Sunday, August 4, 2013

පොද්දෝ සහ අලයෝ



බස්සිලාගේ කැම්පස් එකේ ෆැකල්ටි අතරෙ මහා එපා කරපු බෙදීමක් තිවුනා. ඒ තමයි පොද්දෝ සහ අලයෝ. පොද්දෝ කියන කොටසට අයිති වෙන්නෙ හියුමැනිටීස් ෆැකල්ටිය, සෝෂල් සයන්ස් ෆැකල්ටිය සහ කොමර්ස් (මැනේජ්මන්ට්) ෆැකල්ටිය. අලයෝ කියන්නෙ ඉතින් සයන්ස් එකේ අපි කට්ටියට.

බස්සිලා එක වසරෙ ඉන්න කාලෙ මේ දෙපාර්ශවය හරියට නයි මුගටි වාගෙ. ළඟින් ගියොත් ඇහැක් නෑ-ළඟ හිටියොත් ඇස් දෙකම නෑ. ඒත් දැන් ඉන්න අලුත් නංගිලා මල්ලිලා එහෙම නැතිව සමාදානෙන් වැඩ කරගෙන යනවා කියලයි ආරංචි.

පොද්දොන්ගේ සහ අලයන්ගේ බෙදීමට හේතු වුනේ ප්‍රධාන මත ගැටුම් දෙකක්.

1. රැග් කිරීම පිළිබඳ ගැටුම
2. ශිෂ්‍ය දේශපාලනය හා බාහිර දේශපාලනය

පොද්දන්ගේ මතය වුනේ අලුත් නැවක් ආවාම උන්ව රැග් කරලා ගානට හදලා ගන්න ඕනෙ කියන එකයි. හැමදාම උදේට පොද්දන්ගේ එක වසරෙ උන්ව පාර දිගට හිටවගෙන කුණුහරුපෙන් බැන්නාම උන්ට දරාගැනීමේ හැකියාව ඇතිවෙන බව පොද්දෝ විශ්වාස කලා. ඒ වාගෙම එක වසරෙ උන්ට විලුඹ දක්වා දිග ගවුම් ඇඳලා, කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන එන්න කීවාම උන්ගෙ විනය හැදෙන බවත් පොද්දෝ කියනව. අවුරුදු විස්සක විසිතුනක කෙල්ලෙක්ට මාස හයක් දිග ගවුම් අන්දලා උන්ගෙ විනය ඇතිකරන්න පුලුවන්ද කියන එක නම් බස්සිට සැකයක්!!



 ෆිසිකල් රැග් ගැනනම් බස්සිට වෙනම ලිපියක් ලියන්න තරම් දේවල් තියෙනවා. බරපතල රැග් සිද්දවෙන්නෙ රෑට. දවාලෙ එලිමහනෙ කරන ගොඩක් රැග් හරිම විනෝදයි. බස්සි ඈතට වෙලා ඒව බලා ඉන්නෙ එතනට ගිහින් පොඩ්ඩක් රැග් වෙන්න ඇත්නම් කියන ආසාවෙන්.

තෙල් බැම්මෙ ඉඳගෙන එක වසරෙ කොල්ලෙක් බෙර ගහනව. ඒ තාලෙට එකවසරෙ කෙල්ලෙක් නටනවා. තව තැනක ජෝඩුවක්ව කසාද බන්දනවා. පැත්තකට වෙලා ඇඹරි ඇඹරි ඉන්න කොල්ලෙක්ට කියනවා මගුල් ගෙදර ස්තූති කතාව කරන්නෙයි කියලා. ඉන් පස්සෙ ජෝඩුව අත් අල්ලාගෙන සිංදුවක් කියකිය හිල්ටන් කැන්ටිමට යන්න ඕනෙ. ඉතුරු උන් ටික පස්සෙන් දුව දුව පාවාඩ එලනවා, ලයිට් අල්ලනවා, ෆොටෝ ගන්නවා එක වැඩයි. (මේ ඔක්කොම අභිරූපන හොඳේ.)

ඒත් හවස හයෙන් පස්සෙ සිද්ධවෙන රැග් ඉතාම අමානුෂිකයි.

නොකා නොබී ගිනි අවුවෙ පිකට් වලට යන එක වසරෙ මල්ලිලා නංගිලා දැක්කම හිතට දුකයි. රටේ ප්‍රශ්ණ වලට විරුද්ධව එහෙමවත් හඬ නගන එක කොච්චර හොඳද..... ඒත් ඒකට නියම කැක්කුමක් තියෙන එවුන් ඉන්නෙ කීයෙන් කී දෙනාද? එක වසරෙ උන් පිකට් වලට යන්නෙ මරන්න ගෙනියන හරක් වාගෙ. ගොඩක් උන් සටන් පාඨ ලියාපු බෝඩ් ලෑලි ඉල්ලගන්න පොරකන්නෙ ඒකෙන් මූණ වහගන්න. අවුවෙ පිච්චි පිච්චි හාමතේ පාරවල් ගානෙ රස්තියාදු වෙලා, උගුර ලේ රහ වෙනතුරු සටන් පාඨ කියමින් කෑ ගහලා, අන්තිමේදි පොලීසියෙන් කඳුලු ගෑස් කන්න ආසාවෙන් යන්න තරමේ ගැම්මක් තියෙන උන් එක වසරේ ඉන්නෙ හරිම අඩුවෙන්. ඒක තමයි ඇත්ත.


අලයෝ රැගට විරුද්ධයි. ඇත්තම කීවොත් අලයෝ විරුද්ධ වෙන්නෙ ෆිසිකල් රැග් වලට සහ කුණුහරුප කියන්න විතරයි. අලයෙක් විදියට මොළ ශෝධනයට ලක්වීමම බස්සිට නම් එක්තරා ආකාරයක රැග් එකක්.

අ.ල. කියන එකේ තේරුම මොකක්ද කියලා ඇහුවොත් සයන්ස් එකේ අයියලා කියන්නෙ මෙන්න මෙහෙම්.

අ : අභියෝග + ල : ලබන්නෝ = අල : අභියෝග ලබන්නෝ

ඔය ප්‍රශ්නෙම පොද්දා අයියෙක්ගෙන් හරි අක්කෙක්ගෙන් හරි ඇහුවොත් (පොද්දෝ අතරෙ පුරුෂාධිපත්‍ය කියන එක අලයින්ට වඩා ගොඩක් අඩුයි හොඳේ.) එයාලා කියාවි මෙහෙම.

අ : අත්හරින + ල : ලද්දෝ = අල : අත්හරින ලද්දෝ

ඔය දෙකේම තේරුම අලයින්ට ගැලපෙනවා. මුලු විශ්ව විද්‍යාල පද්ධතියම අවුරුදු ගානක් තිස්සෙ පිලිපදින සම්ප්‍රදායකට විරුද්ධව නැගී සිටීම ඇත්තටම අභියෝගයක්.

පොද්දෝ ඒ අභියෝගය බාරගත්තු අලයින්ව අත ඇරලා දාල තියෙන බවත් ඇත්ත. ඉතින් අලයෝ කියන්නේ පොද්දන් විසින් අත්හරින ලද්දෝ තමයි.

මොනවා වුනත් අලයෝ රැග් කිරීමට විරුද්ධව සෑහෙන සටනක් ගෙනිච්චා. ඒත් කණ්ඩායම් හැඟීම අමතක කරලා කීපදෙනෙක් පොරවල් වෙන්න දැඟලීමත්, කාන්තා සහභාගිත්වය තුට්ටුවකට මායිම් නොකිරීමත් නිසා අලයින්ට යන්න තිවුනු දුර සීමා වුනා. රැග් නැති නිසා අයියලාගෙ කරේ නගින්න හදන එකවසරෙ උන්ව පාලනය කරගන්න එකත් පොද්දන්ට සාපේක්ෂව අලයෝ මුහුණ දීපු ලොකු අභියෝගයක්.

රැග් එකෙන් අලුත් නැවේ කෙල්ලන්ව කොල්ලන්ව හදන්න උත්සාහ කරන පොද්දො පැටලිලා ඉන්නෙ ලොකු මායාවක. මාස හයක් විළුඹ වැහෙන්න චීත්ත ගවුම් ඇන්ද කෙල්ලො රැග් එක ඉවර උන දවසට පස්සෙ දවසෙ කලවා පේන්න කොට ගවුමට බහින්නෙත්, රැග් කරපු සමහර අයියලා කෙළ හලාගෙන ඒ පස්සෙන් වැටෙන්නෙත් ඒ මායා දැලේ සිදුරු ඇතුලෙන්.

රැග් එකට විරුද්ධ බව කියමින් මහත්තුරු වෙන්න හදන අලයන්ටත් ගොඩක් තැන් වල වැරදිලා කියලා තේරෙන්නෙ ෆැකල්ටියෙ පොදු වැඩකට කට්ටියව එකතු කරන්න ගියාමයි. මැරීගෙන වැඩකරන උන් හැමදාමත් වැඩ කරද්දි, පැත්තක ඉඳන් තමන්ගෙ කාඩ් එකට ලකුණු දාගන්න කට්ටියට රජ සැප. ඒ අතරෙ කෙල්ලන්ගේ අදහස් වලට ලැබෙන සැලකිල්ල ගැනනම් කියන්න වචන නෑ!


පොද්දො වුනත්, අලයො වුනත් අපි හැමෝම සමාන පසුබිමකින් පැවතෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයො. දෙගොල්ලොම දුවලා තියෙන්නෙ මායාවක් පස්සෙ බව තේරෙන්නෙ සීන් එකෙන් කැපිලා ගිහින් එලියෙන් ඉඳන් බලාන ඉන්නකොට. මේ දෙපාර්ශවයටම අත්වැල් බැඳගෙන එක මාවතක යන්න හැකිවෙන දිනයක් උදාවෙනවානම් එදාට ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ නැවුම් පරිඡේදයක් ලියැවේවි.

18 comments:

  1. niyamai nangi, kaaaaleeena lipiyak...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කවි අයියා...!

      Delete
  2. "දෙගොල්ලොම දුවලා තියෙන්නෙ මායාවක් පස්සෙ බව තේරෙන්නෙ සීන් එකෙන් කැපිලා ගිහින් එලියෙන් ඉඳන් බලාන ඉන්නකොට...."

    හ්ම්ම්ම්...දැන් ඉතින් මෙයා සීන් එකේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. සීන් එක ඇතුලෙ ඉන්න ඔයාලට ඕවා තවම තේරෙනවා හොරයි.

      Delete
  3. අර අමානුෂි රැග් එක අක්කා දාල නැහැ නේ. වෙනත්ම ඇහැකින් මට දකින්න කැම්පස් එක දිහා ඔයාගේ ලිපිය ඉවහල් උණා, මම ගොඩක් ආසාවෙන් ඉන්නේ. හැබැයි ?
    අනේ මන්දා...

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. ජීවිතේ අපිට හමුවෙන ගොඩක් දේවල්වල පිටතින් පෙනෙන සුන්දරත්වය ඇතුලෙ නෑ මලයා. ඇතුලෙ වෙන්නෙ වෙනමම ස්ටෝරියක්. අමානුශික රැග් ගැන කියන්න පුංචි දෙගිඩියාවකින් ඉන්නෙ. ඇයි දෙයියනේ එවුවා පොද්දොන්ගෙ රාජ්‍ය රහස් නෙව. බලමුකො. බස්සි ඔය අමානුෂික රැග ගැන අලයින්ගෙ මැගසින් එකකටනම් ලිවුවා. ඒත් කාන්තාවක් වීම නිසා බස්සිට තමන් ලියාපු ලිපිය පලවුන විදියවත් දකින්න ලැබුනෙ නෑ.

      මොකද "අනේ මන්දා" කියන්නෙ? මේ පාර ඒ ලෙවල් ලියනවාවත්ද?

      Delete
  4. රැග් එක ගැන මම නම් දකින්නේ මේ විදිහට.වදුරෝ වගේ සත්තු රංචුවකට අලුත් සතෙක් ආවම රංචුවේ ඉදපු උන් අර අලුත් එකාට ඉන්න දෙන්නම නෑ.වද දෙනවා.කාලයක් යද්දී ඇරිලා යනවා.උන් වද දෙන්නේ උන්ට හම්බවෙන වරප්‍රසාද කෑම වගේ දේවල් අඩුවෙන නිසා ඉතින් අලුත් ඉන් එනවට කැමති නෑ.රැග් එකත් අන්න ඒ වගේ අලුත් කට්ටිය ආවම උන් පිළිබද ඉරිසියාවෙන් කරන දේවල් ඔය රැග් නිකම් පලි ගන්නවා වැඩක්.අපිත් ඉතින් වදුරන්ගෙන් පැවැත එනවලු නේ.ඉතින් සත්ව ගති තියනවා.එත් සයන්ස් කරන උන් ලග ඒවගේ ගති අඩුයි මොකද වැඩිපුරවම මොලේ පාවිච්චි වෙන නිසා.

    මේක කිවුවේ අපේ ඉස්කෝලේ විද්‍යා අංශ ප්‍රදාන සර්.ඒ කතාවෙත් ඇත්තක් තියනවා නේද.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව යම්තාක් දුරට ඇත්ත වෙන්න පුලුවන් සහෝ, මොකද රැග් කාලෙට පොද්දොන්ගෙ එක වසරෙ උන්ට ලයිබ්‍රරි යන එක තහනම්. ලෙක්චර්ස් යවන්නෙ පරක්කු කරලා. කන්න ඕනෙ ජිම් කැන්ටිමෙන් විතරයි.

      අලයො කරන්නෙ ඊට වඩා වෙනස් දෙයක්, උන් එක වසරට ලයිබ්‍රරි යන්න තහනම් කරන්නෙ නෑ. ඒත් ලයිබ්‍රරි යන උන්ව එපා වෙනකම් චාටර් කරනව.

      "පජාතයි මල්ලි. බලපන් අපි කවදාවත් ඔය අටමගලට රිංගලා නෑ බං වැස්සකටවත්. ඇයි බං ඔය ලයිබරි මගුලෙ මොනාද ඔච්චරම බලන්න තියෙන්නෙ?" කියකියා බැච් මීටින් වල එක වසරෙ උන්ව චාටර් කරන් දෙක වසරෙ අයියලා එක්සැම් ලං වෙනකොට උදේ හතේ ඉඳන් රෑ අට වෙනකන්ම පුස්තකාලෙ. සමහර උන් රෑ අටෙන් පස්සෙත් යන්නෙ නෑ කැන්ටිමක මේසයක් අල්ලගෙන පාඩම් කරනව. ඒත් එක වසරෙ උන්ට බොරු ටෝක්ස් නම් දෙනවා.

      Delete
  5. උඹ නියමෙට කියලා තියනවා මචං....
    මම ඔය "පොද්දෝ" කියන කුලකෙට අයිති වෙන එකෙක්..හැබැයි ඔය කතා කරන වවිශ්වවිද්‍යාලෙ නෙවෙයි. අපේ ෆැකල්ටිය මීට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. ඔය dress code විකාර අනම් මනම් අපි කරන්නේ නෑ. physical ragging කරන්න දෙන්නෙම නෑ! විකාර!
    නවකයන් විශ්ව විද්‍යාල සංස්කෘතියට අනුගත කරවන නම්නිකරණ වැඩසටහනක් විතරයි තියෙන්නේ.
    මම හිතන විදිහට ඒ විදිහේ දෙයක් සරසවි උපසන්කෘතිය ඇතුලේ තිබිය යුතුයි! හැබැයි අමානුෂික විකාර අනිවාර්යෙන්ම නැති විය යුතුමයි!

    ReplyDelete
    Replies
    1. එහෙම වැඩසටහනක් නැති එකෙන් තමයි සහෝ අලයො අතරෙ සහයෝගය බිංදුවට බැහැලා තියෙන්නෙ. මැද මාවතේ ගමන් කරන එහෙම ෆැකල්ටි තියෙන බව දැනගන්නට ලැබීමත් සතුටක්.

      Delete
  6. මේ ලිපිය නියමයි.. ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවීන්! බස්සිගෙ නවාතැනට අලුතෙන් ගොඩබැහැපු කුරුල්ලෙක් වගේ...... සාදරයෙන් පිලිගන්නවා!

      Delete
  7. /* ඒ වාගෙම එක වසරෙ උන්ට විලුඹ දක්වා දිග ගවුම් ඇඳලා, කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන එන්න කීවාම උන්ගෙ විනය හැදෙන බවත් පොද්දෝ කියනව. */

    තලිබාන් කේස් එකක් නේද? අණිත් අතට පුරුෂෝත්කර්ෂවාදව වගෙයි මට නම් පේන්නේ.

    මාත් ඔය කන්ද නැග්ගා බැස්සා අවුරුදු තුන හතරක්. ඔහොම දිග සාය කේස් නං දැක්කේ නෑ.

    ReplyDelete
    Replies
    1. කකා කන්ද නගින්ට ඇත්තෙ එක්කො ඇස් පියාගෙන, නැත්නම් රැග් සීසන් එකක මේ පැත්තට පය ගහලාවත් නැහැ! ඕන් ඔච්චරයි මට ඒ ගැන කියන්ට තියෙන්නෙ!!

      අවුරුදු තුන හතර කොයි කාලෙ වගේද හැබෑට? රැග් කන්සෙප්ට් එක එන්න කලින්ද මන්දා.... ඒ තරම් ඈත අතීතෙ නම් ඉතින් ඔයා කියන කතාව ඇත්ත වෙන්ට ඇති.

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතියි අක්කා. සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!!

      Delete
  9. well said akki :) kunuharapa kiyana ewa ahala jiwithe epaa wuna rag season eke. kelani kanda naginna thibba hithe haiya naththatama nathi wuna. ada harila baladdi rag eken hadunu dekuth naha hadunu kenekuth naha

    ReplyDelete
  10. Maara lassanaii...👍👍👍 kywanna aaasii thawa me wage ewa...

    ReplyDelete