Sunday, September 15, 2013

උපාධිය ලැබුවෙමි.....






 

බස්සි පහුගිය සතියේ සඳුදා උපාධිය ලැබුවේය. මෙතෙක් කල් ග්‍රැජුවේට් වී තිබුනේ අණ්ඩ විතරය (undergraduate). ඉතින් උපාධිය ලැබීම ප්‍රීති ප්‍රීති කරුණක්ය.


අම්මාත් තාත්තාත් නංගීත් පමණක් නොව බස්සාත් තකහනියක් නිවාඩු දමාගෙන බස්සිට සුභ පතන්නට ආවේය. ඒත් උත්සවයට සහභාගි වෙන්නට අවසරපත් තිබුනේ අම්මාටත් තාත්තාටත් පමණක් නිසා බස්සාටත් නංගීටත් සිදුවුනේ එලියේ සිට ටී.වී. එකෙන් උත්සවය බලන්ටය.

 
උපාධිය ලැබීම හිතට තටු ලැබෙන සිදුවීමකි. බස්සි පහුගිය අවුරුද්දේ CIMA උපාධිය ලැබුවේය. ඉතින් මේ උත්සවය එච්චර ප්‍රීතියක් ගෙනෙන්නේ නැද්ද? මොන බොරුද? එස්.බී. කාරයා කොයිතරම් කෙප්ප කෙලියත්, රාජ්‍ය විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකදී හිතට දැනෙන අභිමානයෙන් සියයට දහයක්වත් බස්සිට CIMA උපාධිය ලබන විට දැනුනේ නැත.




ඒත් ඒ සතුට අහිමි වූ, වඩාත් නිවැරදිව කියනවානම් අහිමි කරවූ සහෝදරියක්ද එදා ඒ විද්‍යාර්ථීන් අතරට මුහු වී සිටියේය. මේ ඇයගේ කතාවය.


උපාධි ප්‍රදානෝත්සවය ආරම්භ කිරීමට තිවුනේ සුලු වේලාවකි.  උපාධිලාභීන්ගේ පෙරහැරද, ආචාර්ය මහාචාර්ය වරුන්ගේ පෙරහැරද උපාධි ශාලාවට ඇතුලු වී අවසන්ය. සක් හඬත් සමග කුලපති ස්වාමීන් වහන්සේගේ පෙරහැර ශාලාවට ඇතුල් වන්නට විය.


ඒ සමගම කලබලයෙන් උපාධි ශාලාවේ දොරටුව වෙත දිව ආ ගැහැණු ළමයෙකි.
ඇය පසුපසින් ඇයගේ තරමක් වයස්ගත මවද, පියාද, නෑදෑ කාන්තාවක්ද පැමිණියහ.


දොරටුවට එහායින් සිටි හමුදා නිළධාරීන් දෙදෙනෙකු වහවහා ඉදිරියට පැන ඔවුන්ගේ ගමන අවහිර කලහ.


"කොහේද මේ දුවන්නෙ? ගමේ යනව කියල හිතුවද?" ආමි අංකල්ලා සුපුරුදු ආමන්ත්‍රණය දැක්වූහ.


"අනේ මහත්තයෝ අපි එන්නෙ ගොඩක් දුර ඉඳලා. කොළඹ මෙච්චර රස්තියාදු වෙන්ට වේය කියාල අපි හිතුවෙ නෑ. අපිව ඇතුලට යවන්ට මහත්තයෝ...." අම්මා අයැදින්නට වූවාය.


"දැන් කුලපති හාමුදුරුවන්ගෙ පෙරහැර නම් ඇතුලට ගිහින් ඉවරයි. ඉන් පස්සෙ කිසිම කෙනෙක්ව ඇතුලට ගන්නෙ නැහැ." ගැහැණියගේ අසරණ හඬ ඉදිරියේ ආමි අංකල්ගේ සැර බාල විය.


"අනේ ඒකත් එහෙමද? අපි එලියෙන් ඉඤ්ඤ්ං මහත්තයෝ අනේ මේ කෙල්ලව ඇතුලට යවන්ටකො එහෙනම්. අපිට ඒ ඇති." අම්මා ඔසරි පොටින් නළලත නැගුණු දහදිය පිසලමින් කියන්නට වූවාය.


"පොඩ්ඩක් ඔතනම ඉන්න. අපි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ කට්ටියට කියලා බලන්නම්." ආමි අංකල්ලා දෙදෙන වහා නික්ම ගියෝය. 


අම්මා සැනසුම් සුසුමක් හෙලුවාය. තාත්තාගේ රැළි වැටුනු මුහුනේ ඇත්තේ විස්මපත් බැල්මකි. අපේ සහෝදර විද්‍යාර්ථියා උපාධි ලෝගුවත්, කරමාලයත් පැළඳ ගත්තේ ඇතුලට යන්නට සූදානම් සිතිනි. දෙමවුපියන් එලියේ තනිකර දමා යන්නට සිදුවීම ගැන ඇයගේ සිතේ රැඳි අවිනිශ්චිත භාවය දෙනෙතින් දෝරේ ගලයි.


හැඩි දැඩි ආරක්ශක නිළධාරියෙක් ශාලාවෙන් පිටතට පැමිණියේය.


"මේ සර්. ඔබතුමාලා ආමි එකේ බව ඇත්ත. ඒත් එක එකා කියන කියන ගානෙ හැම කොල්ලයි බල්ලයිම මේක ඇතුලට රිංගවන්න මට බෑ."


මග බලා වුන් පිරිස තිගැස්සුනේ ඔහුගේ ගොරහැඩි කටහඬත්, නොතෙත් ඇමතුමත් කන වැකීමෙනි.


"කෝ කව්ද? මේ ගොල්ලොද?"


"අනේ මහත්තයෝ, අපි එලියෙන් ඉන්නම් මහත්තයෝ. මේ කෙලි පැටියව ඇතුලට දාන්න. මේකි අවුරුදු ගානක් තිස්සෙ මාන්සි වුනේ මේකට නෙව." අම්මා ගොතගසමින් වදන් අමුනන්නට විය.


"කතා කරන්න එපා. වෙලාවට වැඩකරන්න ඉගෙන ගන්නවලා. දුර ඉඳන් එනවානම් වාහනයක් අරගෙන එන එකනෙ." ආරක්ෂක නිළධාරියා තමන්ගේ රැස් පෙන්නා ආඩම්බරයෙන් යන්නට හැරුනේ තමන්ගේ තනතුරේ ගෞරවය රටටම පෙන්නූ හැටි ගැන අභිමානයෙන්ය.


අම්මාගේ පපු කැවුත්තේ හැංගුන වේදනාව වාන් දමන්නට වූයේ එවිටය.


"අපි දුප්පත් මිනිස්සු නිසාද සර් අපිට මෙහෙම කරන්නෙ? අපි බස් එකට නැග්ගෙ පාන්දර දෙකට. කෑමක් බීමක් වත් නැතුව පැය හතක් අටක් ඇවිත් තමයි මෙතෙන්ට ආවෙ. පාන්දර දෙකට කලින් බස් නෑ සර්. අපිට කියන්නෙ කලින් දවසෙ බස් එකේ ඇවිත් රෑ මෙතන නිදාගෙන ඉන්ට කියලද? සල්ලිය බාගෙ තිවුනනම් අපිටත් වාහන අරන් එන්ට තිවුන මහත්තයෝ..." අම්මා පපුව බදාගෙන කෑ ගසන්නට වූවාය.


"අම්මෙ දැන් කෑ ගහල වැඩක් නෑ අම්මෙ. අපි ගෙදර යමු." දෙනෙත රතු කරගත් සහෝදර විද්‍යාර්ථියා අම්මාගේ දෑතින් අල්ලාගෙන කියන්නට විය.


"අපි උඹ ඉපදුනු දා ඉඳන් දහදුක් විඳලා, බඩට නොකා උඹට ඉගැන්නුවෙ මේකටයි දුවේ. ඉර හඳ දෙයියන්ට පෙනිච්චාවයි මේ අවනඩුව. ඇයි මහත්තයෝ අපේ කෙල්ල අවුරුදු හතරක් දහදුක් විඳල විභාග පාස් කොරල ගත්තු උපාධිය අරන් එන්න ඒකිව ඇතුලට යවන්ට බැරි? ඇයි දුප්පත් අපිටම මෙහෙම වෙන්නෙ?"


අම්මා ඒ පැනය ඇසුවේ අවට රැස්වී හිටි හැමදෙනාගෙන්මය. ගැහැණු තුන් හතර දෙනෙක් ඈව වත්තම් කරගෙන ගොස් එළියේ තිවුනු කුඩා මඩුවක වාඩි කරවීය. අපේ සහෝදර විද්‍යාර්ථියා අසරණ දෑසින් වටපිට බලා රූපවාහිනී තිරය අසල අසුන් ගත්තේ තම සොයුරු විද්‍යාර්ථීන් උපාධි ලබනවා බලා සැනසෙන්නට විය හැක.





උපාධි ශාලාවේ තමන්ගේ නම කියැවෙන විට ඇයට මොනවා හිතෙන්නට ඇතිද? ඒ අම්මාට මොනතරම් වේදනාවක් දැනෙන්නට ඇතිද? කරකියාගන්නට දෙයක් නොමැතිව, කතා කරගන්නට වචනත් නොමැතිව ඒ තාත්තා හිතෙන් මොන වේදනාවක් උහුලන්නට ඇතිද?


වරද කාගේදැයි, කොතැනදැයි බස්සි අහන්නට යන්නේ නැත. මේ කතාව බස්සිට අකුරක් නෑර කිවුවේ එලියට වී සිටි බස්සාය. ඒ කතාව ඇහුවායින් පසු බස්සිගේ මූණටද වැහි වළාවක් වැටුනේ දෙනෙත බර කරවමිනි. ඒ සහෝදරියගේත්, ඔහුගේ දෙමවුපියන්ගේත් හිතේ බර කොතෙක් වන්නට ඇතිද???


ඇඳුමත්, මුහුණත් බලා සැලකුම් දැක්වීම උපාධි ප්‍රදානෝත්සවය පුරාම දක්නට
ලැබුනේය. කාර් වෑන් වලින් බැස, ජය පහට සැරසී එන දෙමවුපියන්ව ශාලාවට ගෙනගොස් වඩා හිඳුවන්නේය. සරොම් බැනියම් ඇඳ එන අසරණ තාත්තලා, පාට වියැකුනු සාරිවලින් සැරසී, වත්සුනු හා නෙතු අඳුනෙන් වියුක්ත අම්මලා ආරක්ශක අංශයේ මනා සෝදිසියට ලක්වෙන්නේ
ය. ඔවුන්ට ජංගම දුරකතනයක්වත් ළඟ තබා ගන්නට ඉඩ දෙන්නේ නැත. බස් එකේ උත්සවයට ආ ඔවුන් ජංගම දුරකතන පඩිපෙළ උඩ දමා යන්නද?





 
අසරණ ගම්බද පෙනුමින් යුත් දෙමව්පියන්ට එක ළඟ ආසන දෙකක වාඩි වීමටවත් ඉඩ නුදුන් බැව් බස්සිගේ තාත්තා බස්සිට පැවසුවේය. ටයි කෝට් දමාගත් දෙමව්පියන්ට වදනකුදු නොදොඩා, ගමෙන් පැමිණි, කොළඹ රටට ආගන්තුක දෙමාපියන්ව දුරස් අසුන් වලට යොමු කිරීමත්, එමතුද නොව ඔවුන්ගේ ජංගම දුරකතන පවා ඉවත් කරවීමත් කොපමණ සදාචාරයට පටහැනිද?


මේ උපාධියේ රසය මැද බස්සී ඇසූ කතාය. බස්සී දැකපු සහ විඳපු කතා මීළඟ ලිපියෙන් ලියන්නම්ය.





සරසවියෙන් අපි ලැබුවේ විද්‍යා උපාධිය පමණක් නොවේ. ඊට වඩා සිය දහස් ගුණයකින් වටිනා ජීවන උපාධියකි. 

Saturday, September 14, 2013

ජීවිතේ දිගු හීනයක් - සොඳුරුබර දිගු හීනයක්


ජීවිතේ දිගු හීනයක්
ජීවිතේ දිගු හීනයක්
සැබෑ ලෝකෙදි සැබෑ නොවෙනා
සොඳුරුබර දිගු හීනයක්.....




අපි කවුරුත් හීන දකිනවා. නින්දෙදි වාගෙම අවදියෙන් ඉඳිද්දිත් අපි හීන දකිනවා. බස්සිට හිතෙන විදියට නම් වඩා රසවත් අවදියෙන් ඉන්නකොට දකින හීන. සිරුර පියවි ලෝකෙ තනිකරලා මනසින් හීන ලෝකෙ සවාරියක් යන මොහොත හරිම සුන්දරයි. ඒක තත්පරයක්, විනාඩියක් වගේම පැයක් දෙකක් වෙන්නත් පුලුවන්. හීන බලන මොහොතෙදි කාලය නවතිනවා. ඒ නිසා හීන දකින්නාට කාලය වැදගත් නෑ.

හැබැයි කාලයෙන් වැඩ ගන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි හීන හැබෑ කරගන්න කෙනා.

හීන දකින ඕනැම කෙනෙකුට ඒ හීනෙන් මිදිලා පියවි ලෝකෙට පය ගහන්න වෙලාවක් එනවා. හීනෙක සැරිසරන්න පුලුවන්. නමුත් සදාකාලිකව හීනෙක ජීවත් වෙන්න අමාරුයි. හීන අතරෙ අතරමං වෙන එක සුන්දර වුනාට ප්‍රායෝගික නෑ.

 

සමහර හීන වලින් මිදිලා පියවි ලෝකෙට පය ගහන්න ඕනෙ ගොඩක් පරෙස්සමට. හීන ඉනිමගක පෙති දිගේ පරෙස්සමට පියවි ලෝකෙට අවරෝහණය වෙන්න වෙනවා. ඒ වාගෙ හීන අතරෙ නිතර නිතර අතරමං වෙන එක අවදානම්. පියවි ලෝකෙට දුර වැඩී. හදිසියෙන් ඉනිමග කඩා වැටුනොත් හිත තුවාල වෙන්න පුලුවන්. සදහටම ඒ කැළැල් නොමැකි හදවතේ ඉතුරු වෙන්නත් පුලුවන්.

 

කරන්න තියෙන නුවණැතිම දේ පියවි ලෝකෙදි ඉස්සරහට තියන පියවරක් පාසා හීනෙට ළං වෙන එකයි. හීන ලෝකෙදි නතර වුන කාලය, හැබෑ ලෝකෙදි වේගෙන් ගලාගෙන යනවා. ඒ නිසා පමා වෙන්න වෙලා නෑ.

 

හීන බිඳිලා ගියා කියලා සමහරු කම්පා වෙනවා. අපේ හීන බිඳින්න කාටවත් බෑ. අපි හීන දකින එක නවත්තන්නත් කාටවත් බෑ. බිඳලා දාන්න පුලුවන් අපේ බලාපොරොත්තු. කඩලා දාන්න පුලුවන් අපි හීනෙට ළං වෙන්න පියවි ලෝකෙදි ගොඩනගපු මාවත. ඒත් අපේ හීනය විනාශ වෙලා නෑ. ඒක තවමත් නැවුම්.




හීන ලෝකෙ අතින් අල්ලලා රසවිඳින්න කැමති උදවිය පියවි ලෝකෙදි හීනෙට ගොඩවෙන්න ඉනිමං තනනවා. එයාලා ජීවිතේ දිනනවා. එයාලගෙ දිනුම අපිත් දකිනවා. ඒක දකින සමහරු හිතනවා 'හීන දැකලා වැඩක් නෑ. ජීවිතේ දිනන්න නම් හීන දකින එක නවත්තන්න වෙනවා කියලා'. එයාලා තමන්ගෙ හීන වලින් ඈත් වෙලා ජීවිතෙන් පරාද වෙනවා.


හීනයක් හැබෑ වුනාම හදවතට තටු ලැබෙනවා. හැබෑ වෙන හීනයක් ගානෙ හදවතෙ බර හෑල්ලු වෙනව. එතකොට හීනෙන් හීනෙට පියාඹන්න තරමේ සැහැල්ලුවකුත්, ජවයකුත් ලැබෙනව.



හීනයෙන් හීනයට පාවෙන
හීන අතරේ අතරමං වෙන
වළාවක් සේ ඔහේ නැළවෙන
ජීවිතේ දිගු හීනයක්
ජීවිතේ දිගු හීනයක්......




හීන අපිව ජීවත් කරවනවා. අපේ හදවතේ හිස් තැන් පුරවනවා. ඇත්ත. මුලු ජීවිතේම එකම එක දිග හීනයක්. 




Sunday, September 8, 2013

අද දවස හරි රහයි


හෙට බස්සිගෙ උපාධි ප්‍රදානෝත්සවය. බොසාගෙන් නිවාඩු ඉල්ලලා පච වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ නිසා බස්සි මේ සතියේ සෙනසුරාදාත් වැඩ කලා. බස්සිව බස් එකට නග්ගවන්නයි කියල බස්සාත් ආවේ බස්සි බෑග් මලු එක්ක කොටුවේ පේවුමන්ට් එකේ කරණමක් ගහාවි කියන බයෙන් වෙන්න ඕනෙ.





 
"බස්සෝ...."

"හ්ම්ම්ම්......................." බස්සා සුපුරුදු පිලිවදන දෙනවා.

"අනේ මාව කටුනායකටම ඇරලවන්නකෝ......."

"අද මට වැඩ ගොඩයිනෙ බබා..."

"අනේ බස්සෝ.... ඔයාගෙ පුංචි හුරතල් බස්සි කටුනායකට යනකම් පාලුවෙ යයි. පව්."

බස්සි තොඳොල් වෙවී බටර් පාර ගාන්නේ බස්සාගේ හිත උණු වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඇත්තටම ඒ අහන බස්සාගෙ හිතත් මොළොක් වෙනවා.

"හා එහෙනම් ඉතින් යමුකො."


පිටකොටුවෙ පෙට්ටි කඩේකින් බස්සයි බස්සියි කීරවඩේ ගන්නවා. ඌරන්ට මොන සෞඛ්‍යද?? පෙට්ටි කඩේකින් ගත්ත කඩචෝරුවක් බෝක්කු ගැට්ටක් උඩ වාඩි වෙලා හෙමින් හෙමින් රසවිඳිනකොට දැනෙන ෆන් එක තරු පහේ හෝටල් වල තියේද?


කොටුවෙන් 187 බස් එකට නැගපු ගමන් ගෙදරින් කෝල් එක ආවෙ හරියට බලා උන්නා වාගෙ.

"තාත්තෙ මම තනියම නෙමෙයි බස්සත් එක්කමයි එන්නෙ." කියලා කට ගන්න ලැබුනෙ නෑ...

"කොච්චර හොඳද? එහෙ ඇවිත් තේ ටිකක් එහෙම බීලා යන්න බැරියැයි." තාත්තා බස්සිගේ වැඩවලට කොයි වෙලාවෙත් ෆුල් සපෝට් නෙව.


කොටුවෙ ඉඳන් කටුනායකට බස් ගමන සුන්දර අත්දැකීමක් නෙමෙයි. තැනින් තැන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිසා ගමනාගමනයට උදලු වැටෙනවා. ආසියාවේ ආශ්චර්ය දකින්න නම් ටිකක් දුක් විඳින්නෙ නැතුවත් බෑ නෙව.




 
උදේ ඉඳන් සැරින් සැරේ කොළඹට වැටුන චුරු චුරු වැස්ස නැවතිලා. හීන් අවු රැල්ලක් බස් එකේ කවුලුවෙන් එබිකම් කරනවා. ඉර හිනාවෙනව බලන්න බස්සි ආසයි. බස්සි ජනෙල් තිරය මෑත් කරනවා. එහාපැත්තෙ සීට් එකේ ඉන්න අංකල් කෙනෙක් ඒ දිහා බලලා හීනියට ඔරවනවා. නතිං ටු ඩූ අංකල්. බස්සි එක්ක එක බස් එකේ යන්න වුනොත් ඔහොම තමයි.


කටුනායකින් බස්සිව තාත්තට බාර දීලා බස්සා බෝඩිමට යන්නයි හැදුවෙ. ඒව කොහෙද බස්සියි තාත්තයි එක්ක. බස්සාව තේ බීලා යමු කියලා නග්ග ගත්තා ඉස්සරහින්ම.  මගදී තාත්තා පොළට ගිහින් එන්න නැවැත්තුවාම බස්සි බස්සාට නේල් ආර්ට් දාන හැටි ගැන පාඩමක් කියාදුන්නා. හ්ම්ම්... බස්ස ගෝලයත් නරකම නෑ. උනන්දුවෙන් තාත්ත එනකල්ම ට්‍රයි කලා පිට යන්නෙ නැතුව කියුටෙක්ස් තවරන හැටි ඉගෙනගන්ට.


ගෙදර ඇවිත් තේ බීලා එහෙම බස්සි ක්ලාස් ගිහින් හිටපු නගාට එස්.එම්.එස්. එකක් කෙටුවෙ බස්සත් ඇවිත් ඉන්න බව දැනුම් දෙන්නයි. අහෝ එයින් වූ ආශ්චර්යක මහත!! එස්. එම්. එස්. එක ලැබුන සැනෙන් නගාගේ හවස පංතියේ සර්ට අසනීප වෙලා නගා වරුවෙන් ගෙදර ආවා නෙව.


"මට ඕර්ගන් එක ප්ලේ කරලා පෙන්නන්නකෝ...." බස්සා හදන්නෙ මගේ සායම යවන්ට තමයි. බෑ කියල පච වෙනවද? හැකියාව පෙන්නලා පච වෙනවද? යාන්තම් සිංදු දෙක තුනක් කොටාගෙන (නිල් අහස් තලේ ද ඇතුලුව.) ජාමෙ බේර ගත්තා.


 


කීබෝඩ් එක උඩ දුවන බස්සිගෙ ඇඟිලි උඩින් අත යවමින් බස්සත් ප්ලේ කරන්න ඉගෙනගන්නයි සූදානම. සංගීත පාඩමෙන් එහාට ගිහින් ඇඟිලි තුඩු එකිනෙක පැටලෙන ඒ මොහොත සංගීතයට වඩා රසවත්.


පැය දෙකක් විතර කී බෝඩ් එකයි වයලින් එකයි කුරුටු ගාමින් සිංදු හත අට කියන කොට බස්සට උදේ තිවුන හදිසිය අමතක වෙලා. ඉන් පස්සෙ බස්සයි නංගියි සෙට් වුනේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් බලන්ට.


"පුතේ බත් කමු." බස්සිගේ අම්මා දොර රෙද්ද මෑත් කරලා කාමරේට එබෙනවා.

"දැන්ම බෑ අම්මා. ෆිල්ම් එක ඉවරත් නෑ." බස්සිගෙ නගා උත්තර දෙනවා ඇහෙනවා.

"මම ඇහුවෙ පුතාගෙන්."

නගාගෙ මූණ ඥුක් වෙලා යන හැටි බස්සිට මැවිලා පේනවා. අම්මලා කොහොමත් වැඩිපුර ආදරේ පුතාලට නෙව. ඒ නිසා බස්සා අපේ අම්මගෙ ආදරේ හොරා අරන්.


දවල්ට බයි එහෙම කාල බස්සා ආයෙත් වතාවක් "තව ටිකකින් යන්න ඕනෑ" බව ප්‍රකාශයට පත් කලා. ඒත් එක්කම නගා බස්සාව ඇදගෙන ගියේ අලුතෙන් ගත්ත පොත් වගයක් පෙන්නන්න. පොත් පෙරල පෙරලා ඇඳේ වැටිලා තුන්දෙනාම ඔහේ පච කියකියා හිටියා හරිම නිදහසේ. බස්සි බස්සාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගන්නවා දැකලා නගා ඇස් දෙකත් වහගෙන. අපි හොඳ ළමයි බව ඒකා දන්නෙ නැතුවද කොහෙද?  බස්සා නාගෙන ආපු බස්සිගෙ කොණ්ඩෙත් ඩ්‍රයි කරලා දුන්නා ඒ අතරෙ.


හවස තේ බීලා බස්සා යන්න පිටත් වෙනකොට බස්සිත් ආවා තාත්තත් එක්ක බස්සාව මගට ඇරලවන්ට. හෙට උදේම BMICH එන පොරොන්දුවත් එක්ක බස්සා පිටත් වුනා.


කොහොමින් කොහොම හරි බස්සිව උදේ කොටුවෙන් බස් එකට නග්ගන්න කියලා ආපු බස්සා ආපහු යනකොට හයත් පහුවෙලා. දැන් තමයි ඕං බස්සා බෝඩිමට ගියාය කියලා කෝල් එක ආවෙ.






සුන්දරම දවසක්. වැඩ පාලු වුනාට කමක් නෑ බස්සෝ. බස්සි අද ගොඩාක් සතුටෙන්.


Friday, September 6, 2013

බයිට්


බයිට් වීම සහ බයිට් කිරීම ගැන පහුගිය දිනවලදී මහා විසාල කළබගෑනියක් අහන්නට, දකින්නට ලැබුනේය. බස්සිට මතක හැටියට නම් බයිට් කිරීම කියන ක්‍රියාපදය සිංහල වදන් පොතට එක්කාසු වූයේ දැනට අවුරුදු දහයකට පහළොවකට කලින්ය.

අපේ තාත්තා නම් බයිට් එක කියන්නේ යාලුවොත් එක්ක සෙට් වී මදුවිතක් තොලගාන විට ගන්නා කටගැස්මට ය. තාත්තා බයිට් ඉල්ලනකොට අම්මාගේ මූණ නම් බලන්ට ලස්සනය. බයිට් වලින් බස්සි කැමතිම එළවලු බයිට් එක සහ සුදුලූණු බයිට් එකටය. මඤ්ඤොක්කා පෙති හීනිවට කපා, ලුණු වතුරේ දමා, ගැඹුරු තෙලේ බැද ගෙන, ඒකට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු ඉහගත්තාමත් මරු බයිට් එකක් ලැබෙන්නේය. බස්සිට වගේම බස්සාටත් බයිට් ලොරියකට වුනත් වගකියන්නට පුලුවන්ය.




 
ඉස්කෝලෙ කාලේ ජොලියට යාලුවන්ට ඉඳහිටලා අහිංසක බයිටක් දුන්නා මතකය. උන්ව බයිට් කරන්නට ගොස් අපි ඇදගෙන නා ගත් අවස්ථාද නැතුවාම නොවේය.


ඒ ලෙවල් පන්තියේදි දවසක් බස්සිගේ ගජයෙක් වූ "බැටිස්ටාර්" (ඒ උගේ නික් නේම් එකය.) ඇබ්සන්ට් වුනේය. බස්සිලාගේ ක්ලික් එකේ උන් ඌට ගොන් බයිටක් දෙන්නට ප්ලෑන් කලේය. ප්ලෑනේ හැටියට ක්ලික් එකේ අනිත් උන් අට දෙනාම බැටිස්ටාර්ට විනාඩි දහයෙන් දහයට කෝල් කල යුතුය. කෝල් කර උදේ රැස්වීම වෙලාවේ ප්‍රින්සිපල් මයික් එකෙන් ගමටම ඇහෙන්න කෑ ගසා ඒකාව සෙවූ බවට පචයක් කෙලිය යුතුය.




වැඩි හොඳට කට්ටිය පැලෑන කොළයකද සටහන් කලේ මේ විදියටය.

6.30 - මලියා
6.40 - කිරිහාමි
6.50 - දුකා
7.00 - රේ මිස්ටීරියෝ
7.10 - නෝ ලිමිට්
7.20 - ලිමිට්
7.30 - රඟ සොබා
7.40 - ඩිලූ



අනේ ඉතින් පෙරුම් පුරා ගෙදර ගිහින් 6.30ට මලියා බැටිස්ටාර්ට කෝල් කොරන්නට හදන විට උගේ ලයින් එක එන්ගේජ් ය. මලියා ටිකක් සිහිකල්පනාව ඇති එකා නිසා 6.35 වනතුරු ට්‍රයි කර වැඩේ අත් ඇරියේ 7.50 ට ලිස්ට් එකේ අන්තිමට වැඩේ දෙන්න හිතාගෙනය.


6.40ට කිරිහාමියා තමන්ගේ වාරය ලබාගත්තේය.



 
"හෙලෝ..."

"හෙලෝ බැටියා. මම කිරිහාමි කතා කරන්නෙ. ඇයි අද ආවෙ නැත්තෙ??"

"කම්මැලි හිතුනා මචං. මොකෝ මේ තකහනියෙම කෝල් කලේ? මං ඊයෙත් උඹලට කියලනෙ ආවෙ අද එන්නෙ නෑ කියල."

"මේ.... මේ.... නිකම් අනේ.... නෑ නෑ. ඔයාට අද සිස්ටර් එසෙම්බ්ලි එකේදි බැන්නා ටිකක්. බය වෙන්න එපා. හෙට උදෙන්ම ඔෆිස් එකට එන්න කියන්න කිවුවා."

"මට?? අනේ පලයන් යන්න."

"ඇයි අනේ ඔයාට මලියාත් හය හමාරට කෝල් කරලා කිවුව නේද? ඔයාට ඒත් ෂුවර් නැද්ද? තව ටිකකින් දුකා කෝල් කලාම අහන්න බොරුනම්."

 
ඉන් එහාට අපි හත්දෙනාට වුන හරිය කියන්නට වචන නැත. කිරිහාමියා තමන්ට සුදුසුම නම කිරිහාමි බව නැවත වතාවක් ඔප්පු කලේත්, ඌත් නාගෙන අපිවත් නෑව්වේත් එහෙමය.


කැම්පස් එන්නට පටන් ගත්තුම කාලයේ විකාශය වූ එයාර්ටෙල් ඇඩ් එකකින් "බයිට් ෆ්‍රෙන්ඩා" යනුවෙන් අලුත් වචනයක් හඳුන්වා දී තිවුනු ආකාරය මතකය. අපි නම් එක එකාව මාරුවෙන් මාරුවට බයිට් කර අපිද ඉඳහිට බයිට් වනවා මිසක් එකෙක්ට "බයිට් ෆ්‍රෙන්ඩා" ලෙස ඔටුනු පලන්දා නැත්තේය.


ඔය කාලයේම බයිට් කලාව මාධයටත් රිංගන්නට විය. බස්සිට මතක විදියට නම් කෝල් කර බයිට් කිරීම මුලින්ම පටන් ගත්තේ "සිරස එෆ්.එම්." එකේ "දහසක් මල්" වැඩසටහනෙන්ය. ඉන්පසුව ආපු පට්ටම එෆ්.එම්. බයිට් එක "හූ ඊස් ස්පීකිං - විත් පැස්බරා" ය.




සජීවීව විකාශය වූ මේ වැඩසටහන් වලදී බයිට් වූයේ බයිටට ඉලක්ක වූ පුද්ගලයා පමණක්ම නෙමේය. බයිට දෙන නිවේදකයා හෝ නිවේදිකාව ඇදගෙන නාපු අවස්ථා ඕනෑ තරම්ය. ඒවාද එඩිට් නොකර නැවත විකාශය කරන්නට තරම් උන් නිහතමානීද වූහ. සමහර උන් අමු සිංහලෙන් බැණ අඬගැසූ අවස්ථාද, එවිට බැනුම උඩින් වහවහා වෙළඳ දැන්වීමක් විකාශය කල අවස්ථාද එමටය.

එහෙත් ටෙලිවිශන් බයිට් කලාව ඉන් අඩියක් ඉදිරියට තබා ඇත්තේය. ඒ තබන ලද අඩියේ සදාචාරාත්මක භාවය පිළිබඳ හිතට දැනෙන්නේ කුකුසක්ය. එකෙක් දෙන්නෙක් මලත් තමන්ගේ නාලිකාවට හිට්ස් වැඩිවෙනවානම් ඒ ඇති වාගේය.




ළඟම මිතුරෙක්ට බයිටක් දෙන්නේ ඒකා සිටින තත්වය ගැනත්, බයිටේ කැපෑසිටිය ගැනත් අවබෝධයක් සහිතවය. අපි ඊයේ බූට් එකක් කාපු යාලුවාට, උදේ විභාගේ ෆේල් බව දැනගත් යාලුවාට, උණ ගැනී ඉස්පිරිතාලේ යන යාලුවාට බයිට් දෙන්නට යන්නේ නැත.


ඒකට කියන්නේ විහිලු නොදන්නාකමවත්, බුම්මට්ටකමවත් නෙමේය. ඒ මනුස්සකමය.

Wednesday, September 4, 2013

හතළිස් හතරවෙනි කොටස : ගෙදරට කොටුවීම



වෙනදා වාගෙ නෙමෙයි කැම්පස් එකේ නිවාඩු ලැබිලා ගෙදර ආව බස්සිට දැනුනෙ පුදුමාකාර පාළුවක්, තනිකමක්. උදේ ඇහැරුනාම මතක් වෙන්නෙ බස්සා එක්ක කෝල් කරකර කැම්පස් යන්න ලෑස්ති වෙන හැටි. කන්න බොන්න ගියත් එහෙමයි. බස්සාව සහ සුපුරුදු ෆිශ් පේස්ට්‍රිය මතක් වෙනවා නිතරම. ඇයි ඉතින් බස්සිගෙ අම්මා පේස්ට්‍රි කෑම තරයේ හෙලා දකිනවා නෙව.

ඒත් බස්සාට කෝල් කරන්න වෙන එකක් නැහැ කියලා දුක් වුනේ බොරුවට කියලා බස්සිට දවස් දෙක තුනකින්ම තේරුනා. උදේ වරුවෙ ගෙදර හිටියෙ බස්සියි, බලු පැටියයි, පූසො හත්දෙනයි විතරයි. ඉතින් බස්සිට දවල් දෙකහමාර වෙනකම් හිතේ හැටියට බස්සා එක්ක කිචිබිචි ගගා ඉන්න අවස්ථාව ලැබුනා.

බස්සි ගෙදර ඉන්නෙ තනියෙන් වුනාට බස්සාගෙ තාත්තයි මල්ලියි දෙන්නාම ඒ දවස්වල හිටියෙ ගෙදර. ඒ නිසා බස්සිට තරම් නිදහසේ කතාකරන්න බස්සාට පුලුවන් වුනේ නෑ.

කොහොමින් කොහොම හරි බස්සා සහ මොබයිල් එක අතර වෙනදාට වඩා බරපතල සම්බන්ධයක් තියෙන බව මුලින්ම දැනගෙන තිවුනෙ බස්සාගෙ මලයණ්ඩි.

පොර ඒ බව මාධ්‍යට ප්‍රකාශ කලේ ඉන් පස්සෙ බස්සා බස්සිට කෝල් කරන හැම වතාවකදිම ළඟට ඇවිත් මල් වට්ටියක් අල්ලාගෙන සිටීමෙන්.

බස්සා ඒ කිසිවකින් නොසැලී දවල් වරුවෙම බස්සිට කෝල් කරනවා. හවසට නම් බස්සාටයි බස්සිටයි දෙන්නාටම වැඩ. බස්සා කෝඩ් අමුණනවා. බස්සි ගජේන්ද්‍ර සර්ගෙ හෝම්වර්ක් එක්ක ඔට්ටු වෙනවා. ඉන් පස්සෙ අම්මාට උදව් වෙන්නත් පැය දෙකතුනක්වත් යනවානෙ.

රෑ අටහමාර නවය වෙනකොට බස්සි කතා කවුලුව ළඟට සේන්දු වෙනවා.

බස්සා කවුලුවෙන් එහා පැත්තෙත්, බස්සි කවුලුවෙන් මෙහා පැත්තෙත් ඉඳගෙන පාන්දර දෙක, තුන විතර වෙනකම් කියව කියවා ඉන්නවා. බස්සිට බස්සාව හැබැහින් දැකගන්න නොලැබෙන එක නම් ලොකු අඩුවක්. ඒත් බස්සිගෙ පාලුව නැති කරන්න බස්සා හැම වෙලාවෙම උත්සාහ කරනවා.

Monday, September 2, 2013

මාලුවෝ ඉගිල්ලෙනු කියැවූවෙමි.... (Flying Fish)


ඉගිල්ලෙන මාලුවන්ට ලංකාවේ පාලකයෝ මෙච්චර අකැමති මන්දැයි දැනගැනීමට බස්සිට තිවුනේ මාරම කුතුහලයකි.  ඒ නිසාම ඉගිල්ලෙන මාලුවෝ ලින්ක් එකක් ඇතුලෙන් හොරෙන් හොරෙන් ජාලයේ ඉගිල්ලෙන දවස උදාවෙනතුරු බස්සි ඇඟිලි ගනිමින් උන්නේය. ගිය සතියේ මාලු ටික ඉගිල්ලෙනු අහම්බෙන් දුටු කල බස්සි වහවහා බස්සා ලවා මාලු ටික බා ගත්තේය.




බස්සි තුන් වතාවක් ඉගිල්ලෙන මාලුවෝ බැලුවේය. ඒත් මදිය. බලන බලන හැම වතාවකම අලුතින් කියැවීමට යමක් මාලුවන් තුල අන්තර්ගත බව දකින්නේය.  විද්‍යාවට හුරු වුන බස්සිගේ ඇහැට සිනමා පටයේ සියුම් තැන් එකවර රහ බලන්නට අසීරු නිසාද විය හැක.  එහෙම නැත්නම් ඒ සංජීව පුෂ්පකුමාර "නමැති පුද්ගලයා" ගේ (අයි. ටී. එන්. නාලිකාව ඔහුට ආමන්ත්‍රනය කරන්නේ එහෙමය.) හැකියාව වෙන්නට ඇත.

සිනමාපටය තහනම් කිරීමට මූලික හේතුව එමගින් රණවිරුවන්ට අපහාස වීම නොව, ගයේෂාගේ සහ සම්පත්ගේ ලිංගික හැසිරීම් සහිත දර්ශනය යැයිද එක එකා තැන තැන කසු කුසු ගාන්නේය.  එවැනි අවස්ථාවක රඟදැක්වෙන ලිංගික දර්ශනය නරඹා මොලේ කුරුවල් කර ගන්නට තරම් පහත් මානසිකත්වයක් ඇති රැඟුම් පාලක මණ්ඩලයක් ගැන අපි කම්පා විය යුත්තෙමුය.




ලිංගිකත්වය කුණුහරුපයක් කොට කහල ගොඩට දැමූ රැඟුම් පාලකයන්ට පින් සිදු වන්නට එයට නව කියැවීමක් දුන් සිනමාපට බොහොමයක් නැරඹීමේ අවස්ථාව අහිමි වූ අපි අවාසනාවන්තයෝ වන්නෙමුය. "කර්ම" සහ "නිකිණි වැස්ස" ඒ පවෙන් මිදුනේ අපේ වාසනාවටය. 


සිනමා පටය නරඹන විට බස්සිගේ එක් පූර්ව නිගමනයක් වැරදි බව වැටහුනි.  ලංකාවේ පාලකයෝ ඉගිල්ලෙන මාලුවන්ට අකැමති නැත. උන් ඉගිල්ලෙන මාලුවන්ට බයය.  මාලු ඉගිල්ලෙද්දී තමන්ට හෙණ වදීවියැයි බයක් ඇතිවීම අතිශය සාධාරණය.


මාලු ඉගිල්ලෙන්නට තැත් කරන්නේ ජනවාර්ගික යුධ සමයේ මිලිටරිකරණය වූ මායිම් ගම්මානයකය..  සංජීව කියා ඇත්තේ යුද්ධයේ දුමාරයෙන් වැසීගිය කටුක ඇත්තය. ඒ ඇත්ත තිත්තය.

 
ඉගිල්ලෙන මාලුවෝ දකින කල එය "ගාමණී" සිනමා පටය සමග සසඳන්නට සිත යොමු වන්නේ නිරායාසයෙන්ය. "ගාමණී" ට අනුව අපේ හමුදාවේ ඉන්නේ කාකි ඇඳුමෙන් වෙස්වලාගත් දෙවිවරුය. උන් හා සටන් වදින්නේ එල්. ටී. ටී. ඊ. යක්ෂයන්ය. දෙවිවරුන්ගේ කෙරුවාව ඊයේ පෙරේදා රතුපස්වලදී ලෝකයටම පෙනී යන්නට ඇත.


සංජීවට අනුව උනුත් එකය, මුනුත් එකය. නමුත් කැලේට හැදුනු උන්ට වඩා, නිසි පුහුණුවකින් පසු අවි අතට ගත් මුන් තරමක් හොඳය. ඇත්ත ඒකය. එතනවත්, මෙතනවත් දෙවිවරු නැත්තේය.

 
යුද්ධයෙන් පීඩා විඳින්නේ ගෙවල් දොරවල් විනාශ වී අවතැන් වූ ජනතාව් පමණකැයිද, ඔවුන් පමණක්මැයිද යන මතය අවුරුදු ගනනාවක් තිස්සේ අපේ මොළගෙඩි තුලට ඔබ්බවා ඇත්තේය. යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස හටගන්නා මානසික අවතැන්වීම පෙරකී සාමාජීය අවතැන්වීමට වඩා දසදහස් ගුණයකින් බිහිසුණු බැවු ඉගිල්ලෙන මාලුවෝ පසක් කර දෙන්නේය. ඔවුන් කෙසේ යන්නේද, කොහි යන්නේද, අවසානය කිමෙක්ද නොදත් මානසික අවතැනුන්ය. රියදුරු නැති බස් රියක් තුල සිනමාපටයේ ප්‍රධාන චරිත තුන ඉදිරියට ඇදෙනු දකින විට හිත කීරිගැහෙන්නේ එබැවින්ය. ඉගිල්ලෙන මාලුවන්ගේ අවසානය ඔවුන්ටත් රහසක්ය.





 
කතාව ලියා නැති නිසා කස්ටිය බස්සිට පලු යන්නට බනිනවාද විය හැක. පහත ලින්ක් එකෙන් මාලුන්ව බාගෙන ඔබේම ඇහෙන් සිනමාපටය කියවන එක වටිනවාය. කියැවීම හමාර වූ කල ඔලුවට පොල්ලකින් ගැසුවාක් බඳු මහා අසරණ හැඟීමක් දැනෙන එකනම් ඒකාන්තය.

Sunday, September 1, 2013

නිවැරදි කිරීමක්




කැම්පස් යන කාට කාටත් අනිවාර්යයෙන්ම උරුම වෙන දෙයක් තමයි කාඩ් එක කියන්නෙ. කැම්පස් ජීවිතේදි සැබෑ නම පාවිච්චි වෙන්නෙ හරිම අඩුවෙන්. ගොඩක් වෙලාවට අපි අවුරුදු තුන හතරක් ළඟින් ආශ්‍රය කරපු යාලුවන්ව පවා නමින් අඳුනනවා අඩුයි. කාඩ් එක කියාපුවාම තමයි ටක් ගාලා පුද්ගලයාව මීටරේ මාර්ක් වෙන්නෙ.

බස්සිට වගේම බස්සාටත් කැම්පස් එකෙන් උරුම වෙච්ච කාඩ් තිවුනා. අපේ බස්සාට කැම්පස් එකෙන් උරුම වුන කාඩ් එක තමයි DJ. එහෙම නැතිව "බස්සා" කියන එක එහෙම නෙමෙයි.

ඔයාල බලනව ඇති මොනවද බස්සි මේ කියවන පිස්සු විකාර කියලා.

මේකයි සීන් එක.

බස්සිගේ බැචෙක් ඉන්නවා එයාගෙ කැම්පස් එකේ කාඩ් එක තමයි "බස්සා". මගේ බස්සාට මේ නම දැම්මෙ මම නෙව. ඉතින් අපේ බැචාල කස්ටියක් පොඩි වැරදි වැටහීමක් ඇති කරගෙනලු මම මේ අකුරු කරන්නෙ අපේ බැච් එකේ බස්සා ගැනයි කියලා.

ඉතින් අපේ බැච් එකේ බස්සට අර යාලුවන්ගෙන් මල කරදරේලු. කස්ටිය ඒකාගෙන් "ගොඩ ගිය පාටි" ඉල්ලනවලු.

මෙහෙම අටමගලක් වෙයි කියලා බස්සි හීනෙකින්වත් හිතුවෙ නැහැ නෙව. ඒකනෙ මෙතෙක් කල් 'නම් ගම් මනංකල්පිතයි' පදනම මත බස්සිගේ ආදර අන්දරය ලියාගෙන ගියෙ.


මොනා කරන්නද ඉතින්. තව පොඩ්ඩෙන් කස්ටියම රටපටළගෙන මල මගුළක් වෙනවා. ඒකාව උස්සගෙන ගිහින් බකට් පොකුණට අතඇරියනම් එහෙම!!!

දැන් හරිනෙ. අපේ බැචාට පාරෙ බැහැල යන්න පුලුවන් දැන් නිදහසේ.....