දිගු ඇඟිලි සහිත දෙ අත්ල බළල් කොට්ටා අත් බවට රූපාන්තරණය වීම ඇරඹුනේ නොසිතූ මොහොතක. ලෝහමය අත්වාරුවේ නිය ගැටීමෙන් ඇතිවුන සිහින් සීරුම් හඬ දෙසවන් හිරිවට්ටන සුළුයි. තවදුරටත් බළල් කොට්ටා අත්වලින් අත්වාරුවේ එල්ලී සිටීමේ අවදානම අත් හැරලා මම ඉහලම තරප්පුව උඩ උක්කුටියෙන් වාඩි වෙලා නිනව්වක් නැතිව ඉදිරිය බලාගෙන උන්නා.
තාරතාවයෙන් ඉහල ඇගේ කටහඬ පහල සාලයේ ඉඳන් ඉහලට විෂ කැවූ ඊතල විදිනවා. ඒ හඬ ඉතා සුනම්‍යයි, දිය ඇල්ලක් වගෙයි කෙලිලොල් අකුරු සාලය පුරා විසුරුවමින් ගලා හැලෙන්නේ. ගිලී මියැදෙන්න හිතෙන තරම් පොළඹවන සුළුයි. මම තව තවත් බළල් ආත්මය තුලට කිඳා බැස්සා. දැන් දිය ඇල්ලේ හඬ ගෙනෙන්නේ පිළිකුලක්. වතුර බිංදුවක් පවා හිස කරකැවිල්ල ඇතිකරවන සුළුයි. ඒත්, ඒ වතුර යට රන්මාළු පීනනවා වෙන්නත් පුළුවනි.
මම අත් දෙකෙන්ම පියගැටපෙලේ අත්වාරුව බදාගෙන දෙපයට බර දීලා කෙලින් වුනා.
වතුර! වතුර!! වතුර!!! අප්‍රසන්න වතුර!
ඈ ආවේ අනවසර සුළඟක් වගේ. අනවසර සුළඟක් වඩාගෙන ආ හිම කැරැල්ලක් වගෙයි මම ගල් ගැහුනේ. පාරින්ද්‍යා, මගේ බිරිඳ තවමත් ඈ සමග මුහුණට මුහුණ ලා ඉඳගෙන කතාලතාවේ. වසර හතකට පසුව මුණගැහෙන පාසැල් මිතුරියන් දෙදෙනෙකුට කතා කරන්න දේවල් කොයිතරම්නම් තියෙනවද? දිය ඇල්ලක් වගේ තමයි.
තරප්පුවෙන් තරප්පුවට පනිමින් ඉහලට එන සැහැල්ලු දෙපයක්. තොරොම්බල් පාදසළඹක සීනු හඬක් අතරින් පතර ඇහෙනවා. මම ඇස් පිහාටු හැකිතරම් තදින් පියාගන්නවා.
“ඔයා නිදිද?”
“හ්ම්.”
“තේ නිමෙනවා.”
“තේ කියන්නේ එහෙම තමයි. නිමෙනවා.”
උඩඟු ලීලාවෙන් ඇහැ කන පියාගෙන වකුටු වීමයි බළල් ගතිය. ඈ පිටත්වෙන හඬ ඇහෙද්දී බළල් ලොම් පොරෝණාවට යටින් වූ මිනිස් හදවත ගිඩි ගා ගැහුණා. එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවෙයි. ඈ යන්න ගියාම හැම දෙයක්ම යලිත් සාමාන්‍ය තත්වයට පත්වෙන බව ඒකාන්තයි. නමුත් එකම එක වතාවක් ඇගේ මුහුණ හොඳින් දැක බලාගන්න හිතාගෙන ජනේලයෙන් එබෙන එක තරමක වරදක්. ඒ වෙලාවේ ඇගේ පළල් නළලයි, නිල් ඇස් දෙකයි පැහැදිලිව දැකගන්න බැරිවීමේ සාංකාව නොවන්නට මම ඇයව හඹා නොයන්නට තිබුනා.
"මම කැමති නිල් පාට වීදුරු ඇස්වලට"
මම නම සඳහන් නොකල පණිවුඩයක් හත්වැනි වතාවටත් ඈ වෙත යොමු කලේ බළල් ලොම් පොරෝණාව ඉරාගෙන මතුවෙන සිවල් නිය පහුරු ගැන තැකීමක් නොකර. පාරින්ද්‍යා ඒ වෙද්දි වම් ඇලයට හැරිලා ගැඹුරු නින්දක හිටි වග නොකියා බැහැ. ඈ තදින් හුස්ම ගන්නවා. මම වෙස්මාරුවෙන් හති වැටිලා පරිඝණක තිරයට එබෙමින්, වරින් වර බියෙන් තැතිගනිමින් පිළිතුරක් එනතුරු මග බලනවා.
**********************
"එයා මගෙ ඇස්වල පාටත් දන්නවා!"
කෝපි බිංදු අළුත් සුදු මේස රෙද්ද මත කහට පැල්ලම් ඇතිකිරීම නෙමෙයි මේ වෙලාවේ තියෙන බරපතලම ප්‍රශ්ණය. හිවල් දත් සඟවාගෙන ඈ දෙසට රාගික බැලුම් නොහෙලා ඉන්න එක. අන්න ඒකයි නියම ප්‍රශ්ණය. එකිනෙකට වෙනස් තාරතාවයෙන් යුත් සිනා හඬ දෙකක්. මම කැමති උස් සිහින් හඬට. ඒත් මේ බළල් ලොම් පොරෝණාව කැමති නැහැ ඒක එහෙමයි කියලා පිලිගන්න.
"නිම්, දන්නවද? ඔයා එයාව මුණගැහෙන්නම ඕනෙ!"
"ඔයාට පිස්සුද?"
"ම්හ්?"
"අපි දැන් 'බැඳපු ගෑණු' පාරින්ද්‍යා."
"බැඳපු ගෑණුද? බැදපු ගෑණුද?"
අන්න ඒකයි හේතුව. මම කවදාවත් මගේ බිරිඳගේ වචනයට පිටින් ගිය කෙනෙක් නෙමෙයි. ඈ රෙදි බෝනික්කියක් වගේ දැනෙන්න ගත් දා පටන්වත් මම ඒ ප්‍රතිපත්තිය වෙනස් කලේ නැහැ. අන්තිමේදි ඈ ව්‍යාපාර සම්මේලනයකට නගරයෙන් පිටවෙනකම් මම අපහසුවෙන් වුනත් බළලෙක් වගේ ඇගේ දෙපා මුල දැවටෙමින් උන්නා. නිම්සරා කඩාවදින හැම අවස්ථාවකදිම වතුර දැක්කා වගේ ලොම් පුම්බාගෙන ගුලි ගැහුනා.
'මා' තුල බිඳක්වත් නැති,
'අප' අතර පිරී ඉතිරී ඇති
ඉන්ද්‍රජාලයකි මේ ජීවිතය
හිරු තරම් උණුහුමයි ජීවිතය
මම අහුවුනේ එතැනින්. නිම්සරා හිරු කැරැල්ලක් වෙලා පෑව්වා. විය යුතු පරිදිම, හිරු කැරැල්ලක් එන්නේ ඉස්සරහ දොරෙන්ම නෙමෙයි. ජනේලෙකින්, අවන්හල් බැල්කනියක බට පැළැලි හිරු මුවාවක් අතරින්, අනපේක්ෂිත හැන්දෑවක නගර වීදියට ඉහලින් පාවෙන වළාකුලකින්, රන්පාට හිරු කිරණ කාන්දු වෙන්න පටන් ගත්තා.
පැය ගානක් ඇතුලත හිරු කැරැල්ලත් මමත් දෙන්නාම චර්ම පිලිකාවකට ගොදුරු වුනා.
පිළිකාව හිතූ මොහොතක සැත්කමකින් කපාදමන්න හැකිවෙයි කියා හිතමින් මම දිගින් දිගටම හිරු රැසින් නැහැවෙන්න තීරණය කලා. සම්මේලනය අහවර වෙලා පාරින්ද්‍යා ගෙදර ආවේ තරමක් විසාල, වැහි වළාකුලක් අත්බෑගයේ ඔබාගෙන. ඉන්ද්‍රජාලයක්මයි ජීවිතය. ඒ නිසයි පාරින්ද්‍යා වැහි වළාකුලක් පොරවාගෙන යුගල ඇඳ උඩ වැතිරෙනකොට මම ආයෙමත් වැහි බිඳුවලට අකැමති බළලෙක් බවට රූපාන්තරණය වෙන්න ඇත්තේ.
අන්තිමේ හිරු කැරැල්ලත් මමත් වටහා ගත්තා පිළිකාවක් කියන්නේ හදවතේ කෙලවරක හටගත්ත රෝසමල් හැඩේ පොඩි ගැටිත්තක් විතරක්ම නොවන වග. හෘද ස්පන්දනයත් එක්ක සෛලයක් සෛලයක් ගානෙ පැතිරිච්ච, ඔඩු දුවපු පිළිලයක් වග.
ඉතින් අපි විසඳුමක් හොයාගෙන ගින්දරට පැන්නා.
නෑදෑයෝ, අසල්වැසියෝ, යාළුවෝ විතරක් නෙමෙයි, මල් පත්තර කාරයෝ, ගොසිප් සයිට් කාරයෝ පවා පැට්ට්‍රල් කෑන් කර තියාන ගින්දර බලන්න ආවා. පිච්චි පිච්චි ඉන්න අතරෙ එයා එකපාරටම පිළිකාව ගලවලා දාල ගිනි ගොඩෙන් මෑත් වුනා.
"මම ගෙදර යනවා."
"මම බැඳපු ගෑණියෙක්."
කාලයත් එක්ක ගින්දර අඩු වුනා. බළල් ලොම් පොරෝණාව අඟුරු වෙලා ගිහින් තිබුනා. ඒත් සෛල ඇතුලේ ශේෂ වෙච්ච පිළිකා කැබැලිති තවමත් හෙමිහෙමින් පිච්චෙනවා. මම ගින්දර නිවෙනකම් නොහෙල්ලී බලා ඉන්නවා.
අඩුම තරමේ මල් පත්තරකාරයෙක්වත් නැතුවම!







