Thursday, August 14, 2014

ඉවුම් - පිහුම්






අදවත් අර කැකිරි ගෙඩිය උයල දෙන්නකො බස්සියො.” බස්සා නාහෙන් අඬනවා. මේ මොන මගුලක්ද! මම අකමැතිම කෑමක් තමයි කැකිරි. ගුණයි? ඔව් ගුණයි නම් තමයි. එහෙනම් ඉතින් අර තිත්තම තිත්ත කරවිලත් ගුණයි නෙව.


ඔය කරවිල හදද්දි නම් මම කරන්නෙ කරවිල ටික හීන් පෙති කපලා වේලනවා. තමන් කරවිලද කියලා කරවිල වලටත් අමතක වෙනකම්ම වේලන්න ඕන. ඊටත් පස්සෙ, ඒව වේලෙන්න දාපු බව අමතක කරන්න මම ෆුල් ට්‍රයි එක දෙනව. න්තිමේ කවුරු හරි මොට්ට මැටි මෝල්ගහක් ඕක මතක් කරල කරවිල කන්න ඕනෙයි කිවුවොත් අර ටික බැදලා ලුණුමිරිස් හදලා, කරවිල ටික පිඟානෙ අන්තිම කෙළවරටම තල්ලු කරලා ඒක දිහා හොරෙන් බල බල කෑම කනවා. අන්න එහෙමයි නියම ක්‍රමයට කරවිල උයන්නෙ.


මම කැකිරි ටික කපලා දුරු මිරිස් කලමනා සේරමත් දාල ඉවර වෙනකොටම බස්ස කොර කොර හිටපු වැඩේ පැත්තක දාල ආයෙමත් කුස්සියට කඩන් පාත් උනා කියන්නකෝ.


හෑ!”

ඇයි මොකද බලන්නෙ ඔයා කැකිරි අමුවෙන් කන්නද?”

ඕකෙ ඇට ටික අයින් කරන්නැද්ද?”


අන්න වෙලාවට තමයි මගේ ස්ථානෝචිත ප්‍රඥාව මට පිහිටට එන්නෙ. ඇත්ත, මේක අසීරු අවස්ථාවක්. හැබැයි එහෙමයි කියලා රෙදි ගැලවෙන විලිලැජ්ජාවක් වෙන්න ඉඩ තියන්න බෑ. කොහොමටවත් බෑ.

අපේ පැත්තෙ කැකිරි උයන්නෙ මෙහෙමයි.”  
 මම සීරුවෙන් හිටගෙන දැඩි ස්ථිරසාර හඬකින් ප්‍රකාශ කරනවා.

ඇටත් එක්ක??” බස්සා කින්ඩි හිනාවක් දාගෙන අහනව.

ඔව් අනේ ඇටත් එක්ක නේන්නම්. කැකිරි ඇට පුදුම තරම් ගුණයි ඔය ඩයබිටීස් වලට එහෙම. බොරුනම් අහන්න අපේ තාත්තගෙන්. තාත්තලගෙ අම්ම, කියන්නෙ අපේ ආච්චි ඉස්සර හදනව කැකිරි ඇට සම්බෝලයක්, පට්ට රහයි ඒක. කාලම බලන්න ඕනෙ.”

ඔන්න මටත් ආඩම්බර හිතෙනව මගෙ රංග ප්‍රතිභාව ගැන. මගෙ හැකියාව නිකම් නාස්ති වෙන්න අරින්න හොඳ නෑ. මට ඉර හඳ වගේ විශ්වාසයි උවමනාවක් තිබුනනම් මට පිටපිටම දාහත්පාරක් උනත් හොඳම නිළිය සම්මානය ගන්න තිබුන.

එහෙනම් අද කාල බලමුකො ඔයාලගෙ ගමේ රෙසිපියට කැකිරි.”


මල හත්තිලව්වට ගහපු කලාබරේ කිවුවලු. දැන් නම් මාව බෙල්ල මුලින් හිරවෙන්නයි යන්නෙ. උයන එක පැත්තක දාල ගූගලයගෙන් රෙසිපි හොයන්න ගියොත් වැඩේ නෝණ්ඩි වෙන්න පුලුවන්. එළඹි සිහියෙන් මේ පන්දුවට මුහුණ දෙන්න ඕනෙ.

නෑ අපේ ගමේ රෙසිපියට පස්සෙ දවසක හදමු. අදට ඔයාට කාල පුරුදු විදියට හදමු.”


අන්න විදියෙ යූ ටර්න් එකක් ගහලා ඇක්සිඩන්ට් එක වලක්වා ගන්න එසේ මෙසේ පුතයෙකුට ඇහැක්ය? මම වගේ අසහාය හැකියාවන්ගෙන් පරිපූර්ණ උදවිය බොහොම හිඟ නිසා මේ වගේ දේවල් ඔයගොල්ලන්ට අහන්න ලැබෙන්නෙත් කලාතුරකින් වෙන්න ඕනෙ.








ඔන්න දවසක් අපේ අම්මයි නංගියි ගියා දානෙ ගෙදරක, අම්මලාගෙ ගමේ. එදා හවස තාත්තලාගෙ පොසොන් නාට්ටිය පෙන්නන්න තියෙන නිසා තාත්තයි මායි බරටම වැඩ. බරටම වැඩ කියල නොකා නොබී ඉන්න පුලුවන්යැ? නැද්ද මං අහන්නෙ? ඉක්මනට හදන්නත් පුලුවන් නිසා ඔන්න අපි හදන්න ගත්තා පරිප්පු හොද්දක්.


පරිප්පු එක ලිපෙන් තිබ්බා විතරයි මෙන්න ඇහෙනව හෝන් සද්දයක්. නෑ නෑ ප්‍රෙෂර් කුකර් එකක් නෙමෙයි, තාත්තගෙ යාලුවො දෙන්නෙක් ඇවිත්. ඔන්න එක්කෙනෙක් චොකලට් එකක් ගෙනැල්ලා මටත් කතා කරනවා.


කොහොමත් මම සහභාගි උනේ නැත්නම් ඔය සාකච්ඡා අසම්පූර්ණයි නෙව. ඒක හින්දයි මම ඉස්තෝප්පුවෙ තිබුන කණුවක් වටේ කැරකි කැරකි කතාව ඉවර වෙනකම් ඒකට සහභාගි උනේ. අම්මත් යන්න කලින් කියල ගියෙ තාත්තව බලාගන්න කියලනෙ. වගකීම පැහැර හරින්නෙ කොහොමද!


යාලුවො දෙන්න ටටා බායි කියල යනකොටම තාත්තත් එක්ක ගියා හන්දියට පාන් ගේන්න කියල. මම කොහොමත් තාත්තට කීකරු දරුව. කුස්සියෙ දොර හෙම වහල දාල කාර්ටුන් එකක් බලන්න ගත්තෙ හින්දයි.

කුස්සිය පැත්තෙන් අමුතු පිච්චෙන සුවඳක් ආවත් මම නෙමෙයි සත පහකටවත් ගණන් ගත්තෙ.

ටිකකින් මෙන්න තාත්ත එනව.

චැහ් ! මොකද්ද පිච්චෙන්නෙ?”

අපේ තාත්තගෙ නහය මං හිතුවට වඩා සෑහෙන දියුණුයි. තාත්ත කුස්සියට යද්දි මාත් හෙමීට පස්සෙන් ගියෙ පාන්ගෙඩියට හේත්තුවෙලා තිබුනු පේස්ට්‍රියකට ඇහැ තියාගෙන.

මලකෙලියයි පරිප්පු එක!!!”

පරිප්පු ඇතිලිය කෙරෙහි හටගත් අසීමාන්තික සෙනෙහසින් යුක්තව අපේ තාත්තා දෑත් විදහාගෙන ගෑස් ලිප වෙතට කඩන් පැන්නා. ඇතිලියෙ වැස්ම අරිනවත් එක්කම පිටවුන කැස්ස ඇතිකරන කලු පාට කටුක දුම් වළාකුලක් මුලු කුස්සියම වසා ගත්තා. යාන්තම් ඇස් ඇරගන්න පුලුවන් වෙනකොට මම දැක්කේ තාත්ත මට හැඳිගාන්න කියපු පරිප්පුව දෝතින් අරන් සින්ක් එකට වඩම්මවාගෙන යන හැටි.

මම පළමු වතාවටකලු පරිප්පුදැක්කෙ අවස්ථාවෙදියි.

ඉතිං මක් කොරන්නද? අපි දෙන්නා පටන් ගත්තා කරවල තෙල් දාන්න.

අපේ තාත්ත හොඳ කල්පනාකාරයා, සංවිධායකයා, දුරදිග දකින්නා කියල ඔය සමහර මිනිස්සු කියනවා තමයි. ඒත් මම ඔයාලට සහතික කරල කියන්නම්. අපේ තාත්ත ගන්න තීරණ සමහර අවස්ථාවලදි බොහොම බරපතල විදියට වරදිනව.

මොකද??

තාත්ත කරවල බැදුමට ලුණු දාන්න බාර දුන්නෙ මට නෙව.








බස්සු, මේ කැකිරි එකේ ලුණු පොඩ්ඩක් බලන්න.”

ලුණු දැමිල්ල අදටත් මම කරන්නෙ අඩමානෙට බව ඔයා දන්නවනෙ. නෑ ඒක මගේ වරදක් නෙමෙයි. ඔයා දන්නවනෙ ඒක. මගෙ දිවේ රසාංකුර හිටපු ගමන් එක එක පිස්සු නටනවනෙ.

සහතික ඇත්ත. දුෂ්ඨ, චපල රසාංකුර!

ලුණු මදිද? ඔයාට ඇතිවෙන තරමට ලුණු ටිකක් දාන්න බස්සු.”



ඔයා දන්නවද? එදත් අද වගේම මගෙ රසාංකුර මාව රැවැට්ටුවා. හැබැයි අද වගේ නෙමෙයි එදා. රැවටීම උනත් වෙනස්.


හාපෝ අක්කියා! මේකට ඔයා ලුණු කොච්චර දැම්මද?”



කට කපලා හැඳි තුනයි.”


මදැයි. මමත් හරි එක්කෙනාට තමයි ලුණු දාන්න දුන්නෙ. දැන් මොනවා කරඳ! ඉන්න මම අලගෙඩියක් පෙති කපලා දානකම්.”


ලුණු වැඩි වුන හොද්දකට අල පෙති දැම්මාම ලුණු ගාන හරියනවලු. ඕවා අපේ තාත්තට ආච්චි උගන්නපු සූප සාස්තර රහස්කොහොමත් මම ඔහොම දෙයක් කියාදෙනකොට උනන්දුවෙන් අහගන්න දරුවෙක් නිසා වළඳ වහලා තිවුන කරමූඩිය එහාපැත්තෙ ගෑස් උඳුන උඩින් තියලා බලන් උන්නෙ තාත්ත හොද්ද රීකන්ඩිෂන් කරන අපූරුව.


ෂාහ්! ඔයා නම් මාරයි තාත්තා.”


මම මාරයි තමයි, තමුසෙත් අඩුගානෙ ලුණු පදම බලන්නවත් ඉගෙන ගන්නවා නැත්තම බැන්ද දාට නැන්දම්මා ගහල පන්නයි ගෙදරින්.”

අන්න ඒ අවවාදෙ ගලේ කොටා ලැමිනේට් කර ඇන්ටිකොරෝසිව් ආලේපන තට්ටුවක් තවරා සීල් තියලා සදා නොමැකෙන ලෙසට මම හදවතේ ගැඹුරුම ගැඹුරු, පට්ට ගැඹුරු තැනක ස්ථානගත කලා.


ඔන්න හොද්ද රීකන්ඩිෂන් කරල ඉවරයි. දැන් ඕක වහනවා අර කරමූඩිය අරන්.”


මම කරමූඩිය වැර වීරිය යොදා උස්සලා යාන්තම් ඇතිලිය උඩට ලෑන්ඩ් කෙරෙවුවා. කරමූඩිය කලින්ට වඩා බරට දැනුනද, නැත්නම් ඒ මගෙ හිතලුවක්ද මන්දා. කොයිහැටි වෙතත් අද රෑට අපිට පාන් එක්ක අලයි කරවලයි.


“තඩ්”


ඒ සද්දෙ ඇහුනෙ ලිප ඇතුලෙන් වගේ !


මොකද්ද ඒ සද්දෙ ?” දැන් නම් තාත්ත මා දිහා බලන්නෙ පාතාල නායකයෙක්, කට්ට කෛරාටික වෙට්ට පිත්තල ඇම්බැට්ටයෙක් දිහා බලනව වගේ පට්ට සැකෙන්.


මොකෝ මට ඔරවන්නෙ ? මං දල්ලෑ. මේ ගෑස් ලිප කැඩෙන්න යනව ඇති.” 
මම කුස්සිය වටේ ස්ලෝ මාර්ච් එක පුරුදු වෙන ගමන් කිවුවා.


ඇත්තටම මමත් හොඳ කෝකියෙක් තමයි. එකම ප්‍රස්නෙ මට ඔය හොදි මාළුපිණි උයාගන්න බැරි එකයි, බතට වතුර තියද්දි පොඩ්ඩක් මිම්ම එහෙමෙහෙ වෙන එකයි විතරයි. මට වැඩියෙන්ම හිතට සෙට් වෙන්නෙ ඔය පත්තර/පොත් බලාගෙන හදන සුකුරුත්තන් කෑම ජාති. මොකද ඒව පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් අවුලක් නෑ පදම වෙනස් කරලා වෙනමම කෑමක් හදතැකි.


ඔව් මම කේක් හැදිල්ල අවුල් වෙලා ස්විස් රෝල් හදල තියෙනව. ස්විස් රෝල් හැදිල්ල වැරදිලා බිස්කට් හදල තියෙනව. ඒ විතරක් නෙමෙයි, අහල තියෙනවද ජෑම් රෝල් හැදිල්ල වැරදිලා ඒකෙන් කොත්තු රොටි හදපු මනුස්සයෙක් ගැන.


පෝ . . . . ඩ් ඩ ක්   ඉ න් ඩ!

කෝ මේ එහාපැත්තෙ ලිපේ ස්ටෑන්ඩ් එක?
එතකොට කරමූඩිය ඇතුලෙ හිරවෙලා බරට දැනුනෙ ඒ ස්ටෑන්ඩ් එකද ?

හත්වලාමයි.

මගෙ කොඳු නාරටිය දිගේ අයිස් කුට්ටියක් රූටාගෙන යනව වගේ දැනුනා.






දැන් නම් මාර බඩගිනීයි අක්කියා.” 
තාත්ත ගෑස් ලිප ඕෆ් කලා.

ක ර මූ ඩි ය  ඇ රි ය.


කවුද යකෝ ගෑස් ලිපේ ස්ටෑන්ඩ් එකෙන් හොදි හැදුවෙ? @#%$  &*%#@ !!”


චප්පයක් වෙච්ච අර්තාපල් පේස්ට් එක මැද්දෙ අලු පාට ස්ටෑන්ඩ් එක දුම් දම දමා දිලිසුනා.




Wednesday, August 13, 2014

1. පහන්ගේ කතාව - [රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්. ඇයි අවුල්ද?]











ඉරට හැතැප්මයි. වෝව් !
ඉර අතන -  අපි මෙතන


එෆ්.එම් එකක නිවේදක බට්ටෙක් කෑගහනව.  මම බස් එකේ කවුලුවට මූණ තද කරගෙන ඉර දිහා බැලුවා. ඇස් නිලංකාර වේගෙන ආවා. නිල් පාට, දම් පාට රවුම් රවුම් ඇස් දෙක ඉස්සරහ නොනවත්වාම කැරකෙන්න ගත්තා.


ඉරේ ඉඳන් ගාලු පාරට දුර හැතැප්මකට වඩා අඩු ඇති. වාහනවල ලා කලු පාට දුමාරයත්, හීන් දුහුවිල්ලත්, මූදු හුළඟ එක්ක එකතු වෙලා ඇඟේ දැවටෙද්දි දැනෙන්නෙ පෝරණුවක් ඇතුලෙ පණපිටින් පිලිස්සෙනවා වාගෙ හැඟීමක්.


බාම්බලපිටිය බාහින අය ඊස්සරහට ඒන්ඩ. . . . . .”

කොන්දොස්තර මල්ලි හයියෙන් ඇදලා පැදලා කියනවා ඇහෙනකොටම මං ලහිලහියේ බස්සෙකේ ෆුට් බෝර්ඩ් එකට බැහැ ගත්තා. අලුතෙන් ගොඩනැංවෙන පදික වේදිකාව නිසා පදිකයන්ටත් තාර පාරට බහින්න වෙලා. මම සාක්කුවෙන් ගත්ත ලොකු ලේන්සුවෙන් බෙල්ල වටේ දහදිය පිහදාන ගමන් යුනිටි ප්ලාසා එකට ගොඩවුනා.


ලෙක්චර්ස් ගිහින් ඇවිත් රෑට රෑට ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදියට ඩිසයිනින් වැඩ කරලා හොයාගත්තු තුට්ටු දෙක ඉතුරු කරගෙන . . . . . . 

තුට්ටු?
සුද්දො කවද්ද තුට්ටු වලින් ගෙවුවෙ! වැඩකට ඩොලර් පහ ගානෙ එකතු වුනේ සුදු කාසි.

සුදු කාසි ? පහන්, පිස්සුද යකෝ උඹට ? ඊ-මනී වලට පාටක් කොයින්ද ?



කාටවත් නොපෙනෙන සිතුවිලි පෙරලිය මැද්දෑවෙ මට හීන් හිනාවක් ගියා. වායුසමීකරණයට පින්සිද්ද වෙන්න මෙතෙක් වෙලා සිරුර වෙලාගත්තු වෙහෙසකාරී දාහය මදින් මද පහව යන හැටි විඳින අතරේ මම ආයෙත් මාත් එක්කම හිනා වුනා. මේ වතාවෙ හිනා වුනේ හදවතින් විතරයි. සුපුරුදු බකුසු මූණත්තහඩුවට මුවාවෙලා මේ විදියට හිත ඇතුලෙන් හිනාවෙන එක මගේ ඇබ්බැහියක්.


ඉහල මාලයට දිවෙන එස්කැලේටර් එක පටුයි. 
කැතයි.

ඒත්. . . .
ඒත්. . . . .
එස්කැලේටර් එකේ තරප්පු හතරක් ඉහලින් පේන 
දිගු දෙපා යුගලය සුදුයි. 
හැඩයි.


වෙජ් හීල් එකේ ලුමිනස් රෝසපාට පටි ඒ දෙපා වලට එක් කලේ අමුතුම එළියක්.

ඇගේ විලුඹ ලා රෝස පැහැතියි, වටකුරුයි. දැවමය පැහැති වෙජ් හීල් එකේ දේදුනු වර්ණ වලින් නොයෙක්  හැඩතල රටා සහිත නිදහස් මෝස්තරයක් ඇඳ තිවුනා.

හ්ම්ම්. . . . අපූරු තේරීමක්.


එස්කැලේටර් එකෙන් ඉහල මාලයට ගොඩවුනු සිය ගානක් සෙනග ඉස්සරහට, පස්සට, වමට, දකුණට ඇවිදගෙන ගියෙ මහා හදිස්සියකින් වගෙයි. මම තවමත් බලා උන්නෙ රෝස පාට හීනි පටි දොලහක් කහසුදු පාට දිග උඩුපතුල වටේ එතිලා ඇති අපූරුව දිහා.


කොරිඩෝව ඉස්සරහට ඇදෙනවද? නැත්නම් ඒ මගෙ ඇහැ කොනට පෙනුන මායාවක්ද? හෙහ් ! කෙල්ලෙක්ගෙ සපත්තුවක් දිහා බලන් ඉඳල මට කැරකිල්ලක්වත් හැදිලද.


අන්න ඈ යනව දකුණට !

වහවහා ඒ පසුපස ඇදෙනවා මිසක් මම ඒ ගැන දෙපාරක් හිතහිතා ඉන්න කාලය වැය කලේ නෑ.


රෝස සපත්තු දෙකක් පස්සෙ ඇවිදින බූරු කොල්ලෙක්. 
දිග කොණ්ඩය බෙල්ල පිටිපස්සට එක්කහු කරන අතරෙ මට එක තප්පරේකට එහෙම හිතුන. කොණ්ඩෙ වවාගත්තු බූරු කොල්ලෙක්. රස්තියාදුකාරයෙක්.


රෝස සපත්තුකාරියගේ මූණ බලාගන්න ඇත්නම්.


දණහිසින් අඟල් එකහමාරක් විතර උඩින් දෙපා වටේ දැවටෙන ලා රෝසපාට ලේස් පටියක්. ඩිස්නි කාර්ටුන් මුද්‍රිත ගවොම හුරතල් පාටයි. ඈ ඇවිදින්නෙ ලතාවකට. උරහිසින් පහලට වැටෙන ලේයර් කරපු කොණ්ඩෙ ඒ ගමන් තාලෙට යාන්තමට එහෙට මෙහෙට පැද්දෙනවා. කොණ්ඩෙ තැනින් තැන අපිලිවෙලට රඳවාපු හෙයාර් ක්ලිප්.

පිස්සු කොණ්ඩයක්. කාක් කූඩයක්.


තුන්වෙනි තට්ටුවෙ දකුණු කෙළවරේ තියෙන අන්තිම සාප්පුවත් පහු කරල ඈ තවත් ඉස්සරහට යනවා. 
මේ කෙල්ලට පිස්සුද?
නෑ එයා ජංගමයා එක්ක හිනාවෙවී ඉස්සරහට යන්නෙ. පාරක් බලාගෙන ඇවිදගෙන යන්නෙ නෑ, කවුරුහරි උස්සන් යනකම් දන්නෙ නෑ.   

ඒ ගමන මෙන්න මේකි ෆෝන් එකට රවනව. පිස්සු කෝලමක්නෙ,
ඒත් . . . . . .
අන්න ඈ දොරක් ඇරගෙන ඇතුලට යනවා.


WORK  YOUR  MAGIC


මම මේ සාප්පුව මීට කලින් කවදාවත් දැකලා නැහැනෙ ! මම හිතුවෙ ලැප්ටොප් වර්ල්ඩ් ෂෝ රූම් එකෙන් මේ සාප්පු පේලිය ඉවරයි කියලා.


ඇතුලට යමු.

ඔහ් ! වැරදුනා. මම හරිනම් යමි කියලයි කියන්න ඕනා. ඒකට මක් වෙනවද. මමයි, එයයි. ඒ කියන්නෙ අපි. මම තනියෙන් යමි උනාට දැන් අපි දෙන්නම යමු.


අලුත් ෂොප් එකක්. මම හිතන්නෙ මේ දැනෙන්නෙ තීන්ත සුවඳ.


කෝ මාත් එක්ක ඇතුලට ආපු රෝස සපත්තුකාරි? අහා. . . . . අර සුකුරුත්තන් ෆෝන් රාක්කෙට එහාපැත්තෙන් පේන්නෙ කාක් කූඩු පිස්සු කොණ්ඩෙ. 


අමුතුම මොඩ්ල් ගණනාවක ලැප්ටොප්, පරිඝණක උපාංග මහ ගොඩක්. රෝස සපත්තු හෙවිල්ල මදකට නවත්තාපු මම ලැප්ටොප් එකින් එක පිරික්සන්න පටන් ගත්ත. ඔව් නේන්නම්. මම අද තකහනියෙ යුනිටි එකට ආවෙ ලැප්ටොප් එකක් ගන්න කියලනෙ.


ප්‍රදර්ශණයට තබා ඇති ලැප්ටොප් පරිඝණක පේලියක කෙලවර මම මෙතෙක් දැක නැති අලුත්ම මොඩලයක් එක්වනම මගේ ඇස ගැටුනා. අලුත්ම මොඩලයක් වෙනස්ම මොඩලයක්. මැගසින් එකකවත් දැකල නැහැ.


මේ අලුත් රිලීස් එකක්ද?” මම අසල ගැවසුන අලෙවි සහායකයෙක්ගෙන් විමසුවා.

ඔව් සර්. මේක මේ අවුරුද්දට ආපු අලුත්ම මොඩ්ල් එක. MGC 77. ස්ටොක් නම් ඉවරයි. මේ ඩිස්ප්ලේ දාපු දෙක විතරයි තියෙන්නෙ. . . .


ඔහෝ. . . . ! ඒ ජාතියෙන් තවත් එකක්. මෙතෙක් පිරික්සමින් සිටි දිලිසෙන දම් පැහැති ලැප්ටොප් එකට වඩා අලෙවි සහායකයා පෙන්වූ තද නිල් පැහැති පරිඝණකය මගේ සිත ගත්තා.


කොහොමද මේකෙ ප්‍රොසෙසර් එක?
හාර්ඩ් එක?”
රැම් එක?”
මම සුපුරුදු ප්‍රශ්ණාවලිය දිගඇරියා.


අලුත්ම මොඩ්ල් එක බොස්. 

Core i 7, 16 GB රැම්, 1 TB හාර්ඩ්, 2 GB සෙපරේට් VGA, 15.6 LED ස්ක්‍රීන් 

අලෙවි සහායකයා පුහුණු කරපු ගිරවෙක් වගේ කටපාඩමින් කියාගෙන කියාගෙන ගියා.


ප්‍රයිස් එක කීයක් වගේ වෙයිද?”

මේක අනූ අටක් වෙනව සර්. 
අලුත් කම්පනි එකක්නෙ. ගාන බොහොම අඩුයි.


ගන්නද? එපාද?  -  ගන්නද? එපාද?  -  ගන්නද? එපාද?

මගෙ හිත දෝලන අවලම්භයක් වාගේ ඒ අතට මේ අතට දෝලනය වෙන්න ගත්තේ නිරායාසයෙන්.


අනූඅටදාහක් කියන්නේ සාක්කුවට දැනෙන ගානක්. ආවෙ හැට පහකට විතර පරණ ලැපක් අරන් යන්න. ඒත් දැන් මොකද කරන්නෙ !

එක්කෝ කමක් නෑ. මේ තරම් හොඳ ෆීචර්ස් තියන වෙන ලැපක් අඩුම තරමේ ලක්ෂ තුනක්වත් වේවි. ඔන්නොහේ ගන්නවා.


බිල ගෙවන්න කවුන්ටරයට යන අතරෙදි මට ආයෙමත් මතක් උනේ රෝස සපත්තුකාරියව. සාප්පුව සිසාරා ඇස් දිවෙවුවත් ඇගේ ඡායා මාත්‍රයක්වත් දෑසට අසු වුනේ නැහැ.


මුදල් ගෙවූ පසු රෝස පැහැ ෂොපින් කාර්ඩ්පත වොලට්ටුවට ඔබා ගන්නා අතරේ මට යලිත් වරක් ඒ රෝස පාට සපත්තු දෙක මතක් උනා. ඔව්, මම ආසම පාට රෝස පාට. ඇයි කොල්ලෙක්ට රෝස පාටට ආදරේ කරන්න තහනම්ද?

මම රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්. 
ඇයි අවුල්ද?


මම සාප්පුවෙන් එළියට බැහැලා තුන්වෙනි මහලේ ඒ මේ අත ඇවිද්දේ රෝස සපත්තුකාරියව තවත් වරක් දැකබලා ගන්න ආසාවෙන්. ඒත් අවට සාප්පු එකකවත් ඈ හිටියේ නෑ. එළියට යන්න ඇති සමහරවිට. 


අනේ ඉතින් මට පාන් ද?


ලැපක් ගන්න ආපු මම කෙල්ලෙක් නිසා කට්ට කන්නෙ මොකටද ! දැන් කරන්න තියෙන්නෙ ඉක්මනටම බෝඩිමට ගිහින් මගේ අලුත් ලැපී ආදරිය එක්ක තුරුළු වෙන එකයි.


කොල්ලො කියන කතාව ඇත්ත.

මට නම් දවසක කසාද බැඳගන්න වෙන්නෙත් ලැපක්ම තමයි.



මම රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්. ඇයි අවුල්ද?





~ ~ මතු සබැඳි ~ ~