“අදවත් අර කැකිරි ගෙඩිය උයල දෙන්නකො බස්සියො.” බස්සා නාහෙන් අඬනවා. මේ මොන මගුලක්ද! මම අකමැතිම කෑමක් තමයි කැකිරි. ගුණයි? ඔව් ගුණයි නම් තමයි. එහෙනම් ඉතින් අර තිත්තම තිත්ත කරවිලත් ගුණයි නෙව.
ඔය
කරවිල හදද්දි නම් මම කරන්නෙ කරවිල ටික හීන් පෙති කපලා වේලනවා. තමන් කරවිලද කියලා කරවිල වලටත් අමතක වෙනකම්ම වේලන්න ඕන. ඊටත් පස්සෙ, ඒව වේලෙන්න දාපු බව අමතක කරන්න මම ෆුල් ට්‍රයි එක දෙනව. අන්තිමේ කවුරු හරි මොට්ට මැටි මෝල්ගහක් ඕක මතක් කරල කරවිල කන්න ඕනෙයි කිවුවොත් අර ටික බැදලා ලුණුමිරිස් හදලා, කරවිල ටික පිඟානෙ අන්තිම කෙළවරටම තල්ලු කරලා ඒක දිහා හොරෙන් බල බල කෑම කනවා. අන්න එහෙමයි නියම ක්‍රමයට කරවිල උයන්නෙ.
මම කැකිරි ටික කපලා දුරු මිරිස් කලමනා සේරමත් දාල ඉවර වෙනකොටම බස්ස කොර කොර හිටපු වැඩේ පැත්තක දාල ආයෙමත් කුස්සියට කඩන් පාත් උනා කියන්නකෝ.
“හෑ!”
“ඇයි
මොකද බලන්නෙ ඔයා කැකිරි අමුවෙන් කන්නද?”
“ඕකෙ ඇට ටික අයින් කරන්නැද්ද?”
අන්න ඒ වෙලාවට තමයි මගේ ස්ථානෝචිත ප්‍රඥාව මට පිහිටට එන්නෙ. ඇත්ත, මේක අසීරු අවස්ථාවක්. හැබැයි එහෙමයි කියලා රෙදි ගැලවෙන විලිලැජ්ජාවක් වෙන්න ඉඩ තියන්න බෑ. කොහොමටවත් බෑ.
“අපේ පැත්තෙ කැකිරි උයන්නෙ මෙහෙමයි.”
මම සීරුවෙන් හිටගෙන දැඩි ස්ථිරසාර හඬකින් ප්‍රකාශ කරනවා.
“ඇටත් එක්ක??” බස්සා කින්ඩි හිනාවක් දාගෙන අහනව.
“ඔව් අනේ ඇටත් එක්ක නේන්නම්. කැකිරි ඇට පුදුම තරම් ගුණයි ඔය ඩයබිටීස් වලට එහෙම. බොරුනම් අහන්න අපේ තාත්තගෙන්. තාත්තලගෙ අම්ම, ඒ කියන්නෙ අපේ ආච්චි ඉස්සර හදනව කැකිරි ඇට සම්බෝලයක්, පට්ට රහයි ඒක. කාලම බලන්න ඕනෙ.”
ඔන්න මටත් ආඩම්බර හිතෙනව මගෙ රංග ප්‍රතිභාව ගැන. මගෙ හැකියාව නිකම් නාස්ති වෙන්න අරින්න හොඳ නෑ. මට ඉර හඳ වගේ විශ්වාසයි උවමනාවක් තිබුනනම් මට පිටපිටම දාහත්පාරක් උනත් හොඳම නිළිය සම්මානය ගන්න තිබුන.
“එහෙනම් අද කාල බලමුකො ඔයාලගෙ ගමේ රෙසිපියට කැකිරි.”
මල හත්තිලව්වට ගහපු කලාබරේ කිවුවලු. දැන් නම් මාව බෙල්ල මුලින් හිරවෙන්නයි යන්නෙ. උයන එක පැත්තක දාල ගූගලයගෙන් රෙසිපි හොයන්න ගියොත් වැඩේ නෝණ්ඩි වෙන්න පුලුවන්. එළඹි සිහියෙන් මේ පන්දුවට මුහුණ දෙන්න ඕනෙ.
“නෑ
අපේ ගමේ රෙසිපියට පස්සෙ දවසක හදමු. අදට ඔයාට කාල පුරුදු විදියට හදමු.”
අන්න ඒ විදියෙ යූ ටර්න් එකක් ගහලා ඇක්සිඩන්ට් එක වලක්වා ගන්න එසේ මෙසේ පුතයෙකුට ඇහැක්ය? මම වගේ අසහාය හැකියාවන්ගෙන් පරිපූර්ණ උදවිය බොහොම හිඟ නිසා මේ වගේ දේවල් ඔයගොල්ලන්ට අහන්න ලැබෙන්නෙත් කලාතුරකින් වෙන්න ඕනෙ.
ඔන්න දවසක් අපේ අම්මයි නංගියි ගියා දානෙ ගෙදරක, අම්මලාගෙ ගමේ. එදා හවස තාත්තලාගෙ පොසොන් නාට්ටිය පෙන්නන්න තියෙන නිසා තාත්තයි මායි බරටම වැඩ. බරටම වැඩ කියල නොකා නොබී ඉන්න පුලුවන්යැ? නැද්ද මං අහන්නෙ? ඉක්මනට හදන්නත් පුලුවන් නිසා ඔන්න අපි හදන්න ගත්තා පරිප්පු හොද්දක්.
පරිප්පු එක ලිපෙන් තිබ්බා විතරයි මෙන්න ඇහෙනව හෝන් සද්දයක්. නෑ නෑ ප්‍රෙෂර් කුකර් එකක් නෙමෙයි, තාත්තගෙ යාලුවො දෙන්නෙක් ඇවිත්. ඔන්න එක්කෙනෙක් චොකලට් එකක් ගෙනැල්ලා මටත් කතා කරනවා.
කොහොමත් මම සහභාගි උනේ නැත්නම් ඔය සාකච්ඡා අසම්පූර්ණයි නෙව. ඒක හින්දයි මම ඉස්තෝප්පුවෙ තිබුන කණුවක් වටේ කැරකි කැරකි කතාව ඉවර වෙනකම් ඒකට සහභාගි උනේ. අම්මත් යන්න කලින් කියල ගියෙ තාත්තව බලාගන්න කියලනෙ. ඒ වගකීම පැහැර හරින්නෙ කොහොමද!
යාලුවො දෙන්න ටටා බායි කියල යනකොටම තාත්තත් ඒ එක්ක ගියා හන්දියට පාන් ගේන්න කියල. මම කොහොමත් තාත්තට කීකරු දරුව. කුස්සියෙ දොර හෙම වහල දාල කාර්ටුන් එකක් බලන්න ගත්තෙ ඒ හින්දයි.
කුස්සිය පැත්තෙන් අමුතු පිච්චෙන සුවඳක් ආවත් මම නෙමෙයි සත පහකටවත් ගණන් ගත්තෙ.
ටිකකින්
මෙන්න තාත්ත එනව.
“චැහ් ! මොකද්ද ඒ පිච්චෙන්නෙ?”
අපේ තාත්තගෙ නහය මං හිතුවට වඩා සෑහෙන දියුණුයි. තාත්ත කුස්සියට යද්දි මාත් හෙමීට පස්සෙන් ගියෙ පාන්ගෙඩියට හේත්තුවෙලා තිබුනු පේස්ට්‍රියකට ඇහැ තියාගෙන.
“මලකෙලියයි
පරිප්පු එක!!!”
පරිප්පු ඇතිලිය කෙරෙහි හටගත් අසීමාන්තික සෙනෙහසින් යුක්තව අපේ තාත්තා දෑත් විදහාගෙන ගෑස් ලිප වෙතට කඩන් පැන්නා. ඇතිලියෙ වැස්ම අරිනවත් එක්කම පිටවුන කැස්ස ඇතිකරන කලු පාට කටුක දුම් වළාකුලක් මුලු කුස්සියම වසා ගත්තා. යාන්තම් ඇස් ඇරගන්න පුලුවන් වෙනකොට මම දැක්කේ තාත්ත මට හැඳිගාන්න කියපු පරිප්පුව දෝතින් අරන් සින්ක් එකට වඩම්මවාගෙන යන හැටි.
මම
පළමු වතාවට “කලු පරිප්පු” දැක්කෙ ඒ අවස්ථාවෙදියි.
ඉතිං මක් කොරන්නද? අපි දෙන්නා පටන් ගත්තා කරවල තෙල් දාන්න.
අපේ තාත්ත හොඳ කල්පනාකාරයා, සංවිධායකයා, දුරදිග දකින්නා කියල ඔය සමහර මිනිස්සු කියනවා තමයි. ඒත් මම ඔයාලට සහතික කරල කියන්නම්. අපේ තාත්ත ගන්න තීරණ සමහර අවස්ථාවලදි බොහොම බරපතල විදියට වරදිනව.
මොකද??
තාත්ත කරවල බැදුමට ලුණු දාන්න බාර දුන්නෙ මට නෙව.
“බස්සු, මේ කැකිරි එකේ ලුණු පොඩ්ඩක් බලන්න.”
ලුණු දැමිල්ල අදටත් මම කරන්නෙ අඩමානෙට බව ඔයා දන්නවනෙ. නෑ ඒක මගේ වරදක් නෙමෙයි. ඔයා දන්නවනෙ ඒක. මගෙ දිවේ රසාංකුර හිටපු ගමන් එක එක පිස්සු නටනවනෙ.
සහතික ඇත්ත. දුෂ්ඨ, චපල රසාංකුර!
“ලුණු මදිද? ඔයාට ඇතිවෙන තරමට ලුණු ටිකක් දාන්න බස්සු.”
ඔයා දන්නවද? එදත් අද වගේම මගෙ රසාංකුර මාව රැවැට්ටුවා. හැබැයි අද වගේ නෙමෙයි එදා. රැවටීම උනත් වෙනස්.
“හාපෝ
අක්කියා! මේකට ඔයා ලුණු කොච්චර දැම්මද?”
“කට
කපලා හැඳි තුනයි.”
“මදැයි. මමත් හරි එක්කෙනාට තමයි ලුණු දාන්න දුන්නෙ. දැන් මොනවා කරඳ! ඉන්න මම අලගෙඩියක් පෙති කපලා දානකම්.”
ලුණු වැඩි වුන හොද්දකට අල පෙති දැම්මාම ලුණු ගාන හරියනවලු. ඕවා අපේ තාත්තට ආච්චි උගන්නපු සූප සාස්තර රහස්. කොහොමත් මම ඔහොම දෙයක් කියාදෙනකොට උනන්දුවෙන් අහගන්න දරුවෙක් නිසා වළඳ වහලා තිවුන කරමූඩිය එහාපැත්තෙ ගෑස් උඳුන උඩින් තියලා බලන් උන්නෙ තාත්ත හොද්ද රීකන්ඩිෂන් කරන අපූරුව.
“ෂාහ්! ඔයා නම් මාරයි තාත්තා.”
“මම මාරයි තමයි, තමුසෙත් අඩුගානෙ ලුණු පදම බලන්නවත් ඉගෙන ගන්නවා නැත්තම බැන්ද දාට නැන්දම්මා ගහල පන්නයි ගෙදරින්.”
අන්න ඒ අවවාදෙ ගලේ කොටා ලැමිනේට් කර ඇන්ටිකොරෝසිව් ආලේපන තට්ටුවක් තවරා සීල් තියලා සදා නොමැකෙන ලෙසට මම හදවතේ ගැඹුරුම ගැඹුරු, පට්ට ගැඹුරු තැනක ස්ථානගත කලා.
“ඔන්න හොද්ද රීකන්ඩිෂන් කරල ඉවරයි. දැන් ඕක වහනවා අර කරමූඩිය අරන්.”
මම කරමූඩිය වැර වීරිය යොදා උස්සලා යාන්තම් ඇතිලිය උඩට ලෑන්ඩ් කෙරෙවුවා. කරමූඩිය කලින්ට වඩා බරට දැනුනද, නැත්නම් ඒ මගෙ හිතලුවක්ද මන්දා. කොයිහැටි වෙතත් අද රෑට අපිට පාන් එක්ක අලයි කරවලයි.
“තඩ්”
ඒ සද්දෙ ඇහුනෙ ලිප ඇතුලෙන් වගේ !
“මොකද්ද ඒ සද්දෙ ?” දැන් නම් තාත්ත මා දිහා බලන්නෙ පාතාල නායකයෙක්, කට්ට කෛරාටික වෙට්ට පිත්තල ඇම්බැට්ටයෙක් දිහා බලනව වගේ පට්ට සැකෙන්.
“මොකෝ මට ඔරවන්නෙ ? මං දල්ලෑ. මේ ගෑස් ලිප කැඩෙන්න යනව ඇති.”
මම කුස්සිය වටේ ස්ලෝ මාර්ච් එක පුරුදු වෙන ගමන් කිවුවා.
ඇත්තටම මමත් හොඳ කෝකියෙක් තමයි. එකම ප්‍රස්නෙ මට ඔය හොදි මාළුපිණි උයාගන්න බැරි එකයි, බතට වතුර තියද්දි පොඩ්ඩක් මිම්ම එහෙමෙහෙ වෙන එකයි විතරයි. මට වැඩියෙන්ම හිතට සෙට් වෙන්නෙ ඔය පත්තර/පොත් බලාගෙන හදන සුකුරුත්තන් කෑම ජාති. මොකද ඒව පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් අවුලක් නෑ පදම වෙනස් කරලා වෙනමම කෑමක් හදතැකි.
ඔව් මම කේක් හැදිල්ල අවුල් වෙලා ස්විස් රෝල් හදල තියෙනව. ස්විස් රෝල් හැදිල්ල වැරදිලා බිස්කට් හදල තියෙනව. ඒ විතරක් නෙමෙයි, අහල තියෙනවද ජෑම් රෝල් හැදිල්ල වැරදිලා ඒකෙන් කොත්තු රොටි හදපු මනුස්සයෙක් ගැන.
පෝ . . . . ඩ් ඩ ක් ඉ න් ඩ!
කෝ මේ එහාපැත්තෙ ලිපේ ස්ටෑන්ඩ් එක?
එතකොට කරමූඩිය ඇතුලෙ හිරවෙලා බරට දැනුනෙ ඒ ස්ටෑන්ඩ් එකද ?
හත්වලාමයි.
හත්වලාමයි.
මගෙ කොඳු නාරටිය දිගේ අයිස් කුට්ටියක් රූටාගෙන යනව වගේ දැනුනා.
ක ර මූ ඩි ය ඇ රි ය.
“කවුද යකෝ ගෑස් ලිපේ ස්ටෑන්ඩ් එකෙන් හොදි හැදුවෙ? @#%$ &*%#@ !!”
චප්පයක් වෙච්ච අර්තාපල් පේස්ට් එක මැද්දෙ අලු පාට ස්ටෑන්ඩ් එක දුම් දම දමා දිලිසුනා.





