බස්සා බොහෝම
අකැමැත්තෙන් තමයි පුස්තකාලෙට යන්න එකඟ වෙන්නෙ. ඒත් විභාගෙට දවස් දෙක තුනකට කලින්
විභාග භීතිකාව වැලඳුන බස්සිගෙන් එයාට බේරෙන්න ලැබෙන්නෙ නෑ.
අන්තිමේදි
පොත් දුසිමක් විතර කරපින්නා ගත්තු බස්සියි, පිටු හතර පහක
ටියුට් එකක් රෝල් කර ගත්තු බස්සයි පුස්තකාලෙට ඇතුලු වෙනවා.
උදේ හතහමාර
වෙනකොට පුස්තකාලෙ පෝලිමට එකතු වුනේ නැත්නම් බස්සිගේ ප්‍රියතම ආසනය අහිමි වෙන්න
තියෙන ඉඩකඩ වැඩියි. ඒ ආසනය නැති වුන දාට බස්සිගෙ පාඩම් කිරීමට බාධා බොහොමයි.
බස්සා ඔලුව
කසකසා ඇවිත් බස්සිගෙ එහාපැත්තෙන් වාඩි වෙනවා. බස්සාව එතන වාඩිකරවලා බස්සි යනවා
රෙෆරන්ස් පොත් හොයන්න. බස්සි ආපහු එනකොට බස්සා බස්සිගෙ පෑන් දෙකක් අරගෙන ඩ්‍රම්
වාදනයක් ආරම්භ කරලා.
බස්සි බරට බරේ
තඩි පොත් දෙකක් උස්සගෙන ඇවිත් සටහන් ටික දිගඇරගන්නවා. බස්සත් හෙමින් සීරුවේ වාදනය
නවත්තලා බස්සිගේ පොත් ගොඩෙන් හිස් කඩදාසි දෙකතුනක් ඇදලා අරගෙන ටියුට් එකට එබෙනවා.
පැයක් විතර
ගතවෙනකොට බස්සාගෙ යාලු කුරුල්ලො එකා දෙන්නා පුස්තකාලෙ ඇතුලෙ තටු ගහනවා පේනවා.
එයාලා කැරකිලා ඇවිත් බස්සාගෙ මේසෙ කෙලවරේ වහනවා. අඩුම තරමේ පැය කාලක්වත් වල්පල්
කියවනවා. ටික වෙලාවකින් බස්සත් යාලු කුරුල්ලො ඉන්න තැන් වල කැරකෙන්න පටන් ගන්නවා.
"කම්මැලී නේ..."
බස්සා බස්සිගෙ පිටිපස්සෙන් ඇවිත් අහනවා.
"ඉඳගෙන වැඩක් කරනවා
පිස්සෝ..!"
"තේ බොන්න යමු?" බස්සා බස්සිගෙ අතින් අදිනවා. "යමුකො
බස්සියෝ.... එනවකො වදේ..!"
බස්සිටත් ඊට
එහා කියන්න දෙයක් නෑ. දෙන්නත් එක්ක යනවා කැන්ටිමට.
කැන්ටිමේදි
යාලු කුරුල්ලොත් එක්ක කියවකියවා පැයක් විතර ගත කරනවා. ඉන් පස්සෙ ගිරා ගහ යට හරි
අයි.ටී. ගහ යට හරි වාඩි වෙලා දෙන්නත් එක්ක කිචිබිචි ගගා ඉන්නවා. ටික වෙලාවකින්
බස්සා ඈනුම් අරිනවා. බස්සිටත් ඉක්මනටම ඈනුම බෝ වෙනවා.
"බඩගිනියි නේ?" බස්සා අහනවා.
"හ්ම්ම්.... දැන් ඉතින්
දවල්ට කාලම යමු."









