Monday, November 30, 2015

සිහිනයක පියාසැරියට පෙර - බ්ලොග් සභාවෙන් අවසර !



බත ඉදෙන තුරු හනික
වර්ණ ගැන්වෙන සිහින
ගවොම් කොලරය මදින අතරෙත්
සෙමින් මිමිණෙයි
අමුතු තනුවක සිහින






මම කුඩා කාලෙ ඉඳන් බොහොම කැමතියි සිහින දකින්න. සිහින දැකීම ගැනත්, කාලෙන් කාලෙට මම දැකපු විවිධාකාරයේ සිහින ගැනත් මම වරින් වර බ්ලොග් පෝස්ටු කිහිපයක්ම ලියලත් තියෙනවා.


මගේ අමුතු සිහිනමය සටහන්, බසු ස්ටයිල් එකෙන් ලියලා “බස්සිගේ විස්මලන්තය” ලේබලය අලවලයි බ්ලොග් එකේ එල්ලන්නෙ. ඒ වගේම, “අමුතු කවි” කැටගරියෙත්, “කවි ලොසින්ජර” පිටුවෙත් බසු සිහින කවි විදියට ලියැවෙනවා.


මම ඉස්කෝලෙ යන කාලෙ කවි ලියනවා, ඒවා පත්තරවලට යවනවා. ඒත් ඉඳහිට ‘රිවිර අරුණැල්ලේ’ පලවුන කවියක් දෙකක් හැර වෙන කිසිම කවියක් හෝ කෙටිකතාවක් කවමදාවත් පළවෙන්නේ නැහැ.


ඉන් පස්සෙ එළඹෙන්නේ සම්පූර්ණයෙන්ම විද්‍යාවේදී උපාධියක් සහ කළමණාකරණ පාඨමාලාවක් සමග සමෝසමේ ඔට්ටුවෙමින් ගතකල, කිසිවක්ම නොලියවෙන තරමේ පට්ට බිසී අවුරුදු හතරක්.


ඒ අවුරුදු හතර ඉවරවෙන්න කිට්ටුව ආයෙමත් මම පොඩි පොඩි දේවල් ලියන්න ගන්නවා. ඒ වෙනකොට “ආයෙනම් පත්තරවලට මුකුත් යවන්නෙ නැහැ!” කියන තරමට මම මුරණ්ඩුයි. ඉතින් මම පටන් ගන්නවා ‘බස්සිගේ නවාතැන’ බ්ලොග් අඩවිය.


දැන් මගේ බ්ලොග් කෙරුවාවට අවුරුදු දෙකක් පහුවෙලා. අවුරුදු දෙකක් අනවරතව ලියන එක අසීරු කාරියක්. ඒ වුනත් අන්තිමේ මේ ලියැවිල්ල සොඳුරු ඇබ්බැහියක් බවට පත්වුනේ මටත් නොදැනීම.


එදාමෙදාතුර බ්ලොග් වියුණුව හරහා මට මුණගැහුණු සොඳුරු හදවත් ඇත්තෝ බොහොමයි. මම කියන්නම ඕන, කුඩා කාලයේ පාසැල් තරඟවලට යමක් ලිව්වාම “මේක ලිව්වේ ඔයා නෙමෙයි!” කියන තරවටුව සහ ප්‍රතික්ෂේපයට වඩා වැඩි යමක් දෙන්න සමත්වුන ගුරුවරු හිටියේ අතලොස්සයි. ඉතින්, මම ලියන්න ඉගෙනගත්තෙ තාත්තා ලියන දේ බලාගෙන සහ පොත් ගුල්ලියක්බවට පත්වීමෙන්.


ඒ ලියැවිලි ඔපවැටුනේ බ්ලොග් වියුණුවෙන් හමුවුණ ආදරණීය මිනිස්සුන්ගේ සොඳුරු ගුරුගරුකම්වලින්. ඔව්, නම් කියන්නට අවැසි නෑ ඒ ඔයාල තමයි.


ඒ හා සමාන්තරවම, ලියැවිලි උඩට ගල් බොරළු විසුරවපු අකල් වැහි, දෙනෙත් රතු කල දුහුවිලි කුණාටු නිසා සිදුවුනේ මට වඩා යහපත් අතට අනුවර්තනය වෙන්නට පන්නරය ලැබුන එකයි.





අන්තිමේදී, මම මේ සිහින පොතකට එකතු කලා. ඒ සිහින නිකම් ‘කවි වගේ’.

ඉතා කෙටි කලබල සිහින ඒ තමයි පොතේ නම.


පොත දොරට වැඩුමක් දෙසැම්බර් දොළොස්වැනි සෙනසුරාදා, පස්වරු 3.00 සිට 5.00 දක්වා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා.


එන්න! වෙනස්ම විදියේ වැඩ කිහිපයක් දැකගන්න ලැබේවි එදාට. කුතුහලයට පුංචි ඉඩක් තියල වැඩි විස්තර ඊගාව පෝස්ටුවෙන් කියන්නම්.



මෙන්න උත්සවය පැවැත්වෙන තැනට යන පාර.



ශ්‍රවණාගාරය තියෙන්නේ මහවැලි කේන්ද්‍රයේ දෙවන මහලේ




Friday, November 27, 2015

වැල්ල දැනගෙන - රැල්ල පාගමු



මේ දවස්වල බස්සිගේ ජීවිතේ තවත් බරපතල අවස්ථාවකට පිඹුරුපත් සැකසෙමින් තියෙන්නේ. හා හා සබන් පවුඩර් ගන්න එපා දැන්ම. අපේ කට්ටිය වැදගත් දෙයක් කිව්ව ගමන් හිතන්නෙ ඔය වගේ දේවල් නෙ. එහෙම දෙයක් නෙමෙයි. මේක බස්සිව කියවන්න කැමති අයට වැදගත් දෙයක්.


ඉතින් ඒ වැඩේට කාර්යබහුල වීමත් එක්ක අලුත් කතා ලියන්න ලැබෙන කාලය ටිකක් අඩුයි. ඒ නිසා සමාව බාජනේකට දාලා අදට මේ ලිපිය කියවන්නකෝ.


අර වැඩේ ගැන දැනටමත් දන්න අයත් කීපදෙනෙක් ඉන්නවා ඉතින්. ඊගාව බසු ලිපියෙන් ඒ ගැන මුලු සිංහල බ්ලොග් අවකාශයටම කියන්නම්.



*************************


වැල්ල දැනගෙන - රැල්ල පාගමු
________________________







ලක්බිම
නොවැම්බර් 09 වැනි සඳුදා. - පිටුව 14



අද කාලෙ හැමදේම යන්නෙ රැල්ලට. රැල්ලට යන්න එපා කියල නවකයන්ට බැණීමත් එක්තරා විදියක රැල්ලක්. ඒ කියන්නෙ මුළු ලෝකෙම යන්නෙ රැල්ලට.


අපිට වැඩක් කරන්න ඕනෙනම් රැල්ල ස්පර්ශ නොකර බැහැ. වැල්ලෙ ඉඳගෙන රැල්ල නරඹන උදවිය වෙනුවෙන් රැල්ලට බහින්නම වෙනව.මේක කවියට, සංගීතයට, රංගනයට, චිත්‍ර මූර්තිවලට විතරක් නෙමෙයි, සකලවිධ කලාවන්ටම පොදුයි. සකලවිධ කලාවන්ටම කිව්වම ඉවුම්පිහුම් ඉගැන්වීමත්, ඒ ලෙවල් විභාගෙට ටියුෂන් දීමත්, සෙනසුරු මාරුව ගැන සන්නිවේදනය කිරීමත් කලාවක්.


රැල්ලට යන උන් අසාර්ථකයි කියන කතාව විශ්වීය නියමයක් තරමටම මිනිස්සුන්ගෙ හිත්වලට කාවැදිල. අපි සාර්ථකයි කියන්නෙත් රැල්ලෙ රඟදක්වන උදවියටමයි. නමුත්, අපි හිතනව එයාල ඉන්නෙ රැල්ලට ඉහළින් කියල.


රැල්ල ස්පර්ශකරලා මුහුදට පැනපු උදවියගෙන් සමහරු දක්ෂ යාත්‍රිකයො වෙද්දි, සමහරු අඩි දහයක් යන්න කලින් ගිලෙනවා. තවත් සමහරු එකපාරට බර්මියුඩාවට කඩා වැටෙනවා. දක්ෂ යාත්‍රිකයෙක්, එහෙමත් නැත්නම් රැල්ලට ඉහළින් ඇවිදිනව වගේ පේන කෙනෙක් වෙන්න ලේසි නෑ.


මුලින් යන්න ඕනෙ වැල්ලට. වැල්ලෙ ඇවිද ඇවිද බලන්න රැල්ලට ඉහළින් ඉන්න අයගෙ විශේෂත්වය. පැහැදිලිව නොපෙනුණොත් දුරදක්නයක් අරගන්න. නිරීක්ෂණයයි වැදගත්.


රැල්ලට ඉහළින් දර්ශනයවෙන සාර්ථක නාවිකයො හැමෝටම තියෙනව තමන්ගෙම පිරිසැලසුමකට අනුව නිර්මාණය කරගත්ත යාත්‍රාවක්. ඒ යාත්‍රාව සැලසුම් කරල තියෙන්නෙ එයා යාත්‍රාකරන මුහුදට ගැලපෙන්න. මෙහෙම කියමු, කිමිදුම්කරුවෙක්ගේ යාත්‍රා පිරිසැකසුම දූපත් ගවේෂකයෙකුගෙ යාත්‍රා පිරිසැකසුමට වඩා හාත්පසින්ම වෙනස්. තේරෙන භාෂාවෙන්ම කිව්වොත්, කවියෙකුගේ ශක්තතාවය කෙටිකතාකරුවෙක්ගේ ශක්තතාවයට වඩා වෙනස්.


හැබැයි එක මුහුදක දිනන්නෙ එක්කෙනයි. ජයග්‍රාහකයෙක් වෙන්නම ඕනෙනම් ඔයාට සිද්දවෙනව වෙනස් මුහුදක් හොයාගන්න.


මුහුදක් හොයාගත්ත කියමු, මගේම ආරක යාත්‍රාවකුත් හදාගත්ත කියමු, ඒත් කෝ අර පරණ මුහුදුවල වෙරළෙ පිරිල උන්නු මිනිස්සු?


අන්න ඒක දරාගන්න වෙනව. මුලදි වෙරළ මලපාළුයි. හැබැයි ඔයාගෙම ක්‍රමේකට ඉස්සරහට යනකොට ඈත වැල්ලෙ නරඹන්නො එකාදෙන්නා එක්කාසු වේවි. ඔයාගෙ යාත්‍රා ශෛලිය ඒකාකාරියිනම් එයාල මුහුදටම ඇහෙන්න හූ කියාවි. කරන්න තියෙන්නෙ අලුත් යාත්‍රා විලාසයන් අත්හදා බලන එකයි.


ඔහොම කාලයක් ගතවුණාට පස්සේ බොහොම පිරිසක් ඔයා දිහා බලාගෙන ඔල්වරසන් දේවි. කුණාටුවට යාත්‍රාව හෙලවුණොත් හූ කියාවි.


ඔය අතරෙ, ඔයා දිහා වැල්ලෙ ඉඳන් බලන් උන්න සමහරු ලෑලි කෑල්ලක්වත් නැතුව නිකම්ම මූදට පනින හැටි දැකගන්න ලැබෙයි.‍ යාත්‍රාවක් හදාගන්න කියල කොච්චර කෑගැහුවත් පෙළක් කොලු කුරුට්ටො ගල් පරයක වැදිල කුඩුපට්ටම් වෙනකම් රැල්ලටම යාවි. ඔවුන්ගෙ සුන්බුන් වැල්ලට ගහගෙන එද්දි වැල්ලෙ ඉන්න මිනිස්සු කම්මුලේ අත තියාගෙන, “රැල්ලට යන්න ගියොත් නිකම් නහින්නයි වෙන්නෙ.” කියල සුපුරුදු විදියට කියාවි


සමහර කොලු කුරුට්ටො ඔයාගෙ යාත්‍රාවෙන් ගැලවුණ ලෑලි කෑල්ලක් බදාගෙන ඈත මුහුදට පාවෙන්න යාවි. ඒ විතරක්යැ, සමහරු ඔයාගෙ යාත්‍රාවෙ කොටස් මංකොල්ලකන්නත් හදාවි. එහෙම හොරකම්කරගත්තු ලෑල්ලක් උඩ ඉඳන් පිනුමක් ගහද්දි වැල්ලෙ නරඹන්නෝ ඔවුන්ටත් ඔල්වරසන් දේවි.


ඔයාගෙ යාත්‍රාවෙ, ඔයා මහන්සියෙන් මල්කම් ලියකම් කැටයම් කරපු ලෑල්ලක් වෙනකෙනෙක් මංකොල්ලකාපු හැටි දැක්කම හිත රිදෙනවා තමයි. 'මගෙන් හොරකම් කරපු එකක් නේද' කියල ඇහුවොත් සමහරු ඔයා එක්ක සණ්ඩුවටත් ඒවි. අපහාස උපහාස කරාවි. තමන්ගේ කුණුගඳ හංගාගන්න හිතාගෙන ඔයා එයාව අනුකරණය කරා කියල වුණත් කියාවි.


ඒ අපරිණත මිනිස්සුන්ගේ හැටි. ඒවට කම්පා වෙන්න එපා. කාලයත් එක්ක වැල්ලේ ඉන්න පරිණත මිනිස්සු අඳුනාගනීවි ඒ ඔයාගෙන්හොරකම්කල කැටයමක් කියල.


ඔහොම ටික කාලයක් ගතවෙනකොට ඔයාට හමුවේවි වෙනස් වෙරළවලින් වෙනස් මුහුදු හොයාගෙන යාත්‍රාකරන සහෘද යාත්‍රිකයෝ. ඔවුන් ඔයාට අතවනාවි. මුලදි පෙනෙන නොපෙනෙන මානයේ ඉඳන් ඔවුන් මෙහෙම කෑගහවි;


“ඔහෝ අතදරුවා! සාදරයෙන් පිළිගන්නවා උඹව මහ මුහුදට!!”


ඔයා අතදරුවෙක් නොවෙනබව හගිස්සන්න යාමෙන් වෙන්නේ ඔයා අතදරුවෙක්ම බව තහවුරු වීමයි. ඒ නිසා කළයුතු හොඳම දේ ප්‍රවීණ යාත්‍රිකයන් සමග සුහද සිතින් තමන්ගේ ගමන යන එකයි.


අන්තිමේදි ඔයාට පෙනේවි ප්‍රවීණ යාත්‍රිකයොත්, නවක යාත්‍රිකයොත් හැමෝම වෙනස් යැයි කියමින් යාත්‍රාකරන්නෙ එකම මුහුදක බව. වෙනස් වෙන්නේ වැල්ල මිසක්, මුහුදවත්, රැල්ලවත් නොවෙන බව.


නමුත් අමතක කරන්න එපා, ටයිටැනික් නැවත් මුහුදෙ ගිලුනෙ නොහිතූ විදියට!


සයුරු තරණය කාලයත් එක්ක නීරස වෙන්න පුළුවනි. බොහෝ යාත්‍රිකයො තමන්ට එපා වුණත් වැල්ලේ ඉන්න නරඹන්නන්ගේ ආකර්ෂණය වෙනුවෙන් දිගටම යාත්‍රා කරනවා. ඔල්වරසන් දෙන්නන්ගේ අවසාන අත්පොලසන් හඬත් නෑසී ගියාමයි ඔවුන් මහා කම්මැලිකමකින් ආපහු වැල්ලට එන්න හැරෙන්නේ. සයුරු තරණය රඳා පැවතිය යුත්තේ තමන්ගේ ප්‍රීතිය උදෙසාම බවයි මගේ පෞද්ගලික හැඟීම.



- යශෝධා සම්මානි ප්‍රේමරත්න -




Friday, November 20, 2015

මරිමෝඩ වැහි!






මම ඒ වෙලාවෙ හිටියෙ කුස්සියේ. තීරු කපපු කවියක් හෝද හෝද. එයා සාලෙ සෝපාව උඩ, රතු සිමෙන්ති පොළවට සමාන්තරව. 


මගෙ අතේ ඉස්පිල්ලක් මුවාත තියල හදාගත්තු පිහිය. එයාගෙ අතේ ටීවී රිමෝට් එක.


එක පාරටම අකුණක් පිපිරුවා, අනපේක්ෂිතව. අතේ තිබුන  ඉස්පිල්ලත් අට ඉස්බක් උඩ වීසි උනා, අනපේක්ෂිතව.


ඊගාවට පළවෙනි හුළං රැල්ල ඇවිත් ගේ වටේ කැරකෙන්න ගත්තා. දෙවෙනි හුළං රැල්ල කොන්ද නමාගෙන යතුරු හිල අස්සෙන් රිංගුවේ ගේ ඇතුලට.


“මට සීතලයි.” මං කිව්වා.

“ම්හ්!” 


කොණ්ඩෙ දිග කොරියන් කොල්ලෙක් ඇඳන් උන්න ස්වෙටරය ගලවලා හා මූණක් තියෙන කොරියන් කෙල්ලෙක්ට පෙරෙව්වා.  එයා උරහිස් අකුලගෙන තටු පොරවගත්තා.


තුන්වෙනි හුලං රැල්ල ආවේ වැහි ඇල්ලක් වඩාගෙන. ‘සට සට’ ගාල වහළෙට වැහි ඇට වැටෙනකොට මං වට්ටියක් අරන් එලියට පැන්නෙ හොඳ වටකුරු වැහි බිංදු ටිකක් අල්ලගන්න. පට්ට කරුවලයි. එයා කැමති නෑ තෙමි තෙමි ටෝච් එක අල්ලන්න. කකුල ලිස්සලා ගියොත් උළු වහල දිගේ පෙරළිලා බිමට පත බෑවීමේ අවදානම ඉහටත් උඩින්.


ඒ වෙලාවෙයි මට ඇහුනෙ එයාටෙල් අක්ක කියනව 'ගට් එක තියෙන යූත් එකට ඕනෙ දෙයක් කරන්න පුළුවන්ය' කියලා.


"මේ ඇහුනද? ඔයාට කරන්න බැරි දෙයක් නෑ."


"ඔව්. ඔව්." 
එයා ටී වී එකට ඇස් දෙක අලෝගෙන කිව්වා.


"හැබැයි ඔහේට ගට් එක නෑ."


"ම්හ්?"


මම එක අතකින් ගට් එකයි, අනිත් අතෙන් වැහි පීල්ලයි අල්ලගෙන, වළාකුල මිරික මිරික හොඳ රවුං වැහි වෙන් කරන්න උනා.. දුකක් වගේ මොකද්දෝ එකක් දැනිල වළාකුළු රෝස පාට වෙන්න ගත්තා තමයි. ඒ උනාට වැහි එක්ක කලාමැදිරි එළි තිත් දෙකක් කලවං කරගත්තනම් තේ මේසෙට තියන්න තිබුනා. මොකද එයාගෙ ආහාරජීරණ පද්ධතියෙ 'ගට්' එක තවම කිසිම අවහිරයක් නැතුව වැඩ කරනවා.


ආපහු කුස්සියට එනකොට වට්ටිය කට මට්ටමට පිරිලා. ඇස් දෙකත් පිරිලා. හිතත් තෙතබරියං වෙලා. ඒත් මම පතුල් දෙකේ ගෑවිලා තිබ්බ මඩ තට්ටු පරෙස්සමෙන් දොරකඩ කොහු පාපිස්සෙ පිහදැම්මා. පිටත ගිනි ඇතුලට ගන්න හොඳ නැති තරමටම පිටත මඩ තට්ටු ඇතුලට ගන්නත් හොඳ නෑ. 


එයා ඔළුව උස්සල බැළුවෙ ඇස් දෙක පීරිසි තරමට ලොකු කරගෙන. 


“පිස්සුද ගෑනියේ වැස්සෙ තෙමෙන්නෙ?” ඒ සද්දෙට වහළෙ උළු දෙදරුංකාලා සාලෙ මැද්දට පිණි බෑවා. වැහිවලට තෙමෙනව වගේ නෙමෙයි පිණි කුඩුවලට තෙමෙන එක. මං ගස්සගෙන කුස්සියට යන්න හැරුනා. 


“දිගටම ඔය ගවුම අඳින්ඩකෝ.” එයා ඇදලා පැදලා කියනවා. 


ඒ කියන්නෙ තවම ඇස් පේනව! ඒකත් මදැයි.






Tuesday, November 17, 2015

ඔහොම වෙලා මදි ඔයාට!



නිමිත්ත :
ඉල් මහ විරු සමරු තුනක් - පුවතක්





උගුරු දණ්ඩ කකියනකං
මූණ කට්ට කළුවෙනකං 
කඳුළු පැනල ඇස්ගෙඩි ලොවිගෙඩි වෙනකං
වටරවුමේ වටේට විප්ලව කලාට
ඔහොම වෙලා මදි ඔයාට!


හඳ එළියෙන් පාප්ප කලවං කරද්දි
හඳට යන්න රතු ඉනිමංපෙති බඳිද්දි
ෆයිනල් එක ඇණ ගනිද්දි
ඉර නැත්තං හඳට වැලේවැල් නැතිබව
මං කිව්වා.
(මාස දෙකක් අහක බලං උන්නෙ ඔයා)


හැම අකුරම එක සමාන රතුපාටට
පේන්නෙ ඇස් දෙක රවටන හඳ එළියට
පනස් අටක් ප්‍රභේද තියෙනව ඔයාගෙ 'තනිපාට'ට
(වෙනස් වෙනස් නම් එක්කම)
ඔයා දන්නෙ නැතිවුනාට


පාටක් නැති ඉල් වැස්සට
රතු තීන්ත හේදෙනකොට
කාටත් හුරු උණු කඳුලක
අත් අල්ලං දියවෙමු අපි
පාට පාට හීන එක්ක
හැමදාටම!




Thursday, November 12, 2015

තේ





සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්පවලට උණු ඉඟුරු තේ, කිරි තේ, කිරි කෝපි පිරෙව්වා. නවයහමාර කියන්නෙ මුලු ඔෆීසියම මීයට පිම්බා වගේ නිස්සද්දෙන් කොම්පියුටර් ඇතුලට ගිලෙන වෙලාව. ආකාශ් මහත්තය උනත් ලැප්ටොප් එකට බෙල්ල දික්කරගෙන ඇති.


කට කොනට ආපු හිනාවක් නිසා සුසීමගෙ දෙතොල් මෑත් වුනා. කිරිපාට හා දත් දෙකක් මතුවුනා. පීරිසිය උඩ කිරි කෝපි ඇබින්දක් ඉහිරුනා. තෙත සර්වියට් එක පීරිසිය උඩ වැතිරිලා කෑදරකමෙන් කෝපි බිංදු ටික ලෙවකෑව.


කණ්නාඩි කෑල්ල සුසීමට විරිත්තුවා. ලා රෝසපාට ලිප් ග්ලොස් කූර තොල් දෙක වටේ දෙපාරක් එහෙමෙහෙ ගියා. උඩ පැනපු කොණ්ඩ කැරලි කන්පෙති පිටිපස්සෙ හැංගුනා.


තේ බන්දේසිය වඩාගන්නකොට යාන්තම් තේ කෝපි එහෙමෙහෙට කැලැත්තුනාට බිඳක්වත් නොඉහිරවාගන්න තරමට සුසීමා පරෙස්සම් සහගතයි. කෝපි සුවඳට වඩා සැරට දැනෙන්නෙ තේ සුවඳ. ඉස්සරහට ඇවිදන් යනකොට ඉහල ඇදෙන උණුහුම් දුමාරය පිටිපස්සට නැමෙනවා. මී මැස්සියෙක් වගේ කොරිඩෝව දිගේ කලබලෙන් දිවිල්ලේ අතරමැද දැනෙන ඒ උණුහුමට සුසීමා කැමතියි.


‘අද තේ පරක්කුයි’ භාෂිනී මිස් පුරුදු විදියට හීනි ඇහිබැම දෙක එකට යාකරගෙන නොරිස්සුම් හඬින් කියද්දි ආකාශ් මහත්තය රතුපාට ලැප්ටොප් එක උඩින් ඔළුව උස්සල බලනව. “භාෂිනී අක්කි මනුස්සයෙක්ට කම්ප්ලිමෙන්ට් එකක් දුන්න දවසට ඉර බටහිරින් පායයි.”. ඒක අහල හැමෝම හිනාවෙනව. දබරැඟිල්ල උරුක්කරල රැවුම් මූණක් හදන්න යන අතරෙ භාෂිනී මිස්ටත් හිනා යනව.


සුසීමා ආකාශ්ගෙ මේසෙ වම් පැත්තෙන් තේ කෝප්පෙ තියල පීරිසියෙන් වහනව. ආකාශ් පුරුදු විදියට වම් අත කරකවල සුසීමගෙ ඇඟිලි දෙකක් අල්ලට හිර කරගන්නෙ ස්ක්‍රීන් එකෙන් ඇස් දෙක තත්පරේකටවත් එහාමෙහා කරන්නෙ නැතුවයි. ඊට පස්සෙ රතු පාට බාග රාමුවක් දාපු කණ්නාඩිය දකුණු අතින් චුට්ටක් පාත් කරල ඇහැක් ගහනවා. 


“ම්ම්ම්හ්” මේසෙ අයිනක ගොඩගහල තිබුන ටොෆි චොකලට් කෝප්පෙකින් කිරි පාට රවුම් චොකලට් දෙකක් සුසීමගෙ අත ගාවට තල්ලු වෙනව. 


‘ආ… සුසීමා, මෙයා අද අලුතෙන් ආවෙ.’

ආකාශ් අකුරකවත් ගස්සන්නෙ නැතිව රොබෝ කටහඬකින් කියනවා. තඹ කොණ්ඩාකාරියක් සුසීමා දිහා බලලා කට කොණක් ඇදකලා. පණ කළඳක් නැති බළල් ඇස් දෙකක්.


“මිස්ට මොන්වද ගේන්නෙ?”


“ග්‍රීන් ටී තියනවද?” 


“අරං එන්නම්.” 

සුසීමා හිස් බන්දේසිය අරගෙන, කොරිඩෝව දිගේ තාලෙට අඩි තියනකොට සාක්කුව පතුලෙ තියෙන චොකලට්ටු දෙක උඩ පනිනවා.


අවුරුද්දකට විතර කලින් හිටියා මින්ට් සුවඳ තේ බොන, කූරු කරාබු දාන මිස් කෙනෙක්. සුසීමාට මින්ට් සුවඳ අපුලයි. කොල පාට කියන්නෙ තේවලට ගැලපෙන්නෙම නැති පාටක්.


සුසීමා තේ බොන්නෙ ලා දුඹුරුපාට මග් එකක. ආකාශ්ගෙ මේසෙ දිගේ තල්ලු වෙලා ආපු හතරැස් කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙන් එලියට ආපු මග් එකක. ඉක්මනින් තේ උගුරක් බීපු සුසීමා බන්දේසියේ හරි මැදින් ග්‍රීන් ටී එක තියාගෙන තාලයක් නැති කලබල පියවරවලින් ඉස්සරහට දුවගෙන යනවා.


ආකාශ් තඹ කොණ්ඩාකාරියගෙ පුටුව ඉහළින් නැමිලා කතාකරමින් ඉන්නේ පරිඝණක තිරේට එබීගෙන. සුසීමා තේ කෝප්පෙ මේසෙ උඩින් තියනකොට පීරිසිය කෝප්පෙ ගැටිලා ‘ක්ලන්-ක්ලන්ක්’ හඬක් නික්මුනා. ආකාශ් පරිඝනක තිරේ දිහා බලාගෙනම, සුළු ගැස්සීමක්වත් නැතිව අල්ලාගෙන උන්නු අහස් නිල් පාට නියපොතු ඇති සිහින් දිගු ඇඟිලි දෙක මුදාහැරියා.


සුසීමා හිස් කෝප්ප පුරවාපු බන්දේසිය වඩාගෙන කොරිඩෝවට පාවුනා. හිස් කෝප්ප, තේ, කෝපි පුරවාපු කෝප්පවලට වඩා බරට දැනුනා. 


සුසීමා ලා දුඹුරුපාට මග් එක අතට ගන්නකොට තේ එක ඇල් වතුර තරමටම හීතල වෙලා. ඉඟුරු සුවඳක් දැනුනෙත් නෑ.






Sunday, November 8, 2015

ආදරයේ රසායනය


පුවත්පත් සබැඳිය : http://ravaya.lk/?p=10515

රාවය - 01/නොවැම්බර්/2015





පළමු දසුනින් යමෙක් කෙරෙහි ආසක්ත වීම හදවතෙන් උපදින ප්‍රබල හැඟීමක් විදියට අපි දකිනවා. රෝමියෝට සහ ජුලියට්ට, සාලියට සහ අශෝකමාලාට වගේම ජැක්ට සහ රෝස්ට මුහුණදෙන්නට සිදුවුන සිදුවීම් දාමයන් කියැවීමෙන් අපි එයට ආදරය කියලා කියනවා. එය පොදු අත්දැකීමක් බව හැඟෙනවා. නමුත්, රොමැන්තිකත්වය මදකට පසෙකින් තබා විදු ඇසකින් බලද්දී ඉතා සුන්දරයැයි ඔබටත්, මටත් හැඟෙන බොහෝ සංසිද්ධීන්වලට හේතුව ජෛවවිද්‍යාත්මක වශයෙන් මානව වර්ගයාගේ පැවැත්ම සහ උන්නතිය තහවුරු කිරීම පමණක්ම බව අපට අවබෝධ වෙනවා.


ආදරය කියන මූලික ක්‍රියාවලිය උප කොටස් තුනකට බෙදා දක්වන්නට පුළුවන්. ඒ තමයි, ලිංගික වශයෙන් ආසක්ත වීම, රොමෑන්තික ආදරය සහ දිගුකාලීන බැඳීම.


ලිංගිකව ආසක්ත වීම ආදර ක්‍රියාදාමයේ පළමු පියවරයි. මේ පියවරේදී 'පෙළඹවීමේ පණිවුඩ' සන්නිවේදනය කරන්නේ ටෙස්ටොස්ටෙරොන් (Testosterone) සහ ඊස්ට්‍රජන් (Oestrogen) හෝමෝන මගින්. පරසිදු මානවවිද්‍යාඥ හෙලන් ෆිසර්ගේ (Helen Fisher) පර්යේෂණයන්ට අනුව අනාවරණය වී ඇත්තේ සහකරුවන් අතර ඉහත කී හෝමෝන මට්ටම් එකිනෙකාට අනුපූරකව ක්‍රියාත්මකවන බවයි. අධි ටෙස්ටොස්ටෙරොන් මට්ටමක් සහිත පුරුෂයෙක්, පළමු දසුනෙන්ම ආසක්ත වන්නේ අධි ඊස්ට්‍රජන් මට්ටමක් සහිත කාන්තාවකට වීම මෙයට කදිම නිදසුනක්. එක සමාන බුද්ධි මට්ටම, කලාවට ඇති සමාන නැඹුරුව, කැපී පෙනෙන රූසපුවකින් යුතු වීම වැනි සුවිශේෂී ලක්ෂණවටල අවධානය යොමු වීමයි සාමාන්‍ය තත්වය. පිරිමින්ගේ දෘෂ්ඨිය ස්ත්‍රීන්ට සාපේක්ෂව වඩා තියුණු වීම නිසා ලිංගික ආසක්ත වීම අතින් ඉදිරියෙන් ඉන්නේ පුරුෂයන්. බොහෝවිට පළමුව ආදරය ප්‍රකාශ කරන්නේ පුරුෂයන් වීම මෙහි ප්‍රතිඵලයක් වන්නටත් පුළුවනි. එමෙන්ම, මනා රූ සපුවක් ඇත්තියන්ට 'ඉල්ලුම' වැඩි වෙන්නෙත් මේ නිසයි.


ආසක්ත වීමෙන් පසුව එළැඹෙන්නේ රොමෑන්තික ආදර අවධියයි, මේ කාලපරාසය තුළ ඔබේ මොළය සහ ස්නායු පද්ධතිය මදක් විසුළු සහ උමතු හැසිරීම් දක්වන්නට පටන් ගන්නවා. එයට වගකිව යුත්තේ රොමැන්තික ආදර අවධියේදී ස්‍රාවය කෙරෙන ඇඩ්‍රිනලින්, ඩොෆමයින් සහ සෙරොටොනින් යන ස්නායු සම්ප්‍රේෂක හෝමෝන ත්‍රිත්වය.


තෙත්වූ අත්ලැතිව සහ වේගයෙන් ගැහෙන හදැතිව, වියැළී ගිය මුවෙන් යුතුව පෙම්වතා හෝ පෙම්වතිය හමුවට යන්නට කවරදාක හෝ ඔබට සිදුවුණාද? එයට චූදිතයා වෙන කවරෙකුවත් නොවෙයි, අධිවෘක්ක මජ්ජාවෙන් ස්‍රාවය වෙන ඇඩ්‍රිනලින් (Adrenalin) හෝමෝනයයි. රුධිරගත ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් (Cortisol) හෝමෝන සාන්ද්‍රන ඉහළයෑමත් සමගම ඔබෙන් ආතති ලක්ෂණ විද්‍යාමාන වෙනවා. හදගැස්ම ඉහළ නැගීමත්, රුධිර ගලනය වේගවත් වීමෙන් කන්පෙති සහ දෙකම්මුල් රත්පැහැ ගැනීමත්, මුව වියැළී අත්ලමත දහදිය බින්දු නැගීමත් සිදුවන්නේ ඒ නිසයි. ආදරය ප්‍රකාශ කරන්නටම ගොස්, රත්වූ මුහුණෙන් යුතුව ආපසු හැරී දිව එන යොවුන් පෙම්වතුන්ට එහෙම වුනේ අධික ඇඩ්‍රිනලින් ස්‍රාවය නිසයි.


දකින දකින තැන ආදරවන්තයාගේ රූපය දිස්වීම, කටහඬ ඇසෙන්නට ගැනීම, නිරන්තර දවල් සිහින දැකීම බොලිවුඩ් සිනමා කෘති තුළ උලුප්පා දක්වන මායාවක් පමණක්ද? ජෛවරසායන විද්‍යාවට අනුවනම් එය හුදෙක් සාහිත්‍ය නිර්මාණයන්ට සීමා වූ සංසිද්ධියක් නොවෙයි. රුධිරගත සෙරොටොනින් (Serotonin) සාන්ද්‍රනය අඩු වීම නිසා දවල් සිහින දැකීමත්, මනංකල්පිත මායාමය රූප පෙනීමත්, ශබ්ද ඇසීමත් උත්තේජනය වෙනවා.


ආහාර ගන්නත්, නිදාගන්නත් ඇති වුවමනාව යටපත් වීමත් හේතුවෙන් නොකා නොබී ආදරය වෙනුවෙන් 'කට්ට කන' පෙම්වතුත් දැකීම අරුමයක් නෙමෙයි. රොමැන්තික ආදර අවධියේදී ස්‍රාවය වෙන ඩොෆමයින් (Dopamine) රසායනිකය හේතුවෙන් අධික ප්‍රීතිමත් හැඟීමක් සහ හදවත සැහැල්ලුවෙන් පිරුණු ගතියක් දැනෙන්නට ගන්නවා. මේ තත්වය කොකේන් වැනි මත්ද්‍රව්‍ය පරිහරණය කල පසු ඇතිවෙන තීව්‍ර ප්‍රහර්ෂයට සමානයි. ඩොෆමයින්වල බලපෑම යටතේ ඇසේ කණිනිකාව විශාලනය වෙනවා. පෙමෙන් වෙලී ඉන්නා 'අළුත්' පෙම්වතුන්ගේ දෑස්වල දකින්නට ලැබෙන දිලිසීමට වගකිව යුත්තේ ඩොෆමයින් රසායනිකයයි.


ඉහත කී හෝමෝන ත්‍රිත්වයේ බලපෑම යටතේ අලුත් පෙම්වතුන් එකිනෙකාගේ යහපත් ලක්ෂණ විශාලනය කොට දැක්වීමත්, අයහපත් ලක්ෂණ නොසලකාහැරීමත් සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රොමැන්තික ආදර අවධියේදී සියලුම දේ වඩවඩාත් සුන්දරව සහ යහපත්ව දැන්නෙන්නට ගන්නවා. එය රෝස වර්ණකෘත කණ්ණාඩියක් තුළින් එකිනෙකා දෙස බැලීමට සමානයි. බොහෝවිට මිතුරන්ගෙන් ඈත්වී සහකරුවා/සහකාරිය වෙත වඩවඩාත් ලංවීමත් මෙහි ප්‍රතිඵලයක්.


කාලයත් සමග ඉහත කී පාට කණ්නාඩිය මදින් මද දුර්වර්ණ වෙන්නට ගන්නවා. ඇඩ්‍රිනලින්, ඩොෆමයින් සහ සෙරොටොනින් සාන්ද්‍රණයන් යථා තත්වයට පත්වීම නිසා තවදුරටත් පෙර තිබූ උද්‍යෝගය පවත්වාගැනීම අපහසු වෙනවා. විශාලනය වූ යහපත් ලක්ෂණ මදින් මද හැකිලෙන්නට ගන්නා අතර නොගිනිය හැකි තරම්යැයි කියමින් අමතක කර දැමූ අඩුපාඩු හිටිවනම නිතර නිතර මතුවී පෙනෙන්නට ගන්නවා.


ඉතින්, බොහොමයක් පෙම් සබඳතා 'රොමැන්තික ආදර' අවධිය පසු කිරීමත් සමග බිඳවැටී විසිරී යනවා. තුන්වැනි පියවරට අවතීරණය වන්නට තරම් වාසනාවන්ත වන්නේ එහෙමත් කෙනෙක්.


ආදරයේ අවසන් පියවර වන්නේ 'දිගුකාලීන අනුරාගය'යි. යුවලකට දරුවන් හැදීමටත්, වැඩීමටත්, පවුල් සංස්ථාව නොවිසිරෙන ලෙස එක්ව පවත්වා ගැනීමටත් උපකාරී වන ආකර්ෂණය සහ බැඳීම ඇතිකරන්නේ මෙකී "දිගුකාලීන අනුරාගය' මගින්.


දිගුකාලීන අනුරාගික අවධියේදී ප්‍රමුඛත්වය ගන්නා ප්‍රධාන හෝමෝන ද්විත්වයක් තිබෙනවා. ඒ ඔක්සිටොසින් (Oxitosin) සහ වෙසොප්‍රෙසින් (Vasopressin).


ඔක්සිටොසින්, සුරතාන්තයේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම ස්‍රාවයවන ප්‍රබල හෝමෝනයක්. වෛද්‍ය විද්‍යාවේදී 'තුරුළු කරගැනීමේ හෝමෝනය' (cuddle hormone) නමින් හැඳින්වෙන ඔක්සිටොසින්, ආලිංගනය සහ තදින් වැළඳ ගැනීමට පෙළඹවීම ඔස්සේ වඩා ගැඹුරු බැඳීමක් ඇතිකරනවා. එබැවින් යුවලක් ලිංගිකව එක්වෙන වාර ගණන වැඩි වෙනවිට, ඔක්සිටොසින් මගින් උද්දීපනය කෙරෙන ගැඹුරු ආලිංගනයන් ඉහළ යන්නේ නිරායාසයෙන්. එමගින් සුරක්ෂිතභාවය ගැන විශ්වාසයක් ඇතිකෙරෙනවා.


වෙසොප්‍රෙසින් හෙවත් ප්‍රතිමුත්‍රකර හෝමෝනය (anti-diuretic hormone) මගින් 'දිගුකාලීන අනුරාගය' එක් සුවිශේෂී සහකරුවෙක් සඳහා පමණක් සීමා කරවීම සිදුවෙනවා. මෙම හෝමෝනය ස්‍රාවය වන්නේත් ලිංගික එක්වීමකින් පසුවයි. සිය සහකරුවාව දිවි පරදුවට තබා රැකගැනීමත්, සහකරුවාට විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබෙන අවස්ථාවන්හිදී මද වශයෙන් ඊර්ෂ්‍යාභරිතවීමත් කෙරෙහි වගකිව යුත්තේ මෙම හෝමෝනයේ ක්‍රියාකාරිත්වයයි.


මේ පියවර තුන, අනුපිළිවෙලින් සිදුවිය යුත්තේ මානව වර්ගයා පරිණාම සටනෙන් පරාජය වෙන්නට නොදී ආරක්ෂා කරගන්නයි. ලිංගික ආසක්තභාවය මගින් සුදුසු සහකරුවෙක් සොයාගැනීම කෙරෙහි මානවයා පොළඹවන අතර, රොමැන්තික ආදර අවධිය මගින් එක්වරකට එක් නිශ්චිත සහකරුවෙක් වෙත අවධානය කේන්ද්‍රගත කිරීමෙන් අනවශ්‍ය පරිදි ශක්ති හානියත්, කාලය අපතේ හැරීමත් සීමා කෙරෙනවා. දිගුකාලීන අනුරාගය මගින් ළපැටියන් බිහිකිරීමත්, ශක්තිමත් පවුල් සබඳතාවක් ඔස්සේ දරුවන් වැඩීම ආරක්ෂිතව සිදුවෙනබව තහවුරු කිරීමත් සිදුවෙනවා.


ඉතින්, අපි එයට ආදරය යැයි කියමින්, අතිශය රොමැන්තික හැඟීමෙන් මඩනා ලදුව, මිහිපිට ඇති සුන්දරම සබඳතාවය ඇත්තේ තමන් සතුව බව තරයේ අදහනවා. නමුත්, ඒ සුවිශේෂී සබඳතා සියල්ලම, ඉතා සරලව සහ සියුම්ව, එකිනෙකට ඉතා සමාන සැකිලි මත තමතමන්ට ආවේණික වර්ණයෙන් සව්කොළ අලවාගත් සරුංගල් වන්ව සොබාදහම නමැති සියුම් හුයෙන් බැඳී, මානව පරිණාමය සඳහා දායක වෙමින් පවතිනවා.


නමුත්, තවමත් අපි ඒ හැඟීම ආදරය යැයි හඳුන්වනවා. සැකිල්ල එක හා සමාන බව දැන දැනම, අපි සරුංගලයේ වර්ණවත් සව්කොළ රටාවට වසඟ විය යුතුයි. ප්‍රේමයෙහි පැවතිය යුතුයි. ජීවත්වෙනවා කියන්නේ ඒකටයි.



- යශෝධා සම්මානි ප්‍රේමරත්න -




Sunday, November 1, 2015

එතුමා ඇත්තටම අපිට කිරි දුන්නේය!





2010 අවුරුද්ද ඇරඹුණා පමණි. අපි කැළණිය සරසවියේ ෆ්‍රෙෂාලා වීමු. ඒ පොද්දන් (raggers) වූ ආර්ට් ෆැකල්ටියත්, අලයන් (anti-raggers) වූ සයන්ස් ෆැකල්ටියත් අතර ගිනි පුපුරු හුවමාරුවෙමින් පැවති සමයකි.


එදා මහ වලියකි. නවකවදයට විරුද්ධවය. මුලින් ෆැකල්ටි දෙක අතර ගල් පහරවල් හුවමාරු වෙයි. ඉනික්බිති හූ හඬය. පොලිස් මාමලා ෆැකල්ටි දෙක මායිමේ තාර පාර දිගේ අත්බැඳගෙන අලස බැල්මෙනි.
එක්වරම කිරි බවුසරයක් කන්ද නැගගෙන ආවේය.


"නවකවදේට විරුද්ධව කෑගහලා පුතාලට මහන්සිත් ඇති. බොමුද සීතල කිරි වීදුරුවක්?" පොලිස් මාමෙක් ඇසුවේ මහත් දයාවෙනි.


"වීදුරු මදිවෙයි වගේ. හෝස් එකෙන්ම දීලා දාපල්ලා."
ලොකු මාමෙක් ඕඩර් දුන්නේය.


කෙල්ලෝ වහවහා දිවගොස් අතට අහුවෙන බාල්දි, බේසම් සහ පනිට්ටුවලට වතුර එකතු කලේ කිරි බීමෙන් පසුව කටවටේ ඇඳෙන කිරි රැවුල් පිහදාගන්නය. ඉදිරිපෙල ඉන්න කොල්ලන්ට ටැප් හොයාගෙන දුවන්න වෙලාව මදි නිසා වතුර බාල්දි පුරවා ඉදිරියට යවන්නට සිදුවිය.


එක්වරම හෝස් ගා කිරි වහින්නට විය. අධිපීඩන හෝස් බටයකින් එල්ල කල කිරි වැස්ස මැද්දේ පැන්සලක් තරමේ "ට්‍රොනිකා" බිම ඇදවැටුනේ රෙදි බෝනික්කෙකු පරිද්දෙනි. අනිත් උන් වහවහා ඌව කැන්ටිමට ඔසවාගෙන ගියහ.


"පෙරේතකමට ඔහොමත් කිරි බොනවද බං? හුස්ම හිරවෙනකල්?" ප්‍රථමාධාර දෙන එවුන් ඌට ඇනුම්පද කියන්නටද විය.


දවල්ට කන්න දෙනවාද නැද්දැයි පොලිස් මාමලා සාකච්ඡාවකි. බඩපුරා කිරි බී උස්මුරුත්තාවට ඇවිත් තිබුන බැවින් අපි කෑම එපා වූවන් ලෙස පැත්ත වැටී සිටියෙමු.


නමුත් හවස් වෙද්දී යලිත් තත්වය උණුසුම් විය. පහරදීම්ය. කෑකෝගැසීම්ය. හූ හඬය.


"ළමයි මහන්සි වෙනවා. ආයෙ කිරි වේලක් දෙමු." ඕඩර් එක ලැබුනා පමණි. මූණකට හෝදාගෙන කිරි බොන්න හිතමින් අපි වතුරකරාම වෙත ඉගිලුනෙමු.


හුටා! වතුර කපලාය.


ඉනික්බිති ෆැකල්ටිය සිසාරා කිරි වහින්නට විය. අපි බිම පෙරලෙමින් කිරි බිව්වෙමු. තව බොන්න තව බොන්නැයි කියමින් දාරක ස්නේහනයෙන් මඩනා ලද පොලිස් මාමලා අපිට තවතවත් කිරි පෙවූහ.


ඇත්තමයි, අප්පච්චිගේ ඒ විසල් ස්නේහයේ මහිමයෙන් අපේ ඇස්වලින් දොඹගෙඩි සයිස් කඳුළු ගලායන්නට විය. අන්තිමේ ඇස් ගොරොක්මද මෙන් රතුවී, ඉදිමී, තඩිස්සි වී තිබුණේ මූණ හෝදන්නට වතුර බිංදුවක්වත් නැතිවූ හෙයිනි.


පහුවදා, ගම්‍ රටවල් බලාකියාගෙන එන්න අපිට සති තුනක අනපේක්ෂිත නිවාඩුවක්ද ලැබුණි.


එතුමා 2010දී අපිට කිරි දුන්නේ එහෙමය. කිරි උස්මුරුත්තා වී නොහිටියානං අපිට එදා දවල් කෑමත් අනිවා ඩෙෆා සෙට් වෙන්න තිබුන බව සහතිකය!


අළුත් ආණ්ඩුව වෙනසක් නොකර පෙර පරිද්දෙන්ම ළමයින්ට සලකන එක ගැන පට්ට සන්තෝසය. කැලේ මාරුවුනා කියලා කොටියාගේ පුල්ලි මාරුවිය යුතු නැත. ජාතියේ ජීවනාලිය දරුවන්ය. උන්ට පැණි බේරෙන්න කිරිපොවන එක කොයි ආණ්ඩුවෙත් යුතුකමය.