Thursday, August 20, 2015

ලොල්ලන් සහ ගණිකාවන් පෙරටු කරගෙන ඇඟිල්ලේ ඇදය සෙවීම





හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇද හොයන මිනිස්සුය. නියපොතු කපා ඇත්දැයි හොයන මිනිස්සුය. මැනිකිව් කලේ මොන සැලුනයෙන්දැයි අහන මිනිස්සුය. දැන් මේ පෝස්ටුව කියවීම නවතා "ඉතිං මොකද්ද ඒකෙ ඇති වැරැද්ද?" යැයි විමසා, ඇස් ගෙඩි ඩොගිත්තාගෙන බලා ඉන්නා මිනිස්සුය.


මේ කියන්නේ අන්න ඒ ආකාරයේ මිනිස්සු ගැනයි.


ලංකාවේ මිනිස්සු අති දක්ෂ කුරුමාණම්කරුවෝය. විශිෂ්ඨ ප්‍රහාරකයෝය. ඒත් කරුමය නම්, ඉහත කී ගණයේ, ප්‍රමාණාත්මකව අල්ප නොවූ මිනිස්සු කුරුමාණම් අල්ලන්නේම හිසට නොව වල්ගා කෙලවරට වීමය. ප්‍රහාර එල්ල කරන්නේම නියපොත්තකට, කන් පෙත්තකට හෝ හූනු වලිගයකට වීමය.


පසුගිය දිනවල වයිරල් වීඩියෝවක් බවට පත්වූ "මාලබේ බී.එම්.ඩබලිව්. අක්කා" ගැන බලමු. වීඩියෝවේදී ඈ ඉතා මුඛරිව පොලිස් නිළධාරීන් දෙපලකට බැනවදිනවාය. එමතුද නොව ඔවුන්ගේ හෙල්මටයද පැහැරගෙන යනවාය. වැරද්දකි. ඔව්, පැහැදිලිවම වැරැද්දකි.


නමුත් අපේ සුචරිතවාදී අයියලා (සහ අක්කලා) එරෙහි වන්නේ මොනවාටද? ඇගේ සිහින් පටි සහිත සැහැල්ලු දිගු ගවොමටය. බී.එම්.ඩබලිව්. රථයටය. එතකිනුදු නොනවතින ඔවුහු වීඩියෝවේ කොතැනකවත් සටහන් නොවූ "රිය ඇතුලේ ඉන්නා ඇගේ හොර මිනිහා" ගැනත්, "ඌ අහවල් ඇමතිගේ පුතා" බවත් දිවැසින් දැක, සකල සිරි ලංකාවාසීන්ගේ පහන් සංවේගය පිණිස ජාලගත කරති.


ගප්පියාගේ පොසොන් කාටුනය ගනිමු. දැනට එහි වූ සරල හාස්‍යය අමතක කරමු. (තෝ බුදු දහමට අපහාස කරන්නේ, කතෝලික ආගමත් විහිලුවට ගනින්කෝ යැයි අසන උන්ගෙන් ඉල්ලා සිටින්නේ ගප්පියාගේ  The joy of christmas වීඩියෝව නරඹන ලෙසයි.)




උපහාසය වටහා ගැනීමේ නොහැකියාව අමතක කලත්, "සුද්දියන්ට කෙලින පර කලු සුද්දෙක්" සහ "තමන්ගේ බළලාටත් පරජාතික නමක් (ජින්ජි බෝයි.) තැබූ අසමජ්ජාතියෙක්" ලෙස අපහාස කිරීම ඉට්ස් ඕකේ බේබි කීමෙන් පමණක්ම අමතක කරන්නට පුලුවන්ද?


"ගාල්ලෙන් වේසියක් පාර්ලිමේන්තු යවලා." මේ දිනවල අධිකතර ලෙස අහන්නට, දකින්නට ලැබෙන කතාවකි. වේසියක් යනු ගණිකාවක් හෙවත් මුදලට ලිංගික ශ්‍රමය සපයන්නියක් හඳුන්වන අතිශය ග්‍රාම්‍ය වචනයකි. හොඳයි ගීතා වේසියක්මයි කියමු. ගෞතම බුදුන් දවස නගර සෝභිනියක වූ අම්බපාලිට, බුදුන් ප්‍රමුඛ මහා සංඝයා විෂයෙහි දන්පැන් පිරිනමන්නත්, ඉන් මතු නිවන් මගට පිවිසෙන්නත් පුලුවනිනම්, ගීතාට පාර්ලිමේන්තු යන්න බැරි ඇයි?




පෞද්ගලිකව මට ගීතා කුමාරසිංහ ගැන ඇත්තේ නොපහන් හැඟීමකි. නමුත් ඒ ඇගේ කටකමසෙයියාවක් නැති වාචාල කියවිල්ලත්, මැතිවරණ වේදිකාවල ඇදබාන අගමුල නැති, තැම්බූ නූඩ්ල්ස් ගොඩක් බඳු කථා පැවැත්වීමත් නිසයි. හිරුණිකාට  ටැටූ කොටා ඇත්තේ කුමන ශරීරාංගයේද යන්නත්, ඇයට විවාහයට පෙර පෙම්වතුන් කී දෙනෙක් හිටියාද යන්නත් මට කොහෙත්ම වැදගත් නොවෙයි.


අනික, ගීතා මෙන්ම (හෝ ඊටත් වඩා) හැකර කටක් ඇති, අම්මෙක් නැතිව ජාතක වූ ඕපපාතිකයෙක් මෙන් කාන්තාවන්ට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කරන කුමාර වෙල්ගමට ගීතාට තරම් විරෝධයක් නැත්තේ ඇයි? පිරිමියෙක්ගේ වාචාල කම වීරකමක් ලෙස සලකා ඔහුට මල් පිදීමත්, ගැහැණියකගේ වාචාලකම ඇයට ගල් ගසා මරා දැමීමට නිමිත්තක් කරගැනීමත්ද සිරිලාංකීය අනන්‍යතාවය?


රනිල්, දේශපාලනික අයිකන් එකක් ලෙස ගත්කල අපි ඔහුට එරෙහිව නැගී සිටිය යුත්තේ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන මිසක රනිල් කොලුකාරයෙකැයි කියමින් නොවෙයි. හොඳයි, රනිල් කොලුකාරයෙක්මයි කියමු. එහෙනම් ඔබේ අකමැත්තෙන් රනිල් බලහත්කාරකමක් කරන්නට හදනවානම් ඔබ ඔහුට විරුද්ධ විය යුතුයි, අනිවාර්යයෙන්ම! ඒ අනුව බලන කල, කිසිදු සාධාරණ තර්කයක් මතු නොකර, රනිල් සමලිංගිකයෙකැයි කියා අපහාස කරන උදවිය හැමෝම, රනිල්ගෙන් වේදනාත්මක ලිංගික අත්දැකීමක් ලබාගත්තවුන් බවයි නිගමනය කල හැක්කේ.




මොනවා? අකිල විරාජ් රනිල්ගේ පෙම්වතා? මට නොතේරෙන්නේ, ඒක එහෙමම වුනත් අපි කලබල විය යුත්තේ ඇයිද කියන එකයි. අකිල විරාජ් කෙරෙහි ලිංගික ඇල්මක් ඇත්තෙකු මිස වෙනත් කෙනෙක් අකිලගේත් රනිල්ගේත් පෙම් සබඳතාවක් ගැන කලබල වෙන්නේ මොකටද?


විමල් වීරවංශ අවංක ජනතා සේවකයෙක් නම්, (ඔහු එසේ නොවීම වෙනමම කතාවක්!) ඇයි අපි විමල්ගේ හෑන්ඩ් ෆෝන් එකත් එක්ක ගුස්ති අල්ලන්නේ? ඇයි අපි ශෂී වීරවංශගේ මේක්-අප් එක ගැනත්, සාරි හැට්ටයේ කර කැපී ඇති ගැඹුර ගැනත් වදවෙන්නේ?


අපිට හොරුන්, දූෂිතයන් හෝ වංචාකරුවන්ට එරෙහිව එකාවන්ව නැගී සිටින්නට තියෙන ලොකුම බාධාවකි, හඳ පෙන්නූ විට ඇඟිල්ල දිහා බැලීම. ඉතින්, විය යුතු පරිද්දෙන්ම, 'අතන අසූචි කන්දක්, අපි ඒක ඉවත් කර දමමු'දැයි ඇසූ විට "උඹ අතේ නියපොතු හපනව නේද?" අසමින් ඇඟිල්ලේ වැරදි ලැයිස්තුගත කරන උදවිය අන්තිමේ අසූචි කන්දෙහි හැපී, මුනින් අතට වැටී, අසූචි වලින් නැහැවී යනු නො අනුමානය!


වැඩියත්ම දුකට කරුණ එයත් නොවෙයි. හිසේ සිට දෙපතුල තෙක්ම අසූචිවලින් නැහැවීගත් ඒ මිනිස්සු, "අහා! ඒ ඇඟිල්ලේ දෙවැනි ඇඟිලි පුරුකේ තද දුඹුරු පාට උපන් ලපයක් තිබුනා" යැයි හඬතැලීමයි.






ප. ලි.


මේ ලිපිය ලියන්නට හිතුනේ මාතලන් ලියූ ගීතාගේ යෝනියේ දිග පළල සෙවීම, හඳුන්නෙත්ති හා මුතුගෙට්ටිගම - Geetha's Virginity, Muthuhetti & Handunneththi බ්ලොග් පෝස්ටුව කියැවීමෙන් පසුවයි




105 comments:

  1. වරද ඇත්නම් ඒ වරද ගැන මිස තමන්ට අහිමි ලිංගිකත්වය ඉස්මතු කොට පරිභව කිරීම අජූතය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නලින් අයියේ. මේ මඩ ගැහිලි ගැන ඔයාගේ අදහසත් සමකය වටේ අලුත් ලිපියෙ තියෙනවා දැක්කා.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මාතෘකාවෙන් පිට ගිහින් වල්පල් කතා කරන්නත් තාර්කිකව වෙනුවට මඩ ගසා අනිකා බිම දාන්නත් අපේ මිනිස්සු හරි දස්සයි.. අම්මපා අපිට මොකටද ගීතාගේ වගක් චන්දෙ දීපු උන්ට හොඳ නම්..

    ReplyDelete
    Replies
    1. එහෙමම ඇහැ කන පියාගෙන හිඳීමක් ගැන නෙමෙයි කතාකරන්නෙ කළණේ. අපි ඇටෑක් කරන්නේ නිවැරදි තැනටද කියන එකයි අවුල

      Delete
  4. උඹලම මේ ගැන ගඬක් නගන එක නියමයි... කියන්නට වදන් නොමැත...

    ReplyDelete
    Replies
    1. ලියන්න අවශ්‍ය කික් එක ඇතිවුනේ මාතලන්ගේ පෝස්ට් එක නිසා. ඒකට ගොඩක් ස්තූතියි!!

      Delete
  5. හප්පා ගම්මිරිස් වගේ සැරයි.නමුත් අනර්ඝයි.වදින තැනට අකුණ.

    ReplyDelete
  6. සම්පූර්ණ ඇත්ත, බස්සි. මේක තමයි සමහර අය කියන 'සිංහලයාගේ සංයුක්ත චින්තනය'. මේ චින්තනය අනුව අපි සතාගේ ඉතුරු කොටස් ගැන නොබලා ඔළුව දිහා බලලා ඔළුවට හරියටම ගේම නොදී සතා දිහා සමස්තයක් හැටියට බලනවා. සතාගේ පුල්ලි ගණන් කර කර ඉඳලා අන්තිමට ඔහේ වෙඩි තිබ්බාම සතාගේ වලිගෙට වදිනවා. සතා දුවනවා. ඊට පස්සේ අපි සතා පැනලා දිවුවත් වලිගෙට තුවාලයක් කරපු එක ගැන ස්වයං වින්දනයක යෙදෙනවා. මේ ක්‍රමය 'බටහිර වියුක්ත චින්තනයෙන්' වෙනස්. මේ ස්වභාවය තේරුම් ගන්න එක වැදගත්. ඒත් අපි කරන්න ඕනෑ මේ චින්තනය පවත්වාගෙන ඇඟට හරියන ඇඳුම් මහගන්න කාලය යොදවන එකද කඩේ තියෙන ස්ටෑන්ඩර්ඩ් සයිස් ඇඳුම් අඳින්න පුළුවන් විදිහට ටිකක් එක්සයිස් කරලා ඇඟ හදා ගන්න එකද කියන එක හිතන්න ඕනෑ දෙයක්.

    මේ චින්තනයේම තවත් දිගුවක් තමයි බල්ලව වෘකයෙක් කිරීම. බල්ල විසඳන්න අමාරු විශාල ප්‍රශ්නයක්. ඒත් අපිට බල්ලා මදි. ලොකු වෘකයෙක් ඕනෑ. මොකද අපිට ඕනෑ ප්‍රශ්න ගැන කතා කරන්න මිසක් විසඳන්න නෙමෙයි නිසා වෘකයා නෙමෙයි ඩයිනෝසරයෙක් වුණත් ගේමක් නැහැ. ඉතිං අන්තිමට වටයක් කැරකිලා අපි හොයා ගන්නවා වෘකයෙක් නැති බව. ඇයි ඇත්තටම නෑනේ. ඊට පස්සේ අර මුලින් හිටිය බල්ලා චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙනවා.

    එජනිස සහ ජවිපෙ හෝල්සේල් පට්ට ගහපු මහ බැංකු වංචාවත් ඔය වගේ ඩයිනෝසරයෙක් කරපු බල්ලෙක් නිසා කවදාවත් ඌට වෙඩි තියන්න බෑ. හුලං ගහල පුම්බපු ඩයිනෝසර්ගේ වලිගෙට වෙඩිල්ලක් වැදුනම ඒ හිලෙන් ඇතුලෙ හිටපු බල්ලා පැනලා යයි. ඕනෑවට වඩා පුම්බපු පහුගිය ආණ්ඩුවේ වංචා, හොරකම් වලටත් වෙන්නේ ඕකම තමයි. ඒවා වේදිකා වල ගොන්පාට් කරන්න මහින්දටම පුළුවන් උනේ මේ පිම්බිල්ල නිසා.

    ReplyDelete
    Replies
    1. මම බොහොම කැමතියි ඉකෝන් හිතන විදියට.

      බල්ලාව වෘකයෙක් කිරීම ඕනෑම ජාතික ප්‍රශ්ණෙකදි දාන ජිල්මාට් එකක්. වෙනකක් තියා මහින්දට කලින් හිටපු හැම රාජ්‍යනායකයෙක්මත් කලේ එල්.ටී.ටී.ඊ. එක කියන වෘකයාව ඩයිනෝසර් ගානට පුම්බපු එක. හැබැයි මහින්දගෙ කාලෙ වෘකයව වෘකයා විදියට දැකලා ඌට ටොපිය දුන්නනෙ. දැන් තියෙන ප්‍රශ්ණෙ වෘකයා මැරිල. හැබැයි උගෙ ඇඟේ උන්නු ලේ උරාබොන මැක්කො, කිනිතුල්ලො තවම එහෙ මෙහෙ දුවනවා. නියපොතු දෙකට තදකරලා උන්ව මරාදාන්න පුලුවන්කම තියෙද්දි අපේ මිනිස්සු කරන්නෙ ඒ කිනිතුල්ලන්වත් අර මැරිච්ච වෘකයාගෙ සයිස් එකටම පුම්බන එක.

      අනිවාර්යයෙන්ම ඡන්දයක් කිට්ටු වෙද්දි කරන්නෙ ටෙනිස් බෝලයක් සයිස් දූෂණයක්/වංචාවක් විසාල බැලුමක් ඇතුලට දාලා පුම්බලා විවෘත රථයක ඩිස්ප්ලේ දාලා වීදි සංචාරය කරවනව වගේ සීන් එකක්. බැලුම් බෝලෙට ටෙනිස් බෝලෙ කියල රැවටෙන පිරිසක් ඉන්නව අනිවාර්යයෙන්ම. ඒත් ටික කාලයක් යද්දි මිනිස්සුන්ට තේරෙන්න ගන්නව ඇත්ත. එතකොට වෙන්නෙ ප්‍රමාණාත්මකව අත් දෙක විහිදල බදාගන්න තරම් වටින ප්‍රශ්ණයක් නැති නිසා අර කුඩා ප්‍රශ්ණෙ අමතක කරල දානවා. හැබැයි ඉකෝන් කිව්ව වගේම මේ මිනිස්සුන්ට අමතක වෙන දේ තමයි, "බල්ලා" කියන ගැටලුව තවම නිරුපද්‍රිතව ඉන්නව කියන එක.

      Delete
  7. බිල් ක්ලින්ටන් ජනාධිපති කාලේ මොනිකා ලෙවෙන්ස්කි සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම මත මහත් ආන්දෝලනයක් තිබුනා ටිකක් විතරවත් වයස කට්ටියට මතක ඇති. ඔහුගේ කාළයේ දී ඇමෙරිකාවේ අර්‍රථිකය, ආරක්ෂාව, රැකියා, කොටස් වෙලඳ පොළ ඉතා ශක්තිමත්ව තිබුණා. ඒ කියන්නේ ඔහු තෝරා පත්වුන තනතුරේ වගකීම් ඉතාමත් ඉහල මට්ටමින් ඔහු ඉටුකලා. ඒ පැතිවලින් ඔහුගේ වැරදි හෝ මඟ හැරීම් ගැන කථා නොකොට මොනිකා කතාව අදින වෙලේ එක නිරීක්ශකයෙක් කියලා තිබුණේ ක්ලින්ටන්ගේ තනතුර පාප් වහන්සේ තනතුර නොවන බැවින් ඔහුව විනිස්චය කළයුත්තේ ඔහුගේ තනතුරට අදාල කාණනා ගැන පමණක් කියායි. එය ඉතාමත් නිවැරදි නිරීක්ශනයක් යැයි එය කියවූ මට සිතුනා.

    ReplyDelete
    Replies
    1. මේක නම් ඒ කාලේ මට ක්ලින්ටන් ගැන. හොඳ ජනාධිපති කෙනෙක්.

      Delete
    2. ඒක ඇත්ත. මටත් හිතාගන්න බැරි ඒ දෙක අතරෙ තියෙන සම්බන්ධෙ මොකක්ද කියන එක. හිතන්න, සල්ලාල ආයතන ප්‍රධානියෙක්. මනුස්සයා සේවා කාලයෙන් පස්සෙ කාව කොහොම ඇසුරු කලත් මොකද ඒක ආයතනෙ ඇතුලට ගේන්නෙ නැත්නම්. හැබැයි මනුස්සයා ආයතනෙ සේවිකාවන්ට බලහත්කාරකම් කරනව නම් අන්න එතෙන්දි සේවකයො මනුස්සයට විරුද්ධව නැගී හිටියට කමක් නෑ.

      මීඩියා වලින් කරන හානිය කොයිතරම්ද කිවුවොත්, ක්ලින්ටන් කියද්දි බහුතරයකට මුලින්ම මතක් වෙන්නෙ ඔහුගේ කාළයේ දී ඇමෙරිකාවේ අර්‍රථිකය, ආරක්ෂාව, රැකියා, කොටස් වෙලඳ පොළ තත්වය ගැන නෙමෙයි, මොනිකා ලෙවෙන්ස්කි ගැන!

      Delete
  8. උඹ ගැන ආඩම්මරයි බස්සියේ...දුක නම් මේක දකින්න වටින ජාතියෙ උන් බ්ලොග් කියවනවාද කියන එකයි.වදින්න ඕන තැනටම වැදිලා තියනවා

    ReplyDelete
    Replies
    1. මේක දකින්න ඕන අය බහුතරයක් සයිබර් අවකාශයේ ඉන්න නිසා අනිවාර්යයෙන්ම මේ ලිපිය ඔවුන් අතරට යාවි කියල හිතනවා.

      Delete
  9. ඇත්තටම මේ වගේ පෝස්ට් කියවද්දී හිතට හරිම කලකිරීමක් වේදනාවක් එනවා ලංකාවේ ජිවත් නොවීම ගැන. රටේ වර්ථමාන තත්වය ගැන දැන ගන්නේ fb එකෙන් ,, බ්ලොග් වලින්,, ඒවා දකිද්දී හිතෙනවා මෙහෙම ඉන්න එකත් හොඳයි කියලා... බස්සි ඔයා කියලා තියෙන වචනයක් ගානේ එකඟයි.. fb එකේ සමහර පෝස්ට් දකිද්දී ,, බ්ලොග් වල සමහර ගොබ්බ කමෙන්ට් දකිද්දී ඇඟේ මාළු නටනවා ඇත්තමයි. මේ වගේ ගොන් වස්සෝ කොහොම මේ ලෝකෙට ජාතක වුනාද කියලා. ඔයාගේ පෝස්ට් එක ගොඩක් වටිනා අදහස් වලින් පිරිලා ඒවාට තව දේවල් එකතු කරන්න නෑ..

    ReplyDelete
    Replies
    1. / රටේ වර්ථමාන තත්වය ගැන දැන ගන්නේ fb එකෙන්/

      පිස්සු නැත්තං සෝක්.....

      Delete
    2. ඒක ඇත්ත ඔමා. හිතන්න මේ පෝස්ට් එකේ පවා ඇනෝ කමෙන්ට් වහල තිබුනෙ නැත්නම් මේ කියපු දේවල්වලින් කුලප්පු වෙන කී දෙනෙක් ඇනෝනිමස් ඇවිත් ලිංගිකතවය සහ ප්‍රජනනය පාඩම් උගන්නන්න යාවිද කියලා.

      Delete
    3. විදානේ:

      ඔයාට අමතකද මන්දා පහුගිය කාලෙ රටේ හැබෑ තත්වය පත්තරවලින් හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවලින් දැනගන්න බැරිව තිබුනා කියන එක. ඒ කාලෙ මිනිස්සු බොහොමයක් සයිබර් මාධ්‍යවලට යොමුවුනා. දැන් දැන් ටිකක් ඒ තත්වය යහපත් අතට හැරෙමින් පවතිනව. ඊට සාපේක්ෂව සයිබර් මාධ්‍යවල තත්වය ටික ටික පහලට වැටෙනවා.
      එහෙම නේද ඔමා?

      Delete
  10. යශෝධා

    ඔබේ වයසේ කෙනෙකුගෙන් මෙවන් අදහස් දැක්වීමක් කියවීමට ලැබීම සතුටක්.ඔබ මහ පොලොවේ පය ගසා සිටින කෙනෙක් වීම ගැන ස්තුති කල යුත්තෙ ඔබේ දෙමව්පියන්ටයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුමාර!

      Delete
  11. සම්පූර්ණ ඇත්ත. මාත් ඔය ගැන කතා කරල තියනව. අර බී එම් ඩබ්ලිව් සිද්ධියෙ කාන්තාවට විතරක් ඇගිල්ල දික් කරන්න බෑ නේද
    ඒක පොලීසියයි මාධ්‍යයි නෙයියාඩමක් කර ගත්තා. අන්තිමට ඒ ගෑනිට පිස්සු කියල කිව්ව. පොලීසිය කොහොමද එහෙම කියන්නෙ.
    කෙනෙකුගෙ ලිංගික ජීවිතය එයාට පෞද්ගලිකයි. මේකට හේතුව ලංකාවෙ මිනිස්සුන්ට ලිංගිකත්වය ගූඪ දෙයක් වීමයි. ඒකට හේතු අධ්‍යනය කළ යුතුයි.මැද පෙරදිග මේ තත්වය උග්‍රයි.
    නමුත් අතීත ලංකාවෙ මේ තත්වය තිබිල නෑ.
    හු*** ට පයි**** ට මුළු ලෝකම ඌණනය කරන්නෙ විශාල ලිංගික බඩගින්නක ඉන්න මිනිස්සු

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මෙතන තියෙන අවුල අතීත ලංකාවෙ එහෙම උනේ නෑ. රාජාණ්ඩු කාලවලදි ඒ ඒ රජවරුන්ගෙ අන්තප්පුරවල ගෑණු කීයක් හිටියද කියල අපි හොයන්නෙ නෑනෙ. අපි කතා කරන්නෙ ඒ ඒ රජවරු රටට කරපු සේවය ගැන විතරයි. වෙන එකක් තියා "එකගෙයි කෑම" කියන එක ඒ කාලෙ ලංකාවෙ පිලිගත් විවාහ ක්‍රමයක්.

      මේ තත්වය ඇතිවෙන්නෙ සුද්දා අපේ රටට බලෙන් ඔබ්බවාපු වික්ටෝරියන් සභ්‍යත්වය නිසානෙ. අපි දෙන්ඩ සර් දෙන්ඩ කියලා ඒ සංකල්ප අපේ රුධිරයට එන්නත් කරගෙන. හැබැයි සුද්දා ඉස්සරහට යද්දි ඒ මානසිකත්වය හලලා වඩා හොඳ අතට අනුවර්තනය වුනා. අපි, පරම්පරාවෙන් පරම්පරාවට එහෙමමයි.

      Delete
  12. ඇත්ත තමයි බස්සි...
    මතකද මේධාවි දෙශප්‍රිය.. අවු 16 ක කෙල්ලෙක්... එක්ස් ඒලියන් වීඩියෝ එක කරා... එතැන්දි මිනිස්සු හැසිරුනු විදිය.. රටේ ප්‍රසිද්ධ මිනිස්සු පවා මේ දැරිවිට නොසෑහෙන්න චෝදනා එලලකරපු හැටි...
    (මං හිතන්නේ බස්සි මේ ගැන පෝස්ට් එකක් දැම්මාද කොහෙද-)

    FB එක නිකං වඳුරන්ට දැලි පිහි දුන්නා වගේ.. කපාගෙන කපාගෙන කපාගෙන යනවා.. හරිම අප්‍රසන්නයි..

    තව එකක් .. අර දීප්ති ගුණරත්න ගේ "ග්‍රස්ථික නියුරෝනියාව" විකාර...

    හොද ලිපියක් බස්සි....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ විදානේ!

      පුරවැසි මාධ්‍ය කිවුවට එෆ්.බී. එක දැන් මාළු කඩේ මාධ්‍ය වගේ වෙලා. මරාගෙන මැරෙන්නයි, විරුද්ධවාදීන්ගෙ එව්වා මෙව්වා පලන්නයි යන මිනිස්සු තමයි වැඩිහරියක් ඉන්නෙ.

      Delete
  13. ලංකාවේ දේශපාලනය කිසි වැදඝැම්මකට නැති මජරයක් වෙන්නේ මෙතනදීය, මැතිවරණයට කලින් රූපවාහිනී අවසන් සටන දේශපාලනික කතිකාවත බැලුවා නම් ලංකාවේ දේසපාලනේ හෙලුව බලාගන්න තිබ්බා. ඉදකින්.

    අහ් වෙල් සේඩ් බස්සි !!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම!

      මම බැලුවා ස්වර්ණවාහිනියේ අන්තිම හටන. තනිකරම විහිලුවක්. කාටවත් තමන්ගේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නවත්, දූෂණය හෝ වංචාව ඇති තැනට ඇටෑක් කරන්නවත් වුවමනාවක් නැහැ. අදින්නෙම කුණු.

      Delete
  14. ලංකාවේ දේශපාලනය කිසි වැදඝැම්මකට නැති මජරයක් වෙන්නේ මෙතනදීය, මැතිවරණයට කලින් රූපවාහිනී අවසන් සටන දේශපාලනික කතිකාවත බැලුවා නම් ලංකාවේ දේසපාලනේ හෙලුව බලාගන්න තිබ්බා. ඉදකින්.

    අහ් වෙල් සේඩ් බස්සි !!

    ReplyDelete
  15. ලංකාවේ දේශපාලනය කිසි වැදඝැම්මකට නැති මජරයක් වෙන්නේ මෙතනදීය, මැතිවරණයට කලින් රූපවාහිනී අවසන් සටන දේශපාලනික කතිකාවත බැලුවා නම් ලංකාවේ දේසපාලනේ හෙලුව බලාගන්න තිබ්බා. ඉදකින්.

    අහ් වෙල් සේඩ් බස්සි !!

    ReplyDelete
  16. හොද ලිපියක් කියලා හිතෙන්නෙහිය. කලටිපොල් නිසා මාතලන් ට කිවා වගේ කියලා මාරු වෙන්නෙහිය...
    යා ෂා ට කලටිපොල් කියන්නේ හරියට සැන්ඩි නැතිව ගල් බෝතලයක්ම ගැසුවා වගේෙය.

    4/15 ඉදං ලියන්නේ - යා ෂා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබේ බ්ලොග් එක ෆලෝ කලා.

      Delete
  17. මම හිතන්නේ ගාල්ලෙන් ඉල්ලු හඳුන්නෙත්ති හෙම පැරදුන නිසා කියන ඒවා වෙන්න පුළුවන් හිතවතුන් ගෙන්. මම බුකියේ දැක්කා එහෙම නම් රන්ජන් , වෙල්ගම , රත්තරන් වගේ අයත් වෙන පැතිවල දිනුවනේ. පොස්ට් එක කාලීනයි බස්සි.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් අජිත් අයියේ!

      මේ කියන දේ දේශපාලනයට විතරක් ලඝු කොට හිතන්න එපා. මම කියන්නේ මත ගැටුමක් නිර්මාණය වෙන ඕනෑම තැනකදි අපේ මිනිස්සු හැසිරෙන ආකාරය.

      උදා :
      ගප්පියාගේ කාටුනය, ආක්ෂා සුධාරිගේ කේස් එක, බී.එම්.ඩබලිව් සීන් එක බලන්න.

      Delete
  18. මුහුණු පොතේ දියවන්නාව දිය කරන්නට දත කට මදින බයි, ටොයි, ජෙප්. පෙර‍ටු එකී නොකී මෙකී සැම කියවා මෙනෙහි කළ යුතු අමුලික සත්‍යකි. බස්සිගේ හෙළුවෙන් වැනීමට ම්ගෙ බොක්කෙන්ම ආචාරය....

    ReplyDelete
  19. ඔව් අපේ රටේ ගොඩක් ඉන්නේ ඔය වගේ ඇගිල්ලේ ඇදේ හොයන පොලිටිකල් එක්ස්පර්ට්ල තමයි

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. මං දැක්කා අද උදේ වැටුන කමෙන්ට් එකකත් එක්කෙනෙක් ඇඟිල්ලේ ඇදේ හොයලා. ඉතින් තවත් මොන කතාද!

      Delete
  20. මේ පෝස්ට් එකට 100% එකඟයි. වෙන කියන්න දෙයක් නෑ. නියමයි.

    ReplyDelete
  21. බස්සි මතුකරන තර්කය ගැන මම දරන්නෙත් ඔය අදහස්මයි. මම හිතන්නේ බස්සිත් ඒක දන්නවා ඇති.
    අපි විවේචනය කරන්න ඕනෙ ක්‍රියාව මිසක් පුද්ගලයා නොවෙයි කියන එක මටත් අමතක වෙනවා මමත් ලාංකිකයෙක් නිසාද කොහෙද.

    ඇත්තෙන්ම පහුගිය දවස්වල තමනුත් මඩේම කරවටක් ගිලීගෙන ඉන්න ගමන් අනිත් පුද්ගලයන්ට ගහපු මඩ දැකලා මම පැත්තකට වෙලා බලාගෙන හිටියා. ඇත්තෙන්ම ඒවා මඩම කියන්න බෑ. අසූචි කියන එකයි හොඳම වචනේ. සමහරු මොනතරම් ග්‍රාම්‍ය විදියටද තමන්ගෙ විරුද්ධ වාදීන්ට පහර දුන්නේ. මොනතරම් ප්‍රාථමික ලක්ෂණද පෙන්නුම් කලේ කියලා FB එකේම දේශපාලන පෝස්ට් වලට ආපහු ගිහින් බැලුවොත් මතක් කර ගත්තෑකි.

    මිනිස්සුනෙ ශරීරාංග, ගෑණුන්ගෙ චරිතය, ඇඳුම, මේවා තමයි ප්‍රශ්ණ. සමරරු මේවයින් කොච්චර මන්මත් වෙනවද කිව්වොත් තමන් විවේචනය කරනන් හිටපු කාරණාව තමන්ටම අමතක වෙලා තිබුනා. අනික සමහර ඒවා ඇත්තෙන්ම පොදු ප්‍රශ්ණ වලට වඩා පෞද්ගලික කෝන්තර. Personal Vendetta. ඒ කෝන්තර පිරිමහින්න සෙනග එකතු කරගන්න එක, මිනිස්සු නම්මාගන්න එක තමයි දකින්න තිබුනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මට මතකයි ඩූඩ් මේ ගැන අපූරු ලිපියකුත් ලියල තිබුනා.

      කුජීතයි කියන්නෙ, මම දැක්ක එක නිවුස් සයිට් එකක ප්‍රවෘත්තිය පටන් ගන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවෙන්. අන්තිමට පාඨකයන්ගෙ අදහස්වල තියෙන්නෙ තනිකර රනිල්ගෙත්, රවීගෙත්, අකිල විරාජ්ගෙත් සමලිංගිකත්වය ගැන ඉතා ගැඹුරු, ද්වේෂය වෑහෙන, කතිකාවක්. හැමෝටම අමතකයි ලිපියෙ මොනවද තිබුනෙ කියන එක.

      මේක මෑතකදි වර්ධනය වුන සීන් එකක් විදියටයි මට පේන්නෙ. අනික මේ අයහපත් ප්‍රවනතාවය එන්න එන්නම වර්ධනය වෙනවා වගෙත් පේනවා.

      Delete
  22. අනෙක් හැමෝම තමුන් හිතන මට්ටමේම ඉන්නවනං කිසි ප්‍රශනයක් නෑ නේ,
    ඒ නිසා බිඳෙන් බිඳ පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි
    නැග එන නව අදීන චින්තනය ගැන සතුටුයි

    ReplyDelete
    Replies
    1. එකවරම සම්පූර්ණ සිස්ටම් එකම කණපිට පෙරලන්න බෑ. ඒත් අඩියක් පිටිපස්සට යද්දි අඩි එකහමාරක්වත් ඉස්සරහට යන්න ඕනෙ.

      Delete
  23. ඇත්ත බස්සියෝ ගොඩාක් අය හැමදේම හොයනව හොයන්න ඕන දේ ඇරෙන්න​.

    ReplyDelete
    Replies
    1. අන්තිමේ හූනු වලිගයක් කැඩිල වැටෙනවා දැක්කම කිඹුලෙක් මරපු තරම් ආතල් එකකින් හුරේ දානවා.

      Delete
  24. //වැඩියත්ම දුකට කරුණ එයත් නොවෙයි. හිසේ සිට දෙපතුල තෙක්ම අසූචිවලින් නැහැවීගත් ඒ මිනිස්සු, "අහා! ඒ ඇඟිල්ලේ දෙවැනි ඇඟිලි පුරුකේ තද දුඹුරු පාට උපන් ලපයක් තිබුනා" යැයි හඬතැලීමයි.//
    බස්සිගේ කතාවට මල් මිටක් දීල මදි.

    ලංකාවේ කුහක දේශපාලනයේ සැබෑ නිරුවත ගැන පුහු සදාචාරවාදීන්ගේ රෙදි ගැලවෙන්න කියල තියෙනවා.
    දැන් ඔය නිළියන්ට වේසියො කියන කී දෙනෙකුට හීනෙන්වත් ඒ අය එක්ක බුදියන්න ලැබෙනවද,,,,
    ඔතන තියෙන්නෙ ලිංගික ඊර්ෂ්‍යාව....

    ReplyDelete
    Replies
    1. අඩු වැඩි වශයෙන් ලිංගික ඊර්ෂ්‍යාවත්, තර්කයක් ගොඩනැගීමේ නොහැකියාවත් තියෙනවා.

      මම ඊයෙ අහගෙන ගැහැණු දෙන්නෙක් පාර්ලිමන්ට් යන්න හදන ගෑණු සේරටම පලු පැලෙන්න බනිනවා.

      Delete
  25. බක්ෂියේ මේක "ඔලුව තදින් නරක වෙච්ච මිනිසුන් පිරිසක් පිරිච්ච අරුම පුදුම රටක්" ...මිනිස්සු ඡන්දෙන් පරාද කරපු එවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන රටක් ඕයි මේක ....


    අපි රාග වයනවා අපි බයිල නටනවා
    හිතුනොත් පෝයදාට සිලුත් ගන්නවා
    දණුත් බෙදන්වා මස් මාළුත් කනවා
    බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ
    දෙව් විමන්වලින් බැහැලා
    සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැහැනේ

    අපි සන්ඩු කරනවා සාමය සොයා දුවනවා
    වරදක් තේරුනාම හිසත් නමනවා
    අපි දුකත් විදිනවා සමහරු සැපත් විදිනවා
    ඊරිසියාව ක්‍රෝධය දෙක අපි හදුනනවා

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ.......

    අපි ප්‍රේම කරනවා අතරේ ව්‍රෛර කරනවා
    අදුරේ වැටුනු වලේ දවල් වැටෙනවා
    කණුත් තියනවා හිතුනම ලණුත් අදිනවා
    බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ

    ඉරයි හඳයි පායන්නේ
    අපේ ලෝකෙ පවතින්නේ
    මෙවන් මිනිස් හැඟුම් නිසානේ

    ගායනය - ක්ලැරන්ස් විජේවර්දන

    ReplyDelete
    Replies
    1. "නිස්සෝ සුදුස්සෝ යටකොට
      පුස්සෝ වැඩ දෙනවා යමරෙට
      සෙතක් වෙයිද එහෙම රටකට ඕයි.."....

      Delete
    2. සහතික ඇත්ත සිංදු ඇනෝ... ඉන්දියන් සාගරේ අමුතු ඇටේ.

      Delete
  26. මමනං ගීතා නගාට ඒ කලෙ ඉඳලම මනාපයි ඕං. කවුරුවත් මොකුත් කියනවා නෙමෙයි එයාට.
    (අර දීප්ති කියන පෘෂ්ඨික ආතතිය තමා මටත් තියෙන්නෙ..හැක්)

    ReplyDelete
    Replies
    1. නෑ බොල 'හොලොසීනික නියුරෝසියාව' වගේ මොකද්ද වචනයක් ඌ කියන්නෙ.

      Delete
    2. මම ඒක ඉවර වෙනකං ඇහුවෙත් නෑ කණ ගැටගැහෙයි කියලා බයේ....

      Delete
  27. මමත් බෙක්කෙන් එකගයි උඔගේ ලිපියත් එක්ක...
    ගැබුරැ විග්‍රහයක් දෙන්න මට ලොකු දේශපාලන දැනුමක් නැති වුනත් උඔගේ ලිපිය පැහැදිලියි.

    ReplyDelete
  28. මාපටැඟිලි දෙකම ඉස්සුවා...

    ReplyDelete
  29. ඔබගේද මාතලන් ගේද පෝස්ට් දෙකම කියවීමි. මට ඇති ප්‍රශ්ණය නම් ගීතාද​, වෙල්ගමද, මුතුහෙට්ටිගමද​, ප්‍රේමලාල්ද යන සියලු දෙනාම සිටින්නේ කොහේද කියාය​. ජනතා චන්දය ලැබීම පමණක් සුදුසුද​? නුසුදුස්සෝ පාර්ලිමේන්තු යන්නේ සිස්ටම් එකේ වැරදි නිසාවෙනි. සිස්ටම් එක නිවරදි කරනතුරු නුසුදුසු එවුන් ඕකට රිංගන්නේය​. අදවනවිට ගීතා​, වෙල්ගම, මුතුහෙට්ටිගම​, ප්‍රේමලාල් පාර්ලිමේන්න්තුවටයාම ගැනද​, හඳුන්නෙත්ති නොයාම ගැනද සමාජ කතිකාවතක් ඇතිවී ඇත​. සිස්ටම් එක නිවරදි කිරීමට නම් එම කතිකාවත සහ විරෝදය ඇතිවිය යුතුමය​. චන්දය දීපු උන්ටද පසුතැවීමට වැරදුනු තැන පෙන්වා දිය යුතුමය​. වෛද්‍යවරයෙක්ට සහතිකයක් අවශ්‍ය නම්, පෙරකදෝරුවෙකුට සහතිකයක් අවශ්‍ය නම්, ඉංජිනේරුවෙකුට සහතිකයක් අවශ්‍ය නම්, ඇයි පාර්ලිමේන්තුවට පමණක් වෙනසක්? මිනී මරා හිරගෙදර ඉන්න එකාද අද වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවේය​. මේවාට සාමාජයෙන් විරෝදයක් ඇතිවීම චන්දදායකයන් හට​ කල ගොං කං ගැන නැවත සිතාබැලීමට ඇති අවස්ථාවකි. ගීතට වේසි කීවද​, වෙල්ගමට වලා කීවද​, උන්ට පඩේකටවත් ගානක් නැති නැත අපි පමනක් සුචරිතවී පලක් නැත​. ගීතාව අම්ඹපාලිට සමාන කිරීම ඉතාමත් දුර්වල උදාහරනයක් ලෙස සලකමි. අම්ඹපාලී නිවන් ගියද ගීතා පාර්ලිමේන්තුයන්නෙ කුමකටදැයි අප කව්රුත් හොඳින් දන්නා බැවින් අප අපටම බොරු කර ගැනීම නවතමු.

    ReplyDelete
    Replies
    1. //අපිට හොරුන්, දූෂිතයන් හෝ වංචාකරුවන්ට එරෙහිව එකාවන්ව නැගී සිටින්නට තියෙන ලොකුම බාධාවකි, හඳ පෙන්නූ විට ඇඟිල්ල දිහා බැලීම.//

      //පෞද්ගලිකව මට ගීතා කුමාරසිංහ ගැන ඇත්තේ නොපහන් හැඟීමකි. නමුත් ඒ ඇගේ කටකමසෙයියාවක් නැති වාචාල කියවිල්ලත්, මැතිවරණ වේදිකාවල ඇදබාන අගමුල නැති, තැම්බූ නූඩ්ල්ස් ගොඩක් බඳු කථා පැවැත්වීමත් නිසයි.//

      //රනිල්, දේශපාලනික අයිකන් එකක් ලෙස ගත්කල අපි ඔහුට එරෙහිව නැගී සිටිය යුත්තේ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන මිසක රනිල් කොලුකාරයෙකැයි කියමින් නොවෙයි.//

      කොටියාගේ හිස දෙස නොබලා වලිග කොනට වෙඩි තියන්නේ නැතුව ආපහු මුල සිට කියෙව්වොත් නරකද?

      Delete
  30. පව් කාරයන්ට ගල් ගහන්න හදන ඔක්කොටම වදින්න දාල තියෙනවා.

    ReplyDelete
  31. //තෝ බුදු දහමට අපහාස කරන්නේ, කතෝලික ආගමත් විහිලුවට ගනින්කෝ යැයි අසන උන්ගෙන් //

    වැඩියෙන්ම හිනායන කතාවක් තමයි.
    කතෝලික/ක්‍රිස්තියානි ආගම, සාන්තුවරයින්, පූජකයින් ගැන තරම් විවේචන හා හාස්‍යජනක කතා, චිත්‍රපටි වෙන කිසිම ආගමක් ගැන නෑ. ඒවා ලියල හදල තියෙන්නෙත් ඒ රටවලම තමයි.
    මේ මිනිස්සු අඩුගන්නෙ කන්‍යා මව්වරු/සහෝදරියන් හා පියවරු/සහෝදරවරු මෙන්ම පාප්වහන්සේ ගැන තියන කොමෙඩි ෆිල්ම්වත් බලල නැද්ද ? කොන්වන්ට් ගැන පූජකයින් හා choir boys ගැන ජෝක්ස් හා ඇත්ත විවේචන කියවලවත් නැද්ද?

    ආගම්වල වැරද්දක් නෙමෙයි රටේ වැරද්දක් මං හිතන්නෙ.
    කවුරු බැන්නත් කතෝලික/ක්‍රිස්තියානි රටවල පෙන්නුව ඩාවින්චි කෝඩ් චිත්‍රපටිය මෙහෙ තහනම් කලානෙ.
    වෙන එකක් තියා රාවණා වගේ මිත්‍යාවත් ගැන කරපු කොමෙඩි ෆිල්ම් එකට විරුද්ධව පෙලපාලි ගිය හාමුදුරුවොත් ඉන්නවනෙ.
    ලංකාවෙ හදපු පලමු කාටූන් ෆිල්ම් එක තහනම් කරගත්තනෙ දුටුගැමුණු ගැන කාටූන් හොඳ නෑ කියල.
    බොහොම පිරිසිඳු සංස්කෘතික ඇමතියෙක් පොලීසියට බැන්න පොලිස් බල්ලන්ට විවාහ චාරිත්‍ර කිරීමෙන් සංස්කෘතියට හානි වෙනව කියල
    දූෂණය , අපරාධ, සමාජයේ ආචාරශීලීනොවන බව ඉහවහා ගිහින් ඒත් සභ්‍යත්වය හා ආගම පිට එවුන්ගෙන් හා විහිලුවක් කරන එවුන්ගෙන් රැක ගැනීමටනම් තලේබාන් ISIS සයිස් එකට ඉදිරියට එන එවුන් ඉන්නව.

    තව හිනායන දුක හිතෙන දෙයක් තමයි බුද්ධාගමේ තමන් විසින්ම පත්වුන ආරක්ෂකයින් ""මුස්ලිම් මිනිස්සුනම් තමන්ගෙ ආගම ගැන මෙහෙමයි ඒත් බෞද්ධයින්ට එහෙම හැඟීමක් නෑ"" කියල කියන එක.
    බුද්ධාගම කියන්නෙ ඒක තමයි, අන් මතයන් ඉවසන tolarant, විවෘත, විචාරශීලී, විවේචනයට හෝ හැදෑරීමට ඉඩසලසන, නීති හා ඇදහිලි නොව සිතමුල් කර ගත් අතිශය පෞද්ගලික එකක් කියල ඒ අය හිතන්නෙන්නෙ නෑ.
    බුද්ධාගම හා බෞද්ධයින් ඉස්ලාම් වගේ වුනොත් එතකොට ඉබේම බෞද්ධ දර්ශනය විනාශවෙලයි කියන එක තේරෙන්නෙ නෑ එහෙම නැත්නම් ඔවුන් කැමතියි තලේබාන් ක්‍රමයට

    ReplyDelete
    Replies
    1. ප්‍රා ගෙන් එදා මෙදාතුර ලැබුන දිගම කමෙන්ටුවද මන්දා.

      මෙහෙමනෙ ප්‍රා, ඔය කතෝලික ආගම ගැන මේ මේ විදියෙ ජෝක්ස් තියෙනව කියල අපේ අයියලට කිවුවට සත පහක වැඩක් නෑ උන් ආයෙම අහන්නෙ "අඩෝ ගප්පියා, කතෝලික ආගමටත් ජෝක්ස් එකක් කරපංකො." කියල විතරයි. ඒකයි ගප්පි උදාහරණයක්ම දුන්නේ.

      දැන් ලංකාවෙ බෞද්ධාගමේ ප්‍රභේද දෙකක් තියෙනවනෙ. එකක් සම්බුද්ධ දර්ශනය. අනික හම්බුද්ධාගම. හම්බුද්ධාගමේ තියෙන්නෙ තලෙයිබාන් ක්‍රමයට ආගම ප්‍රචාරය කිරීමක්. අවාසනාවකට, අදකාලෙ වැඩිපුර සද්දෙට ඇහෙන්නෙ ඔය හම්බෞද්ධයන්ගේ ගෝරනාඩු.

      Delete
  32. ඇත්ත බස්සියෝ, ලියැවිල්ලට එකඟයි. මරු. ඇඟිල්ලේ ඇදේ හොයන අය වැඩියි තමයි. බහුතරයක් එහෙමයි.

    ReplyDelete
  33. ඕක තමයි බං වර්ථමාන තත්වය.. කතා කරලා වැඩක් නෑ.. අපේ රටේ මිනිස්සු අනික් හැමෝටම වැඩිය වෙනස් කියන්න ඕන්න ඕකත් හන්දා වෙන්න ඇති බං..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඉඳිකටු අයියා. කතා කරාම එකෙක් දෙන්නෙක් හරි නැවතිලා ආපහු හිතුවොත් ඒකත් ලොකු දෙයක් නේ?

      Delete
  34. උඹ හරි බං.දැන් මේ ඉහතින් නම කියවෙච්චි වෙල්ගම ගනින්.ඌ කතාවක් කෙරුවාම මාධ්‍ය කරන්නේ ජනතාවට ප්‍රවෘත්ති නොව ආතල් සැපයීමේ පරමාර්ථයෙන් අර කතාවේ නොසන්ඩලාම කොටස විතරක් උපුටා දක්වලා එයට ප්‍රචාරය දෙනවා.එතකොට වෙල්ගමයා එක පාරක් කරපු වැරදි දේ නැවත නැවත මාධ්‍ය තුලින් කරනවා.

    ඔය ගීතා,පබා,අනර්කලීලා ගැන මගේ තියෙන්නේ පැහැදීමක් නොවේ.හැබැයි ඔවුන් "වේසියන්"ලෙස හැඳින්වීමට මාද විරුද්ධයි.එක ගමනක් පබා වේසියෙක් කියලා කිව්වා එකෙක්ගෙන් මම ඇහුවේ "ඇයි උඹ එකිත් එක්ක බුදියාගත්තාද"කියලා විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒක ගැන වෙනමම කතා කරන්න වෙනව මනෝ. ලංකාවෙ මාධ්‍ය ඕනැම කුණුකන්දක් මාකට් කරලා සල්ලි හොයන්න තරම් පහලට වැටිල තියෙන එක හරිම අවාසනාවක්.

      උඹ යාලුවට දීල තියෙන්නෙ කට උත්තර නැතිවෙන සුපිරි රෙස්පොන්ස් එකක්.

      Delete
  35. මුලින්ම කියන්න ඕනේ මේ දිනලා තියෙන අය මොන විදියට හරි චන්දදායකයා ආකර්ෂණය කරගෙන තියෙනවා. එතනට ඔවුන්ට පට බඳින ද්වේශ සහගත ලේබල් අදාළ වෙන්නේ නෑ. අපි හැමෝගෙම තියෙන වරදක් තමයි, අපි ඉන්න ලෙවල් එක තමයි හරි කියලා හිතන එක. හිතලා ඒ වගේ හරි ඊට ටිකක් උඩ අය හරි පාර්ලිමේන්තු යවන්න ඕනේ කියන සිතිවිල්ල. නමුත් පහල ස්ථරයේ මිනිස්සු හිතන විදිය අපි දන්නවද ? ඒ අය තමයි ජනප්‍රිය අය තෝරන්නේ. අපිට ඒකට විරුද්ධ වෙන්න පුලුවන්ද ? බ්ලොග් ලෝකේ ඉන්න මේ රටේ පොදු සමාජ හරස්කපුමක් නිරූපණය වෙන විදියට වගේ, දේශපාලනයේත් ඉන්නේ මේ රටේ සමාජයේ හරස්කැපුමක්. අපි එතැනට විතරක් එකම ජාතියේ මිනිස්සු ටිකක් යැව්වොත්, රටේ ඉන්න මිනිස්සුන්ට පිස්සු හැදෙනවා. මේ යතාර්ථය බාර ගන්න බැරි අය තමයි, තමන් අකමැති අයගේ ඇදයක් හොයා ගන්නේ.
    අනිත් දේ තමයි මේ මිනිස්සුන්ට අලවන ලේබල් හැදෙන්නේ ග්‍රාම්‍ය කියලා විද්වත් සමාජ වල හඳුන්වන, ගමේ ඕපාදුප ගෙයින් ගෙට ගෙනියන අබිලිං චරිත ඔස්සේ. කොයි වෙලාවෙත් කුණු රසය හොයන අය. ඒ මිනිස්සු තව මිනිහෙක් දිහා බලන්න භීතිකාවක් හදලා තියෙනවා. ගණිකාව මේ සිස්ටම් එකට නැතිව බැරි කෙනෙක්, හොරා, දූෂකයා, වංචාකාරය එයාලත් මේ සිස්ටම් එකේ කොටස් කාරයෝ. අපි කාටවත් උපාධිකාරය කියලා හිනාවෙන්නේ නෑ දැන්. නමුත් 88-89 කාලේ කැම්පස් යන කෙනෙක් එක්ක කථා කරන එක මග ඇරපු අය හිටියා. සමාජය මිනිස්සු කෙරේ දක්වන භීතිකාව, තමයි හේතුව. එක් කෙනෙක් දකින කෝණයෙන් අනිත් යට දකින්න සැලැස්වීම තමයි අවුල. ඒ ඒ කෙනාටම තේරුම් ගන්න අරින්නේ නැත්තේ ඇයි කියන එකයි මගේ ගැටලුව. මේකට කියන්න ඕනේ "ගමේ අබිලිංලාගේ චින්තනය" කියලා. කාලීන මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත සුදීක අයියේ... මම කියලා නතර කරපු තැනින් තවත් ඉස්සරහට ගිහින් තීයෙනවා මේ කමෙන්ටුව. ඊගාවට හොයන්න ඕනෙ හොරු කියලා දැන දැනම, දූෂකයො කියලා දැක දැකම ඒ මිනිස්සුන්ට කතිරෙ ගහන්න හේතුව.

      Delete
  36. මේ සියල්ල කතිකාවකට ලක්වෙන්නේ මම හිතන්නේ වැඩිපුරම සමාජ මාධ්‍ය තුල. සමාජ මාධ්‍ය තුල තරම් දාර්ශනික, විප්ලවීය සාධාරණ අති පණ්ඩිත බකපනඩිත පිරිසක් මං හිතන්නේ තුලෝකේ කොහෙඅවත් නැතුව ඇති . මේ බස්සි කියන හැම දෙයක්ම වගේ සමාජ මාධ්‍ය භාවිතත් අපි වැරදි කොනෙන් අල්ලාගැනීම තමයි මේකට හේතුව. හැම කෙනෙක්ම විවිධ අදහස් දක්වලා තියෙනවා . අනික ගීතා පාර්ලිමේන්තු යාම හෝ නොයාම වගේම මුතු හෙට්ටිගම පාර්ලිමේන්තු යැවීම හෝ නොයැවීම ජනතාවගේ කාර්යයක් නෙවෙයි . මොකද ඡන්ද බලයෙන මොනවා කලත් පක්ෂ නායකයාට ගොට්ට අල්ලනවානම් පැරදුනත් පාර්ලිමේන්තුවේ .එස්.බී වගේ ජනතාවගෙන ප්‍රතිඋක්ෂේප වෙච්ච මළකුණු ආපහු පාර්ලිමේන්තුවට ආවා වගේ . ගීත හෝ මුතු හෙට්ටිගමත් නායකයාට ගොට්ට අල්ලුවනම් ඇතුලේ . මතකද ඡන්ද දෙදාස් පන්සීයක් ගන්න බැරිවෙච්ච මර්වින් සිල්වාවත් ජාතික ලැයිස්තුවෙන් ඇතුලට ගත්තේ චන්ද්‍රිකා නෝනා . ඉතිං මහජනයා හැටියට දැන් වටහා ගන්න ඕන කතිරයට වටිනාකමක් නෑ කියන එක විතරයි . පත්වෙන මිනිස්සුන්ගේ පැටිකිරිය නෙවෙයි

    ReplyDelete
    Replies
    1. වැල් සේඩ් ඉවාන්. මේක තමයි මට ඇත්ත. වැරදි කොන ඇල්ලීම තමයි බස්සි කියන්නෙ. නොයායුතු උන් විල මැද පිස්සන් කොටුවට යන්නෙත් ඔයා කියන ලෙසටම තමයි. ........හැබැයි මේ සේරම ඇමෙරිකානු කුමන්ත්‍රන වෙන්ඩ බැරිද?.............මව්බිම අන්තුරේ බේරාගන්ඩ වරෝ......

      Delete
    2. //මොකද ඡන්ද බලයෙන මොනවා කලත් පක්ෂ නායකයාට ගොට්ට අල්ලනවානම් පැරදුනත් පාර්ලිමේන්තුවේ .එස්.බී වගේ ජනතාවගෙන ප්‍රතිඋක්ෂේප වෙච්ච මළකුණු ආපහු පාර්ලිමේන්තුවට ආවා වගේ //

      ඒකනම් සහතික ඇත්ත. තමන් සිරිලංකන් ස්ටයිල් දේශපාලඥයෙක් මිසක පරිණත නායකයෙක් නොවෙන බව මෛත්‍රී ඔප්පු කරලාම පෙන්නුවා.

      Delete
  37. ....// පිරිමියෙක්ගේ වාචාල කම වීරකමක් ලෙස සලකා ඔහුට මල් පිදීමත්, ගැහැණියකගේ වාචාලකම ඇයට ගල් ගසා මරා දැමීමට නිමිත්තක් කරගැනීමත්ද සිරිලාංකීය අනන්‍යතාවය?//........
    හරියටම හරි...

    ReplyDelete
  38. කට ඇරහං බස්සි.. රන්පවුමක් දාන්න.
    අම්මප කියන්න තියෙන දේ කිරිගහට මෝල් ගහෙං ඇන්න වගේ කියල තියෙනවා. මං මේක මගේ මූණුපොතේ ෂෙයා කරනවා...

    ReplyDelete
  39. ඔතන තියෙන්නෙත් බස්සි කෙලින්ම වරද දැක දැකත් තමන්ගේ ආතල් ඒකට අනුන්ගේ කුණු සෙවීමේ න්‍යාය.. වැරැද්දට වැරදි කියන්න කොන්දක් නැති කම.. තාමත් තියන වහල් චින්තනය.. හිත්වල තියන ප්‍රාථමික කුහක ස්වභාවය.. ගීතා ව විවේචනය කරන වුන්ට අර වල්ගමයා ආතල් දෙන්නකු වෙන්නේ උන්ගේ හිත් වල තියන පෞර්ෂ දුර්වලභාවය..
    නියම තැනට නියම විදිහේ කාලීන පොස්ටුවක් බස්සි..
    පාර්ලිමේන්තුවේත් දැන් ඉන්න උන් වරදක් කලාම උන් නිදහස් වෙන්න කියන්නේ කලින් ඉන්න අය මීට වඩා කළා අරක කළා මේක කළා කියලා ඉතින් අපේ ගොන් හැත්ත එකත් ඇත්තනේ කියලා අනුමත කරනවා මිසක් කවදාවත් කියනවද තොපිව පත් කලේ උන් කරපුවා වැරදි නිසා ඒවා නොකරන්න කියලා නෑ.. අපේ උන් දෙකට බෙදිලා උන් වෙනුවෙන් ගහ ගන්නවා..
    ආයෙත් කියන්නේ පට්ට පොස්ට් එක..

    ReplyDelete
    Replies
    1. කලින් අය මේක මේක කලා කියලා වැරදි වහන එකත් පාර්ලිමේන්තුවෙ අනන්‍යතාවය වෙන්නැති ෂැගියෝ... ඒත් එක්කම වෙන දෙයක් තමයි අනුන්ගෙ වැරදි පිම්බීම නිසා තමන්ගෙ වැරදි නොපෙනී යන තත්වයට පත්කර ගැනීම.

      අපේ හරක් කවදත් කලේ දේශපාලුවො වෙනුවෙන් මරාගත්තු එකනෙ. මේ වතාවෙ කලින්ට වඩා අඩුයි ඒක. ටිකක් මොලේ පෑදිලා වෙන්නැති.

      තැන්කූ වේවා ෂැගියෝ!!

      Delete
  40. Ammatasiri.. Sera wanguwak aran. Kane weli puke pas. Hats off bassi...

    ReplyDelete
  41. පට්ට පෝස්ට් එකක්. නියමයි. මට මතකයි බස්සි ජනවාරි 8 ට කළිනුත් ඔය විදිහටම හතර වටේටම නෙළපු සුපිරි පෝස්ට් එකක් දාල තිබ්බා :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඡන්දයක් කන ගාවට එන්ඩම ඕනෙ ඉතින් බස්සිට පෝස්ට් ලියන්න.
      තැන්කිව් මනා!!

      Delete
  42. ඒත් පුදුම වැඩේ කියන්නේ ගීතට බනින්නේ හිරුනිකාගේ ළමයා හම්බුවෙන්කන් බලා ඉන්නේ වැඩි හරියක් ගැනුමනේ...
    මේක මහ අරුම සමාජයක් අක්කේ...

    ReplyDelete
    Replies
    1. හැක්! දැක්කද හිරුණිකා කවියක් ශෙයා කරල තිබුන එකක ස්ක්‍රීන් ෂොටක් දාල තිබුනා "හිරුණිකා ගැබිණියක් බව තහවුරු වේ" කියලා. හිනා ගිහින් මලා ඒක දැකල.

      Delete
  43. පට්ට පට පට බස්සි.අපේ උන්ගේ තියෙන ලොකුම අවුල තමයි ඕක.
    (පට්ට කාලෙක සිට බස්සිගේ නවාතැනට ගොඩ බැස්සත් මේක තමයි මම මුලින්ම හලලා යන කුරුළු පිහාටුව)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති වේවා ජේකොබ් කොල්ලෝ!!

      Delete
    2. එසේම වේවා.එසේම වේවා බස්සි!! :D
      ජේකබ් කොල්ලාගේ රාජධානියටත් ගොඩ බැහැලා ජේකබ් කොල්ලාගේ වැරදි අඩු පාඩු ටිකක් එහෙම පෙන්නලා යන්න ආරාධනා කරනවා බස්සී.

      Delete
    3. අනිවා! ඔන්න මමත් ජේකොබ් කොල්ලගෙ අඩවියට පය තිබ්බා.

      Delete
  44. සුපිරි post එක බස්සි , බොක්කෙන්ම ආචාරය !
    ඔය double standard එක මටත් හෙන ප්‍රශ්ණයක්. කොල්ලෙක් අවුරුදු 18-20 වෙනකන් virgin කෙනෙක් වෙලා හිටියොත් කොල්ලෝ ඔක්කොම ඌව බයිට් කරනවා , හැබැයි කෙල්ලෙක් බැඳපු දවසට එකී virgin කෙනෙක් නොවුනොත් ඒකිව "බඩුවක්" කියල ලේබල් කරනවා. සමලිංගික එකත් same scene , රනිලටයි අකිලටයි අව්ලක් නැත්තම් , වටේ ඉන්න උන්ට අහවල් එකේ අමාරුවක් ද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ගබා... ඔය පිරිමින්ට හොඳා ගෑණුන්ට අවුල් කියන එකනම් තනිකරම කුහකකම. අනික, මනුස්සයෙක්ගේ ගුණයක් හෝ නුගුණයක් පෙන්වන්න යනකොට ඒකත් එක්ක ඒ මනුස්සයගෙ ලිංගිකත්වය ගාව ගන්න එක මොන තරම් ප්‍රාථමිකද? ඒකෙන් කියන්නෙ මේ මිනිස්සුන්ට හරිහමන් විදියකට විවාදයක්වත් කරන්න නොතේරෙන බවනෙ.

      Delete
  45. කලටි-පොල් ගැන බණන්න නං මගෙ ඒ හැටි මනාපයක් නෑ බස්සි අක්කෙ!!  ඒ වුණාට මේක කලටි-පොල් වලට විතරක් නෙවි, අපි කාගෙ කාගෙත් ජීවිත වලට එදිනෙදා වැදගත් වෙන නිසා ම කෙටියෙං අදහසක් දෙන්නං!

    හැමදාම හැම තැනම වැඩිපුර දකින්න වෙන්නෙ මේ ජාතියෙ "ඇඟිල්ලෙ ඇද හොයන එවුං" නිසා, අපි සුළුතරය විදිහට, එයාලා දිහා "මේක ඉතිං අපේම සිරි ලංකාවනේ" කියලා ශෝකෝපහාසයෙන් බලමු!! වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා ම නෑ වගේ පේන නිසා මට නං කරන්න පුළුවං එච්චරයි!!

    (කාලෙකිං මේපැත්තෙ ඇවිල්ලා මේක ලෝඩ් කරගෙනත්, හයිබ'නේට් කර කර තියං ඉඳලා ඔන්න මාසෙකට විතර පස්සෙ අද තමයි කියවලා බැලුවෙ!! ඉතිං එහෙමත් එකේ කොමෙන්ටුවක් නොදා පුළුවනැයි මං අහන්නෙ!! )

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ගොඩ වෙන්න බැරි වුණ එකට ඕං, සමාව භාජනේට දාන්න හොඳේ!!

      Delete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. වෙඩි තියනවා වගේයි අගෙයි බොහොමත්

    ReplyDelete
  48. කියන්න තියන දේ පොල්ලෙන් ගහනවා වගෙ කියා තිබෙනවට බස්සි අක්කට මුලින්ම හිස නමා ආචාර කරනවා...ඒත් කඩේ යන බයියන් ටොයියන් ඇරෙන්න මේවා දැක ගන්නම ඕන පාර්ශවයන් මේවා දකිනවාද කියන එකයි දුක...

    ReplyDelete
  49. කියන්න තියන දේ පොල්ලෙන් ගහනවා වගෙ කියා තිබෙනවට බස්සි අක්කට මුලින්ම හිස නමා ආචාර කරනවා...ඒත් කඩේ යන බයියන් ටොයියන් ඇරෙන්න මේවා දැක ගන්නම ඕන පාර්ශවයන් මේවා දකිනවාද කියන එකයි දුක...

    ReplyDelete