අපි හැමෝම හීන දකිනවා. හීන නිසා අපි
ජීවිතේ ඉස්සරහට යනව. හීන පිරුනු ජීවිතේ ගැන අපේ බස්සත් ඉස්සර එකෝමත් එක දවසක මාත්
එක්ක කතා කර කර ඉඳලා උන්දැගෙ බ්ලොග් එකේ මේන් මේම සටහනක් තියල තියෙනවා. පස්සෙන්
පහු බස්සිත් දවසක් ලිවුවාලු හීන ගැන ටිකක් බරපතල මෙවුවා එකක් මේන් මේම.
හා හා ඒ මහාප්‍රාණ හීන ගැන නෙමෙයි මම
අද කියන්ට යන්නෙ මගේ සුට්ටං අල්පප්‍රාණ හීන වට්ටෝරුව ගැන.
සුට්ටං බට්ටා කාලෙ නම් මම හීන දැක්කෙ
පුළුන් වලාකුලු වල ගෙවල් හදාන ඉන්න සුරංගනාවියො ගැන, මල් පෙති මැද්දෑවෙ දොයියන සූටි පණු පැටව් ගැන වාගෙ බෝම ප්‍රාථමික
ගණයේ මෙවුවා ගැන. මට මතකයි මම මොන්ටිසෝරි යන කාලෙ හිතන් හිටියෙ පැෂන් ෆෘට් මලක්
ඇතුලෙ තියෙන්නෙ සුරංගනාවියෙකුගෙ ගෙදරක් කියලා.
අද නිවාඩු දවසෙ ඔයාලත් පැෂන් ෆෘට්
මලක් ගලවලා බලන්නකෝ බොරුද කියලා. ගේ මැද්දෙ වටේටම ලයිට් දාපු උස කුලුනක් තියෙනවා.
ඒ වටේට මල් පෙති වලින් හදාපු සෝෆා කට්ටලයක්. ඔය කුලුන ඇතුලෙ තමයි නිදාගන්න කාමර
තියෙන්නෙ. අර කුලුනට පිටින් තියෙන ලයිට් නිසා නිදාගන්න කාමර ටික ඉබේම උණුහුම්
වෙනවා.
ඒ උනාට ඔය මාලිගාව ඇතුලෙ ඉන්න
සුරංගනාවි කවදාවත් මගෙ අතට අහුවෙන්න ආවෙ නෑ නෙව. අහුවුනොත් මටත් ඒම මාලිගාවක්
හදාදෙන්ට වෙයි කියල වෙන්ටැති. හ්ම්ම්ම්....
ඔය වගේම සූටි කුරුමිණි පැට්ටෙක්ගෙ
ගෙයක් තමයි සල් මල. ඕන්නම් නිවාඩු දවසෙ ඒකත් කඩලා බලන්ටකෝ.
ගෙදර වටේට තියෙනවා අපූරු සුවපහසු සෝෆා.
මැද්දෙ තියෙන වියන් ඇඳ ඇතුලට රිංගා ගත්තාම කුරුමිණි පැට්ටාව කාටවත් හොයන්ට බෑලු.
ආ... අර රවුමට තියෙන වියන් ඇඳ මැද්දෑවෙ තියෙන්නෙ එයා වතුර බොන්න හදා ගත්තු ටැප්
එක. එතෝට වතුර තිබහ උනාම මට වගේ කලුවරේ අතපත ගගා කෑම කාමරේට යන්න ඕනෙ නෑ නෙව.
මොන්ටිසෝරි කාලෙ ඕම හීන දැකපු සූටි
බස්සි එක දෙක වසරට යනකොට හිතාගත්ත සත්තු වත්තෙ දොස්තර නෝනා කෙනෙක් වෙන්ට ඕනෙ කියල.
ඇයි එතකොට හැමදාම සත්තු වත්තට ගිහින් සත්තු බැලුවැකි නෙව.
ඒත් ආපහු තුන වසරට එනකොට තාත්තා ග්‍රහලෝකාගාරෙට
එක්ක ගිය හින්දා සත්තු දොස්තර වෙන්ට තිවුන හීනෙ චකබ්ලාස් වෙලා අලුත් හීනයක්
ඉපදුනා. ඒ තමයි තාරකා විද්‍යාඥවරියක් වෙන එක. හතර වසරට එද්දි මං බැරි බැරි ගාතෙ
පොතක් බලාන ටෙලස්කෝප් එකකුත් හැදුවලු.ඒකෙන් බලනකොට පේන්නෙත් පියවි ඇහැට පේන තරු
ටිකම විතරයි උනාට මම හැමදාම හය වෙද්දි එලියට බැහැලා අහසෙ තරු ගනින්නයි, එවුවා තරු පොතක අඳින්නයි තිවුනේ පුදුම ආසාවක්.
අපේ තාත්තා මගෙ වද කරදරේට ග්‍රහලෝකාගාරෙ
වැඩ කරන ප්‍රියංකා කුමුදුනී මහත්මියගෙ පොත් එහෙම එලිදක්වපු දවසෙම මට ගෙනත් දෙනවා ඒ
කාලෙ. ඔය පොත් ප්‍රදර්ශනේකට ගොහින් එද්දි එයැයිව දවසක් අපි දෙන්නට මුණුගැහිලා මගෙ
තාරකා විද්‍යාඥ හීනෙ ගැනත් මම බෝම ආඩම්බරෙන් කිවුවා එයැයිට.
ඔය අතරෙ තමයි මං සිස්සත්තෙ පාස් වෙලා
ඕගන් එකක් ලැබුනෙ තෑග්ග විදියට. ඉන් පස්සෙ පියානෝ කලාස් එකකටත් දක්කන්න උනාම මට
හිතුනා සංගීතඥයෙක් වෙන්ට ඕනෙ කියලා. ඒ ගමන වයලින් ගහන්ටත් ඉගෙන ගත්තා වයලින් කලාස්
එකකට මංගච්චලා. හැබැයි මට ඕනැ උනේ සංගීතවේදී තාරකා විද්‍යාඥවරියක් වෙන්ට ඒ කාලෙ.
අනේ ඔය අහිංසක හීන පූට්ටුව මැද්දට ඉතාම
අවාසනාවන්ත විදියට එක්තරා අඳුරු රාත්‍රියක කඩා පැන්නෙ නැතැයි..... කවුද? ෆොක්ස් මෝල්ඩර් ඇන්ඩ් ඉස්කලී. අපේ තාත්තා ඉස්සර
කියන්නෙ නරියා සහ ඔලුකට්ටි කියලා.
ඉතිං අර සියලු සිහින හමස් පෙට්ටියට
දාපු මම පේවෙනවා ඕන් රහස් පරීක්ෂකවරියක් වෙන්ට. ඒ ගමන එක්කාසු කොරනවා රටේ තියෙන
සේරෝම රහස් පරීක්ෂක කතන්දර. දැන් තියෙන හීන පූට්ටුව තමයි සංගීතවේදී රහස්
පරීක්ෂකවරියක් වීම.
මට මතක හැටියට අපේ ගෙදර මිනිස්සු වැඩිම
විනෝදයක් ලැබුවෙ මගේ මේ හීනෙන් වෙන්ට ඕනෙ.
ඔන්න අය හීනෙ ඉදිරියට ගලාගෙන යද්දි අර
සුන්දර ළමා වියෙන් බස්සිත් යොවුන් වියට පා තබනවා. අනේ සංසාරේ! බස්සිට දොළදුකක් පහල
වෙනවා වේදිකා නාට්‍ය නිලියෙක් වෙන්ට.
බස්සි ඩැඩා ඒ අදහසට එකෙන්ම සහය
දක්වනවා. බස්සිව ඇන්න යනවා ඩැඩාලගෙ ඔපීසියෙ කලා කවයෙන් කොරන වේදිකා නාට්‍ය පුහුණුවීම් බලන්ට. ඩැඩා තමයි එවුවා රචනය
සහ අධ්‍යක්ෂනය. බස්සිත් ඉතිං බෝම උනන්දුවෙන් නලු නිලියන්ට දෙබස් මතක් කොරලා දෙනවා
පාන්දර වෙනකම්. ඕම ඉන්න අතරෙ බස්සි ඩැඩා බස්සිටත් සුට්ටං චරිතයක් දීලා ඉස්ටේජ් එකට
තල්ලු කොරනවා. ඉන් පස්සෙ බස්සි පණ ඇරගෙන රංගනය ඉගෙනගන්නවා.
හැබැයි නිලියොන්ට රූපෙ ලස්සන උවමනායි
කියලා බස්සි දැනං හිටියෙ නෑ ඒ කාලෙ. ඒ නිසා ඉක්කෝලෙ වේදිකා නාට්‍ය වලින් බස්සි
බෙල්ල මුලින් කැපිලා ඒ වෙනුවට ඉටිකිරිස් කෑලි ඉස්ටේජ් එකට නගිනවා. බස්සි ඉතිං කොරේ
පැත්තක ඉඳන් ඉටිකිරිස්ලාට නටන්ඩ සිංදු කියාපු එක තමයි.
ඕම ඉන්නකොට එකදවසක්... ඔව්. එක සොඳුරු
සැන්දෑවක ඕ.ලෙවල් සයන්ස් කලාස් එකේ ගුරුතුමා බස්සිට කියාදෙනවා ජාන ඉංජිනේරු විද්‍යාව
ගැන.
කෙලියා නේද නිලි හීනෙටත්. බස්සි ඒ
වෙලාවෙ ඉඳන් සූජානං වෙනවා ජාන තාස්සනේ හදාරන්ට. කෝම හරි ඒ හීනෙ හිතේ ගැඹුරටම කිඳා
බැහැලා තිවුන නිසාද කොහෙද කැම්පොස් ගිහිනුත් කොලේ අණුක ජීව විද්‍යාව සහ ජාන
තාක්සනේ ඉගෙනගත්තු එක තමයි.
ඔය අතරෙ බස්සිට තිවුනා තව තව mini dreams කප්පරක්. ඩේසි ටීචර්ගෙ ඉංගිරිස් පංතියට යන
කාලෙ බස්සිට ඕනෙ උනේ කවියෙක් හරි කතාකාරියෙක් හරි වෙන්ට. ඒ කාලෙ අහක දාන ටොපි කොළ
වලත් කවි ලියනවා.
යෝග භාවනා සහ මාර්ෂල් ආර්ට් ඉගෙනගෙන
හටංකාරියෙක් වෙන්ට හිතාන කරාතෙ පන්තිත් ගාටලා ඇතිවෙනකං ගුටි අන්නාගෙන ගෙදර ආවා හැම
සෙනසුරාදාවකම.
ඒ ලෙවල් ඉවර වෙද්දි ආපු හීනෙ තමයි
සාර්ථක කළමනාකාරිනියක් වෙන්ට. ඕන් එතෝට තේරුං ගියා එහෙම වෙන්ට නම් තමන්ගෙ උපරිමය
හොයා ගන්ට ඕනෙ කියාල. ඉතින් කැම්පොස් කාලෙ සියලුම ගොන් ආතල් ගන්නා අතරෙම ඒ හීනෙ
වෙනුවෙනුත් මාන්සි උනා.
තාමත් මං මාන්සි වෙන්නෙ ඒ හීනෙ
වෙනුවෙන්.
ඒත් ළඟදි ඉඳන් හිතෙනවා මගේම මගේම.....
එක්කො ඕනෙ නෑ. ඒ හීනෙ හැබෑ කොරගන්ට පුලුවන් උනොත් කියන්නම්.
හැබෑ උනත් නැතත්, මං හරිම ආසයි මගේම හීනෙක ජීවත් වෙන්ට. හීන
පිරුණු ජීවිතේ හරියට පාට පිරුනු සිත්තමක් වාගෙ.


































