Wednesday, February 10, 2016

රමණීය ආශ්වාදයක මරණීය අඳෝනාව






අපේ වර්ණ බ්ලොග් අඩවිය ලියන දිනේෂ් ගොයියා උන් හිටි ගමන් කෙටිකතා අස්සෙ අධ්‍යාපනික වටිනාකමක් තියෙන ලිපිත් පලකරනවානෙ. ඉතින් දිනේෂයියා අවසානෙට ලියපු "සිගරැට්ටුවේ ඉතිහාසය" ලිපිය කියවන අතරෙ එකපාරටම මගේ නළලේ දකුණු පැත්තෙන් සුදු දුමාරයක් වගේ භූතයෙක් එලියට ලිස්සුවා.


"තෝ අහවල් සිටුවේසන් එක ගැන ලිපියක් ලියන්ඩ ඕනෑ කියල පටන් ගත්තෙ කොයි කාලෙද? කෝ ලිව්වද? ලිව්වද? ලිව්වද?" කියල තුං සැරයක්ම මට තග දාපු ඒකා 'පුෆ්!' ගාලා වැනිස්ඩ් ඉන් ටු දි තින් එයාර් උනා.


ඉතින් මම ලහි ලහියේ හරිබරි ගැහුනේ ඒ අනුවේදනීය සත්‍ය කතාව යුනිකෝඩවලට පෙරලන්නයි. 


සිගරට් දුමාරය, එහෙමත් නැතිනම් දුම්කොල නිෂ්පාදන කියන්නේ අපේ සිරුරේ අවයව බොහොමයකට හානි පමුණුවන, විෂ සහිත, නමුත් තහනමට ලක්කර නොමැති නිෂ්පාදන කාණ්ඩයක්. දුම් පානයෙන් වැළඳෙන රෝග ගැන කල්තියා හඳුනාගන්නේ කොහොමද? ඔව්. දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන company ඒ අතුරු ආබාධ ගැන දන්නවා. මේ පර්යේෂණවලට යොදාගන්නේ සිගරට් ලෝලී මිනිස්සුන්වද? කෘත්‍රිමව රෝපණය කරන ලද පටකද? උත්තරය, 'නැහැ' ඒ එකක්වත් නොවෙයි.


මේ පර්යේෂණ සඳහා යොදා ගන්නේ සත්තුන්ව.


දුම්කොල නිෂ්පාදන කර්මාන්තය ගැන අබැටක තරම් දෙයක් නොදන්නා, මිනිස්සුන්ගේ දුම්කොල ලෝලීත්වය ගැන කිසිදු අදහසක් නැති, අසරණ සත්තුන්ව.


ඉහත පර්යේෂණ දෙයාකාරයි.


1. 
සිගරට් දුම කැටි කර ඝනීභවණය කිරීම මගින් ඝන තාර වැනි ද්‍රව්‍යයක් සකසා ගන්නවා. ඒවා විද්‍යාගාර තත්ත්ව යටතේ අදාල පර්යේෂණයට භාජනය කෙරෙන සතුන්ගේ සම මත ආලේප කරනු ලබනවා. මෙහි අරමුණ වන්නේ උන්ගේ සම මත පිලිකාමය සහ පිලිකාමය නොවන ගැටිති වර්ධනය වෙන ආකාරය අධ්‍යයනය කිරීම.





2. 
පර්යේෂණාගාර තත්ත්ව යටතේ විශේෂයෙන් සැකසූ කුටීර තුලදී අදාල සතුන්ව සිගරට් දුමට නිරාවරණය කර තැබෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කෙරෙන්නේ පෙණහළු සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා තත්ත්ව පිළිබඳවයි.


රටහාවුන් සහ මීයන් වැනි කුඩා සත්තු, කුටීර තුළ රැඳවීමෙන් මේ සිගරට් දුමට නිරාවරණය කිරීම පහසුයි. නමුත් බල්ලන්, වඳුරන් වැනි සත්තු සම්බන්ධයෙන් තත්වය වෙනස්. ඒ නිසා ඔවුන්ගේ උගුරේ කැපුමක් යෙදීම මගින් බටයක් ඇතුළු කර ඒ හරහා සිගරට් දුම මුදාහැරීමත්, එසේත් නැතිනම් මුහුණ ආවරණය වෙන පරිදි සැකසූ විශේෂ වෙස්මුහුණු පැළඳවීමත් සිදුවෙනවා.






මෙවැනි පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ උදාහරණ දෙකක් මේ.


1. ෆිලිප් මොරිස් (Philip Morris)


සිගරට්වලට මී පැණි, සීනි, මිදියුෂ, දෙහි යුෂ, කොකෝවා, චොකලට් සහ කෝපි යනාදී ද්‍රව්‍ය එකතු කිරීමෙහි ප්‍රතිඵල පරීක්ෂ කිරීම සඳහා මීයන් දහස් ගණනක් කුඩා වීදුරු කුටීර තුලට බහා ඔවුන්ගේ නාසා තුලට දවසට පැය හය බැගින් දවස් අනූවක් පුරා සිගරට් දුම මුදා හැර තිබෙනවා. මේ මීයන් ඉන්පසු ව්‍යච්ඡේදනය කරන්නේ ඔවුන්ගේ සිරුරුවල සිදුව ඇති වෙනස්කම් පිරික්සා බැලීමට.



2. ආර්. ජේ. රෙනෝල්ඩ්ස් (R.J. Reynolds)


සිගරට් රස ගැන්වීමට අධි-ෆෘක්ටෝස් සහිත ඉරිඟු යුෂ යොදා ගැනීමේ ප්‍රතිඵල පිරික්සීම සඳහා සිගරට් දුම ඝනීභවනය කර සාදාගත් තාර මීයන් සහ හැම්ස්ටර් මීයන් දහසකගේ සම මත ආලේප කිරීමේ පර්යේෂණයක් සිදුකෙරුනා. මෙම පර්යේෂණයට අතරවාරයේදී බොහෝ සතුන් මරණයට පත්වුනේ තාර විෂ දාඅගැනීමට අපහසු වීමෙන්. ඉතිරි සතුන් බොහොමයකගේ සම ඉරී, පළුදු වී චර්ම පිළිකා හටගත්තා.


පිළිකා ගැටිති වර්ධනය නොවීමට තරම් වාසනාවන්ත වූ සතුන් බේරෙන්නට ඇතැයි ඔබ සිතනවාද? කොහෙත්ම නැහැ. ඔවුන්ව මරා, ව්‍යච්ඡේදනය කරන්නේ, නිරෝගීව සිටීමට ඔවුන් තුල ඇති විශේෂ යාන්ත්‍රණයක් ඇත්දැයි හඳුනා ගැනීමේ අටියෙන්.





මෙයින් පලක් තියෙනවාද?


ඇත්තෙන්ම දුම්කොල නිෂ්පාදන පිළිබඳව වන පර්යේෂණයන්ට සත්තුන්ව යොදෑගැනීමේ ප්‍රයෝජන ඉතා සීමිතයි. මේ සඳහා හොඳම උදාහරණය නම්, සතුන් යොදාගෙන කල මෙවැනි කෲර පර්යේෂණයන් ගණනාවකින් පසුවත් දුම්කොල සහ පෙණහළු පිළිකා අතර සම්බන්ධයක් ඇති බැව් සොයාගැනීමට පර්යේෂකයන් අපොහොසත් වීමයි.


විවිධ සත්ව විශේෂ ද්‍රව්‍යවලට දක්වන ප්‍රතිචාර එකිනෙකට වෙනස්. ඒ නිසා මිනිසුන් සිගරට් දුමායේ අඩංගු විෂ ද්‍රව්‍යවලට දක්වන ප්‍රතිචාර රටහාවුන්, මීයන් හෝ බල්ලන් තුලින් ප්‍රදර්ශණය වේ යැයි සිතීම මුලාවක්.


මේ වීඩියෝවත් බලන්න.





ඔබ උරන දුම්වැටියෙන් ඔබටත්, ඔබ අවට ගැවසෙන අයටත් ඇතිවන ජීවිත අවදානම මදකට අමතක කරමු. ඉහත කී කරුණු ගැන පමණක්ම නැවත නැවතත් සිතමු. දුම්වැටියක රමණීය ආශ්වාදය තුල ගැබ්ව ඇති අසරණ සතුන්ගේ මරණීය අඳෝනාව ඔබටත් ඇහෙනවාද? හොඳට සවන් හැර අහන්න. ඔබට ඇහෙනව නේද?





45 comments:

  1. පූසන්ව යූස් කරන්නෙ නෑ නේද? ඈ?? ඈ????

    ReplyDelete
    Replies
    1. නෑ නෑ උඹව යූස් කොරන්න දෙන්නෙ නෑ. :P

      Delete
  2. ඉතාම වටිනා ලියවිල්ලක් සහොදරි,
    මිනිස්සු වෙනුවෙන් ගොඩාක් සතුන් ජිවිත කැපකරනවා එත් මෙවැනි ඵල රහිත පරික්ෂණ තුලින් මිනිස්සුන්ටත් සතුන්ටවත් වැඩක් වෙන්නේ නැ

    ReplyDelete
    Replies
    1. ඵල රහිත පරික්ෂණයන් නොවේ දිනකට මිලියන ගනනක මිනිසුන් සංඛ්‍යාවක් පාවිච්චි කරන භාණ්ඩයක් පිලිබදව සහ එයින් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල පිලිබදව කරණු ලබන පරික්ෂණයක්.
      මිලියන ගණනක් මිනිසුන්ගේ ජිවිතය පිලිබදව නොසලකා සිටින ලෙසද ඔබ යෝජනා කරන්නේ......

      Delete
  3. පරීක්ෂණ වලට භාජනය වෙන මේ සත්තු නම් හරිම පව් කියල හිතුන .කොහෙවත් යන මිනිස්සු බොන සිගරට් වලට මේ සත්තුන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙලා

    ReplyDelete
    Replies
    1. එහෙම පව් කියලා නොහිතන එක සමාජ වගකීමක් කියලා බර අරන් මෙතන සුටු සුටු ගාල කොමෙන්ටු වක්කරන මහත්තුරුත් ඉන්නව ඈ. :)

      Delete
    2. මිනිසුන්ගේ (සිගරට් බී ආබාධවලට ලක්විය හැකි මිනිසුන්ද ඇතුලුව) යහපත වෙනුවෙන් කරනු ලබන පර්යේෂණ සදහා සතුන් යොදාගැනීමට මේ මොහොතේදී විරුද්ධවීම (වෙනත් විකල්පයක් තවමත් නොමැති නිසා) මම හිතන්නේ මානුෂික නැහැ කියල, මටනම් එවැනි පරික්ෂණ සිදුකිරීම පව් පින් කියා වැලැක්වීමට උත්සහ කිරීම සාධාරණ නොවන දෙයක්. සතුන්ට වන හිංසනය සලකා වෙනත් පරියේෂණ ක්‍රමවේදයන් සකස් කිරීම සදහා උත්සහ කිරීම හොදය.

      සතුන්ට වන හිංසනය පෙන්වා මස් කැමෙන් පුද්ගලයින් වැලැක්වීම, දුම්බිමෙන් මිනිසුන් වැලැක්වීම ඔබට අනුව යහපත් ක්‍රියාවක් වීමට හැකිය. මට අනුවනම් එහි විශේෂ හොදක් හෝ නරකක් නැත.

      ඔබ මෙම කොමෙන්ටුව දමා ඇත්තේ මා අරමුණු කරගෙනනම් මට ඔබගෙන් ඉල්ලීමට ඇත්තේ කිසිම දෙයක් දෙස පව්/පින් ලෙස නොබලන ලෙසය.

      Delete
  4. sigarat walata purudu una (addicted) ayawa mekata yodha ganne naththe ai?

    ReplyDelete
  5. මේක වාහන වලින් පිටවන කාබන් මොනොක්සයිඩ් වලින් වෙන පරිසර දූෂණයට මෝටර් සයිකල් පාවිච්චි කරන අයට බනිනව වගේ වැඩක්.

    දුම්වැටි නිශ්පාදකයන් සතුන් යොදාගනිමින් කරන පරීක්ශණ වගේ සිය ගුණයක් නව ඖෂධ සොයා ගැනීම සඳහා පරීක්ශණ කරන්නන්, සුවඳ විලවුන් සහ ආලේප නිශ්පාදනය කරන්නන්, මානසික රෝග ගැන පරීක්ශණය කරන්නන්, සමහර ප්‍රතිජීවක නිපදවාගැනීමට ආදී වශයෙන් සතුන් යොදාගන්නවා. ඊටත් වඩා සතුන් ප්‍රමාණයක් ආහාර වශයෙන් යොදා ගැනීමට දිනපතාම ලොව වටා ඝාතනය කරනවා.

    සත්ව කරුණාව වැනි උතුම් ගුණාංගයක් උපුටා දැක්වීමට ඉඳ හිට සිදුවන මෙවන් පරීක්ෂණ ගැන කීම නම් ගැලපෙනවාද යැයි සිතා බලන්න.

    ReplyDelete
    Replies
    1. මෙය සත්ව අවිහිංසාව වගේ මාතෘකාවකට, රාමුවකට ඔබ්බන්න යන්න එපා. ඒ වගේ මාතෘකා යටතේ ලියනවානම් "එක හරකෙක් මරන එක හාල්මැස්සෝ සීයක් මරනවාට වඩා පව් වෙන්නේ කොහොමද?" වගේ ලේසි දෙයක් ගැන මට ලියන්න තිබුනා.

      නව ඖෂධ, මානසික රෝග ගැන පර්යේෂණ සහ ප්‍රතිජීවක නිපදවීමේ අරමුණ මිනිස් ජීවිතයක් බේරා ගැනීමයි. නමුත් දුම්වැටි?

      මම රූපලාවණ්‍ය නිපැයුම් පිළිබඳව පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීමටත් විරුද්ධයි. නමුත්, හිතන්න.

      මේ 'දුම්වැටි නිෂ්පාදන සම්බන්ධ පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීම" සම්බන්ධව ලියැවුනු ලිපියක්. ඇඹිලිපිටියෙ ඕ.අයි.සී. ගැන අහද්දි ඇයි ප්‍රගීත් එක්නැලිගොඩ ගැන අහන්නෙ නැත්තෙ කියලා ප්‍රතිප්‍රශ්ණ නගන එක ගොඩක් අය කරන දෙයක්. :)

      Delete
    2. නීතියේ ආධිපත්‍ය රටක තිබිය යුතුයි. එම නිසා තියෙන රටක ඇඹිලිපිටියේ සිද්ධිය සහ එක්නැලිගොඩ සිද්ධිය එකිනෙකට එක්ස්කියුසස් විදිහට භාවිතා කිරීම කොහොමත් වැරදියි. මගේ තර්කය එවැන්නක් නොවේ.

      ඔබ සී අයි එම් ඒ සුදුසුකම් ලද්දෙක් හැටියට relevance concept සහ materiality concept ගැන දන්නවා ඇති.

      ඇමෙරිකාවේ පරිභෝජන දත්ත අනුව එක් පුද්ගලයෙක් කුකුල් මස් කන එක අත්හැරියොත් වසරකට කුකුලන් 27 දෙනෙකුගේ ජීවිත බේරෙනවා. දුම්පානය කරන්නන් 10,000 ක් දුම්පානය නැවැත්වුවත් ඔබ කියන පරීක්ශණ වෙනවානම් ඒවා වෙන එක නවතින්නේ නැහැ. එවිට දුම් බොන්නාට කරන්න දෙයක් නැහැ එවිට relevance concept එක අනුව මෙම අදහස යටතේ අරමුණ අනුව වැදගත් කමෙන් අඩුයි.

      අනික මම සඳහන් කල අනික් කාරණා සඳහා අතිවිශාල ලෙස සතුන් භාවිතා කිරීම. මගේ විශ්වාශය දිනපතා සතුන් මෙම පරීක්ශණ වලට යොදාගන්නේ නැහැ. දත්ත නැතත් මගේ විශ්වාසයි සියයට එකකට වඩා අඩුයි කියා. ඒ අනුව materiality concept අනුව මෙම අදහස අරමුණ අනුව වැදගත් කමෙන් අඩුයි. මගේ අනුමානය දුම්වැටි පරීක්ශණ සඳහා පාවිච්චි කරනවා යැයි කියන එක් සතෙකුට ආලේපන පරීක්ශා සඳහා සතුන් සියයකගේ වත් පාවිච්චියක් ඇති. අනික දුම්පානය නිසා වන සෞඛ්‍ය ක්ශේත්‍රයේ වස්තු හාණිය, පුහුණු ශ්‍රමිකයඉන් සමාජයට නැතිවීම ආදිය සඳා කළයුතු දේවල් ගත්තොත්, මෙම පරීක්ශ්ණ සඳහා සතුන් භාවිතා කිරීම යන දෙය materiality concept අනුව වැදගත් කමෙන් අඩුයි.

      මගේ අදහස පමණයි.

      Delete
    3. දුම්වැටි භාවිතා කිරීම යනු මරණය කරා යන දෙයක් බැවින් ඒ පිලිබදව පරික්ෂණ නොකල යුතුද? නැතහොත් ඒ සදහා පරික්ෂණ කල යුත්තේ මිනිසුන්වම යොදා ගෙනද?

      තවද, මෙම සතුන් යොදාගෙන දුම්වැටි නිශ්පාදනයේදි කරනු ලබන පරික්ෂණ මගින් සෞඛ්‍ය ක්ෂෙත්‍රයට සහ ඒවා භාවිතා කරන පුද්ගලයින්ට කිසිවක්ම නොලැබෙන්නේයැයි ඔබ සිතන්නේද?

      අවසාන වශයෙන් ඇසිමට ඇතතේ සිගරට් පාවිච්චිය මගින් මිනිසකුට කිසිවක් නොලැබෙන්නේනම් මිනිසුන් ඒවා භාවිතා කරන්නේ ඇයි?

      ප.ස. - (සුවදවිලවුම් භාවිතා කිරීමේදී මිනිසුන්ට විවිධ රෝගාබාධ ඇතිවිය හැකිය, එම රෝගබාධ ඇතිවීම පිලිබදව සහ සමට ඇතිවිය හැකි ප්‍රතිඵල පිලිබදව සුවද විලවුන් සහ විවිධ ආලේපන වර්ග සැකසීමේදි පරික්ෂණ කරනු ලබයි. ඒ සදහා සතුන්ව යොදා ගනියි. ඔබ සුවද විලවුන් සහ ආලේපන භාවිතා කිරීම මගින් ඔබගේ සමටද යම් බලපෑමක් ඇතිවිය හැකිය. සුවද විලවුන් සහ ආලේපන භාවිතා නොකර සිටීම මගින් කිසිවක් එම අනතුරින් වැලකිය හැකිය. අනෙක් පුද්ගලයින්ට වන බලපෑමද අඩුකල හැකිය.

      එබැවින් ඔබ සුවදවිලවුම් හා ආලේපන භාවිතා කරන විටදි සුවදවිලවුම් හා ආලේපන වල රමණීය ආශ්වාදය තුල ගැබ්ව ඇති අසරණ සතුන්ගේ මරණීය අඳෝනාව ඔබටත් ඇහෙනවාද? හොඳට සවන් හැර අහන්න. ඔබට ඇහෙනව නේද?)

      Delete
    4. මම දුම්වැටි භාවිතය ඒ මගින් මට ලැබෙන දෙයට වඩා වැඩි දෙයක් මට නොලැබි යනවාය යන මාගේ විශ්වාසය නිසා දැනට නවතා දමා ඇත.

      Delete
    5. Ian :

      මම කලින් කමෙන්ටුවේදිත් කියා තියෙනවා වගේම මෙතැනදී කතා කරන්නේ සත්ව අවිහිංසාවාදයක් නොවෙයි. මිනිස්සුන්ට පැහැදිලිවම හානිකර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සතුන් යොදාගෙන පර්යේෂණ සිදුකිරීම සම්බන්ධවයි.

      ආලේපන වර්ග කියන්නෙත් මේ සඳහා තවත් එක් හොඳ උදාහරණයක්. ඒ ගැන අවධානය යොමු කලාට ස්තූතියි. ඒ ගැනත් අනිවාර්යයෙන්ම මේ ලිපියේ දිගුවක් ලෙස යමක් ලියන්නම ඕනෙ. ප්‍රතිපත්තියක් විදියට සතුන් පර්යේෂණ සඳහා යොදා නොගන්නා ආලේපන සන්නාම තියෙනවා, එහෙම නේද?

      මෙහෙමනෙ ඉයන්, යමක් මිනිස්සුන්ට කියාදෙනකොට ඒක එකවුන්ටින් කන්සෙප්ට්ස් වලට ලඝු කරන්න බැහැ. දුම් පානයෙන් තමන්ටම සිදුවන හානිය ගැන මිනිස්සුන්ට පහදලා දෙන ලියැවිලි ඕනෑතරම් සිංහලෙන් ලියැවී තියෙනව මම දැක තියෙනවා. මම හිතන්නේ, බ්ලොග් ලියන්නෙක් විදියට මෙතැනදි මගේ අරමුණ වුනේ දුම්වැටි භාවිතයෙන් මිනිස්සුන්ව ඈත් කරන්නට වඩා වෙනස් සහ නිර්මාණශීලී (එහෙම කියල හිතන්නෙ මම විතරක් වෙන්නත් පුළුවන්.) පාරක් යොදාගැනීමයි.

      මොකද, දුම්පානයට ඇබ්බැහිව හිටපු මගේ කැම්පස් මිතුරන් කීපදෙනෙක්ම ටෙස්ටින් වලට යොදාගන්නා සතුන් ගැන කියවීමෙන් සහ රිසර්ච් පේපර් පෙන්වීමෙන් එයින් වලක්වා ගන්න හැකි වුනා අපිට. (මම මේ ගැන ලියන්න හිතුවෙ ඒ කාලෙමයි, කලිනුත් සඳහන් කර ඇති පරිදි.)

      මේ සතුන්ගේ ජීවිත ඉම්මැටීරියල් ලෙස හෝ ඉරෙලෙවන්ට් ලෙස සලකා ඉවත දමන්නට පුළුවන් අය ඉඳීවි. හැබැයි, ඒ ගැන කියවන එක මනුස්සයෙක් හරි දුම්පානය නවත්තනවානම්. මම හිතනවා මගේ අරමුණ සාර්ථකයි කියලා.

      එපමණයි.

      Delete
    6. ප්‍රදීප් මංගල :

      ඔබව දැක්කෙ අදමයි.
      බොහොම ස්තූතියි කමෙන්ටුවට!!


      මම ඉයන්ටත් කියා ඇති විදියටම අනිවාර්යයෙන්ම සම්බන්ධව කෙරෙන ගැනත් ලියා දක්වනවා. ඒ ගැන ඔබ දක්වන උනන්දුවට ස්තූතියි. එතැනදී ඔබ කමෙන්ටුවලින් ඔබ දන්නා දේවලුත් එකතු කරාවියැයි බලාපොරොත්තු වෙනවා.

      ඔබේ අන්තිම පැනයට පිලිතුර, ඔව්. අනිවාර්යයෙන්ම මට ඇහෙනවා. මම ඒ ගැනත් ලියනවා. ස්තූතියි!

      Delete
    7. මම හිතන්නේ කිසිවකු දුම් පානය කිරීම මගින් ඔහු සෞඛ්‍ය අවධානමකට ලක්වීමේ සම්භාවිතාව වැඩිවිය හැකියි කියල. ඔබ පවසා ඇති පරිදි ඔබගේ ලිපිය ලිවිමේ අපේක්ෂාව වන්නේ දුම්පානයෙන් පුද්ගලයින් මුදවා ගැනීම. දුම්පානයෙන් ඔබගේ හිතවතෙකු, සමිපතමයෙකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු මුදවා ගැනීම සදහා ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ නිර්මාණයක් සිදුකිරීම උපක්‍රමයක් භාවිතා කිරීම හොදයි.....

      එහෙත් මම හිතන්නේ දුම් බිමෙන් (සුවද විලවුන් සහ ආලේපන භාවිතයෙන් )ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල පිලිබදව සහ එහි ගුණාත්මකභාවය ඉහල නැංවීම සදහා පරික්ෂණ සිදු කිරීමට සතුන් යොදා ගැනීම ගැටලුවක් නොවන බවයි. මම හිතන්නේ ඒ මගින් පුද්ගලයකුට ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානමේ ප්‍රමාණය හා සම්භාවිතාවය අඩුකර ගත හැකියි කියල. ඒ අනුව මම එවැනි පරික්ෂණ පිලිබදව දකින්නේ ධනාත්මකව. (පරික්ෂණ සිදු කිරීමේදි සතුන් මිය යෑම පිලිබදව මට ගැටලුවක් නැහැ සහ ඇත්තටම ඒ පිලිබදව විශේෂ දුකක් මට දැනෙන්නේ නැහැ.)

      මම දුම්බීම (සුවද විලවුන් භාවිතය, මස් ආහාරයට ගැනීම) නරක, වැඩකට නැති වැඩක් කියල හිතන්නේ නැහැ. ඒ නීසා මම දුම්බීමට විරුද්ධ නැහැ. හැබැයි ඒ මගින් අනිත් පුද්ගලයින්ට බාධාවක් ඇතිවනවානම් ඒ සදහා සීමාවක් පැනවීමටද විරුද්ධ නැත.

      Delete
    8. //ඒ ගැන කියවන එක මනුස්සයෙක් හරි දුම්පානය නවත්තනවානම්. මම හිතනවා මගේ අරමුණ සාර්ථකයි කියලා.//

      Wish you success in the effort !!

      Delete
  6. උඹටත් බූතයෝ මාර එව්ව තමයි කියන්නේ!!! 

    ReplyDelete
    Replies
    1. උඹටත් රිප්ලයි පරක්කු උනාම මාර එව්වා තමයි හිතෙන්නේ. :P

      Delete
  7. ඔව් බස්සී... අහිංසක සත්තු ගොඩක් මේ විදිහට නිරපරාදේ වේදනා විඳලා මැරිලා යනවා..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන කීපදෙනෙක් හරි ඉන්න එක සෑහෙන්න වටිනවා තුශ්!

      Delete
  8. දුම්වැටි සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිද්ධ කිරීමක් දුම් බොන්නන් විසින් බලාපොරොත්තු වෙනවා කියල මම හිතන්නේ නැහැ...
    ඒවා නිෂ්පාදකයින් කරන වැඩක් මිස සිගරැට් බොන උදවියගේ අවශ්‍යතාවය අනුව සිද්ධ වෙන දෙයක් නෙමෙයි...
    දුම් බොන අයට පැකට් එකේ අවවාද කරලා තියෙන වචන සහ රුප අවවාද ටික අනුව නිෂ්පාදකයින් මිනිස්සුන්ට අවධානම පෙන්වා දීම හරහා ඔවුන් අත පිහිදා ගන්නවා, එතනින් එහා දුම් බොන්නාට පිළිකා නෙමෙයි මොන මළදානේ හැදුනත් ඒකෙන් නිෂ්පාදකයා නිදහස්...
    එතකොට දුම් බොන්නන් වෙනුවෙන් මේ පරීක්ෂණ කරනවා කියන එකම මහ විහිළුවක්...

    ඔය පරීක්ෂණ කරන එකේ අරමුණ සහ ප්‍රයෝජන උන්වත් හරියට දන්නේ නැතුව ඇති...
    දුම්කොළ වලට වෙන මොනවා හරි කලවම් කලාම එන දුම හෝ තාර අරගෙන ඒවයේ රසායන සංයුති සම්බන්ධ පරීක්ෂණ කරන එක මීට වඩා වැදගත් වෙයි...

    ReplyDelete
    Replies
    1. //දුම්වැටි සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිද්ධ කිරීමක් දුම් බොන්නන් විසින් බලාපොරොත්තු වෙනවා කියල මම හිතන්නේ නැහැ...
      ඒවා නිෂ්පාදකයින් කරන වැඩක් මිස සිගරැට් බොන උදවියගේ අවශ්‍යතාවය අනුව සිද්ධ වෙන දෙයක් නෙමෙයි...//

      අනිවා!

      Delete
  9. වැඩක් නැති වැඩක්.. ඒක නිසා රට මීයෙක්වත් මැරෙන එක අපරාදේ..

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ ඒකයි. උන්ට වැඩකුත් නෑ - රටට වැඩකුත් නෑ.

      Delete
  10. ඕව දැන දැනමනේ මිනිස්සු සිගරට් බොන්නේ...අපරාදේ මැරෙන සත්තු ටික.

    ReplyDelete
    Replies
    1. සත්තු යොදාගෙන කරන මේ පර්යේෂණ ගැන කියලා මමනම් 'සුනඛප්‍රේමී' මිතුරන් කීපදෙනෙක්ම දුම්බීමෙන් මුදවගත්තා (ඇඩික්ටඩ් අය නම් නොවෙයි. උන්ට කියලා හදන්න අමාරුයිනෙ.) එහෙම යාලුවො ඉන්නවනම් ඔයත් උත්සහකරලා බලන්න ගිම්මි.

      Delete
  11. මිනිස්සුන්ගෙ ගොඩක් දේවල් වෙනුවෙන් අහිංසක සත්තු දුක් විඳිනව.

    බූතයෙක් බස්සිට තර්ජනය කිරීම ඔයිට වැඩිය සෝචනීයයි කියල හිතෙන්නෙ නැද්ද? හැක්..

    ReplyDelete
    Replies
    1. හහා... පහුගිය දොහේ ෆේස්බුකේ සීන් එහෙකට මට බූතයො දෙන්නෙක් කෝල් කරලා රමණීය කුණුහරුපෙන් මරණීය තර්ජන කරාපු එකේ ඔව්ව මොනාද මෙයා.

      Delete
  12. Replies
    1. නාඩී! ඊයෙ පිකට් යනව දැක්කා!

      Delete
  13. පව් අසරන සත්තු.. මිනිසුන්ගේ එක එක මගුල් නිසා උන් කොච්චර දුක් විදිනවද?
    මාත් සම්පූර්ණයෙන් සිගරැට් බීම නවතාදාමා තියෙනවා...

    ReplyDelete
  14. මගේ ලඟ තිබුනා මේ විදියට සතුන් යොදාගෙන සිදු කරන පරික්ෂණ ඇතුලත් වීඩියෝ කිහිපයක්ම. ඒ පර්යේෂණ අවසන් වෙනකොට ඒ සතුන් බොහෝ දෙනෙක් මිය යනවා.හිට්ලර් ලග හිටපු වෛද්‍ය තියඩෝර් මොරේල් සිරකරුවන් යොදාගෙන සිදුකරපු කුරිරු වෛද්‍ය පරික්ෂණ ගැන මම පොතක කියෙව්වා.සිරකාර කාන්තාවන්ට දරුවන් ලැබුනම මේ වෛද්‍යවරයා ඒ දරුවෝ මවගෙන් වෙන් කරනවා.ඉන් පස්සේ කිසිම ආහාරයක් නොදි දින ගනනාවක් තියනවා මිය යන තුරුම.දරුවා මිය යනතෙක් ඒ කාල සීමාවේදි ඔහු වෛද්‍ය පරික්ෂණ කරනවා.

    ReplyDelete
  15. අපිනං ඔව්ව බොන් නැ

    ReplyDelete
  16. ලිපි දෙකම බොහොම වැදගත්. මේ අසරණ සත්තු තමන්ගේ ජීවිතේ විනාස කරගන්නවා කාලකන්නි මිනිස්සුන්ගේ කාලකන්නි පුරුද්දක් වෙනුවෙන්. තව එක දෙයක්- සිගරට් බොන එකෙන් ඒ බොන බූරුවට වඩා වැඩි හානියක් වටේ ඉඳගෙන ඒ දුම මිශ්‍ර වාතය හුස්ම ගන්න මිනිස්සුන්ට වෙනවා. මොකද Active smoking වලදී දුම පෙනහැල්ලට යන්නේ ෆිල්ටර් එක හරහා. ඒත් Passive smoking වලදී ඒ දුම කෙලින්ම ඇතුලට යනවා. ඒ නිසා, තමන්ගේ අවට සිගරට් බොන මෝඩයෙක් ඉන්නවා නම්, හැමෝටම අයිතියක් තියනවා ඒ බූරුවාට දෙකක් ඇනලා එතනින් එලවල දාන්න. විහිං ඌ මැරුණට තමන් අහක යන නයි ඇඟේ දාගන්න ඕනේ නෑ නේ..

    ReplyDelete
  17. බස්සියෝ, උඹ දාපු වීඩියෝ එක නෙමෙයි මම තව වීඩියෝ එකක් බලලා තියෙනවා ඔය ගැන. ලින්ක් එක මතක නෑ නැත්නම් එවන්න තිබුනා.
    මිනිස්සු වෙනුවෙන් කරන පරීක්ෂන වෙනුවෙන් සත්තු බොහෝමයක් අහිංසක ජීවිත පූජ කරනවා. ඒත් මෙතන තියෙන්නේ කොච්චර පරීක්ෂණ කරත් මනුස්සයටවත් හොදක් නොවන දෙයක් වෙනුවෙන් මේ ජීවිත නැති වෙන එක.
    මට මතකයි වතාවක් ඉතාලියේ ඔහොම තැනකට සත්ව අවිහින්සාවාදි කණ්ඩායමක් කඩා පැනලා විරුද්ධ වෙලා සීන් එකක් ගියා. හැබැයි පස්සේ මොකද උනේ කියලා සද්දයක් නෑ.

    ReplyDelete
  18. සත්තු යොදාගන්නේ සිගරට් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි නේද? ඖෂධ, සුවඳ විලවුන් වගේ දේ අත් හදා බලන්නටත් යොදාගන්නවා මම දන්න විදියට. නමුත් මේ සිගරට් පොවන හැටි නම් අන්තිම අමානුෂිකයි.

    නට්සි වද කඳවුරු වල යුදෙව්වෝ පාවිච්චි කරලා කරපු පරීක්ෂණවල ප්‍රතිඵල අදත් අපි භුක්ති විඳිනවා නේද? අදත් ඉහලින් වැජඹෙන සමහර ඖෂධ සමාගම් එදා ඒ අපරාධවලට සම්බන්ධ වුන අයගෙයි කියලත් කියවෙනවා.

    ReplyDelete
  19. මාගේ නිගමනය
    මිනිසුන් සිගරට් නොබීවොත් මියෝ මැරෙන්නේ නැත..

    විදිනකොට සුවයි කියල හිතුණට විදවන කොට අමු දුකක් විදින්නෙ මහරගම ැන්සර් වෝඩ් වලකොයි තරං අය ඉන්නවද සිගරටි සහ දුම්කොල නිසා ලෙඩ වුණ
    ඒව දැක්කම නං අන්දෝ සංසාරයක් ඕන නෑ

    ReplyDelete
  20. මේ වෛද්‍ය පරීක්ෂණ වලට සත්තු යොදා ගන්නා බව දැන සිටියත් දුම්පානය පිලිබඳ පරීක්ෂණ වලට සත්තු යොදා ගන්න බවක් දැන සිටියේ නැහැ.
    අර උඩින් ඩුඩයියා කියලා තියෙනවා වගේ නට්සි වද කඳවුරු වල යුදෙව්වෝ කොයි තරම් මෙවැනි පරීක්ෂණ වලට බිලි වුනාද ?සුප්‍රකට නාසි වෛද්‍ය ජෝශප් මෙන්ගල් ගේ පරීක්ෂණ ගැන උඹ අහලාත් ඇතිනේ.මිනිස් හමින් ලෙදර් හදපු කතාවක් පවා මම කියවා තිබෙනවා නට්සි කඳවුරු වල.
    කොහොම වෙතත් මේ පරීක්ෂණ වලට මිනිස්සු නැතත් සත්තු හැරුණු කොට යොදා ගන්න පුළුවන් වෙනත් ආදේශක තියෙනවාද ?

    ReplyDelete
  21. සතුන් වෛද්ය පරීක්ශන වලට යොදා ගැනීම හොඳය නරකය කියලා ප්‍රදාන නිකාය දෙකක් ලෝකේ තියෙනවා....

    එසේ සතුන් වෛද්ය පරීක්ශන වලට ලක් කල, ඒ සඳහා විදෙස් රටවල් දෙකක බලපත්‍ර සහිත (ඔවු... හැමෝටම එහෙම පරීක්ශන කරන්න ඉඩ නැහැ... එයට ප්‍රායෝගිය සහ නියායාත්මක විබාග වලට ඉඳගෙන ලැබොරටරි ඇනිමල් හැන්ඩ්ලර්ස් ලයිසන්ස් ලබගන්න ඔනේ.. එයත් ග්‍රේඩ් කීපයකින් ලැබෙනවා) කෙනෙකු විදියට ස ර ස තුමා ට කියන්න තියෙන්නේ එම පරීක්ශන කරනා කස්ටිය සතුන් ගැන අකරුනාවෙන් එම දේවල් නොකරන බවය.

    ඉතා කුඩා වුවත් අනවශ්ය වේදනා, සන්කූලතා, තුවාල ඇති නොවන පරිදි බරපතල තත්වයන් යටතේ පරීක්ශන සිදු කර එම කියාවෙන් සතුන් විඳවා මරෙන්නට ඉඩ නොදී එයුතනේසියා කිරීමට පර්යේශකයන් බැඳී සිටිනවා... නීති කැඩුවොත් සිර දඬුවම් සහ දඩ!

    සමහර විට අනාගතේ සතුන් ව වෛද්ය විද්යා පර්යේශන වලට නොගන්න තරම් දියුනු පර්යේශන පද්දති දියුනු වෙන්න පුලුවනි... එතකම් අකමැත්තෙන් වුවත් මානව වර්ගයා ගේ යහපත වෙනුවෙන් සතුන් පර්යේශන වලට ලක් වේවි...

    ReplyDelete
  22. හොඳ ලිපියක්.. ගොඩක් අය කෑ ගහන්නෙ මානව අයිතිවාසිකම් වෙනුවෙන් විතරයි නොවැ.සත්තු කියන්නෙත් ජීවි කොට්ටාසයක්ය, එයාලටත් අයිතිවාසිකම් තියෙනවය කියල හිතන්නෙ නෑ..

    ReplyDelete