Tuesday, August 6, 2013

චාටර් දවස



අදනම් කතා ලියන්නට බැරි තරම් අවුල්ය. හොඳටම අවුල්ය. අවුරුද්දකට වතාවක් දෙකක් කලාතුරකින් පැමිනෙන පට්ට චාටර් දවස් ඇත. අද එවැනි දවසකි.

උදේ ඇහැරුනේම පරක්කු වෙලාය.  බස්සා වැඩට ගිහින් කෝල් කරනකොට උඩ ගිහින් ඇහැරුනේය. දඩිබිඩි ගාලා අයන් කරන්නට ගිහින් ජැකට් එකත් පිච්චුනේය. ඇඟිලි අටක කියුටෙක්ස් අයින් කොරන විට රිමූවර් ඉවර වුනේය. ඉතුරු ටික යවන්නට වුනේ ඕඩිකොලොං දමා අතුල්ලලාය. ඒ මගුලට ගිහින් නියමලත් කැඩුනේය. නියමල කැඩිලා එතන ඕඩිකොලොං වදින විට මාරම සනීපය.

උදේ කෑම ගන්න කඩේට යනවිට කඩේ මලයා කෑම පාර්සල් විස්සක ඕඩර් එකක් ලෑස්ති කරනවාය. බස්සිත් උගේ වැඩවල ඉක්මන දැනදැනම එතන ඉඳගෙන තවත් විනාඩි විස්සක් අනුභව කෙරුවේය. කෑම අරන් කඩෙන් එලියට බහින ටිකට බස් පහක්වත් මිස් වෙන්නට ඇතිය.

බස් එකට නැග්ගාම පුදුම සෙනගක්ය. පෑලියගොඩ පාලම හදන නිසා බස් එක යන්නේ ඉබි ගමනින්ය. පට්ටිය හන්දියට එනවිට කෝච්චි සේරම ගිහින්ය. බස් එකේ චප්ප වී කොල්ලුපිටි යන්න වුනේ ඒ නිසාය.


ඔපීසියට ගියේ බස් එක ට්‍රැෆික් ලයිට් වලට නැවැත්තූ විට බිමට පැන සුසන්තිකා පරදවමින් දුවගෙනය. තව පොඩ්ඩෙන් බස් එකක හැපී පරලෝකප්ප්‍රාප්ත වෙනවාය. ඒ ගියේ අද බොස් තුමා එනවායැයි කියා තිබුනු නිසාය. ඒත් යද්දී කවුරුත් නැත. වෙන එකක් තියා තේ හදන ඇන්ටිත් නැත. ඒ නිසා තේත් නැත. 

වැඩ පටන් අරන් බලන විට ලස්ස විසිපහක චැක් එකක් අතුරුදහන් වෙලාය. චැක් එක නිසා උදේ වරුවම චික් චුක් වී ගියේය. උන්දෑ හැංගුන තැනින් එලියට එන විට දවල් කෑම වෙලාවත් ඇවිත්ය.

කෑමෙන් පස්සේ පැය අටක වැඩ පැය හතරෙන් ඉවර කොරන්නට සිදුවිය. උදේ වරුවේ චැක් සමග හැංගිමුත්තන් කල නිසාය.

හරියට හවස හයහමාරට කොම්පීතරේ ඉස්ටක් වුනාය. ඌ කියන කිසිම දෙයක් නාහා හතයි කාල වෙන තෙක් වද දුන්නාය. අන්තිමේදි බිත්තියෙන් ප්ලග් එක ඇද ගලවා දමා එන්නට සිදුවිය. හෙට වෙද්දි ඌ අභාවප්‍රාප්ත වෙලා තියෙයිද දන්නේ නැත.

බස්සා එනකොට රෑ අට පහු වෙන බව කියූ නිසා තනියම එන්නට වුනේය. බස් එකේ හිටි ජැක් මෑන්ට අනින්නට බෑග් එකේ දමාගෙන සිටි හරනැල් කටුව හොයද්දී ඒකත් වැටිලාය. ඒ නිසා සයිලන්ට් රිවෙන්ජ් එක නොගෙන ඌට බනින්නට වුනේය. ඔක්කොම බැලුවෝය. උදවුවට ආවේ එකම එකාය. උදවුවට ආපු මලයාට තැන්කූය.

එනකොටත් හිටගෙනමය. අලි මදිවාට හරක් කීවා සේ පෑලියගොඩ පාලම වහලා මදිවාට ඒ අස්සේ කෝවිලක පෙරහැරක් යනවාය. බස් එකේ චුරු චප්පං වීම වර්ණනා විෂයාතික්‍රාන්තය.

බෝඩිමට එද්දී ගෙදරින් මිස් කෝල් පහලොවක්ය.  ලුණු ඇඹුල් ඇතුව අහගත්තාය.

ඉන් පස්සේ බස්සාට කෝල් කරන්න බලන විට මල් සිම් එක කපලාය. මල් කඩලා හමාරය. බස්සා ඉස්කයිපෙද නැත, ෆේස් බුකියේද නැත.

ඉතින් බස්සි බ්ලොගට වැදී මේ පෝස්ට් එක ලියුවේය. අද ආදර අන්දරය මේක තමාය.


6 comments: