Monday, February 15, 2016

හෘද ගීතය




ඒ ශාරදයේ මැදියමකි. දෙනෙතු පිය විවර කල නමුත් ස්වප්නය පහලට ගලායමින් පවතියි. මිහිදුම පොරෝණාවක් මෙන් මා වසා වැතිරගෙනය. සිහිනයෙන් සවන් විත පුරා ඇදහැළුණු සුමධුර සංගීත රාවය එකදු ස්වර බිඳීමකුදු රහිතව, එකදු ස්වරමාන ගැටීමකුදු නොමැතිව, දියපෙතක් සා සුනම්‍යව මා වටා ගලා යයි. මම ආයාසයෙන් ගෙල වමට, දකුණට, නැවතත් වමට පෙරල පෙරලා බැලීමි. මේ පියවියයි.


ඒ සංගීත රාවය ‘එන්න, එන්නැයි’ අඬගසන්නාක් වැනි. ‘ඔට්ටු දෙන්නම් මා අල්ලාගන්නැයි’ පවසා පෙනෙන නොපෙනෙන මානයේ සැඟව ඉන්නාක් වැනි. ‘පැමිණ මා උරා ගන්නැයි, වැළැඳ ඒ තුල ගිලිගිලී යන්නැයි’ පොළඹවන්නාක් වැනි. ‘පොද වැස්සක්ව සිහින් දිය තුඩු කොපුල් මත ඇන අස්වසන්නෙමැයි' පිළිණ දෙන්නාක් වැනි.


මම බරැති ලොම් බ්ලැන්කෙට්ටුව තුලින් ලිස්සා දෙපතුල් රතු සිමෙන්ති පොළව මත්තේ තද කලෙමි. දුහුල් රෑ ඇඳුම පවා සසල වන තරම් ආවේගශීලිව ශීතල මා වෙලා ගත්තෙන් හීගඩු නැගෙන්නටද, රෑ ඇඳුම වෙව්ලුම්කන්නටද වී.


ඒ හඬ හඹා යා යුතු!


වළා පෙරහන්කඩින් පෙරි පෙරී ඇදහැලෙන සඳ එළිය ගෘහෝද්‍යානය මත ඇතිරූ රිදී ඇතිරිල්ලක් වැන්න. සිසිරය ලඟ ලඟම එන බැව් සන් කර වරින් වර ශීතල සුලං කැරලි නිරාවරණය වූ උරබාහු මත කෙලිසෙල්ලමට මෙන් හැපී දඟ පා, කෙහෙ කැරැල්ලක් අවුස්සා ඉහළ නැගෙයි. තුරු පත්හි සිරිසිරිය පවා සංගීත රාවය තුල කිමිද සැඟවී අතුරුදන් වූවා වැන්න.  හාත්පස ඒ සා නිශ්චලය.  ඒ සා නිදහස් ය.


උද්‍යානයේ වම් අන්තයේ පැන නැඟි සුවිසල් ඕක් ගසකි. ඒ අභ්‍යන්තරයෙන් විහිදෙන ආලෝක දහරකි. සඳ ඕක් පත් අතර සැඟවගෙන ය. ඕක් පත් අගිස්සෙන් කිරණ විහිදුවමින්ය. රිදී ඇතිරිලි වියන ඇරඹෙන්නේ එතැනිනි. ස්වර ඇල්ල උපදින්නේද එතැනිනි.


අඳුරට හුරුපුරුදු වූ දෙනෙතු මත ඕ එක්වරම ප්‍රාදුර්භූත වූවාය. ඕ තෝමෝ ඕක් අත්තක් මෙන් සිහින් ය. හැඩ ඇතිය. ඕක් කඳ පාමුලින්, ඈ තුලින්, බුබුළු දමමින් නැගී ආයේ වීණා නාදයකි. නටු අගින් ගිලිහුන ඕක් පත් ඈ වටා සර්පිලාකාරව සුළි කැරකෙමින් රඟන්නට වූයේ කුඩා සමනලුන් අහිනක සිරි කැඳවමිනි.


මට ඒ සැබෑ ඕක් පත්‍රදැයි අතගා බලන්නට ඕනෑ විය. එ'තුල යම් මායාමය බලයක් ගැබ්ව ඇත්දැයි දිව ගා බලන්නට ඕනෑ විය. වෙණ නද හා අනුනාද වෙමින් පොපියන ඇගේ රත් දෙතොල යන්තම් සපා බලන්නට ඕනෑ විය. වියරු සුළඟක් වන්ව සසැලෙන ඇගේ කිරි පැහැ බාහුව මත මුදු චුම්භන සතක් පතිත කරන්නට වුවමනා විය. 


නමුත්;
මගේ දෙපා අකීකරු ඕක් මුල්වලින් තදින් වෙලාගෙනය. 
විළුඹ වටා සිහින් මුල් විලංගු ලා ගෙනය.


පත් මතින් පෙරී ආ සඳ දිය ඇගේ මුහුණ මත ඇදහැලෙන්නට වූයෙන් ඇගේ දෙකොපුල් සුදුමැලිවන'යුරු, දෙබැම වේදනාවෙන් ඇඹරෙන'යුරු පැහැදිලිව පෙනෙන්නට විය. වීණාවෙන් උපන් හැඟීම් ඈ වතෙහි චිත්‍රණය වන බව ඒකක්ශණයෙන් මට පසක් වන්නට වී. පිළිවෙලින් සතුටද, ප්‍රමෝදයද, තැතිගැන්මද, අධිකතර ශෝකයද, රාගය සහ ක්‍රෝධයද ඈ වතෙහි ඇඳී මැකී යන්නට විය. මම මදක් ඉදිරියට, ඕ වෙතට, නැමී ගෙල දිගු කලෙමි.


ඈ වයමින් උන්නේ සිය හදවතයි. ලය හරහා තදින් ඇද ගැටගසන ලද රුධිර නාල, ස්නායු පොදිති දහස් ගණනක් හරහා වියරුවෙන් මෙන් ඒ මේ අත ගමනේ යෙදුනු ඈ සුරතෙහි වීණා අළුව වෙනුවට කිටිකිටියේ සිරව තිබුනේ මුවහත් පන්හිඳකි.


එහි රුධිරයද, කඳුළුද විය. 
සෙම්, සොටු සහ කෙළ පිඬු ද විය. 
පන්හිඳ වැදී ඉරීගිය මස් වැදැලිද විය.


ඕක් පත් කුඩා සමනලුන්ව ඇගේ හෘද සංධවනියේ ස්වර ඛණ්ඩ සිය පියාපත් මත රුවාගෙන සර්පිලාකාරව ඉහළට, ඉහළට, තවද ඉහළට එළැඹ ගත්හ. උතුරට, දකුණට, නැගෙනහිරට සහ බස්නාහිරට ඉගිල ගියහ. වයඹට, නිරිතදිගට සහ ගිනිකොණ දෙසට ඉගිල ගියහ. නමක් නැති, නිමක් නැති දිසාවන් සොයසොයා ඉගිල ගියහ.


ඉනික්බිති වැසි වසින්නට විය. ගල්, බොරළු, වැලි වසින්නට විය. සමනල්ලු එකා දෙන්නා මියෙන්නට, පියපත් සිඳී ඇදවැටෙන්නට විය. 


වීණා නාදය අනවරතව, වඩ වඩා සුනම්‍යව නැගී ආයේය. ඕක් තෙම වඩ වඩා පත් හලා ඒ මත පියපත් පැළැන්දීය. සමනල්ලු වඩ වඩා ඉහළට, වළාකුළු මතුයෙන් තවද ඉහලට ඉගිල යන්නට විය. 


ශීතල තවද දැඩි විය. කඳුළු පොඩිති මිදීමෙන් චන්ද්‍රකාන්ත පාෂාණද, රුහිරු බිඳිති මිදීමෙන් පද්මරාගද, සෙම් කැටිති මිදීමෙන් පුෂ්පරාගද උපනි. 


හෘද ගීතය එකදු ස්වර බිඳීමකුදු රහිතව, එකදු ස්වරමාන ගැටීමකුදු නොමැතිව, දිගින් දිගටම රැලි සරැලි නංවන්නට විය.






Wednesday, February 10, 2016

රමණීය ආශ්වාදයක මරණීය අඳෝනාව






අපේ වර්ණ බ්ලොග් අඩවිය ලියන දිනේෂ් ගොයියා උන් හිටි ගමන් කෙටිකතා අස්සෙ අධ්‍යාපනික වටිනාකමක් තියෙන ලිපිත් පලකරනවානෙ. ඉතින් දිනේෂයියා අවසානෙට ලියපු "සිගරැට්ටුවේ ඉතිහාසය" ලිපිය කියවන අතරෙ එකපාරටම මගේ නළලේ දකුණු පැත්තෙන් සුදු දුමාරයක් වගේ භූතයෙක් එලියට ලිස්සුවා.


"තෝ අහවල් සිටුවේසන් එක ගැන ලිපියක් ලියන්ඩ ඕනෑ කියල පටන් ගත්තෙ කොයි කාලෙද? කෝ ලිව්වද? ලිව්වද? ලිව්වද?" කියල තුං සැරයක්ම මට තග දාපු ඒකා 'පුෆ්!' ගාලා වැනිස්ඩ් ඉන් ටු දි තින් එයාර් උනා.


ඉතින් මම ලහි ලහියේ හරිබරි ගැහුනේ ඒ අනුවේදනීය සත්‍ය කතාව යුනිකෝඩවලට පෙරලන්නයි. 


සිගරට් දුමාරය, එහෙමත් නැතිනම් දුම්කොල නිෂ්පාදන කියන්නේ අපේ සිරුරේ අවයව බොහොමයකට හානි පමුණුවන, විෂ සහිත, නමුත් තහනමට ලක්කර නොමැති නිෂ්පාදන කාණ්ඩයක්. දුම් පානයෙන් වැළඳෙන රෝග ගැන කල්තියා හඳුනාගන්නේ කොහොමද? ඔව්. දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන company ඒ අතුරු ආබාධ ගැන දන්නවා. මේ පර්යේෂණවලට යොදාගන්නේ සිගරට් ලෝලී මිනිස්සුන්වද? කෘත්‍රිමව රෝපණය කරන ලද පටකද? උත්තරය, 'නැහැ' ඒ එකක්වත් නොවෙයි.


මේ පර්යේෂණ සඳහා යොදා ගන්නේ සත්තුන්ව.


දුම්කොල නිෂ්පාදන කර්මාන්තය ගැන අබැටක තරම් දෙයක් නොදන්නා, මිනිස්සුන්ගේ දුම්කොල ලෝලීත්වය ගැන කිසිදු අදහසක් නැති, අසරණ සත්තුන්ව.


ඉහත පර්යේෂණ දෙයාකාරයි.


1. 
සිගරට් දුම කැටි කර ඝනීභවණය කිරීම මගින් ඝන තාර වැනි ද්‍රව්‍යයක් සකසා ගන්නවා. ඒවා විද්‍යාගාර තත්ත්ව යටතේ අදාල පර්යේෂණයට භාජනය කෙරෙන සතුන්ගේ සම මත ආලේප කරනු ලබනවා. මෙහි අරමුණ වන්නේ උන්ගේ සම මත පිලිකාමය සහ පිලිකාමය නොවන ගැටිති වර්ධනය වෙන ආකාරය අධ්‍යයනය කිරීම.





2. 
පර්යේෂණාගාර තත්ත්ව යටතේ විශේෂයෙන් සැකසූ කුටීර තුලදී අදාල සතුන්ව සිගරට් දුමට නිරාවරණය කර තැබෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කෙරෙන්නේ පෙණහළු සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා තත්ත්ව පිළිබඳවයි.


රටහාවුන් සහ මීයන් වැනි කුඩා සත්තු, කුටීර තුළ රැඳවීමෙන් මේ සිගරට් දුමට නිරාවරණය කිරීම පහසුයි. නමුත් බල්ලන්, වඳුරන් වැනි සත්තු සම්බන්ධයෙන් තත්වය වෙනස්. ඒ නිසා ඔවුන්ගේ උගුරේ කැපුමක් යෙදීම මගින් බටයක් ඇතුළු කර ඒ හරහා සිගරට් දුම මුදාහැරීමත්, එසේත් නැතිනම් මුහුණ ආවරණය වෙන පරිදි සැකසූ විශේෂ වෙස්මුහුණු පැළඳවීමත් සිදුවෙනවා.






මෙවැනි පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ උදාහරණ දෙකක් මේ.


1. ෆිලිප් මොරිස් (Philip Morris)


සිගරට්වලට මී පැණි, සීනි, මිදියුෂ, දෙහි යුෂ, කොකෝවා, චොකලට් සහ කෝපි යනාදී ද්‍රව්‍ය එකතු කිරීමෙහි ප්‍රතිඵල පරීක්ෂ කිරීම සඳහා මීයන් දහස් ගණනක් කුඩා වීදුරු කුටීර තුලට බහා ඔවුන්ගේ නාසා තුලට දවසට පැය හය බැගින් දවස් අනූවක් පුරා සිගරට් දුම මුදා හැර තිබෙනවා. මේ මීයන් ඉන්පසු ව්‍යච්ඡේදනය කරන්නේ ඔවුන්ගේ සිරුරුවල සිදුව ඇති වෙනස්කම් පිරික්සා බැලීමට.



2. ආර්. ජේ. රෙනෝල්ඩ්ස් (R.J. Reynolds)


සිගරට් රස ගැන්වීමට අධි-ෆෘක්ටෝස් සහිත ඉරිඟු යුෂ යොදා ගැනීමේ ප්‍රතිඵල පිරික්සීම සඳහා සිගරට් දුම ඝනීභවනය කර සාදාගත් තාර මීයන් සහ හැම්ස්ටර් මීයන් දහසකගේ සම මත ආලේප කිරීමේ පර්යේෂණයක් සිදුකෙරුනා. මෙම පර්යේෂණයට අතරවාරයේදී බොහෝ සතුන් මරණයට පත්වුනේ තාර විෂ දාඅගැනීමට අපහසු වීමෙන්. ඉතිරි සතුන් බොහොමයකගේ සම ඉරී, පළුදු වී චර්ම පිළිකා හටගත්තා.


පිළිකා ගැටිති වර්ධනය නොවීමට තරම් වාසනාවන්ත වූ සතුන් බේරෙන්නට ඇතැයි ඔබ සිතනවාද? කොහෙත්ම නැහැ. ඔවුන්ව මරා, ව්‍යච්ඡේදනය කරන්නේ, නිරෝගීව සිටීමට ඔවුන් තුල ඇති විශේෂ යාන්ත්‍රණයක් ඇත්දැයි හඳුනා ගැනීමේ අටියෙන්.





මෙයින් පලක් තියෙනවාද?


ඇත්තෙන්ම දුම්කොල නිෂ්පාදන පිළිබඳව වන පර්යේෂණයන්ට සත්තුන්ව යොදෑගැනීමේ ප්‍රයෝජන ඉතා සීමිතයි. මේ සඳහා හොඳම උදාහරණය නම්, සතුන් යොදාගෙන කල මෙවැනි කෲර පර්යේෂණයන් ගණනාවකින් පසුවත් දුම්කොල සහ පෙණහළු පිළිකා අතර සම්බන්ධයක් ඇති බැව් සොයාගැනීමට පර්යේෂකයන් අපොහොසත් වීමයි.


විවිධ සත්ව විශේෂ ද්‍රව්‍යවලට දක්වන ප්‍රතිචාර එකිනෙකට වෙනස්. ඒ නිසා මිනිසුන් සිගරට් දුමායේ අඩංගු විෂ ද්‍රව්‍යවලට දක්වන ප්‍රතිචාර රටහාවුන්, මීයන් හෝ බල්ලන් තුලින් ප්‍රදර්ශණය වේ යැයි සිතීම මුලාවක්.


මේ වීඩියෝවත් බලන්න.





ඔබ උරන දුම්වැටියෙන් ඔබටත්, ඔබ අවට ගැවසෙන අයටත් ඇතිවන ජීවිත අවදානම මදකට අමතක කරමු. ඉහත කී කරුණු ගැන පමණක්ම නැවත නැවතත් සිතමු. දුම්වැටියක රමණීය ආශ්වාදය තුල ගැබ්ව ඇති අසරණ සතුන්ගේ මරණීය අඳෝනාව ඔබටත් ඇහෙනවාද? හොඳට සවන් හැර අහන්න. ඔබට ඇහෙනව නේද?





Tuesday, February 9, 2016

ආතල් ගන්නවද?





ගිය සතියේ බස්සිගෙ කොලමෙන් ගෙනාවෙ "අකාල වර්ණනාව" ගැන. ඉතින් මේ සතියෙ බස්සි කතාකරන්න හිතුවෙ 'අකාල වර්ණනාවේ' නිවුන් සහෝදරී කියලා කියන්න පුළුවන්, ඒ තරමටම හානිදායක වන 'දෙන්නං බැටේ විවේචන' ගැන.


ජීවිතේ යංග් කාර්තුව කියන්නේ අපිව අඹලා, කපලා, ඔපදමලා සිරා වැඩිහිටියෙක් විදියට සමාජෙට තල්ලු කරන්න තියෙන අන්තිම චාන්ස් එක. වර්ණනාවත්, ප්‍රශංසාවත්, විචාරයත්, විවේචනයත් මේ ක්‍රියාවලියට බොහොම වැදගත්වෙන උපකරණ. හැබැයි දැලි පිහියෙන් කිරි කන්න වගේම බෙල්ල කපන්නත් පුළුවන් බව අමතක කරන්න හොඳ නෑ!


අපි උදාහරණෙකට ගනිමු ටියුෂන් ක්ලාස් එකේ සගයෙක්. පොර අවුරුද්දක, දෙකක ඉඳන් කිසිම ක්‍රීඩාවකට සහභාගි වෙන්නෙ නෑ. බඩ පැලෙන්න කනවා. කාල බීලා ක්ලාස් එකේ පිටිපස්සෙ පේලියට වෙලා ගොරොද්දෙ ඇද ඇද නිදාගන්නවා.


සමහර එවුන් අර ළමයට 'බඩ තඩියා' කියල නමක් දානවා. ඊට පස්සෙ පොර නිදාගෙන ඉන්නකොට පිටේ 'බඩ තඩියා' කියල ලියපු කොලයක් අලවනවා. ඊට පස්සෙ ඒකෙ පින්තූරයක් අරන් ෆේස්බුක් හරි ඉන්ස්ටාග්‍රෑම් හරි අප්ලෝඩ් කරනවා. 'බඩා හෙවත් බඩ තඩියා' කියල කැප්ෂන් කරනවා. ඉන් පස්සෙ ඊට යටින් කමෙන්ටු ගණනාවකින් බනිනවා, උසුළු විසුළු කරනවා, හිනාවෙනවා.


එහෙමත් නැත්නම් පොර අමාරුවෙන් බඩ ගෙඩිය උස්සගෙන ක්ලාස් එකේ එහා මෙහා යද්දි කකුල් පූට්ටු දානවා. පාරෙ යද්දි හයියෙන් හූ කියනවා.


එහෙම අයගෙන් ඇහුවොත් ඒකට හේතුව මොකක්ද කියලා බොහොම ආඩම්බරෙන් උත්තර දෙන්නේ, "ඒ යකාව හදාගන්නයි අපි මෙහෙම කරන්නේ" කියලයි. ඒත් පොඩ්ඩක් නැවතිල්ලේ හිතන්න. ඔබ ඔය කරන දේවල්වලින්, ඔබේ රහස් කසුකුසුවලින් තවත් මනුස්සයෙක්ගේ ජීවිතයක් දිරදිරා යනවනම් ඒකට ඔබ වගකියනවද? අනුන්ගේ ජීවිත තියෙන්නේ 'දෙන්නං බැටේ ගේම්'වලින් ආතල් ගන්නද?


නමුත් සමහරු, බොහොම අඩු ප්‍රතිශතයක සමහරු ඉන්නවා එයාගෙ කරට අත දාල 'මොකක්ද මචං ප්‍රශ්ණෙ?' කියල අහන. සමහර විට 'බඩ තඩියා' ජීවිතේ එපා වෙච්ච නියුට්‍රල් මූඩ් එකෙන් ඉන්නෙ බූට් කේස් එකක් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මිනිහට අවලාද කියන එකෙක් මිනිහ ගැන ඉස්කෝලෙට කියපු බොරු කේලමක් නිසා වෙන්නත් පුළුවන්. අපි නොදන්න ගොඩක් කතා ඒ ඇතුලෙ තියෙන්නට පුළුවන්.


ඒ වගේ කෙනෙක්ට ඇත්තටම උදව් කරන්න. ඌව හදාගන්න ඕනෙ තමයි. පොරට තනියම උපදෙස් දෙන්න. ඔව්, තදින් කතා කරන්න. ජිම් එකට, ග්‍රවුන්ඩ් එකට එයාව ඇදගෙන යන්න. තමන්ගෙ ටීම් එකට අරගෙන පොර සෙල්ලම් කරද්දි චියර් කරන්න. ක්ලාස් එකේදි පොරට නින්ද යනකොට වැලමිටෙන් ඇනල ඇහැරවන්න.


තමන්ගේ කල්ලිය අතරෙ බැබලෙන්න හිතාගෙන තව මනුස්සයෙක්ගෙ ජීවිතේට "දෙන්නං බැටේ!" කියනවට වඩා කොයිතරම් ලස්සනද අගාධෙට වැටෙන්න යන කෙනෙක්ට අත දීලා උඩට ඇදල ගන්න එක?






Monday, February 8, 2016

වැරැද්ද? (කෙටිකතාව)





"දැන්, ත්‍රිමාන අවකාශ ප්‍රවීණතා අභ්‍යාස ගොනුවට යන්න."


ටාෂිගේ සිහින් දිගු අතැඟිලි තුඩු කඩිනමින් ක්ෂුද්‍ර පරිගණක තිරය මත එහා මෙහා ගමන් කරන්නේ සිතියම් කියවීම, ද්විමාන සටහනක් මනැසින් ත්‍රිමානව දැකීම ආදී අනුමාතෘකා යටතේ ගොනු වූ ප්‍රශ්නෝත්තර රැසක් තිරය මත දිගහැරෙන්නට විය. අනුප් තම දෙනෙත විවේක ගන්වා තිබුණේ ෆ්ලොරොසෙන්ට් ආලෝකය වැද දිලෙන ටාෂිගේ පිරුණු දෙකම්මුල් මතය. ඔහුගේ නිල් පැහැති අක්ෂි කාච හරහා වරින්වර පිටතට විහිදෙන අමුතු දිලිසුමකි.


"ඔක්කොමත් හරි. මට අමාරුම කාර් එක පිටිපස්සට පදවන එක." ටාෂි තඹ පැහැ කෙස්ස දෙපසට පද්දමින් යටිතොල පිට පෙරළන්නීය. "සමාන්තරව ඉරි පැහැදිලිව ඇඳ තියෙද්දිත් මග වරද්දාගන්න එක මෝඩයි නේද?"


"මම හිතන්නේ මට ඔයාට ඒ ගැන උගන්වන්න පුළුවන් වේවි." අනුප් වහවහා පරිගණක තිරය හරහා දෙනෙත් ඉහළ පහළ දුවවමින් කීය. 

"බොහෝවිට අද හවස?"


* * * * *


ක්‍රිස්තු වර්ෂ දෙදහස් එකේදී නෙදර්ලන්තය විවාහ නීතිය හරහා තැබූ ඉදිරි පියවර ඔස්සේ වසර කිහිපයක ඇවෑමෙන් බෙල්ජියම, ප්‍රංශය මතු නොව එංගලන්තයද පසු ගමන් යන්නට වූයේ සමාජ විප්ලවයක පුරෝගාමීන් ලෙස ඔල්වරසන් හඬ මැදිනි. බර වාහන රියැදුරුවරියන්, නාවුක ඉංජිනේරුවරියන් සහ ඉදිකිරීම් ශිල්පිනියන්ගේ ප්‍රතිශතය එන්න එන්නම ඉහළ යන්නට වූ අතර ඊට සමගාමීව රූපලාවන්‍යාගාරවල, සූපවේදී පුහුණු පාසැල්වල, පෙහෙකම්හල්වල පුරුෂ නියෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ යන්නට විය. 


සියල්ලෝම අළුත් තත්වය ගැන වඩාත් තුටුපහටු වන්නට වූයේ, ලිංගිකත්වය මත පදනම්ව වැටුප් විෂමතා හඳුන්වාදුන් ආයතන ප්‍රධානීන් තවදුරටත් එහි නොවූ බැවිනි. ගැහැණු වඩවඩා කාර්යබහුල වූ අතර, කාන්තාමූලික ගෘහයන්හි පිරිමි, ස්වකැමැත්තෙන්ම බිම අමදින්නටත්, නැපි මාරු කරන්නටත්, අහර පිසින්නටත් රැකියාව අතහැර දමන්නට තීරණය කර තිබිණි.


අනතුර පැන නැංගේ ඉනුත් පසුවය.


අධිකතර වෙහෙස හේතුවෙන් බොහෝ ගැහැණු මානසික ආතතියට සහ විෂාදයට ලක්වීම එක්වරම එහි දක්නට ලැබිණි. මානසික වියවුල් අතර අතරමං වූ බොහෝ පුරුෂයන් අධිමාත්‍රාවලින් නිදිපෙති පානය කරන්නට යෙදුණු අතර ළදරුවා තුරුළු කරගත් වනම බැල්කනියෙන් පහළට පිනූ පියවරු ගැන දිනපතාම පුවත් පලවෙන්නට විය.


ඒ ඉතිහාසයයි. පෙළ පොත්වලින් මකා දමන්නට යෙදුණු ඉතිහාසයයි. 


* * * * *


"මම හිතන්නේ මම ඒක හොඳින් කළා." උළැඟිතා පරීක්ෂණය අවසානයේ ටාෂි හිස දෙපසට වනමින් පවසන අතර, වැඩිපුර කිරම හැන්දක් සිය අතුරුපස දීසියට වත්කර ගත්තාය. 


අනුප් සිතිවිල්ලෙනි. ඈ නිසැකවම උසස් විදුහලේ ගැහැණු අංශයට තෝරා ගැනෙනු ඇත. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මයෙන් පසු විද්‍යාලයෙන් පිටවූ පාර්වතී නෑනා ඔහුට සිහිවිය. එය හරියටම දළඹු කෝෂයක් ඉරාගෙන අලංකාර සමනලයෙක් පහළ වෙන්නා වගෙයි. තමන් පිරිමි අංශයට සුදුසුකම් ලබන බව ඔහුට සහතිකය. ඇරත්, සිතියම් කියවීමට පාසලෙන්ම දක්ෂයා තමා නොවැ!


* * * * *



දෙමාපියන් වෙන්නට කැමැති පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඇණවුම් මත ජාන තාක්ෂණයෙන් කළල නිපදවීමේ අභියෝගය ජයගෙන සියවසක් සපිරෙමින් තිබුණි. දෙමාපියන් සතු ප්‍රබල ලක්ෂණ පමණක් ඉස්මතු වන පරිද්දෙන්ද, අහිතකර නිලීන ජාන ඉවත්කිරීමෙන්ද, ලිංග භේදයෙන් තොරවද නිර්මාණය වූ එම කලලවලට ලැබුණේ බලාපොරොත්තු වූවාටත් වඩා අධික ඉල්ලුමකි.


සන්නිවේදනය, අවකාශ භාවිතය, දෘෂ්ටිය, තර්කණය සහ විශ්ලේෂණ ප්‍රවීණතාවය යනාදී විෂය පථයන් තිස් අටක් ආවරණය කෙරෙන පාසැල් අධ්‍යාපනයෙන් පසු අවුරුදු දහ හතර සපුරන ළමෝ තරඟ විභාගයට වාඩි වෙති. එහිදී එක් එක් විෂයයන්ට දක්වන ප්‍රවීණතාවය සංකීර්ණ ඇල්ගොරිතම කිහිපයක් අනුසාරයෙන් විශ්ලේෂණය කරන ලදුව, උසස් විද්‍යාලයේ ගැහැණු සහ පිරිමි අංශ වෙත සිසුහු යොමු කෙරෙති. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මය සියලුම පුරවැසියන් සතු සමාජ වගකීමක් ලෙසින් හඳුන්වනු ලබන අතර උසස් විද්‍යාලයේ අධ්‍යයන සමාසිකයන් හයෙන් පහක්ම වෙන්වූයේ තමා විසින් උපයාගත් ලිංගිකත්වය හා බැඳුණු වගකීම් අවධාරණය කිරීම වෙනුවෙනි.



* * * * *


"පිරිමියාගේ ජෛවීය විද්‍යාත්මක කාර්යභාරය" 

ප්‍රක්ෂේපණ තිරය මත විසල් නිල් අකුරෙන් ලියැවී තිබුණි. දේශන ශාලාව තුළින් සිහින් ඩ්‍රම් වාදනයක් අතරින් පතර නැගුණ අතර ආචාර්යවරයාගේ නොරිස්සුම් බැල්ම හමුවේ එය තත්පර කිහිපයකට යටපත්වන්නට යෙදුණි. අනුප් සිය නිදිමත බේරෙන දෙනෙත ඩෙස් පේළි අතර එහා මෙහා ඇවිද්දවන්නට වූයේ හඬ නොනැගෙන සේ ඈනුමක් යවමිනි.


ටාෂි ඉදිරිපස ඩෙස් පේළියේ වාඩිගෙනය. 
ඉතා උනන්දුවෙන් සිය දෙනෙත තිරය මත අලවාගෙනය. 
ආචාර්යවරයාගේ මුවින් ගිලිහෙන වචනයක් පාසා සිය රෙකෝඩරය තුළට උරා ගනිමින්... 
අහා! 
ඔහු තවදුරටත් ටාෂි නොවේ, 
ටෙරන්ස් ය.


අඩක් විවර වූ දොරෙන් හමා ආ සුළං රැල්ලක් ටෙරන්ස්ගේ තඹ පැහැති කෙටි කෙස්ස අවුල් කරන්නට විය. අනුප්ගේ දෙඇස තුළ සටහන් වූයේ සුපුරුදු දිලිසීමයි. මනා සේ සැලසුම් කරන ලද දෙසුම, ඔහුගේ සවන් තුළට නොබැසම, හිස දෙපසින් ගලා යන්නට විය. ටෙරන්ස් මද තිගැස්මක් සහිතව හැරී බලන්නේ, සිය පිරුණු දෙකම්මුල් රත්පැහැයට හැරෙත්ම එක් ඇසක් පියා ඉඟිකර ඉවත හැරුණේය.



* * * * *


මානව පරිණාමයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කල ඒ ආශ්චර්යවත් විද්‍යාත්මක සොයාගැනීමට වසර සියයක් සපිරීම නිමිතිකොට ගෙන 'Project-XY'හි විද්‍යාඥයන්ගේ වාර්ෂික මහා සමුළුව උත්සවශ්‍රියෙන් බැබළෙමින් තිබිණි. "ඒ මහා වරද නිවැරදි කිරීම වෙනුවෙන්!" සියල්ලෝ තම තමන්ගේ බීම වීදුරු ඉහළ නගා සව්දිය පිරූහ.


උසස් විදුහලේ පිරිමි අංශයේ පාළු විද්‍යාගාරයක් පිටුපස අනුප් සහ ටෙරන්ස් අතොරක් නැතිව සිපගනිමින් උන්හ!









Saturday, February 6, 2016

කෝලම්කාර නානකාමර කැඩපත





වීසිකර දැමිය යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
කෝලම් රටා අඳින හද බිතු මත


හිසකෙස් අතර මුතු හාරිච්චි පළඳවන
හසරැල් විලට දඟ රන් මාළු අතහරින
ඇස තෙත් කරන සෙවණැලි අඳින - යලි මකන
මුසපත් හදට නියගින් අනින - සිහි කැන්දවන


කීතු කර දැමිය යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
අඳුරු ලප තියා නික්මෙන කොපුලත


හැත්තෑව දශකේ ප්‍රේම ගී සුගැයෙන
නැත්තේ සැකක්, සංවාද මණ්ඩපයන් මැවෙන
ඇත්තේ වචන වීදුරු මතින් දිය ඇලි ගලන
පත්තෑ හිසක් දැක තත්පරෙන් පොළවට වැටෙන


මිටිගුලි පහර දිය යුතු
කැබැලි කුඩු කුඩු කල යුතු
කෝලම්කාර නානකාමර කැඩපත
කුණු ගොඩට පිටුවහල් කල යුතු!!



Wednesday, February 3, 2016

පට්ටයි! සුපිරි! එලටම කලා!





අපි කරන හැම දේටම “පට්ටයි මචං!”, “එලකිරි සමග ජලය මචං!”, “සුපර්බ් බ්‍රෝ, කියලා වැඩක් නෑ.” වගේ ප්‍රශංසා ලොරි ගණන් ලෝස් නැතුව අතහරින අය ගැන බොහොම වෙලාවට අපේ හිතේ ඇතිවෙන්නෙ පැහැදීමක්. හැබැයි, වැරදි දැක දැක “වෙල් ඩන් මචං!” කියාගෙන පිටට තට්ටු කරන අකාල වර්ණනාවට පුළුවන් අපේ ටැලන්ට්ස් හප කරල දාන්න. 


මේ දවස්වල ෆේස්බුක්, ට්විටර්, ගූගල් ප්ලස් විතරක් නෙමෙයි බ්ලොග් අවකාශයෙත් කරක් ගහන සුපිරි තරු තරඟෙක, රැඩිකල් තරඟකාරියකගේ වීඩියෝවක් තියෙනවා ඔයාල සමහරවිට දකින්නත් ඇති. සමස්තයක් විදියට බස්සිට කතාකරන්න, මුණගැහෙන්න, අදහස් හුවමාරු කරගන්න ලැබෙන කුලකයේ උදවිය කියන්නෙ කොයිතරම් දක්ෂ ගායිකාවක් වුනත් අදාල පර්ෆෝමන්ස් එකේදි එයා ෆේල් කියලයි.


ඔන්න දැන් අපි එනවා පොයින්ට් එකට. ඒ පර්ෆෝමන්ස් එකේ අඩුපාඩු පෙනි පෙනි, අර ස්ටාර් තරඟයෙ ජජ් පැනල් එක නැගිටලා ඔල්වරසන් දෙනවා “පට්ටයි! බ්‍රාවෝ! සුපිරි! එලටම කලා!”වගේ මෙකී නොකී දාහක් කතා කියමින්.


උගත් සහ ප්‍රවීණ විනිසුරු මඬුල්ලක් විදියට ඒ අය ඒ වෙලාවෙ අදාල ගායිකාවට කලේ පට්ට අසාධාරණයක් කියලයි මටනම් හිතුනෙ.


හිතන්නකො අපි තමයි ඒ වේදිකාවෙ හිටියෙ කියල, අපිට ඒ වගේ ප්‍රතිචාරයක් ලැබෙනවා කියන්නෙ අපි අදාල වැරැද්ද දිගින් දිගටම කරන්න පෙළඹෙනවා කියන එකයි. අන්තිමේ වැරදි ට්‍රැක් එකේ හයි ස්පීඩ් ධාවනය කරලා අපිටවත් නොදැනි අපේ ටැලන්ට් එක අම්බ්‍රෙල්ලා පව්ඩර් හෙවත් කුඩේ කුඩු වෙලා යනවා.


ජීවිතේ කියන්නෙත් අපි නන්ස්ටොප් රඟපාන වේදිකාවක් නෙව. ඉතින් මම මේ කියන කතාව ජීවිත ගමනේ හැම මංසන්ධියකටම අදාලයි.


තව දෙයක්. ඔයාගෙ යාළුවෙක් හෝ උපදෙස් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් අර ස්ටේජ් එක උඩ නැගලා සින්දු කියන තරඟකාරියගෙ තැන ඉන්නකොට, ඔයා ඉන්නේ ස්ටේජ් එක පාමුල ජජ් පැනල් එකත් එක්ක කියල හිතමු. එහෙම අවස්ථාවලදි නොපැකිලව කනට ගහන්නා වගේ ඇත්ත කතා කරන්න. හොඳ නරක දෙක ප්‍රසිද්ධියේ බැරිනම්, පෞද්ගලිකව හරි අදාල පුද්ගලයාට දැනුම් දෙන්න. 


හැබැයි මේ වැඩේ කරන්න ඕනෙ “දෙන්නං බැටේ” මානසිකත්වයෙන්, හැකියාවක් ඔප් නංවා ගන්න කට්ට කන මනුස්සයෙක්ගේ හොම්බ තලලා පොලවට සමතලා කරල දාන චේතනාවෙන් නම් නෙමෙයි. එයාව යහපත් මාර්ගයට යොමු කිරීමේ අරමුණින්.


එතකොට අර තරු වැඩසටහනේ තරඟ කරපු ගායිකාව? අපි හොඳ අතට හිතමු. එයාව වේදිකාව උඩදි අපහසුතාවයට පත් නොකර හොඳ කියපු ජජ් පැනල් එක පෞද්ගලිකව එයාගෙ දුර්වලතා පෙන්වා දුන්නායැයි අපි හිතමු. අපි එහෙම හිතමු. අකාල වර්ණනාවලින් බේරිලා අනිත් අයවත් හැකි තරමින් බේරාගනිමු.




ප.ලි.


මේ කියන ගායිකාව ගැන අපේ රසිකලොජිස්ට් පෝස්ටු දෙකක්ම දාලා තිබුනා.


බස්සිගෙ කොලම කියවන්න, හැම අඟහරුවාදාම මවුබිම යං අතිරේකය බලන්න.




Sunday, January 24, 2016

අනුකම්පා විරහිත විහිළුකාරයෙක් (කෙටිකතා)





දකුණතේ මැණික් කටුවට පහළින් සැරින් සැරේ කොනිති ගහන රිදුමක්. ඔහුගේ අත් ඔරලෝසු මූණත මගේ අතේ රවුම් සලකුණක් අඳිමින් ඉහල පහල යනවා. ඔහු පළඳින්නේ සමාගම ලවා මද වෙනස්කම් කිහිපයක් කරවාගත්, මිල අධික, සන්නාමගත අත් ඔරලෝසුවක්. මේ රවුම් අඳින්නේ එහි මුහුණත වටා ඇති සියුම් කැටයම් සහිත රන් රාමුව. රත්රන් වුවත් සමහරක් වෙලාවට වේදනා ඇතිකරවන සුළුයි.


මේ මම ඉහල බලා ඉන්නා වෙලාව. අතරින් පතර පෙණහළු පුම්බා හුස්ම අරන් තෘප්තිමත් ගැහැණු හඬවල්  මුදා හැරීම හැරෙන්නට මේ වෙලාවට මට කරන්නට වෙනත් දෙයක් නැති තරම්. ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකගේ තරමටම නම්‍යශීලී මගේ සිරුර මේ වගේ පිහාටු මෙට්ටයක් උඩ අලසව කිඳාබැහැලා තිබීමම එක්තරා විදියක අපහාසයක්. ඔන්න ඔහු මගේ වම් පියොවුර වැරෙන් විකනවා. මේ ශක්තිය එක්තැන් කරගැනීමේ විරාමයක්. නමුත් ඔහු අකැමතියි විවේකගන්නා බව පෙන්වන්න. ඔහු කැමති අසාමාන්‍ය බලය මුදාහැරීමකට. මේ වෙලාවට ගැලපෙන්නෙ වේදනාත්මක කෙඳිරිල්ලක උච්ච ස්වර. එයින් උද්‍යෝගිමත් වෙන ඔහු ආයෙ ආයෙමත් වැර යොදා විකනවා. මා එයින් පීඩා විඳින බව නොපෙන්වා ඉඳීම පමණක් ප්‍රමාණවත්. 


ඔහුගේ විශාල, එල්ලාවැටෙන උදරය මා මත වැතිර ඉහල පහල ඇතිල්ලෙමින් පවතිනවා. නගරාධිපතිවරයෙක් වෙන්න මූලිකම සුදුසුකම එල්ලා වැටෙන උදරයත්, රැලි සහිත කෙටි බෙල්ලත් වෙන්නට පුළුවනි. මැදිවියේ අවසන්භාගයට එළඹෙමින් සිටින ඔහුගේ හුස්මෙන් නැගෙන්නේ නාකි ගඳක්. ඔහුගේ ආශ්වාස ප්‍රාශ්වාස රිද්මයටම අනුගත වීමෙන් ඒ අපුල දනවන ප්‍රාශ්වාස වාතය නැහැපුඩු ඇතුලට ඇදී ඒමේ සම්භාවිතාවය අඩුකරගන්නයි මගේ වෑයම. කොයි හැටි වෙතත් අනිත් හැම නගරවාසියෙක්ම දන්නා පරිදි නගරාධිපතිවරයාගෙ හුස්මට පවා අනුගතව, යටහත්ව සිටීමෙන් ජීවිතය පවත්වාගැනීම පහසු කරනවා.


දැන් ඔහු කබල් මොටෝරිය ඇංජිමක් වගේ හුස්ම ඉහල අදිමින් දෝලන වේගය වැඩිකරනවා. ක්ෂණික ගැස්සීම් කිහිපයක්. ඉන්පසුව ඔහුගෙ මේද බහුල තල්මස් සිරුර මා මතට කඩාහැලෙනවා. ලිංගික එක්වීමක ජෛවවිද්‍යාත්මක අරමුණු තුට්ටුවකට මායිම් නොකරන නිෂ්ඵල ව්‍යායාමය අවසානයේ ඔහු මගේ වම් කන ගාව හතිහලනවා.


ඔව්. මම 'ලිංගික එක්වීමක ජෛවවිද්‍යාත්මක අරමුණු' ගැන ඉගෙන ගත්තේ ජීවවිද්‍යා පන්තියේදි. ඒ අපේ පාසැලේ උසස්පෙළ විද්‍යා පන්ති පටන්ගත් අළුත. පාසැල් විද්‍යාගාරය විවෘත කිරීමේ උළෙලේදි වඩා තරුණව හා ප්‍රසන්නව, සුදෝසුදු ඇඳුමකින් බැබලෙමින් ඔහු පැමිණ සිටි දවස මට හොඳට මතකයි. ජවසම්පන්න ආරක්ෂකයන් අට දෙනෙක් ඔහුව වටකරගෙන ඉන්නා අතරම ඉඳහිට වැඩුණු සිරුරැති පාසැල් කෙල්ලන් දිහා කෑදර බැලුම් හෙලමින් උන්නා.


'මේ ඉන්නේ අපේ රටේ අනාගතය දරා ඉන්නා දොස්තරවරු!' ඔහු කීවේ එහෙම.



****************************



"ශකිලා උඹ දොස්තරෙක් වෙන්න ඉගෙනගන්න කෙල්ලක්. උඹට ගැලපෙන්නෙ කොහොමද  හිමකිරම විකුණන කැහැටු කොල්ලෙක්?"

"අඃ?"

"උගේ අක්බඹරු හිසකේ අමතක කරපන්. උඹ හැමදාමත් ගෙනාවෙ දෙපයින් හිටවන්න බැරි මෝඩ තර්ක."


ඒ කාලෙ අපි හැමෝම හිතුවෙ අනාගතය කියන්නෙ රතු පලසක් දිගේ නහයට කෙලින් බලාගෙන කිරිගරුඬ මන්දිරයකට යන බොහොම පහසු ගමනක් විදියට. නෑදෑයෝ, අසල්වැසියෝ විතරක් නොවෙයි, ගුරු මණ්ඩලයත් කියා හිටියේ එහෙම. නගරාධිපතිවරයා විසින් විවෘත කරපු විද්‍යාගාරයේ අළුත් තීන්ත පුසුඹට ඉව අල්ලමින් ගෙම්බන් ව්‍යච්ඡේදනය කිරීමත්, උන්ගේ ආහාර ජීරණ පද්ධතිය දිහා බලාගෙන වෛද්‍ය විද්‍යාලය ගැන සිහින දැකීමත් විතරයි අපිට ඉතිරි වෙලා තිබුනෙ.


"මතීෂ, අපි මේ සම්බන්ධය නවත්තමු." උසස්පෙළ පන්ති පටන් අරන් මාස දෙකක් ගතවුන තැන මතීෂගේ හිමකිරම හල ඇතුලෙදි මම හිස කෙලින් තියාගෙන උදාරම් ලීලාවෙන් ඔහුව ප්‍රතික්ෂේප කලා. මතීෂ බලන් උන්නේ දියවෙමින් පැවතුන ස්ටෝබෙරි අයිස්ක්‍රීම් ගුලිය ඇතුලට කිඳාබහින චෙරි ගෙඩියක් දිහා.


"ඇයි?"


"මම ඉගෙනගනිමින් ඉන්නේ වෛද්‍යවිද්‍යාලෙට යන්න. දැන්ම වෙන්වෙන එක පහසුයි. නැද්ද?"


ඔහු වීදුරුව මත බැඳුන ජලවාෂ්ප තට්ටුව හරහට දබරැඟිල්ලෙන් ඉරක් ඇන්දා. පුරුදු විදියටම චෙරි ගෙඩිය නටුවෙන් අරගෙන මගේ පීරිසිය උඩින් තිබ්බා.


"මම උසස් විදුහලේ ශිෂ්‍යාවක්. චෙරි ගෙඩියකට රැවටෙන කෙනෙක් නෙමෙයි."


ඔහු බොහොම හෙමින් චෙරි ගෙඩිය දෙතොලට තියා තදකරගෙන වරක් මා දිහා බැලුවා. ඉන් පස්සෙ ඒක හක්කට තදකරලා හඬ නැගෙන්න 'චරස්' ගාලා හැපුවා. ඇතුලට ගිලාබැහැපු කම්මුල්වලින් ඔහුගේ හනු කිටිකිටියේ තදවෙනහැටි බලන් ඉඳලා මං ආපහු ආවා. එච්චරයි.


නගරාධිපතිවරයාගෙ සීතල උරබාහුව මගේ කම්මුලක් තදකරගෙන පැත්ත වැටිලා තියෙනවා. එය මෘදුයි. එල්ලාවැටෙන සුළුයි. මම වැඩිපුරම කැමති වුනේ වගීසගෙ ශක්තිමත් උරබාහුවලට. ලා දුඹුරු පැහැ සමට යටින් සුනම්‍යව ඒ මේ අත ගමන් කරන දැඩි මස්පිඬුවලට පුළුවනි මාව ඕනෙ අතකට වැනෙන ජෙලි පුඩිමක් බවට පත්කරන්න.


වගීස විද්‍යා පන්තියේ පළමුවැනියා. දක්ෂයා. පුළුල් නළල්තලයක් හිමි බුද්ධිමතා. ඒ මගේ හොඳම තෝරාගැනීම බව හැමෝම හිස වනා අනුමත කලා. ඔහුට පුළුවනි හීනෙනුත් අස්ථි හා පේශි පද්ධතිය අකුරක් නෑර නම් කරන්න. අමතර පංතියක් මගහැරලා ලැගුම්හලක පුස්ගඳැති ඇඳක තුරුළුවෙලා ඉන්න අතරෙත් ඔහුට පුළුවනි මට D - ගොනුවේ මූලද්‍රව්‍ය ගැන උගන්වන්න. වගීස පළමු වතාවෙම වෛද්‍යවිද්‍යාලයට තේරුණ එක අවිවාදිතයි. ඒත්,


"මම ඉගෙනගනිමින් ඉන්නෙ වෛද්‍යවරයෙක් වෙන්න. තේරුම්ගන්න ශකිලා. දැන්ම වෙන්වෙන එක පහසුයි, අපි දෙන්නාටම. නැද්ද?"



****************************



ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ වාට්ටු ගඳත්, ලෙඩ්ඩුන්ගේ කෙඳිරියත් උහුලන්න තමන් කරන කැපකිරීමේ තරමට රජයෙන් ලැබෙන වේතනය නොසෑහෙන නිසා වගීස දැන් "මතීෂ් මෙඩිකෙයා" පෞද්ගලික රෝහලේ මාසෙ පඩියට වැඩ කරනවා. හිමකිරම හලට එහායින් 'ෆාස්ට් ෆුඩ්' අවන්හලකුත්, ඉන් පස්සෙ අවන්හල් සංකීර්ණයකුත් පටන් ගත්ත මතීෂගේ අළුත්ම ආයෝජනය වුනේ මේ පෞද්ගලික රෝහල.


ඒක දෛවයේ සරදමක් කියලා සමහරු හිතන්නත් පුළුවන්. හැබැයි මම අවසාන නිගමනවලට එළැඹෙන්න ඉක්මන් වෙන්නෙ නැහැ.


නගරාධිපතිවරයා තමන්ගේ තල්මස් ශරීරය උඩුබැලි අතට පෙරලනවා. ඔහු කැමති උඩුබැලි අතට අතපය විහිදුවාගෙන නිදාගන්න. බූවල්ලෙක් වගේ හැමතැනම අඬු විහිදුවන්න. නගරයේ හැම අස්සක් මුල්ලක් නෑරම අධිකාරීත්වය පතුරවන්න. වැඩකරන ජනතාවගේ හැම කුඩා දහදිය බිංදුවකින්ම කොටසක සාරය තමන්ගේ බැංකු ගිණුමට උරාගන්න. ඒ නිසාමයි ඔහු අළුත් පෞද්ගලික රෝහලේ ප්‍රධාන කොටස් හිමියා වුනේ.


මම වම් ඇලයට හැරිලා නගරාධිපතිවරයාගෙ උදරය මතින් කකුලක් දමාගන්නවා. ඔහු තමන්ගේ බිරිඳට අප්‍රමාණ භයයි. ඒ නිසාම, කුඩා සුළිකුණාටුවක් වගේ ඕනෑම මොහොතක ඔහුගේ කුටුම්භය මතට පතිත විය හැකි මා ගැන ඔහු බොහොම සැලකිලිමත්.


"ශකිලා මගෙ ආදර කෙල්ල, කියපන්. උඹට ඕනෑ මොනවද?" 


දෛවය කියන්නේ අනුකම්පා විරහිත විහිළුකාරයෙක්. අවසන් නිගමන කියා දෙයක් නැහැ. දැන් උසස් විද්‍යාලයේ ඉගෙනගන්නා ළමයිනුත්, කාලෙකට පස්සෙ ඒ ගැන අවබෝධ කරගනීවි. සමහරවිට අනවරත දිවිල්ලකින් හති වැටිලා රතු පලස මත ඇදවැටෙන්න මොහොතකට කලින්.


නගරාධිපතිවරයාගෙ ගෙරවිල්ලෙ සද්දෙ තමයි උහුලාගෙන ඉන්න අමාරු එකම දේ.