රොමානා අත් පරිගණක තිරයෙන් දෑස මෑත්කර හිස වමට, දකුණට, යලි වමට කැරකෙව්වාය. පුවත්පත් කාර්යාලය, ‘පුවත්සල’ බවට රූපාන්තරණය වූයේ දශක දෙකතුනකට පෙර වුවද, රාජකාරියේ වෙහෙස පෙර පරිදිමය. දැන් සෝදුපත් යන්ත්‍ර ද, පිටු සැකසුම් රොබෝවරු ද සුළු බීප් නාද කිහිපයකින් පසු පුවත් සකසා, සංසරණයට සුදුසු තත්වයට නිමවා දෙන බැව් සැබැවි. නමුත් දවසින් බාගයක් අහවර වෙන්නටත් පෙර උරහිස් දෙපසින් ඇරඹී කොඳු ඇට පේලිය දිගේ පහල බසින වේදනාවත්, හෙඩිමකට වචන ගලපා ගන්නට පවා පැය ගනන් හිස කළඹවන තැනට පත් කරවන දැඩි මානසික වෙහෙසත් දිනෙන් දිනම තම නූස් කෙසඟ සිරුර වෙලා ගන්නා බැව් රොමානා සිහි කලේ කළකිරීමෙනි.
“වයසට වෙන්නැති.” දන්නා හඳුනන කවුරුත් කීවේ එහෙමය. යාන්තම් විසි විය ඉක්මවන්නටද පෙරාතුව දිවයිනේ විශාලතම පුවත්පත් සමාගමක රැකියාවට බැඳුන ඕ දැන් අදාල සමාගමේ ප්‍රධාන කතෲවරියකි. පසුගිය දශක දෙක තුල සිදුවූ තාක්ශණික පෙරලියත් සමග ‘පුවත්පත්’ ඉතිහාසයට අයත් වදනක් බවට පත්වෙද්දී ‘ඩිජිටල් පුවත් හලක්’ බවට පෙරැලුණු පුවත් කාර්යාලය ව්‍යාපාරික සමුද්‍රය කළම්බමින් ඉහළ නැගෙන රළ පහරවල් හමුවේ එහෙ මෙහෙ පෙරැලී, සුමට වී, මටසිලිටි වී හඳුනාගන්නට නොහැකි තරමට වෙනස් වී තිබුණි. විසි වියැති තරුණියක්ව, කාර්යාලයේ පටු කොරිඩෝර දිගේ කෝලිත්තම් කරමින් ඇවිද ගිය හැටි, සමවයස් සගයන්ගේ කෑ කොක්සන් නදින් දැවමය පොළොව සහ උස් කුළුණු වෙව්ලුම් කෑ හැටි එකිනෙක කැලතී නොස්ටැල්ජීය රිදුමකින් ඇගේ ඇස් කෙවන්නට වී. පුටුව මත වට දෙකතුනක් කරකැවුණු රොමානා උපැස් යුවල පිස දමමින් පුටු ඇන්දට හිස බර කරගෙන කල්පනාවේ නිමග්නව උන්නාය.
“රොම්සී”
එක්වරම ඈ ඉදිරිපස අවකාශයේ දිගහැරුණු සල්ලාප තිරයෙන් එබී උන්නේ විද්‍යා සඟරා සංස්කාරකවරයා ය. දිගැටි නිකටක්ද, විචක්ෂණශීලී දෙනෙතක්ද හිමි ඔහුගේ මුහුණ දකින රොමානාට සිහිපත් වූයේ රාජාලි කුරුල්ලෙකි.
“අමතනවා මන්දිල්. මොකක්ද ප්‍රශ්ණෙ?’
ඈ තිරය වෙත නැමී එහි ආලෝක සහ විශාලන සැකසුම් සීරුමාරු කලාය. රාජාලි තරුණයා සිය වැඩ මේසයෙහි වූ ලිපියක්, දබරැඟිල්ලෙන් ගෙන තිරය මතට ප්‍රක්ෂේපණය කරන්නට යෙදුණි.
‘අකාලික යෞවනයා’; ඒ විද්‍යා ප්‍රබන්ධයක් බව වටහා ගැනීමට රොමානාට තත්පර කිහිපයක් ගතවිණි. “ඔව් දැන් මොකක්ද ප්‍රශ්ණෙ?”
“මේ විද්‍යා ප්‍රබන්ධය තමයි ප්‍රශ්ණෙ.”
මන්දිල් මද සැකයකින් මෙන් වදන් ගැලපීය. “ඇත්තටම තව සුළු මොහොතකින් මේක පාඨක අවකාශයට සංසරණය කරන්නයි නියමිතව තිබුනෙ. කතාවේ මතුපිටින් පේන කිසිම අවුලක් නැහැ. ඒත්, ඒත්, මොකක්දෝ වාසනාවකට මට ආසා හිතුනා සංසරණයට අනුමැතිය දෙන්න කලින් කතාව කියවලා බලන්න. ඇත්තම කිව්වොත් මම මලපාලුවෙන් උන්නෙ රොමානා.”
“අපි හැමෝම එහෙමයි. නැද්ද?”
රොමානා මුවගට සිනහවක් නගා ගනිමින් තෙපලාය.
“මුළු කතාවම පදනම් වෙලා තියෙන්නේ සෛල වයස්ගත වීම පිළිබඳ ජානමය සම්බන්ධතාවය මත. අපි ඒ කල්පිතයේ බිඳවැටීමත් මුක්ත ඛණ්ඩක සම්බන්ධ කල්පිතය තහවුරු වීමත් ගැන වෙනමම විශේෂ විද්‍යා කලාපයක් නිකුත් කරලා දැන් මාස තුනක් වෙනවා. එහෙම තත්වයක් යටතේ මේ විද්‍යා ප්‍රබන්ධය පල කරන්න පුළුවන්ද? මේක ප්‍රබන්ධයක් විතරක් තමයි. ඒත් ඔයා දන්නවනේ පුවත් නියාමන කොමිසම බලාගෙන ඉන්නෙම අපි වංගුවක් ගහනකම්, කර මුලින් අල්ලා ගන්න.” මන්දිල්ගේ කටහඬ වෙහෙසකරය.
“එවන්න.” රොමානා උපැසට උඩින් බලමින් කීවාය. “මම පුලුවන් දෙයක් කරන්නම්”
“තැන්ක් යූ රොමානා! ඔයා නම් අපිව ගලවා ගන්න ආපු සුරදූතිකාවක්!” තිරය මත බොඳවෙමින් පැවතුන මන්දිල්ගේ මුහුණේ දෙතොල් චලන පෙනෙන නොපෙනෙන තරමට අපැහැදිලි විය.
ඕ විද්‍යා ප්‍රබන්ධය දිගහැරියාය.
"විද්‍යා ප්‍රබන්ධ කතා අංක එක්දහස් අටසිය අසූ පහ
ආචාර්ය තියඩෝර් කලංසූරිය විසින් රචනා කරන ලදී"
ලිපිය ඉහලින්ම තද කළු පැහැ ඇල අකුරෙන් සටහන්ව තිබිණි.
රොමානාට කොටට කැපූ කූරු කෙස්සක් සහිත, දුහුවිලි වැකුණු කැන්වස් සපත්තු අඳින කෙල්ලක් වූ තම විසි හැවිරිදි රුව සිහිපත් විය. ඈ පුවත් සංස්කාරකවරයාගේ කාර්යාලය අසල එකෙල මෙකෙල වෙමින් උන්නේ තමන්ට පැවරෙන්නට යන නුහුරු රාජකාරිය ගැන තැවිල්ලෙනි.
“ටිලිං ටිලිං”
විසල් දැවමුවා මේසය මත වූ පැරණි මාදිලියේ අත්-සීනුව නාද කිරීම සඟරා සංස්කාරකවරයාගේ විනෝදාංශයක් වූ අතර ඒ හේතුවෙන් ඔහුව ‘ඇන්ටික් බෙල්මෑන්’ නමින් අභිෂේක ගැන්වීමට කාර්යාලයේ ගැටවර කල්ලිය තීරණය කර තිබිණි. සීනු නාදය තේ කොල්ලාගේ සිට සහය සංස්කාරක දක්වා සියල්ලන්ටම පොදු වූ කැඳවීම් නාදය විය. ඉතින් රොමානා කුඩා අශ්ව පැටවෙක් මෙන් කෙටි පිමි මතින් ‘බෙල්මෑන්’ වෙත පිවිසුණාය.
“විද්‍යා සඟරාවක් පටන් ගන්නයි යන්නෙ.” ‘බෙල්මෑන්’ කරදාසි ගොන්නක් මත වූ ගෝලාකාර වීදුරු බරුව එහා මෙහා පෙරලමින් කීය.
“මේ මිත්‍යා සඟරා රැල්ලයි, හදි හූනියම්, වශි ගුරුකම් රැල්ලයි එක්ක අපිට ඉහ ගහන්න තියෙන හොඳම ක්‍රමය ඒක.”
රොමානා හිස සැලුවාය. මැණික් කටුව වටා බැඳ ඇති මහත අත් පළඳනා පටි කරකවමින් මදක් ඉදිරිය්ට නැමීගෙන අසා උන්නාය.
“ලොකු පිටුවක විද්‍යා ප්‍රබන්ධයක් දාන්න ඕනෙ. සතිපතා අලුත් දෙයක්. ඒක ඔයාට ලෑස්ති කරන්න පුලුවන්ද? හොඳ අලුත් විද්‍යා ලේඛකයෙක් අල්ලාගන්න ඕන.”
‘ආචාර්ය තියඩෝර් කලංසූරිය’; දශක ගනනාවක් මුලුල්ලේ නොබිඳුන බැම්මකින් විද්‍යා සඟරාවත්, එහි පාඨක ප්‍රජාවත් බැඳ තැබීමට සමත් විස්ම විද්‍යා ප්‍රබන්ධ රචකයා ඈට මුණගැහෙන්නේ ඉන් පසුව ය.
එකල ආචාර්ය තියඩෝර්ගේ පුස්තකාල ආගාරය මධ්‍යයේ ගෙවී ගිය කෝපි සුවඳැති සන්ධ්‍යාවන් අඩුම තරමේ දෙසතියකට එක බැගින්වත් තිබූ බව රොමානාට මතකය. වසරින් වසර ගෙවෙන්නාහාම අධික කාර්යබහුලත්වයත්, දිනෙන් දින පුළුල් වුණ වගකීම් සම්භාරයත් හේතුවෙන් අලස සැඳෑවන් නැත්තටම නැති වී ගිය වග සිහිපත් කල රොමානා, දැන් ඒ සුන්දර, වයස්ගත මිනිසා මොනවා කරමින් ඉන්නවා ඇත්දැයි සිතුවාය.
*********************************
“රොම්සී, දරුවෝ” ඒ දුරකතන ඇමතුම ලැබුනේ මීට වසර දොළහකට පෙරද, නැතිනම් දහසයකට පෙරදැයි රොමානාට හරි ගනිච්චියක් තිබුණේ නැත. මතකයේ පැහැදිලිව සටහන්ව තිබුනේ ඒ ශීතල නොවැම්බර් සවස්වරුවක් බවත්, එය තියඩෝර්ගෙන් ඈ ලද අවසන් ඇමතුම බවත් පමණි.
“හායි තියෝ! ඉතින් ඉතින් කොහොමද වාසදේස?” ප්‍රීතියෙන් මඬනා ලද හඬින් යුතු රොමානා පාවහනින් මිදුන දෙපා පරිගණක මේසය මත තබාගෙන පුටුව ඉදිරියටත් පිටුපසටත් පද්දමින් උන්නාය.
“මම ඔයාට කතා කලේ ලොකු උදව්වක් ඉල්ලන්නයි පුංචි යාලුවේ!” තියඩෝර්ගේ කටහඬ වෙවුලනසුළු විය. “ඔයාලගෙ පත්තරේ ඈයොන්ගෙන් මට පුදුමාකාර කරදරයක් නෙව තියෙන්නේ. මම ගිවිසුමේ හැටියට සතියකට වතාවක් විද්‍යා ප්‍රබන්ධයක් නොවරද්දාම එවද්දිත්!” අවධානය රඳවා ගන්නට මෙන් ඔහු මදක් කැස්සේය. “මම ලොකු පර්යේෂණ කටයුත්තකට අතගහලයි ඉන්නේ. ඒ කියන්නේ, තව දශක දෙකතුනක් යනකම් මම ඔයාට ගන්න අවසාන ඇමතුම මේක වෙන්නත් පුළුවනි.”
“මොන ඇන්නෑවක්ද ඒ?”
රොමානාට කියවුණි. “ඔය වයසට ඔහොම බොන්න හොඳ නෑ තියෝ! මම දවසකුත් කිව්වා ඔයාට.”
“පිස්සු කෙල්ල. මම විද්‍යාඥයෙක්. අපේ ජීවිත මෙහෙම තමයි.” තියෝ සුසුමක් හෙලනු අනිත් පසින් ඇසුණි. “බාගවිට, තව ටිකක් ලොකු වෙනකොට ඔයාට මීට වඩා හොඳට දේවල් තේරුම් ගන්න පුලුවන් වේවි.”
එය ඈ ආචාර්ය තියඩෝර් කලංසූරිය සමග කල සංවාදවල අවසානය විය. සතිපතා ලැබෙන විද්‍යා ප්‍රබන්ධය, අවුරුදු නිවාඩු, නත්තල් නිවාඩු සමයන්හිදී පවා ඊමේල් පණිවුඩ ඇමුණුමක් ලෙස නොකඩවා පුවත් කාර්යාලය වෙත ලඟාවූයෙන් යලි යලිත් ඔහු අමතා කරදර කරන්නට කිසිවෙකුටත් උවමනා වූයේද නැත. මේ මොහොත වන තෙක්ම!
රොමානා සිය පැරණි දුර ඇමතුම් අංක ගොනුව පෙරලන්නට වූවාය. තියඩෝගේ අංකයට ඇමතුම යොමු කර මද නොඉවසිල්ලෙන් මෙන් යතුරු පුවරුවට නිය තුඩින් තට්ටු කරමින් උන්නාය.
“කණගාටුයි. ඔබ ඇමතූ දුරකතන අංකය ක්‍රියා විරහිත කර ඇත.
කරුණාකර පසුව යළිත් අමතන්න.”
සුකොමළ ගැහැණු හඬකින් පටිගත කරන ලද පණිවුඩය සිංහල, දමිල සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම වැයෙමින් පැවතුණි. රොමානා කැරකෙන පුටුව පසුපසට තල්ලු කරමින් නැගී ගත්තාය. පුටු ඇන්ද මත වූ කාඩිගන් කමිසය වමතටත්, ලීයෙන් කල ලෝක ගෝලයක අනුරුවක් සහිත යතුරු කැරැල්ල දකුණතටත් ගත් ඕ විදුලි සෝපානය වෙත ඇවිද ගියේ කඩිනම් ගමනිනි.
‘තියෝට මොනවා වෙලාද?’ තියඩෝර්ගේ නිවස බලා වාහනය පදවන අතර ඇයට මැවී පෙනුනේ තනිකමෙන් පීඩිතව, මිත්‍ර සම්භාෂණයක්, සමාගමයක උණුහුමක් බලාපොරොත්තුවෙන් දෑස් අයා මග බලා ඉන්නා සෑහෙන්න වයස්ගත, දුබල මිනිසෙකි. සිය පැරණි මිතුරාව සහපිටින්ම අමතක කර දැමීම පිළිබඳ වූ මහා පශ්චත්තාපයක් සියොළඟම වෙලාගන්නා’යුරු ඇයට දැනෙන්නට විය.
විද්‍යාඥයාගේ ගෙමිදුල වියලි තුරු පත් තට්ටු කිහිපයකින් වැසීගත්තේ මූසල පාළුවක් දැනවීය. රොමානා කාරයෙන් බැස, සපත්තු ලේස් තද කර ගැටගසා ගෙන, අගුළු ලා තිබූ ගේට්ටු පියනට උඩින් පැන ගෙවත්තට ඇතුළු වූයේ වටපිටාවේ මිනිස් පුළුටක්වත් පෙනෙන්නට නොවූ හෙයිනි. “මේ තමයි මගේ පුංචි බලකොටුව” තියෝ තම නිවස හඳුන්වන්නට යෙදුනු හැටි ඇයට සිහිපත් විය. නිවසෙහි දකුණු අන්තයේ වූ ගෙරේනියම් පඳුරු ගොන්නකට ඉහළින් කැඩුණු ජනෙල් පියනක් පණුදතක් මෙන් ලිහිල්ව ඔබමොබ පැද්දෙන අයුරු ඇගේ නෙත ගැටිනි. මිනිත්තු කිහිපයක පමාවෙන් ජනෙල් පඩිය මතට නැගගත් ඕ ඊළඟ මොහොතේ නිවස තුලට පැන්නාය.
විශබීජ නාශක ද්‍රවයක කටුක ගන්ධය ඇගේ නාස්පුඩු කිටිකිටියේ සිරකරගත්තාක් මෙනි. ඔක්කාරයද, සුළු ක්ලාන්ත ගතියක්ද සමඟ ඕ කිරි පැහැති උස් බිත්තියට වත්තම් වෙමින් කොරිඩෝරය දිගේ තියඩෝර්ගේ පර්යේෂණාගාරය වෙත පියමැන්නාය. සිවිලිම දිගේ එකා පසුපස එකා දිවගිය කුඩා සූනන් දෙදෙනෙක්, පර්යේෂණාගාර දොරටුව අසල නතරව ආපසු හැරී බිත්ති කෙලවරක වූ කුඩා බිලයක් තුලට රිංගා අතුරුදන් වූහ.
මද කෙඳිරිල්ලක් සමග පර්යේෂණාගාරයේ දොරටුව විවර විය. කාමරයේ හරි මැද එල්ලා තිබූ ප්‍රතිදීප්ත පහනේ දැඩි ආලෝකය රොමානාගේ නෙත් මොහොතකට නිලංකාර කරවීය. ඒ හාම නෙත ගැටුණු දසුන් පෙල විසින් ඈව බිත්ති මුල්ලකට හේත්තු කර, හෙමි හෙමින් පහළට රූටා වැටෙන්නට සලස්වා තිබුණි.
කාමරය මධ්‍යයේ දිගු මේසයක් මත වූ බේසමක, ගිල්වා තිබුණේ මිනිස් මොළයකි. වෛවර්ණ උරගයන් සමූහයක් බඳු වයර රොත්තක් මිනිස් මොළයේ තැන් තැන් වලින් ඇමිණී, පරිපථ පුවරුවක් හා සම්බන්ධ විය. මහත දුඹුරු කේබලයකින් මිනිස් මොළයට බැඳී ගුරුගුරු නදින් ක්‍රියාත්මක වූ පරණ මාදිලියේ පරිගණක තිරයක් මත අනවරත වේගයකින් අකුරෙන් අකුර ලියවෙමින් පැවතුණි.
“විද්‍යා ප්‍රබන්ධ කතා අංක එක්දහස් අටසිය අසූ හය
ආචාර්ය තියඩෝර් කලංසූරිය විසින් රචනා කරන ලදී.”
පිස්සු කොර කොර....
ReplyDeleteනියමයි...!!!!!!!! අපිත් කරමුකෝ එහෙම රැල්ලක්!
තැන්කූ!
Deleteකොහොම රැල්ලක්ද?
[ “විද්‍යා සඟරාවක් පටන් ගන්නයි යන්නෙ.” ‘බෙල්මෑන්’ කරදාසි ගොන්නක් මත වූ ගෝලාකාර වීදුරු බරුව එහා මෙහා පෙරලමින් කීය.
Delete“මේ මිත්‍යා සඟරා රැල්ලයි, හදි හූනියම්, වශි ගුරුකම් රැල්ලයි එක්ක අපිට ඉහ ගහන්න තියෙන හොඳම ක්‍රමය ඒක.”]
මේ වගේ රැල්ලක්
මොලේටද?
ReplyDeleteතේරුන්නෑනෙ.
Deleteඅපරාදේ උඹලා වගේ උන් මේ රටේ ඉපදුනේ...
ReplyDeleteහිහී!
Deleteලංකාව සිංගප්පූරුවක් කරමු එහෙනම්.
bassi, mama oyege blog ekata mage website eke thiyana blog eken link ekak damma.
ReplyDeletekamak naha neda? mage blog ekath balanna. www.webdeveloperlanka.com thawa ekak mama liyapu ketikatha pothe copiyak oyata thagi denna kamathi. pothe nama "magen obata" mama innethnam ragama. oneda kiyanna.
ඔයා මගේ ෆ්බී යාලුවෙක්ද? කොහොමද දැනහඳුන ගන්නේ?
Delete/* "විද්‍යා ප්‍රබන්ධ කතා අංක එක්දහස් අටසිය අසූ පහ
ReplyDeleteආචාර්ය තියඩෝර් කලංසූරිය විසින් රචනා කරන ලදී" */
පර්යේෂණ පත්‍රිකාවක, පොතකවත් නොයොදන මේ ආචාර්ය කෑල්ල, කෙටිකතා, කවි වගේ නිර්මාණවල දාන්නේ ඇයි කියා මට නම් හිතා ගන්න බෑ. මේක සමහර සිංහල මිනිසුන් ගේ ප්‍රශ්නයක් විතරයි.
තව දශක ගණනාවක් ගියත් ලංකාවෙ මිනිස්සුන්ගෙ ඒ පුරුද්ද නැති නොවේවි කියලාමයි හිතෙන්නේ.
Deleteමෙයට සමාන්තර කතාවක් තිබුණා එක්ස්-ෆයිල් එපිසෝඩයක. මිනිහෙක් තමන්ගේ සිරුර ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරලා. මැරුණත් ඔන්-ලයින්.
ReplyDeleteඒක ආටිෆිෂල් ඉන්ටලිජන්ස් ගැන කතාවක්.
Deletehttps://en.wikipedia.org/wiki/Kill_Switch_(The_X-Files)
ඒ කතාව මට මතක නැහැනෙ. දැන් එක්ස් ෆයිල්ස් ජාතික රූපවාහිනියේ නැවත විකාශය වෙනවා. ආපහු බලන්න ඕනෙ.
Delete++++
ReplyDelete