Saturday, December 14, 2013

යුද්දෙට නැති කඩුව


 

දැනට සති දෙක තුනකට කලියෙන් බස්සිට ඉක්කෝලෙ පලාතෙ රස්තියාදුවක් ගහන්න චාන්ස් එකක් වැදුනා. ඉක්කෝලෙ අවට පාරවල් වල පරණ මතකයන් එක්ක රස්තියාදු වෙද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර සනීපයක්.



ඒ.ලෙවල් කාලේ එකට ක්ලාස් ගිය, දහම් පාසලේ අයියෙක් බස්සිට මුණගැසෙන්නේ ඒ වෙලාවෙ.



"හලෝ නංගි..... අඳුර ගන්නත් බැරි වුනා එකපාරටම. කාලෙකින් දැක්කෙ."

 
"ආනේ.... අයියා වෙනස් වෙලා හොඳටම. ළඟට එනකම් මමත් ඇඳින්නෙ නෑ. දැන් කැම්පස් එකෙන් අවුට් නේද?"

 
"ඔව් නංගි, ඔයාල අවුට් වෙන්න මාසෙකට විතර කලින් නෙ."

 
"ඉතින් අයියා මේ කොහෙ යන ගමන්ද?"

 
"මම ක්ලාස් යනවනෙ, "සිසුරුවන"ට.

 
"ක්ලාස්?"

 
"ඔව්. ඉංගීසි ඉගෙන ගන්න යනවා. ජොබක් හොයාගන්න ගියාමයි තේරෙන්නෙ ඒ කාලෙ කරපු මෝඩකම්.  මම යනවා නංගි. ක්ලාස් එක පටන් අරගෙනත් ඇති දැන්."






 

අනිච්චේ දුක්කේ..... අයියා යන දිහා බලන් හිටපු බස්සිට හිතුනේ එකම දෙයයි. "යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?"

 
බස්සිලා කැම්පස් එකට ඇතුල් වෙනකොටම දෙක වසරෙ අයියලාගෙන් ලැබුන උපදෙසක් තමයි කඩු ෂෝ දාන්න එපා කියන එක. මම හිතන්නෙ ජෙප්පො වේවා, පොද්දෝ වේවා, අලයො වේවා, බොහොමයක් විශ්වවිද්‍යාල වල මේ නීතිය පනවනවා නවක ශිෂ්‍යයින්ට.


සීනියර් කෙනෙක් තෙල බෙදනකොට අහන ප්‍රශ්නෙකට කඩු කෑල්ලක් හරි ගෑවුන උත්තරයක් ලැබුනොත් ඉතින් දිව විකාගෙන අභාවප්‍රාප්ත වෙන්න තමයි තියෙන්නෙ.


ඒ තරමට අපේ සමහර "උගත්" යැයි කියාගන්නා උන්දැලා කඩ්ඩ පරිභවයට ලක් කොරනවා.


ඔය කස්ටියටම ඈඳෙන්ට අපේ ෆැකල්ටියෙ ඒ කාලෙ හිටිය ඩීන් තුමාත් බටහිර විද්‍යාව අලුයම ලූ කෙල පිඬක් සේ බැහැර කොරපු, පර සුද්දාගෙ ඉංගිරිසිය නියපොත්තේ ඉඳන් හෙලා දැකපු උත්තමයෙක්.






අපේ ෆැකල්ටියෙ විතරක් නෙමෙයි, බස්සි දැකපු විදියට බොහොමයක් විශ්ව විද්‍යාල වල බොහොමයක් ෆැකල්ටි වල තත්වෙ ඔහොම තමයි. (මෙඩ්ඩන් හා ඉන්ජන් ගැන නම් නොදනිමි.) සමහර කලා පීඨ වල එහෙම මේ කඩ්ඩ හෙළා දැකීමේ මේනියාව ඉතාම දරුණුයි කියලා බස්සිට ඇහිලා තියෙනවා.


බස්සිට අර කාලෙකින් හමු වෙච්චි අයියත් ඒ වාගෙ කඩ්ඩ තරයේ හෙළා දැකපු කෙනෙක්. වෙන එකක් තියා උන්දෑ ඕ.ලෙවල් වලට ඉංගිරීසි සාහිත්‍ය කරන උදවියට දොස් තිය තියා සිංහල සාහිත්‍ය බොක්කෙන්ම හැදෑරුවා. උසස් පෙළට කලේ නම් විද්‍යාව.


බස්සිට මතක හැටියට ඔය කඩු හරඹ පාසලේදි උගන්නන්න පටන් ගන්නෙ එක වසරෙ ඉඳන්මයි. පෙළ පොතක් එන්නෙ නම් තුන වසරෙ ඉඳන්ද කොහෙද... ඒත් බොහොමයක් ගුරුවරුන්ගෙ අඩුපාඩු සහ පෙළ පොත් වල නිසි පෙලගැස්මක් නොමැතිකම හේතුවෙන් ගොඩාක් ළමයි හය හත වසරවල ඉඳන් කඩු හරඹයෙන් පරදින්න පටන් ගන්නවා.






බස්සි මුලින්ම කඩ්ඩට කපා ගත්තෙ හය වසරෙදි. ජයග්‍රාහී ලකුණු හතළිස් හතයි බොලව්. හය වසර තමයි කඩු සටනේ කපා ගැනීමේ ආරම්භය. මුලු ඉක්කෝලෙම හයේ උන්ගෙ ලකුණු ඒ ජාතියෙම  උනත් බස්සිගෙ අම්මා ඒ වෙලාවෙ හැමදාමත් එයා කියන උදාන වාක්‍ය ප්‍රකාශ කලා.


"කෙල්ලේ මට එක
කාගෙ කුණු වලින් වැඩක් නෑ. මට ප්‍රශ්නෙ තියෙන්නෙ උඹේ ලකුණු ගැන විතරයි."


කන රත් වෙන්න සබ්බුව ලැබුනාටත් පස්සෙ අම්මා බස්සිව කනෙන් ඇදන් ගිහින් අතඇරියෙ ඩේසි ටීචර්ගෙ කඩු ෆයිට් ක්ලාස් එකට.





ඕන් ඔතනදි තමයි බස්සිට අපේ නාඩි මලයා
ත් අඳුර ගන්න ලැබෙන්නෙ.


අම්මා එදාකරපු දේ වටිනාකම බස්සිට පේන්නෙ අද. අනිත් උන්ටත් ලකුණු අඩුයිනෙ පුතේ උඹ දුක් නොවී හිටපං කිවුවානම් බස්සිත් තවම ක්ලාස් මංගච්චනවා.


මම කියන්න උත්සාහ කරන්නෙ මේකයි;
සුද්දා අපිත් එක්ක සටනට එන්නේ කඩුවක් අරගෙන නම්, අපි ඌව මට්ටු කරන්න මෝල් ගහක් අතට ගත්තට හරියනවද බොලව්??


මෝල් ගහ හොඳ හයිය බව ඇත්තයි. ආඩම්බරෙන් කතා කොරන්ට පුලුවන් තරම් පරණ බව, වටින බව ඇත්තයි. ඒත් කඩු ෆයිට් එකට යන්න ඕනෙ කඩුවක් අතේ තියාගෙන.


හැබැයි තව දෙයක් කියන්ට ඕනෙ. මෝල් ගහෙන් කොරන වැඩේ කඩුවෙන් කොරන්න යන්න එපා. නිකම් ඇඟපත කපාගෙන ඉස්පිරිතාල ගානෙ ලගින්නයි වෙන්නෙ.


ඒ.ලෙවල් පාස් වෙලා කැම්පස් එන්න නම් ඉංග්‍රීසි වලට අවම සාමාර්ථයක් ලැබීම අත්‍යාවශ්‍යයි කියලා ඇස්.බී. මාමා කියාපු දවස්වල අපේ කැම්පොස් අයියලා සමහරක් පොලු මුගුරු අතට අරන්, සරම් උස්සන් ගේමට බැස්සෙ "අඩෝව් සුදු බණ්ඩා.... පුලුවන්නම් කොරාපිය....." කියලයි. ඒත් ඒ තීන්දුව දුන්නානම් පාසල් වල කඩු ෆයිට් කරන හැටි ඉගැන්නිල්ල තව ටිකක් ක්‍රමවත් වේවි නේද කියලයි බස්සිට හිතුනෙ.





යකෝ ග්‍රීක් වාගෙ තියෙන සංයුක්ත ගණිතය, ෆිසික්ස්, කෙමෙස්ට්‍රි, ඉකෝන්, එකවුන්ට්ස් ගොඩ දාන අපේ සිංහල කොල්ලො කෙල්ලන්ට ඔය අකුරු විසිහයෙන් කොරන ෆයිට් එක ගොඩ දාගන්න එක කජ්ජක්ද? උවමනාවත්, නිසි පෙළඹවීමත් නැති එක නෙමෙයිද හේතුව?

 
අනික ඔය භාෂාව බැරිය කියන උන් ඔය භාෂාවෙ කියන කුණුහරුප බොහොමයක් අපූරුවට දන්නවා නේද?

 
කඩ්ඩ කියන්නෙ උපකරණයක්. ජීවිතේ ඉස්සරහට යද්දි හමුවෙන බාධක, කටු අකුල් කපාදාන්න කඩ්ඩ නැතුව බෑ. කඩ්ඩෙන් වැඩ ගන්න දන්නේ නැත්නම් ඒ අකුල් වලට හීරිලා ලේ ගලාවි. ගමන දුෂ්කර වේවි.




 



හැබැයි අකුල් ටික එළි කලාට පස්සෙ කඩුව කරේ තියන් යන්න ඕනෙ නෑ. දන්නෙම නැතුව බෙල්ල කැපිලා යන්නත් පුලුවන් ඕක කරේ තියන් ෂෝ එක දාන්න ගියාම.

 
කඩ්ඩෙ අගේ තේරෙද්දි පමා වෙලා වැඩි වෙන්න පුලුවනි. කැපිලා තුවාල උනාට පස්සෙ ෆයිට් කරන්න ඉගෙනගන්න ක්ලාස් ගාටනවට වඩා වටිනවා යුද්දෙට යන්න කලින් ඉඳලාම සූදානම් වෙන එක.





 
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?



77 comments:

  1. //බස්සිට අර කාලෙකින් හමු වෙච්චි අයියත් ඒ වාගෙ කඩ්ඩ තරයේ හෙළා දැකපු කෙනෙක්. වෙන එකක් තියා උන්දෑ ඕ.ලෙවල් වලට ඉංගිරීසි සාහිත්‍ය කරන උදවියට දොස් තිය තියා සිංහල සාහිත්‍ය බොක්කෙන්ම හැදෑරුවා//// පව් නේද ඒ අයියා ලජ්ජා හිතෙන්න ඇති ..

    ඒ වගේම ඔයාගේ අම්මා කියපු දේ අපේ තාත්තා මට නිතර කීවා.... මං පස්සේ කොමෙන්ට් එකක් ආයේ ඇවිත් දාන්නම් ,, මොකද කඩු හරඹ ගැන මගේ වෙන අදහසක් තියෙනවා කියන්න

    ReplyDelete
    Replies
    1. හොඳා... ඒ කොටස දැම්මෙ කතාවට ප්‍රවේශයක් විදියට විතරයි. සත්‍ය සිදුවීමක් අකුරක් නෑර ගෙනහැර දැක්වුවා නෙමෙයි ඔමා....

      //ඕ.ලෙවල් වලට ඉංගිරීසි සාහිත්‍ය කරන උදවියට දොස් තිය තියා සිංහල සාහිත්‍ය බොක්කෙන්ම හැදෑරුවා// ඔමයියෝ මම මෙතන කියන්නෙ සිංහල සාහිත්‍ය හදාරන එක වැරදියි කියල නෙමෙයි ඈ.... කියන්න හැදුවෙ ඉදිරියට යන්න උවමනා වෙන tool එකක් එහෙම හෙලාදකින එක මෝඩකමක් කියලයි. අනික මෙතන මම කතාකරන්නෙ එක පුද්ගලයෙක් ගැන අරමුණු කරගෙන නෙමෙයි. :D

      කෝ ඉතින් ඒ අදහස කියන්නකෝ අනේ හංගං ඉන්නෙ නැතුව..... :)

      Delete
    2. හ්ම්ම්ම්,,
      මේ රටේ ඉංග්‍රීසි වල ලොකු වැදගත් කමක් නැහැ එදිනෙදා ජිවිතයට අවශ්‍ය හැම දේකදිම සහ සියලුම ලියකියවිලි කටයුතු තියෙන්නේ තමන්ගේ භෂාවෙන් ,,කඩේක බෝර්ඩ් එකක්වත් නැහැ ඉන්ග්ලිෂ් වලින්,ෆෝන් ,කොම්පියුටර් ,විදුලි උපකරණ ,සියලුම වර්ගයේ බෙහෙත් වර්ග , හැම දේම හිබ්රු විතරයි ,, රටේ ලොකු ලොක්කෝ වුනත් ඉන්ග්ලිෂ් වලින් කතා කරන්නේ විදේශිකයෙක් එක්ක විතරයි .. දුරකථන සමාගම් වල හොට් ලයින් වලත් ඉන්ග්ලිෂ් දන්න අය නැහැ ,, පිළිගැනීමේ නිලධාරින් අතරිනුත් හැමෝම දන්නේ නැහැ ඉංග්‍රීසි .. හරිම පහසුයි මිනිස්සුන්ට ,විදේශිකයන්ට අපහසු වුනාට .. අපේ රට සුද්දන්ට යටත් වෙලා හිටපු නිසා වෙන්න ඇති ඉංග්‍රීසි භාවිතය මෙච්චර තැනක් ඇත්තේ ... රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි නොතියා වෙනස් කරපු එක ගොන් නායකයෙක් කරපු ලොකු අසාධාරණයක් කියලා මං හිතන්නේ .. අපේ වගේ තුන් වෙනි ලෝකේ රටකට ඉංග්‍රීසි නැතුව බැහැ කියලා මට තේරෙනවා .. ඒත් අපේ රටේ ඕනෙවට වැඩිය ඉංග්‍රීසි වලට තැනක් දෙනවා ..මොනා වුණත් රට යන අතට යන්නම වෙනවා ,,මාත් කවදාහරි ළමයි හම්බුනාම ගෙදර සිංහල නැතුව වෙන භාෂාවකින් කතා කරන්න ඉන්නේ බස්සියේ :D

      Delete
  2. කඩ්ඩ! මට ඔය කඩ්ඩ උස්සගන්න උනේ මතක හැටියට මොන්ටිසෝරි යන කාලේ ඉඳලා.. මොකෝ මට යන්න වෙච්චි මොන්ටිසෝරියේ සිංහලෙන් ඉගැන්නුවේ නෑ. ඊට පස්සේ අම්මා ඉංගිරිසි ටීචර් කෙනෙක් වෙච්චි දිගටම කඩුවෙන් කොටන්න උනා! ඇත්තටම කිව්වොත් මගේ කඩ්ඩ හොඳට පොලිෂ් කලේ ඩේසි ටීචර් ගේ පන්තියේදී. මාව දාල තිබ්බෙත් බස්සි අක්කා වගේ වයසක අය ඉන්න ක්ලාස් එකකට! :D

    කැම්පස් එකේනම් කඩ්ඩ නැතිව බෑ තමයි. අනිත් එක අපි ඉන්න ෆීල්ඩ් එකේනම් ඔක්කොම අගේ කඩ්ඩෙන් යන්නේ. ඒක ලේසියි. මොකෝ ඊය අනම් මනම් වලට කියන සිංහල වචන කියා ගන්නත් බෑ දිව ටැපලෙනවා!

    අපි කරන ලොකු වැරැද්දක් තමයි හරිම කුජිත විදිහට කඩ්ඩ පහත දාන එක! මමනං හොඳට ඒකෙන් බැට කාල තියනවා. ඒ නිසා තාමත් මම ඉඩක් ලැබෙන හැම වෙලේම බලන්නේ ඒක පොලිෂ් කර ගන්න.

    ReplyDelete
    Replies
    1. //බස්සි අක්කා වගේ වයසක අය// අහුවෙයන්කො මට! නාඩියා ඔයා පන්තියෙ ඉද්දි පේන්නෙත් නැති තරම් බටුයි ඒ කාලෙ. හික්ස්!

      IT ෆීල්ඩ් එකේ අය නම් බොහොමයක් කඩ්ඩ ඉගෙනගන්න උත්සාහ කරනවා. ඒත් සමහරු හිතන්නෙ පොතේ තියන terminology ටික විභාගෙට ලියාගන්න පුලුවන් විදියට ගිරවා දාගත්තාම වැඩේ ගොඩ කියලා නෙව.

      ඇත්ත ඕනෑම භාෂාවක් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා සිංහල, ඉංගිරිසි සහ වෙනත් ඕනෑම භාෂාවක් ගැන අපේ දැනුම යාවත්කාලීන කර ගැනීම බොහෝම වැදගත්.

      Delete
    2. \\\\\\\\\\අපි කරන ලොකු වැරැද්දක් තමයි හරිම කුජිත විදිහට කඩ්ඩ පහත දාන එක! \\\\\\\\\

      බස්සිගේ පෝස්ට් එකට සහ මේ කමෙන්ට් එකට එකයි..... ලංකාවේ කැම්පස් වල ඉන්නේ JVP උන ගහපු අය නිසා තමයි ලංකාව විනාශ උනේ..... ඒ මිනිස්සුම තමයි වයස 28 විතර වෙද්දී ආත්මය උනත් පාවා දීලා සල්ලි හොයන්නේ .......

      Delete
    3. ඒක ඇත්ත සහන් අයියේ.... ගොඩාක් ශිෂ්‍ය නායකයො කරන්නෙ නවකයන්ගෙ මොළ ශෝධනය කරලා ඔය වාගෙ විකාර අදහස් ඔලුවට දාන එක. අනිත් එක තමයි ඉගෙනගන්න උනන්දුව ඇති එකෙක් පුරුදු වෙන්න කඩු පාරක් දැම්මොත් හෙම ඌ ඉඳලා ඉවරයි, පජාතම කරලා දානවා.

      හැබැයි අවුට් වෙලා අවුරුද්දකින් දෙහෙකින් ඔය අලි ටෝක්ස් දුන්නු ලොක්කො ටික එක්කො දේශපාලුවෙක්ගෙ රෙද්ද පල්ලෙ. නැත්නම් සුද්දාගෙ රටකට පැනගෙන පදිංචි වෙලා. එහෙමත් එකෙක් තමයි තමන්ගෙ ප්‍රතිපත්ති වෙනස් නොකර ඉන්නෙ.

      Delete
    4. \\\\\\\\ එහෙමත් එකෙක් තමයි තමන්ගෙ ප්‍රතිපත්ති වෙනස් නොකර ඉන්නෙ. \\\\

      34 වෙද්දී නම් ඔය ඉතුරු 4 , 5 දෙනාගේත් උන බහිනවා ...

      Delete
    5. එහෙමද? තව අවුරුදු දහයකින් බලමු එහෙනම් ඒ කස්ටිය ඉඳීවිද කියලා... :D

      Delete
  3. //"කෙල්ලේ මට එකඑකාගෙ ලකුණු වලින් වැඩක් නෑ. මට ප්‍රශ්නෙ තියෙන්නෙ උඹේ ලකුණු ගැන විතරයි."//

    මටත් ඔය ආකාරෙන් ම කිවුවා හැබැයි ඉතින් කෙල්ලේ කිවුවේ නෑ.මොකෝ කොල්ලෙක් නේ :D උබ කියලා තමා කිවුවේ. හැබැයි එත් කඩු හරබ ගැන නෙවයි.සිංහල ගැන (ලැජ්ජයි වගේ)කඩ්ඩෙන් නේ උපේ කලේ ඒක නිසා කඩු හරබ අවුලක් නෑ.එත් හොදටමත් බෑ.කඩු හරබ කරන්න ගිහින් උනේ සිංහලයි කඩයි දෙකම බැරි වෙච්ච එක.
    තව එකක් උපේ ඉංග්‍රීසි වලට A එකක් ගත්ත ගොඩක් දෙනාට කඩද හරියට බෑ.ඒ කියන්නේ පොඩි දෙයක් වත් කඩ්ඩෙන් කියාගන්න බෑ.ඒ කියන්නේ ලංකාවේ කඩද උගන්න එකේ ප්‍රශ්නෙකුත් තියනවා නේද


    ReplyDelete
    Replies
    1. අපේ Lit සර් කියන්නෙ Lit වලට A එකක් ගන්නවට වඩා අමාරුයිලු English වලට F එකක් ගන්න එක.

      //තව එකක් උපේ ඉංග්‍රීසි වලට A එකක් ගත්ත ගොඩක් දෙනාට කඩද හරියට බෑ.ඒ කියන්නේ පොඩි දෙයක් වත් කඩ්ඩෙන් කියාගන්න බෑ//
      මල්ලි ඔයා කැම්පස් ගිය දාක තේරෙයි උ.පෙල ඉංග්‍රීසි ෆේල් ළමයි කී දෙනෙක් එනවද කියල එතනට. මාර දක්ෂ ළමයි කඩ්ඩ ඉගෙන ගන්න උවමනාවක් නැති කමින් තමන්ගෙ උපරිමය කරන්න බැරිව පසුපෙලට යනවා. කලාතුරකින් කෙනෙක් තමයි කැම්පස් එකේදිවත් කඩ්ඩ හදාගන්න උනන්දු වෙන්නෙ. (ඇත්තටම උවමනාවක් ඇත්නම් ඒ අවුරුදු හතර හොඳටෝම ඇති)

      කොල්ලො කොහොමත් සිංහල වලදි පහලට යනවා නේද? මගේ යාලුවොත් එහෙමයි. ඇයිද මන්දා ඒ?

      Delete
    2. මාත් කියන්නේ එක තමා ගණන් ගන්නේ නෑ ඉංග්‍රීසි. ඒ period එකේ පිස්සු කෙලිනවා මිස්ලට විහිලු කරනවා ඒක තමා ඉතින්.වැඩ කරන උන් නම් පන්තියේ මුල්ලක් අල්ලාගෙන ගණන් හදනවා අපි වගේ වල බහින් උන් කොපු ගහනවා.වැඩ කලොත් ඔය ඔක්කොමලා ගොඩ.එත් ඉස්කෝලෙදි නම් spoken පැත්ත කෙරෙනවා අඩුයි.

      සිංහල වල පහලට යන්නේ කවදාවත් විචාරයක් හෙම ලියනවද තනියම ලියපු එකෙක් ගෙන් කොප්පක් ගහනවා ඇරෙන්නේ.කවියක් හෙම ජීවිතේට බලන්නේ නෑ.

      Delete
    3. උනන්දුවෙන් අහන් ඉන්න කියලා දෙයක් ගොඩක් ඉංග්‍රීසි ගුරුවරු උගන්නන්නෙ නැති එකයි මල්ලි වැරැද්ද. ඒ.ලෙවල් පංතියට ආවමත් දෙන්නෙ myself ගැන රචනා ලියන්න නෙ. මන්දා අපේ ඉක්කෝලෙ නම් එහෙමයි. ඉක්කෝලෙ ගොඩක් උන් කඩ්ඩ ගොඩ දාගත්තෙ ඒ පලාතෙ සමාජීය පසුබිම නිසයි.

      සිංහල අවුල් යන්නෙ වෙන දෙයක් නිසා නෙමෙයි ඉංග්‍රීසි පේපර් එකට වඩා සිංහල පේපර් එක තත්වයෙන් උසස්. භාෂා විෂයයන් සම්බන්ධව පිරිමි සහ ගැහැණු මොළවල වෙනස්කමක් තියේලු. (මේ දැන් උණු උණුවේ ගවේශනය කරනවා මම ඔය කේස් එක ගැන, ඔයාගෙ කමෙන්ටුව නිසාම.) වැඩි විස්තර හොයාගත්තාම කියන්නම්කො chat එකේ.

      Delete
    4. "Why Men don't Listen and Women can't read Maps" මෙන්න මේ පොත හොයාගෙන කියවන්න. බස්සි හොයන දේට උත්තරේ තියෙනවා. පොත ලියලා තියෙන්නෙ Allan සහ Barbara කියලා දෙන්නෙක් එකතු වෙලා(husband & wife) ... මේ දෙන්නා ලියපු ඔක්කොම පොත් කියවන්න පුලුවන්නං ගොඩක් හොඳයි. අඩු ගානෙ මුලිං ලියපු එක තරුණ අපි හැමෝම කියවනවනං ඒක අපේ ජීවිත වලටත් ගොඩක් වටිනවා...

      Delete
    5. ගොඩක් ස්තූතියි තිලින අයියා ඔත්තුව දුන්නාට. ජාලයේ කැරකි කැරකි විස්තර අහුලනවාට වඩා ඒක ගොඩාක් පහසුවක් වේවි.

      Delete
  4. කඩ්ඩට බැන බැන ජාතිය බේරගන්න හදන හරක්ට නං කියන්න තියෙන්නෙ "සොරි" කියලා තමයි. ඒ වෙන මොකක්වත් නෙමෙයි, හීනමානය. හැබැයි කඩු සටන් පුළුවං අයගෙනුත් වැඩි පිරිසක් අර බස්සි කියාපු කඩු ඕන නැති වෙලාවටත් කඩු උස්සගෙන යන අය. ඒ අයටත් කියන්න තියෙන්නෙ "සොරි" කියලම තමයි. මට නං එයාලව පේන්නෙ කලිං කිව්ව ජාතියෙ උංටත් වඩා හීනමානෙන් පෙලෙන පිරිසක් විදිහට...
    මට දිරවන්නෙම නැති දේ තමයි මිනිස්සු, "කඩු'සටන් දැනගැනීම" කෙනෙකුගෙ උගත්කම සහ බුද්ධිමත් කම මනින සාධකයක් කරගෙන ඉන්න එක...
    කඩ්ඩ ඉතාම අත්‍යාවශ්‍යයි, හැමෝටම. හැබැයි කඩ්ඩ දන්න උංගෙනුත් වැඩි පිරිස ඒක පාවිච්චි කරන්නෙ ඉතාම ලපටි දේවල් වලට... :(
    ඒකනෙ මේ රටට කෙලවෙලාම ගිහිං තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය කඩ්ඩෙන් කොන්ඩෙ පීරන්නයි, රැවුල කපන්නයි යන උන්ව අපේ හලන ඉන්ටර්විවු ටෙක්නික් එකක් තියේ අපේ ආයතනයෙ. ඒ තමයි පට්ටම අමාරු විදියට කඩු ෆයිට් එකකින් ඉන්ටර්විවු කරලා අන්තිමේදි අහනවා ඔයා කැමතිම භාෂාව මොකක්ද? වඩාත්ම හදවතට සමීප භාෂාව මොකද්ද? කියල. ඒ වෙලාවට තමන්ගෙ මවුබස (සිංහල හෝ දමිල හෝ වෙනත්) අමතක කරලා කඩ්ඩ කරේ තියාගෙන ඇඩ් එකක් දාන්න යන උන් සේරම බෙල්ල මුලින් කැපිල යනව.

      බස් එකේදි, කඩසාප්පු වලදි වටේ ඉන්න උන්ට පේන්න බැරි මරගාතෙ කඩු වනන උන් තමයි වැඩිහරියක් ඉන්නෙ තිලින අයියා. ඇත්ත, කඩ්ඩෙන් උගත්කම මනින එක බොහොමයක් දෙනා කරන මෝඩකමක්. හැබැයි "මම උගතා- මට පරසුද්දගෙ කඩ්ඩ ඕනෙ නෑ" කියන එක ඊට වඩා මෝඩකමක්. මෙහෙම ගියොත් මුලු රටටම සොරි වෙයි නේද?

      Delete
  5. මෙන්න බස්සි ආගන්තුකයගේ කවි පදයක් හොරකම් කරලෝ!!!!! කතාව නම් ඇත්ත. කෙනෙක් කිව්වා දවසක් කඩුව කියන්නෙ ඔටුන්නක් නෙමේ පාවඩයක් කියලා, තැනකට යන්න.

    ReplyDelete
    Replies
    1. කොයි එකද දිලිනියෝ ආගන්තුකයාගෙ කවිපදේ? මගේ මුලු පෝස්ටුවෙන්ම කියන කතාව ඔයා එක වාක්‍යයකින් කියලා අපූරුවට! :)

      Delete
    2. යුද්දෙට නැති කඩුව...:-)))

      Delete
  6. /* ඔය කස්ටියටම ඈඳෙන්ට අපේ ෆැකල්ටියෙ ඒ කාලෙ හිටිය ඩීන් තුමාත් බටහිර විද්‍යාව අලුයම ලූ කෙල පිඬක් සේ බැහැර කොරපු, පර සුද්දාගෙ ඉංගිරිසිය නියපොත්තේ ඉඳන් හෙලා දැකපු උත්තමයෙක්. */

    ඔය කියන තිප්පොලේ ඉගැන්නුවේ ඉංගිරිසියෙන් නොවෙයිද? විශේෂයෙන්ම අර කාර්මික කලමනාකරණ (Industrial management) දෙපාර්තමේන්තුවේ?

    ReplyDelete
    Replies
    1. මේ තිප්පොලේ උගන්නන්නෙ ඉංගිරිසියෙන් තමයි කකා. ඔය කියන IMGT එක විතරක් නෙමෙයි අපේ MBBT එකත් දුවන්නෙ කඩ්ඩෙන් තමයි. ඒ උනාට ඔය උත්තමයා Maths ලෙක්චර්ස් වෙලාවට හෙම කරන්නෙ බටහිර විද්‍යාවේ මිත්‍යාව පතුරුවන පර සුද්දාගෙ රෙදි ගලවන එක නෙව.

      මම කිවුවෙ හෙලා දකිනවා කියල විතරයි. උන්දෑ ඔලුවෙන් හිටගෙන හෙලා දැක්කත් ඩීන් කෙනෙක්ගේ තනි මතයට විද්‍යා පීඨයේ ඉගැන්වීම් මාධ්‍ය වෙනස් කරන්නට බැහැ.

      Delete
    2. ඔය මනුස්සයාගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තෙද? ඔය ඔහොම කියන අයගේ ළමයි සුද්දගේ රටවලවල.

      Delete
    3. නැතුව නැතුව. අප්පා බටහිර විද්‍යාවේ මිත්‍යාව පතුරු අරිනවා. පුතා එංගලන්තෙ තාරකා විද්‍යාව හදාරනවා....

      Delete
  7. නියමයි බස්සි, කියන්න ඕන ටික නියමෙටම ලියලා.

    කඩුව වැදගත් වෙන තරමතේරෙන්නෙ ජොබකට ‍යත්දි තමා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියී ප්‍රියා. අපේ සමහර දක්ෂ බැචාල විභාග වලදිත්, ඊටත් වඩා ජොබක් හොයද්දිත් කඩ්ඩ පොලිෂ් කර නොගැනීමෙන් අමාරුවෙ වැටුනා. ඉන් පස්සෙයි ගොඩක් අයට ඒකෙ වැදගත්කම තේරෙන්නෙ.

      අනික තමන්ගෙ ජාතිය වෙනුවෙන් යම් දෙයක් ලෝකෙට කියන්න වෙන වෙලාවක ජාත්‍යන්තර භාෂාවක් කොයිතරම් වැදගත් වෙනවද.

      Delete
  8. කඩ්ඩ දුර්වල අය තමයි කඩ්ඩ හදා ගන්න උත්සහයක් ගන්නෙ නැත්තෙ.. හොඳම උදාහරණෙ තමයි අපේ කැම්පස් එකේ ඉංග්‍රීසි පාඨමාලවක් තිබ්බා බැච් එකේ ළමයින්ට ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් තියලා. ඒත් හැමදාම ක්ලාස් එකට යන්නේ හොඳම ලකුණු තියන ගෘප් එකේ අය. අනිත් අය හැමදාම කට් කරනවා.

    ReplyDelete
    Replies
    1. අපේ කැම්පස් එකේ උනේ ඕකෙ අනිත් පැත්ත සිතුවෝ. Course content එකනම් කැම්පස් එකක තත්වයට ගැලපෙන්නේම නෑ. කොහොමින් කොහොම හරි අන්තිමට වෙන්නෙ අර කඩ්ඩ දිරවන්නෙ නැති උන් facilitatorවත් විහිලුවට අරන් එතන ගොං ආතල් දෙන එක.

      කඩ්ඩ අවුල් උන්ට කඩ්ඩ හදාගන්න වෙනමම පාඨමාලා කිහිපයක්ම තිබුනා කැම්පස් එකේ. Professional writing, English for Sciences, Spoken English for beginners වාගෙ. තමන් ඉන්න මට්ටමට අනුව තෝරාගෙන අවුරුදු හතර ඇතුලත අපූරුවට ඉගෙන ගන්න පුලුවනි. ඒත් ඒවා හදාරන්නෙ කඩ්ඩ හොඳටම පුලුවන් උන් GPA එක හදාගන්න විතරයි. ඒ පාඨමාලා ආරම්භ කරපු මූලික පරමාර්ථය කැලේ...

      Delete
  9. මාත් campus එන්න ඉන්න උන්ට දෙන වැදගත්ම උපදේසේ තමයි හොඳට කඩ්ඩ හදාගනින් කියලා. Medicine, Engineering නම් ඉතින් 100% ම කඩ්ඩ නේ.(අනික් ඒව හරියට දන්නේ නැත).
    තව වැදගත් දෙයක් තමයි(මං අනුගමනය කරන) chat කරනකොට වත් message යවනකොටවත් short ක්‍රමේට type කරන්නේ නැති එක. එහෙම type කරන්න පුරුදු වෙන එකෙන් අපේ vocabulary එක දුර්වල වෙනවා කියලා අපේ lecturer කෙනෙක් කිව්වා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම full වචනේ use කරනවා නම් ගොඩක් හොඳයි.

    (ඔය comment එකේම English වචන කීයක් තියේද....)

    ReplyDelete
    Replies
    1. Medicine, Engineering විතරක් නෙමෙයි රන්දු මම දන්නා තරමින් බොහොමයක් Science, IT, Management ඩිග්‍රිත් උගැන්වෙන්නේ කඩ්ඩෙන්. ඒත් කරුමෙට ගොඩක් අය කරන්නෙ පොතේ තියන දේ හරි කුප්පියකින් එක්කහු කරගන්න දේ හරි ගිරවෙක් දා ගෙන එක්සෑම් එක දවසට ගෙඩි පිටින් අතෑරලා එන එක.

      මගේ SMS භාෂාවට තිබුනු ඇබ්බැහිය සුව කලේ අපේ මවුතුමිය. ඒ.ලෙවල් කාලෙ SMS භාෂාවෙන් කටුවට ලියාපු ආර්ටිකල් එකක් දැකලා කන රත් වෙන්න අතගාලා ඉවරවෙලා කන් දෙක පිරෙන්නෙ දුන්නා දේශනාවක්. ඒකෙන් තමයි මම ඒ වරද හදාගත්තෙ.

      Delete
    2. අපේ කොල්ලෙක් කඩ්ඩෙන් රචනාවක් ලියලා මෙහෙම වචන දාලා පොත පියාබලා ගියා පන්තියෙන් එලියට
      scl=school
      u=you
      y=why

      Delete
    3. ගුරුතුමා ගත්තු පියවරෙන් ඒ මලයා රචනා ලිවීම නවත්තන්න තරම් දරුණු නොවී, SMS වචන භාවිතය නැවැත්තුවානම් කීයත් වටී.

      Delete
  10. හම්මේ කඩ්ඩ, ජොබ් එහෙකට නෙමේ බොලව් ඉගෙනගන්න කඩ්ඩ ඕන.මට එකවසරේ පලවෙනි සෙමෙස්ටරේ ලකුනූ අඩු උනේ ඔය කඩ්ඩ හින්ද.යන්තම් දෙවෙනි එකේ කඩ්ඩ ගොඩ දාල ෆීල්ඩ් එක තෝර ගත්ත.

    ReplyDelete
    Replies
    1. එහෙම හරි කඩ්ඩ හදා ගන්න උනන්දු වෙන්නෙ කීයෙන් කීදෙනාද සහෝ... ගොඩක් උන් කරන්නෙ රැල්ලට වැටිලා ඩිග්රිය ලැබෙන විදියකට ලැබිච්චාවයි කියලා ගිරවෙක් දාල බලන් ඉන්න එක නෙව.

      Delete
  11. කඩ්ඩ විතරක් නෙවෙයි බස්සියේ මොන බාසාව දැනගත්තත් අපතෙ යන්නෙ නම් නෑ. කඩ්ඩ කියල අපි කියන්නෙ ඉංගිරිසියනෙ. ප්රං ශ වගේ බාසාවන් වුනත් ඉගෙනගැනීම ප්රයයෝජනවත්. වැඩියෙන්ම ප්රනයෝජනය තියෙන්නෙ මොන බාසාවෙද කියල කල් ඇතුව කියන්න බැහැ. අවස්ථානුකූලව වෙනස් වෙනවා. ඒත් ඉංගිරිසි දැනගැනීමෙන් වැඩි ප්රලයෝජනයක් ලැබීමේ සම්භාවිතාව වැඩියි.

    දැන් ඉන්න එකාල සිංහල දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හෙනහුරා, ප්‍රංශ වගේම ඉදිරියේදි බිසිනොස් මැනේජ්මන්ට් පැත්තෙ උදවියට චීන භාෂාව ඉගෙන ගැනීමත් ප්‍රයෝජනවත් වේවි කියලා කියනවා නෙව.

      අපේ කැම්පස් එකේ භාෂා දහයකට ආසන්න ප්‍රමාණයක් සඳහා ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා තියෙනවා. ගාස්තුවත් අඩුයි. අභ්‍යන්තර ශිෂ්‍යයන්ට නම් රු.250-300 වගේ මිලක් තමයි යන්නෙ ලියාපදිංචියට. ඒත් ගොඩක් උදවිය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගන්න එකයි දුක.

      Delete
  12. ඔය තරම්ම් නැතිවුනත් කැම්පස් වල විතරක් නෙවෙයි හැම තැනකම තියෙන දෙයක් ඕක. කඩ්ඩ දැම්මොත් හිනාවෙන එක. එත් අන්තිමේ හැමෝම නතරවෙන්නේ බස්සි අර කියාපු අයියා ඉන්න තැනම තමයි,

    ReplyDelete
    Replies
    1. කවදා නමුත් එතන නතර වෙන එකෙන් අනාගතය හරි එලිපෙහෙලි වෙයි. ඒත් එතකොට ජීවිතෙන් කොපමණ කාලයක් වියදම් වෙලා ද... යුද්දෙට මූණ දෙනකොට තරුණ කාලෙන් බාගයක්ම නිකරුනේ නාස්ති වෙලා.

      Delete
  13. මෙහෙමයි. ඉංගිරිසිය විෂයයක් විදියට සැලකුව හොත් යම් අයෙක් එක්තරා දිනයක දී තමයි එය ඉගෙන ගන්නට උනන්දුවක් ගෙන ඉගෙන ගන්නේ.

    උදාහරණයක් ලෙස මා දන්නා අයෙක් උසස් පෙල බයොලොජි කළා. පසුව ගණිතය ඉගෙන අන්තිමේදී විදුලි ඉංජිනේරුවෙකු වුණා. තවත් බයෝ කළ කීප දෙනෙක්ම දැන් එකවුන්ටන්ට්ස් ලා.

    මේ අයට එදා එක්කෝ ගණිතය නැතිනම් වානිජ ඉගෙන ගන්නට උනන්දුවක් නොතිබුනාය කියා කියන එකේත් තේරුමක් නෑ.

    මගේ ඉහත තර්කය නිකං තර්කයක්ම පමණයි.

    ReplyDelete
    Replies
    1. කකා. මා ඔබේ තර්කයට එකඟ වන්නේ නැහැ. මොකද මමත් අණුක ජීව විද්‍යාව උපාධිය ලැබූ ගණකාධිකාරනියක්. නමුත් මම ඒ හැම විශයයක්ම හැදෑරුවේ එකිනෙකට සමාන්තරව. අවුරුදු හතරක් උපාධිය කර එලියට ඇවිත් තව අවුරුදු හතරක් CIMA කරන්න ගියේ නැහැ මම. ජීවිතේ බොහෝ කඩඉම් පසු කිරීමට අපිම අපි වෙනුවෙන් ඉලක්කගත කාලරාමුවක් සකසා ගන්නවානම් එහෙම වෙන්නෙ නෑ.

      හැබැයි ඔය පරස්පර විෂයයන් දෙකක් හැදෑරූ මම දැන් සේවය කරන්නෙ Telco ආයතනයක ඒත් මම අනිත් වැඩ සේරම අතඇරලා telco ඉගෙනගන්න ගියෙ නැහැ. අටට, නමයට බෝඩිමට ඇවිත්, රෑ දොළහ එක වෙනකම් ඒ විෂය හදාරමින්, ඒ සම්බන්ධ workshop වලට සහභාගි වෙමින්, මගේ හිස්තැන පුරවාගන්නවා ඇරෙන්න. උනන්දුව තිබේනම් කල නොහැක්කක් නෑ කකා.

      උසස් පෙළට තියෙන මහා තරඟය නිසයි ඒ අවුරුදු දෙකේ බොහෝ ළමයින්ට තමන්ගේ සැබෑ විභවය හඳුනා ගන්න බැරි වෙන්නෙ. අන්තිමේදි බයෝ කරපු ළමයි එකවුන්ටන්ට් ලා වෙන්නෙ එයාලගෙ ජීවිතේ එයාලගෙ නිවැරදි ශක්‍යතාව අවබෝධ කර ගැනීම නිසා වෙන්න පුලුවන්.

      මම කියන්නෙ අනිවාර්යයෙන් අනාගතයට අවශ්‍ය වෙන tool එකක් පාවිච්චි කරන එක ඉගෙන ගන්න එක කල් ඇරලා ජීවිතේ හොඳම කාලය නිකරුනේ නාස්ති කරන්න එපා කියලයි. ඒකෙ පාඩුව මුලු රටටමයි.

      Delete
    2. හැකියාවට වැට බදින්නේ මුල ඉදලම ගෙදරින් තමා

      Delete
    3. යශෝධා ඔබ උදාහරණ සපයා ඇත්තේ මා නැගූ තර්කයටම තමයි. ඒ කියන්නේ උනන්දුව ඇතිවුණු දවසේ තමයි ඉගෙන ගන්නේ කියන එක.

      මා මුලින් ඉඟි කළ පරිදි සහ ඔබත් කියා ඇති පරිදි ඉංගිරිසියට මෙය අදාල නෑ. ඒ ඉංගිරිසිය හුදෙක් විෂයක් නොව මාධ්‍යයක් නිසා.

      ඔබේ අධ්‍යාපන සුදුසුකම් සහ උනන්දුව දැක ඉතා සතුටු වීමි.

      Delete
    4. @ chamika
      ඇයි සමහර පාසල් වලින්? "පුතේ විද්‍යාවට A තියෙන නිසා ඔයාව කොමස් පංතියට යවන්න බෑ. ඔයා සයන්ස් කරන්නම ඕනෙ... බ්ලා බ්ලා බ්ලාහ්..."

      Delete
    5. @ කකා.
      හ්ම්ම්... හ්ම්ම්ම්....... උනන්දුව මතයි අවශ්‍යතාවය ගොඩනගාගත යුත්තෙ, ඒත් ජීවිතෙන් බාගයක් ගෙවුනාට පසුව තීරණාත්මක ෆයිට් එකකට ගිහින් තුවාල වුනාට පස්සෙ කැලැල් මකා ගැනීමෙ අරමුණින් ඇතිකරගන්නා අවශ්‍යතාවය කාලය කා දමන්නක් නේද?

      Delete
  14. භාෂාවක් ඉගෙනීම ගැන කියන කොට මට මේ කතන්දර දෙක තුන සිහිවුණා.

    1. තායි කෙල්ලෙක් එක්ක යාළු වෙන්න භාෂාව ඉගෙන ගැනීම
    http://kathandara.blogspot.com/2011/01/blog-post_24.html

    2. ජර්මන් භෂාව ඉගෙන ගන්නේ ඇයි?
    http://kathandara.blogspot.com/2010/11/blog-post_09.html

    3. ඔබේ කඩ්ඩ හොරද? එහෙනං මෙන්න ශිෂ්‍යත්වයක්!
    http://kathandara.blogspot.com/2010/11/blog-post_11.html


    ReplyDelete
    Replies
    1. අෆ්ෆා භාෂා ගැන කතන්දර මහ ගොඩක් තියෙන්නෙ. නිවාඩු දවසෙ කියවන්ට පුලුවනි. බෝම ඉස්තූතියි කකා කතන්දර ටිකට. :)

      Delete
  15. මෙහේ ඇවිත් බිස්නස් මැනේජ්මන්ට් ඉගෙනගන්න ළමයි ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ විභාගත් පාස්වෙනවා. මේ ළමයින්ට මෙහෙදි ජොබ්ස්වලට තරඟ කරන්න වෙන්නේ සුද්දොත් එක්ක. එතෙනදි අප්සෙට් භාවිතාවක් නැති නිසා. මේක වඩාත් බලපාන්නේ බිස්නස් & මාකෙටින්ග් ෆීල්ඩ් එකේ. පොතෙන් ඉගෙනගන්න තරමටම භාවිතාවත් හරිම වැදගත්. මම නම් භාවිතාව මුවහත් කරගත්තේ හොටෙල් ට්‍රේඩ් එකෙන්මයි. ඉස්සර ඉංග්‍රීසි කතාව තදින් බලපෑවා. ලොකු හෝටල්වල ලොක්කෝ ඔක්කොම සුද්දෝ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අරූ. මම අත්දැකීමෙන් දන්න දෙයක් තමයි ලංකාවෙ සිමා පාඨමාලාවට වඩා විශයානුබද්ධ දැනුම අතින් චාටඩ් පාඨමාලාව ගොඩක් ඉහලින් ඉන්නවා. ඒත් ප්‍රායෝගික භාවිතාව මඳ කමත්, මුල් අදියර කිහිපයක්ම සිංහලෙන් හැදෑරිය යුතු වීමත් නිසා අවසානයට ඒ ළමයින් බොහොමයකට තමන්ගෙ වෘත්තිය ගොඩනගාගන්න ටිකක් අමාරු වෙනවා. ඒත් එයාල දැනුමෙන් පිරිපුන්.

      කිසි වැරැද්දක් නැතුව කඩ්ඩෙන් විභාග ලියන ළමයිනුත් කඩ්ඩෙන් අදහස් ප්‍රකාශ කරන්ට යද්දි පසුබට වෙනවා. මේ හැමදේටම මුල ප්‍රායෝගික භාවිතාවක් නැති කමම තමයි නේද?

      අපේ රටේ උගන්වන බොහොමයක් විද්‍යා උපාධිවල තත්වයත් ඔයිට නොදෙවෙනි නෑ.

      Delete
  16. ඔ්‍ය කඩු සීන් එක ගැන කියද්දි..කියන්න තියෙන එකම දේ තමයි..භාෂාවක් ඉගෙන ගන්න..හැකියාව උත්සාහයට වඩා passion එක තියෙන්න ඕනෙ...මට ඉංගංිරිසය එහෙට මෙහෙට කරගන්න පුලුවන් වුනෙත් ඒ නිසාමයි..ම පැටිය කාලෙ ගමේ ඉංගිරිසි පන්තියකට ගියා පන්ති පටන් ගන්න කාලෙ 50ක් විතර හිටිය අන්තිමේ ඉතුරැ වුනේ මම විතරයි...ගුරැ මුෂ්ටිය නැතුව අන්තිමේ ගුරැතුමා සියල්ල ඉගැන්නුව..

    ReplyDelete
    Replies
    1. ඕනෙම භාෂාවක් ඉගෙන ගන්න නම් ඒ භාෂාව පුලුවන් හැම අතටම හරවලා, කරකලා, අතපත ගාලා, හුරුවක් ඇතිකර ගන්ට ඕනෙ. භාෂාවක් නෙමෙයි ඕනෙම විෂයයක් එහෙමයි. ජෙමා කියන කතාව ඇත්ත. පාඩම් පොතෙන් ඉගෙනගන්නවට වඩා සිය ගුණයක් හොඳට භාෂාව ඉගෙන ගන්න පුලුවන් ඒ භාෂාවෙන් ලියැවුන පොත්පත් කියවලා, වීඩියෝ ටියුටෝරියල්, ෆිල්ම් බලලා, සිංදුවක් අහලා ඒකෙ පදවැලේ අර්ථය හොයාගන්න උත්සාහ කරලා ඒ වාගෙ දේවල් වලින්. මේක සිංහල නොදන්න අපේ සමහර සිංහලයන්ට සිංහල ඉගෙනගන්නත් යොදා ගන්න පුලුවනි.

      Delete
  17. හා හා හා කඩ්ඩේ වටිනාකම හොඳටම තේරෙන්න ඉතින් පිටරටකටම එන්න ඕනා..... දවස් තුනකට විතර අවත ඇති මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. කඩ්ඩ විතරක් නෙමෙයි මැලේ ඕනෑම භාෂාවක් එහෙමයි නෙව. ඉස්කෝලෙවත් නොගිය අපේ සමහර සහෝදරියො අරාබිකරයේ ගිහින් කාත් කවුරුත් නැතුව, තනියෙන් ඒ රටවල් වල භාශාව ඉගෙන ගන්නෙ අපූරුවට. ඒ භාෂාවල් කොයිතරම් අමාරුද? වෙන එකක් තියා ලියන්නෙත් අනිත් පැත්තට.

      Delete
  18. බස්සිව බලාන්ට ආවා ඕං.

    දැං ඉතුන් හුම්ම් හුම්ම්ම් කිය කිය ඉදපල්ලකො

    ReplyDelete
    Replies
    1. අප්පේ මමීට බයේ මමී බලාපු සමීත් ඇවිත් ඉන්නෙ මේ පැත්තෙ. :D
      බස්සිගේ නවාතැනට සාදරයෙන් පිලිහන්නවා සහෝ....!

      Delete
  19. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට නම් ඉතිං කඩ්ඩෙන් තමා ලෙක්චුව දෙන්නේ. ඒ හින්දා කියන ඕනෑම දෙයක්, ලියලා තියන දෙයක් උනත් කියවලා ගොඩ දා ගන්න පුළුවන් කොහොම හරි. හැබැයි අර ඒ ලෙවල් කාලේ පුළුවන් වෙලා තිබ්බ ග්‍රැමර් නම් දැන් අමතකයි.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ඉන්ගිරිස් තියා සිංහල වල වත් ග්‍රැමර් නීති රීති සියල්ල අකුරක් නෑර දන්නවා අඩුයි නෙව යස්සයෝ... නේද? ඒත් ලියන කියන කොට භාෂා භාවිතය නිවැරදිනම් එච්චරයිනෙ ඕනෙ.

      Delete
  20. මගෙ යාලුවෙක් ඉන්නව කඩුව උගන්නන .මමත් උගෙන් ඉගෙන ගන්නව.පොර කිවුව මිනිහ ලගට ඇවිත් තියෙනව ඉගෙන ගන්න රිටයර් වුනු බැන්කුවක විදායක පොරක්.දරුවො ඔසි නිසා එහෙ යන්න ඉගෙන ගන්න.මිනිහ කියල තියෙනව ඉස්සර චක්‍ර ලෙඛන කඩ්ඩෙන් ආවම ආපහු යවනවලු සින්හලෙන් එවන්න කියල.කඩ්ඩෙන් එන කිසිම ලියුමකට අත්සන් කලෙ නැලු.දැන් ත්මයු ලු තෙරෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නෙව. ඒ කාලෙ කියන්න ඇත්තෙ සිංහලට ගරු කරන නිසා ඉංග්‍රීසි ලියුම්කියුම් පෙන්නන්ඩ බෑ කියල. දැන් එයාටම තේරෙනව ඇති නෙව.

      Delete
  21. කැම්පස් වල ඉන්න JVP උන ගහපු බොහෝ දෙනා J.V.P මෙන්ම තමුන්ගේ දියුණුවත් අනුන්ගේ දියුණුවත් දෙකම විනාශ කරන ජාතියක් බව මගේ අදහසයි.(වචන සර වැඩිනම් සමා වෙන්න). SilentSahan ගේ අදහසට මමත් එකඟයි. "ලංකාවේ කැම්පස් වල ඉන්නේ JVP උන ගහපු අය නිසා තමයි ලංකාව විනාශ උනේ..... ඒ මිනිස්සුම තමයි වයස 28 විතර වෙද්දී ආත්මය උනත් පාවා දීලා සල්ලි හොයන්නේ ". වර්තමානයේ පවතින දෙය කුමක් වුවත් එය හෙලා දකිමින් එයට විරුද්ධව අනෙක පොළඹවන දර්ශනයක් සහිතව ගමන් කරන JVP ත් අ.වී.ශි.බ.ම ත් රටේ අනාගතය අඳුරේ දමන්නට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව ඔවුන් මෙතික් කල් ආ ගමනෙන් මොනවට පැහැදිලි වෙන කරුණක්. ඉංග්‍රීසි සාක්ෂරතාවය දැන් රටේ අත්‍යාවශය දෙයක් බවට පත්වෙලා ඉවරයි. ලෝකය එක්ක ගමනක් යන්න නම් ඉංග්‍රීසි කියන ආයුධය හොඳින් මුවත් කරගන්න (කඩ්ඩ පොලිෂ් කර ගන්න) ඕනෑමයි. හැබැයි මෙතැනදී එක දෙයක් වෙනවා. ඔය විදියට කඩ්ඩ පොලිෂ් කර ගන්න පුළුවන් වුණු එකා ලෝකය එක්ක එකට බැඳෙනවා. ලෝකයේ දැනුම හිතු හිතු ලෙස ලබා ගන්නවා. අන්න එතකොට ඌ තේරුම් ගන්නවා මෙතෙක් කල් ඉඳල තියෙන්නේ ලිඳක් ඇතුලේ කියල. ඒ ලිඳෙන් එලියට එන්න බාධා කරපු ය අතෙරේ ජෙප්පොත් අ.වී.ශි.බ.ම ත් ඉඳල තියෙනව කියල. මෙන්න මේ "සත්‍ය අවබෝධ කරගැනීම" සිදු වුනාම JVP එකට income එක නැති වෙනවා. කැට හොල්ලන්න , කඳුළු ගෑස් කන්න , වෙඩි කන්න , ගුටි කන්න සරලවම කිව්වොත් පෝලිමේ ඇවිත් චන්දෙ දෙන්න සෙනග නැති වෙනවා. අ.වී.ශි.බ.ම ක අවශ්‍යතාවය නැති වෙනවා. එහෙම වෙන්න දෙන්න බැරි නිසාම රටේ තරුණ ප්‍රජාව ලෝකය එක්ක බැඳීම වලක්වන එක අනිවාර්ය සාධකයක්. ඉතින් මම දකින්නේ ඔය කැම්පස් වල වෙනවා කියන "කඩු තහනම" ත් ඒ ක්‍රියාදාමයේම කොටසක් විදියටයි. S.B දිසානායක ගැන මටත් බරපතල විවේචන තියෙනවා. එත් ඔහු රටේ තරුණ ප්‍රජාවගේ මොළ කුරුවල් කරන අ.වී.ශි.බ.ම ත් ඔවුන්ගේ "කඩු තහනම" ඇතුළු තවත් බොහෝ පහත පෙලේ ක්‍රියා වලට ත් වචනයෙන් සහ ක්‍රියාවෙන් හැකි උපරිමයෙන් විරුද්ධ වීම මම නම් බොහොම අගය කොට සලකනවා.අඩුම තරමේ එවන් මතයක් රටේ ගොඩනැංවීම ගැන මම සතුටු වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ S.B දිසානායකම ගේ මේ ක්‍රියාදාමය දිගින් දිගටම සාර්ථක වේවා කියල නොවේ. දැන්වත් අ.වී.ශි.බ.ම හා ඔවුන්ගේ පරිවාර ශිෂ්‍ය ප්‍රජාව සත්‍ය අවබෝධ කර ගනීවා කියලයි. තමන් වෙනුවෙන් රටේ මහජනතාව වියදම් කරන මුදලට සරිලන ලෙසවත්( අඩුම තරමේ) රටට සේවයක් කරන්න අවශ්‍ය දැනුම ලබාගන්න ශිෂ්‍යයින්ට අවස්තාව ලබා දෙන්න . ඔබ රට වෙනුවෙන් පෙරට එන්න. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙරට එන්න. එත් තියෙන සම්පත් උපරිම ලෙස අද්යාපනයටම යොදන්න. ඉගෙන ගන්න එකාට ඉගෙන ගන්න ඉඩ දෙන්න. ඌ ව මහපාරට ඇදගෙන එන්න එපා.

    ReplyDelete
    Replies
    1. අ.වී.ශි.බ.ම. සහ ජෙප්පන් විසින් කඩ්ඩට වැට බඳින්නේ ඇයි කියන එක ගැන ඔබේ තර්කය දීර්ඝ කමෙන්ටුවකින් ගෙනහැර දැක්වුවාට ස්තූතියි ශෙහාන්. බස්සිගේ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා!

      කෙසේ වෙතත් දැන් දැන් අ.වී.ශි.බ.ම.යේ ක්‍රියාකලාපයට එරෙහිව ප්‍රශ්ණ නගන ශිෂ්‍යයන් ප්‍රමාණයෙන් වැඩියි. බොහෝවිට නවකවදය, ජෙප්පන්ගේ දේශපාලන මතිමතාන්තර, කැට හෙලවීම ආදිය සම්බන්ධයෙන්. නමුත් ඔවුන්ව අලයන් යන ලේබලය ගසා කොන් කිරීමෙන් වැලකෙන්න ඔවුනුත් අ.වී.ශි.බ.ම.යේ යම් යම් පිලිවෙත් (කඩ්ඩ හෙළා දැකීම, නවකයින්ට පුස්තකාල තහනම ආදිය.) අන්ධානුකරණයෙන් පිලිපදිනවා. ඒ නිසා ඔවුන්ගේ උඩුගං බලා පිහිනීමේ ව්‍යායාමයත් හරසුන් විය හැකියි.

      S.B. ගේ අදහස් අගය කල හැකි මට්ටමක පැවතුනත් ඔහු වරද්දාගන්නේ ඒ අදහස ශිෂ්‍ය ප්‍රජාව අතර සන්නිවේදනය කරන්නට යාමේ සිට එය බිම් මට්ටමේ දි ක්‍රියාත්මක කරනවිට සිදුවන දුර්වලතා නිසයි. කොටින්ම කිවුවොත් සුදුබණ්ඩා මාමා නහින්නෙ කට නිසා ය.

      Delete
    2. මේ සමහර කතා මට විශ්වාස කරන්නත් බැරි වුණා.

      ඇයි ජවිපේ සහ අවිශිබමය ඉංගිරිසිය ඉගෙනීමට සහ ඉංගිරිසියෙන් කතා කිරීමට විරුද්ධ වෙන්නේ?

      මේ කාලය විසින් කර ඇති වෙනසක් ද?

      මා ඉගෙන ගත් කාලයේ (පේරාදෙනියේ) නම් ඔහොම කතාවක් අහලාවත් තිබුණේ නෑ. එහෙම වුනා නම් අපි දෙමල, මුස්ලිම් සිසුන් සමග, කථීකාචාර්යවරු සමග කතා කරන්නේ, වැඩ කරන්නේ කොහොමද?

      පසු කලෙක මා ලංකාවේ සේවය කළ ඔබත් හොපින් දන්නා විශ්ව විද්‍යාලයේත් මෙවැනි තහනම් තිබුණාය කියා මා විශ්වාස කරන්නේ නෑ.

      මං හිතන්නේ මේ ජවිපෙ හෝ අවිශිබම වැනි මධ්‍යම සංවිධානවල කතාවක් නොව ලෝකල් ප්‍රාදේශිය සබාවල ප්‍රශ්නයක් විය යුතුයි?

      පුදුමයි!

      Delete
    3. බහුතරයක් තෑන් වල නම් මෙහෙම ප්‍රශනයක් නෑ මන් හිතන්නෙ, හරියට අපිට වගේ. අර අහවල් මාස වලදී නම් ඔහොම තොප්පියක් තිබුනට ඉන් එහාට නම් කඩු නෙමෙ ඔනෑ මගුලක්. බොර දියේ මාලුත් බාන්නෙ ඒ අස්සේ.......

      Delete
  22. කඩ්ඩ ඉගෙන ගැනීම අත්‍යාවශ්‍යයි.. හැබැයි ඒ ටූල් එකක් විදියට මිසක් සෝබනේට ඇ‌ඩ් එක දාන්න නෙවෙයි... දැන් වෙලා තියෙන්නෙ පොඩි කාලෙ ඉඳලම ඉංග්‍රීසියෙනුයි සිංහලෙනුයි උගන්නන්න ගිහින් පොඩි උන් සිංහල කතා කරන්නෙත් ඉංග්‍රිසියෙන් හිතලා... මං මේ ළඟදි ඔය ගැන ලිව්වද මන්ද පෝස්ට් එකකුත්....

    ReplyDelete
    Replies
    1. හිරු අක්කාගෙ කොමෙන්ටුව ඇතුලෙ තියනවා බෝම වැදගත් පොයින්ට් එකක්. ඕනෑම භාෂාවක් සාර්ථකව හසුරුවන්න නම් ඒ භාෂාවෙන් හිතන්නම ඕනෙ. නැත්නම් පොඩි අබිලික් ගතියක් දැනෙනවා.

      Delete
  23. කඩු හරඹ ඉගෙන ගන්නනම් අපිත් පන්තී කීයකට නම් ගියාද.. හරි ඉගෙන ගත්තා කියමු.. ඒත් දැන් මෙලෝ වැඩක් තියෙනවද? ඉතාලියේ ඉංග්‍රීසි වලට මෙලෝ තැනක් නෑ.. අන්න එහෙමලු තත්වේ..

    ReplyDelete
    Replies
    1. ජොබට නොවුනත් අධ්‍යාපනය ලබද්දි හරි කඩ්ඩ වැදගත් වෙනෝ නේද දිනේෂ් අයියා. බස්සි කුඩාකාලෙ හැදුනු වැඩුනු වෙන්නප්පුව පලාතෙත් ඉතාලි නිකම් දෙවන බස වගේ තමයි කස්ටිය පාවිච්චි කොරන්නෙ. කියන්නෙත් "පුංචි ඉතාලිය" කියලයි. ඒ වාගෙ සමහර රටවල් තියෙනව ඉංගිරිසිය අවශ්‍ය නෑ උසස් අධ්‍යාපනයටවත්. බොහොමයක් හොඳ පොත්වල ඉතාලි පරිවර්තන තියේලුනෙ. මගෙ ඉක්කෝලෙ ලාලුවෙක් හිටියා උන්දැගෙ කඩ්ඩ අවුල්. ඉංග්‍රීසි නවකතා වල ඉතාලි පරිවර්තන තමයි කියවන්නෙ මොකද දෙමවුපියො දෙන්නාම ඉතාලියෙ වැඩකරන්නෙ. දැන්නම් පොරත් එහෙ.

      ඒත් බහුතරයකට කඩු හරඹය ඉගෙනගැනීම වැදගත් නෙවෙද අයියේ?

      Delete
    2. වැදගත් වැදගත්.. ඉතාලියේ අතීත පරපුරනම් කඩ්ඩ ගැන ඒ හැටි තැකීමක් නෑ.. අපි දන්නවා කිවුවත් උන්ට ගානක් නෑ.. ඔය අපේ ලොක්කා බලන්න.. ඌ මහ ලොකුවට ලෝකේ වටේ ගියාට කඩ්ඩ බෑ.. වැරදිලා හරි කතා කරොත් ඒක අහන් ඉන්න අපිට හිනා.. ඒත් අනාගත පරපුර නම් එහෙම නෑ.. ඒ ගොල්ලනම් ඉංග්‍රීසි වලට කැමති.. මෙහේ බහුතරයක් කැම්පස් වලදි විදේශ භාශාවක් ඉගෙන ගද්දී තෝර ගන්නේ එක්කෝ ප්‍රංශ එහෙම නැත්තන්ම් ග්‍රීක්.. ඒත් දැන්නම් කඩ්ඩ තෝර ගන්නවා.. මම දන්න කැම්පස් යන සෝයි කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා.. මට කඩ්ඩ ශේප් හන්දා උන් හම්බුනාම මට ගැලවීමක් නෑ.. ;)

      Delete
    3. මදාරා අක්කේ... මොකද කියන්නෙ මේ සෝයි කෙල්ලො දෙන්නට ගේමක් දෙමුද? දිනේශ් අයියට ගැලවීමක් නෑලු... :D

      Delete
    4. ///කඩු හරඹ ඉගෙන ගන්නනම් අපිත් පන්තී කීයකට නම් ගියාද.. හරි ඉගෙන ගත්තා කියමු.. ඒත් දැන් මෙලෝ වැඩක් තියෙනවද? ඉතාලියේ ඉංග්‍රීසි වලට මෙලෝ තැනක් නෑ.. අන්න එහෙමලු තත්වේ..///
      අෑ බං අයියේ එතකොට ඒ කෙල්ලො දෙන්නගෙන් ගැලවීමක් නැති එකම මදිද බං??? (@ රහසිං කිව්වේ අෑ!!! මදාරා අක්කට අැහුනොත් නං අයියේ උඹත් කපෝති මාත් කපෝති)

      බස්සි අක්කේ!! ඔන්න ඔහෙ නිකා හිටිං බං!! අහිංසක කෙලි පැටික්කියො දෙන්නා කඩ්ඩට අාසාවෙං නේ කතාවට එල්ලෙන්නේ!!!

      Delete
  24. මේ සිංහල රටේ මොන ඉංග්‍රීසි ද කියන මිනිසුන්ට දවසක මේ ගමන යද්දී කඩ්ඩ ඕනේ වෙනවා.
    මමනම් ඕකට හෙණ ආසයි.. පට්ට විෂයක්.. මම හරියට කඩ්ඩ අතට ගත්තේ 6 වසරෙන් හරියට ඒ වෙනකම් අකුරු 26 ත් බෑ.. දැන් කොහොම හරි හොඳ තැනක ඉන්නවා. ආසාවෙන් ඉගන ගත්තාම බැරි දෙයක් නැහැ. සියලු කඩු හරඹ කෙලවෙන්නේ ව්‍යාකරණ ආපුවම :3

    ReplyDelete
    Replies
    1. අප්පේ බෙන් ටෙනිසන් මලයා දැක්ක කල්!

      ව්‍යාකරණ හරඹයේදි නම් කඩු නෙමෙයි බොහොමයක් බාසාවල් වලට කෙළවෙනව නේද? සිංහලට තමයි වැඩියෙන්ම ව්‍යාකරණයෙන් කේස් වෙන්නෙ. :D

      Delete
  25. හයියෝ කඩ්ඩ වනාගන්ඩ බැරුව මාත් කොච්චර වැනෙනවද

    ReplyDelete
    Replies
    1. බිය නොවන් අටම් මලයන්ඩිය......කඩු සටන් යනු පොලු සටන් මෙන්ම තවත් එක් සටනක් පමණි.

      Delete
    2. ඉතිං අටම් අයියේ ගෙදර ඉන්න වෙලාවට ජාලයෙන්ම කඩ්ඩ පොලිස් කොර ගන්න බලන්ටකෝ... පොඩිත්තියො දෙන්නාවත් එක්කාසු කොරගෙනම.

      Delete
  26. සිසුරුවනේ නම් එකත් එකටම සුමිත් සර් වෙන්න ඇති.. කඩ්ඩ පොලිෂ් නොවීම නම් අපේ ස්කොලේ හය වසරේ කාලේදී එකතරා විදියක ප්‍රශ්නයක් අපේ කාලේ නම්.. මොකද රුපියල් පහ ගානේ දන් දෙන්න වෙනවනේ. සිස්ට ග්‍රේස් ගේ නීතියට අනුව :D

    අෆ්ෆා නාඩිය අයියත් desi මිස්ගේ ක්ලාස් ගිහින් තියෙනෝ ද ??

    කඩ්ඩ කොහම වුනත් බස්සි අක්කේ මට මේ ලිපිය කියවද්දී මට මතක් වෙන්නේ මන් පොඩි කාලේ අපි දෙන්න CRI බස් එක එනකම් දිග ඇරපු කඩු පොත් ලැයිස්තුව..

    අපුරු ලිපියක් අක්කේ..

    ReplyDelete
  27. ///මෝල් ගහ හොඳ හයිය බව ඇත්තයි. ආඩම්බරෙන් කතා කොරන්ට පුලුවන් තරම් පරණ බව, වටින බව ඇත්තයි. ඒත් කඩු ෆයිට් එකට යන්න ඕනෙ කඩුවක් අතේ තියාගෙන.
    හැබැයි තව දෙයක් කියන්ට ඕනෙ. මෝල් ගහෙන් කොරන වැඩේ කඩුවෙන් කොරන්න යන්න එපා. නිකම් ඇඟපත කපාගෙන ඉස්පිරිතාල ගානෙ ලගින්නයි වෙන්නෙ.///

    ඒ උඹේ කට පොඩ්ඩක් දියංකෝ හම්බවෙච්ච වෙලාවක රත්තරං කාසියක් ඔබන්න!!
    සිරාම කතාව බං අක්කේ!!
    සිංහල තරං දියුණු උසස් ව්‍යාකරණ නීති රීති ඒවා මේවා තියෙන භාෂාවක් මේ ලෝකෙටම වෙන නැතුව අැති. ඒත් ඉතිං ඒකෙං කිව්වට ලිව්වට වෙන කාටවත් තේරෙනෙනේ නෑ නේ. ඒ නිසා හැමොම දන්න මල ඉලව්ව අපිත් ඉගෙන ගන්න වෙනවා. හැබැයි ඉතිං ඒක ඉගෙනගත්තා කියලා හැමතිස්සෙම ඒක පෙන්නන්න අාවොත් වණ වෙනවා.

    මෝල් ගහෙං කොස් කොටන්නත් බෑ, කඩ්ඩෙං වී කොටන්නත් බෑ. ඒක නොදන්න'වුන්ට හරියට සාධාරණ ක්‍රමේකට බඩගෝස්තරේ රැකගන්නත් බෑ.

    ReplyDelete