දියලුමේ වතුරයි
ලැයිමෙ දහදිය බිඳුයි කඳුළුයි
මහ දවාලෙම ඉහල ඇදගෙන
අඳුරු වැහිකළු තර වුනා
බදුලු අහසම බර වුනා
ලපැටි තේ දලු යාය අතරේ
රිදී උල්පත් ඉපැදුනා
එයින් කුස සතපන සියොත් කැල
ඉරට ඉහළින් ඉගිලුනා
උණුහුමට ඝන වළා සළුපිළි
උන්ගෙ උරමත දැවටුනා
විසල් වැහි පිරි වලා සළුවක්
ශිඛර මුදුනක ඇමිණුනා
දියලුමේ දිය සමග මුහුවුන
කඳුලු මිහිමත විසිරුණා
අහස් වත අතගාන කඳු හිස
කඳුළු ගඟ දැක හෙල්ලුනා
කන්ද පාමුල පුංචි බිම්මල්
පස් ගොඩක් යට වැළලුනා
ලැයිමෙ මල්වල සෝ විලාපය
හෙමින් ඇහුනා නෑහුනා
අමුතු කම්පාවක් මවාගෙන
සිඟිති සිරිපොද ඉහිරුනා
හාංකවිසියකුත් නොදන්නා
සියොත් මධු ගී ගයමිනා
තව රිදී උල්පතක් සොයමින්
ඉරට ඉහළින් ඉගිලුනා
සොබාදහමත් අප හිතන තරම් දරුණු නෑ.. කී වතාවක් මොවුනට අනතුරු අඟවලා තියෙනවද.. කාගෙද වගකීම.. වගවීමක් නොමැති සමාජයක.. ඒකත් ගොන් ප්‍රශ්ණයක්..
ReplyDeleteවගකීම කියන්නෙ බෝලෙ පාස් කරන ගේම් එකක් විතරයිනෙ මාතලන්. ඉරට ඉහලින් ඉගිල්ලෙන්න තටු හයිය කුරුල්ලන්ට හෙන වදින්නෙත් නෑ.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteහ්ම්ම්… පද පෙලම හදවතේ සියුම් තැනක් රිද්දනවා බං. :(
ReplyDeleteහ්ම්ම්ම්.... කතා කරල වැඩක් නෑ බං
Deleteකොහොම වුනත් එතන පස් වලින් යට වුනෙත් දුප්පත් මිනිස්සු හ්ම්ම්ම් සංවේදී වෙමු හැකි උදව්වක් වේ නම් ඉක්මනින් ඉටු කරමු
ReplyDeleteඔව් ෂැගියෝ.
Deleteමනුසත් දෙරණෙන් සංවිධානය කලා මතකද වකුගඩු රෝගීන්ගේ පවුල්වල දරුවන් වෙනුවෙන් කැපකරු මාපිය ක්‍රමයක්. මේ අසරණ වුන දරුවන් වෙනුවෙනුත් ඒ වගේ දෙයක් කරන්න බැරිවෙයිද අපිට?
නැත්නම් මේ ළමයිනුත් තේ ගස් යට රිදී උල්පත් හාර හාරා ඉරට ඉහලින් ඉගිල්ලෙන කුරුල්ලන්ගේ උදර පෝෂණය කරන සිවුවෙනි පරම්පරාවට එකතුවේවි.
හ්ම්ම්ම්ම්ම්.. අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ .....
ReplyDeleteසඳ එළිය ගඟක් වී මා නුවන් ඉවුරේ...
Deleteහැපී පෙණ පිඬු නඟයි
අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ...
මල් සුවඳ රටක් වී මා නුවන් සයුරේ...
ඒ රටට අඬ ගසයි
අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ...
කිරි සිහින සඳක් වී මා නුවන් අඹරේ...
සිනා සී අත වනයි
අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සඳේ...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - සරත් දසනායක.
කලින් අහල තිබුනෙ නෑ.
Deleteස්තූතියි පවුලූශෝ....
බස්සි: හෑ ?? අහල නැහැ කිව්වා. අප්පා.. මේක මම ආසම ගීතයක්. අන්න වියෝගිත. දැන් තියෙන එව්වා 'අම්මේ පුඩු අම්මේ.. ඉන්න බැරියෝ... මම නැතෝ ' කිය කියා විලාප දෙන්නේ
Deleteඅදකාලේ විරහ ගීත ගැන අපේ 'සිංදුවා'ත් අපූරු පෝස්ට් එකක් ලියල තිබුනා උපේක්ෂා කියෙවුවද මන්දා.
Deletehttp://sinduwagemiyasiya.blogspot.com/2014/08/blog-post_19.html
හොඳ නිසදැසක් බස්සි.
ReplyDeleteස්තූතියි අජිත් :)
Deletehttp://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/14278-2014-10-31-04-31-13
Deleteලිපියට දුන් මේ වටිනාකමට ගොඩක් ස්තූතියි! :)
DeleteLoka winase laga athi mea awurudde tsunamiyak enna puluwan
ReplyDeleteමේ කලාපයට සුනාමි ඇලර්ට් නිකුත් කරපු බවක් (2014 ට.) මටනම් කියවන්න ලැබුනෙ නෑ. කුණාටු තත්වයක් ගැනනම් කියලා තියෙනවා.
Deleteඅපූරු නිසදැසක්.මට මතක් වුනේ මාව දැඩි ලෙස කම්පනයට පත් කළ සිද්ධියක්.ඒකෙත් පදවැල මේ වගේමයි.මොණරාගල දුප්පත් ඉස්කෝලෙක දැරියක් නෙළුම් මල් කඩන්න ගිහින් ගිලී මැරුන සිද්ධියක් අලලා රත්න ශ්‍රී විජේසිංහ නිර්මාණය කළ නිර්මාණයක් ඒ.සාහිත්‍ය සම්මන්ත්‍රණයකදි දේශකය මේක විස්තර කරද්දි මට ඇඩුනා.
ReplyDeleteබස්සිගෙ නිර්මාණයට කදුලු ආවෙ නැතත් මේ අහිංසකයන්ගෙ විපත රසවත්ව ඉදිරිපත්කර තිබූ අපූරුව නිසා කීප වතාවක්ම උඩ සිට පහලටත් පහල සිට ඉහලටත් කියවමින් නිර්මාණය රස වින්ද
නෙළුම් මල් කඩන්න මොර සූරන වැස්සෙ වැවට ගිය දැරියගෙ වාගෙම මේ තේදලු නෙළන අසරණයන්ගෙ කතාවත් එකයි.මට දෙකම එක විදියට දැනුනෙ ඒකයි.ඒ දුප්පත්කමේ ශෝකාලාපයයි.
මේ අසරණයන් ගැන තව තවත් නිර්මාණ බිහිවිය යුතුයි.
මේ අර දැරියගෙ සිද්ධිය
සුදු නෙළුම කෝ සොර බොර වැවේ...
මල් සුවඳ කෝ මහියංගනේ...
පුන් පෝයදා පාළොස්වකේ...
මල් නෙළා විකිණූ පන්සලේ....
වැවට කලුවර යා වුනා....
සංසාර දුක බෝ වුනා....
නෙළු මල් මිට ඉහිරුනා....
එහා ඉවුරට පාවුනා....
සුදු නෙළුම කෝ....
සිහින් සිරිපොද වෑහුනා....
ඉවුරු දෙකොපුල සේදුනා.....
සුදු නෙළුම් මල දෑස පියවී.....
මෙහා ඉවුරට පාවුනා.....
සුදු නෙළුම කෝ..
This comment has been removed by the author.
Deleteසුදු නෙළුම කෝ " ගීතය වගෙ බස්සිගෙ නිර්මාණයටත් තනුවක් දාල ගීතයක් ලෙස අහන්න අපි ආසයි.සුදු නෙළුම කෝ ගීතය වගේම බස්සිගෙ ගීයත් රසික හදවත් කම්පා කරාවි.
Deleteමම නම් සංගීතය දන්න කෙනෙක් නොවෙයි.ඒත් මේ පදවැල ගීයකට ඉතා සුදුසු බවක් මට හැඟෙනවා.
බස්සිගෙ පදවැල මට කටපාඩම් වුනා.ඒක හදවතට දැනුන නිසාම. අමරදේවගෙ කටහඩින් බස්සිගෙ මේ පදවැල අහන්න පිනක් තියෙනවනම් ........
\\ ඒත් මේ පදවැල ගීයකට ඉතා සුදුසු බවක් මට හැඟෙනවා. \\
Delete++++++++++++++++++++++++++++
//සුදු නෙළුම කෝ සොර බොර වැවේ...
Deleteමල් සුවඳ කෝ මහියංගනේ...//
මාවත් හඬවාපු ගීතයක්. මට මතකයි පුංචි කාලෙ අපේ තාත්තා රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "සුදු නෙලුම" පොත ගෙනාවා. පිටකවරෙ තියෙන්නෙ ලස්සන සුදුනෙලුමක්, ඉතින් පුංචි මට මාර ආස හිතුනා පොතට. ඒත් ඒ සිංදු වල තේරුම් අවබෝධයක් නෑ. පස්සෙ තාත්තා සිංදු එකින් එක කියලා දවස ගානෙ ඒවයෙ තේරුම් කියලා දුන්නා. අන්තිමේ 'සුදු නෙලුම' ගීතයේ තේරුම කියාදුන් දවසෙ මම හොඳටම ඇඬුවා. ආයෙ සිංදුවල තේරුම් අහගන්න ගියෙත් නෑ සෑහෙන කාලෙකට.
මගේ රචනය මටනම් සංවේදී මදි. මොකද තාමත් මේ සිදුවීම කන්ද යට වැළලුන බිම්මල්වල දෘෂ්ඨි කෝණයෙන් දැකලා කවියක් ලියාගන්න තරම් මගෙ හිත හයිය මදි. ඒ නිසයි හිත තදකරගෙන අසරණයන්ටම හෙන දෙන 'දෙබිඩි අහස' ගැන ලීවෙ,
Deleteබාගදා පසුව තව නිර්මාණයක් බිහිවේවි. උණු වෙච්ච හිතකින් කවි ලියන්න අමාරුයි. සාර්ථක කවියක් ලියවෙන්න නම් හිත ගලන්නෙත් නැති, ඝනත් නැති ජෙලි වගේ වෙන්න ඕන. අන්න ඒ දවසට ආයෙත් බලමු. :)
හ්ම්ම්...
ReplyDeleteඅන්තිම කවිය ඇතුලෙ "දෙබිඩි අහස" පිළිබඳ කටුක සත්‍යය තියනවා කියල මට හිතෙනවා. දෙවෙනි වර කියවන කොට තේරුණේ මේ කියන අහස ගැන.
Deleteචන්දන අයියට වැඩේ සෑහෙන දුරට තේරිලා තියෙන එක ගැන සතුටුයි.
Deleteඅහස අතගාන මන්දිර වල සඳලුතලවල කොඳුරන රහස් ඇහිලද මන්දා කලියුගේ අහසත් අනුගමනය කරන්නෙ දෙබිඩි පිළිවෙතක්.
සංවේදී නිර්මාණයක් ..
ReplyDelete// ලැයිමෙ මල්වල සෝ විලාපය
හෙමින් ඇහුනා නෑහුනා //
තව ටික දවසකින් ඔය කතාව බහුතරයකට අමතක වේවි. ඒ සිදුවීමෙන් පීඩනයට පත් උනු මිනිස්සුන්ට විතරක් ඒ ගැන මතක තියේවි. නැවත මෙවන් විපත් නොවෙන තැනට වැඩ කටයුතු සැලසිය යුතු පිරිසට ඒ සිදුවීමත් තවත් එක සිදුවීමක් පමණක්ම වේවි. ...
සහතික ඇත්ත සඳරු. හැමෝම නොමැරෙන මිනිස්සු වගේ පුදුම ආඩම්බරෙන් හැමදේම අමතක කරාවි.
Deleteබස්සිට ලියවුණ මගේ හිතට වදිනම සිතුවිල්ලද මන්දා
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රොෆා
Deleteසිදුවීම නම් අපි හැමෝගෙම හිත්වලට වැදුනා නෙ
කවදහරි අපිටත් මේ වගේ අත්දැකීමක් විඳින්න ලැබුණොත් කියල හිතන්න පොළඹවන හරිම සංවේදී නිර්මාණයක්...
ReplyDeleteතැන්කූ අශාන් මල්ලි :)
Deleteහ්ම්ම් හිත ගැඹුරටම කිඳා බහින පදපෙලක්...මේ දුක්බර සිදුවීම නුඹට දැනුන තරම්ම අපිටත් දැනුනා.
ReplyDeleteබොහොම ස්තූතියි දිලා
Deleteකන්ද නුඹ නුඹේ
ReplyDeleteමව් තුරුලට දියව යද්දී
අපේ මව් නුඹ තුරුලෙ
පෙනී නොපනී ගියා
ඉතාම සංවේදී කවියක් මධූ!
Deleteසාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!!
මේ මිනිස්සුන්ගේ කටුක ජීවිත මුහුණෙන් පේනවා. මියගියවුන් මියගියා යැයි හිතහදාගන්න ඕන. ඉන්න මිනිසුන්ට හරිහමන් ජීවිතයක් හැදීමයි වියයුත්තේ. ඔය වතු ආශ්‍රිත ලයින් කාමර ජීවිතවලට ආශ්චර්යේ හුලං පොදක්වත් වදින්නේ නැහැ. උන්ව හූරන් කනවා හැමෝම.
ReplyDeleteසංවේදී පදවැලක්!!
//මියගියවුන් මියගියා යැයි හිතහදාගන්න ඕන. ඉන්න මිනිසුන්ට හරිහමන් ජීවිතයක් හැදීමයි වියයුත්තේ.//
Deleteසහතික ඇත්ත අරූ. ඔවුන්ට පොදවැහි ඉහලා පලක් නැහැ. වතුකරේ කඳු පාමුල පිපුන මේ සිවුවෙනි පරම්පරාවවත් ගොඩගන්නයි ඕන කරන්නෙ.
රිදෙන්න ලියලා තියෙනවා..
ReplyDeleteස්තූතියි මොණරියේ....
Deleteඅහස නුඹ මෙතරම් රළු යැයි දැනුනෙ මහ වැසි වටුනාමයි.....
ReplyDeleteපොලොව නුඹ මෙතරම් රළු යැයි දැනුනෙ නියඟය ආවාමයි ....
මගේ හිතට ආවේ ඔන්න ඔය ගීතය.
නීල ඉදුවර පෑ අහසට
Deleteකදුළු වැසි දුන්නේ කවුරුද...//
පලා පෑ ඉසි ලූ මිහිමත
නියන් ඇති රූ වුයේ කවුරුද..
සංවේදී මොහොතක ලියවුනු සංවේදී පද පෙළක්...
ReplyDeleteමොනවා කරන්නද බස්සියෝ...සොබා දහමේ හැටි තමයි ඔය.
හ්ම්ම් හ්ම්ම් ඒක නේන්නම් විභී
Deleteකියන්න දෙයක් නෑ බස්සීෟ.. ඊයෙත්, පෙරේදාත් දවස් දෙකේම මම හිටියේ ඔය සිද්දිය සිදුවුනු තැන.. අම්මලා නැතිව අඬන පොඩිඑවවුන්, ලමයි නැතුව අඩන දෙමව්පියන් ගේ විලාපය තාමත් හදවත ඇතුලේ දෝංකාර දෙනවා වගේ.. ආයේ නං කවදාවත්ම මේ වගේ විපත් ගැන අහන්න දකින්න නොලැබෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ....
ReplyDeleteඅපි රූපරාමු දැකලා මේ තරම් කම්පා වෙනවනම් එතැන වැඩකරන්න වුන උඹට මොන වේදනාවක් දැනෙන්න ඇත්ද කියලා හිතාගන්න පුලුවනි.
Deleteබ්ලොග් රෝලේ ඔවුන් වෙනුවෙන් දුටු එක ම නිර්මාණාත්මක සටහන. තුති!
ReplyDeleteබොහොම ස්තූතියි කුරුට්ටියේ
Deleteස්වර්ණ බිම රන් මාළිගේ ගිර
ReplyDeleteබිම්බරක් මහ සෙනග හිස මත
කඩා හැලෙමින් දියවුණා...
කියන නොකියන දැනෙන නොදැනෙන
දහක් කරදර සෝ සුසුම් මද
බස්සිගේ හිත් ඇවිලුණා... ;'(
කලාහිතගේ පෝස්ට් එකෙන් දුක තවත් වැඩිවුනා
Deleteසොබාදහමට දරුණුයි කියන්න බෑ.. ඒ ඒකෙ හැටි.. මේක තමා ජීවිතයේ යතාර්ථය.. අපිට මොකක් සිද්ද වෙයිද කියල කියන්න බෑ ඒක වෙනකල්ම..
ReplyDeleteකාලෙකින් බ්ලොග් පැත්තට ආවේ.. එන්ජිමේ පොඩි අවුලක් ඇවිල්ල තිබ්බ. දැන් හරි.. ආපහු දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වන බව කාරුණිකව සලකන්න...
විභාග අබාග හමාර වෙලා ආපහු බ්ලොග් සැරිය පටන් අරන් වගේ... වෙල්කම් බැක් අඟහරු මල්ලී...!! :)
Deleteසංවේදීව දැනුන නිර්මාණයක්..
ReplyDeleteස්තූතියි තුශානි!
Deleteසොභාදහම විපත්තියක් ඇති කරන්න කලින් ගොඩාක් වෙලාවට අනතුරු ඇඟවීම් කරනවා..නමුත් අපි ඒ පණිවිඩ ග්‍රහණය කරගන්න සමසතුන් වේද කියන කාරණය මත ඛේදවාචක බිහි වෙනවා. පද ගෙත්තම අපූරුයි නගා...
ReplyDeleteඅපි ගොඩක් වෙලාවට හිතන්නෙ සොබාදහමට ඉහලින් නිසා අපිට ඒවා ඇහෙන්නෙ පේන්නෙ නෑ සිරා අයියේ. ඒක මිනිස්සුන්ගෙ අවාසනාව.
Deleteවැඩක් නැහැ බං මේවා තේරුම් ගන්න තරම් ගොඩක් උන් සංවේදී නැහැ.
ReplyDelete