Monday, September 15, 2014

පොත් ඇතුලේ නයි (කකුල් උඩට අරන් කියවන්න)





තවත් සාහිත්‍ය මාසයක්. මේ බස්සි පොත් ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට ගිය පහළොස්වෙනි වතාව.


ඉස්සර නම් බුක් ෆෙයාර් යන්නෙ බස්සි-ඩැඩා එක්ක නෙව. මේ පාර එහෙම බෑ නිසා බස්සියි බස්සයි බසු නංගියි තමයි ඕන් බුක් ෆෙයාර් ගියෙ.


පොත් ගන්න යන අයට පුංචි උපදෙසක් දෙකකුත් දෙන්නම්කෝ. පොතක් ගන්නවානම් අදාළ ප්‍රකාශකයාගෙ ස්ටෝල් එකෙන්ම ගන්න. එතකොට 30% වට්ටමක් ලැබෙනවා. බොහොමයක් ප්‍රකාශකයො සාහිත්‍ය මාසය පුරාවටම ඔය ඩිස්කවුන්ට් එක එයාලගෙ පොත් සාප්පුවලදි දෙන නිසා ඇවිදින්න කාල වේලාව තියන උදවියට නිවාඩු පාඩුවෙ ඇවිදල බලලා පොත් තෝරගන්නත් පුලුවනි.


ඒ වගේම පොත් පිළිබඳ සිතැත්තන්ට පුලුවනි පාඨක ජාල වල සාමාජිකත්වය ගන්න. ඒ කියන්නෙ ඔය අපි ඇඳුම් සාප්පුවල, සුපර්මාර්කට්වල කාර්ඩ් එකක් ගන්නව වගේ වැඩක්. ඒ සාමාජික කාර්ඩ් එක ඉදිරිපත් කලාම පුලුවනි අදාල පොත්වලට අවුරුද්ද පුරාම 30% හෝ 25% වට්ටමක් ලබාගන්න.


බුක්ෆෙයාර් එකේ කොටසක් වෙන් කරල තියෙනවා Bargain stalls වලට. ඒ කොටසෙ stall වල තියෙන්නෙ හොඳ ඉංග්‍රීසි පොත්වල පරණ edition, අධ්‍යාපනික පොත්, ඔය සොල්දරේ ඉඳන් පොත් කියෙවුව කියන අය සඳහන් කරල තිබුනු පරණ පොත් වගේ ඒවා. අපේ නංගි රුපියල් එක්දාස් පන්සීයකට මිල කරල තිවුනු පොතක් රුපියල් හාරසිය හැත්තෑවකට ගත්තා ඒ ස්ටෝල් එකකින්.


ගොඩගේ ප්‍රකාශකයෝ මේ වතාවෙ වෙනදාට වඩා සංවිධානය අතින් ඉදිරියෙන්. මිහිලක මැදුරේ ඔවුන්ගේ ස්ටෝල් එකේ කවුන්ටර් අසල තදබදය අවම වෙන විදියට සකසාගෙන තිබුනු ආකාරය ප්‍රශංසනීයයි.


සරසවි ප්‍රකාශකයන්ටනම් තමන්ගේ "මානව සම්පත්" ගැන මීට වඩා අවධානයක් යොමු කරන්න වෙයි වගේ. පොත් ගන්න එන මිනිස්සුන්ට හරක්ට වගේ ආමන්ත්‍රණය කරන සේවකයො ඉන්න තැනක පොත් මිළදී ගන්න යන්න මමනම් කැමති නැහැ. මේ සරසවියේ සේවකයන්ගේ ලොකු ලයින් බලන්න සිදුවුන දෙවැනි වතාව. පොත් සාප්පුවක වැඩ කරන්න ඕනෙ පොත් ගැන යන්තම් හරි අවබෝධයක් තියෙන මිනිස්සු නේද?


විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් ඉස්සර තරම් හොඳ පොත් එලියට ඇවිත් නෑ වගෙයි. විදර්ශන ප්‍රකාශකයන්ගේ පොත්නම් කවදත් වගේ මෙවරත් මගේ හිත ඇද ගත්තා.


Jeya බුක් ෂොප් එකේ ආරක්ශාවනම් ඕනෑවට වැඩිද මන්දා. ඇතුලට යනකොට බැක්පැක් එකට ප්ලාස්ටික් ලොක් එකකුත් දැම්මා. ඒත් එලියට එද්දි ඒක අයින් කරල දෙන්නත් කෙනෙක්ව තිබ්බානම් තමයි හොඳ. මොකද පොත් කන්දත් බිම තියාගෙන ඔතන ඉඳන් බෑග් එකේ ලොක් එක ගලවගන්න විනාඩි විස්සක් විතර ඔට්ටු වෙන්න වුනා.


රූ එන්ටර්ටේන්මන්ට් අලෙවිසලේ හඳගමගේ පරණ ටෙලිනාට්‍යවල ඩී.වී.ඩී. ටිකත් තිබුනානම් කොයිතරම් හොඳද.


දැන් නම් පොත් ප්‍රදර්ශනය තවත් එක කානිවල් එකක් වේගෙන යන හැඩයි. කෑම කඩ, ෆේස් පේන්ටින්, අයිස්ක්‍රීම් කඩ, tattoo කඩ ආදී මෙකී නොකී කඩ වැහිවැහැල. මට ඇහුනා ගේට් එක ගාවදි කොල්ලෙක් කියනව "යකෝ අපි වැරදිලා මැගී දයියා එක්සිබිෂන් එකකටනෙ ඇවිත් ඉන්නේ" කියලා.


කොහොමින් කොහොම හරි බස්සිත් පොත් ටිකක් ගත්තා. ගන්න හිතන් උන්නු පොත් කිහිපයක් හොයාගන්න බැරිවුනා තදබදය නිසා. සන්නස්ගලගේ "අම්මා" පොත ගන්නම ඕනෙ අද හවසට සරසවි පැත්තේ රවුමක් දාලා. "හැටේ වත්තේ මග්දලේනා" මගේ බලාපොරොත්තු සුන් කරමින් සියලුම පිටපත් විකිණී අවසන් වෙලා. පොත් සාප්පු කීයක රස්තියාදු වුනාද මම මේ මග්දලේනෙක් හින්ද.


පහුගිය අවුරුදු පහළොවටම නොකරපු ලාමක ටිං ටිං වැඩක් මේ පාර කරන්නෙ මගේ "පොත් ඔත්තු" ලිපි මාලාව වෙනුවෙන්. ඒ තමයි ගත්තු පොත්වල ලැයිස්තුවක් දාන එක. කැමති අය ඒකත් කියවලා යන්නකෝ.







1. මොහාන් රාජ් මඩවල - ආදරණීය වික්ටෝරියා

2. මොහාන් රාජ් මඩවල - ලොවීනා

3. මොහාන් රාජ් මඩවල - සිහින සිහින සහ සිහින (කෙටිකතා)

4. ශාන්ති දිසානායක - හිරුමඬල

5. ශාන්ති දිසානායක - දේදුන්න

6. තිලකසිරි ඒකනායක - තිලක සිත

7. නිශ්ශංක විජේමාන්න - මුවා මැරූ සලමන් (කෙටිකතා)

8. නිශ්ශංක විජේමාන්න - වැලන්ටයින් කුමාරයා

9. ජයතිලක කම්මැල්ලවීර - තාත්තලාගේ කතාව

10. ජයතිලක කම්මැල්ලවීර - ඇස් (කෙටිකතා)

11. ජයතිලක කම්මැල්ලවීර - කලු සපත්තු (කෙටිකතා)

12. මංජුල වෙඩිවර්ධන - මගේ ආදරණීය යක්ෂණී

13. සුනිල් මාධව ප්‍රේමතිලක - සත්‍යවාදියෙකුගේ දිනපොත 1 සහ 2

14. ලියනගේ අමරකීර්ති - කුරුලු හදවත

15. භද්‍රා ඉන්ද්‍රාණි අමරකෝන් - නිර්වින්දන

16. මලික් තුසිත ගුණරත්න - කිත්තා බයිසිකලේ වික්කා (කෙටිකතා)

17. මලික් තුසිත ගුණරත්න - චන්දරේ! මචාං!! (කෙටිකතා)

18. ඒ. වී. සුරවීර - කාටත් මා එපාවෙලා

19. එදිරිවීර සරච්චන්ද්‍ර - විලාසිනියකගේ ප්‍රේමය

20. ඇරැව්වල නන්දිමිත්‍ර - දුටු තැන වෙඩි තබනු

21. පී.බී. ජයසේකර - මරියා සිලොනිකා වස්තුව

22. යනූෂා ලක්මාලි - තරු

23. තාරකා වාසලමුදලිආරච්චි - මැටි

24. තාරකා වාසලමුදලිආරච්චි - දෙහි

25. තාරකා වාසලමුදලිආරච්චි - ඇස්

26. සයිමන් නවගත්තේගම - මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව

27. මාර්ටින් වික්‍රමසිංහ - විරාගය

28. ස්වර්ණ කාන්ති පෙරේරා - බිම්බා

29. භද්‍රජී මහින්ද ජයතිලක - තුම්මාසේ



30. මහ රහතුන් වැඩි මග ඔස්සේ (7) -ඉන්ද්‍රජිත් සුබසිංහ

31. පියවි සිහිය සහ තේ පානය - සමන්ත තැන්නගේ

32. Opening the door of your heart and other Buddhist tales of happiness - Ajahn Brahm



33. Jagath Kumarasinghe - A calf in milk and milk chocolate

34. Zizou Corder - Lee raven

35. Zizou Corder -Boy thief

36. Paulo Coelho - By the river piedra i sat down n wept

37. Paulo Coelho - The witch of portobello

38. Paulo Coelho - The devil n miss prym

39. Emily Bronte-Wuthering heights




TRANSLATIONS:


40. The naked woman (නිරුවත් ගැහැණිය) - Desmond Morris (පරිවර්තනය : පසන් කොඩිකාර)

41. සදාකල් ආනන්දයෙන්
(Leo Tolstoy's happy ever after)

42. ජෑම් ගස යට ගෙදර - සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
(The jam fruit tree by Carl Muller)

43. නිදි කුමාරියන්ගේ නිවහන - ඉන්දික ගුණවර්ධන (House of the sleeping beauties by Yasunari Kawabatha)

44. අපේ කාලයේ වීරයෙක් - දැදිගම වී රුද්‍රිගු

(They fought 4 their country by Mihail Lemarnthav)


45. සිරකරුවා සහ ඔත්තුකරුවා -ආනන්ද සෙල්ලහේවා

(The Afgan by Fredrick Forsyth)





46. මං අනාථයෙක් නොවේ - මානෙල් ජයන්ති

(Emarald star by Jacqueline Wilson)


47. තාත්තයි දුවයි - කත්‍යානා අමරසිංහ

(The blue cup by Arkadi Gaidar)


48. පුංචි මායාකාරි - මානෙල් ජයන්ති

(Lucy Willow by Jacqueline Wilson)


49. මැන්ඩි - මානෙල් ජයන්ති

(Bad girls by Jacqueline Wilson)


50. තෙල්මන්දා - මල්ෂා ගයාත්‍රි බණ්ඩාර

(The Blabber by Judy Blume)


P.S.

අද නුගේගොඩ රස්තියාදු ගසා සොයා ගතිමි.

51. අම්මා - උපුල් ශාන්ත සන්නස්ගල

52. හැටේ වත්තේ මග්දලේනා -
සෞම්‍ය සඳරුවන් ලියනගේ











(වැඩිපුර) කියවීම මිනිසා ලැජ්ජාවට පත් කරයි?



බස්සි පොඩි එකා කාලෙ පොත් කාවෙක්. පොත් ගුල්ලෙක්. 
කොටින්ම කිවුවොත් බුක්මාර්ක් එකක්.









පොත් කියවීම පටන් ගන්නෙ අකුරු කියවන්නත් කලින්. ඒ කාලෙ අපේ තාත්තා ඔෆිස් වැඩවලට සතියට තුන් වතාවක් කොළඹ යනවා. ගිහින් එන හැම වතාවකම බස්සිට ලැබුනෙ අලුත් අලුත් කතන්දර පොත්.




ආපු ගමන් ඇඳුම් මාරු කරන්නත් කලින් තාත්තා බස්සිව උකුලේ තියාගෙන පොත කියවා දිය යුතුයි. ඒක තමයි නීතිය. දෙපාරක් විතර කියෙවුවාම තාත්තට වොශ් දාන්න යන්න නිදහස ලැබුනට ආයෙමත් ඇවිත් පොත කියවන්න ඕන. සිය පාරක් හරි, බස්සිට කතාව මතක හිටිනකම්.




අන්න ඊට පස්සෙ තමයිලු අකුරු නොකියවූ බස්සි බබා ගෙදරට එන අමුත්තන්ව හෙම මවිත කරමින් කටපාඩමින් පොත දිහා බලාන ශබ්ද නගා කතාව කියවන්නෙ.


කොහොමින් කොහොම හරි අවසානයේ පොත් කියවීම අනිත් අයටත් වදයක් වෙන ඇබ්බැහියක් බවට පත් වුනා වගේම බස්සිට හත වසර වෙනකල්ම “හොඳම යාලුවෙක්” නොහිටින්නත් මේ පොත් ඇබ්බැහිය තදින්ම බලපෑවා.


දෙක වසරෙදි බස්සිගේ ස්කූල් බෑග් එකේ තිබිලා යාලුවෙක්ට අහු වුනා “කල්ලන්දූවේ මුතු කොල්ලය ”.


“කාගෙද මේ පොත? මේ ලොකු පොත් ස්කූල් ගේන්න තහනම්.”


“ඕක මගේ. එහෙම රූල් එකක් නෑ, බොරු කියන්නෙපා.”


“නෑ මං මේක ටීචර්ට දෙනව.”



අන්තිමේ බටු ඇටයක් සයිස් බස්සිව තල්ලු කරදාපු යාලුවා පොත ටීචර්ට බාර දුන්නා. හවස අම්මා දුරකථනයෙන් කල දීර්ඝ පැහැදිලි කිරීමකින් පස්සෙ බස්සිට ලැබෙනවා පොත. ඒත් ඒ වෙනකොටත් බස්සිට “බොරුකාරයා” කියල කාඩ් වැදිල හමාරයි. ලොකු අයගේ පොත් කියවනවාය කියාපු බොරුකාරයා. දැන් මතක් වෙද්දි ලොල් සහගත උනාට ඒ කාලෙ මම පුදුම තරම් ලැජ්ජා වුනා ඒ ගැන.









ඔහොම ගිහින් බස්සි බබා තුන වසරට පාස් වුනා කියමුකෝ. තුන වසරේ ටර්ම් ටෙස්ට් එකට අපිට ලැබෙනවා ප්‍රශ්ණ පත්තරයක්. ඕකෙ එක ප්‍රශ්ණයක් තිබුනා පින්තූර තුනක් දීලා මේ සත්වයන්ව නම් කරන්න කියල.



බස්සි පින්තූර තුන බැලුවා.




බොලේ මේ ඉන්නෙ බල්ලෙකුයි, පූසෙකුයි, නරියෙකුයි.


පැන්සල මිටි කරන් ලිවුවා උත්තර තුන.

බල්ලා,  පූසා,  නරියා


මොකක් හරි පරහක් තියෙනවා වගේ මේ ලියාපු උත්තරවල. ආයෙත් බලමු.


“බල්ලා” – 

ආපෝ බල්ලා කියන වචනෙ පොඩ්ඩක් ග්‍රාම්‍ය වැඩියි. ළමා පොත්වල උන්නෙ බලුහාමි. අනික “රංසිරිගේ සංග්‍රාමය” පොතේ මිනිස්සු බැනගන්නවත් එක්ක “බල්ල” කියල. ඒක හරි නෑ. මම ලියන්න ඕන “සුනඛයා” කියලයි.



“පූසා” – 

ටිකක් හුරතල් වැඩියි වගේ. පූසා කියල ලිවුවොත් හිතයි මං අවුරුදු තුනේ හතරෙ පොඩි එකෙක් කියල. එහෙනම්…. “බළලා කියල ලියන්නම්කො.

බෑ බෑ බළලා හරියන්නෑ. අපේ අම්ම තරහගියාම ගෙදර පූසිව එලවන්නෙත් චිප් බළලා කියල.

අහා මෙන්න මතක් වුනා වචනෙ. මම ලියනව “බිලාලයා” කියල.




“නරියා” – 

නෑ නෑ මේකනම් හරියන්නෙම නෑ. පට්ට  චාටර්. ‘නරියෙක් වගේ මිනිහෙක්.’ කියලා මිනිස්සුන්ටත් බනිනව. නරක වචනයක් වගෙත් හිතෙනව. ඒ නිසා   ලියන්නෝන “හිවලා” කියල. ඒක ටිකක් වැදගත් පාටයි.







විභාගය ඉවරවෙලා අලුත් වාරෙදි තමයි අපිට රෙකෝර්ඩ් බුක් දෙන්නෙ.  


අළුත් ටර්ම් එකේ ඉස්කෝලෙ ගියාම මෙන්න තුන වසරෙ අනිත් පන්තිවල ටීචර්ලා සැරින් සැරේ එනව අපේ ක්ලාස් එකට. ඇවිත් මගෙ දිහාට අත දික්කරල අහනව මෙයාද ළමය කියල. ඊට පස්සෙ හිකි හිකි ගගා හිනාවෙනව. මාත් ඉතින් පුටුවෙ ගුලි වෙලා මේ මොන විනම්බෑසියක්දැයි කල්පනා කරමින් හිටිය.


හොරෙන් හොරෙන් සීන් එක දිහා බලද්දි  තමයි තේරුනේ අපේ ක්ලාස් ටීචර් ඒ ටීචර්ලට පෙන්වන්නෙ මගෙ පේපර් එක බව. මං අම්බානක බය උනා ලකුණු බිංදුවක්කත් ඇවිත්ද කියලා.


පහුවදා පේරන්ට්ස් මීටින්. පණ බයේ හිටියෙ මොකද මගෙ පේපරේ බලල ටීචර්ල හිනාවුනේ හොඳකටනම් නෙමෙයි කියල දන්න නිසා.


ඒත් එදා රෑ බස්සි බබා දොයි කියල හිතාගෙන අම්ම තාත්තට කියනව පේරන්ට්ස් මීටින් එකේ විස්තරේ.


"මේ ළමය පණ්ඩිත වැඩියි කියල ටීචර් හිනාවුනා අනේ. සත්තු ගැන නම් කරන පාඩමක බල්ල වෙනුවට සුනඛයා කියල ලියල කියල ඒ මිස් හොඳටම හිනාවෙනව."


මට ඇහෙනව තාත්තත් හෙමින් හිනාවෙනව. දැනුයි තේරුනේ. බල්ලා කියන්නෙ නරක වචනයක් නෙමෙයි. සුනඛයා කියන එකයි නරක වචනෙ.










"අර ඔයා අලුතින් ගත්ත වනසරණ පොත හංගල තියන්න. නැත්නම් අපි ඔෆිස් යනකම් ඉඳලා ඒකටත් හොට දායි."


"ආ ඒක අර වෝල් කබඩ් එකේ උඩම තට්ටුවෙ තියෙන්නෙ. මෙයාට එතෙන්ට නගින්න බෑ."


අම්ම ආඩම්බරෙන් කිවුව. 


කබඩ් එක ගාවට මගෙ මේසෙ ඇදන් ඇවිත් ඒක උඩින් උස පුටුවක් තියල එතනට නැගල ඇඟිලි තුඩු වලින් ඉස්සුනාම ඔය 'උඩම තට්ටුවට' මං උස බවත්, ඒකට නැගල ජීවිතේ පරදුවට තියමින් අම්මගේ "යෞවනත්වය සහ මාතෘත්වය" පොත  මං කියෝල ඉවර කලේ ගිය සතියෙ බවත් අම්ම දැනගත්තොත් මොන ගිනිවිජ්ජුම්බරයක් වෙයිද කියලා හිත හිතා ඉන්න අතරෙ මට දන්නෙම නැතුව නින්ද ගියා.





පොත් ඔත්තු



කල්ලන්දූවේ මුතු කොල්ලය - කුලසේන ෆොන්සේකා


රංසිරිගේ සංග්‍රාමය - කුලසේන ෆොන්සේකා


වනසරණ - ඒ පී ගුණරත්නගේ පරිවර්තනයක්
(මුල් කෘතිය - ආර්. එල් ස්පිට්ල්ගේ Savage sanctuary)


යෞවනත්වය සහ මාතෘත්වය - දයා රෝහණ අතුකෝරල










Thursday, September 11, 2014

මෙන්න මගෙනුත් පොත් බාල්දියක්



මේ දවස්වල මූණු පොතේ යනවා අලුත් දාම අභියෝගයක්. Book bucket challenge.


කොහොමින් කොහොම හරි ඔය කියන බුක් බකට් චැලේන්ජ් එක බාර අරගෙන බුකිගත වෙලා තිවුනු බුක් බකට් චැලේන්ජ් එක බ්ලොග් ලෝකෙට ගෙනාවෙ මාතලන් බොස්. පෝස්ට් එකක් දාලා වෙනස්ම විදියෙ පොත් බකට් එකක් පෙරලලා විවෘත අභියෝගයක් කරලා තිවුනා අනිත් අයටත්.


බස්සිටත් මූණු පොතෙන් තනුජා නංගි, නාඩි මල්ලි සහ දිනේෂ් අයියා චැලේන්ජ් එක කලා. තුන් දෙනාම බ්ලොග් රචකයෝ. ඉතින් බස්සිත් වැඩි දෙනෙක් සඳහන් නොකල හොඳ පොත් දහයක නම් ලැයිස්තුවක් හදලා බ්ලොග් ලියන - නොලියන පොත් ගුල්ලො කීපදෙනෙක්ට අභියෝගය පාස් කලා.


කොහොමින් කොහොම හරි සාහිත්‍ය මාසෙට පොරෝජනයක් වෙන්න පෝස්ට් කට්ටක් තලාගන්න හැකියාව ලැබෙන පොටක් පාදල දුන්නට මාතලන්ට තැන්කිව් කියල බස්සිත් බ්ලොගියෙ පොත් ටිකක් පෙරළන්නම් නේද?



- ඕල් ටයිම් ෆේවරිට් සහ මගේ ලෝකයේ වීරයාගේ කතාව
- වානේ පන්නරය ලැබූ හැටි






රචකයා නිකොලායි ඔස්ත්‍රොවිස්කි. පරිවර්තනය දැදිගම වි. රුද්‍රිගු.


මේ පොත මට ලැබෙන්නෙ හය වසරෙදි, මගේ එකොළොස්වෙනි උපන්දිනයට. ආයෙත් අහලා, පොතේ පිටු කිහිපයක් ඇතුලත මම පාව්කා කෝර්චාගින්ට මගේ කුළුඳුල් ප්‍රේමය පුදලා හමාරයි. තෝන්යා එක්ක පට්ට තරහයි ඉතින්. ඔය සිරියෝෂා ගැනත් පොඩි මෙව්වා එකක් තිබ්බා මොකද එයා නාහෙට නහන දඟකාරයානෙ.

රුසියන් කතාවලට පණ ඇරපු මට මේ පොත නිධානයක්.




- පිස්සු වැටුන කවිපොත - ප්‍රබුද්ධ






මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ කවිපොත මගේ හදවත තදින්ම පෙලූ කෘතියක්. පිටු කිහිපයක් ඇතුලේ ඔහු ගෙනහැරපාන ගැඹුරු ජීවන දර්ශනය පුදුමාකාරයි. කීර්තිය හඹා ගිහින් මුදලට බුද්ධිය උකස් කරන කලාකරුවා අන්තිමේදි තමන්ව හොයාගෙන තමන් තුලින් ලෝකයත්, ලෝකය තුලින් තමාවත් දකිනවා.




- විස්මිත මනමැවිය 
-  The chronicles of Narnia - C.S. Lewis





කියවලා කියවලාම මේ පොත් කට්ටලයේ පිටුත් ගෙවී ගිහින් ඇති. ඇස්ලන්ගේත් සුදුමායාකාරියගේත් සටන්. කතා කරන සත්තු, නපුරු මායා මැහැල්ලන්, හිත හොඳ කින්නරයෝ, වික්‍රමාන්විත මීයෝ, කුඩුකේඩු කුරුමිට්ටෝ සහ තවත් බොහෝ අපූරු මනමැවි දාමයකින් සමන්විත මේ පොත මාව මෝහනයට පත් කලා. අදටත් පුංචි ඉසිඹුවක් ලබන ඇසිල්ලක, ඇඳේ මුල්ලකට ගුලිවෙලා නාර්නියා විස්ම දේශයේ අතරමං වෙන පුරුද්ද අතහැරිලා නැහැ.




- ජීවිතයේ එක යුගයක් 
– Sweet valley twins and Sweet valley high







Francine Pascal විසින් රචනා කලා කිවුවත් මේ පොත් මාලාව ලියා ඇත්තේ ghostwritersලා සමූහයක් බවයි කියැවෙන්නෙ. Sweet valley twinsලා ; ජෙසිකා සහ එලිසබෙත් සම නිවුන්නු. ගොඩාක් අයට මේ දෙන්නව ටැපලෙනවා. මගේ යොවුන් විය ගෙවුනේ මේ නිවුන් ජෝඩුවත් එක්ක කිවුවොත් නිවැරදියි. පොත් සේරම මිලදී ගන්න හැකියාවක් නොතිබුන නිසාත්, එක හුස්මට පැයක් දෙකක් ඇතුලත කතාවක් හමාර කිරීම නිසාත් මම සමහර සති අන්ත වල දවසට දෙවතාවක් පුස්තකාලයට ගිහින් පොත් මාරු කරන් එන්න සිදුවුනා. 


අම්මාගෙ සමහර මිතුරියන් විසින් මේ පොත් නිසා මම “වල්” වෙනවායැයි නිගමනය කලත් හත, අට වසරවල මගේ හොඳම පොත් යහලුවන් වුනේ මේ දෙන්නා.




- මගේ ලෝකේ අනිත් වීරයා - පාව්කාට හොරෙන් මෙයාටත් ලව් කලා !
– ඇටමැස්සා – සුගතපාල ද සිල්වා








පාවෙල් කෝර්චාගින් තරමටම මගේ ආදරය දිනාගන්න සමත් වුන අනිත් වීරයා තමයි ඇටමැස්සා හි ආතර් බර්ට්න්. කතාව කියවා අවසාන කරනකොට මගේ ලෝකයත් සම්පූර්ණයෙන්ම කණපිට හැරුනා වගේ දැනුනා. කියවලාම බලන්න, ආදරය, අපේක්ෂාභංගත්වය සහ විප්ලවය ගැන.

මෙය පරිවර්තනයක්. මුල් කෘතිය, The Gadfly රචනා කර ඇත්තේ  එතල් ලිලියන් වොයිනිච්.




- පට්ටම පට්ට රැඩිකල්
– හිතේ කෙටූ ටැටූ – ඉන්දික ගුණවර්ධන






ඉන්දික ගුණවර්ධනයන්ගේ “හිතේ කෙටූ ටැටූ මා කියැවූ පට්ටම රැඩිකල් පොතක්. අමුතු පොතක්. මට ඒ පොත කියවද්දි දැනුනේ අමුතුම ආකාරයක කෙටි චිත්‍රපටයක් බලනව වගේ.


වචනයෙන් දෙකෙන් ඔහු අපිව කරකවලා අතාරින හැටි අපූරුයි. මෑත යුගයේ මා කියැවූ අපූරුම පොතක්. 




- මේ සතියේ ජයග්‍රාහකයා 
– තාරා මගේ දෙව්දුව – නිශ්ශංක විජේමාන්න






පොත කියවා දින කිහිපයක්ම ගත වුනත් තවමත් මගේ මනසේ හොල්මන් කරනවා තාරා ශ්‍යාමලී. අමුතුම ආකෘතියකට ලියැවුනු “වෙනස්” නවකතාවක්. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය මේ පොතට ලැබෙයි කියලා මමනම් උදක්ම බලාපොරොත්තු වුනා.




- මේ තමයි මිනිස්සු – චරිතාපදාන


මම කැමතිම චරිතාපදාන ද්විත්වය ගැන නොලිවුවොත් මේ ලැයිස්තුව අසම්පූර්ණයි වගේ. මේ මිනිස්සු ගැන කියැවීමම මගේ ජීවිතයට එකතුකල දේ බොහොමයි.

මිනිසෙක් -  

පනාගෝලිස්ව කියවන්න. මේ පොත මුද්‍රණය වී ඇත්තේ කොටස් දෙකකට. කතෲ සුනිල් මාධව ප්‍රේමතිලක.






ශ්‍රේෂ්ඨයා – 

මොහොමඩ් අලි ගේ චරිතාපදාන – මෙහි මුල් කෘතිය The greatest. පරිවර්තනය සුනිල් මාධව සහ සඳුන් රන්ජන.




- හොඳම දේ දරුවන්ටයි – සුන්දර ළමා කතා


ළමා කතා විදියට අද කාලෙ ගොඩක් දෙමවුපියෝ ලොකු බෝල අකුරු සහ පිටුවෙන් පිටුවට පාට පාට රූප ඇති පොත් දරුවන්ට තෑගි කලත්, වෙනස් විදියට පොත් දිහා බලන මගේ තාත්තා මට රෝල් ඩාල්ව, වසිලිස්සාව, නිකීතාව හඳුන්වා දුන් නිසාම, පොතේ පිටුවල අඳිනවාට වඩා පාට බහුල, ජීවමාන රූප රැසක් මගේ හදවතේ පිටු අතර ඇඳුනා.


හරිම සන්තෝසයි ඒ පරපුරේ අලුත්ම පුරුක ඩේවිඩ් විලියම්ස්, අද කාලේ ළමයින් වෙනුවෙන් ළමා කතා ලියන අපූරු ලේඛකයෙක්. මේ තියෙන්නෙ ඔහු ලියූ පොත් සෙට් එක. මේවායින් සමහරක් සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. පොඩ්ඩන් වෙනුවෙන්ම ලියැවුනු අපූරු පොත්  එකතුවක්!








  • The boy in the dress (ගවුම් ඇන්ද ඩෙනිස්)
  • Mr. Stink (දුගඳ මාමා)
  • Billionaire Boy (බිලියනෙයර් ජෝ)
  • Gangsta granny (හයිරංකාර ආච්චි)
  • Rat burger
  • Demon dentist
  • The slightly annoying elephant





10 
- මගේම මගේම මගේ කතා – මගේ දිනපොත් 


ඔය උඩ තියන එක පොතකටවත් සම කරන්න බැරි වටිනාම දේ තමයි මගේ දිනපොත්. කාලයත් එක්ක ඒ පුරුද්ද මගහැරිලා ගියත් අදටත් මම ඒ දිනපොත් කියවන්නේ පුදුම ආදරයකින්. මම මුලින්ම දිනපොතක් ලියන්නේ තුන වසරෙදි, ඇදවුනු කැත ලොකු අකුරු වලින්. දා ඉඳන් දහතුන වසරට යනකම් මම දිනපොත් ලියනවා.


සමහර පිටු සිංහලෙන්, සමහර පිටු වැරදි පිරුනු ඉංගිරිසි, සමහර කොටස් එස්.එම්.එස්. භාෂාවෙන්, තවත් සමහර කොටස් අපි දහය වසරෙදි හදාගත්තු රහස් භාෂාවකින්. (අවාසනාවකට දැන් මට ඒ රහස් භාෂාවේ කේත මතක නැහැ.)


කැම්පස් එකේදි දිනපොත් ලියන්න නොහිතපු මම මහා පුදුම මැට්ටෙක්. නැත්නම් මට මොනතරම් අපූරු පොත් හතරක් ලියන්න තිබුනද !!!






Tuesday, September 9, 2014

ඉරයි - මමයි (3)



ඉරයි - මමයි (1)

ඉරයි - මමයි (2)



වැහි පිණිතිවල දැවටුන
හීන් හැන්දෑ හුළඟක්
කොණිති ගන්වයි හදවත

ආන් එතකොට
වාන් දමමින්
පිරී ඉතිරෙයි නෙතුයුග











ඔව්. මට උඹව මතක් වුනා එකපාරටම. එතකොට හැන්දෑවෙ හතට, නැත්නම් හතහමාරට විතර ඇති.. අහසෙ තිවුනෙ ලා අළු පාටක්. වහින්න කිට්ටුයි. වැහි වළාකුළු එක්ක නටනටා උන්නු හුළඟ පොළවට ඇවිත් මගෙ වටේ දැවටුනේ වළාකුළු වලින් හොරා ගත්තු වැහි පිණිතිවල සිහිලසත් එක්ක. ඒක සුන්දර හොරකමක්. මට මතක් වුනේ මම උඹෙන් හොරකම් කරගත්තු උණුහුම් මතක. ඇත්තටම ඒක හොරකමක්ද ? මම දන්නව, ඒකට දෙන්න උත්තරයක් උඹ ළඟත් නෑ, මං ළඟත් නෑ.



දන්නවද, මං ලිවුවා උඹ ගැන, 
මගෙ ලෝකෙට උණුහුම දෙන ආදරණීය ඉර ගැන. . .
මං දන්නව උඹ ඒව දකින්නවත් නැතුවැති කියලා. ඉර ගැන, හඳ ගැන කොයිතරම් ලිවුවත්, කොයිතරම් කිවුවත් පලක් තියේද? මමනම් හිතන්නෙ නෑ.


ම්හ් හුම්. . . තේරුමක් නැත්තෙමත් නෑ. 

හදවතේ බර සැහැල්ලු වෙලා ආයෙමත් සමනල් තටුවක සැහැල්ලුබව ලැබෙන්නෙ එතකොට. අමතකවුන තනුවකට පණ දෙන්න හිත සුසර වෙන්නෙත් එතකොට. කාලෙකට කලින් ලියාපු ගීතයක වැළලිලා ගිය වචන පේළි පොළව යට ඉඳන් හුස්ම ගන්නෙත් එතකොට.



මතකද උඹ එකෝමත් එක අන්තරාභවයක පුරහඳක් වෙලා උන්නා.




නිශා අහසේ - නැගී තරුවැල්
සිනා සැලුවත්
කොයිතරම්
වළා සළු මැද – දිලෙන පුරහඳ
කෙසේ උන් හා
සමකරම්

අනේ පුරහඳ – වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං

ඔබේ දසුනෙන්
සැනසුනෙම්

කෙසේ ගගනත
පියමනිම්

සෙනේ සඳකැන්
විදාලන්, විල් දිය මතින්

සිහිල විඳගමි
හදවතින්


අමාවකනම් 
එපා
මොහොතක්වත් ඉතින්





කල්ප ගානක් පැරණි ඒ අන්තරාභවයේ මතකත් එක්ක මම තවමත් උඹව ලියන්න අකුරු ඇහිඳිනවා. 

මේ කතාව කොතනින් පටන් ගන්නද, කොතනින් ඉවර කරන්නද කියල තවමත් මට හිතාගන්න බෑ.






Monday, September 1, 2014

අමාවක පුරහඳ (කෙටිම කෙටි කෙටිකතාව)








මම බැල්කනියෙන් පල්ලෙහාට නැමිලා පෙණහළු පිරෙන්න දිග හුස්මක් ගත්තා. පහළ පිච්ච වැලේ අලුතෙන් පිපෙන සමන්පිච්ච මල්වල සිහින් සුවඳ පෙණහළු පහු කරගෙන ගිහින් හදවතට තට්ටු කරනවා. හදවතේ දොරගුළු විවර වෙලා දෝරෙ ගලන්නෙ පිච්ච සුවඳ මුහු වුන සුවඳ මතකයක්.


අ ම් මා


අම්මා වැඩිහරියක් ඇන්දෙ ලා නිල් පාට. මේ වගේ හැන්දෑ වෙලාවට අම්ම අඳින ලා නිල් පාට කිමෝනාවෙ තිවුනෙ සුදු පාට චූටි මල් මෝස්තරයක්. අම්මගෙ ළඟින් ඉද්දි දැනුනෙම පිච්ච මල් සුවඳ. ජැස්මින් විලවුන් නිසාම නෙමෙයි, අම්මා හිනාවෙනකොටත් මට අම්මව පෙනුනෙ අහිංසක පිච්ච මලක් වගේ. 


ඒ කොයිතරම් කාලෙකර ඉස්සරද ?


මට පිච්ච වැල යට මැලවිලා, බිම වැටිල තියෙන ලා දුඹුරු පැහැයට හැරවුනු පිච්ච මල් දිහා බලන්න බෑ. ගර්භාෂයේ පිළිකාවකින් මාස එකොළහක්ම පීඩා විඳපු අම්මගෙ සුදු මූණ අන්තිම කාලෙ මැලවිච්ච සමන්පිච්ච මලක් වගේ රැලි වැටුනා. ඒත්, අර ජැස්මින් සුවඳ අම්මව බලන්න ගිය හැම වතාවකම මට දැනුනා. 

බේත් ගඳ උතුරන වාට්ටුවක කොයින්ද ජැස්මින් විලවුන් සුවඳ ! 
සමහරවිට ඒ මගෙ හිතට දැනෙන සුවඳක් වෙන්න ඇති.


අම්මගෙ මළගෙදර වැඩ බොහොම සාරෙට කෙරුන. ඒ දවස් හතරෙ අපේ ගෙදර පත්තර කාරයො, ටී.වී. කාරයො වැහි වැහැලා. අප්පච්චිගෙ මෙගා නාට්‍යවල රඟපාන රෝස පාට නළු නිළියන්ගෙන් අපේ මිදුල පිරිල ඉතිරිලා ගිහින් තිබුන. අම්ම ලෙඩ උනාට පස්සෙ ටෙලි නාට්‍යයක්වත් බලන්න ඉස්පාසුවක් නොතිබුන නිසාම මම ඒ අයගෙන් බොහොමයක්ව අඳුන ගත්තෙත් නැහැ. එයාල නම් පේලියට ඇවිදින් බොහොම සීරුවට මගේ කම්මුලට කම්මුල තියන ගමන් අහකට හරවාපු තොල් දෙක අතරින් තොත්තුවක හඬ පිටකලා. දවස ඉවරවෙනකොට ඒ කම්මුල් ඇතිල්ලිල්ලයි, තොත්තු හඬයි මට තිත්ත වෙලා තිවුනෙ.


මං පුංචි කාලෙ තාත්තව හැබැහින් දැක්කෙ සති කීපයකට සැරයක්. හැබැයි තාත්ත නිතරෝම රූප පෙට්ටිය ඇතුලෙ ඉඳන් අපිත් එක්ක හිනා වුනා. ඉස්කෝලෙදි උනත් තාත්තා නිසා මම හිටියෙ තරමක් ආඩම්බරෙන්. ඒත් තාත්ත කොයිම වෙලාවකවත් ගෙදර නැති එකයි, ඉඳහිට නන්නාඳුනන අංක වලින් කෙරෙන දුරකතන ඇමතුම් ගැනයි, ඒ දීර්ඝ දුරකතන සංවාද අවසානයේ ඔසරිපොටෙන් හංගාගන්න හදන අම්මගෙ හීන් ඉකිබිඳුමයි මගෙ පුංචි හිතට මහා බරක් වගේ දැනුනා.



“ටාරා ගර්ල් . . . . . . . මගෙ අලුත් කමර්ෂල් එක ශෙයාර් කලා යූ ටියුබ් එකේ. . . 
බලන්න හොඳද කියලා. . . .”


හිමාෂි අක්කාගෙ කෑගැහිල්ලත් එක්ක තිගැස්සුනු මම පියවි ලෝකෙට වැටුන. දම් පාට ගොම්මන් අන්දකාර ඇතිරිය හාත්පස වසාගෙන පැතිරිලා. මම හැඟීම් දැනීම් නැති එකෙක් වාගේ ටැබ් එක ඕන් කලා.


ලා කොල පාට තණකොල පිට්ටනියක එරමිණිය ගොතාගෙන සීරුවට බොඩිලෝෂන් තවරන හිමාෂි අක්ක ඇත්තටම ලස්සනයි. එයා ඇඳන් ඉන්න සුදු පාට පුන්චි තුවාය නිසා සිරුර පුලුවන් තරම් නිරාවරණය වෙන්නෙ මේක බොඩි ලෝෂන් වෙළඳ දැන්වීමක් වීම නිසාම වෙන්නත් බෑ. ත්‍රිමාණ සජීවීකරණය කල පාට පාට සමනල්ලු ඈ වටේ කැරකෙනව.




*******




තත්පර කිහිපයක් ඇතුලේ සිත මෑත අතීතයට දිව ගියේ මටත් හොරෙන්. 



“උත්තරා. . . . . . .”


තාත්තගෙ කටහඬ අමුතුයි.


තාත්තා කෙල්ලන්ගේ සිහින කුමාරය වුන දවස්වල මිනිස්සුන්ව වශී කරගත්තු කටහඬ, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වුනාට පස්සෙ කණ්ඩායම හසුරවා ගත්තු ගැඹුරු කටහඬ, අම්මත් එක්ක රණ්ඩු උන දාට වහලෙ උළු දෙදරන්න බැන අඬගහපු නපුරු කටහඬ, අම්මගෙ මලගෙදරදි කතාවක් පවත්වනකොට සිහින් වෙවුලුමක් රැඳුනු දුබල කටහඬ. . .


ඒත් අද තාත්තගේ කටහඬ ඒ හැම දවසකටම වඩා අමුතුයි.


“ඇයි තාත්තා ?”


“මෙහෙන් ඉඳගන්න.”

අපිට මීට කලින් ඉඳගෙන කතාකරන්න දේවල් තිබුනෙ නෑ මට මතක තරමින්. අම්මගෙ රිපෝට්ස් පොසිටිව් බව පවා මම තාත්තට දැනුම් දුන්නෙ දුරකථනයෙන්. ඒ තරමටම රටේ මිනිස්සුන්ගේ සිහින තාරුකාව පායලා තිබුනෙ අපිට ලං වෙන්න බැරි තරම් ඈතින්.


තාත්තා නිහඬවම මගෙ මූණ දිහා බලන් උන්නා. හරියට සම්මුඛ පරීක්ෂණේකට ආපු ආධුනිකයෙක් දිහා බලනවා වාගෙ. තාත්තගෙ  ඇස් ලා දුඹුරු පාටයි. පත්තර කාරයෙක් දවසක් ලියලා තිවුනා ඒ ඇස් මන මෝහනීයයි කියල. ඒත් මෙතැන, මේ මොහොතෙදි මට ඒ ඇස් දිහා බලද්දි දැනුනෙ මහ ගුප්ත බවක්.


“මම දන්නවා උත්තරා අම්මා නැතුව සාංකාවෙන් ඉන්න බව.”

දීර්ඝ නිහැඬියාව බිඳිමින් තාත්තා කඩහඬ අවදි කලා.


“හෙට ඉඳන් හිමාෂි ඒවි මෙහෙ නවතින්න.”

හිමාෂි? අහලා පුරුදු නමක්. ඒත් ඒ කොහේදිද කියන්න හරියටම මතකයක් තිබුනෙ නැහැ.


“කවුද හිමාෂි ?”


“අහල නෑ. . . ? පුදුම ළමයෙක්නෙ ! මේ පාර මිස් ශ්‍රී ලංකා වුන කෙල්ල. මතක නැද්ද? 
මගෙ අලුත් ඩ්‍රාමා එකේ මේන් කැරැක්ටර් එක කරන්නෙ එයා.”


“හ්ම්ම්. . . . හා.” 

හිස වැනීමකින් තාත්තාට පිළිතුරු දෙන අතරෙම මම ගූගල් හරහා හිමාෂිව හඳුනා ගත්තා. 


පහුවදා උදේ ආහාර ගන්නා අතරෙ නිකමට අතට ගත්තු ටැබලොයිඩ් පත්තරේක මුල් පිටුවෙ හිටපු හිමාෂිව දුටු සැනෙන් හඳුනාගන්න මට හැකිවුනා.. එයා අඟල් දෙක තුනක ලෙදර් සායකුයි, ඒකට ගැලපෙන ලෙදර් ජැකට් එකකුයි ඇඳලා අහසට වෙඩි තියන්න වගේ අභිනයක් දක්වමින් යටි තොල යාන්තමට හපාගෙන දිලිසෙන ඇස් වලින් බලන් උන්නා. විවර වුනු ජැකට්ටුව අතරින් පේන තද රත් පැහැ තනපටය නිසා ඇගේ පිරුණු ලැම පෙදෙසේ රෝස සුදු පැහැය වඩාත් ඉස්මතු වී පෙනුනා. තද රතු උස බූට්ස් යුගලය ඇගේ හැඩැති දිගු දෙපයට මනාව ගැලපුනා. සැබැවින්ම ඇගේ රුව නෙත් ඇදගන්නා සුළුයි.


‘අවුරුදු විසි එකක් වගේ පොඩි වයසකදි මම ආ ගමන ගැන ඇත්තෙන්ම මම තෘප්තිමත්.’
ඇගේ රූපයට පහලින් විශාල ඝන අකුරෙන් මුද්රණය වී තිවුනා.


“හායි හිමාෂි අක්කා.” 

මම ඇගේ රූපය දෙස බලාගෙන මිමිණුවා.


හිමාෂි අපේ ගෙදර නැවතුනා. අමුත්තන් වෙනුවෙන් වෙන් කල කාමර දෙකක්ම තියෙද්දිත් ඇය අම්මාගෙ කාමරේ නවාතැන් ගැනීම ගැන මගෙ හිතේ කොනක පුංචි කහට පැල්ලමක් තැවරිලා තිවුනා. නමුත් වචනෙකින්වත් ඊට එරෙහි නොවුනු තාත්ත ගැන නම් හිතේ ඇතිවුනේ අපුලක්.


හැමදාමත් උදේට තාත්තත් එක්කම ගෙදරින් පිටත් වෙලා දවස් ගණන් අතුරුදහන් වෙන හිමාෂිව ආශ්‍රය කරන්න වෙලාවක් ලැබුනේම නැති තරම්. කොහොමත් මම කැමති වුනේ ගල් පරයකට ඇලුන කාවාටියෙක් වාගෙ කාමරේ ඇතුලට වැදිලා කල්පනා කරකර ඉන්න. විභාග ප්‍රතිඵල නිකුත් වෙනකම් ගොඩක් අය එක එක විදියේ පාඨමාලා හදාරන්න ගියත් ඒ ගැන මට කිසිම උනන්දුවක් තිබුනේ නැහැ. උනන්දු කරවන්න කෙනෙක් හිටියෙත් නැහැ.







ඇමතුමක් ආ බව දන්වමින් ජංගමය නිකුත් කරන කම්පනයන් ඇඳේ හාන්සි වෙලා හිමාෂි අක්කා රඟපාන අලුත් වෙළඳ දැන්වීම නරඹන මගෙ මුලු සිරුරටම සම්ප්‍රේශණය වෙන්න ගත්තා. මම ඉක්මනින්ම ඇමතුමට පිළිතුරු දුන්නේ ජංගමයේ කම්පනයන් සිරුරේ ඇදෙන එක දරාගෙන ඉන්න අපහසු වූ නිසයි.



“හායි ටාරා,”
ජානුගේ කිංකිණි ස්වරය ඇහුනේ කාලෙකින්.

“ඔන්න රිසාල්ට්ස් එනවලු. උඹ හෙට කීයටද එන්නෙ?”


“ඕක එස්.එම්.එස්. එකකින් ගෙන්න ගත්තැකිනේ ජානු. පිස්සුවටද නිකම් පෙට්රෝල් පුච්චගෙන කොලේජ් යන්නෙ?”


“මොට්ට මෝඩි ! උඹව බලන්නත් ආසයි කෙල්ලේ ඒකයි එන්න කිවුවෙ. ඔන්න අනිවා වරෙන් හොඳද!” ජානුගේ උච්ච ස්වරය සීනුවක් වගේ.


“බලන්නම්කෝ.”

“බලල බෑ. උඹ කොයිවෙලාවකවත් ඔන්ලයින් ඇත්තෙත් නෑ. මැට්ටි. අපි තිබ්බා එහෙනම්. ටේක් කෙයාර්. බායියා. . . .!”




*******




පහුවදා ඉස්කෝලෙ ගිහින් එනකොට මගෙ හිත බරවෙලා තිවුනෙ ප්‍රතිඵල සටහනේ තිවුන සී එකයි, එස් දෙක දැකලා නෙමෙයි. අල්ලපු පන්තියේ මාධවීයි, දේදුනුයි ළඟට ඇවිත් අහපු උත්තර නැති ප්‍රශ්ණයක් නිසා;

“ඇත්තද මචන් උඹලගෙ තාත්තයි අර මිස් ශ්‍රී ලංකා වෙච්ච හිමාෂියි ලිවින් ටුගෙදර් කියන්නෙ? පෙරේදා ගොසිප් සයිට් එකක තියෙනව දැක්ක.” දේදුනුගෙ කට කොනක ඇඳුනෙ උපහාසය මුසු වුන සිනහවක්.


“වට්?? හව් ඩෙයාර් යූ?” 
මට කියාගන්න දෙයක් මතක් වුනේ නෑ. 


“වරෙන් උත්තරා අපි යමු. මම උඹව ගේ ගාවින් ඩ්‍රොප් කරන්නම්.” 
ජානු හැමදාමත් වගේ මගෙ හිත කියෙවුව. කෙල්ලන් රංචුව අතරින් හිනාවක් පුපුරා යන හඬ ඇහිලා මාව ගේට්ටුව ගාවට ඇදගෙන යන අතරෙ ජානු පසුපස හැරී ඔරවලා බැලුවා.





*******




ගේට්ටුවෙන් ඇතුල්වෙනකොටම බැල්කනියට රැස්වෙලා උන්නු තාත්තගෙ මිතුරු මිතුරියන්ගේ සිනා හඬ මුහුවෙච්ච කතා බහ ඇසෙන්නට වුනා. විසිතුරු රිබන් සැරසිල්ලකින් අලංකාර කර තිවුනු තරප්පු පෙල දිගේ මම ලහිලහියේ ඉහළ මාලයට දිව ගියේ කුතුහලයෙන්.



“මෙන්න එනවා මගෙ ලිට්ල් ඒන්ජල් !” 
තාත්තා වම් අතෙහි වූ අයිස් දියවීගෙන යන බීර වීදුරුව ඉහලට ඔසවමින් කිවුවා. සිය දකුණත හිමාෂිගේ බඳ වටා යැවූ ඔහු සැනෙන් ඇයව තමා දෙසට ඇද ගත්තා.

 තාත්තා මගේ විභාග ප්‍රතිඵල වෙනුවෙන් සාදයක් සූදානම් කරලා. ඒත් තාත්තට ආඩම්බර වෙන්න පුලුවන් විදියෙ විභාග ප්‍රතිඵලයක් මට නැහැ නේද කියල හිතෙනකොට මගෙ උගුර හිරවෙනවා වගේ දැනුනා.මට කියාගන්න දෙයක් හිතාගන්න බැරි වුනා.

“අ. . . අ සර්ප්‍රයිස් පාර්ටි ?”

වදන් පටලැවුනේ නොදැනුවත්වම.

“ම්හ් හ්ම්ම්. . . . අ බිග් සර්ප්‍රයිස් ෆෝ යූ ඩාලිං”

තාත්තා මගේ පිටට තට්ටුවක් දමමින් මිතුරන් දෙදෙනෙකුට මාව හඳුන්වා දුන්නා.

තාත්තා. . .

“උත්තරා, වයි ඩෝන්ට් යූ කෝල් අන්ඩ් ආස්ක් යුවර් කියුට් ෆ්‍රෙන්ඩ් ටු ජොයින්. මොකද්ද එයාගෙ නම. . . . චානු. . . නෑ නෑ ජානු නේද?” තාත්තා ඉදිරියට බරවෙලා දෙදණ මත අත් තබාගෙන කතා කලේ කවදාවත් නැති සැහැල්ලුවකින්.

තාත්ත මට මෙච්චර ආදරෙයි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ.
. ඒත්. . . ......................

“වී ගොට් එන්ගේජ්ඩ් ඩාලිං. හිමාෂි ඇන්ඩ් ඩැඩී ගොට් එන්ගේජ්ඩ්.”  සිය දකුණත හිමාෂිගේ බඳ වටා යැවූ ඔහු සැනෙන් ඇයව තමා දෙසට ඇදගනිමින් කිව්වා .

දෙවියනේ ...අම්මගේ රූපේ ඇස දෙකේ ඇඳිලා බොඳ වෙද්දී , මගේ ඇස් ඉදිරියේ අසෙනි අකුණු එළි දිවයනකොට ඇස් දෙකෙන් වැස්ස කඩාහැලෙන්න කලින් මම කාමරේට දිවුවා.

 









බස්සි ලියූ වෙනත් කතා :


1. අළු සහ ගිනිපුපුරු

2. යුනිකෝඩ් සිහින

3. හුදෙකලා මියැසිය

4. ඉරයි - මමයි