Wednesday, February 17, 2016

වේලිච්ච හදවත් පොඟවන්න





වැලන්ටයින්ස් ඩේ එක, එහෙමත් නැත්නම් පෙම්වතුන්ගේ දවස පහුවෙලා දවස් දෙකකුත් ගතවෙලා. පෙම්වතුන්ගේ දවස අපේ සංස්කෘතියට තරමක් ආගන්තුකයි. අපේ වැඩිහිටි පරම්පරාවේ සමහරු පෙම්වතුන්ගේ දිනය හඳුන්වන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය කාබාසිනියා කරන්න ආපු පරදේසක්කාර සිරිතක් කියලා. ඇත්තටම ඒක එහෙමද? මම නම් ඒ කතාවට එකඟ නෑ.


ඇස් ඇරලා පොඩ්ඩක් අපි අවට බැලුවොත් පෙනේවි, අද කාලෙ හොයාගන්න අමාරුම දෙයක්, ලබාගන්න දුෂ්කරම දෙයක් තමයි ආදරේ කියන්නෙ. මොන්ටිසෝරි යන පොඩි එකාගෙ ඉඳන්, රිටයර් වෙච්ච ආච්චිලා සීයලා දක්වාම, හැමදෙනාම නමක් නැති, නිමක් නැති රේස් එකකට වැටිලා උදේ ඉඳන් රෑ වෙනකම් දුවනවා දුවනවා දුවනවා. ඉතින් කෝ ආදරේ කරන්න වෙලාවක්? ආදරේ ලබන්න වෙලාවක්?


ඒ අතින් බලනකොට, ආදරේ හිඳිච්ච ලෝකෙක, අවුරුද්දට දවසක් හරි ආදරේ ගැන කතා කරන එකම කොයි තරම් වටින දෙයක් ද?


අපේ රටේ ආදරවන්තයන්ගේ දිනය කියන්නේ කොටුවෙච්ච, හිරවෙච්ච, රාමුවෙච්ච සංකල්පයක්. ආදරවන්තයන්ගේ දිනය ඉස්කෝලෙ දවසක වැටුනොත් විනය කමිටුවෙන් පැනලා පොත් බෑග් චෙක් කරනවා. නිදහස් උද්‍යානවලට විසිල් බෙල්ලේ එල්ලාපු ආරක්ෂකයො බහිනවා. මුහුදු වෙරල දිගට පොලිස් නිලධාරීන් ඇවිද ඇවිද ආදරේ පොලීසියට කුදලගෙන යන්න මාන බලනවා. 


ඉතින්, ආදරේ පහලවෙන්න පටන්ගන්න වයසේ ඉඳන්ම, ආදරේ කියන්නේ 'බරපතල වරදක්' බව හිතන්න පුරුදු කරපු පරම්පරාවක්; රොබෝ පරම්පරාවක් බිහිවීමේ අවදානම කරපින්නාගෙන අපි සංස්කෘතිය රැකගත්තා කියල උදම් අනනවා.


අපිට මෙතනින් එලියට එන්න බැරිද? ආදරවන්තයන්ගේ දිනය, අවිවාහක පෙම්වතුන්ට සීමාවුන දිනයක් කියලා හිතන්නෙ ඇයි? මේ තහංචි, සීමා, වැටකඩුළු සේරම උපදින්නේ එතැනින්. ආදරවන්තයන් කියන්නේ අපි ආදරේ කරන අය. මම මගේ තාත්තට, අම්මට, ගුරුවරුන්ටට, යාළුවන්ට ආදරෙයි. සහෝදර සහෝදරියන්ට, දුවට, පුතාට, අසල්වැසියන්ට ආදරෙයි. ඉතින් ඇයි අපිට බැරි එකම ආදරවන්තයෝ සමූහයක් විදියට ආදරේ දවස සමරන්න?


රතු රෝස මලටයි, චොකලට් පෙට්ටියටයි, හාට් එකක් බදාගෙන ඉන්න ටෙඩිබෙයාටයි ආදරේ සීමා කරන්නේ ඇයි? ආදරේ වෙනුවෙන් අපිට කරන්නට පුළුවන් දේ, මුදල්වලින් මනින්නට බැරි තරම් වටිනා දේ බොහොමයි.


ඉතින් ශ්‍රී ලාංකීය සංස්කෘතිය කාබාසිනියා කරනවා කියන ආදරවන්තයන්ගේ දිනය අපි අපේ රටට ගලපා ගනිමු. අපේ රටට ආදරේ තදින්ම අවශ්‍යයි. පෙම්වතුන් අතර විතරක් නෙමෙයි. ජාතීන් අතරට ආගම් අතරට, කුලගෝත්‍ර අතරට, මෙකී නොකී දහස් ගණනක් පළුදුවීම් අතරට ආදරය අවශ්‍යයි. තම තමන්ගේ කුඩා ලෝකවල හුදෙකලා වුන අපේ මිනිස්සුගේ වේළිලා ගිය හදවත් පොඟවන්න ආදරය අවශ්‍යයි.


එන්න. අපි ආදරේ කරමු!






22 comments:

  1. එකඟ වෙන්න බැහැ සමහර දේවල් එක්ක. මගේ නැහැදිච්ච වනචාරි දුපත් මානසිකත්වයද මන්දා.

    වැඩි විස්තර ලියන්න වෙලාවක් ලැබුනොත් තව ලියන්නම් දීර්ඝව

    ReplyDelete
    Replies
    1. ලියන්ටකෝ ලියන්ටකෝ... අදහස් දැනගන්න ඕන.

      දැන් ටෝ එදා වගේ ලිපිය කොට වැඩී කියල හෙම කියනව නෙමෙයි. වර්ඩ් ලිමිට් එක සහ බ්ලොගට එඩිටව් වර්ෂන් එකක් දාන්න හරස් වුන ටයිම් ලිමිට් එක නිසා අදත් ගෙඩිපිටින්ම බ්ලොගේ ඇලෙව්වා මේක.

      Delete
  2. ආදරවන්තයන්ගේ දිනේට අම්මලාට බැනලා සල්ලි ඉල්ලන් යන එවුනුත් ඉන්නවනේ... ඉතින් කොහොමද ආදරේ කරන්නේ..
    එක දවසකට විතරක් ආදරේ කරලා හරි යනවද??? වැලන්ටයින් ඩේ එකත් නැති උනානම් මාර වැඩක් තමයි වෙන්නේ..

    ReplyDelete
  3. මං නම් රටට ගලපගන්න ඕනැයි කියන එකටවත් එකඟ නෑ. නීති විරෝධී හෝ අනිත් අයට හිරිහැරයක් නොවෙනනම් තමන්ට ගැලපුනහම ඇති. බටහිර නැගෙනහිර හෝ එස්කිමෝකාරයන්ගෙන් ආවත් කමක් නෑ තමන්ට හොඳනම් අහක ඉන්න උන්ට මොකද?

    ReplyDelete
  4. මම එකඟයි. ලංකාවේ සමාජයේ බොහෝදෙනෙක් අතර Sexual Frustation එකක් තියෙනවා. ඒ එක්කම ආදරය ලිංගික සම්බන්ධතා සමඟ එකට සිතීමට පුරුදුවීම නිසා ස්වභාවික දෙයක් වන ආදරයට තහංචි වැටිලා. මේදෙකම එකිනෙකට සම්බන්ධයි. දෙදෙනෙකු අතර ආකර්ශණය ස්වභාවික දෙයක් ලෙස බලන්නත් ඒකේ තියෙන මානසික තෘප්තිය පොසිටිව් දෙයක් ලෙස බලන්නත් අනාගත සමාජය පුරුදු වෙයි කියා මම හිතනවා. එවිට තරුණ අය ඒයින් එහා ගිය ලෝකයක් දෙස බැලීමටත් එමඟින් මනසින් පරිණත සමාජයක් බිහිවීමත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. බස්සි, ඕක ලංකාවට අමුතුවෙන් ගලපන්න දෙයක් නැහැ. තවගොඩක් දේවල් වගේ මේකත් ලංකාව වැරදි තැනින් අල්ලාගෙන තියෙන දෙයක්. උදාහරණයක් ලෙස ඇමරිකාවේ වැලන්ටයින් දිනය සමරන්නේ සම්ප්‍රදායික ආදරවන්තයෝ විතරක් නෙමෙයි. මෙය දරුවන් දෙමවුපියන්ටත්, විවාහකයින් සහකරුවන්ටත්, ආච්චිලා සීයලටත්, පන්තියේ ගුරුවරුන්ටත්, යහළුවන්ටත් ආදරය ප්‍රකාශ කරමින් තිළිණ, කාඩ් දෙන දවසක්. වෙනත් බටහිර රටවලත් සමහරවිට එහෙම වෙන්න ඇති. වැඩි වයසක නැති මගේ දරුවෝ බොහෝ විට මට ලස්සන ඔරිගාමී මල් පොකුරු හදල දෙනවා. ඒ ඔවුන්ට කළ හැකි ලොකුම දෙය. මේවා දැනුත් මගේ කන්තෝරු මේසය මත තියෙනවා. පෞද්ගලික තොරතුරු ලියන්න ගියහම නැති ප්‍රශ්න ඇතිවන නිසා නොලියනවා මිසක් ලියනවනම් අදාළ ගොඩක් දේවල් තියෙනවා.

    ReplyDelete
  6. මම නම් බස්සිගේ අදහසට විරුද්ධයි. මොකද ඔය ආදරවන්තයින්ගේ දිනය කියල එකක් දාගෙන සමරන්නේ ආදරය නෙවේ රාගය. කාමය. ආදරය නෙවේ වැරද්දක් කියල පෙන්වන්නේ කාමය සහ රාගය. වෙලා තියන්නේ අද ආදරය කියල කියන්නේ ඔය දෙකට.
    ආදරය, කාමය, රාගය, ඔය සේරටම වෙලාවක් කලාවක් තියනවා. අද හිතාගෙන ඉන්නේ පාක් එකක, බස් එකක, කෝච්චියක තුරුල් වෙලා ඉන්න එක තමා ආදරේ කියලා. නෑ. ඇත්තටම ආදරය කරනවා නම් වෙලාවක්, දිනයක්, තැනක් ඕනේ නෑ. ගවු ගානක් ඈත තැන් දෙකක ඉඳලත්, කතා කරන්න කිසිම විදියක් නොතිබිලත්, ආදරය කරන්න පුළුවන්. එක එක්කෙනාට අවංක වීමයි වැදගත්.
    සංස්කෘතිය මෙතනට අදාළ නෑ. කොහොමත් බෞද්ධ ආගම මත පිහිටලා තිබ්බ අපේ පරණ සංස්කෘතියේ ආදරය කියන එකට වැඩි සැලකීමක් නෑ. ඒ සංස්කෘතිය පහුගිය කාලේ වල් වැදුනා. දැන් තියන්නේ අච්චාරුවක්. කොල්ලෝ කෙල්ලෝ අතරමං වෙලා,වෙලාටත් වඩා අතරමං කරලා. අම්මල අප්පච්චිලා එක්ක කතා කරන්නේ නෑ. ඉතිං කොහොමද ඒවා ඉගෙනගන්නේ?
    මම නම් කියන්නේ මේ ආදරවන්තයින්ගේ දිනය වගේම, මවුවරුන්ගේ දින, ගුරු දින, ඔක්කොම සමරන එක අතාරින්න ඕනේ. මේවා මේ වෙළෙන්දෝ දාගෙන ප්‍රොමෝට් කරන ඉලව්. කවුරුහරි කාටහරි ඇත්තටම ආදරේ කරනවා නම් එකට විශේෂ දිනයක් ඕනේ නෑ.

    ReplyDelete
  7. කාලෙකින් මේ පැත්තේ ආවෙ. හමදේටම එකඟයි බස්සි අක්කා

    ReplyDelete
  8. ආදරයට වෙනම දිනයක අවශ්‍යතාවක් නෑ..බටහිර ජාතීන් මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය වැනි ඒවා හදාගෙන තියෙන්නෙ ඔවුන්ගේ අතිශය කාර්යබහුල ජීවිතයට ගැලපෙන්න. සන්නස්ගල තමයි වැලන්ටයින් ඩේ කියන සංකල්පය ලංකාවෙ මාකට් කරන්න පුරෝගාමී මෙහෙයක් කලේ...ඊට පස්සෙ ඒ මාවතේ හිරු ආදර කෝච්චිය ආවා...අද වන විට මේ සියලු සංකල්ප වෙලද පල ආර්ථිකය යට යල් පැන ගිහින් තියෙන අන්දම දකින්න හැකියි. මොකද ඒ සංකල්පය අපේ රටට දැන් නැවුම් නැති නිසා. වැලන්ටයින් සැමරුම්, රතු රෝස, තෑගි භෝග නැති වුවත් අවංක ආදරය ඇති තැන ජීවිතය සුන්දරයි කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
  9. උබේ පොයින්ට් එක හරි. ඒත් කේස් එක තියෙන්නේ අපේ අය ඕක දා ගෙන තියෙන්නේ වැරදි තැනට වීම. ආදරේ කියලා වැලන්ටයින් දවසට රූම් පිරෙන තැනට සමහර යෞවනයන් වෙනස් වෙලා තියෙද්දි ඔය කියන ගැලපීම් කරන්න නම් ටිකක් අමාරු වේවි.

    ReplyDelete
  10. බස්සි අක්කගේ කතාවට මන් නං එකගයි...ඇත්තටම ආදරේ කියනදේ හරියට තේරුම් නොගත්ත අය නිසා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ...ගොඩක් වෙලාවට වැලන්ටයින් කියන්නේ අවිවාහක දෙන්නෙක් සමරනවා,සමරන්න ඕනේ කියන සංකල්පේ ඇතුලේ ඉදන් ලංකාව වෙනස් කරන්න ටිකක් අමාරුයි...

    ReplyDelete
  11. මේ කොටස උපුටාගත්තේ මගෙ බ්ලොග් පෝස්ට් එකකින්.

    ලංකාවෙ අපි කවදද පෙම්වතුන් යුවලක් දැකලා "නොදකිං මල සමයං. මේ නැහැදිච්ච එවුන්ගෙ වල්කං නිසා පොඩි උනුත් නරක් වෙනවා," කියලා කර ඇදකරලා නහය අකුලා නොගෙන, ජීවිතාශාව ඇතිකරන ප්‍රියජනක දෙයක් දැක්කා කියලා මඳ සිනහවක් මුහුණට නගාගෙන, උන්ව දැක්ක නොදැක්ක ගානට තමන්ගෙ ගමන යන්නෙ කියලා මම නිතර කල්පනා කරනවා මගෙ තියෙන සංකර කමටයි නැහැදිච්ච කමටයි.

    ReplyDelete
    Replies
    1. මට පුළුවන්. උඹලටත් පුළුවන්ද?

      මේ මතෘකාව කියවනකොට ඉන්දියානු සගයෙක් පාං කෑල්ල තේ එකේ ඔබාගෙන කනවා යකෝ මං ඉස්සර ඉඳගෙන. මම එතකොට කට ඇදකරලා නහය අකුලා නොගෙන, ජීවිතාශාව ඇතිකරන ප්‍රියජනක දෙයක් දැක්කා කියලා මඳ සිනහවක් මුහුණට නගාගෙන, උන්ව දැක්ක නොදැක්ක ගානට මේ තේ එක බොනවා. ඒක අරිට වඩා අමාරුයි. නමුත් උත්සාහ කලොත් පුලුවං ඒකත්.

      මටත් ඉගෙනගන්න හුඟාක් දේ තියෙනවා තව.

      Delete
    2. බංගලියො සහ පක්කන්ටත් ඔය පුරුද්ද තියෙනවා..උන්ට පාන් කන්න තේ නැතුවම බෑ...

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. එක දවසකට ආදරය කියන දේ ලඝු කරන්න බැහැනේ.ඒ නිසා මම නම් හිතන්නේ ආදරයටත් වෙනම දවසක් ඕනේ නැහැ.කොහොමත් ඔය දවස් වලින් හොඳ වෙළදුන්ට තමයි.

    ReplyDelete
  14. Bassige lipiye karunuth samaga ekagai.
    namuth prathipaksawa liyawelaa thiyana samsara commentswala karunu walath yathaarthayak thiyanawa.

    habai mewenakota "valentines day" eka totally business ekak welaa thiyanne.

    ReplyDelete
  15. ආදරේ මුදල් කරන්න පටන් ගත්තු දවසේ ඉඳන් 14 විකිනෙන්න පටන් ගත්තා. ලංකාවේ ඔක්කොම ඉතින් රුවිතේ ටනේ වෙන්නේ!

    ReplyDelete
  16. ...//අපේ රටේ ආදරවන්තයන්ගේ දිනය කියන්නේ කොටුවෙච්ච, හිරවෙච්ච, රාමුවෙච්ච සංකල්පයක්//...

    මට නම් හිතෙන්නේ අපේ රටේ හැම දෙයක්ම එහෙමයි කියලා. පැරැන්නෝ පැරැනි මතවාද, සංකල්ප ඕලුවේ තියාගෙන තරැණ පරපුරේ හැම දෙයක්ම හෙලා දිකන්න හදන එකත් ලොකු ගැටලුවක්.

    ReplyDelete
  17. අපේ ඔෆිසියේ වැඩ කරන විදෙස් යුවතියක් පහුගිය 14 වැනිදා උදේ පාන්දරම මට පුංචි රසකැවිලි පාර්සලයක් දීලා ' හැපී වැලන්ටයින් ඩේ' කිව්වා . ඇත්තටම මගේ හිතත් ගැස්සිලා ගියා . පස්සේ බලින්න්නම් මෙයා ඔෆිස් එකේ ඉන්න හැමෝටම එහෙම පුංචි තෑග්ගක් දීලා සුබ පතලා . මම කියන්නෙත් ආදරය ගැන මතක් කරලා දෙන්න දවසක් නෙවෙයි සුමානයක්ම වෙන් කරන්න ඕනි කියල . අපි හැමදාම ආදරෙන් ඉන්නවා කියල මිනිස්සු කිව්වට වැඩි දෙනෙක් යන්තර වගේ . දැන් යන විදිහට වාණිජ ප්‍රචාරණයක් නෙවෙයි හරියට අපේ අලුත් අවුරුද්ද වගේ ආදරේ කිරීමට හා එකිනෙකා ගැන සොයාබැලීම, ඒ අය ගැන කල්පනා කිරීම සඳහාවත් පොඩි රැල්ලක් ඇති වෙන්න ඕනි

    ReplyDelete
  18. එක එක්කෙනාගෙ එක එක අදහස්. බොහොම ස්තූතියි!

    මම හිතන්නෙ, කනට ගහන්නැහෙ 'එකඟ නෑ' කියපු අය උනත් වෙන කෙනෙක් පෙබරවාරි දාහතරවෙනිදා දවස ආදරණීය විදියට සමරන එකට පරල වෙන එකක් නැතිවෙයි නේද?

    පොඩි බිසියක් කඩාපාත්වීමෙන් වෙන වෙනම උත්තර බඳින්නෙ නෑ. අනික, සමහර කමෙන්ටුවලට උත්තර දීමෙන් හිත් අමනාපකම් ඇතිවෙයි කියල හිතුනා.

    ඉඩක් ලැබුනම නිවීහැනේ රිප්ලයි දෙන්නම්. තරහ වෙන්න ඔට්ටු නෑ හොඳේ!

    ReplyDelete
  19. මේ දැන් අර කාඩ් එහෙම හදන්නේ නැත්ද ? . මට මතකයි ඉස්සර අක්කගේ පාඩමක් තිබුණා ඉලවු ( i love ) කාඩ් හදන හැටි කියලා දෙන එකක් :p .

    ReplyDelete