පොලු මුගුරු අතට අරන්, සරම් උස්සන් ගේමට බැස්සෙ "අඩෝව් සුදු බණ්ඩා.... පුලුවන්නම් කොරාපිය....." කියලයි. ඒත් ඒ තීන්දුව දුන්නානම් පාසල් වල කඩු ෆයිට් කරන හැටි ඉගැන්නිල්ල තව ටිකක් ක්‍රමවත් වේවි නේද කියලයි බස්සිට හිතුනෙ.





යකෝ ග්‍රීක් වාගෙ තියෙන සංයුක්ත ගණිතය, ෆිසික්ස්, කෙමෙස්ට්‍රි, ඉකෝන්, එකවුන්ට්ස් ගොඩ දාන අපේ සිංහල කොල්ලො කෙල්ලන්ට ඔය අකුරු විසිහයෙන් කොරන ෆයිට් එක ගොඩ දාගන්න එක කජ්ජක්ද? උවමනාවත්, නිසි පෙළඹවීමත් නැති එක නෙමෙයිද හේතුව?

 
අනික ඔය භාෂාව බැරිය කියන උන් ඔය භාෂාවෙ කියන කුණුහරුප බොහොමයක් අපූරුවට දන්නවා නේද?

 
කඩ්ඩ කියන්නෙ උපකරණයක්. ජීවිතේ ඉස්සරහට යද්දි හමුවෙන බාධක, කටු අකුල් කපාදාන්න කඩ්ඩ නැතුව බෑ. කඩ්ඩෙන් වැඩ ගන්න දන්නේ නැත්නම් ඒ අකුල් වලට හීරිලා ලේ ගලාවි. ගමන දුෂ්කර වේවි.




 



හැබැයි අකුල් ටික එළි කලාට පස්සෙ කඩුව කරේ තියන් යන්න ඕනෙ නෑ. දන්නෙම නැතුව බෙල්ල කැපිලා යන්නත් පුලුවන් ඕක කරේ තියන් ෂෝ එක දාන්න ගියාම.

 
කඩ්ඩෙ අගේ තේරෙද්දි පමා වෙලා වැඩි වෙන්න පුලුවනි. කැපිලා තුවාල උනාට පස්සෙ ෆයිට් කරන්න ඉගෙනගන්න ක්ලාස් ගාටනවට වඩා වටිනවා යුද්දෙට යන්න කලින් ඉඳලාම සූදානම් වෙන එක.





 
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?



Wednesday, December 11, 2013

රතු මල් කුඩෙන් කල පොලිස් රාජකාරි


නත්තල් කාලෙත් ලඟ ලඟ එනවා. අපේ අම්මලාගෙ ඔපීසියෙ හැම අවුරුද්දකම තියෙනවා අපූරු නත්තල් උත්සවයක්. නත්තල් කැරොල්, විනෝද ක්‍රීඩා, නැටුම් ගැයුම්, නැති දෙයක් නෑ ඒකෙ. අපිත් බෞද්ධ වුනාට හැම අවුරුද්දකම යනවා ඒකට.





උත්සවයේ හොඳම හරිය තමයි ඔපීසියේම ඉන්න බඩ තඩි ජොලි අංකල් කෙනෙක් නත්තල් සීයාට ඇඳගෙන ලොකූ ගෝනියකට ටොෆි චොකලට් පුරවාගෙන පිට්ටනිය මැදින් එකපාරටම මතු වෙලා වේදිකාවට එන එක. එහෙම ඇවිදින් අවුරුදු දොළහෙන් පහල හැම ළමයාටම තෑගි දෙනවා දෝත පිරෙන්න.


අපේ නගා පොඩ්ඩ චූටි බබා කාලෙ (තුන වසරෙද කොහෙද,) උන්දෑට එක නත්තලකදි ඔය නත්තල් සියාගෙන් හම්බුනා අපූරු තෑග්ගක්. ඒ ලස්සන රතු පාට කුඩයක්. කුඩේ රෙද්ද ලස්සන ඩිස්නි රූප වලින් හැඩවෙලා. මිට හදලා තියෙන්නෙ අර විනිවිද පේන රෝස පාට ප්ලාස්ටික් වලින්. ඒකෙ වතුර වාගෙ දියරයක් පුරවලා. දිලිසෙන තරු කෑලි, මාලු පැටවු වගේ සුකුරුත්තම් ඒ වතුරේ පාවෙනවා.





ඔය ඔක්කෝටම වඩා වටින මේ භාණ්ඩෙ තිවුනෙ කුඩ මිටේ එල්ලලා.





නගා පොඩ්ඩ ඉතින් ඉතාම ආඩම්බරෙන් ඔය කුඩේ ඉහලගෙන ඉක්කෝලෙ යන්ට පටන් ගත්තා.


හවසට අපේ ස්කූල් බස් එක නවත්තන්නේ සහෝදර පාසල ඉස්සරහින්. ඕක ඉතින් අපිට කෙසේ වෙතත් සහෝදර පාසලේ ඇත්තන්ගේ නම් අමන්දානන්දයට හේතු වෙන සිද්දියක්. අපේ ඉස්කෝලෙ ඉඳන් සහෝදර පාසලට තියෙන විනාඩි පහළොවක විතර දුර බස්සිට යන්ට වෙන්න අපේ චූටි හුරතලාවත් දක්කාගෙන.


දවල් ගිනි කාස්ටක අවුවෙ පාර පනින එක තමයි එපාම කොරපු වැඩේ. ඕන් ඉතින් එදාත් බස්සි නගා පොඩ්ඩ එක්ක සහෝදර පාසල ඉදිරිපිට කහ ඉර ගාව බලන් ඉන්නවා. පොලිස් මාමා අත් දෙක හතර අතේ කරකව කරකවා වාහන හසුරවනව.





අපේ නගා පොඩ්ඩ රතු කුඩේ යට. මූ ඒක තනියම බුක්ති විඳින රඟ කිවුවොත් මාව මලාට ගන්නෙ නෑ ඒ කුඩේ යටට නම්.


පොලිස් මාමා හෝ ගාලා වාහනත් එක්ක ඔට්ටු වෙනවා මිස එදා එයාට අසරණ අපිව පාර පන්නන්ට අමතක වෙලාද කොහෙද.


නගා පොඩ්ඩ කට තාරා හොටයක් බවට පත් කරගෙන බලන් හිටියා ටික වෙලාවක්. ඔන්න එකපාරටම පොලිස් මාමා නලාව පිම්බ. හැබැයි වෙනදාට වඩා හෙමිහිට!


මල හත්තිලව්වයි. නළා සද්දෙට වැඩිපුරම බය වුනේ පොලිස් මාමා. මොකද ඒ සද්දෙ ඇහුනෙ අපිටයි. එතනින් ගිය බයිසිකල් කාරයො දෙතුන් දෙනෙකුටයි විතරමයි.


පොලිස් මාමා අන්ද මන්ද වෙලා වගේ බලන් ඉඳලා ආයෙම පාරක් නළාව පිම්බා.


අපි කස්ටියම පාර මාරු උනා.

අපේ එකා මොකද දන්නවාද කලේ? පාරෙ මෙහා පැත්තට ඇවිත් ආයෙම අර කුඩේ විසිල් එක පිම්බා නෙව.


පොලිස් මාමා ආපි අඩියට දෙකට අපේ ළඟට. දැන් ඉතින් කාපන්කො කන පිරෙන්න.





"මෙයා ඔයාගෙ නංගිද?" පොලිස් මාමා අහපි.


"ඔව් අංකල්." පොර ටෝක්ස් දුන්නට මම දියෙන් ගොඩ දාපු මාලුව වගේ.


"පොඩි ළමයින්ට අතට දෙන දේවල් ගැන මීට වඩ සැලකිලිමත් වෙන්න ඕනෙ ළමයෝ. මෙතන සම්පූර්ණ වැරැද්ද ඔයාගෙ. මේ ළමයට තමන් කරන දේවල් වල බරක් පතලක් තේරෙන්නෙ නෑ. ඒත් ඔයා අක්කා. යමක් කමක් තේරෙනවා."


මට ලුණු ඇඹුල් ඇතුව තව ටිකක් වෙලා දෙසලා ඊගාවට පොලිස් මාමා හැරුනා අපේ නගා පොඩ්ඩ පැත්තට. පොර තාරා මූණක් හදාගෙන බලන් ඉන්නවා.





"හරි ලස්සන කුඩයක්නෙ බබාට තියෙන්නෙ. ඔය විසිල් එක ගලවලා ඒකෙන් ගෙදරදි සෙල්ලම් කරන්න හොඳද බබා." පොලිස් මාමා අපේ නගාගෙ ඔලුව අතගාන ගමන් කියාපි!


කාට කියන්නද මේ අවනඩු?


ඒකත් එහෙමයි කියමු. මගේ රතු කට්ට පැන්නෙ එන ගමන් අපේ එකා මෙහෙම කියද්දි.


"හලී... හොඳ පොලිත් අංකල් නේද අක්කියෝ? ඔයාත සැර වුනාත මගේ ඔලුවත් අතගෑව නේ.... යාලුවො දැක්කෙ නෑනෙ. හෙත ගිහින් කියන්ත ඕනෙ."


කටපියාගෙන ඉන්න නොදන්න කමට හොඳ වැඩේ.  ගෙදර ගිය ගමන් මම විසිල් එක ගලවලා කුණු වල ඇතුලෙ මිහිදන් කලේ තරහටමයි.



Wednesday, December 4, 2013

මහ පොළව නුඹයි





කලු පාට වැහි වළා
එකින් එක එකින් එක බරවෙලා
මිරිකිලා ඇඹරිලා
බිඳෙන් බිඳ මහ පොළව තෙත් කලා



මහ පොළව ඉකි නොලා
මුවින් නොදොඩා බලා
ඉහිලුවා වැහි වළා
එකින් එක එකින් එක
උකුල මත කඩා හැලෙනා වළා

 

වැහි අඳුර පහවෙලා
උදෑසන හිනැහුනා සුදෝසුදු පැහැ වළා
මඩවගුරු ගත වෙලා
මහපොළව විළි බරව හිඳී මුව සඟවලා



පෑගේවි කියා පා වැසුම් ලා
මහපොළව නොඅල්ලා
සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
ගොහොරු දෙස අපුල බැලුමන් හෙලා



ආකහේ රැස් බලා
අතක් නළලත තියා
බලාපන් සුදෝ සුදු පින් පාට වළා කැටි

කියා පැසසුම් සලා....




 

@ ශාන්ති දිසානායකගේ "ද්වාර" කියවා ඔද්දල් වූ හදවතින් :(

Sunday, December 1, 2013

හතළිස් නමවෙනි කොටස : හොර ගමන


මේ කතාව කියවන්න කලින් ඊයෙ පබ්ලිෂ් කරපු කතන්දරෙත් කියවලාම ආවා නම් වටහා ගැනීම පහසු වෙයි. :)




දෙදහස් දහයේ මාර්තු දහ හතර වෙනිදා. හ්ම්ම්.... එදා තමයි දවස.




බස්සි එදා කල් තියාම දෙයක් කරන්න හිතාගෙන ප්ලෑනක් ගහගෙන හිටියෙ. බස්සාට උදේ වරුවෙම ප්‍රැක්ටිකල්. බස්සිට තිවුනෙ පැය දෙකක ලෙක්චර් එකක් විතරයි.


පුරුදු විදියට බස්සිව ලෙක්චර් හෝල් එකට ඇරලවලා බස්සා ලැබ් එකට ගියා.



බස්සිගේ මොබයිල් එක "බීප් බීප්" නාදයකින් බස්සා ලැබ් එකට ඇතුල් වුන බව තහවුරු කලා.



'මම ලැබ් එකේ. එනකම් Base canteen එකේ ඉන්න.'

 

බස්සාගෙ දර්ශීය එස්.එම්.එස්. එකක් ඔය ප්‍රමාණය තමයි. කොච්චර කිවුවත් දිගට එස්.එම්.එස්. කොටන්නෙම නැහැ නෙව. ඒකට අපි! යවද්දි පිටු තුන හතරක මාගල් යවන්නෙ!!


එස්.එම්.එස්. එක ආපු ගමන් බස්සි ලෙක්චර් හෝල් එකේ පස්සා දොරෙන් එලියට පැනගත්තා. කන්ද බැහැගෙන ගිහින් නැවතුනේ ඒ.ටී.එම්. එක ගාව. එතනින් සල්ලිත් අරන් වහාම කිරිබත්ගොඩ යන්න බස් එකකට ගොඩ වුනා.



කිරිබත්ගොඩ ටවුන් එකෙන් බැහැල බස්සි කෙලින්ම ගියේ සුපුරුදු ගිෆ්ට් සෙන්ටර් එකට. එයා ඉන්නව කියන්නෙ එතන. එතන තට්ටු තුන හතරෙම පැයක් විතර ඇවිද ඇවිද බස්සි එයාව හෙවුව. එයා ඉන්නම ඕනෙ මෙතන කොහේහරි. ඒත් එයා නෑ නෙව.



බැරිම තැන බස්සි එයාගෙ හැඩරුව කියලා ගිෆ්ට් සෙන්ටර් එකේ වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවා එයාව දැක්කද කියල.



"අනේ නංගි එයා දැන් පැයකට විතර කලින් ගියානෙ. දැන් නම් එයා මෙහෙ නෑ."



මොනව කරන්නද ඉතින්. කොහොමහරි, කොහෙන්හරි එයාව හොයාගන්නම ඕනෙ. අදම එයාව හොයාගන්නත් ඕනෙ.



බස්සි පැය දෙකහමාරක් විතර කඩවත, කිරිබත්ගොඩ ටවුන් දෙකේම ඇවිද ඇවිද එයාව හෙවුව. ඒත් එයා කොහේවත් හිටියෙ නෑ.



බස්සිට හිතට දුකයි. ආපහු යන්න වෙලාව. බස්සාට හොරෙන් ආපු ගමනක් නෙව. දැන් බස්සාගෙ ප්‍රැක්ටිකල් ඉවරවෙන වෙලාවත් කිට්ටුයි.



කැම්පස් එක ගාව බැහැලා බස්සි පාරෙන් එහා පැත්තෙ තිවුන කොමියුනිකේශන් එකට ගියේ රීලෝඩ් එකක් දමා ගන්න. කොමියුනිකේශන් එකේ ඉස්සරහ රාක්කයක පුංචි පුංචි ඔරලෝසු, පිඟන් මැටියෙන් හදාපු විසිතුරු බඩු පෙළගස්වලා තිවුනා. රීලෝඩ් එක එනකම් බස්සි රාක්කෙ දිහා බලාගෙන හිටියා.



අර ඉන්නෙ බස්සි මෙච්චර වෙලා හොයාපු කෙනා.



ෆෙන්ෂුයි නැවකටයි, පිඟන් මැටි මල් කූඩෙකටයි මැදිවෙලා වීදුරු ෆ්ලේජ් අස්සයා හොරා වාගෙ බස්සි දිහා බලාන හිටියා.



බස්සි එයාව අතට අරන් ඇද පලුදු තියෙනවාද බැලුවා. බැටරි දැම්මාම මෙන්න අර අපූරු නිල් පාට එලිය විහිදෙනවා.





බස්සි එයාව පාර්සල් කරගෙන බේස් කැන්ටිමට ඉගිල්ලුනා. වෙලාව දොළහයි. බස්සා කැන්ටිමට ගොඩ වුනා.


"ඔයා පාලුවෙන්ද හිටියෙ බස්සියෝ? අද වැඩ ඉවරවෙන්න ටිකක් පරක්කු වුනානෙ." බස්සා බස්සිගෙ කරවටේ අතක් දමාගෙන කිවුවා.



"නෑ. අදනම් පාලු දැනුනෙ නෑ...." බස්සි තෑගි පාර්සලය බස්සාගෙ ඔඩොක්කුවෙන් තියන ගමන් කිවුවා.



"මේ මොකක්ද බස්සියෝ?" බස්සා පරෙස්සමෙන් කරදාසිය ලෙහෙන ගමන් ඇහුවා.



ෆ්ලේජ් අස්සයා දවටනය ඇතුලෙන් එලියට ඔලුව දැම්මා. බස්සා බස්සිව පපුවට තුරුලු කරගත්තා.



"හැපි වැලන්ටයින්ස් ඩේ බස්සෝ...!!" බස්සි කිවුවා.