ඒ ශාරදයේ මැදියමකි. දෙනෙතු පිය විවර කල නමුත් ස්වප්නය පහලට ගලායමින් පවතියි. මිහිදුම පොරෝණාවක් මෙන් මා වසා වැතිරගෙනය. සිහිනයෙන් සවන් විත පුරා ඇදහැළුණු සුමධුර සංගීත රාවය එකදු ස්වර බිඳීමකුදු රහිතව, එකදු ස්වරමාන ගැටීමකුදු නොමැතිව, දියපෙතක් සා සුනම්‍යව මා වටා ගලා යයි. මම ආයාසයෙන් ගෙල වමට, දකුණට, නැවතත් වමට පෙරල පෙරලා බැලීමි. මේ පියවියයි.
ඒ සංගීත රාවය ‘එන්න, එන්නැයි’ අඬගසන්නාක් වැනි. ‘ඔට්ටු දෙන්නම් මා අල්ලාගන්නැයි’ පවසා පෙනෙන නොපෙනෙන මානයේ සැඟව ඉන්නාක් වැනි. ‘පැමිණ මා උරා ගන්නැයි, වැළැඳ ඒ තුල ගිලිගිලී යන්නැයි’ පොළඹවන්නාක් වැනි. ‘පොද වැස්සක්ව සිහින් දිය තුඩු කොපුල් මත ඇන අස්වසන්නෙමැයි' පිළිණ දෙන්නාක් වැනි.
මම බරැති ලොම් බ්ලැන්කෙට්ටුව තුලින් ලිස්සා දෙපතුල් රතු සිමෙන්ති පොළව මත්තේ තද කලෙමි. දුහුල් රෑ ඇඳුම පවා සසල වන තරම් ආවේගශීලිව ශීතල මා වෙලා ගත්තෙන් හීගඩු නැගෙන්නටද, රෑ ඇඳුම වෙව්ලුම්කන්නටද වී.
ඒ හඬ හඹා යා යුතු!
වළා පෙරහන්කඩින් පෙරි පෙරී ඇදහැලෙන සඳ එළිය ගෘහෝද්‍යානය මත ඇතිරූ රිදී ඇතිරිල්ලක් වැන්න. සිසිරය ලඟ ලඟම එන බැව් සන් කර වරින් වර ශීතල සුලං කැරලි නිරාවරණය වූ උරබාහු මත කෙලිසෙල්ලමට මෙන් හැපී දඟ පා, කෙහෙ කැරැල්ලක් අවුස්සා ඉහළ නැගෙයි. තුරු පත්හි සිරිසිරිය පවා සංගීත රාවය තුල කිමිද සැඟවී අතුරුදන් වූවා වැන්න. හාත්පස ඒ සා නිශ්චලය. ඒ සා නිදහස් ය.
උද්‍යානයේ වම් අන්තයේ පැන නැඟි සුවිසල් ඕක් ගසකි. ඒ අභ්‍යන්තරයෙන් විහිදෙන ආලෝක දහරකි. සඳ ඕක් පත් අතර සැඟවගෙන ය. ඕක් පත් අගිස්සෙන් කිරණ විහිදුවමින්ය. රිදී ඇතිරිලි වියන ඇරඹෙන්නේ එතැනිනි. ස්වර ඇල්ල උපදින්නේද එතැනිනි.
අඳුරට හුරුපුරුදු වූ දෙනෙතු මත ඕ එක්වරම ප්‍රාදුර්භූත වූවාය. ඕ තෝමෝ ඕක් අත්තක් මෙන් සිහින් ය. හැඩ ඇතිය. ඕක් කඳ පාමුලින්, ඈ තුලින්, බුබුළු දමමින් නැගී ආයේ වීණා නාදයකි. නටු අගින් ගිලිහුන ඕක් පත් ඈ වටා සර්පිලාකාරව සුළි කැරකෙමින් රඟන්නට වූයේ කුඩා සමනලුන් අහිනක සිරි කැඳවමිනි.
මට ඒ සැබෑ ඕක් පත්‍රදැයි අතගා බලන්නට ඕනෑ විය. එ'තුල යම් මායාමය බලයක් ගැබ්ව ඇත්දැයි දිව ගා බලන්නට ඕනෑ විය. වෙණ නද හා අනුනාද වෙමින් පොපියන ඇගේ රත් දෙතොල යන්තම් සපා බලන්නට ඕනෑ විය. වියරු සුළඟක් වන්ව සසැලෙන ඇගේ කිරි පැහැ බාහුව මත මුදු චුම්භන සතක් පතිත කරන්නට වුවමනා විය.
නමුත්;
මගේ දෙපා අකීකරු ඕක් මුල්වලින් තදින් වෙලාගෙනය.
විළුඹ වටා සිහින් මුල් විලංගු ලා ගෙනය.
පත් මතින් පෙරී ආ සඳ දිය ඇගේ මුහුණ මත ඇදහැලෙන්නට වූයෙන් ඇගේ දෙකොපුල් සුදුමැලිවන'යුරු, දෙබැම වේදනාවෙන් ඇඹරෙන'යුරු පැහැදිලිව පෙනෙන්නට විය. වීණාවෙන් උපන් හැඟීම් ඈ වතෙහි චිත්‍රණය වන බව ඒකක්ශණයෙන් මට පසක් වන්නට වී. පිළිවෙලින් සතුටද, ප්‍රමෝදයද, තැතිගැන්මද, අධිකතර ශෝකයද, රාගය සහ ක්‍රෝධයද ඈ වතෙහි ඇඳී මැකී යන්නට විය. මම මදක් ඉදිරියට, ඕ වෙතට, නැමී ගෙල දිගු කලෙමි.
ඈ වයමින් උන්නේ සිය හදවතයි. ලය හරහා තදින් ඇද ගැටගසන ලද රුධිර නාල, ස්නායු පොදිති දහස් ගණනක් හරහා වියරුවෙන් මෙන් ඒ මේ අත ගමනේ යෙදුනු ඈ සුරතෙහි වීණා අළුව වෙනුවට කිටිකිටියේ සිරව තිබුනේ මුවහත් පන්හිඳකි.
එහි රුධිරයද, කඳුළුද විය.
සෙම්, සොටු සහ කෙළ පිඬු ද විය.
පන්හිඳ වැදී ඉරීගිය මස් වැදැලිද විය.
ඕක් පත් කුඩා සමනලුන්ව ඇගේ හෘද සංධවනියේ ස්වර ඛණ්ඩ සිය පියාපත් මත රුවාගෙන සර්පිලාකාරව ඉහළට, ඉහළට, තවද ඉහළට එළැඹ ගත්හ. උතුරට, දකුණට, නැගෙනහිරට සහ බස්නාහිරට ඉගිල ගියහ. වයඹට, නිරිතදිගට සහ ගිනිකොණ දෙසට ඉගිල ගියහ. නමක් නැති, නිමක් නැති දිසාවන් සොයසොයා ඉගිල ගියහ.
ඉනික්බිති වැසි වසින්නට විය. ගල්, බොරළු, වැලි වසින්නට විය. සමනල්ලු එකා දෙන්නා මියෙන්නට, පියපත් සිඳී ඇදවැටෙන්නට විය.
වීණා නාදය අනවරතව, වඩ වඩා සුනම්‍යව නැගී ආයේය. ඕක් තෙම වඩ වඩා පත් හලා ඒ මත පියපත් පැළැන්දීය. සමනල්ලු වඩ වඩා ඉහළට, වළාකුළු මතුයෙන් තවද ඉහලට ඉගිල යන්නට විය.
ශීතල තවද දැඩි විය. කඳුළු පොඩිති මිදීමෙන් චන්ද්‍රකාන්ත පාෂාණද, රුහිරු බිඳිති මිදීමෙන් පද්මරාගද, සෙම් කැටිති මිදීමෙන් පුෂ්පරාගද උපනි.
හෘද ගීතය එකදු ස්වර බිඳීමකුදු රහිතව, එකදු ස්වරමාන ගැටීමකුදු නොමැතිව, දිගින් දිගටම රැලි සරැලි නංවන්නට විය.









