Monday, December 16, 2013

හාවා සහ ඉබ්බා - kit kat version



හිංචි පිංචි හාවා,
යද්දි තනි වෙලා...
විලේ උන්නු ඉබ්බ දැකලා
වතුරේ නෑවිලා...
ඉබ්බ දැකපු හාවා,
ඉවුරේ නැවතිලා...
ඔට්ටු තියලා අපි දුවමු ද?
ඇහුවා ලං වෙලා.....



අපි සූටි බබාල කාලෙ ඉබ්බයි හාවයි රේස් දුවපු හැටි කියවෙන කතන්දරෙත්, ඒ කතන්දරේ ගැන ලියැවුන මේ සිංදුවත් අහලා ඇති බොහෝ වතාවක්.  ඒ කතන්දරේ ඉතින් බස්සි මෙතන ආලවට්ටම් දාල කියන්ඩ ඕනෙ නෑ නෙව. ඉබ්බයි හාවයි රේස් දුවාපි. හාවා දොයියපි. ඉබ්බා දිනාපි.






හාව දුව යනා,
නිදන්නට උනා.....
ඉබ්බ හෙමින් හෙමින් නියම තැනට ළං උනා,
නිදා උන්නු හාව ඌට උඩින් පැරදුනා.....



"ඉක්මන් නොවූ අනවරත ගමනක යෙදෙන්නා නියත වශයෙන්ම ජයග්‍රහණය කරා ළඟා වේ."



අපි ළමා කාලෙ හැදී වැඩුනෙ ඉබ්බගෙනුයි හාවගෙනුයි ඉගෙනගත්තු ඔන්න ඔය ආදර්ශයත් එක්ක.

 

*********************************



නමුත් දැන් කාලෙ වෙනස්. තාලෙ අලුත්.


රේස් දුවපු හාවගෙ මුණුපුරෙක්ට දවසක් මොන්ටිසෝරියක් ගාවදි මේ කතාව අහන්ට ලැබුනා. තමන්ගෙ සීයාට පොඩිඋන් හිනාවෙනව ඇහිච්චි හා ඉලන්දාරියට පොඩි චාටර් හැඟීමක් ඇති වුනා.

 
හා කොලුවා වහාම තීරණය කලා රේස් දුවපු ඉබ්බාගෙ මුණුපුරාව මුණගැහෙන්න. මොන්ටිසෝරිය ගාව රූස්ස ගහක කොලාතු වලින් වැහිලා ඇලට් එකක් දාගෙන හිටපු බස්සි "හ්ම්ම්... හ්ම්ම්..." ගගා බලාන හිටියා හා ඉලන්දාරියා ඉබ්බට කෝල් එකක් ගන්න හැටි.





 

"ඉබ්බෝ ඉබ්බෝ, අපි දුවමුද රේස් එකක් ආයෙත්?"


හාවා මෙහෙම ඇහුවෙ තමන්ගේ සීයාගෙ දුර්වලතා ගැන ගවේශනයක යෙදුනාට පසුවයි.


හාව එතනදි තේරුම් ගත්තා එයාගෙ සීයා තමන් ගැන තිවුනු අධිතක්සේරුවත්, නොසැලකිලිමත්බවත් නොවෙන්ට, බොහෝම පහසුවෙන් රේස් එක දිනන්ට තිබුනු බව.


රේස් එක දවසෙ හාව ඉබ්බාව සැතපුම් ගණනාවක පරතරයක් ඇතුව පරාජය කලා.






"වේගවත් සහ ස්ථාවර තැනැත්තා නිරතුරුවම ඉක්මන් නොවූ අනවරත ගමනක යෙදෙන්නාට වඩා ඉදිරියෙන් සිටියි."


 
*********************************


කතාව එතනින් ඉවර වුනේ නෑ.......


ඉබ්බට ලැජ්ජයි. සීයා පරම්පරාවට ගෙනාපු නම්බුව අවුරුදු ගානකට පස්සෙ තමන් විහින් නැති නාස්ති කොර ගත්තා නෙව. කොහොමද මේ අවමානෙන් ගැලවෙන්නේ කියලා ඉබ්බ කල්පනා කොලා. අන්තිමේදි ඉබ්බාට අවබෝධ උනා තමන්ට දැනට තියෙන හැකියාවන් එක්ක හාවාව රේස් දුවල පරද්දන එක කරන්න බැරි බව.


ඉබ්බා වැඩේ අතඇරියෙ නෑ. උන්දෑ හාවට අභියෝග කලා ආයෙමත් රේස් එකක් දුවන්ට. බස්සි බලාන හිටියා ගහ උඩ නවාතැනට වෙලා.






මේ පාර රේස් එක දුවන්නෙ වෙනස් මාර්ගයක!!


තමන්ගේ කැපවීමත්, ස්ථාවර වේගයත් ගැන විශ්වාසයෙන් හාවා පිම්මේ දුවන්න පරන් ගත්තා. නමුත් ඒ මීටර් ගානක් පළල් ගංගාවක් ළඟට එනකම් විතරයි.


හාවා ගං ඉවුරෙ නැවතිලා බලාන උන්නා. ඉබ්බා තමන්ට පුරුදු ඉබි ගමනින් ඇවිත් කිසි කලබලයක් නැතුව ගඟට බැහැලා පීනලා එහා ඉවුරට ළඟා වුනා. ඒවුරට අඩි කිහිපයක් ඈතින් දිනුම් කණුව හිටවලා තිවුනා.





ගඟ ගාව ගහක වහලා හිටපු මල් සූටික්කෙක් බස්සිගෙ නවාතැනට ගොඩවැදුනු වෙලාවකයි මේ කතාව බස්සිගෙ කනට වැටුනෙ.

 
"ප්‍රථමයෙන් ඔබ සතු හරවත්ම ශක්‍යතාවය හඳුනා ගන්න. දෙවනුව ඔබේ ශක්‍යතාවය ඉස්මතු වෙන ක්‍රීඩා පිටියක් තෝරා ගන්න."



*********************************
 

මේ වෙනකොට ඉබ්බයි හාවයි හොඳ යාලුවො. ඉබ්බා හැම සති අන්තෙකම හවහට එනවා බස්සිගෙ නවාතැන තියෙන ගහ යට හදාපු හා බෙනේට. දෙන්නා එකතු වෙලා ගොම්මන් වෙලාව වෙනකම්ම ඉරමුසු බිබී කැරම් ගහනවා.


කතාව එතනින් ඉවර වුනේ නෑ......

 
ඉබ්බයි හාවයි ගිය ඉරිදා සෙට් උන වෙලාව කතා කොර ගත්තා ආයෙමත් අර ගඟ හරහා පාරෙ රේස් එකක් දුවන්න. හැබැයි තනි තනියෙන් නෙමෙයි. දෙන්නාම එක කණ්ඩායමක් විදියට.


එදානම් බස්සිත් තීරණය කලා අව් කණ්නාඩියක් දමාගෙන මේ රේස් එක බලන්ට යන්න.






තරඟය පටන් ගනිද්දි හාවා ඉබ්බාව කරේ තියා ගත්තා. ගං ඉවුර ගාවට යනකම්ම හාවා ඉබ්බාව කරේ තියන් නොනැවතී දිවුවා.

 
ගං ඉවුරෙදි ඉබ්බා හාවගෙ පිට උඩින් බැහැලා හාවාව කරේ තියා ගත්තා. දෙන්නාම ගඟෙන් එගොඩ වුනා.





 
ආයෙමත් හාවා ඉබ්බාව පිටේ තියාන දිනුම් කණුවට ළඟා වුනා.


දිනුම් කනුව ගලවලා ගත්තෙ දෙන්නාම එකතු වෙලා. ඒ දිහා බලාන හිටපු කුරුල්ලො, සමනලයො, පුංචි පුංචි සත්තු සේරම සතුටින් අත්පොළසන් දුන්නා.





 

"ස්වාධීන උද්දීප්තයත්, ශක්තිමත් හර නිපුණතාත්, ඔබව ඉහලට ගෙන යනු ඇත. නමුත් කණ්ඩායම් හැඟීම පුහුණු කරන තාක් කල් ඔබ උපරිමයට වඩා මඳක් පසුපසින් සිටිනු ඇත. මන්ද යත්, ඔබේ ශක්‍යතාවන් සහ හර පද්ධතීන් නිෂ්ප්‍රයෝජන වී තවකෙකුගේ ශක්‍යතාවයට වැඩි වටිනාකමක් ලැබෙන අවස්ථාවන් දුලබ නොවන බැවිනි."


 
ඉතින් ඕං හා මුණුපුරාගෙයි, ඉබි මුණුපුරාගෙයි සෙල්ලම බලාන හිටපු බස්සි තමන්ගෙ නවාතැනට එන යාලුවන්ට මෙන්න මේම කතන්දරේ කියලා හමාර කොලාලු. දැන් ඉතින් කුරුලු යාලුවො ටික ගෙවල්වල ගිහින් තම තමන්ගෙ කුරුලු පැටවුන්ටත් මේ කතාව කියා දුන්නොත් අපේ කුරුලු ලෝකය හෙට දවසේ වඩා යහපත් තැනක් වේවි නේද?


41 comments:

  1. ආදර්ශමත් කතාවක් බස්සියේ ..........

    ReplyDelete
  2. අඩේ!! මරු කතාවක් ඈ! මමත් ගිහිං කියලා දෙනවා......... කාටද ඉතිං.....?
    මේ බුකියේ reply නැත්තේ මොකෝ?

    ReplyDelete
    Replies
    1. බුකියේ?? ඉන්ට ගිහිං බලාන්ට. මේ දවස් වල බුකිය ඇරන් ඉන්නේ නමට පමණයි මල්ලි.

      කාටද හැබෑට කියල දෙන්න යන්නේ??

      Delete
  3. ඔන්න එතකොට එතනින් ගමනක් යන්න ආපු යසිත් කොළුව අනුන්ගෙ ඕප දූප හොය හොය බෙනේට වෙලා ඉන්න බස්සිව දැකළ මෙහෙම කිව්වලු,

    "අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා....
    තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා...."

    ReplyDelete
    Replies
    1. එතකොට බස්සි යසිත් කොලුවට මෙහෙම කිව්වලු.

      "අනුන්ගෙ වැඩ දැක හොඳ දේ තෝරා ගත හැකි උනොත් බදා,
      ඒ හොඳ දේ රට වටේට බෙදලා දුන්නම වටියි සදා....."

      Delete
  4. අලුත් කතාව පරණ එකට වඩා දියුණුයි. ලයික් බස්සියෝ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ මදාරෝ... එහෙම තමයි. අලුත්ම වර්ෂන් එක නෙව.

      Delete
  5. කතාවටනම් මාත් ලයික්ය....

    හැබැයි හාවායි ඉබ්බයි සෙට් වේලා බිව්වේ ඉරමුසු වෙන්ඩ බැරිය....

    ReplyDelete
    Replies
    1. පොඩි උන් කියෝන හින්දා නිසි බලධාරියා විසින් කොටු දාවි කියලා බයට හාවටයි ඉබ්බටයි ඉරමුසු පෙවුවේ ගහ උඩ සිටි බස්සි විසින්ය.....

      Delete
  6. හරි සෝයි කතාව.. දැන් මම යනවා දොයියන්න... ;)

    ReplyDelete
    Replies
    1. මගේ බෙඩ් ටයිම් ස්ටෝරිය කියෝලද දොයියමතක් හැදුනේ... :O

      Delete
  7. අපිට උවමනා කතා කීම සඳහා ඉබ්බාව සහ හාවාව පාවිච්චි කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. ඊගාව සති අන්තෙ ඉබ්බයි හාවයි ඉරමුසු ෂොටක් ගහලා බස්සිට පාඩමක් උගන්නන්න ගහට නගීද මන්ද ;)

      Delete
  8. Aluth ekak kiwwata kiyawala balapuhaama thamai theerune aluthma style ekee ekak kiyala... niyamai bassiyoo... mee widiyatath wade hodai wage... :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කවි අයියේ....

      Delete
  9. නියම කතන්දරය. ආදර්ශ පාඨ ටිකත් හොඳයි.
    හැබෑට අර දෙන්න බිව්වෙ ඉරමුසුද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රාජ්!!

      මම ගජිනිට ඉරමුසු ගැන දුන්නු උත්තරේම දෙන්නම්කො ඔයාටත්. "පොඩි උන් කියෝන හින්දා නිසි බලධාරියා විසින් කොටු දාවි කියලා බයට හාවටයි ඉබ්බටයි ඉරමුසු පෙවුවේ ගහ උඩ සිටි බස්සි විසින්ය..... "

      Delete
  10. ඔයා කතාව ලස්සනට ආදර්ශමත් විදියට ලියලා තියනවා...නියමයි බස්සි...

    ReplyDelete
    Replies
    1. තැන්කූ රෙහානි අක්කේ... :)

      Delete
  11. මේ කතාවේ තියන වර්ෂන් ගොඩ. හරියට ඉබ්බා පියාඹාගෙන ගියපු එක වගේ

    ReplyDelete
    Replies
    1. හැබෑට ඉබ්බයි, කොක්කු දෙන්නයි කතාවටත් තියෙනවා නෙව මෙහෙම වර්ශන් ගොඩක්. හිතලා බැලුවොත් ඒවත් මෙහෙම එක කතාවක් විදියට අමුණාගන්න බැරි වෙන එකක් නෑ.

      Delete
  12. හරි ම ලස්සණ යි! වටින කතාවක්. මේක ඔයා ගෙ නිර්මාණයක් ද?

    ReplyDelete
    Replies
    1. නැහැ දිලිනි මේ කතාවෙ සැකිල්ල නම් තිවුනෙ මම කියවාපු ආර්ටිකල් එකක. Situational Leadership ගැන කියන්න ප්‍රවේශයක් විදියට තමයි ඉබ්බවයි හාවවයි යොදාගෙන තිවුනෙ. කඩ්ඩ සිංහලයට හරවලා, අපිට ගැලපෙන්න ආලවට්ටම් දාලා, කතාවට බස්සියෙකුයි, මල්සූටික්කොයි, සමනල්ලුයි එක්කාසු කලේ නම් ඉතින් මං තමයි.

      Delete
  13. එළේ එළ බස්සි. කණ්ඩායම් හැඟීමෙන් වැඩක් කර ගන්න බැරි තැනක ටොකු ඇන ඇන කියලා දෙන්න වටින කතාව.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා හෙට ඉඳන් කස්ටියට ටොකු ඇන ඇන කියා දේවි නේද එහෙනම් මේ කතාව? තැන්කූ හොඳේ...!

      Delete
  14. ඊයේ නිදි මතේ බැලුවේ නෑ දැන් තමා බැලුවේ ,
    කතාව ගැන සරලව කිවුවොත් මාරයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි.... :)

      Delete
  15. ඔය කතාව අපිට ට්‍රෙනින්ග් එකකදි කවුද මන්ද කිවුව.අර වින් වින් සිටුවෙශන් ගැන කියන්න ගිහින් වෙන්න ඔන.

    ReplyDelete
    Replies
    1. මම නම් මේ කතාව දැනගත්තෙ situational leadership ගැන තිවුනු ආර්ටිකල් එකකින්. අවසාන වර්ශන් එකෙන්නම් කියවෙන්නෙ win-win situation එකක් ගැන තමයි නේද?

      Delete
  16. කතාව ටිකක් දිග්ගස්සුනා වගේ. එත් ආදර්ශය ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ෂෙහාන්. දිග කතා කියවන්න ආසා කට්ටියත් ඉන්නවා නෙව. :)

      Delete
  17. ෆට්ට ඈ..මම අහල තිබ්බේ 3 වෙනි වතාවේදී ඉබ්බා තහනම් උත්තේජක අරන් දිනපු සින් එකක්

    ReplyDelete
    Replies
    1. ඉන් පස්සෙ තරඟ තහනමට ලක් උනාම ඉබි සනුහරේටම කැලලක් නෙව.

      Delete
  18. කතාව ඔතනි එහාට වෙනස් වුනේ නැත්තම් හොඳයි. කණ්ඩායම් හැගීමෙන් ලබන ජයග්‍රහණ තම තනි අයිතියට ග්‍රහණය කරගන්නේ නැතිව .

    ReplyDelete
    Replies
    1. අන්තිමේදි දිනුම් කනුව උඩ වහලා හිටපු කාක්කාට රන් පදක්කම ලැබුනාලු. :P

      Delete
    2. අන්න එක තමයි දැන් වෙන්නේ

      Delete
  19. බස්සිව හොඳයි විපක්ෂ නායක තනතුරට. මෙන්න ආදර්ශ කතා!!!

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ අරූ එහෙම කිවුවෙ? අපෝ ලංකාවෙ විපස්ස නායක කම ඉතිං හැබෑ නොවන හීනයක් තමයි.

      Delete
    2. ////"ස්වාධීන උද්දීප්තයත්, ශක්තිමත් හර නිපුණතාත්, ඔබව ඉහලට ගෙන යනු ඇත. නමුත් කණ්ඩායම් හැඟීම පුහුණු කරන තාක් කල් ඔබ උපරිමයට වඩා මඳක් පසුපසින් සිටිනු ඇත. මන්ද යත්, ඔබේ ශක්‍යතාවන් සහ හර පද්ධතීන් නිෂ්ප්‍රයෝජන වී තවකෙකුගේ ශක්‍යතාවයට වැඩි වටිනාකමක් ලැබෙන අවස්ථාවන් දුලබ නොවන බැවිනි."//////

      Delete
    3. හී.... දැන්නෙ තේලුනේ.... රනිල් අංකල්ට නම් බ්ලොග කියෙව්වත් ඕකෙ තේරුම තේරෙයිද කියලා සුවර් නෑ නේ?

      Delete