Saturday, August 3, 2013

තිස් හයවෙනි කොටස : පාට තුනේ අයිස්ක්‍රීම්


පූජා මලුවෙන් පහලට බැහැලා බස්සයි බස්සියි යන්නෙ නෙලුම් මලක හැඩේට හදලා තියෙන පොකුණ ගාවට. පෙරහැර කාලෙට ඊට එහා පැත්තෙ තියෙන තණකොල පිට්ටනියට යන්නත් බස්සි හරිම ආසයි. එතන තමයි පෙරහැරේ යන්න ගේන අලි ඇත්තුන්ව බැඳලා තියන්නෙ.

වාසනාවන්ත දවසක නම් පෙරහැරේ යන්න එන අලි ඇත්තුන්ව පොකුණ ළඟට ගෙනැල්ලා නාවනවා බලාගන්නත් පුලුවනි. එහෙම දවසට බස්සිව එතනින් අහකට ගන්න එක බස්සාට ලේසි වෙන්නෙ නෑ.

වතුර වැටෙනකොට අලි පැටවු තාලෙට පැද්දෙනවා. එතනට ඡායාරූප ශිල්පියො වටවෙනවා. සුද්දො ඇවිත් තමුන් නාන වෙලාවටත් ෆොටෝ ගන්න යන එක ගැන නම් එයාලගෙ වැඩි මනාපයක් නෑ. ෆොටෝ ගැනීම ඉවසන්නම බැරි වුනාම හොඬවැලට පුරවගත්තු වතුරෙන් වටවෙලා ඉන්න කට්ටියවම නාවනවා. කැමරා වලට දෙවි පිහිටයි ඒ වෙලාවට.

බස්සියි බස්සයි හිනාවෙවී බැම්මක් උඩට වෙලා ඉඳගෙන මේ සේරම සෙල්ලම් බලාගෙන ඉන්නවා.

එතන කාලෙ ගතකලා ඇති කියලා හිතෙනකොට දෙන්නත් එක්ක ගඟ දිහාවට යනවා. ගඟට බහින තැන කණ්ඩියෙ බස්සිගෙ ප්‍රියතම අයිස්ක්‍රීම් මාමා මග බලාගෙන ඉන්නවා. අයිස්ක්‍රීම් මාමා හැමදාමත් වගේ බස්සිලා ළං වෙනකොටම කෝන් දෙකක් අතට අරන් සූදානම් වෙනවා.


කෝන් එක උඩට අයිස්ක්‍රීම් ස්කූප් තුනක් වැටෙනවා. යටම එක ලා කොල පාට, දෙවැනි එක වැනිලා පාට, උඩම එක ස්ට්‍රෝබෙරි පාට.

බස්සා එක අතකින් අයිස්ක්‍රීම් දෙකත්, අනිත් අතින් බස්සිවත් අල්ලාගෙන තොටුපොළ ගාවට ගිහින් ගලක් උඩ වාඩි වෙලා වතුරට  කකුල් දමාගන්නවා. බස්සි හොඳට තෝරලා බලලා ලොකු අයිස්ක්‍රීම් එක අරගන්නවා.  බස්සා පැනපු ගමන් ඒකෙන් කටක් කාලා "දැන් ඒක මගේ....." කියලා හිනාවෙනවා.

ගඟේ එහා මෙහා යන පාලම් පාරුව කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නෙ නැති දර්ශනයක්. ඉඳහිටලා 'කැළණි සවාරි' බෝට්ටුවත් මොන්ටිසෝරි බට්ටො ටිකක් පුරවගෙන බස්සිලාව පහු කරගෙන යනවා. බෝට්ටුවෙ ඉන්න බට්ටො ටික බස්සිට අතවනනවා.

බෝට්ටුවෙත්, පාළම් පාරුවෙත් ගමනින් කැළඹෙන කැළණි ගඟේ වතුර බස්සිගේ කකුල් වල හැපිලා දඟ කරනවා. මාලු පැටව් හොරෙන් හොරෙන් ඇවිත් බස්සිගෙ ඇඟිලි වලට කොටලා ඈතට පීනනවා.

"බලන්නකෝ බස්සෝ......" බස්සි හුරතල් වෙනවා.

"ඇයි මොකද උනේ නංගෝ...?"

"මට මාලු කොටනවා."

බස්සා හෙමිහිට බස්සිගේ කර වටේ අතක් දා ගන්නවා.

"සූකිරි බෝලෙ පැණි රහ ඇති" බස්සා හිනාවෙවී කියනවා.


7 comments:

  1. සූකිරි බොලේ පැණි රහ ඇති.. මොකද යකූ අයිස් ක්‍රීම් එක කකුලේ ගාගෙන ද ඉන්නේ.. :p
    කතාව නම් එලස්... ආදරේ කරන්න හිතෙනෝ.. හැබැයි එව්වට වග කියන්න වෙයි ඈ...

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ...

      අනේ සාදු! බෙනා සූකිරි බෝලයක් හොයාන ආදරේ කොරන්න ගත්තොත් මටත් පිනක් සිද්දවෙයි නොවැ.

      Delete
  2. සූකිරි බොලේ පැණි රහ ඇති.............. හික්ස් එක තමා දවසේ කතාව

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඇත්තටම දැන් නම් ආදරේ කරන්න කෙනෙක් හොයා ගන්න ඕනි කියලා හිතෙනවා.
    campus ඇවිත් අවරුදු 2ක් ම ගෙවිලා ගියා....


    කතාව කියවද්දී ලෝබ හිතෙනවා .......

    ReplyDelete
    Replies
    1. හි හී.... අලුත් නැවට බැහැලා බලන්න.

      Delete