Monday, February 8, 2016

වැරැද්ද? (කෙටිකතාව)





"දැන්, ත්‍රිමාන අවකාශ ප්‍රවීණතා අභ්‍යාස ගොනුවට යන්න."


ටාෂිගේ සිහින් දිගු අතැඟිලි තුඩු කඩිනමින් ක්ෂුද්‍ර පරිගණක තිරය මත එහා මෙහා ගමන් කරන්නේ සිතියම් කියවීම, ද්විමාන සටහනක් මනැසින් ත්‍රිමානව දැකීම ආදී අනුමාතෘකා යටතේ ගොනු වූ ප්‍රශ්නෝත්තර රැසක් තිරය මත දිගහැරෙන්නට විය. අනුප් තම දෙනෙත විවේක ගන්වා තිබුණේ ෆ්ලොරොසෙන්ට් ආලෝකය වැද දිලෙන ටාෂිගේ පිරුණු දෙකම්මුල් මතය. ඔහුගේ නිල් පැහැති අක්ෂි කාච හරහා වරින්වර පිටතට විහිදෙන අමුතු දිලිසුමකි.


"ඔක්කොමත් හරි. මට අමාරුම කාර් එක පිටිපස්සට පදවන එක." ටාෂි තඹ පැහැ කෙස්ස දෙපසට පද්දමින් යටිතොල පිට පෙරළන්නීය. "සමාන්තරව ඉරි පැහැදිලිව ඇඳ තියෙද්දිත් මග වරද්දාගන්න එක මෝඩයි නේද?"


"මම හිතන්නේ මට ඔයාට ඒ ගැන උගන්වන්න පුළුවන් වේවි." අනුප් වහවහා පරිගණක තිරය හරහා දෙනෙත් ඉහළ පහළ දුවවමින් කීය. 

"බොහෝවිට අද හවස?"


* * * * *


ක්‍රිස්තු වර්ෂ දෙදහස් එකේදී නෙදර්ලන්තය විවාහ නීතිය හරහා තැබූ ඉදිරි පියවර ඔස්සේ වසර කිහිපයක ඇවෑමෙන් බෙල්ජියම, ප්‍රංශය මතු නොව එංගලන්තයද පසු ගමන් යන්නට වූයේ සමාජ විප්ලවයක පුරෝගාමීන් ලෙස ඔල්වරසන් හඬ මැදිනි. බර වාහන රියැදුරුවරියන්, නාවුක ඉංජිනේරුවරියන් සහ ඉදිකිරීම් ශිල්පිනියන්ගේ ප්‍රතිශතය එන්න එන්නම ඉහළ යන්නට වූ අතර ඊට සමගාමීව රූපලාවන්‍යාගාරවල, සූපවේදී පුහුණු පාසැල්වල, පෙහෙකම්හල්වල පුරුෂ නියෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ යන්නට විය. 


සියල්ලෝම අළුත් තත්වය ගැන වඩාත් තුටුපහටු වන්නට වූයේ, ලිංගිකත්වය මත පදනම්ව වැටුප් විෂමතා හඳුන්වාදුන් ආයතන ප්‍රධානීන් තවදුරටත් එහි නොවූ බැවිනි. ගැහැණු වඩවඩා කාර්යබහුල වූ අතර, කාන්තාමූලික ගෘහයන්හි පිරිමි, ස්වකැමැත්තෙන්ම බිම අමදින්නටත්, නැපි මාරු කරන්නටත්, අහර පිසින්නටත් රැකියාව අතහැර දමන්නට තීරණය කර තිබිණි.


අනතුර පැන නැංගේ ඉනුත් පසුවය.


අධිකතර වෙහෙස හේතුවෙන් බොහෝ ගැහැණු මානසික ආතතියට සහ විෂාදයට ලක්වීම එක්වරම එහි දක්නට ලැබිණි. මානසික වියවුල් අතර අතරමං වූ බොහෝ පුරුෂයන් අධිමාත්‍රාවලින් නිදිපෙති පානය කරන්නට යෙදුණු අතර ළදරුවා තුරුළු කරගත් වනම බැල්කනියෙන් පහළට පිනූ පියවරු ගැන දිනපතාම පුවත් පලවෙන්නට විය.


ඒ ඉතිහාසයයි. පෙළ පොත්වලින් මකා දමන්නට යෙදුණු ඉතිහාසයයි. 


* * * * *


"මම හිතන්නේ මම ඒක හොඳින් කළා." උළැඟිතා පරීක්ෂණය අවසානයේ ටාෂි හිස දෙපසට වනමින් පවසන අතර, වැඩිපුර කිරම හැන්දක් සිය අතුරුපස දීසියට වත්කර ගත්තාය. 


අනුප් සිතිවිල්ලෙනි. ඈ නිසැකවම උසස් විදුහලේ ගැහැණු අංශයට තෝරා ගැනෙනු ඇත. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මයෙන් පසු විද්‍යාලයෙන් පිටවූ පාර්වතී නෑනා ඔහුට සිහිවිය. එය හරියටම දළඹු කෝෂයක් ඉරාගෙන අලංකාර සමනලයෙක් පහළ වෙන්නා වගෙයි. තමන් පිරිමි අංශයට සුදුසුකම් ලබන බව ඔහුට සහතිකය. ඇරත්, සිතියම් කියවීමට පාසලෙන්ම දක්ෂයා තමා නොවැ!


* * * * *



දෙමාපියන් වෙන්නට කැමැති පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඇණවුම් මත ජාන තාක්ෂණයෙන් කළල නිපදවීමේ අභියෝගය ජයගෙන සියවසක් සපිරෙමින් තිබුණි. දෙමාපියන් සතු ප්‍රබල ලක්ෂණ පමණක් ඉස්මතු වන පරිද්දෙන්ද, අහිතකර නිලීන ජාන ඉවත්කිරීමෙන්ද, ලිංග භේදයෙන් තොරවද නිර්මාණය වූ එම කලලවලට ලැබුණේ බලාපොරොත්තු වූවාටත් වඩා අධික ඉල්ලුමකි.


සන්නිවේදනය, අවකාශ භාවිතය, දෘෂ්ටිය, තර්කණය සහ විශ්ලේෂණ ප්‍රවීණතාවය යනාදී විෂය පථයන් තිස් අටක් ආවරණය කෙරෙන පාසැල් අධ්‍යාපනයෙන් පසු අවුරුදු දහ හතර සපුරන ළමෝ තරඟ විභාගයට වාඩි වෙති. එහිදී එක් එක් විෂයයන්ට දක්වන ප්‍රවීණතාවය සංකීර්ණ ඇල්ගොරිතම කිහිපයක් අනුසාරයෙන් විශ්ලේෂණය කරන ලදුව, උසස් විද්‍යාලයේ ගැහැණු සහ පිරිමි අංශ වෙත සිසුහු යොමු කෙරෙති. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මය සියලුම පුරවැසියන් සතු සමාජ වගකීමක් ලෙසින් හඳුන්වනු ලබන අතර උසස් විද්‍යාලයේ අධ්‍යයන සමාසිකයන් හයෙන් පහක්ම වෙන්වූයේ තමා විසින් උපයාගත් ලිංගිකත්වය හා බැඳුණු වගකීම් අවධාරණය කිරීම වෙනුවෙනි.



* * * * *


"පිරිමියාගේ ජෛවීය විද්‍යාත්මක කාර්යභාරය" 

ප්‍රක්ෂේපණ තිරය මත විසල් නිල් අකුරෙන් ලියැවී තිබුණි. දේශන ශාලාව තුළින් සිහින් ඩ්‍රම් වාදනයක් අතරින් පතර නැගුණ අතර ආචාර්යවරයාගේ නොරිස්සුම් බැල්ම හමුවේ එය තත්පර කිහිපයකට යටපත්වන්නට යෙදුණි. අනුප් සිය නිදිමත බේරෙන දෙනෙත ඩෙස් පේළි අතර එහා මෙහා ඇවිද්දවන්නට වූයේ හඬ නොනැගෙන සේ ඈනුමක් යවමිනි.


ටාෂි ඉදිරිපස ඩෙස් පේළියේ වාඩිගෙනය. 
ඉතා උනන්දුවෙන් සිය දෙනෙත තිරය මත අලවාගෙනය. 
ආචාර්යවරයාගේ මුවින් ගිලිහෙන වචනයක් පාසා සිය රෙකෝඩරය තුළට උරා ගනිමින්... 
අහා! 
ඔහු තවදුරටත් ටාෂි නොවේ, 
ටෙරන්ස් ය.


අඩක් විවර වූ දොරෙන් හමා ආ සුළං රැල්ලක් ටෙරන්ස්ගේ තඹ පැහැති කෙටි කෙස්ස අවුල් කරන්නට විය. අනුප්ගේ දෙඇස තුළ සටහන් වූයේ සුපුරුදු දිලිසීමයි. මනා සේ සැලසුම් කරන ලද දෙසුම, ඔහුගේ සවන් තුළට නොබැසම, හිස දෙපසින් ගලා යන්නට විය. ටෙරන්ස් මද තිගැස්මක් සහිතව හැරී බලන්නේ, සිය පිරුණු දෙකම්මුල් රත්පැහැයට හැරෙත්ම එක් ඇසක් පියා ඉඟිකර ඉවත හැරුණේය.



* * * * *


මානව පරිණාමයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කල ඒ ආශ්චර්යවත් විද්‍යාත්මක සොයාගැනීමට වසර සියයක් සපිරීම නිමිතිකොට ගෙන 'Project-XY'හි විද්‍යාඥයන්ගේ වාර්ෂික මහා සමුළුව උත්සවශ්‍රියෙන් බැබළෙමින් තිබිණි. "ඒ මහා වරද නිවැරදි කිරීම වෙනුවෙන්!" සියල්ලෝ තම තමන්ගේ බීම වීදුරු ඉහළ නගා සව්දිය පිරූහ.


උසස් විදුහලේ පිරිමි අංශයේ පාළු විද්‍යාගාරයක් පිටුපස අනුප් සහ ටෙරන්ස් අතොරක් නැතිව සිපගනිමින් උන්හ!









48 comments:

  1. Replies
    1. Thank you Senarath!
      Its just one piece of prose aney. Not something published weekly. :)

      But our Naadiyaa (in Naadiyaage naadi blog) writes a column in Saturday Dinamina.

      Delete
  2. Replies
    1. මොකක්ද මේ කමෙන්ටුවේ අදහස?

      Delete
  3. මොකක්ද බන් මේ...

    මාව නිකන් බ්ලැක් හෝල් එහෙක ඉවෙන්ට් හොරයිසන් එකක් ඇතුලේ ගිහින් වෙන විශ්වයකින් මතුවුනා වගේ දැනුනේ..
    එච්චරටම කියෝන එකාව උඩුකුරිඥ්ඥනේ කරන ලියවිල්ලක්.

    ලියවිල්ල නම් සුපිරි එකෙත් එක.
    ආයේ ඉතින් දෙකක් නැහැ..උඹ ලිව්වොත් එහෙම තමයි..

    ReplyDelete
  4. මුල ටික බලන් එද්දී එක පාර ඔළුවට ගියේ නෑ බොරු කියන්න ඕන නෑනේ.
    සිරාවටම දවසක ඔය කියන විදිහට ඔය වැරැද්ද නිවැරදි කර ගන්න බැරුව අකමැත්තෙන් මිනිස්සු සවුදිය පුරන්න බැරි නැහැ.
    හැබැයි ඒ තරම් කතාබහක් නොලැබුනත් ඔහොම වෙනස් වෙලා එකතු උන අය ඉන්නවා.
    උඹේ ලිවිල්ලනම් සිරාවටම ගති.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් බන්.

      මටත් මේක නිස්කාංසුවෙ එඩිට් කරන්න තිබුනානම් හොඳයි කියල හිතුනා. පොඩ්ඩක් මොලේ මඥ්ඥං වෙන ගතිය අඩු කරන්න තිබුනනම් හොඳා නේ?

      Delete
  5. ආතර් සී ක්ලාක් ගේ පුංචි අම්මගේ දුවගේ මිණිපිරී ගේ යාළුවෙක් ලියුවා වගේ.. හැක හැක හැක..

    මේක පබිලිස් කරමු 2099 වගේ නමක් දාලා..

    //අනතුර පැන නැංගේ ඉනුත් පසුවය// හි හි හි..

    //ඒ මහා වරද නිවැරදි කිරීම වෙනුවෙන්// අපිත් සවුදිය පුරමු. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. 2099 කියන එකත් හොඳා නේ?

      සිරාවටම මට බැරිම වැඩේ තමයි ඔය නම් දාන එක බන්. කතාව ලියන්න පැයක් ගියොත් පැය තිහ හතලිහක් යනවා නමක් කල්පනා කරන්න. ඒ කරලත් දාන්නෙ හද්ද ගොබ්බ නමක්.

      Delete
    2. ඒකට මට.. කතා ලියන්න බෑ.. නම් දාන්න නම් පුළුවන්.. හැක හැක..

      Delete
    3. මම මීට පස්සෙ කතාව ලියල උඹට කිව්වනම් මට නමක් දාන්න දහ අතේ කම්පනා කරකර ලතවෙන වෙලාව අඩුකර ගතෑකි වගේ නෙහ්?

      Delete
  6. මාව බය කොරන්න එපා බස්සියෝ.....!!

    මේක නම් හැබෑම වටිනා විද්‍යා ප්‍රබන්ධයක්... මම මේ කියන්න හිටියේ.. එක්කෝ ඕන්නැහ්...

    ReplyDelete
    Replies
    1. අඩේ කියන්න අවුලක් හෙම තියේනම් කෙලින් කියන්ට ඕනෑ හොඳේ!

      පට්ට! සුපිරි! එලටම කලා වගේ එව්වා බෑ. :P

      Delete
    2. මරු... එකම උස තියෙන නියම ඩබල :P

      Delete
    3. ඔව් උඹ අපි දෙන්නටම වඩා කොටයිනෙ. හා නැද්ද?

      Delete
  7. බස්සි අක්කේ...අපේ චුටි හිත් කොලොප්පන් කරන්නෙපා අප්පා..
    කතාව නං නියමයි අක්කේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිම්මි!

      Delete
    2. වෙලාවක් තියේ නං මේ පැත්තේ ඇවිත් යන්න එන්ඩෝ..

      Delete
    3. ආවා. ඔයා ලස්සනට ලියනව ගිම්මි!

      Delete
  8. මේක මරු...ආතර්සී ක්ලාක් දුරින් නෑයෙක් නේද බස්සි අක්කේ p

    ReplyDelete
    Replies
    1. අනේ නිකා ඉන්ට. මේක එව, බලව එකේ දැම්මා දැක්කෙ නෑ නේහ්? :P

      Delete
  9. බස්සෝ අදම ඔය ගෙදරින් මාරු වෙයන්...

    ReplyDelete
    Replies
    1. හෙහ් සිරාවටම පව් අහින්සකයා. අපිට බය ඌ ගැන.

      Delete
    2. හැක හැක. බස්සා හින්දාම ඉවසා වදාරගෙන ඉන්නවා.

      Delete
  10. අදත් හෙටත්, වැරැද්ද ඇල්ගොරිතම වලයි... කාලෙකින් කියවපු අපූරු විද්‍යා ප්‍රබන්ධයක්... නියමයි...

    ජාන තාක්ශනය අනුව ලිංග භේදයක් නැති කලල හදනවා කියද්දී, ඒකෙන් කියවෙන්නේ 1. කෘත්‍රිම ලිංගික පරිණති ශල්‍යකර්මය කරගන්නකල් හැමෝටම ලිංගයක් නෑ කියන එකද, 2. නැතිනම් ඇල්ගෝරිතම අනුව ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වුනාම දැනට තියෙන ලිංගය වෙනස් කර ගන්න වෙනවා කියන එකද..?

    උත්තරේ 1. නම් ඒ සමාජ වගකීම පැහැරහරින උන්ට මොකද්ද වෙන්නේ... හිතන්න දේ ගොඩයි... නියමයි...

    ReplyDelete
    Replies
    1. බීට්ල්ගෙ කමෙන්ටුවක් ආව කියන්නෙ ඉතින් හරිම සතුටුයි. තැන්කූ බීට්ල්!!

      උත්තරේ 1. බීට්ල් අහන ප්‍රශ්ණෙට උත්තරේ දාලා කතාව ආයෙම එඩිට් පාරක් එක්ක ලියන්න ඕනෙ. පත්තරේ වචන ලිමිට් එක ඔළුවෙ තියන් ලියපු නිසයි නිකම් පත අට එකට හිඳලා ආයෙ දශම එකට හින්දෙව්වා වගේ පේනව ඇත්තෙ.

      Delete
  11. කලින් තිබුන දිගු අක්ඹමරු කොණ්ඩයද මේ කෙටි දුඹුරු පැහැ කොණ්ඩයද හොද කියලා මම ටිකක් වෙලා කල්පනා කලා. ඒත් දැන් කල්පනා කලා කියලා ඇති වෙන වෙනසක් නැති හන්දම මම ඒ ගැන හිතන එක අත ඇරලා දැම්මා. වෙනදට ලෑස්ති වෙන්නම පැය බාගයක් විතර යන එක දැන් විනාඩි පහෙන් උනත් කරන්න පුළුවන් එකේ ලොකු අමුත්තක් තිබුනා.

    ගෙදරින් එලියට බහින්න එද්දි අම්මා බලාගෙන හිටියා. සමහර විට ටාශිද, ටෙරන්ස්ද හොද කියන එක වැඩි සද්දයක් නැතුවම හිතනවා ඇති. නැත්නම් බනින්න බැරි කමටම හිතින් බනිනවා ඇති. ඉස්සර නම් අම්මයි දුවයි අතරේ පෞද්ගලිකත්වයක් නැති උනාට අම්මයි පුතයි අතරේ නම් එහෙම නෙමෙයි. බැදීම් වෙනස් වෙලාද නැත්නම් දුරස් වෙලාද.

    කලිසමයි ටී ශර්ට් එකයි මහ ලොකු වෙනසක් නොවුනට ඊට ඇතුලෙන් එකතු උන අඩුම කුඩුම වල වෙනදට වැඩිය අඩුවක් තිබුනා. ඒක හරියටම කියනවනම් සැහැල්ලුවක්. පහසුවක්. දැන් ඉස්සර වගේ අමාරු කම් හිර කරන් බලන් ඉන්න ඕන නෑ. ඕන තැනක්. ඕන වෙලාවක්.
    ' උඹ ඕක කලයින් දැන් මගෙ කොල්ලා බයයි මම උඹව ආශ්රේ කරනවට. ' මීශු කෙදිරි ගාන්න පටන් ගත්තා.
    ' ඔය ඉන්නේ ඕන තරම්. උඹ වෙන කාව හරි හොයා ගනින්. '
    මම මීශුගෙන් ඈත් වෙලා ගිහින් ලෙක්චර් හෝල් එකේ වෙන තැනක වාඩි උනා. උනුත් හිතන හැටි. වෙනස වැරදිද එහෙමත් නැත්නම් වෙනසට බයද. කොයි දේ කොහොම උනත් දැන් ඒ දේ සිද්ද වෙලා ඉවරයි. ඉස්සර පැණි හලාගෙන මං දිහා බලාගෙන ඉදපු එවුන් දැන් බලන්නේ මම හරියට මහා ලොකු වැරැද්දක් කරපු එකියක් ගානට. අහ් නෑ, මහා ලොකු වැරැද්දක් කරපු එකෙක් ගානට.
    ' උඹට ඇයි ඔහොම කරන්න හිතුනේ?'
    ඇයි මොකද්ද ඒකේ තියෙන වරද? මට එහෙම අහන්න හිතුනට මම හුඟක් එවුන්ගේන් එහෙම අහන්න ගියේ නෑ.
    ' දැන් මාත් උඹ වගේමයි.'
    කැම්පස් එකේ මුලින්ම මගේ පස්සෙන් ආපු එකාට මම එහෙම කිවුවම උගේ මූණ වෙනස් උන විදිහ මට කොහොමවත් අමතක කරන්න බෑ. ඌට අයියෝ අපරාදේ කියලා හිතෙන්න ඇති. හැබැයි එදා වගේම අදත් මම ඌට අකමැතියි. ආයි ඒකේ වෙනසක් නැහැ.
    අනුප් සැරින් සැරේ මගේ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. මානව විද්යා දේශණේ අතර වාරේ අනුප් මගේ දිහාම බලන්නේ මානවයා ගැන හොදම උදාහරණය මගෙන් ගන්න හිතාගෙනද කියලා මම ඒත් හිතුවා. අනුප්ගේ ඇස් වල මහ අමුත්තක් තිබුනා. තාමත් හිත නම් පරණ විදිහටම ඒ තැන් වලට දුවනවද මන්දා.
    ' ඇයි මේ දේ තෝර ගත්තේ?'
    ලෙච්චර් හෝල් එක පිටිපස්සේ අපි දෙන්න විතරක් ඉද්දි අනුප් ඇහුවේ මානව විද්යාටව ගැනද එහෙම නැත්නම් මගේ ගැනද කියලා මට එක පාරම හිතා ගන්න බැරි උනා.
    ' ඇයි වැරදිද?'
    මම ආයි ඇහුවා.
    ' නෑ හොදයි.'
    අනුප්ගේ තොල් මගේ තොල් වල පැටලිලා තිබුනා. මම හිත හිත හිටියේ වැරැද්ද ගැන. වැරැද්ද කෙල්ල්ක් වෙලා කොල්ලෙක් ඉබපු නැති එකද, එහෙමත් නැත්නම් කොල්ලෙක් වෙලා කොල්ලෙක් ඉබින එකද? ඔන්න ඔහේ ඕන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේක මගේ අතින් ලිය උනානම් මෙන්න මෙහෙම වෙයි. ;)

      Delete
    2. අප්පටසිරි ඉඳිකට්ටෝ! මේක මාරයි බන්. මේක තව ටිකක් දිගට ලිව්වනම් මේකෙ පාර්ට් 2 කලෑකි.

      ඔන්න ඕකනෙ මම උඹව කෙටිකතා ගුරෙක් විදියට සලකන්නෙ.

      Delete
    3. කතාවට මොලේ කොලොප්පන්, ඒත් ලියැවිල්ල සුපිරියි. දිනේශ්ගේ කොමෙන්ටුව නියමයි. බස්සිටයි දිනේශ්ටයි ජය !!!

      Delete
  12. මොනවා වුණත් අන්තිමට කොල්ලෝ දෙන්නෙක් එකතු වුණා...

    හරිද මන්දා...

    ReplyDelete
  13. එකෙන්ම මරු.. ඩබල එක්කාසු උනානේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ වෙන්න ඕනෙ. නැද්ද?

      Delete
  14. බස්සි යනු මනුලොවට කොහෙන් හෝ ගොඩ බැස්ස අද්භූත පරිකල්පනයක් සහිත අද්භූත ජීවියෙකි

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ ඉතින්. උඹට බ්ලොග් එකේ පාස්වර්ඩ් අමතක වෙලාද ගෙම්බෝ?

      Delete
  15. වැරැද්දට සමාවදීලනේ, එහෙම හරි නෑ වැරැද්ද හරිගස්සන්න බැරිවෙයිද? ආයේ ආයෙත්??

    ReplyDelete
    Replies
    1. "වැරැද්ද?" කියන්නෙ වැරැද්දක් කිව්වට ඒක වැරැද්දක්මද? අනික වැරැද්ද තියෙන්නෙ වැරැද්ද තියෙනවායැයි හිතෙන තැනමද? කියලා ප්‍රශ්ණ ගොඩාක් තියෙන නිසා.

      Delete
  16. ඒ භයංකාර අනාගතය ගැන කියවුනු මේ කෙටිකතාව මට මග ඇරිලනේ.

    අනාගතය බෝරිං කියලා හිතෙන්නේ නැද්ද උඹලට?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඩූඩ්ට කෙටිකතා හතරක් පහක් විතර මගඇරිල තිබුන :D

      Delete
  17. මෙහෙම අනාගතයක් මට එපෝ.....!! ඒත්... මේ අනාගතයම නෙමෙයි ද මංදා..
    ලියවිල්ල නම් ඉතින් සුපිරි.පත්තරේ සීමා හිංද වෙන්න ඕනෙ පොඩිත්තක් විතර කලබල.. ඒ උනාට රස මේරගෙන තියෙනවා.
    ජයවෙවා..!!

    ReplyDelete