වැලන්ටයින්ස් ඩේ එක, එහෙමත් නැත්නම් පෙම්වතුන්ගේ දවස පහුවෙලා දවස් දෙකකුත් ගතවෙලා. පෙම්වතුන්ගේ දවස අපේ සංස්කෘතියට තරමක් ආගන්තුකයි. අපේ වැඩිහිටි පරම්පරාවේ සමහරු පෙම්වතුන්ගේ දිනය හඳුන්වන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය කාබාසිනියා කරන්න ආපු පරදේසක්කාර සිරිතක් කියලා. ඇත්තටම ඒක එහෙමද? මම නම් ඒ කතාවට එකඟ නෑ.
ඇස් ඇරලා පොඩ්ඩක් අපි අවට බැලුවොත් පෙනේවි, අද කාලෙ හොයාගන්න අමාරුම දෙයක්, ලබාගන්න දුෂ්කරම දෙයක් තමයි ආදරේ කියන්නෙ. මොන්ටිසෝරි යන පොඩි එකාගෙ ඉඳන්, රිටයර් වෙච්ච ආච්චිලා සීයලා දක්වාම, හැමදෙනාම නමක් නැති, නිමක් නැති රේස් එකකට වැටිලා උදේ ඉඳන් රෑ වෙනකම් දුවනවා දුවනවා දුවනවා. ඉතින් කෝ ආදරේ කරන්න වෙලාවක්? ආදරේ ලබන්න වෙලාවක්?
ඒ අතින් බලනකොට, ආදරේ හිඳිච්ච ලෝකෙක, අවුරුද්දට දවසක් හරි ආදරේ ගැන කතා කරන එකම කොයි තරම් වටින දෙයක් ද?
අපේ රටේ ආදරවන්තයන්ගේ දිනය කියන්නේ කොටුවෙච්ච, හිරවෙච්ච, රාමුවෙච්ච සංකල්පයක්. ආදරවන්තයන්ගේ දිනය ඉස්කෝලෙ දවසක වැටුනොත් විනය කමිටුවෙන් පැනලා පොත් බෑග් චෙක් කරනවා. නිදහස් උද්‍යානවලට විසිල් බෙල්ලේ එල්ලාපු ආරක්ෂකයො බහිනවා. මුහුදු වෙරල දිගට පොලිස් නිලධාරීන් ඇවිද ඇවිද ආදරේ පොලීසියට කුදලගෙන යන්න මාන බලනවා.
ඉතින්, ආදරේ පහලවෙන්න පටන්ගන්න වයසේ ඉඳන්ම, ආදරේ කියන්නේ 'බරපතල වරදක්' බව හිතන්න පුරුදු කරපු පරම්පරාවක්; රොබෝ පරම්පරාවක් බිහිවීමේ අවදානම කරපින්නාගෙන අපි සංස්කෘතිය රැකගත්තා කියල උදම් අනනවා.
අපිට මෙතනින් එලියට එන්න බැරිද? ආදරවන්තයන්ගේ දිනය, අවිවාහක පෙම්වතුන්ට සීමාවුන දිනයක් කියලා හිතන්නෙ ඇයි? මේ තහංචි, සීමා, වැටකඩුළු සේරම උපදින්නේ එතැනින්. ආදරවන්තයන් කියන්නේ අපි ආදරේ කරන අය. මම මගේ තාත්තට, අම්මට, ගුරුවරුන්ටට, යාළුවන්ට ආදරෙයි. සහෝදර සහෝදරියන්ට, දුවට, පුතාට, අසල්වැසියන්ට ආදරෙයි. ඉතින් ඇයි අපිට බැරි එකම ආදරවන්තයෝ සමූහයක් විදියට ආදරේ දවස සමරන්න?
රතු රෝස මලටයි, චොකලට් පෙට්ටියටයි, හාට් එකක් බදාගෙන ඉන්න ටෙඩිබෙයාටයි ආදරේ සීමා කරන්නේ ඇයි? ආදරේ වෙනුවෙන් අපිට කරන්නට පුළුවන් දේ, මුදල්වලින් මනින්නට බැරි තරම් වටිනා දේ බොහොමයි.
ඉතින් ශ්‍රී ලාංකීය සංස්කෘතිය කාබාසිනියා කරනවා කියන ආදරවන්තයන්ගේ දිනය අපි අපේ රටට ගලපා ගනිමු. අපේ රටට ආදරේ තදින්ම අවශ්‍යයි. පෙම්වතුන් අතර විතරක් නෙමෙයි. ජාතීන් අතරට ආගම් අතරට, කුලගෝත්‍ර අතරට, මෙකී නොකී දහස් ගණනක් පළුදුවීම් අතරට ආදරය අවශ්‍යයි. තම තමන්ගේ කුඩා ලෝකවල හුදෙකලා වුන අපේ මිනිස්සුගේ වේළිලා ගිය හදවත් පොඟවන්න ආදරය අවශ්‍යයි.
එන්න. අපි ආදරේ කරමු!









