Friday, September 18, 2015

අම්මා! (කෙටිකතාද මන්දා)






මම පුස් ගඳින් යුත් දැව අල්මාරියේ ලාච්චුව විවෘත කලේ වෙව්ලන දෑතින්. පරණ ෆයිල්කවරයක් ඇතුලේ වූ අවපැහැ ගැණුනු මුදල් නෝට්ටු කීපය දෙතුන් පාරක් ගණන් කලේ ඔහුට තව දවස් කීයක් ඉතිරිව ඇත්දැයි නිසැකවම දැනගන්න. එච්චරයි. ඔව්, එච්චරම තමයි. ඊට වඩා තව පැන්සයක්වත් වැඩිපුර තිබුනේ නැහැ.


හැම සීතල නොවැම්බරයකම මට මතක්වෙන්නේ, දවසෙන් දවස මරණයේ දෙඅත්ල වෙත ලඟා වෙමින් උන්න ජේම්ස්ගේ අපේක්ෂා විරහිත මුහුණ. අහිමිවීමේ වේදනාව හුලඟක් වගේ අපි වටේ වියරුවෙන් කැරකෙනකොට, මමත්, ජේම්සුත්, වියැලී ගිය තුරුපත් දෙකක් වගේ විකල්ලෙන් ජීවිතය බදාගෙන උන්නා.


ජේම්ස්, මගේ ආදරණීය ස්වාමිපුරුෂයා, පොරෝණා තට්ටු තුනක් ඇතුලට කිඳාබැහැලා, බෙහෙත් සැරට වේළිලා ගිය ඇස්වලින්, දිගටම ඉටිපහන් රුකේ මලානික කහ එළිය දිහා බලාගෙන උන්නා.



*****************************



"අම්මේ"


පුතාගෙ කටහඬින් මම පියවි ලෝකෙට කඩාපාත් වුනා. අර සීතලම සීතල නොවැම්බරයටත් වඩා මූසල වර්තමානයේ මට අකැමැත්තෙන් වුනත් ජීවත්වෙන්න සිද්ධවෙලා තිබුනේ, ජේම්ස්ගේ කුඩා ආකෘතිය, මගේ පුතා නිසයි. 


ලිපේ තිබුනු පාස්තා බඳුනේ වතුර උණු වෙලා බාගයක්ම පිටතට උතුරලා ගිහින්, ඒත්, පුතා ලිප නිවා දානකම් ගින්දර නිමිලා ගිහින් තිබුනෙ නෑ.


මට වුවමනා උනා මගේ පුංචි ජේම්ස්ට හැම දෙයක්ම කියන්න. හැම දෙයක්ම කෑ ගහල කියන්න. එයා කෑම මේසෙ පුටුවක වාඩි වෙලා කුතුහලයෙන් දැවෙන ඇස් වලින් මගෙ දිහා බලන් හිටියා. ඒ ඇස් දිහා තවදුරටත් කෙලින් බලන් ඉන්න හයියක් නැති වෙද්දි, හදවතේ වේදනාව ඇස් වලින් වාන් දමන්න කලියෙන් මම අනිත් පසට හැරිලා ලිප පත්තු කලේ අරමුණකින් තොරව.


*****************************



ජේම්ස්ගේ බෙහෙත් ටික අරන් එන්න එදා හැන්දෑවේ නගරයට ගිය ගමනත්, ඒ ගමනෙදි මුණගැහුනු ස්මිත් මහත්තයත්, ගිලිහිලා වැටෙන්න නියමිතව තිබුනු අපේ ජීවිත වලට එළියක් ගෙනාව කියලයි මම විශ්වාස කලේ. ස්මිත් මහත්තයාගෙ සම්බාහන මධ්‍යස්ථානයේ රැකියාවකට යන්න ජේම්ස් අකැමැත්තෙන් කැමැත්ත දුන්නේ, එයා, දේවදූතයෙක් විදියට වළාකුළු අතරට නික්මෙන්න කලින් ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක් වගේ, තව වැඩිපුර දවස් කීපයක් හරි මහපොළව මත ඇවිද යන්න ආසාවෙන් පෙළුන නිසා.


හැම දෙයක්ම හොඳින් සිද්ධ වුනා. රැකියාව අමිහිරි වුනත් ඒ ඇතුලෙන් මතුවුනේ බලාපොරොත්තුවේ උණුහුම. ජේම්ස් දවසෙන් දවස සුව අතට හැරෙමින් හිටියා. 


"මේ ගෙවෙන්නේ අපේ ජීවිතවල දෙසැම්බරය ජේම්ස්" මම කිව්වේ එහෙම. "බලන බලන අත ඔයාට පෙනෙනව ඇත්තෙ දණක් උසට හිම කඳු. සීතලෙන් තොල් පුපුරු ගහනවා තමයි. ඒත්, මේ තමයි නත්තල් මාසය. අහන්න, බලාපොරොත්තුවේ උණුහුමෙන් මගෙ හදවත ගැහෙන හැටි." ජේම්ස් අඩවන් දෙනෙතින් යුතුව මගේ පපුවට හිස තියාගෙන උන්නේ පොඩි දරුවෙක් වගේ.


හැමදේම යහපත් අතට හැරෙමින් තිබුනා, ස්මිත් මහත්තයාගෙ බාල පුතා ග්‍රෙගරි  අලුත් ව්‍යාපාරයකට අත ගහනකම්.


ඒ ව්‍යාපාරය අපේ කුඩා නගරයට අළුත්. මටත්, මාෂාටත්, සාරාටත් සම්බාහන මධ්‍යස්ථානයේ රැකියාව අතහැරලා ග්‍රෙගරි මහත්තයාගෙ අළුත් ව්‍යාපාරයේ රැකියාවට සම්බන්ධ වෙන්න අණ ලැබුනෙ නොසිතූ විදියට. ස්මිත් මහල්ලා කිව්වේ කිසි කෙනෙකුට අපේ අනන්‍යතාවය හෙලි නොවෙන බව. අපි ඔහුව විශ්වාස කලා. ඔහු අපේ ස්වාමියා නිසා, අපිට ස්මිත් පවුලෙන් කිසිම අවැඩක් සිද්ධ නොවෙන වග අපි තදින්ම විශ්වාස කලා.


රැකියාව අහිමිවීමත්, අලුත් රැකියාව ගැනත් තොරතුරු, මදින් මද සුව අතට හැරෙමින් සිටි ජේම්ස්ගෙන් වසං කරන්න මම ප්‍රවේසම් උනා. පොඩි දරුවෙක් වගේ සුළු දේකිනුත් සැලෙන ජේම්ස්ගේ මානසික තත්වය ස්ථාවරව තබා ගනිමින් ඔහුව ඉක්මනින් සනීප කරගන්නයි මට වුවමනා වෙලා තිබුනේ



*****************************



මම ගෙදර පිටුපසට වෙන්න පැල කර ඇති ගෙරේනියම් මල් මුහුණු අතගාමින් එතැන බිම වාඩිවුනේ මතක සෙවණැලිවල පීඩාව ඉවසා ගන්න බැරිම තැන.  


"පාහර බැල්ලී!" ජේම්ස්ගේ පා පහරවල්වලින් නිරුවත් කළවා සහ නිතඹ පුරා සීරුම් පහරවල් නැගෙන්නට වැඩි වෙලාවක් ගතවුනේ නැහැ. ඊගාවට ඔහුගේ පය එසවුනේ මගේ උදරයට ඉහලින්.


"දරුවා....! මගෙ දරුවා....! මේ ඔයාගෙම දරුවා.......!!"

මම දෑතින්ම කුස ආවරණය කරගෙන විලාප දුන්නේ පිස්සියෙක් වගේ. ඒ, දැන් මට පිටුපසින් එළිමහන් බංකුව උඩ වාඩිවෙලා වරින්වර මා දිහාවට අමනාප බැල්මන් විසිකරන මගේ පුංචි ජේම්ස් පැටියාව බේරගන්න.


එදා ඉඳන් අද දක්වාම, හැම ස්නානයක් අතරෙම මම වියරුවෙන් වගේ ගෙල පිටුපස සිට පියයුරු හරහා කළවා දක්වාම අතුල්ලන්නේ ඒ අමිහිරි සළකුණ මකා දමන්න. ඒත් අවසානයේ ඉතිරි වෙන්නේ මල් පෙති මත සිහින් සීරුම් රැසකුත්, තැනින් තැන නැගෙන ලේ බින්දු කිහිපයකුත් පමණයි.


මල් අත්තක පැටලුණු දිගු ගවොම් සාය ඉහළ එසවුන සැනෙන් මම සර්පයෙක් දෂ්ඨ කලාක් මෙන් තැතිගැන්මෙන් දෙපා ආවරණය කරගත්තේ පුංචි ජේම්ස් දෙස යටැසින් බලමින්. තදින් හිත රිද්දවාගෙන, ගෙරේනියම් මලක් පෙත්තෙන් පෙත්ත සිඳ දමමින් හුන් මගේ පුංචි පුතා ඒ ගැන තැකීමක් කලේ නෑ.


ඔහු මේ අඳුරු හෙවණැලි නොදැකිය යුතුයි. කවදාවත්ම!



*****************************



මගේ පුංචි පුතා බයිසිකලය තල්ලු කරගෙන ගේ දිහාවට ඇවිදගෙන එනවා. ඔහු මගේ සැමියා වගේමයි. බැස යන හිරුගේ අවසන් කිරණ කිහිපය ඔහුගේ රන්පැහැති හිසකෙස් මත පතිත වෙලා දිස්නෙ දෙනවා. ඔහු තවදුරටත් පුංචි කොලුපැටියෙක් නොවෙන බවත්, තාත්තා වගේම කඩවසම් ගැටවරයෙක් බවට වැඩී ඇති බවත් මට අවබෝධ වුනේ ඒ වෙලාවෙ.


ජේම්ස් පොත් මිටිය සාලයේ ටීපෝව මත තියලා වචනයක්වත් නොදොඩාම නාන කාමරයට වැදුනා. ඒ ඉසිඹුවේදී මම ඔහුගේ පාඩම් පොත් පෙරළමින් එහි වූ වටකුරු අත් අකුරු අතගාන්නට වුනේ මහත් ආශාවෙන්.


එක්වරම පොත් අතර වූ ප්ලාස්ටික් කවරයක් බිම වැටුනා


"සර්ප නළඟන" යනුවෙන් ඇල අකුරෙන් සටහන් වුන ඒ නිල් චිත්‍රපටි තැටියේ කවරය මට හඳුනාගන්න අපහසු වුනේ නැහැ. මම එය අහුලාගෙන නොපිට පෙරලා බැලුවා. "ග්‍රෙගරි ස්මිත් - පෞද්ගලික පිටපත් එකතුව" යනුවෙන් කුඩා වැල් අකුරෙන් එහි පිටුපස සටහන් වී තිබුනා.



*****************************



මම නැවත වරක් සීඩී කවරයේ උන් තරුණ කාන්තාවගේ ගෙල, පියොවුරු සහ නිතඹ වසා පැතිරුණු මල් මෝස්තරයකින් යුතු පච්චය වටා අතැඟිලි දිවෙව්වා. උසැති වීදුරු දර්පණයෙන් දිස්වෙන කාන්තාව තරමක් මහළුව, බොහෝ විඩාපත්ව, මදක් වෙනස්ව දිස්වුනත්, සිරුර වසාගෙන සර්පයෙක් මෙන් එතීගත් පච්ච සළකුණ මදක් හෝ වෙනස් වී තිබුනේ නෑ.


කටුක ගන්ධයෙන් යුත් තෙල් වලින් සිරුර නැහැවෙද්දී මම ඉක්මනින් ලයිටරය දැල්වූවා. විවර කවුළුවෙන් හමා ආ මූසල නොවැම්බර් සුලං රැල්ලකින් පණ ලද ගිනි දළු වහ වහා මගේ නිරුවත් සමට කාවැදුනු පච්චයේ මල්පෙති රටාව ලෙවකමින් ඉහල නගින්නට වුනා.






~ ඉවරයි ~ 




ප. ලි.


මේ කතාව ලිවුවේ දිනේෂ් උමගිලිය අයියා ඊයේ (සැප්තැම්බර් 17 - 2015) වර්ණ බ්ලොග් අඩවියේ පලකල "ඇයද මවකි" කෙටිකතාවෙහි දිගුවක් වශයෙන්. ඒ තරමටම දිනේෂ්ගේ අපූරු ලියැවිල්ල මාව සසල කලා.





59 comments:

  1. දිනේෂ්ගේ කතාව කියෙව්වේ නැහැ.. කියවන්න ඕන..මං එ්ත් බැලුවා මොකද එක දිගට බටහිර කුමන්ත්‍රණ දියත් කරන්නේ කියලා... අර කියල තියෙන පියවුරු සිට කලව දක්වා ඇති සලකුන කුමක්ද

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ සලකුණ ටැටූ එකක් බව තේරෙන විදියට තව ටිකක් වචන වෙනස් කලා.
      තැන්කූ වේවා දේශෝ!!

      Delete
  2. දිනේෂ්ගේ ලියවිල්ල මාවත් ඒ තරම්ම සසල කරලා තියෙන්නේ . ඒ නිසා මේ කතාවත් මගේ හිතට හොඳටම වැදුනා. මිනිස්සු ජීවිතේ අතරමං වෙනකොට ජාති ,ආගම්, කුල,පංති භේද මොනවත් අදාළ වෙන්නේ නෑ.

    ජීවිතේ කවියක් ඒත් ඒක වස් කවියක්ද සෙත් කවියක්ද කියලා තීරණය කරන්නේ අපිමයි . එල

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඉවාන්!
      දිනේෂ්ගේ කෙටිකතා ගෙතීමේ හැකියාව ගැන ඉතින් කියන්න වචන නෑ. එකම අවුල ඔය මැට්ටා තවම පොතක් කරන්නෙ නැති එකනෙ.

      Delete
  3. ඔහ්...
    පපුව මොකද්ද උනා බස්සියෝ. චෙක්... වෙලාවට සති අන්තයක් උනේ. නැත්තම් මරණයක්

    ඉතාම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. සති අන්තෙ කොහෙද උපයො තවම සිකුරාදනෙ. මටනම් කතා ලියලිය ඉඳලා දැන් සෙනසුරාදත් ඔෆිස් ඇවිත් ඉවර කරන්න වැඩ තියෙනව.

      තැන්කූ ඈ!! :)

      Delete
  4. එක හුස්මට කියෙව්වා... සැබවින්ම ඔබ කිව් ලෙසටම හදවතට දැනෙන කතාවක්...

    මුදලට ඇඟ විකුණන ගැහැණු ගැන සමස්තයක් විදිහට ඒකපාර්ශවික විවේචන මිසක් එතෙන්ට වදින්න යන පිරිමි ගැන වගතුවක්වත් නැති අපේ සමාජ දෘෂ්ටකෝණයේ දෙබිඩිගතිය කුමක් වුණත්, ආර්ථික ප්‍රශ්නවලින් මිදෙන්න ඔය කියන කාර්යයට යොමු වන අපේ රටේ කාන්තාවන්ගෙ ජීවිත පිටුපසත් ඔය වගේ සංවේදී කතාවක් ඇති නිසැකවම....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දමයන්ත! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!!

      Delete
  5. කතා දෙකේම ආකෘති එකම සමානයි. සිද්ධියත් සමානයි. ඔබ ඒ කතාවට බටහිර නැඹුරුවක් ලබා දී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. :O , ප.ලි. ය බැලුවේ නැද්ද?

      Delete
    2. //කතා දෙකේම ආකෘති එකම සමානයි. සිද්ධියත් සමානයි. //

      ප.ලි. ය කියවලා නෑ, එක්කො ප.ලි.ය වැටහිලා නෑ.

      මෙහෙමයි වුනේ බොස්;
      දිනේෂ් ඊයෙ කතාවක් ලියනවා.
      ඒකෙන් ඉම්ප්‍රෙස් වෙන මම ඊයෙ ඒ කතාව ගැන දිනේෂ් එක්ක කතාකරනවා.
      ඌ අහනවා මේ එකම ප්ලොට් එක ලියන්න විදි කීපයක්ම තියෙනව නේද කියලා.
      ඉතින් මම අහනවා මම මේ කතාව, ජේම්ස්ගෙ අම්මගෙ දෘෂ්ඨිකෝණයෙන් ලිව්වට කමක් නැද්ද කියලා.
      දිනේෂ් කැමති වෙනව ඒකට.
      ඉතින් මම කතාව ලියනවා. ඒ කතාව අද මේ විදියට පල කරනවා ඔය මම දැන් කිව්ව විස්තරේ කෙටියෙන් දැක්වෙන පසු ලිවීමකුත් එක්ක.

      :D

      Delete
    3. මම හිතන්නෙ බටහිර පරිසර රාමුවකට අදාලව ලියන කතාවක අනිවාර්යයෙන්ම බටහිර නැඹුරුවක් තිබිය යුතුයි කියලා. "එංගලන්තේ පොඩි ගමක, පුංචිරාල අමුඩයක් ඇඳන් කුඹුරු කෙටුවා. ලාර්ක් කුරුල්ලෙක් පුංචිරාලගෙ තනියට ඉඹුල් ගහක ඉඳන් සින්දුවක් කියනවා." කියල ලිව්වොත් අවුල් නෙ. :) :)

      කොහොමත්, දිනේෂ් අයියගෙ කතාව, මගෙ කතාවට වඩා ගව් ගානක් ඉහලින් තියෙන්නෙ.

      Delete
    4. පලිය දුටුවා. එහි දිගුවක් කියූ නිසා මා හිතුවේ ඔහු නවත්තපු තැනින් ඉදිරියට අරන් යාවි කියලයි.

      Delete
    5. මම කියවා ඇති සමහර නිර්මාණවල "නිර්මාණයේ දිගුවක්" ලෙසින්, ඒ නිර්මාණයම, වෙනත් චරිතයක ඇසින් ප්‍රතිනිමාණය වෙලා තියෙනව. මට මතක හැටියට ඉන්දික ගුණවර්ධනගෙ හිතේ කෙටූ ටැටූ පොතෙත් එහෙම නිර්මාණය ද්විත්වයක් තියෙනව. මුල් නිර්මාණය පිරිමි ඇසකින් ඉන්දික ලියූවක්. එහි දිගුවක් ලෙස ඔහුගේ රසිකාවියක්, (කවුද කියල හරියටම මතක නෑ) ඒ අවස්ථා සමූහයම සහ අර පිරිමි ඇහෙන් නොදැකපු දේ ගැහැණු ඇසකින් බලලා ලියපු එකක්.

      තව "අප පමණයි අප දුටුවේ" (කතෲගෙ නම හරියටම මතක නෑ) පොතේ කතාවේ පරිච්ඡේද පහ ඉදිරියට දිවෙන්නේ එකම සිදුවීම ප්‍රධාන චරිත පහ විසින් දකින වෙනස් වෙනස් ආකාරවලට.

      ඇරැව්වල නන්දිමිත්‍ර සූරීන්ගේ කෙටිකතාවකුත් තියෙනවා ඒ විදියට ලියැවුනු. එතනදිත්, එකම ආකෘතියේ සිට, එකම ප්ලොට් එකක්, ඒ ප්ලොට් එකේ ප්‍රධාන චරිත දෙකක දෘෂ්ඨි කෝණවලින් බලලා ලියල තියෙන්නෙ.

      මට මේ පොත්වල නම්, කතුවරුන්ගෙ නම් කටපාඩම් නෑ. පුස්තකාලෙ තියෙන්නෙ ගෙදරනෙ. ඉතින්, ගෙදර ගියාම අනිත් විස්තරත් හරියටම බලලා මෙතනට එකතු කරන්නම්.

      Delete
  6. අන්තිම ටික කියවලා ඉවර වෙනකොට ඇත්තමයි බස්සි අක්කේ....මම ගැස්සුනා.....සුපිරි කතාව...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අමා!
      වර්ණ බ්ලොග් එකටත් ගිහින් බලන්න. ලස්සන කෙටිකතා ගොඩක් තියෙනවා.

      Delete
  7. යකෝ දිනේෂ් මාර දියුණු වෙලා නේ.....

    අම්මලා කියන්නේ මහා පුදුම ජාතියක්... ඒත් ඉතින් අපේ අති සෙරේස්ට පුත්තු මෑතක සමච්චලයට ලක් කලෙත් අම්මා කෙනෙක්... අර දරුවෙකුට ෆෝන් එක දියන් කිව්ව අම්මා....

    උඹේ ලිවිල්ල ගැන සහතික දෙන්න ඔනා නෑ නේ... දැන් තියෙන්නේ කචල් එවා ලිව්වොත් අර මුල් කාලේ වගේ කොක්කක් දාගන්න එක විතරයි...

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ලියන කෙටිකතා මාරයි. බිසී උනාට කොහොමහරි වෙලාවක් හොයන් කියවන්න.

      ආයෙත් අහලා! වලි නං වලි.
      අවුලක් තිබුනොත් ඕනෙම වෙලාවක පෙන්වලා දෙන්න. ඒකට මම බොහොම කැමතියි. හැබැයි ඉතින් මං එව්වට එකඟ වෙන්ඩත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. හිහී!

      අන්න ඒ සමච්චලයට ලක් වුන අම්මා ගැන ලියන්නත් හදලා. ඒ ලියැවිල්ල හරහා ගිහින් අපේ උන් ඒ අම්මට තව ටිකක් හිනාවෙයිද කියල හිතිල නිකා හිටියා. අම්මෙක්ගෙ වේදනාව රිමික්ස් කරපු මාර රටක් ඕයි මේක.

      Delete
  8. මේ වගේම තිබුණ වර්ණ කියන බ්ලොග් එකේ
    පුතාගේ පැත්තෙන් ලියපු එකක් නේ තිබුණේ...
    ඒකෙයි මේකෙයි දෙකේම මගක් කියවන කොටම සිද්ධිය ගැන නිකමට වගේ හිතෙන්න ගත්තා...
    ලිවීම සුපිරියි හැමදාම වගේ...

    //බිම වැටුනා//
    කියලා තිබුණු එක
    බිම වැටුණා
    වෙන්න ඕනේ ද? නැද්ද?
    (ඇත්තටම දන්නේ නෑ මමත්..)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔයාට. ඔයා මාරම සැලකිල්ලෙන් කියවලා තියෙනව කතාව.

      එතන //බිම වැටුනා// වෙන්න ඕනෙ. මම අනිවාර්යයෙන් හදන්නම් එතන.

      Delete
    2. //මේ වගේම තිබුණ වර්ණ කියන බ්ලොග් එකේ
      පුතාගේ පැත්තෙන් ලියපු එකක් නේ තිබුණේ...
      ඒකෙයි මේකෙයි දෙකේම මගක් කියවන කොටම සිද්ධිය ගැන නිකමට වගේ හිතෙන්න ගත්තා...//

      ප.ලි. ය කියවලා නෑ, එක්කො ප.ලි.ය වැටහිලා නෑ.

      මෙහෙමයි වුනේ යාලු;

      දිනේෂ් ඊයෙ කතාවක් ලියනවා.
      ඒකෙන් ඉම්ප්‍රෙස් වෙන මම ඊයෙ ඒ කතාව ගැන දිනේෂ් එක්ක කතාකරනවා.
      ඌ අහනවා මේ එකම ප්ලොට් එක ලියන්න විදි කීපයක්ම තියෙනව නේද කියලා.
      ඉතින් මම අහනවා මම මේ කතාව, ජේම්ස්ගෙ අම්මගෙ දෘෂ්ඨිකෝණයෙන් ලිව්වට කමක් නැද්ද කියලා.
      දිනේෂ් කැමති වෙනව ඒකට.
      ඉතින් මම කතාව ලියනවා. ඒ කතාව අද මේ විදියට පල කරනවා ඔය මම දැන් කිව්ව විස්තරේ කෙටියෙන් දැක්වෙන පසු ලිවීමකුත් එක්ක.

      :D :D

      Delete
  9. බස්සි,
    මම මේක කිවුවට ඔයා තරහා වෙන එකක් නෑ.
    ඔයාගෙ කතාවත් හොඳයි. දිනේෂ්ගෙ කතාව හොදාාාායි
    මේ ප්ලොට් එක අර තරම් රසවත් නෑ වගෙ නේද? මං හිතන්නෙ මේ ප්ලොට් එක නෙවෙයි. ඔයාගෙ හැඟීම් ඒ විදිහට ලියවිලා නැද්ද මන්දා.

    තරහා වෙන්න එපා. මට හිතුන දේ කිව්වෙ. සමහර විට මම වැරදි වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ. දිනේෂ්ගෙ කතාව මගෙ කතාවට වඩා රසවත් වීම අවිවාදිතයි කසුන්. දිනේෂ් බ්ලොග්කරණයට ඇවිත් අවුරුදු පහක්. එයා කෙටිකතාකරණයේදි ගොඩක් පරිණතයි. මං ඇවිල්ලා මේ කෙටිකතා ඕන්නම් දහයක් විතර ලියපු ඇටිකිච්චෙක්. අනික දිනේෂ් කියන්නෙ මට කෙටිකතා ලිවීමෙදි හුඟාක් ගුරුහරුකම් දෙන කෙනෙක්.

      //ඔයාගෙ හැඟීම් ඒ විදිහට ලියවිලා නැද්ද මන්දා.//

      ඒ ගැන දිනේෂ් අයියගෙ අදහස බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදියටම වැටෙනකම් තමයි මම මේ බලාගෙන ඉන්නෙ.

      ඔයා කියපු කතාවට හේතු කිහිපයක් තියෙන්න පුළුවනි.

      1. දින්නා වගේ ප්‍රවීණයෙක්ගෙ කතාවක් එක්ක මේ කතාව අනිවාර්යයෙන්ම සැසඳෙනවා. එතකොට කොහොමත් කතාවෙ අඩුපාඩු හොඳට හයිලයිට් වෙනවා.

      2. කතාව ලියැවෙන්නෙ ගැහැණියකගේ දෘෂ්ඨිකෝණයෙන්. ඒතැනදි සමහරවිට, පිරිමි පාඨකයන් තුල සහකම්පනයක් ඇතිවීම අඩුයි.

      3. මගේ කම්මැලිකම නිසා මම විහින්ම කතාව ලා චෝරු කරගෙන. (ඔයාගේ අදහස එක්ක බලද්දි වඩාත්ම වෙන්න පුලුවන් දේ ඒක. :) )

      Delete
    2. මටත් හිතෙන්නෙ 3 වෙනි එක වෙලා කියලා. කම්මැලි නොවී ලියහං. අර දමනය වගේ. ඒකෙ පලමු කෑල්ල නම් එලමතමයි. හා, ඒක එක හුස්මට ලියපු එකක් කියලා කිවුව නේද? එහෙනම් ඒකටත් මේ වැඩේම වෙලා.කම්මැලි කමට කලබල වෙලා. කඩදාසි ලිපේ දාලා ඇවිත් ලියන්නෙ නැතුව නිදහසේ කම්මැලි නැතුව ලියන්න. එතකොට අපිට සුපිරි කවි, කතා කියවන්න ලැබේවි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  10. හදිසියේ ආව.කියෙවිවා.ඔන්න මං යනවා.ඇගයීමක් කරන්න වෙලාව ටිකක් මදි අනේ

    ReplyDelete
    Replies
    1. මේ කතාව හරි මදි බවට කමෙන්ට් දෙකක් තුනක් ලැබුනා. (ප.ලි.ය නොකියවපු සමහරු "කතා හොරා" කියකියා මුහුණු පොතේ මැසේජ් එවමින් පලියත් ගත්තා. හිහී!) ඒ නිසා මනෝ, ඔයාට මේ කතාවෙ අඩුපාඩු පේන තැන්, විවේක වෙලාවක් තියේනම්, ඇවිත් පෙන්වා දෙනවනම් මම ගොඩාක් සතුටුයි.

      Delete
    2. ඔයාගේ මුල් කතා ටිකත් බලන ගමන් ඉන්නේ.අඩු පාඩු දැනගන්න හොදම කෙනා තමයි අපේ දිනේෂ්.අපිට දැනෙන අපිත් කියන්නමි.

      Delete
    3. දිනේෂුත් කමෙන්ටුවක් දමා තිබුනා. ඔයත් දැනෙන දේ කියන්න.

      Delete
  11. දිනේෂ්ගෙ කතාව කියවලා මට හැමදාම මගේ හිතේ තිබ්බ ගැටළුවක් ආපහු මතුවුනා. මම එතන ලිව්වෙ මෙහෙම දෙයක්.
    පෝර්න් ස්ටාර් කෙනෙක් තමන්ගෙ දරුවෙක් තමන්ගෙ නිර්මාණයක් දැක්ක දවසට මොනවගේ මානසික තත්වයකට මූණ දේවිද?

    දැන් මේ කියනවා වගේ විශේෂ අවස්ථාවක් අමතක කලොත් එයාලා සමාජයත් එක්ක ගැ‍ටුම් ඇතිකරගන්නේ නැද්ද? උදාහරණයක් හැටියට ‍රැකියා අවස්ථා අහිමි වීම්, වැඩ කරන තැන්වල ඇතිවෙන අයුතු බලපෑම්, සමාජයෙන් එල්ලවෙන බලපෑම්...

    ReplyDelete
    Replies
    1. Lovelace(2013) මේක බලන්නකො ඩූඩ්
      http://www.imdb.com/title/tt1426329/

      Delete
    2. අප්පා.. ඕකනම් පිස්සු හැදෙන ෆිල්ම් එකක්

      Delete
    3. මම හිතන්නෙ මේ වගේ වෙනස් විශේෂ අවස්ථාවකදි හැර එයාලගෙ මාපිය දූදරු සබඳතා අවුලකින් තොරව සිදුවෙනවා කියලයි. මොකද ඒවා 'දූපත්' නෙමෙයිනෙ. ;)

      ඒත් ඩූඩ් කියනව වගේම ඒක තරමක් අමානුෂික, නිසි තත්ව පාලනයන්ට යටත් නොවූ ඉන්ඩස්ට්‍රි එකක් බවත්, ඔවුන්ගේ ශ්‍රමය සූරාකන අවස්ථාත් බහුල බවත් කියැවෙනවා. මේ ගැන දිනේෂ් කාලෙකට කලින් සෑහෙන විස්තරාත්මක ලිපියක් ලිව්වා මතකද?

      Pornography වල ඇතුලාන්තය

      Delete
    4. ලින්ක් එකට ස්තූතියි පැපෝ!

      Delete
  12. ඔන්න දැනුයි බං මේකට කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ආවේ..

    හරියට බැළුවොත් මේ ප්ලොට් එකෙන් අපි දෙන්න ලියපු දෙක ඇරුණම තව කතා දෙකක් ලියන්න පුලුවන්.. ඒ ගැන දැන ගන්න ඕනමනම් මාව අමතපං.. හෙහ් හෙහ්..

    අම්මගේ පැත්තෙන් කතාව උඹ ලියන්නම් කියද්දී කතාව ගැන මගේ හිතේ තිබුන දේවල් වලින් සෑහෙන්න කොටසක් මේකේ තිබුන එක ගැන මම සතුටු වෙනවා..උඹට මේක ලියන්න ඇරලා මම බලාගෙන හිටිය එක පාඩු වෙලා නෑ කියලා හිතෙනවා..

    කම්පෙයාරිං ගැන හිතන්න යන්න එපා.. තේමාව එක උනත් මේක කතාන්දර දෙකක්.. අනික උඹේ ශයිලිය වෙනස්.. මගෙන් උස්සලා තියෙන්නේ කොළුවගේ නම විතරයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ් අයියා!!

      මේකනෙ ඉතින් අවුල, සමහරු හිතන විදිය වෙනස් නෙ. දැන් මෙහෙම දෙයක් පල කලාම දෙපාරක් නොහිතා, පසු ලිවීමත් නොකියවා, හොරා කියන්න උත්සුක වෙනවා. ඒක හරිගියෙ නැති තැන, මම මේක පල කලේ උඹ බලාපොරොත්තු උන ස්ටෑන්ඩර්ඩ් එකට කතාව ලියැවුන බව සැකහැර දැනගත්තායින් පසුව බව නොදැන අමුතු ලයින් දෙනවා. අවුලකුත් නෑ බං, මේක මේ ඩී.එන්.ඒ. ටෙස්ට් එකෙන් නිරවද්‍යතාව ඔප්පු උන සැකකාරයන්ව එල්ලන්න කියලා ප්‍රොටෙස්ට් කරපු ලංකාවනේ!!

      කොහොම හරි, උඹ හිතපු විදියෙන් සීයට හැත්තෑවක්වත් මගෙ අතින් ලියවුනානම් මට ඒක සතුටක්, උඹ ඉන්න තැනයි, මම ඉන්න දණගාන අවධියයි දිහා බැලුවම. අනික, ලෝබ නැතුව මේ ප්ලොට් එක බෙදා ගත්තට උඹට බොහොම ස්තූතියි. සයිබර් අවකාශයෙ එහෙම නිර්ලෝභී මිනිස්සු ඉන්නෙ අතලොස්සයි.

      Delete
  13. දෙකම කියෙව්ව දෙකම තදටම දැණුන.. ඇත්තටම දෙක එකක් කිල හිතෙන තරමටම අපූරුි..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ මහියා! ඇත්තටම මේ විදියට එක කුඩා සිදුවීම ප්‍රධාන චරිත තුනක් හෝ හතරක් විසින් විස්තර කරන විදියට ලියවුනු නවකතා පවා තියෙනවා.

      Delete
  14. කමෙන්ට් ටික කියවද්දී බස්සිට මේක ගැන සැබෑ විචාරයක් ඕනි බව තේරුණා.. එත් සමාවෙන්න. මේ කතා දෙක සංවේදී වැඩියි. ඒ ප්ලොට් එක අස්සේ වචන හරඹ වල හොඳ නරකක් හොයන්න තරම් සන්සුන් වෙන්න අමාරුයි..
    මට හිතෙන්නේ ඒ නිසාම කතාව හොඳින්ම ලියවෙලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කළණේ! උඹේ වචන හැමදාම හයියක්.

      Delete
  15. කථා දෙකම කියෙව්වා. හරිම සංවේදීයි. මෙවන් සොයුරියන් දිහා අළුත් කෝණයකින් බලන්න එක්කෙනෙක් හරි මේ කථා දෙක නිසා පුරුදු වුනොත් තමයි සාර්ථකත්වය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන්!

      Delete
  16. අඩෝ බස්සි.. බොලාගෙ එක කියවල ඉවර වෙලා දිනෙශ් ගෙ එක කියෙවුවෙ. පොඩ්ඩක්... පොඩ්ඩක් කිවුවට සම්පූර්නයෙන්ම තක්බීර් වෙලා ඉන්නෙ. අපි විචාරකයො නෙවෙයි විචාරය කොරන්න. ඒත් හිත පිරෙන්න විඳින්න පුලුවන්.. විඳල සුමාන ගනනං ඒ ගැන හිත හිත ඉන්න පුලුවං හිත් තියෙන මිනිස්සු.

    අම්මගෙ පැත්ත තියෙනව... පුතාගෙ පැත්ත තියෙනව... අඩෝ ඉවානය දැන් තොගෙ වාරෙ . ලියපං තාත්තගෙ පැත්තෙන්. එතකොට තමයි මේක සම්පූරන වෙන්නෙ....තොගෙ ඉට්ටයිල් එකෙන් මේකට තව මානයක් දෙන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. හිහී! බොහොම ස්තූතියි මචං.

      දිනේෂ් කිව්වා මේ ප්ලොට් එකම තව දෙවිදියකට ලියන්න පුලුවන් කියලා.

      Delete
  17. දෙකම කියෙවුවා. ඉවාන්ගේ කතාවත් කලින් කියෙවුවා. මේ විදිහ හොඳයි. ජේම්ස් උනත් ජේමිස් උනත් අනිත් දේවල් වල වෙනසක් නෑනේ. මට හිතෙන්නේ අන්තිම බ්ලොක් එක නැතත් කමක් නෑ කියලා. පීක් එකේ නවත්තලා.

    ReplyDelete
    Replies
    1. සමහර කියන්න ඕන දේ අන්තිම පේලිය වෙන්න ඇති. අතීතයෙන් ගැලවෙන්න අමාරුයි තමයි.

      Delete
    2. ඒ අන්තිම බ්ලොක් එකට කලින් බ්ලොක් එකට කියන්නෙ falling action කියලනෙ. එතනින් නැවැත්වීම කරන්නත් පුලුවන්. දිනේෂ් කරල තියෙන්නෙ ඒක. එතකොට තමා කෙටිකතාවක් අවසානයේ අර කඩාගෙන වැටෙන, තවමත් වැටෙමින් පවතින හැඟීමක් ඉතුරුවෙන්නෙ.

      අන්තිම බ්ලොක් එකෙන් කලේ resolution එකකුත් දුන්නු එක. (මම දන්න තරමින්, වැරදෙන්නටත් පුලුවන්.) ඒකෙන්, අර කඩාවැටීමේ ෂොක් එක ටිකක් අඩු කරනවා. හැබැයි, ඒකත්, කෙටිකතා ලියන තව විදියක්.

      මම අන්තිම බ්ලොක් එක දැම්මේ, අර කඩාවැටීමත් එක්ක අපිට එන "දැන් ඒ ටැටූ එකට මොකද වෙන්නෙ?" කියන ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්න හිතාගෙන.

      Delete
  18. කියන්න දෙයක් නෑ බස්සි.. ඒත් අච්චර කැප කිරීම් කරලා අනුන් ජීවත් කරපු අම්මට අවසාන ශොක් එක දරාගන්න නොහැකිවීම දුකක්.. අනුමත නොකලට ප්‍රායෝගිකව වෙන්න පුළුවන්..ජීවිතේ තිත්ත පැත්තක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies

    1. මම එතැනින් කියන්න උත්සාහ කලේ පැපෝ. ඒ අම්ම ජීවත් වුනේ එයාගෙ 'පුංචි ජේම්ස්' වෙනුවෙන්. ඒත් මොහොතකට කලින් අම්මා දකිනවා එයා තවදුරටත් 'පුංචි' ජේම්ස් නොවන වග.

      //බැස යන හිරුගේ අවසන් කිරණ කිහිපය ඔහුගේ රන්පැහැති හිසකෙස් මත පතිත වෙලා දිස්නෙ දෙනවා. ඔහු තවදුරටත් පුංචි කොලුපැටියෙක් නොවෙන බවත්, තාත්තා වගේම කඩවසම් ගැටවරයෙක් බවට වැඩී ඇති බවත් මට අවබෝධ වුනේ ඒ වෙලාවෙ.//

      -- හිරුගේ අවසන් කිරණ කිහිපය --

      ඊට කලින්,
      //ඔහු මේ අඳුරු හෙවණැලි නොදැකිය යුතුයි. කවදාවත්ම!//

      මම කියන්න හදන දේ පැහැදිලිව ලියාගන්න මට බැරිවෙන්න ඇති. මට කියන්න ඕනෙ වුනේ ඒ අම්ම ඉන්න තත්වය එක්ක, එයාට ඒ 'හෙවණැලි' මකන්න වෙන විකල්පයක් කල්පනා නොවෙන්නට ඇති බව.

      Delete
  19. Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්ම්....

      Delete
  20. අඩෝ..මොකක් ද බන් ඒ වුනේ...
    ------------

    බස්සියෝ ....නිර්මාණය අති විශිෂ්ඨ යි...
    අර සීඩී එකේ තිබ්බ ගෑනු රූපේ ටැටූ එක විස්තර කරන කොට තමයි කතාවේ අගමුල සේරම ත්රුම් යන්න පටන් ගත්තේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විභියෝ!

      Delete
  21. උඹ දිනේෂ් පුතාගේ පැත්තෙන් දැක්ක දේ "අම්මා"ගේ පැත්තෙන් දැක්ක හැටිත් නියමයි.මම හිතන්නේ පුතාට වඩා විඳවීමක් අම්මාට ජිවිතේ සම්බන්ධයෙන් තිබිලා තියෙනවා කියලායි.

    ReplyDelete
  22. දිනේෂ්ගේ කතාව කියවලා තියෙද්දිත් උඹේ කතාව මගේ ඇස්වලට කඳුළු ඉනෙව්වා...
    මීට එහා විචාරයක් ඕනේ නැහැ බං...

    ReplyDelete
  23. මට මේකේ හිතාගන්න බැරි වුනේ යාලුවගේ ගෙදරදි බලපු DVD එක පුතා ගෙදර අරගෙන ආවේ ඇයි කියන එක.....
    :(

    ReplyDelete