මතකද මම කාලෙකට ඉහත කතාවක් කිවුවා යුද්දෙට නැති කඩුව ගැන. ඔය කඩු හරඹය හැම තැනටම ගැලපෙන්නෙත් නැහැ නෙව. ඕනෙම සිල්පයක් දක්වන්ට ඕනෙ අදාල අවස්තාව, කාලය, ස්ථානය ආදී මෙකී නොකී පස්මහ බැලුම් බලලයි.
ආං එහෙම නොකර තමන්ගෙ පාණ්ඩිත්‍ය විදහා දක්වන්ට ගිහින් සමහර නාමික පණ්ඩිතයො ඇදගෙන නාගන්න හැටි මමනම් අනන්තවත් දැකල තියෙනව. ඒ වාගේ වෙලාවට අහකට වෙලා බලාන ඉන්න අපි වාගෙ කබ්බොන්ට හතර හිනා ලු ඉතින්.
මතකෙයි මම අර කලින් පෝස්ටුවක කිවුවා යුද්දෙට නැති කඩුවෙන් වැඩක් නැතුවා කියාල. කඩුවෙන් කොරන්නෙ කටු අකුල් කපාල පාරතොට එලිපෙහෙලි කොරන එක. ආං එතෝට කරදරයක් නැතුව ඉස්සරහට යන්න පුලුවන්. හැබැයි මෝල් ගහෙන් කොරන වැඩේ කඩුවෙන් කරන්න යන්නත්, කඩුවෙන් කොරන වැඩේ මෝල් ගහෙන් කොරන්නත් නාකයි.
දන්නවනෙ, කඩුව කරේ තියන් නොදන්න සෙල්ලන් දාන්න ගියොත් බෙල්ල මුලින් තමයි කැපිල යන්නෙ හරිය? ආය මං නොකීවයි කියන්න එපා කපාගෙන අහකල!
ඇති නේද පඳුර වටේ තැලුවා. මෙහෙම සුට්ටක් තැලුවෙ නැත්තම් ඒක පෝස්කට්ටු දැමීමේ කලාවට කොරන නිග්ගරහයක් කියල හිතුන මට. මොනව උනත් අපි සඟිස්කුරුතියට ගරු කොරන්නත් එපාය ආයිබොවං!
එහෙනං ඉඩපාඩු තියෙන විදියට ඔය හත් අට පොලකින් ඈඳි ගත්තනං.
අපේ ගෙදෙට්ට එහා පැත්තෙ තියෙනෝ විසාල ඉඩමක්. ඕකෙ අයිතිකාර හාදයා එක්දරු පියෙක් වෙච්චි (අර අපේ ෂතුරංග පියා වගේ.) පුදුමෙ කියන්නෙ උන්දෑට මහ දරුණු රෝගයක් තියෙනව නෙව. අපිව ඇස් මානෙට අහු වෙච්චි සැනෙන් මේ හාදයාගෙ කතා විලාසය හද්ද පොස් වෙලා කඩු පහරවල් ගලා ගලා යන්න පටන් ගන්නව. ඔව් ඔව් ඕක මහ බරපතල ලෙඩක්.
ඕං ඉතින් දවසක් මේ හාදයා තමන්නෙ පුත්තර රත්නෙව අපේ ගෙයි ඉස්සරහ පාරෙ බයිසිකල් පද්දවනව. ඉස්තෝප්පු කාමරේ ඉන්න මට ඇහෙනව තාත්තගෙයි පුතාගෙයි සෙල්ලම.
“හා… හා… පුතා පාර බලාගෙන පදින්න. හරි හරි නියමායි. අන්න හරි. දැං හයියෙන් පදින්න…!!”
ඔන්න ඔය වෙලාවෙ අපේ බලුපොර ගේ පිටිපස්සෙ ඉඳන් මිදුලට සම්ප්‍රාප්ත වෙනව. ඌට ඔය පොඩි එවුන් පෙන්නන්න බැරි ආදර කැක්කුමක් තියෙන නිසා ඒ බිරිල්ලට පොඩි එකා බය වුනොත් කියල මාත් මිදුලට බැස්ස බලුතුමාව ආපහු ඇතුලට දක්කාන එන්ට.
මාව දැක්ක ගමන!
“ඕ.කේ. සන්. හයියෙන් ඩ්‍රයිව් බයිසිකල්. හයියෙන් ඩ්‍රයිව්. යේ…ස්!. ගූ….ඩ්!!!"
"කම් සන් අපි යන් ගෙදර. පරෙස්සමෙන් ඩ්‍රයිව් සන්. පරෙස්සමෙන් ඩ්‍රයිව්!!!!”
**************************
අපේ ගෙදෙට්ට ඉස්සරහ ගෙදර ඈයො බවුවො හැදිල්ලට බෝම මනාපයි. ගෙදර ඉස්සර ඉඳන් ඉන්න බවුවා වල්සේශන් එකෙක් වෙච්චි. නම “විනිහලෝ”. ටික කාලයක් යද්දි ගෙනාව පෙලපතින් උසස් බැලි පැටික්කියො කීප දෙනෙක්. ඔය කස්ටිය අතරෙන් අපේ බලුතුමාගෙ හිත ගත් ආදරිය තමයි රයිනි. මූ වෙලාවකට ගේට්ටුව යටින් හොම්බ යාන්තම් එලියට දාගෙන රයිනි දිහා බලන් ඉන්නකොට බඩ පපුව හෝස් ගල යනව.
රයිනිගේ පරම්පරාවෙ වැදගත්කමට ගරු කිරීමක් වශයෙන් ඒ ගෙදර අක්කලා රයිනිට කතා කොලේ කඩු බාසාවෙන්ම තමයි.
සති කීපෙකට කලින් රයිනි පැටව් එකොලොස්දෙනෙක්ගෙ සාඩම්බර මෑණියන්දෑ බවට පත් උනා. අනේ ඉතින් ඉන් පස්සෙ එක එක්කෙනා ඇවිදින් සල්ලි දීලා රයිනිගෙ දරුවො කීපදෙනෙක්ම අරගෙන ගියා.
මේ ඉරිදා හවස් වරුවෙ අක්කලා කට්ටිය ගමනක් ගිහින්. ගෙදර උන්නෙ ආච්චි ඉතරයි. ඔන්න ටික වෙලාවකින් ආව ගෑණු එක්කෙනෙක් බලු පැටියෙක් ගෙනියන්න. ගේට්ටුව ගාව හිට කතා කලා කලා ආච්චි නෑ. බල්ලො රෑන නම් බුර බුරා තාප්පෙ දැල් කඩන්න යනව.
ඔය අතරෙ අපේ මහම්ම අනිත් ගෙයින් එලියට බැස්ස. මං හිතන්නෙ අර ආපු එක්කෙනා මහම්මගෙ ෆ්‍රෙන්ඩෙක් වෙන්ටෝනෙ. දැන් පාර එහා පැත්තෙ දෙන්නත් එක්ක බර කයියක්.
ඔන්න ඒ වෙලාවෙ තමයි ආච්චි ගෙයින් එලියට බැස්සෙ. කොයිකව මේච්චල් කලත් රයිනිවයි, විනීහලෝවයි ගෙට ගන්න ලේසි නෑ.
ආච්චි බනිනව මේම.
“විනිහලෝ….! පල අහකට. කිවුවම අහල පලයං කිවුවෙ.”
“රයිනී…. මෙහෙකම්. රයිනි එකපාරක් කිවුවම අහල ඔය දැල් කඩන්නෙ නැතුව මෙහෙකම්.”
“විනිහලෝ මම උඹේ කකුල් දෙක කැඩෙන්න දෙන්නෙ දැනගං. වර මෙහෙට.”
“හම්මේ රයිනි මෙහෙකම්කො…නැත්තං විනිහලෝගෙ ඉතරක් නෙමෙයි මම උඹෙත් කකුල් කඩනව! මෙහෙකම් රයිනි ගර්ල්.”
ප.ලි.
අපේ බවුවාගේ නම සඳහන් නොකර ඉන්නට හිතුනේ ඒ නමින් බ්ලොගර් ප්‍රොෆයිල් එකක් ඇති මල්ලි කෙනෙක් බස්සිගේ නවාතැනට ඇවිත් කොමෙන්ට් කොටා යන නිසාය. එයාගේ අනුමැතිය ලැබුනොත් නම්ගම් සහිතවම අපේ බලුතුමාගේ වැඩකිඩ ගැනද පෝස්කට්ටක් තලන්නට ඇහැකිය.