Thursday, October 31, 2013

හිතේ දුකට එතකොට කවි කියවෙනවා............


බස්සි එක වතාවක් කැම්පස් කොකු ගැන ලියැවුන කුරුටු ගී එකතුවක් පළ කලා මතක ඇතිනෙ. මතක නැත්නම් ඉතින් මෙන්න ලින්ක් එක. අද ලියන්නෙත් කුරුටු ගෑ ගී ගැනම තමයි.

සරසවි ජීවිතේ අමතක කරන්න බැරි අංගයක් තමයි සරසවි කුරුටු ගී. බස්සි සරසවි කුරුටු ගී වලට ආදරේ කරන්න පටන් ගන්නකොට අවුරුදු දහයක් විතර පොඩි කුරුලු පැට්ටෙක්. ඒ දවස්වල පළමු වතාවට කුරුටු ගී රසවින්දෙ බස්සිගෙ අයියා කෙනෙක් ගෙනත් දුන්නු පේරා කැම්පස් එකේ සමරු කලාපයක මුද්‍රිත කවි එකතුවකින්. බස්සි සරසවියට ආදරේ කරන්න පටන් ගත්තු කාලෙදි මුලින්ම ලියන්න ඕනෙ විභාගෙ ඕ/ලෙවල් ද නැත්තම් ඒ/ලෙවල් ද කියලාවත් දැනගෙන හිටියේ නැහැ.




පුංචි කාලෙ අයියා කියාපු කුරුටු ගී අහගෙන හිටියෙ විනෝදෙට. පස්සෙන් පහු තේරුනා පිටත සමාජෙට කෑ ගහලා කියන්න බැරි මොන තරම් වේදනාවල් ගොන්නක් ඒ පද පේලි අතරෙ හැංගිලා තිවුනාද කියල.


සරසවියේ මගෙ අම්මෝ සරසවියේ
කියනා දෙයක් ඔලුවට යන්නෙම නැතියේ
තාත්ත ලෙඩ ඇඳේ මහපොළ තව නැතියේ
අම්මේ අනේ ඉවසන්නට මට බැරියේ

ඇත්ත, මේක තමයි බහුතරයක් සරසවි ශිෂ්‍යයන් මූණ දෙන යතාර්තය. ඔය අතරෙ ඉතින් පැජරෝ එකෙන් බැහැලා මහපොළ අරන් යන උදවියත් නැතුවාම නොවෙයි. මහපොළත් නැතුව ගිය බස්සියි බස්සයි වාගෙ රජයේ සේවකයන්ගේ දරුවොත් බොහොමයක් ඉන්නවා සරසවිවල.

මහපොළත් නැතිව, අතේ සල්ලිත් නැතිව ඉන්නා මොහොතක ගත පෙළන කුසගින්න ගැන ලියැවුන සරසවි කුරුටු ගී කිහිපයක්;



කුසගින්න කුසගින්න
කාට මම කියන්නද
එවූ මුදල ඉවරයි
අම්මේ......




 
බඩගිනි වෙලා මා ගිය කළ ජිම් එකට
ගල් වුන වඩේ විතරක් තිබුනි කෑමට
කූල් ප්ලේන්ටිය උගුරෙන් යන කලට
තුක් නොදකින් සිතුනි මේ විඳිනා දුකට

 

ජිම් එක කියන්නේ බස්සිලාගෙ කැම්පස් එකේ කාය වර්ධන මධ්‍යස්ථානයට යාබදව පිහිටුවලා තියන කැන්ටිම.

 
උඩින් ලියා තියෙන කුරුටු ගී මෑතකදි බිහිවුන ඒවා. මේ තියෙන්නෙ පේරා කැම්පස් එකේ අතීතයේ පටන් පැවත එන කුරුටු ගීයක්.


පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා


 

මේ කවියත් අර බස්සි පුංචි බබා කාලෙ අයියා ගෙනත් දුන්නු සරසවි සමරු කලාපයේ තිවුනු කවියක්. දැන් කැම්පස් වල කැන්ටින් කෑම දැක්කම හිතෙනවා ඒ ළමයි කොයිතරම් වාසනාවන්තද කියලා.

 
සිහිනෙන් පවා මගෙ සුඛවිහරණේ පැතූ
අම්මා දනීනම් මේ සරසවියෙ තතූ
වර බොල කොලුවො යයි දෙනෙතින් කඳුලු යුතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ


 
මේ සරසවි කාලසටහන කියලා මාතෘකාවක් යටතේ බස්සිගේ හොස්ටල් එකේ ඇඳ ගාව ලියා තිවුන කවියක්

දහවල විප්ලවය
සැඳෑවේ ප්‍රේමය
රාත්‍රිය අද්‍යාපනය
උදෑසන නින්ද


 
මේ කවිය  නම් වත්මන් කුරුටු ගීයක්. අද කාලෙ වෙනකොට ස්ටුඩන්ට් යූනියන් වල නියම තත්වය මේ කවියෙන් අපූරුවට කියා දෙනවා.

ලටෙක් වුන්ට තෝතැන්නකි යූනියන්
පට්ට යක්කු අරක් ගත්තු යූනියන්
කැට සල්ලිත් පිල්ලි ගහන යූනියන්
ගමේ එවුන් කඩේ යවන යූනියන්



කෝස් එකට යට වීලා මෙහි සිටියත්
එක අතකට මරු ආතල් මේ දිවියත්
කෑල්ලකින් ඇණ වීලා චොර වුවත්
සතුටින් හිදිමි ස්බ්ජෙට් ඇණ වී සිටියත්


 
කතාවක් තියෙනවානෙ "ඇණයක් නැති සරසවි ජීවිතය පලක් නැත." කියල. සබ්ජෙක්ට් එකක් ඇණ වීමත්, කස්ටිය එක්ක ඇණ ගොඩ දාන්න වලි කෑමත් කියන සුන්දර අත්දැකීම බස්සිත් සරසවි ජීවිතේ එකම එක වතාවක් අත්විඳලා තියෙනව. කොල්ලො ඇණේ ගොඩ දාන්න ඉඳ ගන්නෙම ඇණ දීපු ලෙක්චරර්ට කටපුරා මෛත්‍රී කරලා හෙම තමයි.




කස ගස්වල කොළ හැලිලා මැලවීයන්
තෙල් බැම්මේ බැමි ලිහිලා ගැලවීයන්
සයිබාවේ නයි පොළොඟුන් බිහිවීයන්
මට ඇණ දුන් එකී කණවැද්දුම් වීයන්


 

මේ කියන්නෙ වෙනස් විදියක ඇණයක් ගැන. සබ්ජෙක්ට් ඇණ සහ බූට් හෙවත් කොකු ඇණ කියලා ඇණ වර්ග දෙකක් තියෙනව නෙව.


කෑවද බීවාද අසමින් නිති සෑමා
යන එන මඟදි එන සෙවනැල්ලක් සේමා
මිතුදම් එකට බැඳි විලසට රන් දාමා
මතු සසරෙදිත් හමු වේවා මගෙ රූමා

 

මේ වාගෙ හිත හොඳ රූමෙක් සෙට් වුනොත් ඉතින් පූරුවේ වාසනාව. ඒත් අද කාලෙ නම් ගොඩක් උදවියට සෙට් වෙන්නෙ මෙන්න මේ වාගෙ රූමලා ;


 
ගුණයේ ගුණය අගුණය එනමුත් ගුණය
ගුණයේ ගුණය දුටු මිනිසා අසරණය
මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය
මට දුක උඹට ඒ පින නැති එක ගැනය


 

මෙහෙම කියන රූමලා තමයි අද කාලෙ බහුතරයක් ඉන්නෙ. අද්‍යාපනයට තියෙන බෙලි කපන තරඟයත් එක්ක එහෙම උදවිය කැම්පස් වලට වැඩි වැඩියෙන් ඇතුලු වෙන එක පුදුමයක් නෙමෙයි.


අම්මේ තාත්තේ නුඹ මට සමාවෙයන්
ආවේ හදේ මහ පැතුමක් තුරුලු කරන්
නැහැ මම දන්නෙ කඩු හරඹය කොහොම කරන්
පුලුවන් වුනොත් එන්නම් ඩිග්‍රියක් අරන්





හෝඩියෙ ඉඳන් දහතුන තෙක් කට පාඩම්
ටියුෂන් ගිහින් නිඩි වැරුවෙමි හොඳ පාඩම්
කඩු හරඹෙන් දෙන විට සරසවි පැවරුම්
සිහිවෙනවා මට දෙවියන් හතරවරම්

 

කඩු හරඹ බැරි කම නිසා අසරණ වෙන දක්ෂ සහෝදර සහෝදරියො කැම්පස් වල ඕනැතරම්. කඩ්ඩ බාල්දු කරලා කඩු හරඹ බැරිම එවුන් ටික පුම්බන්න ට්‍රයි කරන ස්ටුඩන්ට් යූනියන් වලටත් මේ ප්‍රශ්නෙදි ඇඟිල්ල දිගු කරන්න වෙනවාමයි. කඩ්ඩ පාවිච්චි කල යුතු තැනදි කඩු හරඹ පෙන්වන්න නම් කඩු හරඹය පුහුනු වෙන්නත් අවස්ථාවක් දෙන්න ඕනෙ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?


දේශන මොටද මතකයෙ රඳවන්න බැරි
සටහන් මොටද කියවා නිමවන්න බැරි
බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි
ඩිග්රිය මොටද රැකියාවක් ගන්න බැරි


නරියා හූ කියයි ඩිග්රිය ඌට නැත
එළුවට රැවුල ඇත campus ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික පමණි ඩිග්රිය නම් පලක් නැත

 

දැනුම නම් ලැබෙනවා. ඒත් ඒ දැනුම මොන තරම් දුරට ප්‍රායෝගිකද කියන ප්‍රශ්නයෙදි අපි අසරණ වෙනව. අපේ බැච් එක අවුට් වෙලා දැන් මාස හයක් විතර. උපාධිය නිසා පමණක්ම, මම කියන්නෙ ඒ සහතිකේ නිසා පමණක්ම රැකියාවක් ලැබුනු අය අතේ ඇඟිලි වලින් ගනින්න පුලුවනි. ඒත් පොළවෙ පය ගහලා, කොන්ද කෙලින් තියාගෙන, කෙලින් කතා කරන්න පුලුවන් පන්නරයක් ලබා දුන්නෙ සරසවි ජීවිතය. අඩුම තරමේ ඒ පන්නරය ලබා ගත්තු කෙනෙක්ට පුලුවනි බය නැතුව ජීවිතේට මූණ දෙන්න. උපාධි සහතිකේ බලාගෙන බෙලි කපාගෙන, යටි උගුල් ඇදගෙන මේ අවුරුදු හතර ගත කල උදවියගේ තත්වය නම් හරිම ශෝචනීයයි.


සෙමෙස්ටරේ කාපිය නුඹ
මගේ මුලු සිරුරම
බීපිය
මගේ රීරි මාංශයම....



මේ තරම් කළකිරීමෙන් අද්‍යාපනය ලබන අයත් නැතුවා නොවෙයි. ඒ ගැන නම් බස්සිට කියන්න දෙයක් නෑ.

 
මේක පහුගිය කාලෙ අද්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධව මොරටුව සරසවියෙන් කළඑලි බැහැපු කවියක්

ඔබද ලක්ෂපති -  මමද ලක්ෂපති
එහෙමනං ඉතිං
ෂුවර් ඩිග්රියක් ඇති

 
පහුගිය අවුරුද්දෙ පවත්වපු මහා ආචාර්ය වැඩ වර්ජනය වෙනුවෙන් ලියාපු කුරුටු ගීයක් මේ.


ඩිග්රිය ගන්න කැන්දා
තවත් කල් යයිද මන්දා
අනේ ඒ හින්දා
ඔන්න මම නම් ඊයේ බැන්දා



හ්ම්ම්.... මෙහෙම ගියොත් මේ ලැයිස්තුවට අවසානයක් නැති වෙයිද මන්දා.... ඒ නිසා අඩුපාඩු ඇත්නම් සහ තවත් එකතු වි යුතු කුරුටු ගී තියේනම් පහළින් කොමෙන්ටු විදියට එකතු කරන්නකෝ.....


48 comments:

  1. හික්ස් කඩ්ඩ පුලුවන්නම් ගොඩ ද.මට පුළුවන් කඩ්ඩ විතරයි.කොම්බයින්,පිසික්ස් අම්බ්බ අමාරුයි.ඉතින් කැම්පස් යන එක මට හීනයක් වගේ agri එකටවත් පන්නින ඕනි එත් කොහෙද අරයා ඉන්නවා .ඒක නිසා එකත් විදිහක් නෑ

    ReplyDelete
    Replies
    1. මැත්ස් කරලා ඇග්‍රි යන්න?? අනේ මන්දා එහෙම බෑනෙ! කඩ්ඩ පුලුවන් උනාට සේරම හරි යන්නෙ නෑ මලයා. ඒත් අනිත් සේරම තිබිලා කඩ්ඩ විතරක් නැතුව දඟලද්දි තමයි අවුල.

      Delete
    2. බයෝ කරලනම් අග්රි හොදයි ,, මැත්ස් කරලනම් එපෝ ඉදගෙන

      Delete
  2. ඩිග්‍රිය විතරක් කැම්පස් එකෙන් ගන්න බෑ, එහෙම ගත්ත ඩිග්රියෙන් ඇති වැඩකුත් නෑ. කැම්පස් එකෙන් එන්න ඕන ජීවිතය ඉගෙනගෙන. පේරාදෙණියේ අපි හිටපු අක්බාර් එකේ කවි පොත් දහයක් ගහන්න කවි තියෙනවා. වෙලාවක් දාන්නං

    ReplyDelete
    Replies
    1. "පොළවෙ පය ගහලා, කොන්ද කෙලින් තියාගෙන, කෙලින් කතා කරන්න පුලුවන් පන්නරයක් ලබා දුන්නෙ සරසවි ජීවිතය. අඩුම තරමේ ඒ පන්නරය ලබා ගත්තු කෙනෙක්ට පුලුවනි බය නැතුව ජීවිතේට මූණ දෙන්න."

      …ලියන්ටකෝ ඉතින් පවුලූශෝ... කුරුටු ගී කියවන්න ආසාවෙන් ඉන්නෙ.

      Delete
    2. නෙල් හෝල් එකේ හතරවෙනි තට්ටුවේ ෆැකල්ටිය පැත්තේ කාමරේක මාත් දිග කවියක් ලිව්වා. දැන්නම් ඒවා මැකිලා ඇති.

      Delete
    3. නෑ කකා ලිව්වනම් අනිවා ඇති, අක්බාර් නිව් වින්ග් එකේ හතරවෙනි තට්ටුවේ කාමරේක මම ලියපු එකක් මේ ලඟක් වෙනකන් තිබුනා දැන් තියෙනවද නැද්ද කියන්න නම් දන්නේ නෑ , එක සැරයක් අපි ඉද්දි ඔය හොස්ටල් එකම කලර් වොෂ් කළා අපි කලේ ,තීන්ත ගාලා ඉවර උනු ගමන් කාමර ඇතුලේ කවි තිබ්බ තැන් ටික තෙත රෙදි අරන් අර තීන්ත ඇරලා "පිරිසිදු" කරපු එක.

      Delete
    4. ඉවාන්
      මෙන්න මා ලියූ කවියේ අන්තිම පද කිහිපය.

      අසාධාරණයෙ අඳුර බිඳින්නට
      හිරු පායනතෙක් සිටි කාලය ඇති
      බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
      හෙට මුළු ලෝකය එළිය කළ යුතුය.

      :-(

      Delete
    5. ආවු අප්පා කකාත් අපූරු කයි කාරයෙක් නෙව. කකා ලියාපු කුරුටු ගී තව තියේනම් කියන්නකෝ.

      Delete
    6. කකා හොඳ කවි කාරයෙක් බව මාතලන් වතාවක් කිව්වා , එත් කකා දැන් බ්ලොගේ කවි ලියන්නේ නෑනේ ....?

      Delete
  3. දෙකක් හැරෙන්න අනික් එවා අහලා නෑ...

    මරු ඈ..........

    ReplyDelete
    Replies
    1. වැඩියෙ ප්‍රසිද්ධ නැති කුරුටු ගී එකතුවක් තමයි දැම්මෙ රෙහානි අක්කා. තැන්කූ හොඳේ...

      Delete
  4. බස්සි ජිම් එකෙන්ද කන්නෙ...බැරිවෙලාවත් හිල්ටන් එකෙන් එහෙම කැවෙන්නෙම නැද්ද ? තෙල් බැම්ම පන්නලා සයිබෙ පැත්තෙ එහෙම යන්නෙ නෑ ඔන්න....

    ReplyDelete
    Replies
    1. ආව් අප්පා... සිරා කැළණියෙද? සන්තෝසයි!!

      …බස්සි කන්නෙ බේස් එකෙනුයි ස්ටාර්ෆ් එකෙනුයි. දැන් සයිබාව කපලා ඒකෙ එළිමහන් රංග ශාලාවක් හදනවා. ළඟදි ගියෙ නැද්ද ඒ පැත්තෙ?

      Delete
    2. නැත...මට කැම්පස් යන්න වාසනාවක් ලැබුනේ නැත...මගේ යහලු යෙහෙලියන් රැසක්...ඥාති සහෝදරියන් කීප දෙනෙකු...මගේ පැරණි පෙම්වතිය... ආදී සියල්ලෝ කැලණිය සරසවියට පියනැගූවෝ හෙයින් ඔය බිම මටද හොද හැටි හුරු පුරුදුය. දෛවය මා සරසවි පිවිසුම අසලටම කැදවාගෙන විත් නැවැත්වූවෙහිය. මදි වූයේ දශම ගණනකි. එයින් මා සැලුනේ නැත..වෙනත් මාර්ග වලින් වෘත්තීය අධ්‍යාපනය ලබා මගේ මාවතේ මා ඉදිරියට පැමිණ ඇත. දැන් රටෙත් නැත.

      Delete
    3. ආ.... ඒක තමයි මෙයා සයිබාව ගැන හොඳට දන්නෙ! අද අහු වුනා හොරේ!!!

      Delete
    4. අනේ නෑ...මම බොහොම සංවර බොහොම සීරියස් ආදර වන්තයෙක්...මගේ ආදරවන්තියව පණ වගේ සුරකින...මගේ ඔහෙ හිටපු අක්කලා තමයි සයිබෙ පෙන්නන්න දවසක් එක්කගෙන ගියේ...මල්ලි මේ සයිබෙ කිව්වා...ඒ වෙද්දිත් කුඩ යට කපොල් කීපයක්ම ගුලි වෙලා...මට මොන මගුලක්ද කියලා මීටර් උනේ තවත් දවසක් දෙකක් ගිහින්...

      Delete
  5. හේහේ.. අපේ බංකු වලත් තියෙනවා. ඔයිට වෙනස් එවුවා. අපි ඉතින් උපාධි කඩෙන් ගන්න ළමයිනේ ^_^

    ReplyDelete
    Replies
    1. අනේ සුදා ඔයාව දැක්ක කාලයක්...දැන් අපිව අමතකම වෙලා නොවැ...

      Delete
    2. ඉතිං මදාරගෙ යුනි එකේ බංකුවක තියෙන කවියකුත් ලියලාම යන්නකෝ. මමත් කඩෙනුත් එකක් ගත්තා. ඒත් ඒ කඩේනම් කුරුටු ගී තිවුනෙ නෑ. නිකං උපාධිය දුන්නු කැම්පස් එකේ තමයි මේ වාගෙ වටින කියන ඒවා තිවුනෙ.

      Delete
  6. තාම ඔය කොකු ජාති එකක් වත් කන්න බැරි උනා. ඒ නිසා කුරුටු ගෑවුනේ කවි පද තාම.
    අපේ ෆැකල්ටියේ ඉන්න ලෙචෙක්ට ලියවිච්ච එකක් මේ..
    පොල්ගොල්ලේ සිටි අමරේ...
    රජරට ආ අපෙ අමරේ...
    කාගෙද මේ පුතු අමරේ...
    පිස නොදමා ඇති සරමේ....

    :D

    ReplyDelete
    Replies
    1. හී.... ඒකනම් මරු නාඩියෝ... :)

      Delete
  7. ඒත් ඕවයි තියෙන ජොලිය ප්‍රයිවෙට් කැම්පස්වල නෑ.. මෙලෝ රහක් නෑ. A/L ක්ලාස් ගියපු කාලෙ වගේමයි අපි තාමත් :(

    ReplyDelete
    Replies
    1. සිරා කතාව. සිමා ක්ලාස් ගියා මෙලෝ රහක් නෑ. ඒකෙ ග්‍රැජුවේශන් එකවත් කිසිම ගතියක් නෑ නිකම් ඉස්කෝලෙ කොන්සට් එකක් වගේ. ෆොටෝ නම් තියෙනවා ලෝකෙට පේන්න කොලිටියට ගන්න. දැනුම ලැබෙනවා. ජීවිතේ හිස්.

      Delete
  8. නරියා හූ කියයි ඩිග්රිය ඌට නැත
    එළුවට රැවුල ඇත campus ආවේ නැත
    මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
    සහතික පමණි ඩිග්රිය නම් පලක් නැත



    හි හි මේකනම පට්ට ඔමා මොරටුවෙන් පැන්නේ ඕවා ආදර්ශෙට අරන්

    ReplyDelete
    Replies
    1. ඔබද ලක්ෂපති කුරුටු ගීයත් මොරටුවේම තමයි.

      Delete
  9. වැසිකිළි කුරු ගී තවත් අපූරුයි

    ReplyDelete
    Replies
    1. චීයා.... අපෙත් තියෙනවා එහෙම එවුවා ලියල.

      Delete
  10. දැන් සමහර කුරුටු ගී තීන්ත ගාල මකල දානව නේ. එහෙම කරන එක සුදුසු දෙයක් නෙමේ. හැබයි මම දකින තව දෙයක් තියනවා. දැන් ගොඩක් වෙලාවට මේස පුටුවල ලියවෙන්නේ සින්දු කෑලි මිසක් ඉස්සර වගේ තමන් ගෙ කවි නෙමේ. එහෙම දෙයක් ලියවෙන්නෙ කලාතුරකින්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මමත් දැකලා තියෙනවා ඔය දේ. මමනම් හිතන්නෙ ඕකට හේතුව තමයි; "ඉස්සර ළමයි කැම්පස් ගියේ ජීවිතේ හොයාගෙන. දැන් ළමයි කැම්පස් යන්නෙ උපාධි සහතිකේ හොයාගෙන."

      Delete
  11. අපිටනම් ඉතින් කැම්පස් නැති උනාට ඔය වගේ ඒවා ටිකක් ලියපු මේසයක්ම තිබුනා A/L කාලේ.. ම්ම මේ කල්පනා කලේ ඒක අපෙන් පස්සේ කාට හම්බුවෙන්න ඇත්ද කියලා..

    ReplyDelete
    Replies
    1. හී බස්සිත් ඉක්කෝලෙ කාලෙ කුරුටු ගී ගැටගහන එක තමයි කලේ ගොඩක් වෙලාවට පංතියේ පිටිපස්සෙ පෝලිමට වෙලා.

      Delete
  12. කවදා කාපු ටකරන්ද අපි ගියාදැයි කැම්පස්

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒකනේ රාළේ කියවලා බලන්නකෝ...

      Delete
  13. ලස්සනයි කවි ටික.ඉවාන්ගෙ කතවට මමත් එකගයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දමිත්. :)

      Delete
  14. appachchiye.. math sarasavi kurutu gee kiyawanna gaththe aurudu pahe haye idan man hithanne.eeth den eththatama sarasaviyata yanna heena mawana hinda mevva dakina kota hithata mevva ekak denenawa-ei kohoma hari sarasaviyata yannath epaye....))))))

    ReplyDelete
    Replies
    1. මේවා කියවද්දි හිතට එන මෙවුවා එක වැඩි වෙන එක න ගොඩක් හොඳයි. එහෙනම් වර්ෂා මම ලියාපු "කැම්පස් සීන්" ලිපි පෙළ කියවන්න. හිතට එන මෙවුවා එක වැඩි වෙයි.

      Delete
    2. mage jeevithe vedi kalayak campus 1ke thama gevennee.. eeth ithin neethyanukulawa ehata yanna onane...))) man e lipi tika kiyewwa mathakai.. thama kathawa nam kiyawanna beri vuna.

      Delete
  15. //...ඔය අතරෙ ඉතින් පැජරෝ එකෙන් බැහැලා මහපොළ අරන් යන උදවියත් නැතුවාම නොවෙයි....//

    මේකට එක හේතුවක් තමා උ.පෙළ දිවයිනෙන් සහ දිස්ත්‍රික්කයෙන් ඉහළ ස්ථාන ලබාගත්තු අයගේ ආර්ථික මට්ටම සළකන්නේ නැතුවම මහපොළ ශිෂ්‍යත්වය පිරිනමන්න කටයුතු කරලා තියෙන එක. ඒකදී සාමාන්‍යයෙන් 2500 ක් ලැබුණත් එයාලට රුපියල් 50 ක් හෝ 100 ක් වැඩියෙන් හම්බෙනවා.

    බස්සි කැලණියේ නේද ? කියන විස්තරවල හැටියට නම් සයනස් ෆැකල්ටියේ වෙන්න ඕනේ :P

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ගොඩක් බිස්නස් කාරයන්ගෙ දරුවොත් බොරු ආදායම් වාර්තා පෙන්වලා මහපොළ හෝ බර්සරි ගන්නව නේ.

      ඔව් ඔව්. මම කැළණිය සයන්ස් තමයි. කොහොමද අනුමාන කලේ?

      Delete
  16. @ බස්සී

    සයිබේ, ජිම් එක, හිල්ටන් එක වෙන කොහෙද තියෙන්නේ :P මාත් කැලණියේ මේ අවුරුද්දේ අවුට් වුණේ :)

    ReplyDelete
    Replies
    1. ඔහෝ මොකක්ද ෆැකල්ටිය? මම 2007/2008 බැච් එකේ

      Delete
  17. @ බස්සී

    ආහ් බස්සී මට වඩා නාකිනේ :P මම 2008/2009 බැච් එකේ. social sciences ෆැකල්ටි එකේ :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... අපි නාකි වුනාට අපිට වඩා නාකි අයට වඩා ජීවිතේ ගොඩක් ඉදිරියෙන් ඉන්නව. :)

      Delete
  18. පුංචි කවියක් වෙනස් විදිහට අපි අහල තියනවා...

    සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතු
    රජකම ගන්න රජ ගෙදරට ගියයි සිතු
    අම්ම දනීනම් මේ සරසවියේ තතු
    ගෙනගොස් බොහෝ කල් මේ දුක විදින පුතු

    ReplyDelete
  19. දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි නගා
    අන්දර කැලේ වැට ගාවදි දුටුව නගා
    සිනහ පපා මුකුළු සිනා පෑව නගා
    අපට නොදී සීනියර්ට දීපු නගා

    ReplyDelete
  20. සින්නන්ගෙන් ජුන්නන්ට


    පැමිණ සරසවි කෙතට...
    ලපටි පැලයක් ලෙසට...

    කෙත කටුකයැයි කියා...
    පිලළුන්ගෙ වහසි බසට...
    අවි අමෝරාලන්ට...
    පැහැබරවු කෙත් බිමට...

    තරහ නැත නංගියේ මල්ලියේ
    ගස කොහේ උඩ ගියත් මුල් ඇත්තේ පොළවෙ බව
    දනිමි අප

    කෙත මුඩුවූ දිනක
    ගස කෙසේ පවතිම්ද......................

    ==============අග්නී =====================

    ReplyDelete