Saturday, October 31, 2015

ඉසේරුදාවට මඩුවල්ගෙන් තැලීම





ලංකාවේ පොලීසිය දවසෙන් දවස, වැඩිවැඩියෙන් ජනතා ප්‍රසාදය දිනාගනිමින් ඉන්නවාය. වෙන මොන සම්මානයක් ගත්තත් ඔය කියන ජනතා සම්මානෙ දිනාගන්නවායැයි කියන එක සුළුපටු කෙලියක් නෙමේය. ඒකට අනවරත ලෙස එක්සෙප්ෂනල් පර්ෆෝමන්ස් පෙන්වීම අනිවාර්යය. ශ්‍රී ලංකා පොලීසිය මේ දිනවල කරමින් ඉන්නේ ඒ අසීරු රාජකාරිය ය.


එච්.එන්.ඩී.ඒ එකට උපාධි මට්ටමේ පිලිගැනීමක් ඉල්ලාගන්න කොල්ලො කෙල්ලෝ පාරට බැස්සේ කන්තෝරු ඇරෙන වෙලාවට කිට්ටුව වෙච්චි එක හුදු අහම්බයක් පමණක්ම බව අපි හොඳටෝම දන්නවාය. උන් විඳින දුක ගැන බොක්ක උණුවී ගිය සමහරක් මාමලා බාප්පලා උපදෙස් දෙන පරිදි කොහේ හෝ පාළු පිට්ටනියකට ගිහුන් උද්ඝෝෂණේ කලානම් තප්පර කීපෙක සුනංගුවෙන් ඔය ප්‍රස්නවලට විසඳුම් බන්දේසියක තබා පිට්ටනියට වැඩමවන්නට අපේ රටේ විෂයභාර මැතිඇමැත්තෝ මැලිවන්නේද නැතිය. ඒ හින්දා කලම්බු සිටි එක මැද්දෑවේ පාරවල් බොක් කිරීම  අම්බ මරිමෝඩ ක්‍රියාවක්‍ ය.


එහෙම කරනකොට කාකිසූට් එක ඇතුලේ තියන පොලිස් පපුකැවුතු හුදී ජන පහන් සංවේගය පතා චටපට ගාලා උණුවෙන්න ගන්නවාය. ඒ උණුවීමේ ප්‍රතිඵල විදියට කඳුළු ගෑස් වැදෙන මානේ තියෙන හැම ඇහැකින්ම සටසට ගාලා කඳුළු කැට වැටෙනවාය. උදේ හිට බැරියර් අයිනේ හිටගෙන බකන්නිලාගෙන සිටීමෙන් හිරිවැටුන ඇඟපතේ හිරි ඇරගන්නට බැටන්පොලු කරකවා ඇක්සයිස් පාරක් දානවාය. ඇක්සයිස් අස්සේ බැලේ නැටුං නටන්ඩ යන ගෑල්ලමයින්ගේ ඔළු පැලුනාට පොලීසියට සෝලි තියා පලක් නැතිය. මොකද, අබ්බඩා 'රිලාහාමි වඩිග පටුන නටා පෙන්නාපන්' කියන පරක්කුවෙන් කෝටුව කරට ගන්න රිලවාගේ ඇක්ෂන් එකට එහා යමක් එතන සිද්ද උනේ නැතිබව තේරුංගන්න තරමට අපි දැන් අත්දැකීම් අතින් පරිණතය.


'හාං පුතා දැන් කදමළු බැඳගෙන මාමා නැන්ද බලන්ඩ යන හැටි පෙන්නාපං' කියන පරක්කුවෙන් සමහරක් රිලව් පෝස්ටර් කරේ තියාගෙන නැන්දම්මා බලන්න යන බවත්, පරල වෙන නැන්දම්මා එලව එලවා පිට හරහා කෙලිනකොට කදමළු පාර මැද හැරපියා ගුටිකකා දුවන බවත් දැක්කාට, නොදැක්කා සේ ඉන්නට ඕනෑය. නෑගම් යන්න නියෝග දුන් එකා එලෝ සංසාරයක් නැතිව ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවන එකත්, ඔලු පැලුන, ලේ හැලුන පොටෝ, වීඩියෝ හතර අතේ බෙදාහරින එකත් අමතකම කර දැමීම වඩා සුදුසුය.


හැබැයි, කල්පනාකරගෙන යනකොට උන් එහෙම ප්‍රවෘත්ති සාකච්ඡා තියාගෙන, පොටෝ, වීඩියෝ පෙන්නාගෙන, දිව විකාගෙන, පස්ස රත්කරගෙන දැඟලීමත් අම්බ සාධාරණය. ඇයි හත්වලාමෙ, තොරතුරු දැනගැනීමේ අයිතිය එක සේසයකින්වත් මර්ධනය නොකරන යහපාලන රජයේ ජනාධිපතිතුමා ඔය තොරතුරු දැනගන්නේ පහුවදා පත්තරෙන් ය. නැත්තං රේඩියෝ එකේ පැයෙන් පැය පුවත්වලින්‍ ය. ඒ අතින් බලනකොට, මීඩියා කඩකාරයෝත්, අන්තරේට නියෝගදෙන යකඩ කටවල් ටිකත් කරන්නේ සුලුපටු සේවයක් නෙමේය.


බලාගෙන යනකොට මුං කාගෙවත් අතේ වැරැද්දක් නැත!


වැරදිකාරයෝ අපිය. 

සාමකාමී උද්ඝෝෂණයක් කඩාකප්පල් කිරීමේ අරමුණෙන් හරියට හවස හතරහමාරට කන්තෝරු ඇරී ගෙදර යන්නට පාරට බැස්ස අපිය. පිම්මේ දුවගෙන ගිහුන් වෝඩ් ප්ලේස් හරහා යන බස්වල එල්ලුන කාලකණ්ණි අපිය.


මං කියන්නේ, අපිට මඩුවල්ගෙන් තලලත් මදිය!




56 comments:

  1. හැක්...මාත් කියන්නේ අපිට මඩු වලිගෙන් තලලා මදිය! මී හරක් දමා පෑගිය යුතුය... :)

    ReplyDelete
  2. http://nelumyaya.com/?p=4524
    ඕකට උපාධියක් දෙනවා නම් තව කීයකට දෙන්න ඕනෙද බස්සි.

    ReplyDelete
    Replies
    1. ඒකට කලින් කොයිතරම් දේ කරන්න තියෙනවද? උපාධි මට්ටමට ගන්නනම් එහෙනම් සිලබස් එක ඒ ස්ටෑන්ඩර්ඩ් එකට ගන්න ඕනෙ, ඊගාවට සුදුසුකම් ලත් ආචාර්යවරු ඉන්න ඕනෙ. අනික නොමිලේ දෙන එකක් නම් (මම හරියටම දන්නෙ නෑ) ටෙස්ට් එකකින්වත් තෝරගන්න ඕනෙ.

      එක්කො අවුරුදු තුනක්/හතරක් ඩිප්ලෝමා එකට ඉගෙනගත්ත අයට ටෙස්ට් එකක් තියලා වැඩි ලකුණු ගන්න අයගෙන් තෝරගෙන එයාලට තව අවුරුද්දක් ඇතුලත උපාධි මට්ටමට ඉගෙනගන්න වැඩපිලිවෙලක් තියන්න ඕනෙ.

      ළමයි ඉගෙනගන්න ඕනෙ, ඇත්ත. රාජ්‍ය විශ්වවිද්‍යාලවල අය මේවට විරුද්ධ වෙන එක ගොන්කමක්, ඇත්ත. ඒත් හැමදේකම පිලිවෙලක් තියෙන්න ඕනෙ.

      හැබැයි මේ ළමයි පාරට බැස්සෙ ඒ හැම උත්සහයක්ම අසාර්ථක වුන නිසානම්, මම මුන් එක්ක!

      Delete
  3. අනිවා එහම දවස්වලට අපි ඔෆිස් යන වෙලාව වෙනස් කරන්න ඔනේ එහම නැත්නම් ඔෆිස් ටික පහලකරඔෑවට ගේමු..

    ReplyDelete
    Replies
    1. ඔය නොච්චියාගම හරියට ගෙනාවනං පාරත් පළල්..නැද්ද බං

      Delete
    2. එක්කො අපි වගේ රෑ හත අට වෙනකම් ඔපිස් එකේ ඉන්න ඕනෙ.

      Delete
  4. අප්පා බලගෙන ගියහම අපි තමා වැරදියි නේද බස්සි.... විසඳුම් දෙන්න කිවුවේ අපරාදේ.මොකද අපේ විෂය භාර අය අපි වෙනුවෙන්ම පේ වෙලානේ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඩිජිටල් කියන වචනෙ ඇහුවෙත් අමාත්‍යාංශෙ බාරගන්න වෙච්ච දවසෙලුනෙ.

      Delete
  5. මිනිස්සු වැඩට යන්නත් ඕන තමා, ඒත් ඔය එච් එන් ඩී ඒ කොල්ලෝ උද්ගෝෂණයක් කරන්නත් ඕනා, කාටත් පෙන මතුපිටට වඩා එහා ගියපු දෙයක් ඔය ස්ලියට් පරිපාලනය ඇතුලේ තියෙනවා, බලධාරීන් එක්ක කතා කරලා වැඩක් නා උන්ට ඇස කන් නැහැ, අනික සාකච්චා මට්ටමෙන් ප්‍රශ්න විසඳ ගන්න ඔය කොල්ලෝ ආසා නැතුව නෙවෙයි, එත් බීරි අලින්ට වටමේස වල ඉඳන් වීන ගහන්නත් ඔය කොල්ලෝ ආසා නැහැ. එතනට එහා ගියපු ජන අරගලයකින් වත් ප්‍රශ්න වලට විසදුම් ගන්න තත්වෙට උන් වැටිලා තියෙනවා, ගැටලුව තියෙන්නේ කෝස් වැලිඩේෂන් මත, එක පාරටම පුදුමයි ඩිප එකකට කොහොමද ඩිග්රි වලිඩ් එකක් දෙන්නේ කියලා, කාටත් පෙන්නේ එතන විතරයි, එත් අලිත් සිලබස් රිවයිස් එකෙන් පස්සේ ජපුර සිලබස් එකයි මේකේ සිලබස් එකයි දෙකම එකයි ගොඩක් දුරකට, හැබැයි ජපුරේ උගන්නන කථිකාචාර්ය වරු මහාචාර්යවරු හිටියට මේකේ එහෙමත් නෑ, සිලියට් එකෙන් ගෙවන්නේ විසිටින් ලෙක්චර් කෙනෙකුට එක ලේක්චරෙකට 1000, ඉතින් ලේක්චර්සලා එනවද කියලත් සැකයි, එන අයත් රට දාල යන තත්වෙට උසස් අද්‍යාපනය කඩාගෙන වැටිලා, එකට අරමුණක් නැතිව වල් මත් වෙලා.

    ඕක අද ඊයේ ප්‍රශ්නයක් නෙවේ, 1986 ඉඳන් ඇදෙන ප්‍රශ්නයක්, එවකට උසි අද්යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවලුත් පුස් කනකොට තාමත් සුදු බණ්ඩා දිසානායකත් එක්ක අපිත් ස්ලියට් එකේ එච් එන් ඩී ඊ විදියට ඔක්කොම කොසස් ගැන කතා කරා, මල පෙරේතයා අපේ පිනට ආපු ඔස්ට්‍රියා නෙදර්ලන්ඩ් ෆන්ඩ් එක ඩිරෙක්ටර් ජෙනරාල් විදියට මහාචාර්ය කපිල සී කේ පෙරේරාව දාල හුරන් කන්න ගත්තා, වට මේස සාකච්චා වලදී උගේ මුනට ෆයිල් එකෙන් ගහපු වරදට අපිව සස්පෙන්ඩ් වෙනවා මාස දෙකකට.

    කළෝ ෆොන්සේකා ශක්‍යතා අද්යන වාර්තාව අනුව එක්කෝ කැළණියත් එක්ක එකතු කරන්න හරි නැත්තම් එකේම ටොප් අප් වෙන විදියට ඩිග්‍රිය ගන්න අපිට පුළුවන් උනත් ඒ දේවල් අද අමාත්‍යංශ ඇමතිලා මාරු වෙලා නැවතිලා. දකුණු ආසියාවේ තාක්ෂනය අතින් දියුණුම ලැබ් ෆන්ඩ් එක නිසා අපිට හම්බු උනත් ඒවාට හරියන ඩිමෝ කෙනෙක්වත් නෑ.

    අන්තිමේ රෙද්දේ යහපාලානේ අහිංසකයන්ට කෙළවන්නේ මෙන්න මෙහෙමයි, තු නෙදකින්.

    ReplyDelete
    Replies
    1. සොමියෝ.. දැක්ක කල් .

      Delete
    2. ඉතාම වගකීමෙන් කියනවා අපි ඉන්න කාලේ නම් එච් එන් ඩී කෝසස් එකක් වත් අන්තරේද වහන්තරේද කියන පෙරටුගාමීන්ට කඩේ යන ජවිපෙට මුවා වෙච්ච රැල්ලට නම් යට වෙලා තිබුනෙත් නා යටවෙන්න දුන්නෙත් නෑ, අපි කෑ ගැහුවේ හෙට උපදින්න ඉන්න එවුන් වෙනුවෙන් වත් නිදහස් අධ්‍යාපනේ ගැනවත් නම් නෙවේ, අපි කෑ ගැහුවේ අපි ගැනම, මොන රෙද්ද රැක ගන්නත් ඉස්සෙල්ල තමන් රැකිලා ඉන්න ඕනා, එකවත් නොතේරන පොල් බූරුවෝ වගේ වෝඩ් ප්ලේස් බ්ලොක් කරන උගුර ලේ රහ කරගත්තා කියලා හම්බුවෙන මල දානයක් නැති වග සක් සුදක් සේම දැන දැනත් මීඩියා වලට ෂෝ එකක් වෙන්නයි පොලිස් හැත්ත ඇවිත් නෙලනකොට එකෙන් වාසි අරන් ගොඩ යන්නයි ඉන්නවනම් මේ රටේ නිදහස් අද්යාපනයට අබ සරණයි ඉතින්. ඔය පාර බ්ලොක් වෙන කොට පොලිසියට ඉහලින් අන් එන විදියත් දන දැනම අන්තිමේ බද ගෝස්තරවාදී විරෝධතා රැල්ලක් නිර්මාණය වෙච්ච හැටි නම් අදෝමැයි. විදානේ අයියා පහලින් එයා දැකපු පැත්තක් විතරක් කියලා තියෙනවා. හැබැයි විදානේ අයියා මනින්නෙක් විදියට සබරේ නම් එයාට විශ්ව විද්යාල ළමයින්ගේ ප්‍රශ්න ගැන වෙනමම අත්දැකීම් තියෙන්න ඕනා,

      මමත් උපන්ගෙයි අලයෙක් තමා ඒ අලයෙක් උනෙත් ඒ රැග් එක උපරිමයෙන්ම කාල බකට් උනාටත් පස්සේ, එත් මැදිහත්වීම සිදුකලයුතු තැන මැදිහත්වීම අනිවාර්යයෙන්ම කලයුතුයි, එත් මෙතැනදී මොකද වෙන්නේ මේ ළමයි ඔක්කොම පාරට බහින්න්ස් සිද්ද වෙනවා, මෙතන ෆස්ට් ඉයර් සෙකන්ඩ් තර්ඩ් ෆය්නල් කියල වෙනසක් නෑ සුන්දර නැවක් මවාපාලා ඒ නැවට කට්ටිය නග්ගගෙන ඊට පස්සේ නව ගිලෙන තත්වෙටටම මේ පලනාධිකාරීන් මේ කෝසස් වලට වැඩේ දීල තියනවා, මේ කොසස් නමට පමණක් ලංකාවේ තිබ්බම උන්ට හොඳටම ඇති, ලංකාවේ වැඩිම විදෙස් ශිෂ්ශත්ව පලනාධිකාරයට හම්බවෙන එකම ආයතනය ස්ලියට් එක විතරයි, උන්ට ඒ කෑම විතරක් තිබ්බම හොඳට ඇති. තමන් ඉන්න නැව ගිලෙන කොට එල්ලෙන්න පිදුරු ගහත් වටිනවා, ඔය කොසස් ඔක්කොම යහපාලන ආණ්ඩුවෙන් අමාත්‍යංශ විෂය පත වෙන්කර ගන්න බැරුව උසස් අධාපන අමාත්‍යංශයෙන් ගලවලා නිපුනතා සන්වර්ධනෙට ගැසට් කරනවා.හැබැයි මහලොකුවට එන වී කියූ ලෙවල් 7 හදලා එකේ 6 මේ කොසස් වලට දෙනවා, මොකටද දන්නේ නෑ. එතනත් අවුල්,

      පොඩ්ඩක් හිතන්නකෝ යුනිවසිටි ඔෆ් මොරටුව කියලා ගහන නැතිව ඩිග්‍රිය දෙනවා කියලා, කොහොමට හිටීද? ඒවගේමයි පෙරා, රුහුණ, ජපුර ඒ වගේ දුන්නොත් කොහොමද, ඔය හැම කැම්පස් එකකම වැඩර්ලා නෑ වගේම පිනට ගිය සෙට් එක ගොඩ යන්නේ ඔය නමෙන්, එ වගේමයි ඔය කොසස් ගැනත්, නමෙන් ගොඩ යන සෙට් එකකුත් ඉන්නවා, ඉතින් ඒ නමටත් කෙල උනාම කොහොමට හිටීද? ඒ වගේම ඉන්ඩ්ස්ට්‍රි එකේ තමන්ගේ පෆොමන්ස් වලින් ගොඩ යන එවුනුත් ඉන්නවා, (මගේ පුද්ගලික මතය) එවුනුත් හැබැයි ඉන්ඩස්ට්‍රි මුලින්ම බහින්න තමන්ගේ දෑතට හම්බවෙන කොළ කෑල්ල පෙන්නලා, ඒ කොළ කෑල්ලේ වැලිඩ් එකක් නැත්තන් කොහොමට හිටීද අවුරුදු ගානක් තමන් කන කට්ටේ පලක් නා කියලා හැඟෙන කොට, ඕවා රට කරන උන්ට තේරෙන් නෑ.

      සම සෞඛ්‍ය ප්‍රශ්නේ වගේමයි එකත්, කොස් එකේ කාලය කප්පාදු කරලා වැලිඩ් එක බස්සන්න හදුපු කාලේ මතකද? අතිමේ පාරට බැස්සේ අම්මලා තාත්තලා දරුවෝ නෙවෙයි, තමන්ගේ දරුවෝ අනාත කරන පාලකයන්ව පත් කරගත්ත අම්මලා තාත්තලාමයි. රට කරවන උන්ට උනා උන් ගහන ගහන පදේට නටන ශ්‍රම හමුදාවක් මිසක් බුද්ධි හමුදාවක් නොවෙයි, බුද්දි හමුදාවකට ගෙවන්න මුදල් ගෙවන්න මහා භාණ්ඩාගාරේ හිස්, ශ්‍රම අතින් උත්පාදන ආර්ථිකයක් මිසක් ඉනොවේටිව් මික්ස් ආර්ථිකයකට අපේ රට කවදාවත්ම යන්නේ නැහැ.

      ඒ නිසා තමයි අපි එදා ඉඳන් කියන්නේ බුද්ධිවාදය තුලින් බුධ්දිමතුන් එක අරමුණක් උදෙසා එක්වෙමු කියලා (Round up intelligentsia throughout the intellectualism).

      හැබැයි විදානේ අයියා කීවා වගේ ප්‍රදර්ශනාත්මක උද්ගෝෂණ වලට ගිහින් ඉල්ලන් කෑම තරම් ලොකුම ගොන් කමක් තවත් නැති මහජනයා පීඩාවට පත්කරමින් කරන උද්ශෝෂණ වලදී තව ටික කාලයකිට පසු නීතිය අතට ගන්නේ පොලීසිය නොව මහජනයාම බව මොවුන් සිතා ගත යුතුය, අදටද මුන්ට ගහන්නම තමා වටින්නේ කියන මිනිසුන් නැතුවාම නොවේ නේද? ගාන්ධි දර්ශනය තුලින් අවිහින්සාවධීව හා සකච්කා මාර්ගයෙන් විසඳා ගත හැකි ගැටළු පාලකයින් සේම සිසිවන්ද දෙපැත්තෙන්ම උදුදුවවා මාධ්‍ය හරහා පහත් ලෙස තම තමාගේ හුදු පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම නින්දිතය, එය පිලිකිලෙන් යුතුව හෙලා දකිමි. අන්තරයද ඒ හෙළාදැකින ලයිස්තුවේ ඉහලින්ම සිටිති.

      Delete
    3. අඩේ සොමියෝ.... මමත් උඹගේ නැවේමයි. කියන්න තියෙන්නෙත් එමමයි. මගෙත් ඔය යුනියන් අත්දැකීම් තියෙන නිසා දන්නවා. මේක මායාවක්. කාගේහෝ අජෙන්ඩා එකක් කියල දැක්ක ගමන් මටත් පෙනුනා. දුකයි අපේ නිදහස් අධ්‍යාපනේ ගැන. නමුත් විය යුත්තේ මෙයද?

      Delete
    4. සොමියා, මල්ලි ඔයා ෆීල්ඩ් එකේ උන්නු කෙනෙක් නිසා මේ අදහස් දැක්වීම බොහොම වටිනවා.

      ඇත්ත. මේ ළමයි ඉල්ලන්නෙ මේකට අහසෙන් පාත්කරලා උපාධි තත්වය ලබාදෙන්න කියල නෙමෙයි වෙන්න ඕනෙ. ඒත් මහජනතාවට ඒක සන්නිවේදනය වෙන්නෙ එහෙම. එච්.එන්.ඩී.ඒ. එක සම්පූර්ණ කරලා එතැනින් ලකුණු මට්ටම අනුව තෝරාගත් පිරිසක් උපාධිය සම්පූර්ණ කරන්න යොමු කිරීමේ වැරැද්ද මොකක්ද? ඒක කරන්න බැරි ඇයි.

      අනිත් අවුල්ම සීන් එක තමයි, ඔය කියන දේවල් කරන්න අදාල තනතුරුවල ඉන්නෙත් මේ වගේම නිදහස් අධ්‍යාපනය ලබපු, මේ වගේම පාරවල් ගානෙ කටු කාපු උන් වීම. දැකල තියෙනවද මන්දා උන්ට ඒවගෙ තැන්වලට ගියාම එකපාට මොලේ රිසෙට් වෙලා අතීතය සේරම අමතක වෙන හැටි.

      Delete
    5. මේ ප්‍රශ්ණය කොහොම උනත් කැම්පස් එකේනම් උපයා ඔය කියන බළල්ලු ලවා කොස් ඇට බෑවීම අපි අනන්තවත් දැකල තියෙනවා. එතන යන්නෙ වෙනම ඇජෙන්ඩා එකක්. අසරණ ළමයින්ගෙ ප්‍රශ්ණ වවාගෙන කෑමක්.

      Delete
  6. උද්ගොෂනයට යන බහුතරයක් සිසුන් එයට සහභාගීවන්නේ සිය කැමැත්තෙන්ම නොවේ.. කරන්නට කිවිවක් නොමැති නිසාය. මෙම උද්ගොෂන සංවිදානය කරන සුළු පිරිසකගේ ඒකායන අරමුණ කිසියම් හෝ ගැටුමක්ය. එසේ නොමැතිනම් ඉල්ලං කෑමක්ය. මෙසේ ඉල්ලං කෑමේ අරමුණු කිහිපයකි. එකක් රට තුල දැඩි ප්‍රචාරයක් ගෙනයාමයි. අනික දේශපාලන අවස්ථාවදයි.
    ලොව කිසිම තැනක පාලකයන් මර්ධනයෙන් වැලකී සිටින්නේ නැත ඔවුන්ගේ පැවැත්මට බාධාවන බහුතර දේ මර්ධනයට ඔවුන් පසුබට නොවෙත. චීනයේ, රුසියාවේ, ඇමරිකාවේ, වෙනිසුයුලාවේ... ඕනෑම තැනකට මෙම තත්වය පොදුය, තුච්ච මර්ධනය තමන්ගේ පැවත්මට නිර්ලෝභීව යොදවයි. යහපාලනය කියා වෙනසක් නැත. සමාජවාදී පාලනයක් කියාද වෙනසක් නැත..
    උද්ගොෂක සංවිදායක වරු මර්ධනය බෙහෙවින්ම කැමතිය. මර්ධනය හමුවේ අහිංසකයෙක් මියගියේනම් එයට වඩාතම කැමතිය.. එවිට ඔවුනට වෙන්දේසිකර විකිනීමට මලමිනියක් ලැබෙන බැවිනි. ආකර්ෂණීය කතන්දර වලට ඇන්දෙන දඟකාර තාරුණ්‍ය වෙඩි උන්ඩයට පපුව දීමට, බැටන් පොලු පහරට හිස ඇල්ලීමට ඉදිරියට යති. ඔවුන්ගේ ජීවිතවලට වගකියන කිසිවෙක් අතීතයේ සිටියේද නැත අනාගතයේ සිටින්නේද නැත

    ReplyDelete
    Replies
    1. //තාරුණ්‍ය වෙඩි උන්ඩයට පපුව දීමට, බැටන් පොලු පහරට හිස ඇල්ලීමට ඉදිරියට යති. ඔවුන්ගේ ජීවිතවලට වගකියන කිසිවෙක් අතීතයේ සිටියේද නැත අනාගතයේ සිටින්නේද නැත//

      දාපං මස්සිනා පහක්.. !!!!!!
      ++++++++++++++++++++++++++

      Delete
    2. එහෙම පැත්තකුත් තියෙනවා තමා. අළුත් බැච් එකක් ආවාම මේ කියන කෂ්ටිය තම පැවත්ම තහවුරු කරගන්නවා (වයසින්) පොඩිඋන්ගේ අත්දැකීම් අඩුකම සහ බලපෑම් මගින් පාරට දක්කලා. වාර්ෂික උත්සව.
      ඒ වුණාට මෙහෙම කාලකණ්නි මී හරක් ගැහිල්ලක්නං ලොවෙත් නෑ.

      Delete
    3. සියට සියයක්ම එකඟ නැහැ විදානේ අයියා, හැබැයි අත්තක් නැතුවමත් නෙවෙයි.

      Delete
    4. සිරා කතාව විදානේ.

      ඔහොම යනකොට කන්න වෙනවා කියල සංවිධායක අයියලා අත්දැකීමෙන් දන්නවා. ගොඩක් අය කරන්නෙ ෆස්ට් ඉයර්ස්ලාව ඉස්සරහට දාලා මාරුවෙන එක.

      සමහර කෙල්ලො බයට පෝස්ටර්වලින් මූන හංගන් යන්නෙ. ඒකයි ඇත්ත.

      Delete
    5. සොමියා :

      විදානේ මේ කියල තියෙන්නෙ රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන ටිපිකල් උද්ඝෝෂණවල තත්වය මල්ලි.

      Delete
  7. මම නම් කියන්නේ සිස්සත්ත සහතිකෙත් උපාධියක් කියලා පිලි ගන්න ගන්න කියලා... මොකෝ ඒකටත් අවුරුදු පහක් මාර කට්ටක් කනවනේ..

    ඒ දරුවන්ගේ අම්මලා තාත්තලට තව ගෞරව උපාධියක් වගේ එකක් දෙනවා නම් තවත් වටිනවා..

    ReplyDelete
    Replies
    1. අනිවා. ළමයින්ට කෙසේවෙතත් අම්මලාටවත්.

      Delete
  8. රත්තරං වචන ටික බස්සියේ...

    එහෙනං ඒකටත් වැරදි කාරයෝ අපි නොවැ...........හැක් හැක්

    ReplyDelete
  9. මගුලක්.. HNDA එකට උපාධියක් විදියට පිළිගැනීමක් දෙන්න කියල ඉල්ලන එක එකක්. ඒත් කොළඹ පාරවල් හරස් කරපු එක වැරදියි. හැබැයි පොලිසියෙන් ඔලු පලපු ඒකත් වැරදියි.

    ReplyDelete
    Replies
    1. ඔය කියපු දෙකටම අමතරව, බළල්ලු ලවා කොස් ඇට බාවන දෙපිලේම ඉහල පුටුවල ඉන්න අයත් වැරදියි.

      Delete
  10. ගුටි කන්න බලාගෙනම ආපු උදවිය ගුටි කන්නම ලෑස්ති වෙලා ආව.... නැත්තං ගල් වලින් පොලිසියට ගහයි යෑ... පොලිස් කාරයොත් ගෑණුද පිරිමිද බලන්නෙ නැතුව ඔළු පැලෙන්න නෙලන්න සූදානම් වෙලා ආවේ. නැත්තං පොලු දෙක දෙක ගෙනේවියෑ .. දැන් ඔය කියන මෙව්ව එක ගුටි කෑව කියල හම්බුනාද?

    ReplyDelete
    Replies
    1. ගුටිකෑවම හම්බවෙනව කියල ඒ ළමයින්ට තෙල බෙදලනෙ එවන්නෙ සාමාන්‍යෙන්. පොලු දෙක දෙක ගෙනාවෙ ලී කෙලි පුරුදු වෙන්ඩලු සජ්ජෝ.

      Delete
  11. සහතික කියන්නේ අවුරුද්දට අඩු ඒවා. ඩිප්ලෝමා කියන්නේ අවුරුදු 1, හයි ඩිප්ලෝමා අවුරුදු 2. අවුරුදු 3 ක් කට්ට කනවානං උපාධි මට්ටමේ පිළිගැනීමක් දෙන්න බැරි ඇයි? එක්කෝ උගන්නන උන්ගෙ අවුලක්, නැත්තං ඉගෙනගන්න උන්ගේ අවුලක්. පාඨමාලා ප්‍රමිතිගතනං පාඨමාලා කාලය අනුව පිළිගැනීම සකස්වෙන්න ඕනි. කන කට්ටෙ තරමට පිළිගැනීම!
    බස්සියා, උඹේ මේ අත දිගඇරලා ලිවිල්ලටනං මං පට්ට ලයික්. ඒ හින්දා ඕං අත දිගඇරලා කමෙන්ටුව දැම්මා. තව ගහු කණ පැලෙංට!

    ReplyDelete
    Replies
    1. තව එකක්! අර කෙල්ලෙක්ට ගහන පොටෝ එක දාපු පත්තර කාරයිංගෙත්, ගහපු අයියගෙත් මංනං දැක්කෙ ‘ලිංගික ඊර්ෂ්‍යාව‘!

      Delete
    2. එහෙම කාලයෙන් විතරක් කෝස් එකක ගුණාත්මක බව මනින්න බැහැ නේද මදුවයියෙ? අනික එහෙනම් ඔය ළමයින්වත් කැම්පස්වලට යවන්න බැරියැ කැම්පස්වල පහසුකම් වැඩිකරලා.

      උපාධි මට්ටමට ගන්නනම් එක්කෝ සිලබස් එක ඒ ස්ටෑන්ඩර්ඩ් එකට ගන්න ඕනෙ, ඊගාවට සුදුසුකම් ලත් ආචාර්යවරු ඉන්න ඕනෙ.

      නැත්නම් අවුරුදු තුනක්/හතරක් ඩිප්ලෝමා එකට ඉගෙනගත්ත අයට ටෙස්ට් එකක් තියලා වැඩි ලකුණු ගන්න අයගෙන් තෝරගෙන එයාලට තව අවුරුද්දක් ඇතුලත උපාධි මට්ටමට ඉගෙනගන්න වැඩපිලිවෙලක් තියන්න ඕනෙ.

      හැබැයි ඔක්කොටම කලින් මුන් ගුටිකනව බලලා හුරේ දාපු උන්ගෙ ඔලු පලන්න ඕනෙ.

      Delete
    3. කෙල්ලො කොල්ලො කියල තේරීමක් නැතුව ඔහේ ගහපු බවයි මම නම් දැක්කෙ. පත්තරකාරයො ඒක පාවිච්චි කරන්නෙ මාර්කටින් වලටනෙ

      Delete
  12. .....//ලංකාවේ පොලීසිය දවසෙන් දවස, වැඩිවැඩියෙන් ජනතා ප්‍රසාදය දිනාගනිමින් ඉන්නවාය//....

    ඒකනම් ඇත්ත බස්සියේ...මැදිවයසේ පොලිස් නිලධාරියෝ තමන්ගේ දරුවෝ වගේ සිසුන්ට ඉතාම ආදරෙන් අතදිග ඇරලා ගහලා ඔලු පලලා හිරි ඇරගන්න විදිය දැක්කම මට මේ පොලිසියේ අය ගැන පුදුම භක්තියක් දැනෙන්නේ...ඒ වයසේම තමන්ගේ දරුවට කවුරු හරි ගහලා ඔහොම දෙයක් කරලා තිබුනොත් ඒ උදවියට තමන්ගේ දරුවට වෙලා තියන දේ දැකලා මොන වගේ හැගීමක් දැනෙයිද ?.
    ඒකමද මන්දා පොලිසියේ අයට යා දෙන්නේ නැත්තේ.....

    ReplyDelete
    Replies
    1. පව් මනෝ, එයාල ඇවිත් තියෙන්නෙ ඔෆිස් ඇරිල යන මිනිස්සුන්ට පාර අයිනෙ ඉඳන් ලී කෙලි නැටුමක් නටල පෙන්නෙන්නලු. ඒකයි බැටන් දෙක දෙක ගෙනත් තියෙන්නෙ. මේ කොල්ලො කෙල්ලො සෙට් එකක් නැටුම අස්සෙ රිංගන්න ගිහින් ඔළු පලාගෙන.

      Delete
    2. ඔය එවුන්ටත් මේ වගේ ළමයි ඉන්නව කියලා හිතන එක වැරදියි. උන්ට ඉන්න ළමයි එක්කෝ මන්ද බුද්ධික අය නැත්නම් එලොවටත් නැති මෙලොවටත් නැති අපතයෝ. තමන් ගෙ ලමයින්ට කරගන්න බැරිවුන දේ කරපු උගත් ළමයි දකිනකොට ඇතිවන පැහැදිලි ඉරිසියාව තමයි මේ විදිහට පිටවෙන්නේ. රුසියාවටත් වඩා ලොකු ඉරිසියාව සහ හීනමානය​.

      Delete
    3. හැමෝම පොදු වරහනේ දමා ගැරහීම මම අනුමත කරන්නේ නැහැ මිත්‍රයා. සමහර පොලිසියේ උදවිය අණක් ක්‍රියාත්මක කරනවා මිසක් පුද්ගලික තරහක් ඇත්තේ නැහැ. ළමයින් පවා ඒ වෙලාවට ඉල්ලන් කන විදියට තමයි වැඩ කරන්නේ. දෙගොල්ලොම ඉන්නේ ආවේගයෙන්. එතැනදී 'බුද්ධිමත්' දෙයක් වෙයි කියල ඔබ හිතනවාද?

      'වැඩිපුර ගුටිකෑමෙන් වර්ජන /උත්ඝෝෂණ සාර්ථක වේ' , මෙන්ම 'වැඩිපුර ගුටිබැට දීමෙන් හා මර්ධනයෙන් සාමය ආරක්ෂා වේ' යන මිත්‍යාවන් දෙකේ තමයි දෙගොල්ල ඉන්නේ. ඊට අමතරව ප්‍රේක්ෂකයා විසින් නගන හුරේ පාරවල්ද දෙගොල්ලොන්ගේම 'කික්' එකට හේතුවන නිසා වරද එක පසෙකට ගෙන වෙනම කතා කරන්නට කොහොමටත් බැරි බවයි මගේ හැඟීම. එතැන ශිෂ්‍යයින් හැසිරුණු ආවේගශීලි බව මමත් ඇසින් දැක්කා. ඒ හැමෝටම පොල්ලෙන් තලනවා මම දැක්කේ නැහැ. පසෙකට තල්ලු කරනවා මම දැක්කා. කෙල්ලෝ නම් සගයින් විසින් උස්සගෙන යනවා දැක්කා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඇහුවාද ඒ වෙලාවේ?? අශිලාචාර බව තමයි මගේ හැඟීම.

      සංග්‍රාමයට නවගුණ වල ගෙන නොඑනු
      සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිනු..

      තමයි මට මතක් උනේ.

      Delete
  13. බස්සි අක්කෙ කාලෙකින් මම දැකපු ඇඟ හිරිවැටෙන ගොඩක් සංවේදී පින්තූරයක් මේ උඩින්ම දාල තියෙන්නෙ පින්තූරයත් එක්ක ලිපිය කියවගෙන එද්දි හිතට එන කලකිරීම තරහව වචනවලින් කියන්න බැහැ.මේවා නොදැක්ක වගේ ඉන්න පුළුවන් හැබැයි දවසක අහේතුවකට අපිටත් මේ ඇවිත් හොඳ බැටන් පොලු පාරක් වැදුනම ...හා එදාටත් අපිමයි වැරදි ..ඔව් මඩුවල්ගෙන් තලලත් මදි.......

    ReplyDelete
    Replies
    1. ඇත්ත හංසි. මේක දිහා බලාගෙන ඉන්න සමහරු කියනව ඕකුන්ට ඔහොම නෙමේලු ගහන්න තිබුනෙ. මොනව කියන්නද කියල හිතාගන්න බෑ ඉතින් ඒ මිනිස්සු ගැන.

      Delete
  14. උඹලගෙ දෙබිඩි ප්‍රතිපත්තිය අවුල්. උඹලට තඩිබාන ගුරුවරුන්ට උඹලා බුලත් දීලා වඳිනවා. අපිව හදාගන්නනේ ගැහුවේ, නැතිනම් අද අපි හිරේ කියලා මූණුපොතේ status දානවා. ඒ වුනාට ඒ දේම කරන පොලිස් මහත්තුරුන්ට පලු යන්න බනිනවා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ( සොරි වෙන්ඩෝ... වැරදිලා)

      පස්සේ කියයි අපිව හදාගන්නනේ එදා පොලිස් මාමලා ගැහුවේ කියල.. හික්.. හැබැයි පන බේරාගෙන දුවගත්තු එකෙක්.

      මේ සිද්ධිය මම දැක්කා. දෙපැත්තේම අයගේ හැසිරීම මම දැක්කේ කාගේවත් කාචවලින් තෝරගත්ත ඈන්ගල් වලින් නෙවෙයි. ඒ වෙලාවේ මම හිටියේ ඔය කියන ටවුන්හෝල් එකේ ට්‍රැෆික් එකේ.

      සිද්ධිය දැකපු කෙනෙක් ඒ වෙලාවේ තව කෙනෙක්ට කෝල් කරනවා ඇහුන. මට ඒ ගෑනිට හොම්බට අනින්න හිතුන කියපු දේ ඇහුණාම.

      Delete
    2. ඕන් කිව්වා.

      මට ගුරුවරු ගැන වැඩිහරියක් තියෙන්නේ මහ අමිහිරි අත්දැකීම් ඩූඩ්. මම ඒව ලියන්නවත් කැමති නෑ.

      Delete
    3. අහ්! උඹත් හිටියද උපේ?

      අපිනං ආපහු ගිහින් ඔෆිස් එකට වෙලා ඉඳල රෑ වෙන්ඩ ඇරල ආව. පට්ට අවුල කියන්නෙ බස්වල යන සමහර අම්මණ්ඩිල කියන්නෙ "ඕකුන්ට ඔහොම ගහල මදි" වගේ කතා. ඒ අම්මලගෙ දරුවො සේරම පිටරටවල ඉගෙනගන්නවද, නැත්නම් ගෙවල්වල බකන්නිලන් ඉන්නවද දන්නෙ නෑ.

      Delete
    4. හිටියා හිටියා.... බලාගෙන හිටියා දෙපැත්තේම කට්ටිය ඇවිලෙන හැටි. දුකක් දැනුනා කියන්නේ මට මාර විදියට. මමත් කැම්පස් ගියා නිදහස් අධ්‍යාපනේට පින්සිද්ද වෙන්න. නැතිනම් මමත් ස්වභාවයෙන්ම දෙමවුපියන්ට කරදර කරන්නේ නැති ළමයෙක් විදියට මේ ඩිග්‍රිය සල්ලි වලට කරන්න තිබ්බ පොසිබිලිටි එක අඩු වෙන්න තිබ්බා. අපේ කැම්පස් එකෙත් තිබ්බ ප්‍රශ්න වලදී මම යුනියන් එකේ හිටපු කෙනෙක් විදියට ඒවා ගැන දෙපැත්තේම තත්වයන්ට මැදි උනා. ඒ නිසා දන්නවා. ළමයින්ගේ ප්‍රශ්න වලදී කැම්පස් එක ( ලංකාවේ රජයේ කැම්පස්) කොතරම් අසංවේදීද කියලා මම අත්දැකලා තියෙනවා.

      රැග් එක මම කාලත් තියෙනවා ( වෙන කැම්පස් එකකදී, අහන්න එපා කොහොමද කියලා. මම රැග් උනා උපරිමෙන්) රැග් එක දීලත් තියෙනවා. ඒ වගේම මට පහල බැච් පහක් යනකල් ඒ හින්දා මාව දන්නවා. රැග් එකටත් මම මැදිහත් වෙලා හොඳට කට්ට කාල තියෙනවා.

      ඇකඩමික් ප්‍රශ්න වලට මැදිහත් වෙලා තියෙනවා. ඒවායේදී කැම්පස් එක බලාගන්න උදවිය ( මම උන්ට කියන්නේ එහෙම. උන් බලාගෙන ඉන්නවා මිසක් කරන දෙයක් නැති තරම් ගොඩක් වෙලාවට) කොතරම් අනම්‍යශීලි සහ අසංවේදී ද කියලත් මම දැකලා තියෙනවා. ඔය ඩිග්රි එකේ වැලිඩිටි එක ගැන උනත් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න උනා එක පාරක්. එතැනදී ළමයි කොතරම් අසරණ වෙනවද කියන එකත් මම දැකලා තියෙනවා. ඒ පීඩනය කිසි කෙනෙක්ට වැටහෙන්නේ නැහැ. කැම්පස් එක බලාගන්න අය ගොඩක් වෙලාවට කරන්නේ ළමයින්ට එපා වාහෙට හොදි බෙදනවා වගේ කරලා අන්තිමට ඇඟිල්ල දික් කරන එක. ඒ තමයි රජයේ කැම්පස් වල 'අද' තත්වය.

      මේ තත්වය ගොඩක් දේශපාලනික වශයෙන් පොහොර සපයන වටපිටාවක්. එකක් ඔවුන් ලෝකය ගොඩක් දැකලා නැහැ. ඉතින් රැවටෙනවා මවල දුන්නම. අනිත් එක උසිගන්වන්න ලේසියි. මොකද ඉන්නේ යම් පීඩනයක. සමහර වෙලාවට අපිට අපි ගැන වැටහෙන්න ගන්නේ ප්‍රමාද වෙලා. එතකොට අපි වර්ග වෙලා. අපේම උන්ට අපි ගහලා, ඔලු පලලා.

      ඉතින් කැම්පස් කියල වෙනසක් නැහැනේ. එළියේ උන් කරන්නෙත් ඒක නේද? ඉතින් කැම්පස් ළමයින්ට විතරක් ඇයි බනින්නේ?

      Delete
  15. මේ සිද්ධිය වෙද්දී මම හිටියෙ ඉබ්බන්වෙල හන්දියේ. එකපාරටම කළු ඇඳගත්ත සීයක් දෙසීයක් හූ කිය කිය පාර මැද්දෙන්ම දුවගෙන එනකොටයි මොකද වෙලා තියෙන්නෙ කියල දැනගත්තෙ. පොලිසිය හැසිරුණ විදිය පැහැදිලිවම නරකයි ඒකෙ කිසිම තර්කයක් නෑ ලංකාවෙ පොලිසියනෙ. හැබැයි ගොඩක් අය කියනව වගේ මගේ මතයත් මේ සිද්ධිය ගැන පොලිසියට විතරක් ඇඟිල්ල දික්කරන්න බෑ කියන එක තමයි. මං ඇස් දෙකින් දැක්ක හූ කිය කිය දුවන සමහරු පොලිසිය දිහාවට මොනවහරි දමල ගහනව. ඒ වගේම පොලිසියෙ අයත් හි‍ටියෙ බොහොම ලොකු ආවේගයකින් වුණත්, පාරෙ ඉන්න අනිත් මිනිස්සුන්ව බේරන්න ලොකු උත්සාහයක් ගත්ත. අපි හිටියෙ ආපිකෝ එක ළඟ, ෂීල්ඩ් එකකුත් අරන් ඉස්සරහට දුවගෙන ගියපු පොලිසියෙ කෙනෙක් එතන නතර වෙලා අපිට කිව්ව මල්ලි පාරට එන්න එපා මේක ඉවර වෙනකන් කියල. දෙගොල්ලොම වැරදියි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ මල්ලි. ප්‍රොටෙස්ට් එකකට ලමයින්ව ගාල් කරද්දි ඔය සංවිධායකයන්ගෙ අරමුණත් කොහොමහරි බැට්න් ඇටෑක් එකකට යාගත්තොත් ගොඩ කියන එකයි. ළමයි තමන්ට වෙච්ච අසාධාරණෙන් කුපිත වෙලා ඉන්න හින්දම අරගොල්ලන්ගෙ බළල් අත් වෙනවා.

      අනික පොළීසියෙ සමහරු කැම්පස් ලමයි එක්ක පුදුම වෛරෙකින් ඉන්නෙ. මට මතක් වෙන්නෙ දවසක් කැළණියෙ කැම්පස් එක ගාව හංදියෙන් තාත්ත වාහනේ පාරට දාන්න ඉන්නව. පොලිස්කාරය කැම්පස් එකේ ඉඳන් එන වාහන නුවරපාරට දාන්න දෙන්නෙ නෑ. ඊට පස්සෙ උන්දැ අහක බලනකම් ඉඳල අපි වාහනේ දැම්මම මූ කාරල කෙලගහල කෑ ගැහුව 'නෙදකින් කැම්පස්වල පර ජේ.වී.පී. හැත්ත" කියල. ඒ පිකට් උණුහුම තිබ්බ කාලයක්. ඉතින් පොලිස්කාරයො තරගෙන් දැවි දැවි ඉන්නෙ කැම්පස් එකෙන් එන හුලඟක් එක්ක හරි පැටලෙන්න බලාගෙන.

      Delete
    2. ඇත්ත කතාව අක්ක‍ෙ. ගුටි කාල අවධානය ගන්න එක තමයි එයාලගෙ ක්‍රමය. මොකක්හරි දෙයක් වුණේ නැත්තන් කවුරුත් දන්නෙත් නෑනෙ උද්ඝෝෂණයක් වුණා කියල.

      ඇත්ත, මම එදා පාරෙ දැක්ක පොලිසියෙ අයත් වැඩිහරියක් කැම්පස් යන වයසෙ කොල්ලො. ඉතින් තමන්ට යන්න බැරි තැනට ගියපු අය ගැනත් ඊරිසියාවක් ඇති චාන්ස් එකක් ආපු ගමන් නෙළනව.

      හැබැයි අන්තිමට හැම පැත්තෙන්ම තැලෙන්නෙ සාමාන්‍ය මිනිස්සු. කාර්යබහුල වෙලාවක කොළඹ හරි මැද. ජෙනරල් හොස්පිට්ල් එක එහා පැත්තෙ.

      Delete
  16. යහපාලන
    සුමුදු ආදරයේ
    හරස්කඩ

    ReplyDelete
  17. හිට්ලර් ගියා චැප්ලින් ආවා.. ලංකාවට ඇඩ්‍රස් නෑ...

    ReplyDelete
  18. Dear Bassi

    Thanks for cheer me up with this meaningful page with related to recent "Police Matter story".

    Unfortunately they got beaten.
    Srilankan system never allow students to come up with "Round table conferences".

    They (politicians)never like to listen to students requests.

    Paying Rs.5000 per student as Mahapola scholarship is not a big job for the Government.

    All politicians stolen government and public money in millions and billions.

    They never try to recover those stolen money or stolen properties.

    But....
    Very enthusiastic to beat unarmed Students in the broad day light infront of media and public.

    Shame on you "Srilankan Police"

    Thanks Bassi

    Keep on writing.
    Check ur fb message box.
    I left u a message in there.

    ==Adrian Channa from Toronto===

    ReplyDelete
  19. Dear Bassi

    Thanks for cheer me up with this meaningful page with related to recent "Police Matter story".

    Unfortunately they got beaten.
    Srilankan system never allow students to come up with "Round table conferences".

    They (politicians)never like to listen to students requests.

    Paying Rs.5000 per student as Mahapola scholarship is not a big job for the Government.

    All politicians stolen government and public money in millions and billions.

    They never try to recover those stolen money or stolen properties.

    But....
    Very enthusiastic to beat unarmed Students in the broad day light infront of media and public.

    Shame on you "Srilankan Police"

    Thanks Bassi

    Keep on writing.
    Check ur fb message box.
    I left u a message in there.

    ==Adrian Channa from Toronto===

    ReplyDelete