“ආප්ප කියන එක තාච්චියෙ පිච්චුවත්, වණ්ඩුවෙ තැම්බුවත්, කිරි දාල, බිත්තර දාල, පැණි දාල හැදුවත් ඒවා ආප්පමයි. ඒ නිසා ප්ලේන් ආප්ප, බිත්තර ආප්ප, කිටි ආප්ප, පැණි ආප්ප හෝ වණ්ඩු ආප්ප කියලා වර්ග කිරීම හෝ නම් කිරීම කොහෙත්ම අවශ්‍ය නෑ”
එහෙමත් නැත්නම්,
“වේදිකාවේ පෙන්නුවත්, වීදියේ පෙන්නුවත්, රූපවාහිනියේ පෙන්නුවත් නාට්‍ය කියන්නේ නාට්‍යමයි. ඒවා වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය හෝ ටෙලිනාට්‍ය විදියට වෙනවෙනම නම් කිරීම අවශ්‍ය නෑ.”
ඔය ඉහතින් කිව්වේ මගේ පහුගිය පෝස්ටුවක තිබුන කමෙන්ට් දෙකක පලවුන අදහසකට සමානව මම නිර්මාණය කරපු ‘හිතලු කතා’ දෙකක්.
කමෙන්ටු දෙකක් වුනත්, ඒ දෙන්නම දැරුවේ එකම අදහස. ඒ තමයි, “කවිය” මොන මාධ්‍යයක පළ වුනත්, එය කවියක්ම වෙන නිසා අමුතුවෙන් “සයිබර් කවි” කියා කැටගරියක් වෙන් කරන්න අවැසි නැහැ නේද කියන එක.
ඉතින්, මම අද කියන්නේ සයිබර් කවි ගැන.
සයිබර් කවිය යනුවෙන් හඳුන්වන්නේ සයිබර් අවකාශය තුල බිහිවන කවි. සයිබර් අවකාශය තුල නිර්මාණකරණයේ යෙදෙන අයගෙන් බහුතරය අංකුර නිර්මාණකරුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ නිර්මාණ මුද්‍රිත මාධ්‍යයකින් එලිදක්වන්න යන්න උවමනා “අමතර දුර” ඇවිදින්න කාලය, ශ්‍රමය හෝ මූල්‍යමය ශක්තිය යොදවන්න නොහැකි හෝ ඊට අකැමති උදවිය.
බොහෝ විට සයිබර් කවි හිතුවක්කාරයි. එය සම්මත වියරණ, අක්ෂර වින්‍යාස, එළිසම, විරිත්, යවහන් දොස් ආදී මෙකී නොකී රීති ඉදිරියේ අකීකරු දරුවෙක් මෙන් හිස ගස්සාගෙන ඉහළ නැගෙනවා.
මත් – විරිත් – අකුරෙන් අකුර ගැලපුම්
යවහන් දොසැර අත් බැඳ දිමුතු මුතු යදමින්
එතකොටද කැප කවිකම්?
හතරේ කණිසමට පිබිදෙන
හොදි උයන – බත් මුල් බඳින
හෑන්ඩ් බෑගය බදා බසයෙක එල්ලෙන
ගැස්සි ගැස්සී යන’තර අකුරු අමුණන
අළු දැරියෙක්මි මම නම්
ඉතින් අහිමිද අපිට කවි කම්?
යනුවෙන් අහන්නට මටම දවසක් සිදුවුනේ ඒකයි. ඒ සයිබර් කවි යනු කවි නොවේයැයි එක්තරා වියතෙක් පැවසූ වෙලාවක.
මම පෙරකී ලෙසම, භාෂා හෝ සාම්ප්‍රදායික කාව්‍ය රීති රැහැනින් විලංගු නොලා ඇති නිසාම සයිබර් කවිය ඉතා සැහැල්ලුයි. බසට වඩා එය මුල් තැන දෙන්නේ අදහස් ප්‍රකාශනයටය. ඉතින්, ඒ අතර පපුවට අනින, හිසට ගල් පෙරලන, හදවතේ ඉසියුම් පටක කොනහන දරුණු කවි අවි බහුලයි.
දර්පනයකින් පෙනෙන
ඔබ වගේ කෙනෙක් හදිසියේ නැගිට යන
පහත් වේවැල් පුටුවක යට ගිලෙන
උණු තේ බඳුන කම්මුලට තබා තෙරපන
ඇසින් මගේ ඇස සිප ගන්න
ඔබ වගේ කෙනෙක් වාඩි වී සිට නැගිට යන
- කාංචනා අමිලානි කරුණාමුනි -
මුද්‍රිත මාධ්‍යයකින් කල එලි බසින කවියකට හරස් වෙන ප්‍රධාන ගැටළුවක් වෙන්නේ කාලයයි. නමුත් සයිබර් කවි බොහොමයක් පිපෙන්නේ ක්ෂණිකව. එහෙයින් සයිබර් කවියේ ප්‍රගමනයද තරමක් ලහිලහියේ සිදුවෙන්නක් බව පෙනෙන්නට තියෙනවා.
කවියක් පළ කරන විට ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර බොහොමයක්ද ක්ෂණිකයි, සෘජුයි. අදාල ප්‍රතිචාර වෙනුවෙන් කවියා ලබාදෙන ප්‍රති-පිළිතුරුද ඒ තරමටම ඉක්මන්.. ‘මෙතැන මෙහෙම ලියවුනොත් හොඳ නේදැ’යි ඇරඹෙන සංවාද බොහෝවිට කවියාට සහ කවියට යහපත් තැනකින්ම නවතියි. එබැවින් කවියත්, කවියාත් වැඩෙයි.
සයිබර් අවකාශයේ දක්නට ලැබෙන වෙනස් රසකින් යුත් සුවිශේෂතාවක් වෙන්නේ සමූහ කවි ය. මෙහිදී, කවියන් සමූහයක්, විවිධ හැඩයෙන් යුත් ක්ෂුද්‍ර කවි කැබැලි එකතු කරමින් එක් සමූහ නිර්මාණයක් ගොඩනගති. ඒ වූකලී කොලාජ් චිත්‍රයක් තරමටම මනරම් ය. පහත කවිය බලන්න. ධනුශ්කා නිෂාදි, රසිකා ගුණවර්ධන, මානෙල් ප්‍රනාන්දු, හෙල්මලී ගුණතිලක මේ කවියට දායක වූ අයයි. එහි මගේ කවි කැබැල්ලක්ද ඇතුලත්.
ලේලන්ඩ් රෑ බදුල්ලෙක්
ලැසි ගමන් යන අතරේ
මෝසම් අන්ධකාරෙත්
ලිප්ටන් තේ සුවඳ පැතිරේ
රෝස තිරිවාන කඳු අතර
ප්‍රේමයේ හුස්ම හිර වෙයි
ඊතල තුහින විදගෙන
රම්බොඩ ළඟින් මතුවෙයි
දිය ඇලි ගලන හඬ
නිසලතාවය බිඳළයි
මීදුමට යටවී
ප්‍රේමයක් සෙමින් මියයයි
තේ යාය මතුපිට
මීදුම් සළුව වැතිරේ
ඒරම් ලිලී පඳුරක්
කඳුළු පිසදා හිනැහේ
පිණිති වැහි අස්සේ
ළපැටි තේ දළු ගැස්සේ
ඛඳු හිස් අගිස්සේ
දුම් රළකි පැල්පත් පියස්සේ
කඩුතුඩු වගේ සීතල
පපුව ගැඹුරට කිමිදෙයි
තේ සුවඳ මුසු පැතුමක්
පිනි කඳුළු තුල මියැදෙයි
රටා ගිලිහුන පැදුරක
කිරි සිනාවක් මැළැවෙයි
ලිපේ ගිනි දළු නැතුවත්
කුසේ ගින්දර ඉහිරෙයි
දාම කවි, සයිබර් කවියේ තවත් එක් සුවිශේෂී සලකුණකි. මෙය සමූහ කවියෙහි හැඩයම ගනිතත් එතැනදී බිහිවෙන්නේ එකිනෙකට බැඳුනු දිගු සහ කෙටි කවි සමූහයකි. එය එකම හුයකින් බැඳුනු වෙනස් හැඩැති පළිඟු කැට සමුදායක් මෙන්, සිහින් අනොන්‍ය බැඳීමක් ඇතිව – වෙන් වෙන්ව දිලෙයි.
සයිබර් කවි කිවිඳියන් මෙන්ම, සයිබර් කවි පරිවර්ථනය කරන්නන්ද බහුලය. කවිය ලියැවුන සැනින් එහි ඉංගිරිසි හෝ දෙමළ පද පෙරැලියක් අතපත් වීමම මහත් ප්‍රහර්ෂයක් දනවන්නෙකි. මේ බලන්න;
රැක ගනිමි
සඟවා හද තුල
කුඩා මුතු කැටය නුඹ
අවසන් පැතුමක් තියේ
රිදුමකින් සැනසෙනු පිණිස
මුතු බෙල්ලෙකුට වුව
- රසිකා ගුණවර්ධන -
මේ කවිය වෙනුවෙන් ලියැවුනු ඉංග්‍රීසි පරිවට්ථන දෙකකි.
protect you stealthily
hidden in my heart
The precious pearl; you are
There is a wish, one last wish
Even for an oyster
To be blissful
With a pain to spare!
- Manel K. R. Fernando -
I protect,
Concealed in my heart
Tiny pearl; you
There's a final wish
To be consoled by a pain
even for a
Pearl oyster
- Shyaman Hemakody -
මුද්‍රිත මාධ්‍ය වලින් වැඩකට නැතැයි අතහැර දමන ලද සමහර කවියෝ සයිබර් අවකාශය තුල සීඝ්‍රයෙන් වැඩෙයි. ඉනික්බිති පෙර කී මුද්‍රිත මාධ්‍යවලින්ම ඔවුන්ට කාව්‍ය රචනයට, තීරු ලිපි රචනයට ආරාධනා ලැබෙනුයේ සයිබර් කවියෙහි ඇති මේ ප්‍රභලත්වය නිසාමය.
සයිබර් කවියට සොර සතුරු උවදුරු බහුලය. ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග අල්ප වීම අදාල නිර්මාණකරුවන් මුහුණදෙන ලොකුම ගැටළුවකි. එසේ වුවද, බොහෝ සයිබර් කවියෝ, නිර්මාණ මංකොල්ලයද උපේක්ෂාවෙන් විඳ දරා ගනිති. කාලයත් සමගම, නිර්මාණ මංකොල්ලකරුවාගේ පාඨක පිරිස අතරින්ම, “ඔය කවිය ඉස්සුවේ අහවලාගෙන් නේද?” යන පැනය නැගෙන අවස්ථාද දුලබ නොවේ.
ඉතින්, මේ සා වෙනස්කම් සමුදායක් ඇති සයිබර් කවිය, කවියේ වෙනස් හැඩයක් ලෙස සැලකීම සහ වෙනමම සංවාදයට බඳුන් කිරීමෙහි වරදක් මටනම් නොපෙනේ. ඔබ හිතන්නේ කොහොමද?
සීමා මායිම් නැති සයිබර් අවකාශය තුළ කවිය රජකරවන්නට රෑ බදුල්ලියක සේ වෙහෙසෙන තවත් අංකුර කිවිදියකි බස්සිය.
ReplyDeleteතැන්කූ නලින් අයියේ...!
Deleteමේ වෙනුවෙන් වෙහෙසෙන අය බොහොමයි. නම් වශයෙන් නොකිව්වේ, නමක් අතපසු වුනොත් සුලු හිත් රිදීමක් හෝ ඇතිවෙන්න පුලුවන් නිසයි.
ආප්ප මයික්‍රෝවේව් එකේ හදන්න බැරිද?
ReplyDeleteට්‍රයි කරලා නෑ. මම හිතන්නෙ පුලුවන් වෙයි. හැදුවත් ඒ අර තාච්චි ආප්ප නෙමෙයි. රසත්, සමහර විට හැඩයත් වෙනස් වේවි.
Deleteමයික්‍රොවේව් එකේ ආප්ප හදනව කියන්නේ සයිබර් කවි වගේ අද කාලේ වැඩක් වෙන්න ඇති....
Deleteආප්ප හැදීම කෙසේ වෙතත් පුලුවන්නං ආප්පයක් ම්යික්‍රෝවේව් එකේ දාලා රත් කරලා බලන්නකෝ ප්‍රාජේ...
මේ ආප්ප ගැන කියද්දි කට නලියනවා එත් බස්සිගේ තැන කැත කරන්න බෑනේ.
Deleteඑහෙම හැදුවොත් ඒකට මයික්‍රොවේව් ආප්ප කියලා නමක් වැටෙයි නේද චෙෆාකි?
Deleteහොඳ...... නලින් අයියා!
Deleteමයික්කොරවේව් එකේ බිත්තර බදින්න නම් පුළුවන්...
Deleteරුපියල් හාරසීයකට විතර වික්කෑකි.
Deleteඑහෙනම් ඉතින් පාන් පිටි හරි මොනා හරි පිටි වර්ගෙකින් හදන කෑම ජාති සේරටම එක එක නම් ඕනෙ නෑනෙ. ඇත්නම් ඉතින් ලී බඩු වලටත් එක එක් නම් ඕනෙ නෑනෙ. ඕනෙම දේකට වර්ගීකරණයක් දෙන්න පුළුවන්. ඒ දේ හඳුනා ගැනීමේ පහසුවට.
ReplyDelete++++++++++++++++++++
Deleteඒක ඇත්ත කැමා. කැපී පෙනෙන වෙනස්කම් තියෙනවනම් අනිවා එහෙම වෙන්න ඕනෙ.
Deleteමේ දැන් මතක් උනේ. ඉස්සර මං කේක් හදද්දි අපේ තාත්තා රෙසිපියේ අවුල් ගිය තැන් අනුව ඒක ක්‍රෑක් හෝ කෲක් කියල බෞතීස්ම කරනවා... හිහී!
එක කවියයි රස විදින්න ගියේ. හැක්.. ඉස්ම යන්නම දෙනවා නෙව.. උඹ නං වැඩකට නැති කොට කවියක්.. හැක්.
ReplyDeleteතව එකක්... කස්ටික මේක පොඩ්ඩක් බුක් මාක් කරල හෙම තියාගෙන ටික දවසකින් කියවන්න.. එතකොට හරි යාවි අප්සැට් එ කක් දැං තියේනං. හැක්.
Deleteහිහී! තැන්කිව් දේශෝ!!
Deleteබස්සි අපි මෙහෙම හිතමු...කවි වෙනුවට අපි පත්තරයක තියෙන ආර්ටිකල්ස් ගත්තොත්....තීරු ලිපි, කොලම, නිවුස් ආර්ටිකල්ස්, එඩිටොරියල්ස්, ගොසිප් ඔයාදී වසයෙන් ලිපි ජාති තීනව නේද? ඒ වගේම කොලමක් ලියන ආරට, නිව්ස් ආර්ටිකල් එකක් ලියවෙන්නේ නැහැ නේද සම්ප්‍රදායට අනුව...ඒ ඒ ලිපි වලට අනුචිත ලියවිලි රටාවකුත් තියෙන්නේ..
ReplyDeleteකවියත් එහෙම උනාම මොකද..රස විඳීම වෙනස් වෙන්නේ නැහැ නමුත් ලියන ආර වෙනස් වෙයි...
ඔය මොනා උනත් මම නම් ලියන එව්වා මෙලෝ රහක් නෑ කියල තමයි කවි ලියන්නො කියන්නේ..සය්බරේ නැත්නම් අපි ලියයිද? ඒකයි වටිනාකම..නිදහස..හැම දේකින්ම නිදහස..
//කොලමක් ලියන ආරට, නිව්ස් ආර්ටිකල් එකක් ලියවෙන්නේ නැහැ නේද සම්ප්‍රදායට අනුව...ඒ ඒ ලිපි වලට අනුචිත ලියවිලි රටාවකුත් තියෙන්නේ..//
Deleteඔය හැම එකකටම ෆික්ස්ඩ් රාමුවක් තියෙන්නම ඕනෙද? ඒ රාමුවෙන් පිට පනින, වෙනස් හැඩයේ ලියැවිලි නෙමෙයිද බොහෝවිට මතකයෙ රැඳෙන්නෙ?
[සැ.යු. : මම මේ කියන්නේ යහපත් 'වෙනසක්' ගැන මිසක වල් බූරු වෙනසක් ගැන නෙමෙයි.]
ඉතින්, මම කොතනවත් කියලා නැහැ සයිබර් කවි, කවි නොවෙයි කියලා. ඒවත් කවි. නමුත් වෙනස් හැඩයක කවි. ඉතින් ඒවා කවි කියන බොහොම විශාල කැටගරියෙන් වෙන් කරගෙන සංවාදයට බඳුන් කරන්න වටින සුවිශේෂතා ගොඩක් තියෙනවා. මම කියන්න අදහස් කලේ ඒක.
බස්සි, මේ පෝස්ට් එකට මගේ කොමෙන්ටුව පෝස්ට් එකක් තරන්ම දිගට කෙටුවා. ඒත් මේ කොම්පැනි කාරයාට පින් සිදු වෙන්න ඒක පබිලිස් කරනකොට ම විසන්දි වෙලා. දැන් ඒ අදහස කොටන්නත් බෑ. කම්මැලියි. පස්සේ වෙනම ලියලාවත් ගෙනල්ලා දාන්න බලන්නම්.
ReplyDeleteඅයියේ ආයේ දිගට මොනාහරි ටයිප් කරද්දී සැරින් සැරේ කොපි කරන්න.. මං කිපසැරයක් ඔය සීන් ඒක වුන නිසා එහෙම කරනවා,, මට වෙන්නේ ලියලා ලියලා පබ්ලිෂ් ක්ලික් කලාට පස්සේ නැතුව යනවා ... ඒ නිසා කොපි කරන්න මතක ඇතුව
Deleteඒ තරම් වටිනා අදහසක් කනෙක්ෂන් ෆේලියර් එකක් නිසා අතුරුදහන් වීම නම් අපරාදේ. :/ පුලුවන්නම් පස්සෙ මතක් වෙන විදියට ඒකෙ සාරාංශයක්වත් පල කරන්න, ඒක ගොඩක් වැදගත් වේවි.
Deleteසයිබරය නිසා බොහෝ නිර්මාණ එලියට ආවා.
ReplyDeleteකවිය කොහේ ලිව්වත් කවිය තමා . මම හිතන්නේ කැටපත් පවුරත් ඒ කාලේ තිබ්බ සමාජ මාධ්‍යක් වෙන්න් ඈති.
සීමා මායිම් නැති කවීත්වයක් වෙනුවෙන් සයිබරයේ දායකත්වය අති විශාලයි. නමුත් බොහෝ දෙනක් ඒ සුවිශාල ලෝකයට විවර වෙලා නැහැ. සමහර විටක ප්‍රවීනයන් පවා . එහෙම වුනාම ආදරය ගැන ලියවුනු ගැඹුරු කාව්‍යක් වුනත් හැන්දෑවක සුන්දරත්වය විදිහට තේරුම් ගන්න උත්සාහ ගන්නවා.
සයිබරය විවිධ හැඩතල තියෙන , විවිධ පරිකල්පන හැකියාවකින් යුතු බොහෝ දෙනෙක් එකවර එකට එකතු වන තැනක් ඒ නිසා නිර්මාණය ගැන විචාරයන් බොහෝ තියුණුයි. ඒ නිසාම නිර්මාණ මුවහත් වීමේ වේගය වැඩියි. අනික සයිබරයේ ප්‍රේක්ෂකයා සියල්ල දොහොත් මුදුන් දීලා පිළිගන්නේ නැති නිසා සයිබරයේ සාර්ථක කවියෙක් වෙන්න පුළුවන් කියන්නේ විශේෂ හැකියාවක්.
//සමහර විටක ප්‍රවීනයන් පවා . එහෙම වුනාම ආදරය ගැන ලියවුනු ගැඹුරු කාව්‍යක් වුනත් හැන්දෑවක සුන්දරත්වය විදිහට තේරුම් ගන්න උත්සාහ ගන්නවා.//
Deleteමචං,
මම මේකට වෙනමම පිලිතුරු දෙන්න හිතුවා.
//පළොල් පැහැ කොපුල් පෙති
විසිර යන හිත නිවයි
තනුක කර රුහිරු බිඳු
වළා මත ඉහිරවමි
ඔබේ පැහැයම ගැවසි
සැඳෑ ස්වප්නෙක ගිලෙමි//
මේකෙ උඩු අරුත, සෙව්වන්දියගේ රෝස පැහැ දෙකම්මුල්වලට ලොබ බඳින අහස, තමාගේ රුධිරය අරගෙන තනුක කරලා එයින් වළාකුළු පාට කරනවා. රතු පාට තනුක වුනාම රෝස පාටයි. ඒ රෝස පාට තමයි අපිට හැන්දෑවට පේන්නේ. අහස තමන්ගේ ලේ තනුක කරලා වළාකුළු රෝස පාටෙන් පොඟවලා හැන්දෑව වර්ණවත් කරනවා එයාගෙ පෙම්වතිය, රෝස මලේ පෙතිවල තියෙන රෝස පාටෙන්.
ඉතින් මේ කොටසේ පිට සිවිය අතගාන කෙනෙක්ට පේන්නේ ලා රෝස පාට හැන්දෑ අහස හරි සුන්දරයි වගේ සරල කතාවක්.
අනික, කවියක් ලියලා අත හැරියට පස්සේ ඒක අයිති කියවන අයට. කියවන්නෝ ඒකට අනේකවිධ හැඩතල දෙනවා. අනික ඔවුන්ව නිවැරදි කරන්න යන්නේ මොකටද? කිරි බොන ලමයට බත් කවන්න යනව වගේ වැඩක් බන් ඒක. අන්තිමේ ඒ ළමයා කෑම පිට උගුරේ යවාගත්තම අපිටමයි බැනුම් අහගන්න වෙන්නෙ. (තේරුනානෙ උඹට?)
සිරාවටම මචං අර අන්තිම කතාව ඇත්තම ඇත්ත. සයිබරයේ ප්‍රේක්ෂකයොත් ලියන්නෝ තරමටම හිතුවක්කාරයි. ඒ නිසාම තමයි මේ තරමට සයිබර් ලියන්නෝ මුවහත් වෙන්නේ.
Deleteවැරදියි වැරදියි.
ReplyDeleteඉඳි ආප්ප කියන්නේ ආප්ප ජාතියක් කිව්වට ඒක ආප්ප වල අහලකින්වත් තියන්න බෑ.
උන්ට ඕනෙ දෙයක් කියාගත්තාවෙ. සයිබරේ කියන්නෙ වැටකොට බැමි නැති, මුරකාවල් නැති, අපේම අපේම නවාතැනක්. (සින්දුවකින් කොපිකරගත්තෙමි) අපිට ඕනෙ හැටියට ලියන, බඩ පුරා බැණුමුත් අහන, විවේචනය වෙන, කළකිරිලා නිකම් ඉන්න, බ්ලොග් අතෑරලා දාන, බ්ලොග් වහලා යන්නම යන, ආයෙ ආපහු එන, මඩ ගහන, නිර්මාණ කරන, අනිත් උන්ගෙ නිර්මාණ හොරකම් කරලා දාන, කල්ලි හැදෙන, වට වෙලා ගුටි බැට දෙන, අපිට ඕනෙ දේ නිදහසේ ලියන, ඩේටා කාදමන, අතින් කාගෙන හරක් බලන තැනක්.
මේක මුද්‍රිත මාධ්‍යයට වඩා උසස්ද පහත්ද කියන එක නම් මම දන්නේ නෑ. නමුත් මුද්‍රිත මාධ්‍යයට ලියන උන්ට යම් ආදායමක් ලැබෙනවා. පටං ගන්න සුදුසුකම් බලනවා. නිදහසේ සීමාවල් තියෙනවා.
නමුත් එක දෙයක් තියෙනවා. මුද්‍රිත මාධ්‍ය පවතින්නේ තව ටික කාලයයි.
//අතින් කාගෙන හරක් බලන තැනක්.// ඒ වගේම හිතේ ඇති දේ තවකකුගේ සංස්කරණයකින් තොරව කියා දැමිය හැකි තැනක්
Deleteමං කිව්වයැ ඉඳිආප්ප ගැන? :
Deleteඅනික, මුද්‍රිත මාධ්‍යයට එන්න කලින් අපි අපිවම කලින් ෆික්ස් කරපු රාමුවකට කොටු කරගන්නවා. අපිට හිතූ හිතූ විදියට මේ වගේ පිස්සු පීකුදු ලිපි ලියන්න බැරි වෙනවා. ඩූඩ්ගෙ ඇන්ඩි කතා හෝ මගේ සයන්ස් විරිදු මුද්‍රණය කරන්න එතැන ලොක්කොන්ට දුන්නොත් අපිව වහාම අංගොඩට ට්‍රාන්සර් කොරන්න පවා අවදානමක් තියෙනවා.
හැබැයි මෙතනදි අපිට මුදල් වලින් මනින්න බැරි මහ විශාල ආත්ම තෘප්තියක් ලැබෙනවා. අපි කලකිරිලා, නැවතිලා ඉඳලා, ආපහු එන්න තීරණය කරන වෙලාවෙදි ආයෙ වචන ලොරි ගනන් ගෙනල්ලා ගැහැව්වත්, මදුරුවෙක් විද්ද තරමටවත් නොදැනෙන විදියේ "කබර හමක්"(කකාගේ වචනයක්.) ලැබෙනවා.
අනේ ඉතින් අපි දිගටම අතෙන් කයිට් කරන් හරක් බලනවා. ඒකෙන් අපේ ලයිප් එක පුල් මාවලස් වෙනවා.
නියමයි බස්සි.. හොඳ උත්තරයක් හැමෝටම,, ඔයාගේ සමහර කවි අදමයි දෙයියනේ දැක්කේ,
ReplyDeleteස්තූතියි ඔමා. මෙතන මගෙ කවි එකයි උපුටා දක්වල තියෙන්නෙ. :)
Deleteකවිය..
ReplyDeleteකවියත් කවියා වැනිය.
(මීට වඩා නිර්වචනයක් ගස්ලබ්බා ලඟ නැත.)
ජයවේවා..!!
එල එල! තැන්කූ වේවා පැපූ!
Deleteබස්සි අක්කාගේ කතාවට මාගේ ආචාරය!!!!
ReplyDeleteතැන්කූ හන්චි කුචුමියෝ!
Deleteආප්ප සහ නාට්‍ය සම්බන්ධවනම් කතාව පැහැදිලි වුණත් මේක කවියට අදාළ වෙන විදිහ ගැන මට ඇඟට දැනිල තිබුණේ නෑ. ඔබ පෙන්වන කරුණු ගැන හිතුවාම කතාව හරි. හැබැයි යට තියෙන උදාහරණ ටිකනම් ප්‍රවාදය පැහැදිලි කරන්නේ නැහැ. (ඒවා හොඳ වැඩියි. එහෙම ලොකු වෙනසක් පේන්නේ නෑ. මගේ දැනුමේ තරම වෙන්නත් පුළුවන්.)
ReplyDeleteආප්ප කතාවෙන් බස්සි ටිකක් ඇණගන කියලා මටත් හිතුණා. එනිසාමයි ඒ ගැන නොකියා කමෙන්ටුව දැම්මේ මුලින්. මේ වන විට කීප දෙනෙක්ම ඒ ගැන කියල තියනවා.
Delete//ආප්ප සහ නාට්‍ය සම්බන්ධවනම් කතාව පැහැදිලි වුණත් මේක කවියට අදාළ වෙන විදිහ ගැන මට ඇඟට දැනිල තිබුණේ නෑ.// කියල ඉකොනොමැට්ටා කියනවා.
Delete//ආප්ප කතාවෙන් බස්සි ටිකක් ඇණගන කියලා "මටත්" හිතුණා.// කියල නලින් අයියා කියනවා.
එතකොට මම නලින් අයියට මොකද්ද දෙන්න ඕන උත්තරේ? :)
තව ගොඩක් උදාහරණ දෙන්න පුලුවන් ඉකෝන්. සම්මත රාමුවෙන් පිට පැනපු කවිවලට. ඒත් මම මෙතනට කවි ගොඩාක් ඔබ්බන්න ගියෙ නැත්තෙ පෝස්ටුව බෝරින් වෙයි කියල හිතිලා. අනික මගේ බ්ලොග් පෝස්ට් සාපේක්ෂව බොහොම කෙටියි. (ලියන්නත් කම්මැලියිනෙ.)
Deleteසුලුතරයක් ඉන්නවා මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් කවි ලියලා පසුකාලීනව ඒවා සයිබර් අවකාශයෙ පල කරන. ඒවගේ අවස්ථාවලදිනම් ඉතින් හිතෙන්න පුලුවනි අයියෝ මේ දෙකේ වෙනසක් නෑනෙ කියලා. මම මේ කියන්නෙ සයිබරය තුලින්ම බිහිවෙන නිර්මාණකරුවන් අතෙන්, සයිබරය තුලදිම නිමැවෙන කවි ගැන.
පිස්සු නැත්තං සෝක් බස්සි......
ReplyDeleteඉස්තරං ඈ.....
සයිබර අවකාසේ නැත්තං අපි කොයි...?
ජ ය වේ වා !!!
//සයිබර අවකාසේ නැත්තං අපි කොයි...?//
Deleteඔයා නිට්ටඹුවට වෙලා මිනුමක් මැනගෙන ඉඳී. මං මෙතන බජට් එක්ක හක්කලං කොරයි. ඉවානයා ගෙවල් හදයි. උපේක්ෂා කෝඩ් කොටයි. මෙන්ඩා බ්‍රා වල කොලිටි චැක් කොරයි. etc!
නිර්මාණකරුවකුගේ අරමුණ විය යුත්තේ වෙන කවුරුවත් නොව තමන්ගේ සතුට වෙනුවෙන් නිර්මාණය කිරීමයි. එය දකින අය අතර විවිධ අය සිටී. එම නිර්මාණය රස විඳින අය පමණක් නිර්මාණ කරුට වැදගත් වන්නේ ඉදිරියටත් නිර්මාණ කිරීමට එය උනන්දු කිරීමක් වන නිසා.
ReplyDeleteනිර්මාණය නොදකින් අය, නොබලන අය, රසවින්දනය නැති අය, විවේචනය කරන අය, විරුද්ධ අදහස් දරන අය ලොවේ විවිධත්වයට සාක්ශියක් වූවත් නිර්මාණකරු ගේ අවධානය හෝ කාලය මිඩංගු කල යුතු කොට්ඨාශයන් නොවේ.
මෙතැනින් විවේචනය කරන අයව ගත්තොත්, නිර්මාණකරුගේ යහපත උදෙසාම විවේචන සිදු කරන අයව නොසලකා හැරිය නොහැකියි. ඔවුන් නිසාම නිර්මාණකරුවා මුවහත් වෙන්නත් පුලුවනි. ඔය මාතලන් ගොයියාගේ කොන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් බස්සිට සෑහෙන්න බලපෑ බවත් කියන්ඩම ඕනෑ.
Deleteඉයන් හරි. තමන් වෙනුවෙන්ම ලියන අය අතින් තමයි අවංකම නිර්මාණ බිහිවෙන්නෙ.
කවි ටිකක් ඇලජික් වගේ උනාට උඹ කියන මේ කතාවට එකඟයි...
ReplyDeleteහෙහේ! තැන්කිව් ලොකුපුතා!!
Deleteරංචාගොඩ ළමයා දවසක කියලා තිබුණා “දුකට කියන කවියට මොන අස්සරද?“ කියලා.
ReplyDeleteකොහේ උනත් අධිපතියෙක් ඉන්න බෑ සමාජ කලාවන්ට. කාටද කියන්න පුළුවං මේක මේ නීතියට යටත් විය යුතුයි කියලා?
කොතනත් සමහරු අධිපතිකම් මවාගන්න උත්සහ කරනවා. සයිබරයේ කියල වෙනසක් නෑ ඩ්‍රැකියෝ!
Deleteඅන්න හරි පවුලූස්. මම කියලා තිබුනෙත් ඕකමයි. මේ කවියන් තමයි පාඨකයාට විශිෂ්ට නිර්මාන ලබා දෙන්නේ. මට කියවන්න ලැබුනා සමහර කවියන් මේ සයිබර් කවියට බැනලා තිබුනා. නමුත් මේ නිර්මාන තරම් කියවන පාඨකයා රස විඳින, විචාරය කරන, අගයන වෙනත් කවියක් නැති තරම්.
ReplyDeleteබොහොම ස්තූතියි අහසෙන් එන්නා. ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා!
Deleteඅගේ ඇති සටහනක් නංගි.. මට නම් දැනෙන්නෙ ඔයා අංකුර කිවිඳියක් ලෙස නෙවි.. කවියෙන්ම පන්නරය ලැබූ ආවේණික සුන්දරත්වයකින් කවි පබඳින සයිබර් අවකාශය තුළ ප්‍රවීණ කිවිඳියක් විදියට...
ReplyDeleteබොහොම ස්තූතියි අක්කා! මං ඉතින් අංකූරෙක් අනේ තවම. අනික මගේ මැන්ටල් භාවය හින්දා මේ කපේදි ප්‍රවීණ වෙන්ඩනං බැරිවෙයි.
Deleteකවියට නෙමෙයි කිසිම දෙයකට නීතී රීතී අවශ්‍ය නැතෙයි කියන තැන මම නම් ඉන්නේ.. එහෙම උනොත් කොහොමද එකෙක් අළුතෙන් හිතන්නේ පතන්නේ.. අළුත් දේවල් ළෝකයට එන්නේ.. නව චින්තකයෝ බිහි වෙන්නේ...
ReplyDeleteසයිබරේ ගැන කියනවා නම්, අපේ ප්‍රවීනයෝ අදටත් බයයි සයිබර් අවකාසෙට.. උන් හිතාගෙන උන්නේ උන්ට එහා පොරවල් නැතෙයි කියලා.. ඒ විතරක් නෙමෙයි බලයෙන් මුසපත් වෙලා උන්න එකාධිපතියොයි, උන්ගේ කටු කාපු බල්ලොයි හිතාගෙන උන්නෙත් එහෙමයි.. ඒකනේ සම හරක් කිව්වේ බුකිය ක්කියන්නේ ආතල් ගන්න තැනක් කියලා.. ඇත්ත පට්ට ආතල් එකක් ගන්නේ..
කොච්චර ආතල්ද කියනවා නම්.. අන්තිමේදි කින්ඩිය දාපු උන්ගෙත් රෙදි ගලවලා ගෙදර යවලා හෙම.. පට්ටම ආතල් එකක් ගන්නේ...
අන්න ඒ ආතල් එක වගේ ආතල් එකක් නම් ආයෙ ලොවෙත් නෑ මෙයා.
Deleteඔන්න ඔය සීමා මායිම්, වැට කඩොලු, නීති රීති නැති නිසා තියෙන නිදහසත් එක්කයි සයිබරයෙන් නිතරම අලුත් අලුත් නිර්මාණ බිහිවෙන්නෙ.
මාතලන් කියෙව්වද 'සකන් කසීර වික්‍රමසිංහ'ගෙ "ආච්චිගේ කොලම"? ෆේස්බුක් තීරු ලිපි එකතුවක්. මාතලන් කැමති වෙයි කියල හිතුනා.
මාතලන් කියපු දේට සම්බන්ධ දෙයක්. අද අපි හැමෝම උඩරට නැටුම රස විඳිනවා විතරක් නෙමෙයි ඒ අපේ සංස්කෘතික උරුමයක් කියලා කියනවා. ඒක හඳුන්වා දීපු පළමුවෙනි දවසෙම ඔය අද තියෙන ඇඳුමයි නැටුම් රටාවලුයි තිබුණයි කියන්න අමාරුයි. ඒක කාලයක් තිස්සේ පරිණාමය වෙවී ආපු එකක්. ඒ උනාට අද ඇඳුමට හරි නැටුමට හරි පොඩි වෙනසක් වත් දෙන්න 'අයිතිකාරයෝ' ඉඩ දෙයිද? උදාහරණයකට රතු පාට වෙනුවට දම් පාට හරි තැඹිලි පැහැය හරි දාන යෝජනා කළොත් මොනව වෙයිද? අර gangnam style moves ටිකක් add කළොත් මොනව වෙයිද? ඒක තුන්වෙනි ලෝක යුද්ධෙ පටන් ගන්නත් හේතුවෙන්න පුළුවන්. ඒක නිසා පරිණාමය නවත්තල freeze කරල ඔය තියෙන විදිහටම ඉස්සරහ අවුරුදු දාස් ගාණක් යන්න ඕන 'ඒගොල්ලන්ගෙ' මතය අනුව.
ReplyDeleteචන්න ඒක උඩු යටිකුරු කළා නේද....?
Deleteලින්ක් එක දෙන්නකො මාතා
Deleteමම කිව්වේ චන්න විජේවර්ධන ගැන
Deleteඔන්න ඔහොම හිතන තාක් කල් ඒ අය අර සම්ප්‍රදාය කඩන්න බයේ මුලුගැන්විලා ඉන්නවා. ඒත්, මාතලන් කියන්නා වගේ 'චන්න' කෙනෙක් ඉපදුන දාට අර රාමුව කඩලා දාලා අලුත්ම නිර්මාණයක් කරලියට ගේනවා. එතකොට අර රීති කරේ තියාගෙන උන්නු බොහෝ දෙනෙකුත්, අර අලුත් පෙරලිය දිහා බලාගෙන අත්පොලසන් දෙනවා. කීප දෙනෙක් ගල් ගහනවා.
Deleteලේලන්ඩ් රෑ බදුල්ලෙක්
ReplyDeleteලැසි ගමන් යන අතරේ
මෝසම් අන්ධකාරෙත්
ලිප්ටන් තේ සුවඳ පැතිරේ
ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ මැජික් කවි.
Deleteමෙහෙමයි යශෝ මුද්‍රිත මාධ්‍ය වලින් එලි දකින ඕනෑම දෙයක් එක එක සිමා ඇතුලේ හිර වෙලා තියෙන එක ස්භාවිකයි.හැබැයි සයිබරේ එව්වාට එහෙම සිමා,මායිම් නැති නිසා එක රස විඳින්න පහසුයි.
ReplyDelete"ලිප්ටන් තේ වත්තේ" කවිය කිහිප දෙනෙක් එකතු වෙන් ලියපු කවියක් කියා සිතන්නවත් බැරි තරමට ලස්සනයි.
ඇත්තටම ඒ කවිය හරිම ලස්සනට ඇවිත් තියෙනවා...
Deleteසහතික ඇත්ත මනෝ!
Deleteමනෝ, රසී අක්කා :
ඒ කවිය මුලින් සමූහ කවියක් කරන්න අදහසක් තිබුනෙත් නෑ. කවි කෑලිටික එකලස් කරලා, ගැලපෙන විදියට පෙලගස්වලා ඒක සමූහ කවියක් කලේ මානෙල් කේ. ආර්. ප්‍රනාන්දු නැන්දා. එයා තමයි ඒකෙ අවසාන කවිය ලිව්වෙත්.
කවිකම් ගැන පරබුද්ද විග්‍රහයක් කොරන්න තරං දැනුමක් නැත. ඒත් තේරුම් ගන්න පුලුවන් යමක් දැක්කොත් අනිවා කියවනවාය, රහ විඳිනවාය. කඩදහි වල ද සයිබරේ ද කියා වෙනසක් නැතුවාය. වැල් වටාරං නැති, කියවන විට හක්ක පනින වචන නැති නමුත් පපුවට වැදෙන සයිබර කවි වලට වඩාත් මනාපය.
ReplyDeleteහැබැයි කවිකම් වලට කොල්ලාද බල්ලාද, මැක්කාද විචාර ඉදිරි පත්කිරීමට චීනා අමනාපය. ගීයක් හෝ කයියක් ඒක එකාට වදින විලාසය වෙනස්මය. ඒකා ගෙ බුද්ධි මට්ටමද, අත්දැකීම්ද, මොහොතේ මානසිකත්වයද ඒකට බලපාන බව හිතෙනවාය. උදාහරනයකට කැම්පුස් කාලේ දිවුල්ගනේගෙ " ගමට කලින් හිරු" ඇහෙන විට චීනාට හනේ අපේ අම්ම වාගෙ තව අම්මලා ඉන්නවා කියලා පිංචි සතුටක් දැනෙන විට. අනේ අම්මා බලන්න යන්න ඕනෑ කියලා චීනී මීහරකියක් වාගේ අඩනවාය.(චීනී හිටියේ හොට්ටල් එකේය)
ඉටිං කවකින් මට දැනෙන දේ මට සාපේක්ෂය. ඒ ගැන කියා අනෙකාගෙ රසවින්දනය මාර්ග ගත කිරීමකට ලක්කිරීම අසාධාරනය.
බස්සි නඟාලගෙ අලුත් වැඩේට උණ්ඩුක පුච්ඡයෙන්ම සුබ ප්‍රර්ථනා කරනවාය. අලුතේන් හිතිය යුතුය. අලුත් වැඩ කලයුතුය, බැරිනම් කරන එකාගෙ කකුලෙන් මෙව්වා කිරීම නවතා බොක්කෙන්ම ආශිර්වාද කිරීම හෝ කලයුතුය.
//ගීයක් හෝ කයියක් ඒක එකාට වදින විලාසය වෙනස්මය. ඒකා ගෙ බුද්ධි මට්ටමද, අත්දැකීම්ද, මොහොතේ මානසිකත්වයද ඒකට බලපාන බව හිතෙනවාය.//
Deleteසහතික ඇත්ත චීනා. කොල්ලා, බල්ලා, මැක්කා නෙමෙයි කෝකා උනත් කවි විචාරය කරනවා කියමින් කවිය වචනයක් වචනයක් ගානේ කපා කොටා ව්‍යච්ඡේදනය කිරීම මටත් දිරවන්නේම නැති වැඩකි. හැබැයි ඉතින් සමහරවිට ඒ විචාර කියන ඒවා කවි ටෙක්නිකලි කියවන අයට වැදගත් ඇති. ඒ නිසා මමනම් ඒ ගැන සද්ද නොකර ඉන්න වඩා කැමතිය.
චීනාගේ අවංක සුභපැතුමට බොහොමත්ම තැන්කූ ය!
කවිය මොන විදිහකින් අර්ථ දැක්වුවත් කවියට රසවිදින්න අය නැත්නම් ඒ කොයි කවියෙනුත් වැඩක් නෑ.. අද හුඟක් කවි වලට වෙලා තියෙන්නේ අන්න ඒ තත්වේ.
ReplyDeleteඋබේ අදහස් වලට මගේ සැලූට් එක..
බොහොම ඉස්කෝතුයි දිනේශ් අයියේ!!
Deleteසයිබර් කවියේ 'යශෝ'රාවය වෙතටයි.. ගොඩක් දෙනෙකුට වෙනස දර ගන්න බෑ.. සමහරුන්ට වෙනසට හුරු වෙන්න බෑ.. තව සමහරුන්ට වෙනසක් සමඟ එන වෙනස්වීම් දරාගන්න බෑ.. සමහරු උප්පත්තියෙන්ම අන්ධයි.
ReplyDeleteසයිබර් කවියටත් ඔය කාරණාව පොදුයි බං. ඊළඟ මාසේ කවි කියවීමේදී වත් මේ ගැන තව කතා කරමු. පලවෙනි කියවීම තිබ්බේ නරක දවසක.. :/
සංස්කෘතිය , භාෂාව වගේම උප සංස්කෘති උප භාෂා දවසින් දවස එකතු වෙනවා.. කලාව කවිය ගීතය මේ හැම දෙයක්ම එහෙමයි මහා ගංගාවක් වගේ ගලන මානව සංස්කෘතියට එකතු වෙන පුංචි අතු ගංගා වගේ අතු ගංගා එකතු වුනහම ගඟ පෝෂණය වෙනවා වගේ මේ දේවල් එකතු වෙද්දී සිද්ද වෙන්නෙත් ඒ දේම තමා.. ඒක තේරුම් ගන්න බැරි වුනහම අපි මේ වෙනස්කම් දකින්න කැමති නැහැ ඒ දේට විශේෂයක් දෙන්න කැමති නැහැ.. ඉස්සර ලේඛකයෝ හිටියා එයාලගේ සිතුවිලි අත්දැකීම් රසවිදින පාඨකයෝ හිටියා ඒත් අද සයිබරෙත් එක්ක අපි හැමෝම වගේ ලේඛකයෝ වෙලා ප්‍රදර්ශනකාමීන් වෙලා ඉතින් සයිබරේ ලියවුනු කවි සයිබර් කවි මිසක් අන් කිසිවක් නෙමේ
ReplyDeleteසයිබර් කවිය ඇත්තෙන්ම වෙනමම සංවාද කලයුතු දෙයක්. කවි රස විඳිම බොහෝ කාලයක් මඟහැරී තිබුනු බව දැනෙන්නට පටන්ගත්තේ සයිබර් අවකාශයේ වෙසෙසින්ම වත්පොත්‍ෙ කවි කියවන්නට ගත් පසුවයි. එය ගතානුගතික සම්ප්‍රදායට නතු නොවන හිතුවක්කාර දරුවකුවුවත් මෙතෙක් කවියට පෙම්බඳින බොහෝ දෙනෙකුට අවකාශ සලසා තියෙනවා කවි ලියන්නට සහ රස විඳින්නට.
ReplyDeleteසයිබර් කවිය ඇත්තෙන්ම වෙනමම සංවාද කලයුතු දෙයක්. කවි රස විඳිම බොහෝ කාලයක් මඟහැරී තිබුනු බව දැනෙන්නට පටන්ගත්තේ සයිබර් අවකාශයේ වෙසෙසින්ම වත්පොත්‍ෙ කවි කියවන්නට ගත් පසුවයි. එය ගතානුගතික සම්ප්‍රදායට නතු නොවන හිතුවක්කාර දරුවකුවුවත් මෙතෙක් කවියට පෙම්බඳින බොහෝ දෙනෙකුට අවකාශ සලසා තියෙනවා කවි ලියන්නට සහ රස විඳින්නට.
ReplyDelete