පහුගිය දවසක, උදේ පාන්දරම මගේ ඉන්බොක්ස් එකට ලින්ක් එකක් එනවා. ඒ එවන්නේ, සෞම්‍ය සඳරුවන් ලියනගේ. එච්චරයි. වෙන මොකුත්ම කියලාවත් නැහැ. ඉතින් මම ලින්ක් එකට ගිහින් බලනවා.
මගේ පොත ගැන ලියැවුනු, මා මෙතෙක් කියැවූ හෘදයාංගම බවෙන් ඉහලම ලිපිය ඒක.
"මම මේක බ්ලොග් එකේ ශෙයාර් කරගත්තට කමක් නැද්ද?"
"ඕනෙ තැනක ෂෙයා කරගන්න ඉතින්. ඒකට තමා ලින්ක් එක එව්වෙ."
ඉතින්, පහලින් තියෙන්නේ 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කිවියර, සෞම්‍ය සඳරුවන් ලියනගේ ලියූ ඒ ලිපිය.
මේ මුල් පෝස්ට් එකේ ලින්ක් එක. කැමති අයට එතැනින් කියවන්නත් පුලුවනි. ඒ සයිට් එකේ layout එක මගේ බ්ලොග් එකට වඩා ඇහැට ප්‍රියයි. ;)
මගහැරුණු ජීවිතය මුණගැසෙන, ‘ඉතා කෙටි කලබල සිහින’෴
බලහත්කාරයෙන් ගොඩක් දේවල් අහිමි කරපු සමාජයක; ඒ නැතිවුණු දේවල් වෙනුවෙන් කරන අරගල එක්ක කාර්ය බහුල වුණු අපේ රටේ මිනිස්සුන්ගෙ ‘ඇත්ත ජීවිත’ සාහිත්‍යය ඇතුළෙ තේරුම් ගැනීම ගොඩාක් අයට මගහැරෙන මොහොතක, එහෙම තේරුම් ගැනීම් ගොඩක් එක්තැන් කරපු කවි පොතක් පහුගිය අවුරුද්දෙ එළිදැක්වුණා. පොත ලියල තිබුණෙ යශෝධා සම්මානි. අවුරුදු කීපයක ඉඳලා තමුන්ගෙ සයිබර් ලිවීම කරගෙන යන යශෝධාගෙ කවි, කෙටිකතා සිංහල බ්ලොග් අඩවි එක්ක ගනුදෙණු කරන ගොඩක් අයට හුරු පුරුදුයි. ඉතා කෙටි කලබල සිහින විදියට නම් කරල තිබුණු යශෝධගෙ පොත ඇතුළෙ දිගටම මුණගැහෙන්නෙ එදිනෙදා කනබොන, නාන, අඳින පළඳින, පාරෙ ඇවිදින අතරෙ නිතර දෙවේලේ මුණගැහෙන දේවල්. ගාලුපාර, හයිලෙවල් පාර වගේ ම ට්‍රැෆික් වෙච්ච අපේ ජීවිත ඇතුළෙ සිද්ධ වෙන නා නා ප්‍රකාර හැලහැප්පීම්.
මනුස්ස සම්බන්ධතාවල තියෙන බර සහ ගැඹුර දවසින් දවස අහෝසි වෙන, අපි අපේ ඇතුලටම හිර වෙවී, දවසින් දවස සංකෝචනය වෙමින් යන මොහොතක, ඒ හිරවුණු ජීවිතේ කවියක් ඇතුළෙ අල්ලන්න හදන එක ලේසි වැඩක් නෙමෙයි. ඇත්තටම කවි ලියනවට, කියවනවට වැඩිය ගොඩාක් වැඩ තියෙන මිනිස්සුන්ගෙන් පිරුණු සමාජයක අපි ජීවත් වෙන්නෙ. එන්න එන්නම පේන්නෙ නැති තරම් පුංචි වෙමින් යන අපේ ඇත්ත ජීවිතේ අපිටම මාර වෙන තරමේ අතථ්‍ය (virtual) සමාජ ජීවිතයක් අපි ගත කරමින් ඉන්නවා කාලෙක ඉඳල. ලස්සනම දේ, අපිට ඒ ජීවිතේ සංස්කරණය කරන්න පුලුවන් වීම.
නීරස මීටිමක,
උණුසුම් වාද පිටියක,
විඩාබර දෙසුමක,
නෙත් පියන් බරවෙන ඇසිල්ලක,
පිටු අගිස්සක කුරුටු ගෑවෙයි,
ඉතා කලබල සිහින.
හැල්මේ දුවන නගරෙක,
අධිවේගයේ දුවන බසයෙක,
ජනේලයකට කොපුල තදකර,
හිත ඈත ඇවිදින විරාමෙක,
ජංගමය තුල බිහිවෙයි,
ඉතා කෙටි
කම්මැලි සිහින.
දවස තිස්සෙම වැඩ කරලා රොඩු බවට පත්වුණු ජීවිත ආයෙමත් පහුවදාට සූදානම් කිරීම වෙනුවෙන් විතරක් කලාව පාවිච්චි වෙන තැනක, ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් සංස්කෘතිය කර්මාන්තයක් විදියට වැඩ කරන මොහොතක ඒ ජීවිත රොඩු ගැන කෙරෙන ඇත්ත කතාබහක් සාහිත්‍යය ඇතුළෙ මුණගැහෙන්නෙ කලාතුරකින්. යශෝධා වගේම අපේ පරපුරේ නූතන කවි කිවිඳයො ගොඩක් අය වැඩකරමින් ඉන්නෙ ඒ වගේ පසුබිමක, ඒ වගේ ජීවිත එක්ක. මේ මොහොතෙ අපි පහුකරමින් ඉන්න සයිබර්කරණය වුණු සමාජ, සංස්කෘතික වටපිටාව ගැන තේරුම් නොගත්තොත්, හරියටම යශෝධගෙ කවිය අහු නොවෙන්නත් ඉඩ තියෙනවා. මුද්‍රිත පොතක් විදියට එළියට එන්න කළින් ඒ කවි පලවෙන්නෙ අන්තර්ජාලයේ. ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවිවල. ගොඩක් වෙලාවට කවිය කියන දේ අපි පොදුවෙ සාහිත්‍යය ඇතුළෙ අල්ලගන්න උත්සාහ කරන උපකරණ කිහිපයට විතරක් සයිබර් කවිය හරියටම අහුවෙන්නෙ නැහැ. මොකද ඒක ඊට වඩා වෙනස් හැඩයකින්, වෙනස් තත්ත්වයන් යටතේ වැඩ කරන දෙයක්. පොදුවෙ සාහිත්‍යය ඇතුළෙ ‘කවි’ කියන නමින් අපි අඳුනගන්න ඒවත් සයිබර් අවකාශයේ නැතුව නෙමෙයි, ඒත් එහෙම අඳුනගන්න බැරි කවියි වැඩි.
යශෝධගෙ කවිය ඇතුළෙ මුණගැහෙන්නෙත් එදිනෙදා අපි ගතකරන, පහුකරන අපේම ජීවිත. ඒව හරිම තදබදයි. හරියට පොතේ නම වගේ, ඉතාමත් කෙටි, කලබල ගතියකින් පිරුණු ජීවිත. ඒ අතට අහුනොවෙන අවකාශයන් ඇතුළෙ අපි ගොඩක් දේවල් බෙදා හදා ගන්නවා. කොටින්ම ෆෙස්බුක්, ට්විටර් වගේ සමාජ අවකාශ අපේ ගෙදර දොර චාරිත්‍රවලට පවා මැදිහත් වෙන්න පටන් අරගෙන මේ වෙනකොටත්. මේ හැම දෙයක්ම ෆේස්බුක් කවිය එක්ක තියලා තේරුම් ගත්තොත් ගොඩක් දේවල් පැහැදිලි කරගන්න ලේසියි. කවියක් ලියලා කරන දේම ඊට වඩා පුළුල් තේරුමකින් ක්‍රියාත්මක වීමයි එතනදි සිද්ධ වෙන්නෙ. කවි ලියන, නොලියන හැමෝම තමුන්ගෙ ජීවිතේ එදිනෙදා දැනීම්, විඳීම්, විඳවීම් සහ සැමරීම් ප්‍රකාශ කරනවා ඒ ඉඩ ඇතුළෙ.
නිදහස්වීම කියන්නෙ මිනිස්සුන්ට කොයි තරම් වැදගත් දෙයක් ද කියන කාරණය හොඳටම තේරුම් ගන්න පුළුවන් තැනක් සයිබර් අවකාශය. හැම සංවේදනාවක්ම අතට අහුවෙන්නෙ නැති අවකාශයකට කියල නිදහස් වීම ඇතුළෙ හොඳටම ඔප්පු වෙනවා, අපි කොයිතරම් දුරට අපිව නිදහස් කරගැනීමේ ඕනකමින් පෙළෙනවද කියන කාරණය. අපි අපේම අභ්‍යන්තරය නිදහස් කරගන්න කොයි තරම් උත්සාහ කරනවද..? ෆෙස්බුක් ඇතුළු සයිබර් කවියේ බරපතලම තැන තියෙන්නෙ අන්න එතන. එකිනෙකා අතරෙ සංවාදය අහිමි වීමේ සහ දවසින් දවස හුදෙකලා වීමේ වේදනාව අපි සමරන්නෙ ෆේස්බුක් එකේ. එළියෙ සමාජ ජීවිතයෙ දවසින් දවස ‘සමාජ අවකාශ’ අහෝසි වෙමින් යද්දි ඒ වෙනුවට virtual සමාජ අවකාශයක් අපේ ජීවිත බාරගන්නවා.
අපේ රටේ සමාජ අවකාශ (public spheres) ආයතනගත වෙලා තියෙන විදිය දියුණු සංස්කෘතික ජීවිතයක් තියෙන රටක සමාජ අවකාශ තියෙන තැනත් එක්ක සංසන්දනය කරල බැලුවොත් මේ ගැටළුවේ සෑහෙන කොටසක් විසඳගන්න හැකියාව ලැබෙනවා. අපට තියෙන්නෙ ‘කෑම කඩ’ මිසක් ‘සමාජ අවකාශ’ නෙමෙයි. අපි ඒවට යන්නෙත් කන්න බොන්න මිස සංවාද කරන්න නෙමෙයි. මේ වගේ පසුබිමක ඒ හිස්කම පුරවන්නෙ සමාජ ජාල වෙබ් අඩවි. එතනදි ඇත්ත මුණගැහීමක් වෙනුවට අතට අහුනොවෙන virtual පැවැත්මකට අපි කොන්දේසි විරහිතව එකඟ වෙනවා.
පිටත වැසි
රිය ඇතුලතද සීතය
සමකාසන්න නගරවලදී
සීතල කියන්නේ සැපයටය.
ටයි ගැටය
හරස් ඉරි ඇඳි කරපටිය
හුස්ම සිරකරවන
වහල් බව සිහිකැඳවන
වැයෙන්නේ ඉංගිරිසි ගීයකි සිහින් ස්වරයෙන්
‘සිහිල් සුළඟේ පාව යන්නයි‘ ඇරයුම්
පොත පුරාම මුණගැහෙන්නෙ පුදුමාකාර රූපක (metaphors). දේවල් වෙනුවට තවත් දේවල් ඉදිරිපත් කිරීම කියන කාරණයෙදි ඒ වගේ සුවිශේෂී ලිවීම් අපේ පරම්පරාව ඇතුළෙ මුණගැහෙන්නෙ හරි අඩුවෙන්.
ඇත්තටම ඒක ඕනම කෙනෙකුට ඕනම තැනකින් අල්ලගන්න පුලුවන්කම තියෙන, කියවන්න ආස හිතෙන විදියෙ ලිවීමක්. ඉතා කෙටි කලබල සිහින එක්ක ජීවත් වෙන කෙනෙකුට මතුපිට තේරුමක් නිර්මාණය කරන අතරෙම එතනට යටින් තව ගැඹුරට කිමිදෙන්න ඉඩකඩත් යශෝධගෙ කවිය ඇතුළෙ තියෙනව. සරල, අනුභූතික වටහාගැනීමකින් එහාට යන්න ඕන කෙනෙකුට ඒ ඉඩකඩ පාවිච්චි කරන්න පුලුවන්.
තදබදය!
රිදුම් දෙන ගෙල හරවමි
වමට – දකුණට – පසුපසට
ටයි ඇඳි බැටළුවෝ
සැපපහසු කුඩා රථවල ගාල්ව
හෙම්බත්ව
ලොම් අහිමිව
රථය තුල සීතලෙන්, යන්තම් ගැහෙමින්
සමකාසන්න නගරවල
සීතල කියන්නේ සැපටය!
අහසෙ පලක් බැඳගෙන වැඩවාසය කරමින් කවි ලියන්න පුලුවන් විදියෙ වටපිටාවක්වත්, එහෙම කවි රස විඳින්න නිදහස තියෙන සංස්කෘතික ජීවිතයක්වත් තව දුරටත් අපට ඉතිරි නොවෙද්දි, දවස තිස්සෙ පාරවල් ගාණෙ, කාර්යාලවල සහ ගෙවල් ඇතුළෙ ඇඹරි ඇඹරි රොඩු ගැහෙන ජීවිත අයිතිකාරයො එක්ක කරන ගනුදෙණුවක්, සංවිධානගත සාහිත්‍ය රසිකයො පිරිසක් එක්ක කරන ගනුදෙනුවට වඩා වෙනස්. හුරුපුරුදු ව්‍යුහයන් දවසින් දවසම වෙනස් වෙද්දි කවිය වගේ සාහිත්‍යාංගයකට සිද්ධ වෙනවා ඒ හිඩැස් අතරෙ, ඒ වෙනස ඇතුළෙ වැඩ කරන්න. යශෝධා සටහන් කරන්නෙත් එහෙම සමාජ ජීවිතයක අත්දැකීම් ගොන්නක්. එතනදි ඒ සමාජ ජීවිතය එක්ක බැඳිච්ච ක්ෂුද්‍ර දේශපාලනය අහුවෙන්නෙ නොහිතන තැන්වලින්. දේශපාලනය ගැන කියනව, ඒත් දේශපාලනය පෙන්නන්නෙ නෑ. කියල තියෙන්නෙ හරිම සාමාන්‍ය, ගෙදරදොරේ ජීවිතයක් ගැන. ඒත් ඊට යටින් තියෙන්නෙ, බැලු බැල්මට නොපෙනෙන බරපතල කතාවක්.
බත ඉදෙන තුරු හනික,
වර්ණ ගැන්වෙන සිහින…
ගවුම් කොලරය මදින අතරෙත්,
සෙමින් මිමිණෙයි,
අමුතු තනුවක සිහින…
විටින් විට උඳුනේ පියන හැර,
බේක් කල නීරස,
කේක් ගෙඩියක් වැන්න,
තැනින් තැන කඩතොලූ වුන,
මම ලියන – මගෙ සිහින
සීත සෘතුව එලඹි කාලෙක,
මටත් මවතැකි දිග සිහින.
ගෙලෙහි මෆ්ලරයක් බැඳ,
කිමිදෙමින් උණු කෝපි බඳුනක,
එතකොට මම දකින්නෙමි,
පියෙවි කඩතොලූ නැති සිහින…
කොහොම වුණත් ‘ඉතා කෙටි කලබල සිහින’ ඇතුළෙ නිතර මුණගැහෙන අනවශ්‍ය සමබර කිරීම නම් විකාරයක්. අපේ පරම්පරාවේ ගොඩක් අය ඒක කරන්නෙ හැම වේදිකාවක්ම එක පුංචි කවිපොතක් ඇතුළෙ බේරගැනීමේ වුවමනාවෙන්. ඒත් එහෙම සිද්ධවෙන ගොඩාක් වැඩවල අවසානයෙදි කියවන්න ඉතුරු වෙන්නෙ දෙමළ දුක, සිංහල දුක, දුප්පත්කම, ආදරය, විරහව, සමාජ අසාධාරණය වගේ ගොඩාක් දේවල් කලවම් කරපු වට්ටෝරුවක් මිස කවිපොතක් නෙමෙයි. පොත ප්‍රතික්ෂේප වෙයිද කියන සැකය නිසාම ඒ වගේ වට්ටෝරුවක් ගැන විශ්වාසය තියන්න පෙළඹුණත්, එතනදි අවංකකම සහ හෘද සාක්ෂිය ගැන ගැටලුවක් ඇතිවෙන එක නවත්තන්න බැහැ. මේ සටහන කවිපොත ගැන විචාරයක් නොවුණත් ඒ අදහස එකතු නොවුණොත් ඒක අඩුවක්.
වැදගත්ම දේ, අර එපා කරපු පිස්සු ජීවිතේට කොන්දේසි විරහිතව එකඟ වෙනව වෙනුවට වෙනස් හිතීමක් සහ පැවැත්මක් වෙනුවෙන් සමහර දේවල් යශෝධාගෙ කවි ඇතුළෙ යෝජනා වීම. ඉතා කෙටි කලබල සිහින හරහා නිතරම එළියට පනින්නෙ, අපි හැමෝම හිරවෙලා ඉන්න ජීවිතයෙන් එහා ඇත්ත මනුස්ස සම්බන්ධකම් ගැන තියෙන විශ්වාසය. ඒක ධනාත්මක තැනකින් අපිට අල්ලගන්න සහ භාරගන්න වෙනව මේ වෙලාවෙ. මොකද ඒ කවි ඇතුළෙ නැවත නැවතත් අපිට මුණගැහෙන්නෙ අපේම ඇහිරුණු ජීවිතේ. භාර ගත්තත් නොගත්තත් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ. මේ මොහොතෙ ලිවීම සංවිධානය වෙන්නෙ මේ මොහොතෙ සිද්ධ වෙන දේවල්වලට සාපේක්ෂව.
සෞම්‍ය සඳරුවන් ලියනගේ
සුභ පැතුම්
ReplyDeleteහෑ,රට්‍ටු කියන කතා! :}
ReplyDeleteසුභ පැතුම්!
සුබපැතුම් බස්සි
ReplyDeleteමමත් බස්සිගේ කවි වලට කැමති ප්‍රේම මර ලතෝනී නැති නිසා.. අනික නම නැතිව උනත් මේක ලියලා තියෙන්නේ බස්සි කියලා කියලා බය නැතිව කියන්න පුළුවන් අනන්‍යතාවයක් මුල් කවියේ ඉඳලම තිබුනා.. මේ විදියේ කවි ලියන්නේ මම දන්න අයගෙන් බස්සියි අම්ලානීයි විතරයි.. ඒවා මට නම් පට්ට රහයි... කවියක් විඳින්න පුළුවන් කියන්නේ ඒකයි.. කොටින්ම මලක් ගැහුවා වගේ කවිය ගැන හිතලා ආතල් එකක් ගන්න පුළුවන්..
ReplyDeleteසේකර අද නැතෙයි කියලා පාඩුවක් නැත්තේ ඒකයි...
සුබපැතුම් බස්සි ...
ReplyDeleteසුබපැතුම් සමඟ ස්තුති ය බස්සි ට ! http://cyberheartblog.blogspot.com/
ReplyDeleteපොත නම් කියවන්න බැරි වුණා.. හැබැයි මේ විචාරයෙන් පොත ගැන හොඳ අදහසක් ලැබෙනවා.. ලංකාවට ගිය දාක අරගෙන බලන්නම්.. එල!
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් බස්සි
ReplyDeleteරට්ටු තව කතා හදන එක සිකුරුයි.. හැක්
ReplyDelete////වැදගත්ම දේ, අර එපා කරපු පිස්සු ජීවිතේට කොන්දේසි විරහිතව එකඟ වෙනව වෙනුවට වෙනස් හිතීමක් සහ පැවැත්මක් වෙනුවෙන් සමහර දේවල් යශෝධාගෙ කවි ඇතුළෙ යෝජනා වීම////////
ReplyDeleteමම පොතම කියවලා නැතිවුනාට, බස්Cගෙ කියවා ඇති කවි තුල මේ ගතිය පෙනෙනවා.
සෞම්‍ය කියනවනම් ඉතින් අපි ඊට පස්සේ තව මොනව කියලා කියන්නද...
ReplyDeleteසුබ පැතුම් අක්කා
ReplyDeleteඅගෙයි.!!!!
ReplyDeleteසමාවෙන්න ඕන. බ්ලොග් එක ලියන්න ඕනෙ කියලා තදින්ම හිතට අරන් සති හතරක් යන්න කලින්ම ආපහු අම්බානක බිසී වුනා. ඒ නිසා කමෙන්ට්වලට වෙන වෙනම රිප්ලයි කරන්න වුනෙත් නැහැ. හැමෝටම බොහොමත්ම ස්තූතියි අදහස්වලට!!
ReplyDelete