Saturday, March 22, 2014

විලිලැජ්ජා නැති කෙල්ල


“මං ආදරෙයි ඔයාට”


මං කෑගහලා කිවුවා.


ඔව්. ඒක හැමෝටම ඇහුනා.

මට හංගන්න දෙයක් තිබුනෙ නෑ.
මම හිතුන දේ කිවුවා. කියන දේ කෙරුවා. ආදරේ කලා හදවතින්ම.
කවදාවත් ආපස්සට යන්න නෙමෙයි. ඉස්සරහටම යන්න.
ඔයත් එක්ක.






“මොකක්?” ඔයා මූණ ඇකිලුවා.

 
“ඒකි විලිලැජ්ජා නැති කෙල්ලෙක්.”
 ඔයා යාලුවන්ට කිවුවා.

 
“ඒකි විලිලැජ්ජා නැති කෙල්ලෙක්”
ඔයාගෙ යාලුවො එයාලගෙ යාලුවන්ට කිවුවා.

 
“උඹ විලිලැජ්ජා නැති කෙල්ලෙක්”
හැමෝම මා දිහාට ඇඟිල්ල දික් කලා.



 

“මම බොරු කියන්න ලැජ්ජයි. පවු කරන්න බයයි.”
මම කිවුවා.
 
ඒත්, මං ඔයාට ආදරෙයි…
මම කඳුලු අතරින් ආයෙමත් කිවුවා.

 
“දැක්කද? කෙල්ලෙක් මගෙ පස්සෙන් එනවා.”
ඔයා හැමෝටම කිවුවා.

 
“දැක්කද? අර බඩ්ඩ කොල්ලෙක්ගෙ පස්සෙන් යනවා.”
හැමෝම ඔවුනොවුන්ට කිවුවා.

 
මම හිස කෙලින් කරගෙන ඉස්සරහටම ගියා.
 
“මං ඔයාට ආදරෙයි.” 
 මම ආයෙමත් කිවුවා.

හැමෝම මට හිනා වුනා, ඔයත් මට හිනා වුනා.


මම ඔයා එක්ක හිනාවෙලා ඉස්සරහට ගියා.




**************************
 

මම,
 

හිරුරැසින් නැහැවුන තණනිල්ලක
 

ආදරේ පිණි බිංදුවල සිසිලස විඳිමින් හිනාවුනා
 

ලෝකෙම මාත් එක්ක හිනා වුනා……………….
 

මම ඔයා එක්ක හිනාවුනා. …………..
 








ඔයා,
 
හිම මිදෙන හීතලක
 
ඔයාගෙ සීතලම සීතල හදවත තුරුලුකරන්
 
ගලක් වගේ බලන් උන්නා…………





 


“මං එයාට ආදරෙයි.”

මම ඔයාට කිවුවා.


උණුහුමෙන් පිරුණු හදවත ගැහෙන තාලෙට
දෙපා තියමින්,

මම කෙලවරක් නොපෙනෙන තණනිල්ලේ
ඉස්සරහටම ඇදුනා.









Tuesday, March 18, 2014

මහ රෑ පාර්ටිය (18+ කට්ටිය විතරක් බලන්න හොඳේ.)



නැගිටින්න නැගිටින්න!”

කවුද යකෝ මේ උදේ පාන්දරම මගෙ කකුලෙන් අදින්නෙ!! මම නිදිමරගාතෙ අනිත් පැත්තට පෙරලුනා.



“ඇහැරෙන්නකෝ අනේ….” ඒ පාරනම් දකුණු කන් පෙත්තෙ මොකෙක් හරි සතෙක් ඇවිදිනවා වගේ. නෙට් එක ඇතුලට සත්තු කොහොම රිංගන්නද. මං හීනෙන් වගේ කන් පෙත්ත පිහලා දැම්ම.


‘සැක්. නින්දත් ඉවරයි. මොන මගුලක්ද මන්ද. මට පේන හීන!’ මං කොට්ටෙ යට අතපත ගාලා ෆෝන් කට්ට හොයාගෙන වෙලාව බැලුව.




ඒ ගමන මොකද්ද මේ ඇඳ යටින් ඇහෙන සද්දෙ. පූසවත් කාමරේට රිංගගෙනද? ඇදල දාන්නෝන හොර පූසව කාමරෙන් එළියට.. නෙට් එකත් ඇදගෙන මං ඇඳෙන් බිමට පැන්න.


හෑ…!!! මේ මොක්කුද මේ ඇඳ යටින් එලියට එන පුංචි මිනිස්සු!





 
මිනිස්සු නෙමෙයි ගෑනු! දිග කොණ්ඩ, දිලිසෙන ඇඳුම් ආයිත්තම්….. අප්පද බොල ටියාරා එකකුත් දාලා. මෙයාල එලියට එන්නෙ මගෙ බෝනික්කො පෙට්ටියෙන් නේද! මං දෙපාරක්ම හොඳට ඇස් දෙක පිහදැම්ම. හැබෑමයි. බෝනික්කො පෙට්ටියෙන් තමයි.

 

“අන්න එයා ඇඳෙන් නැගිට්ටා. ඔයා කියන්නකො විස්තරේ. රෝස පාට දිග ගවුමක් ඇඳන් හිටපු මහත දෙහෙත ගෑණු කෙනා රිදී පාට ටියාරා එක පැළඳ ගත්තු කෙට්ටු ගෑනු කෙනාට වැළමිටෙන් ඇන්න.

 

"අහෙම් අහෙම්." එයා උගුර පෑදුව. "මුලින්ම අපිට සමාවෙන්න ඔයාගෙ නින්දට බාධා කලාට. අපි ඩිස්නි මිටියාවතට යන්නයි හදන්නෙ. අද ක්ලාරාගෙ උපන්දිනේ. සප්‍රයිස් පාර්ටියක් දෙන්නයි හිතුවෙ"




 
මල හත්තිලවුවයි. මේ මගෙ පරණ බාබි බෝනික්කො සැට් එක නේද!! ඒත්.....

 

"ඔයා එනව නේද අපිත් එක්ක. එපාවෙනව ඇඳ යට පෙට්ටිය ඇතුලෙ ඉන්නකොට. කලුවරයි..... මකුලුදැල්...... තේරෙනවනෙ ඔයාට."

 

අහ්! දැන් මට වැඩේ තේරෙනව. මෙයාලව මම පෙට්ටියට දාල ඇඳ යටට තල්ලු කලේ කොච්චර කාලෙකට කලින්ද! ඒත්..... මෙච්චර වෙනසක්!

 

"හා යමු යමු." මම නිදිමරගාතෙම කිවුව.

 

"කරාස්" ගාල සද්දයක් ඇහුන ජනේලෙ ගාවින්. ජනෙල් කවුලු දෙක දොරක් තරමටම විසාල වෙලා. මොනව! මේ තියෙන්නෙ සින්ඩරෙල්ලගෙ වට්ටක්ක කරත්තෙ නේද! සුදු මීයො හයදෙනාගෙන් හතරදෙනයි හිටියෙ. උනුත්  ලොම් අලුපාට ගැහිල, වයසට ගිහින් හොඳටෝම.

 

"මේ කරත්තෙ අපිට ඉඩ ඇතිද?" මන් ඇහුව.





"අවුලක් නෑ. සීට් පේලි දෙක මැද්දෙන් තව පේලි දෙකක් දාමු හිටගෙන යන්න. එයාල සයිඩ් වෙලා මැද පෙලට ඉඩ දුන්නම හරි." නිල් පාට සීක්වීන්ස් වලින් වැඩ දාපු ගවුම ඇඳන් උන්න බාබි කිවුව.

 

කොහොමින් කොහොම හරි අපි වට්ටක්ක කරත්තෙට ගොඩ වුනා. ඔහෝ.... මේකත් රොන් වීස්ලිගෙ තාත්තගෙ කාරෙක වගේනෙ. කස්ටිය පිරෙන්න පිරෙන්න විසාල වෙනවා.

 

"ඒක නෙමෙයි, කෝ සින්ඩරෙල්ල?" මං ඇහුව. ඇහුවෙ මෝඩ ප්‍රස්නයක් කියල හිතුනෙ පස්සෙ. රාජ කුමාරියන්ට මොටදෑ වට්ටක්ක කරත්ත! මෙලහකටත් සින්ඩරෙල්ල එයාගෙ ප්‍රින්ස් චාර්මින් එක්ක මාලිගාවෙ ඇති.

 

"ආ... එයාව අපි මගින් නග්ග ගන්නව." බාබි කෙනෙක් කිවුව.

 

"හෝව්! හෝව්! ඔහොම නවත්තන්න. අන්න රෙඩ් රයිඩින් හුඩ් එනව." එක්කෙනෙක් නෙමෙයි දෙතුන්දෙනෙක්ම එකපාර කෑගැහැවුව. මියො හතරදෙනා අමාරුවෙන් කරත්තෙ නවත්තගත්ත.




 
රෙඩ් රයිඩින් හුඩ් අතේ එල්ලන් හිටියෙ සුපුරුදු පන් මල්ලමයි. හැබැයි ඒකෙ බිෆ්බර්ගර්, මැක් බර්ගර්, චිප්ස්, අනියන් රිංග්ස් දාපු කවර පුරවලා තිවුන පළතුරු වෙනුවට. කිරි බෝතලේ වෙනුවට කෝක් කප් එකක් අනිත් අතේ.

 

කොහොමින් කොහොම හරි අපේ කරත්තෙට නැගපු රෙඩ් රයිඩින් හුඩ් කෑම මල්ල ඔඩොක්කුවෙ තියාන හෙමිහෙමින් කෝක් එක බොන්න පටන් ගත්ත.

 

"යමින් ගමන් ස්නෝ වයිට්ගෙ ගෙවල් පාරෙන් දාගෙන යමුද" රෙඩ් රයිඩින් හුඩ් අපෙන් ඇහුව. බාබිලා ටික ඕනෙ ගමනකට එවරෙඩි.

 

විනාඩි පහක් යන්නත් කලින් අපි ස්නෝවයිට්ගෙ ගේ ගාව.

 

"ඔහෑ.... ඔහෑ...... ඔහෑ......"

කරත්තෙන් බහිනකොටම මට ඇහුනෙ අලුත උපන් පොඩි එකෙක් අඬන සද්දෙ. කොහෙද ඉතින් "Happily Ever After" කියල හැමදාම ඩිස්නි මාම ලෙස්සල ගියා මිසක මෙයාලගෙ පවුල් ජීවිතේ සුන්දරකම ගැන නිකමටවත් කිවුවයැ.


"අපරාදෙ, පොඩි එකාට සබන් පවුඩර් ටිකක්කත් ගේනව දන්නවනම්.'  මං එහෙම කියාගෙන ලෑලි ගේට්ටුව ඇරිය. හම්මේ මිදුලක හැටි! මාස ගානකින් ඉදලක් දැකල නෑ වගේ.

 

"එන්න ගෙට. ඇවිත් වාඩිවෙන්න." ස්නෝ වයිට් දොර අරින ගමන් කිවුව. "සමාවෙන්න කෙල්ලනේ මට පාර්ටියට එන්න වෙන්නෙ නෑ. පේනවනෙ ඔයාලටම."





 

ඊළඟට ඇය ප්‍රින්ස් දිහාවට හැරුන. "කොහෙද ඉතින් මේ මිනිහට පුලුවන්යැ එක මොහොතකට මේ ළමයි රැළ ආම්බාන් කොරන්ට. මහලොකුවට ළමයි හදන්ට ඉතරයි පුලුවන්."

 

ස්නෝවයිට්ගෙ ගෙදර තත්වෙ උණුසුම් වේගෙන එනකොට අපි හෙමින්ම මාරු වෙලා කරත්තෙට පැන්න.



*****************************


 

අපි ඊළඟට නැවැත්තුවෙ නයිට් ක්ලබ් එකක් ගාව. මල හත්තිලවුවට ගහපු කලාබරේ කිවුවලු! අර වෙරිමරගාතෙ ඉන්නෙ සින්ඩරෙල්ල නේද!!!




 

මේ මොකද? මං ඇහුව බාර්බි කෙනෙක්ගෙන්.


"සින්ඩරෙල්ල දික්කසාද උන දා ඉඳන් ඔහොමමයි."



"හෑ.... දික්කසාද උනා කිව්ව???"

 

"ඒකනෙ. මෙයාට පුරුදු නෑල්ලු කුමාරියෙක් වගේ සඳලුතලේට වෙලා ඉන්න. රැජින කොච්චර කිවුවත් අහන්නෑ මෙයා බිම පිහදාන්නයි, පිඟන් හෝදන්නයි යනව. ඉතින් දවසක් කුමාරය ඕකට බැනල මෙයාට හොඳටම. එදා තමයි සින්ඩරෙල්ල තරහවෙලා මාලිගාවෙන් ආවෙ. කෙල්ල හිතුවෙ කුමාරය ආපහු එයාව හොයාගෙන එයි කියල."

 

"ඉතින් කුමාරය ආවෙ නැද්ද?"

 

"කුමාරය දුක තුනී කරගන්න කියල මූදු හතක් දුර නැවෙන් සංචාරයක් යන්න ගියා. ඔහොම යනකොට කුමාරයට හමුවෙලා පාලුවට ගිය රාජධානියක්. තාප්ප වල කටු අකුල් වැවිලා, පාරවල් හිටන් වල්බිහි වෙලාලු තිබුනෙ."

 

"ඉතින් ඉතින්"

 

"කොහොම කොහොම හරි ප්‍රින්ස් චාර්මින් මාලිගාව ඇතුලට ගිහින් බලද්දි නිදි කුමාරිව දැකල හාද්දක් දීල, දෙන්න කසාද බැඳල. පරෙයියෙක් අතේ සින්ඩරෙල්ලට එවල තිබුන දික්කසාද ලියුම."






 

ඔය අතරෙ බාබිල තුන් හතරදෙනෙක් අමාරුවෙන් සින්ඩරෙල්ලව වත්තම් කරගෙන ඇවිත් දැම්ම කරත්තෙට. ඇත්ත නෙව. සින්ඩරෙල්ලව බැන්දෙත් ප්‍රින්ස් චාර්මින්, නිදි කුමාරි (ස්ලීපින් බියුටි.)ව බැන්දෙත් ප්‍රින්ස් චාර්මින්.  ඩිස්නි මාම කතාව කියල තියෙන්නෙ මැද කෑල්ල අත ඇරල නෙව!




*****************************


කොහොමින් කොහොම හරි අපි ඩිස්නි මිටියාවතට ආව. අප්පා මේකෙ ලස්සන. පාට පාට බලුබ් වැල් නිවි නිවි පත්තුවෙනව. ඇස් ගිනිකණ වැටෙන මල්වෙඩි! බාබිලාගෙ පාර්ටි ප්ලෑනර් වැඩේ සුපිරියටම ඕර්ගනයිස් කරල වගේ.

 

අපි බර්ත් ඩේ කේක් එකත් අරන් ක්ලාරාගෙ ගෙදරට ඇතුල් වුනා. හොරෙන්ම කාමරේට පැන්නෙ "සර්ප්‍රායිස්!!!" කියාගෙන. එතකොට මෙයා ෆේස්බුක් එකේ ආපු බර්ත් ඩේ විශ් වලට රිප්ලයි කොරනව හිටු කියල.






 

එතකොටම සිගරට් එකක් ගගහ ආව වොන්ඩර් වුමන් "සොරි මට මේ අවුට් ෆිට් එකට බහින්න ටිකක් වෙලා ගියා කෙල්ලනේ. අපි දැන් අවුට් ඔෆ් ෆිගර් නෙ" කියාගෙන.






 

ඉතින් අපි ඒ දෙන්නවම එක්කරගෙන ගියා රිසෙප්ශන් හෝල් එකට.

"හැපි 56 බර්ත්ඩේ ඩාලින්!!" සුපර් මෑන් ඇවිත් ක්ලාරට හාද්දක් දුන්න.








 

"චියොර්ර්ර්ප්! චියොර්ර්ර්ප්!"

 

කවුද බොලේ  ඒ අමාරුවෙන් කෙදිරි ගාන්නෙ! මං රෙඩ් රයිඩින් හුඩ්වත් ඇදගෙන ගියා බලන්න.

 

අනෙ අප්පේ මේ අපේ ට්වීටි බර්ඩ් නෙව. අඳුරගන්නත් අමාරුයි. ට්වීටිව දැක්කම මට තේරුනා අත්තම්ම ගැන අහලනම් පලක් නෑ කියල.





"දැන් අවුරුදු හැට පහක් නෙව. කන් ඇහෙනවත් හොරයි" රෙඩ් රයිඩින් හුඩ් මට රහසෙන් වාගෙ කිවුව.

 

"ආත්තම්ම මලාට පස්සෙ සිල්වෙස්ටර්ව කැට් වුමන් හදාගන්න ගෙනිච්ච. මායි හෙක්ටරුයි ඉතුරු උනේ. හෙක්ටර්ව පෙරේද බලු වෑන් එකෙන් අල්ලන් ගිහිල්ල. චියොර්ප්!" ට්වීටි ඉකි ගගහ කිවුව. මම පාර්ටි එකේ තිවුන චීස් කෑල්ලක් පොඩි කරල ට්වීටිට කවල ඔලුවත් අතගෑව.


 

"මෙන්න එනව බැට් මෑනුයි, රොබිනුයි."  කවුදෝ කෑ ගහල කිවුව.  කට්ටිය බයෙන් වගේ කකුල් පුටු උඩට ගත්තා. පාර මැද හිටන් උන්නු උදවිය සුරුස් ගාල  එහා මෙහා උනා.


දෙන්න ආපු හැටි දැක්කමයි මට තේරුනේ කට්ටිය පාර ඉඩ දුන්න හේතුව.








"පිම්ම වැරදිලා බිල්ඩිමේ ඔලුව වැදිච්චි දා ඉඳන් ඔහොමයි." කවුදෝ කිවුව.


"ස්පයිඩර් මෑන්ව එක්කන් එන්න බැරි උනාද?" ක්ලාරා ඇහුව.


"කොහෙ එක්කන් එන්නද අනේ. එයා හොස්පිටල් එකේ මේ දවස්වල." ඒ ටියාරා එක දාපු උස බාබි.







 

"එතකොට මර්මේඩ්?" ක්ලාරා ආයෙමත් ඇහුවා.

 

ආව් අප්පා! මං දකින්න ආසාවෙන්ම හිටපු කෙනා. මර්මේඩ් ආවෙ කොහොමද දන්නෑ!

 

"හැබෑට මර්මේඩ් ආව කියල මට ටෙක්ස්ට් කරානෙ." සින්ඩරෙල්ල කිවුව.

 

"කෝ කෝ බලන්න." බාබි ෆෝන් එක ඉල්ලගෙන බැලුවෙ වෙරිමරගාතෙ සින්ඩරෙල්ලට ටෙක්ස්ට් කියවන්න බැරි හින්ද වෙන්නැති.

 

"Please help me. I'm being dragged into the KITCHEN! - 1 hour ago-" බාබි හැමෝටම ඇහෙන්න කියෙවුවා.

 

"Dragged into the KITCHEN..!!!!" අපි පුදුමෙන් කල්පනා කලා. කට්ටියම එක පිම්මට කුස්සිය පැත්තට දුවගෙන ගියා. කෝකියා දුම් දාන කෑම තැටියක් පෝරණුවෙන් එලියට ගත්තා.









"මෙන්න ටුඩේස් ස්පෙශල් සී-ෆුඩ්!!!!"


 
ඒත් එක්කම මට කෑගහගෙන, තුං මුනිං  දාඩිය දාගෙන ඇහැරුනා.



Saturday, March 15, 2014

බයිසිකල් ඩ්‍රැයිවින් සහ මෙහෙකම්


මතකද මම කාලෙකට ඉහත කතාවක් කිවුවා යුද්දෙට නැති කඩුව ගැන. ඔය කඩු හරඹය හැම තැනටම ගැලපෙන්නෙත් නැහැ නෙව. ඕනෙම සිල්පයක් දක්වන්ට ඕනෙ අදාල අවස්තාව, කාලය, ස්ථානය ආදී මෙකී නොකී පස්මහ බැලුම් බලලයි.





 
ආං එහෙම නොකර තමන්ගෙ පාණ්ඩිත්‍ය විදහා දක්වන්ට ගිහින් සමහර නාමික පණ්ඩිතයො ඇදගෙන නාගන්න හැටි මමනම් අනන්තවත් දැකල තියෙනව. ඒ වාගේ වෙලාවට අහකට වෙලා බලාන ඉන්න අපි වාගෙ කබ්බොන්ට හතර හිනා ලු ඉතින්.
 

මතකෙයි මම අර කලින් පෝස්ටුවක කිවුවා යුද්දෙට නැති කඩුවෙන් වැඩක් නැතුවා කියාල. කඩුවෙන් කොරන්නෙ කටු අකුල් කපාල පාරතොට එලිපෙහෙලි කොරන එක. ආං එතෝට කරදරයක් නැතුව ඉස්සරහට යන්න පුලුවන්. හැබැයි මෝල් ගහෙන් කොරන වැඩේ කඩුවෙන් කරන්න යන්නත්, කඩුවෙන් කොරන වැඩේ මෝල් ගහෙන් කොරන්නත් නාකයි.
 

දන්නවනෙ, කඩුව කරේ තියන් නොදන්න සෙල්ලන් දාන්න ගියොත් බෙල්ල මුලින් තමයි කැපිල යන්නෙ හරිය? ආය මං නොකීවයි කියන්න එපා කපාගෙන අහකල!
 

ඇති නේද පඳුර වටේ තැලුවා. මෙහෙම සුට්ටක් තැලුවෙ නැත්තම් ඒක පෝස්කට්ටු දැමීමේ කලාවට කොරන නිග්ගරහයක් කියල හිතුන මට. මොනව උනත් අපි සඟිස්කුරුතියට ගරු කොරන්නත් එපාය ආයිබොවං!



 

එහෙනං ඉඩපාඩු තියෙන විදියට ඔය හත් අට පොලකින් ඈඳි ගත්තනං.
 

අපේ ගෙදෙට්ට එහා පැත්තෙ තියෙනෝ විසාල ඉඩමක්. ඕකෙ අයිතිකාර හාදයා එක්දරු පියෙක් වෙච්චි (අර අපේ ෂතුරංග පියා වගේ.) පුදුමෙ කියන්නෙ උන්දෑට මහ දරුණු රෝගයක් තියෙනව නෙව. අපිව ඇස් මානෙට අහු වෙච්චි සැනෙන් මේ හාදයාගෙ කතා විලාසය හද්ද පොස් වෙලා කඩු පහරවල් ගලා ගලා යන්න පටන් ගන්නව. ඔව් ඔව් ඕක මහ බරපතල ලෙඩක්.
 


ඕං ඉතින් දවසක් මේ හාදයා තමන්නෙ පුත්තර රත්නෙව අපේ ගෙයි ඉස්සරහ පාරෙ බයිසිකල් පද්දවනව. ඉස්තෝප්පු කාමරේ ඉන්න මට ඇහෙනව තාත්තගෙයි පුතාගෙයි සෙල්ලම.
 

“හා… හා… පුතා පාර බලාගෙන පදින්න. හරි හරි නියමායි. අන්න හරි. දැං හයියෙන් පදින්න…!!”


 


ඔන්න ඔය වෙලාවෙ අපේ බලුපොර ගේ පිටිපස්සෙ ඉඳන් මිදුලට සම්ප්‍රාප්ත වෙනව. ඌට ඔය පොඩි එවුන් පෙන්නන්න බැරි ආදර කැක්කුමක් තියෙන නිසා ඒ බිරිල්ලට පොඩි එකා බය වුනොත් කියල මාත් මිදුලට බැස්ස බලුතුමාව ආපහු ඇතුලට දක්කාන එන්ට.

 
මාව දැක්ක ගමන!
 

“ඕ.කේ. සන්. හයියෙන් ඩ්‍රයිව් බයිසිකල්. හයියෙන් ඩ්‍රයිව්. යේ…ස්!. ගූ….ඩ්!!!"


"ම් සන් අපි යන් ගෙදර. පරෙස්සමෙන් ඩ්‍රයිව් සන්. පරෙස්සමෙන් ඩ්‍රයිව්!!!!”



**************************



අපේ ගෙදෙට්ට ඉස්සරහ ගෙදර ඈයො බවුවො හැදිල්ලට බෝම මනාපයි. ගෙදර ඉස්සර ඉඳන් ඉන්න බවුවා වල්සේශන් එකෙක් වෙච්චි. ම “විනිහලෝ”. ටික කාලයක් යද්දි ගෙනාව පෙලපතින් උසස් බැලි පැටික්කියො කීප දෙනෙක්. ඔය කස්ටිය අතරෙන් අපේ බලුතුමාගෙ හිත ගත් ආදරිය තමයි රයිනි. මූ වෙලාවකට ගේට්ටුව යටින් හොම්බ යාන්තම් එලියට දාගෙන රයිනි දිහා බලන් ඉන්නකොට බඩ පපුව හෝස් ගල යනව.




 
රයිනිගේ පරම්පරාවෙ වැදගත්කමට ගරු කිරීමක් වශයෙන් ඒ ගෙදර අක්කලා රයිනිට කතා කොලේ කඩු බාසාවෙන්ම තමයි.
 

සති කීපෙකට කලින් රයිනි පැටව් එකොලොස්දෙනෙක්ගෙ සාඩම්බර මෑණියන්දෑ බවට පත් උනා. අනේ ඉතින් ඉන් පස්සෙ එක එක්කෙනා ඇවිදින් සල්ලි දීලා රයිනිගෙ දරුවො කීපදෙනෙක්ම අරගෙන ගියා.
 

මේ ඉරිදා හවස් වරුවෙ අක්කලා කට්ටිය ගමනක් ගිහින්. ගෙදර උන්නෙ ආච්චි ඉතරයි. ඔන්න ටික වෙලාවකින් ආව ගෑණු එක්කෙනෙක් බලු පැටියෙක් ගෙනියන්න. ගේට්ටුව ගාව හිට කතා කලා කලා  ආච්චි නෑ. බල්ලො රෑන නම් බුර බුරා තාප්පෙ දැල් කඩන්න යනව.
 

ඔය අතරෙ අපේ මහම්ම අනිත් ගෙයින් එලියට බැස්ස. මං හිතන්නෙ අර ආපු එක්කෙනා මහම්මගෙ ෆ්‍රෙන්ඩෙක් වෙන්ටෝනෙ. දැන් පාර එහා පැත්තෙ දෙන්නත් එක්ක බර කයියක්.

 
ඔන්න ඒ වෙලාවෙ තමයි ආච්චි ගෙයින් එලියට බැස්සෙ. කොයිකව මේච්චල් කලත් රයිනිවයි, විනීහලෝවයි ගෙට ගන්න ලේසි නෑ.

 



ආච්චි බනිනව මේම.
 

“විනිහලෝ….! පල අහකට. කිවුවම අහල පලයං කිවුවෙ.”
 

“රයිනී…. මෙහෙකම්. රයිනි එකපාරක් කිවුවම අහල ඔය දැල් කඩන්නෙ නැතුව මෙහෙකම්.”
 

“විනිහලෝ මම උඹේ කකුල් දෙක කැඩෙන්න දෙන්නෙ දැනගං. වර මෙහෙට.”
 

“හම්මේ රයිනි මෙහෙකම්කො…නැත්තං විනිහලෝගෙ ඉතරක් නෙමෙයි මම උඹෙත් කකුල් කඩනව! මෙහෙකම් රයිනි ගර්ල්.”




 

ප.ලි.
 

අපේ බවුවාගේ නම සඳහන් නොකර ඉන්නට හිතුනේ ඒ නමින් බ්ලොගර් ප්‍රොෆයිල් එකක් ඇති මල්ලි කෙනෙක් බස්සිගේ නවාතැනට ඇවිත් කොමෙන්ට් කොටා යන නිසාය. එයාගේ අනුමැතිය ලැබුනොත් නම්ගම් සහිතවම අපේ බලුතුමාගේ වැඩකිඩ ගැනද පෝස්කට්ටක් තලන්නට ඇහැකිය.



Tuesday, March 11, 2014

මල් පරවෙලා කෙල්ලේ




ශේන්යා,

පරෙස්සමින් ඉස්සරහට පලයන්
 
උඹේ පැණි වළලු කන්නට
 
කෙළ හලන බල්ලන්
 
නිදැල්ලේ…..
 

හත්පෙති මල් පරවෙලා
 
දැන් බොහෝ කල් නෙව
 
කෙල්ලේ…..






ප.ලි.

අගක් මුලක් තේරෙන්නේම නැති අය මෙන්න මේ රුසියන් ළමා කතාව බලලාම එන්නකෝ.







Friday, March 7, 2014

මහින්ද මාමගෙ ටිකිරි මොලේ.....



කෝ කස්ටියම ලින්ක් සුදන්ත වලින් දත කට මැදගෙන කම්මැලි බස්සිට දෙහිකපන්න එන්නකෝ..... අද නම් බ්ලොගියෙ දාන්නෙ මේල්ලුවක තිවුනු පින්තූර කතාවක්. බස්සිගේ කතාවක් නෙමෙයි. කතෘ අඥාතයි. මේල්ලුව එවුවෙ  ඔපීසියෙ යාලුවෙක් වන නදීරා. (ඔපීසියෙ ඈයො බ්ලොගිය බලන්නෙ නැති නිසා හොඳා!)


















Tuesday, March 4, 2014

වෙනස් ආදරේ....


 


මං වෙනස් කෙල්ලෙක් ලු.

ඔයා මට ආදරෙත් ඒකලු.

ඔයා කිවුවා…….


මං ඔලුව වැනුවා……










හයියෙන් හිනාවෙන්න එපාලු, අසෝබනයිලු
ඔයා කිවුවා


කචකච ගගා කියවිල්ල මහම වදයක්ලු
ඔයා  කිවුවා


සිත්තම් අඳින්න එපාලු, කාලෙ නාස්තියක්ලු
ඔයා කිවුවා


අඳුන් ගල්වන්න එපාලු, සෝබන වැඩලු
ඔයා කිවුවා


හීන දකින්න එපාලු,, විකාරයිලු
ඔයා කිවුවා

කල්පනා කරන්න එපාලු, එපාවෙනවලු
ඔයා කිවුවා

මං ඔලුව වැනුවා





මං හොඳටෝම වෙනස් වෙලා ලු.

ඔයා මට අකැමතිත් ඒකලු.

අදින් පසු යලි එන්නෙ නෑමලු

ඔයා කිවුවා….








මං ඔලුව වැනුවා……










Saturday, March 1, 2014

පනස්වැනි කොටස : අහස් මාළිගා


බස්සයි මමයි ඇවිදගෙන යනවා ගාලු මුවදොර පිටියේ. සීතල මුහුදු හුලඟ ඇඟේ වදිනකොට මහන්සිය කොහේ ගියාද නෑ. බස්සාගෙ ඇඟිලි තුඩු මගෙ අතේ හිරවෙලා. බස්සා හැමදාමත් මගෙ අතින් අල්ලාගන්නෙ මෙන්න මෙහෙම.






ඒත් ඉතින් බස්සිට අතින් අල්ලලා පුරුදු මෙන්න මෙහෙම. පුන්චි කාලෙ තාත්තත් එක්ක ඇවිදින්න ගිය විදියට.





ඒ නිසා බස්සත් එක්ක ඇවිදගෙන යද්දි අතැඟිලි පැටලෙන විදිහ ඉබේම පළමු ක්‍රමයෙන් දෙවන ක්‍රමයට මාරු වෙනවා. ඒ වෙලාවට බස්සා මගෙ දිහා බලල හීන් හිනාවක් දානවා.

 
ඔහේ හිනාවුනාවේ. මම බස්සාගෙන් බලාපොරොත්තු වෙනවා අපේ තාත්තාගෙන් ලැබෙනවා වාගෙම රැකවරණයක්.

 
හිස්  බංකුවක හරි, පඩියක් උඩ හරි වහලා බස්සයි බස්සියි නා නාප්‍රකාර දේවල් කතා වෙනවා. බොහොමයක් දේවල් හැබෑ ලෝකෙට අයිති නැති සුරංගනා කතන්දර. බස්සි කියෝගෙන කියෝගෙන යනකොට බස්සා හ්ම්ම්... කියන්නෙවත් නැතුව අහගෙන ඉන්නවා.

ලොකු වලාකුලක් ඈත අහසෙ පාවේගෙන යනවා.





"අන්න ඒකෙ තමයි skymenලා ජීවත් වෙන්නෙ." බස්සි එකපාරටම කියනවා. බස්ස උඩ බිම බලන්නෙ එයාට මේකෙ අගක් මුලක් තේරුනේ නැති නිසයි.


"skymenලා කියන්නෙ අහසෙ ජීවත් වෙන මිනිස්සුනෙ බස්සෝ..." බස්සි කියන්නෙ නිකම් එදිනෙදා පුවත් සිරස්තල කියවනවා වගේ සාමාන්‍ය විදියට.



"වලාකුළු වලින් තමයි skymenලා ගෙවල් හදාගන්නෙ. එයාලට තියෙන්නෙ පාවෙන ගෙවල්. අර බලන්න. එයාලා ලෝකෙ වටේම යනවා ගෙදරම ඉඳගෙන."



"ඉතින් ඉතින්?" බස්සාටත් කතාව අහන්න ආස හිතිලා වගෙයි.



"අර බලන්න අර වළාකුල දෙකට ඉරුනා. ගෙදර හිටපු දරුවෙක් කසාද බැන්ඳා වෙන්න ඕනෙ."



බස්සා හිනාවක් හිරකරගත්තා. "ඒ මොකෝ බස්සියෝ එහෙම කියන්නෙ?"



"skymenලා ලමයින්ව වෙන ගෙවල් වලට යවද්දි තමන්ගෙ ගෙදරින් කෑල්ලක් ගලවලා දෙනව. ඒ ගැලවෙනව පෙනුනෙ එයා පුංචි කාලෙ හිටපු කාමරේ වෙන්න ඇති."



"ඔයා ඔය skymenලා කියන්නෙ fairyලාටමද?" ඔන්න බස්සත් බුද්ධිමත් විදියට ප්‍රශ්නයක් අහනවා.



"නෑ නෑ පිස්සෝ. ඒ වෙන කට්ටියක්. fairyල ඉන්නෙ වළාකුලු වලට ගොඩාක් උඩින්."



"හ්ම්ම්...."



"අර ගෙදර නම් දැන්මම පාර්ටි එක පටන් අරගෙන." බස්සි රෝස පාට වළාකුලක් පෙන්වමින් කියනවා.





"ලයිට් දාලා නේද එයාල." ඔය තේරෙන්න බස්සට අපූරුවට.



"එයාලත් ගෙවල්වල ලයිට් දානවා. රෑ වෙන්නත් ඇවිත්. අපිත් යමුද බස්සියෝ?"



"තව ටිකක්........"

 
"හා කො. ඔයාට තමයි පරක්කු වෙන්නෙ ඔන්න." බස්සා හෙමි හෙමින් මගෙ කෙහෙරැලි එක්ක සෙල්ලම් කරනවා. බස්සගෙ දිගු ඇඟිලි තුඩු නළලේ වදිනකොට අමුතුම මිහිරියාවකින් හිත පිරෙනව.