මට හිරු එළිය නාන්නෙ නැතුව ඉන්න බැරි වුනා. කොයිතරම් අන්තරාදායකයි කියලා කසුකුසු කනට වැටිලා තිබුනත්, මට හිතුනෙම ඉර කියන්නෙ හොඳ ආදරණීය, උණුහුම් ගෝලයක් කියලයි. එහෙම හිතෙන්න වැඩියෙන්ම හේතු වුනේ මේ ජරා, ලිස්සන සුළු පාසි. ඒවා හැම විනාඩි බාගයකට වරක්ම මගේ ඇඟේ ඇතිල්ලි ඇතිල්ලී ආල ලීලා පාන්න ගත්තු නිසා මම උන්නේ මහ නොසන්සුන්කමකින්.
ඉතින් මම තීරණය කලා හිරු රැස් නාන්න. එහෙමත් නැත්නම් අව්ව තපින්න. රබර් තාරාවෙක්, ප්ලාස්ටික් වලලු කිහිපයක්, කළු ඉටිරෙදි කැබැල්ලක් එක්ක මුහුදට පාවෙලා ආපු අව්ව තපින පුංචි ගැහැණු ළමයෙක්ගේ පින්තූරයක් සහිත සඟරා පිටුව (ඒක සෑහෙන දුරට දියබත්ව තිබුණත්) මට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා.
ඔන්න ඉතින් මම මුහුදු දිය තලයේ, ඉහළම පෘෂ්ඨයේ පාවෙමින් ඉන්නවා.
හිරු කිණිත්තක් අහසේ ඉඳන් මට අත වනනවා පේනවා. හිරු කිණිති තියුණුයි, ප්‍රබෝධමත්. ඒ දිහා බලාගෙන ඉන්නකොට මාව නුපුරුදු උණුහුමකින් වෙලෙන්න ගන්නවා. හිරු කිණිත්ත අහසේ ඉඳන් පහළට අතක් දිගු කරණවා. මම දෙවරක් නොහිතාම උඩ පැනලා ඒ උණුහුමැති, සිහින් ඇඟිල්ලක එල්ලෙනවා.
පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ! මාව කුඩා බිඳිති දහස් ගාණකට විච්ඡේදනය වෙලා වගේ. ඇත්තටම ඒක මහ අපූරු හැඟීමක්. මම ටිකෙන් ටික, හිරු කිණිත්ත දිගේ ඉහළට පාවෙන්න පටන් ගන්නවා.
"එයා අතුරුදහන් වෙලා." පහළ දිය තලයෙන් මුණුමුණුවක් ඇහෙනවා.
"අනේ අපේ පුංචි දිය බිංදුව. ගිනියම්, දුෂ්ඨ ඉර එයාව පැහැරගෙන ගිහින්!" ගලගල සද්දෙට මුහුදු රැලි පෙරලි පෙරලි විස්සෝප වෙනවා.
හීන් දුකකුත් දැනෙනවා. ඒත් මම අඩියෙන් අඩිය, හෙමි හෙමින් ඉහළටම නගිනවා.
එකපාරම තරුණ සුළං රැල්ලක් එයාගේ ශක්තිමත් අත්දෙකෙන් මාව බොහොම දුරක් ඉහළට ඉහළට කැන්දාගෙන යනවා. වක් හොටැති උකුසු පැටියෙක්, පියාසැරිය අතරෙදි මා දිහා බලලා ඇහැක් ඉඟිමරනවා.
"හමුවීම සතුටක් පුංචි වාෂ්ප පැංචෝ!"
එයා හිස දකුණට නමලා ආචාර කරලා රවුමට රවුමට ඉගිල්ලෙනවා.
රත්වෙච්ච පොළවේ ඉඳන් උඩු දඟර වායු ධාරා සර්කස්කාරයො වගේ වේගෙන් ඉහළ නගිනවා. හුළං ඉලන්දාරියා එයාගෙ පරෙස්සම් සහගත දිගු ඇඟිලිතුඩු කරකවලා මාව ජවසම්පන්න වායුධාරාවක උරහිස මතින් තැන්පත් කරනවා. ඒක වේගවත් ගමනක්. ඔන්න සැනකෙලියක වේගයෙන් කරකැවෙන සතුටු බමනයකදී (Merry-go-round) වගේ ආශ්වාදජනක හිස කරකැවිල්ලක් එක්ක මම ඉහලට, ඉහලට, තව තවත් ඉහළට යනවා.
වළාකුළු කැටිති, ඇඟේ ගෑවී නොගෑවී යනකොට පුළුන් ගොඩකට, වැටුනා වගේ සනීපයක් දැනෙන්නේ. ඒත් සීතලට මාව දරුණු විදියට වෙව්ලන්න ගන්නවා. කරුණාවන්ත පෙනුමැති ලොකු වළාකුළක් මට ඝනකම් කබායක් අන්දවනවා. ඒ කබාය ඇතුලට කිඳිලා, මිදිලා, මම කුඩා අයිස් කැටයක් බවට පත්වෙනවා. දැන් මම පුංචි අයිස් කැටියක්.
කුඩා අයිස් කැට පෙල ගැසේන්!
සීරුවේන් සිටින්!
එකට එකතු වේන්!
අපි හැමෝම ලහිලහියේ ඉහළින් ලැබෙන විධානයන්ට අනුව එකට එකතුවෙනවා. අපි, කුඩා අයිස් බිංදු දහස් ගාණක් එක්ක එකතුවෙලා ලොකු 'කෙඳි වලාකුළක්' හදනවා. මම ඉන්නේ කෙඳි වලාකුළේ වම් ඇහිපිල්ලමේ කෙලවරට වෙන්න.
අහස අළුපාට වැහි කබාය ඇඟලා ගන්නවා. ඈතින් අකුණු පුපුරනවා. විදුළි රේඛා අහස පුරා ඒ මේ අත දුවනවා. කෙඳි වළාකුළ හොඳටෝම බයවෙලා ගැස්සි ගැස්සී අඬන්න ගන්නවා.
ඇහිපිල්ලමක් උඩ හිටපු මං, වැහි බිංදුවක් වෙලා පහළට වැටෙනවා.
පහළ ලස්සන කොළ පාටින් වැහුනු උද්‍යානයක් මට ඈතට පේනවා. පොළෝ අම්මගෙ ආදරේ, අපිව එන්න එන්නම තව තවත් වේගෙන් පහළට අදින හැටි දැන් මට දැනෙන්න ගන්නවා. පොළෝ අම්මගෙ ආදරේට කියන්නේ ගුරුත්වාකර්ෂණේ කියලා. ඒකෙන් තමයි ඔයාවත්, ඔයාගේ අම්මවත්, තාත්තලාවත්, ගහකොළ, මල් පඳුරු, ලස්සන හොඳ පුංචි සත්තු සේරමත් අහසට පාවෙන්න නොදී, පොළෝ අම්මගෙ හදවතට බැඳලා තියාගන්නෙ,
"ස්ප්ලොෂ්! ස්ප්ලොෂ්!"
පෙලක් වැහි බිංදු තද දුඹුරුපාට මඩ කඩිතිවල හැපෙනවා. ඒවා පස් අතර තියෙන සිහින් උමං පාරවල් ඇතුලෙන් පොළව ඇතුලට ගලාගෙන යනවා. ඒක මහ දිග ගමනක්. අවුරුදු ගණනාවක් තිස්සේ එයාල පස් තට්ටුව යටින් වැටුනු උමං දිගේ සැරිසරනවා, දිය උල්පතකින් එයාලව ඉහලට ඇදගන්නකම්.
"ත්ලහ්! ත්ලහ්!"
පෙලක් වැහි බිංදු උද්‍යානයේ විවිධ හැඩේ තුරුපත්, ලස්සනම ලස්සන මල් පෙති උඩට වැටෙනවා. එතනින් පහළට, ඒ කියන්නේ මඩ කඩිත්තක් උඩට "ස්ප්ලොෂ්!" සද්දෙන් ඇද වැටීමේ අවදානමකුත් තියෙනවා. හැබැයි, බිම නොවැටී තුරු පත් උඩ නැවතෙන වැහි බිංදු, වැස්ස අහවර වෙලා පායන උණුහුම් හිරු කෙඳිතිවලින් ඉක්මනින්ම අහසට ඇදලා ගන්නවා.
"ස්ලිහ්!"
මම කතාව නවත්වන්නත් කලින් ගහක අත්තක ඉන්න තුන් ඉරි අප්පු කෙනෙකුගේ ජේත්තුකාර ලොම් කබාය උඩට වැටෙනවා. එතැන බොහොම සනීපදායකයි. තුනී දුඹුරු ලෝමවලින් වැසුනු තුන් ඉරි අප්පුගේ පිට සෙල්ලම් ස්ලයිඩයක් (Slide) වගේ. අපි වැහි පැටව් රංචුවම ඒ දිගේ පහලට රූටාගෙන එනවා.
තුන් ඉරි අප්පුට සීතලක් දැනෙනවා. එයා කලබලෙන් එයාගෙ පිම්බුණු වල්ගය ඒ මේ අත ගස්සනවා. මාව උඩින් වීසි වෙලා ගිහින් උද්‍යානය මැද්දෙ තියන මානෙල් පොකුණ මැද්දෑවට වැටෙනවා.
"ස්ප්ලොෂ්!"
මානෙල් පොකුණේ වතුර බිංදු රවුමට රවුමට දිය රැලිති නංවනවා. මම අලුත් යාලුවෝ රොත්තකට මැදිවෙලා පොකුණ පුරා පීනනවා. හැමතැනම මානෙල් මල් සුවඳ. ගැටවර රන්මාළු උන්ගේ වරල් සාය පද්දමින් එහෙ මෙහෙ යනකොට දැනෙන්නේ කිතියක්.
වැස්ස අහවරයි. හිරු කිරණ පොකුණ ඇතුලට වැටෙනවා. මට ආයෙමත් හිරු රැස් නාන්න හිතෙනවා. ඉතින් මම රන්මාළුවෙක් වගේ පොකුණු දිය තලයේ, ඉහළම පෘෂ්ඨයේ පාවෙමින් ඉන්නවා.
හිරු කිණිත්තක් අහසේ ඉඳන් මට අත වනනවා. ආයෙමත් හිරු කිණිතිවල වෙලෙන්න ආසාවෙන්, මම. උඩ පැනලා උණුහුමැති හිරු කිණිත්තක එල්ලෙනවා.
ප.ලි.
අපේ බ්ලොග් රචක පැපෝ (ගස්ලබ්බ බ්ලොග් අඩවිය) ඉල්ලීමක් කලා අවුරුදු හතර - හය අතරේ දරුවන්ට සුදුසු විදියේ කතාවක් ලියන්න කියල.
අදකාලෙ බහුතරයක් දෙමව්පියන්ට, තමන්ගේ දරුවන් වෙනුවෙන් අරන් දෙන්න වෙන්නේ, පොල්ගෙඩි අකුරෙන් යුතු, වචන විස්සක විසිපහක, විසාල පින්තූර තියෙන, කතාවක් ඇත්තෙත් නැති - නැත්තෙත් නැති, අමුතු ජාතියේ පොත්.
මේ වත්මන් "ළමා කථා සාහිත්‍යය" මට ගෙනෙන්නේ කළකිරීමක්.
මේ ලියපු කතාව, වැස්ස වහින්නෙ කොහොමද? මේ වතුර බිංදු මල් උඩට ආවෙ ඇයි? අර වතුර පාර යන්නෙ කොහෙද? ඒ ඇයි? ඇයි? ඇයි? කියකියා ප්‍රශ්ණ අහන පුංචිත්තන්ට කියාදෙන්න සුදුසු කතාවක් විදියටයි මම දකින්නෙ.
බර වචනවලට බය වෙන්න එපා. අපේ තාත්තා-අම්මා, පුංචි මාව බර වචනවලට බය කලේ නෑ. දැනෙන තරමින් ඒකෙන් මට යහපතක් මිස අවැඩක් වුනේ නෑ.
එක් බස්සියෙක් තුල නිර්මාණකාරියො කීදෙනෙක් ඉන්නවද?
ReplyDeleteබොහොම ස්තූතියි ඉයන්!
Deleteඅපුරුයි අගනා ළමා කතාවක්. ළමා මනසට හිතන්න දේ ඉතිරි කළ කතාවක්. දැන් නං උස බස්සි කියල හරියන්නේ නෑ සුදුම සුදු උස බස්සි කියල ආදරෙන්ම කියන්න හිතනෙවා. මේ කමෙන්ටුව බස්සට එහෙම පෙන්නන්න එපා. ඌ මා එක්ක තරහා වෙයි.
ReplyDeleteබොහොම ස්තූතියි නලින් අයියේ!
Deleteබස්සටත්, මුළු බසු පවුලටමත් මගෙ බ්ලොග් ලිවීම ඇලජික් නිසා කිසිදේකට බයවෙන්න එපා. :)
http://www.amazon.com/Science-Through-Childrens-Literature-Integrated/dp/1563086514
ReplyDeleteතැන්කූ ප්‍රා!
Deleteපොඩිත්තන්ගේ ලෝකෙට ගිහින්ම ලියපු කතාවක් වගේ.. අපූරුයි..
ReplyDeleteබොහොම ස්තූතියි තුශානි!
Deleteසට පට පට සට පට පට
ReplyDeleteචිරි චිරි චිර චිචිරි චිචිරි
බින්දු බින්දු පොද වැස්සක්
පොකුරු පොකුරු මල් වැස්සක්
බින්දු බින්දු පොද වැස්සක්
පොකුරු පොකුරු මල් වැස්සක්
නීල වලාකුළු දියකර
හිරු සඟවා ගත් අහසින්
පොකුරු පොකුරු කඩා හැලී
බින්දු බින්දු බිමට වැටී…
ගේ මුල්ලේ පූසි පැටව් නිදා වැටේ සීතලේ
මල් වරුසා ඇද හැලිලා
මිදුල පුරා ගඟ හැදිලා…
පත්තර පිටුවක් නමලා
කරදහි ඔරුවක් හදලා…
වැහි වතුරේ පා කරලා
පුංචි ළමුන් හිනැහෙනවා
ගායනය: රෝහිණී ජයසිංහ හා පුෂ්පමාලා සුභසිංහ
බොහොම ස්තූතියි සින්දු ඇනෝ!
Deleteපොඩි සැට් එකට කියාදෙන්න ඕනි. විද්‍යාවට බර වචන ටික පුරුදු පරිදි නිකම්ම කාන්දු වෙලා. හොඳ වෙලාවට ඒ පැත්තෙං ගියේ මාත්. එළ බස්සි!
ReplyDeleteඒ බර වචන දෙක තුනක් තිබුනට අවුලක් නෑ මධුවෝ. පොඩි කාලෙ අපේ මොළේ වියලි ස්පොන්ජ් එකක් වගේ. ඔය වචන, තේරුම් හැමදේම ටක් ගාල උරාගන්නවා. ඒ ස්පොන්ජ් එක කිරෙන් පොඟවනවද, කුණු වතුරෙන් පොඟවනවද කියන එක තියෙන්නෙ දෙමව්පියන්ගෙ අතේ.
Deleteඔන්න බස්සියෙ අදනම් මොකුත් ම කියන්නෙ නෑ. ඒ කියන්නෙ මේකනම් නියමෙට ලියවිලා. ජල බින්දුවක් තමාගේ ජීවන චක්‍රය ගැන කියන අපූරු කතාවක් ඔබ අගේට නිර්මාණය කරලා. ජල බින්දු වැටෙන හඬ බොහෝ නිර්මානවල අපි දැකලා තියෙන්නෙ චිරි චිරි යන හඬ. එහෙම නැත්නම් හෝ ගාන වැස්ස, අනෝරා වැස්ස. මොරසූරන වැස්ස වගේ නම්වලින්. නමුත් ඔබ එකම ජල බින්දුව විවිද තැන්වලට වැටෙන ආකාරය ශබ්දානුසාරයෙන් හරිම අපූරුවට නිර්මාණය කරලා. මේ ඔබේ එකී ශබ්ද. "ස්ප්ලොෂ්! ස්ප්ලොෂ්!" "ත්ලහ්! ත්ලහ්!" "ස්ලිහ්!" මම මේ ශබ්ද වතුර වැටෙන වෙලාාවක කිසිම නිර්මානයක දැකලා නෑ.
ReplyDeleteඒ විතරක් නෙවෙයි.මේකේ ඔබ මවන චිත්තරූප ඉතාම ඉහලයි. අවශ්‍යනම් ඔබට මේ කතාව මුහුදෙ තිබෙන ජල බින්දුව ඉර වැටිල, ඒ රස්නෙට උඩට ඇදල අරගෙන ආයෙත් වලාකුලු විදිහට ඇවිත් වලාකුලු බර දරාගන්න බැරිවුනාම ආයෙත් මේ පොලවට දානවා කියල කියන්න තිබුනා. නමුත් ඔබ ඒ කතාව කියන්නේ අර සඟරා පිටු, උකුස්සා, තුන්හිරිඅප්පු වගේ පොඩි ලමයගෙ අවධානය ගන්න පුලුවන් හොඳම මැවීම් එක්ක. ඒ කියන්නෙ මේ කතාව ඔබ පොඩි ළමයගේ මානසිකත්වයෙන් ලියල කියන එක නොවේද?
ප.ලි.
අර සිවිල් නැන්දාගේ කතා වගේ බස්සි නැන්දාගේ කතා කියල කතන්දර පෙලක්ම ලියමු. බස්සිගේ ළමා කතා කියනවට වඩා ඒක නැගල යයි.
බොහොම ස්තුතියි කසුන්!
Deleteකතා ලියන එක රස්සාව උනානම් එහෙම කතා පේලි පේලි ලියලියා ඉන්න තිබුන අනේ. :)
නවයේ දහයේ ඒකිට කියන්නොනේ මේක කියවල හතරේ හයේ එකාට කියල දෙන්න කියලා.. ලබ්බටත් ළමයි නැති උනාට හොඳ අදහස් නම් තියෙනවා..:) සුදික ගේ එළු පටි කතායි මේකයි ගත්තහම ටික දවසක් අප්පච්චි ගොඩ..
ReplyDeleteමේ මේ.. අර වරහන් කේස් එක.. //පුංචි ගැහැණු ළමයෙක්ගේ පින්තූරයක් සහිත සඟරා පිටුව (ඒක සෑහෙන දුරට දියබත්ව තිබුණත්) මට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා// ඔන්න ඕක මට වැඩිය දිරෙව්වෙ නෑ කියවගෙන යන ෆ්ලෝ එකට බාල්දියක් නිසා.. මට හිතුනේ මෙහෙම ලියන්න තිබ්බ කියල එකපාරම .. //පුංචි ගැහැණු ළමයෙක්ගේ පින්තූරයක් සහිත සඟරා පිටුව සෑහෙන දුරට පෙඟිල තිබුණත් මට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා//
මමනම් කියන්නෙ කළණෙගෙ රස්සාවෙ හැටියට ළමයින්ට කියාදෙන්න කතා උල්පතක් තියෙනවා.
Delete1. කහපාට පුංචි සමනල් පැටියෙක්, එයාගෙ තටුවක් කැඩිලා නිසා ගොඩක් ඉහළ ඉගිල්ලෙන්න බෑ. තාත්තා එයාව කහපාට සේෆ්ටි හැට් එක උඩ තියාගෙන (එතකොට එයාව විලෝපිකයින්ට අල්ලන්න බෑ - වේශාන්තරණය පාඩම.) තට්ටු හතලිහක් උඩ බිල්ඩිම මුදුනට එක්කන් ගිහින් මුලු කොළඹම පෙන්නනවා.
2. බබාට මේ හෙයාර් ඔයිල් එක ගන්න යනකොට මුලු ක්‍රෙස්කැට් එකටම තිබුනෙ එකම එක හෙයා ඔයිල් බෝතලයයි. මහාත අංකල් කෙනෙකුයි, තාත්තයි ඒ හෙයා ඔයිල් එක ගන්න පනිනවා. තාත්තා දිනනවා. අංකල් පස්සෙන් පන්නනවා. තාත්තා එස්කැලේටරේට උඩින් පහලට පනිනවා. පොලිස් මාමලත් තාත්තගෙ පස්සෙන් එලවනව (මොකෝ අර අංකල් කියන්නෙ තාත්තා එයාගෙ හෙයා ඔයිල් එක හොරෙන් ගත්ත කියලා) බ්ලා බ්ලා බ්ලා
3. කොච්චර කිව්වත් සේෆ්ටි බෙල්ට් නොදාන සිරිපාල මාමා හැටවෙනි තට්ටුවෙන් බිමට වැටෙනවා. තාත්තා ඉනේ කඹයක් බැඳගෙන සුපර් මෑන් වගේ පැනලා එයාව බේරගන්නවා. (ඒකයි අද අලිය පිටේ යන සෙල්ලම කරන්න බැරි තරමට තාත්තගෙ කොන්ද රිදෙන්නේ)
මට ඒ වරහනේ අවුලක් පේන්නෙ නෑ මචෝ. කොහොමත් පොඩි උන් එක හුස්මට කියවගෙන යනවා අඩුයි. එයාලා වරහන් ඇතුලේ, පිංතූරවල, අම්මලගෙ තාත්තලගෙ මූණුවල, වැඩිදුර විස්තර බලාපොරොත්තු වෙනවා.
Deleteක්වින්ටින් බ්ලේක් ගෙ ඉලස්ට්‍රේෂන්ස් දැකලා තියෙනවද? එයා ඉස්කෝලෙ කැන්ටිමේ කෑම විස්තර කරන්නෙ සරල ප්‍රස්තාරෙකින්, එක කතාවක එන ළමයගෙ පස්ස දම්පාට වෙනවා ඒක එයා පෙන්නන්නෙ තීරු ප්‍රස්තාරෙකින්. :D
පුංචිත්තන්ට බසු කතා කීවට ඔය ලොකු දරැවොත් හරි කැමතියි මෙ වගේ කතාවලට.පුංචි කාලේත් මතක් වෙනව මෙවා කියවගෙන යනකොට
ReplyDeleteබොහොම ස්තූතියි මනෝ
Deleteලස්සනයි බස්සියෝ දිගටම පොඩිත්තන්ට බසු කතා ලියන්න
ReplyDeleteජයවේවා!
බොහොම ස්තූතියි වර්ණ!
Deleteකියන්න ඕන දේ උඹම පලියෙ ලියලා...
ReplyDeleteඅති සාර්ථකයි... මෙහෙම කතන්දර කීපයක් ලියලා පොතක් ගැහුවත් බොහොම පින් අත් වෙන වැඩක්..
අද කියවන පිරිස අඩුවෙලා තියෙන්නේ, කියවන්න රසවත් දේවල් නොමැති කමෙන්.. උඹෙන්, හෙන්‍රි ද ඩියුඩ්ගෙන් මේ ටිකේ අති සාර්ථක පෝස්ට් කීපයක් කියෙව්වේ..
බොහොම ඉස්කෝතුයි...
තැන්කූ වේවා මාතලන් බොස්!
Deleteනිවාඩු පාඩු වෙලාවට පොඩි ළමයින්ට ගැලපෙන කතා කිහිපයකුත් ලියන්න ඕනෙ හෙමිහෙමින්. අර ප.ලි.යෙ ලිව්වෙ මේ පාර පොත් ප්‍රදර්ශනේදිත් මම දැකපු දෙයක්. (වෙනම ලියන්න ඕනෙ විස්තරාත්මකව.) කෙටියෙන් කිව්වොත්, අර ලොකු අකුරු සහ විචිත්‍ර බවින් අඩු රූප සහිත ළමා පොත් ඇස ගැටෙන තැන්වල, ඉදිරිපෙල කුටි වල.
අපි කියවපු තාලේ ලස්සන රූප විස්තරත් එක්ක 'කතාවක් සහිත' රුසියන් පොත්, චීන පොත් ඇස නොගැටෙන කෙලවරක. bargain stalls එක්ක සමෝසමේ. ළමයිනම් ඒ පලාතෙවත් ඉන්නව දැක්කෙ නෑ.
ඔයා කොහොමද අනේ මෙහෙම ලියන්නේ? සුපිරියි ඈ... ඔයා අර වැඩේට අනිවාර්යෙන් යන්න ඕනේ...
ReplyDeleteතැන්කූ...!
Deleteනිර්මාණාත්මක බවින් ඉහළ පෝස්ට් එකක්. මේක මුල ඉඳන් කියවද්දි මට මතක් වුනේ බුදු දහමේ එන සංසාරය කියන සංකල්පය. නියමයි බස්සි !
ReplyDeleteඒකත් චක්‍රයක් නිසා වෙන්න ඕනෙ?
Deleteස්තූතියි යාලු!
ළමා කතාවලින් තමයි අත්තිවාරම් දාන්නේ. ඒ නිසා ඒවට විශේෂ වැදගත්කමක් ලැබිය යුතුයි.
ReplyDeleteඅර අන්තිමට කියලා කියන කතාව ගැන කිව්වොත්, හුඟක් වැඩිහිටියෝ ආසයි පොඩි අය නියම වචනේ වෙනුවට බබා වචන කියනවට. එහෙම නොකලොත් ඒක ලොකු අඩුවක් හැටියට එයාලා දකිනවා. ඒකත් වෙනම හුරතල් තාලෙකට කියන්න ඕනෙ.
ඊටත් වඩා කේස් එක බබාලට සිංහලයි ඉංග්‍රීසියි දෙකම එක වාක්‍යයට දාලා උගන්නන එක. ඔය බාසා දෙකම උගන්නන්න පුලුවන් එකම පාර වාක්‍ය දෙකකින්. ඒක "එන්න baby tooth brush කරන්න." වගේ අච්චාරු, මසාලා වාක්‍ය නිතර අහන්න පුලුවන්. Baby එන්න water බොන්න.
ඩූඩ් කියෙව්වද මගේ මේ අනුවේදනීය සත්‍ය කතාව?
Delete(වැඩිපුර) කියවීම මිනිසා ලැජ්ජාවට පත් කරයි?
ඒකත් ඔය කියන, බබාලා බබා බාසාව කතාකල යුතුයි කියන එකටම සම්බන්ධයි.
මගේ වොයිස් එක කොහොමත් පමණට වඩා හයි පිච් වීම නිසා දැන් උනත් මම ටිකක් සැර වචන පාවිච්චි කරපු ගමන් යාලුවො බක බක ගාල හිනාවෙනවා. තද උනාම කොහොමත් පිච් එක ඉහල යනවනෙ. ඉතින් ඔය කියන දේට හේතුව 'බබා වොයිස් එකට ගැලපෙන්නේ බබා බාසාව වීම'ත් වෙන්න ඇති.
කලවම් භාෂාව උගැන්වීම නම් හොඳ නෑ නේද? ඔය වයසෙදි භාෂා ඉගෙනගැනීමේ හැකියාව ඉහලයි. ඉස්සර අපේ ලෙක්චරර් කෙනෙක්ගේ අවුරුදු හයක දරුවෙක් හිටියා භාෂා හයක් චටපට ගාලා කතා කරන්න පුලුවන්.
අහ්, බස්සියාගේ මම ටාර්ගට් නොකරපු පැත්තක් මේක.. දැන ගත්ත එකත් හොදයි.. ( ඇයි කියලා උඹ දන්නවනේ ඉතින් )
ReplyDeleteලිවිල්ල නියමයි.. ප.ලිය ඊට වඩා නියමයි..
උඹෙන් හොඳක් ඇහුවා කියන්නෙ අර මරුමුස්, දරුණු ටීචර් කෙනෙක්ගෙන් තරුවක් ලැබුන වගේ තමා.
Deleteතැන්කූ දිනේෂ් අයියේ!
එක කතාවක් විතරක් ලියලනං මදි බස්සී. තව කතා දහය පහළොවක්වත් ලියන්න වෙයි. නැත්තං පොඩි බබාලගෙන් (සහ ලොකු බබාලගෙන්) බේරෙනව බොරු.
ReplyDeleteඅර ප. ලි. යෙ කතාවට එකඟයි. පින්තූර කතා හොඳයි. ඒත් පිළිවෙලට පෙළගස්සපු අකුරු වලින් ලස්සන ලස්සන රූප මවාගන්න පොඩි එවුන්ට ඉඩ දෙන්න ඕනි.
බලමු බලමු පරිකල්පන. හෙමින් හෙමින් ලියන්නම්කො තව ඉස්සරහට.
Deleteගොඩක් ස්තූතියි හොඳේ!
සයන්ස් කරලත් මෙහෙම ප්‍රතිභා ශක්තියක් තිබෙනවා කියන්නෙ ටිකක් පුදුමයි වගේ... ඔබේ නිර්මාණශීලිත්වය අපූරුයි... ඉදිරියටම යමු...
ReplyDelete//සයන්ස් කරලත් මෙහෙම ප්‍රතිභා ශක්තියක් තිබෙනවා කියන්නෙ ටිකක් පුදුමයි වගේ..//
Deleteමේ ප්‍රකාශයට මගේ බලවත් මෙව්වා එක, හිටගෙන!
විස්වාස කරන්න මම ඔය කෙමෙස්ට්‍රි වලදී ඔක්කොම ප්‍රතික්‍රියා මතක තියාගන්නේ මේ වගේ කතන්දර වලින්. මගේ ආසම සබ්ජෙක්ට් එකක්. මම එක පාරක් ටියුෂන් දෙන්න ගිහින් ඔය කතන්දර කියල මගේ ශිෂ්‍යයා හොල්මන්ද පොල්කොළ වෙලා කට ඇරගෙන අහන් උන්නා මතකයි. හික්... හැමෝටම අල්ලන්නේ නැහැ. ඒ උනාට මේ බස්සි නම් මගේ සමාන්තර ලෝකේ අනිත් පළුවමයි , අම්මප
දමයන්ත:
Deleteඅයියෝ ඔයා කියන්නෙ නිකම් සයන්ස් කරන්නෙ 'ගල්බමුණො' කියල හිතාගෙනනෙ. :P :)
මේකනෙ වැඩේ, ඒ ලෙවල් සයන්ස් කරන්න ගත්තම සමහරු හිතනවා 'අපි මාර පොරවල්' කියලා. උන් එතකොට කොඳු නාරටියේ ස්වාභාවික වක්‍ර දිහඇරලා. හිස කෙලින් තියාගෙන, පියවර මනිනවා බර පොත් කඳු ගොඩක් උස්සගෙන. එතකොට දකින උනුත් හිතනවා "අඩේ සයන්ස් කාරයො කියන්නෙ මාර බුක්මාක් ගල්බමුණො නෙව" කියලා.
මම කැම්පුස් එකෙන් කලේ සයන්ස් ඩිගිරියක්. උපාධි කඩේකින් ගත්තා කොමස් ඩිගිරියක්. මගේ විනෝදාංශය ලිවීම සහ ඊටත් වඩා පොත් කියවීම නිසා මේ දවස්වල හිටු කියලා ඇසුරු කරන්නේ පොත් ලියන ආර්ට් පොරවල්.
ඉතින්, ඔය කියන විෂය ධාරාවල් තුනේම කස්ටිය ඇසුරු කිරීමෙන් මම තේරුම් ගත්තු දෙයක් තමයි, බහුතරයක් බොහොම සාමාන්‍ය උදවිය හිතන් ඉන්නවා 'අපේ සබ්ජෙක්ටුව තමයි අමාරුම. අපි තමයි ඒ නිසා ඩයල්' කියලා. ඒ නිසාම අනිත් අය දිහා උඩ ඉඳන් බෙල්ල ඇල කරල බලන්නෙ.
දවසක් මගේ බෝඩිමක හිටපු රූමි කිව්වා "අපේ ආර්ට් ඩිග්‍රිය පට්ට අමාරුයි, ඒකයි මම රිපීට්. ඔයාලගෙ වගේ ලේසි සබ්ජෙක්ට් නෙමෙයි අපි කලේ' කියලා." ඉතින්, හැමෝම එහෙමයි. තමන් උසස් කියල කියන්න ආසයි.
ඒත් ඇත්ත නම්, ඔය හැමෝම එකවගේ. බොහෝදුරට හිතන පතන විදිය එක සමානයි. අනික සබ්ජෙක්ට් කියන්නෙ ජීවිතේ ඉස්සරහට යන්න අතට ගන්න තව එක ටූල් එකක් මිසක්, මනුස්සයෙක්ගෙ ඇඟෙන් කෑල්ලක් නෙමෙයි.
හැබැයි, ලංකාවෙ ලමයි හැමෝටම පොදුවේ තව ටිකක් වැඩිපුර 'නිදහසේ අලුතෙන් හිතන්න', 'විද්‍යාත්මකව හිතන්න' පාසැල්වලින් ටිකක් ඉඩ දෙනවනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.
උපයා :
Deleteමම ලිපි සීරීස් එක ලියන්න පටන් ගත්තෙ මම ඒ ලෙවල්වලට කෙමෙස්ට්‍රි සහ බයොලොජි පාඩම් කරපු හැටි ඔලුවෙ තියාගෙන. ඇත්තටම නිදහසේ හිතන්න තියෙන හැකියාව අපේ මොළේ කෑල්ලක්නෙ. විද්‍යාත්මකව හිතන එකයි, තර්කනයයිත් එහෙමයි. ඉතින් මමත් හිතන්නෙ, ඔයා කිව්ව වගේම, ඒකට අපි කලේ සයන්ස් ද, මැතද, කොමස් ද, ආර්ට්ස්ද කියන එක බලපාන්නෙ නෑ. ඒ විෂය ධාරා මේ අපි යන පාරෙ කැලෑ වදුලු එලි කරගෙන ඉස්සරහට යන්න පාවිච්චි කරන ටූල්ස් කිහිපයක් විතරයි.
ඔයා කිව්ව හරි. උඹ අයි.ටී ඩෑලක්, ඉවාන් ඉංජෙක්, බෝධිනී ඩොකෙක්, ඩූඩ් ඉංග්‍රීසි ගුරුවරයෙක්, චෙෆාකි ආකිටෙක් කෙනෙක්, නලින් පුවත්පත් කලාවේදියෙක්, විචාරක විශ්‍රාමික හමුදා නිලධාරියෙක්, රසී රේඩියොලොජිස්ට් කෙනෙක්, කඳූ ලෝයර් කෙනෙක්...... මේ ලැයිස්තුව තව සෑහෙන්න දිගයි.
@ උපේක්ෂාSeptember 22, 2015 at 10:23 AM & බස්සි (Yash)September 22, 2015 at 12:18 PM
Delete//සයන්ස් කරලත් මෙහෙම ප්‍රතිභා ශක්තියක් තිබෙනවා කියන්නෙ ටිකක් පුදුමයි වගේ..// හම්මෝ ගියපු දුරක්... අල පොදු ගැටුමක් වගේ.. ස්තුතියි පැහැදිළි කිරීම්වලට දෙන්නටම....
මිනිස්සු-ගහකොළ-සතාසිව්පාවො මේ හැම දෙයක් ගැනම සංවේදී මිනිස්සු බිහි කිරීම, අපි කුමන විෂයධාරා හැදෑරුවත් අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් අවශ්‍යයෙන්ම විය යුත්තක් විදිහට මම දකිනවා. ඒ ගැන කිසි විවාදයක් නෑ ඕං..
එවැනි අධ්‍යාපන ක්‍රියාවලියක් පිළිබඳ හොඳ විග්‍රහයක් ඇමරිකානු මහාචාර්යවරියක් විසින් ලියන ලදුව, කොළඹ සරසවි ආචාර්ය ලියනගේ අමරකීර්ති මහත්තයා සිංහලට නගපු "කලාව කුමට ද" කියන පොතේ සඳහන් වෙනවා. පුරවැසි අයිතිවාසිකම් සුරැකෙන වඩා යහපත් සමාජයක් වෙනුවෙන් මානව ශාස්ත්‍රීය අධ්‍යාපනය තාක්ෂණික විෂයන් එක්ක බද්ධ කරන අධ්‍යාපන ආකෘතියකට හොඳ ආලෝකයක් මේ පොත අපට ලබා දෙනවා....
මේ පොත ඔබ ඇතැම්විට කියවලත් ඇති. නැතිනම් අරගෙන කියවන්න වටින පොතක්. මෙන්න ඒ ගැන ලින්ක් එකක්. [http://goo.gl/Ys9HAI]
ඔක්කොම හරි.. පොඩි එකෙක් තමයි හොයාගන්න ඕනේ මේක කියන්න. හික්..
ReplyDeleteඔය වැස්ස වෙලාවට මට ඇහෙන සද්ද වලින් වැඩි ප්‍රමාණයක් බස්සිටත් ඇහුන එක ගැන මට මාර පුදුමයි. තව සද්ද කීපයක් තියනවා, අකුරු වලින් ලියන්න බැහැ , නැද්ද බස්සි?
නියමයි බස්සි. මේ වගේ පොහොර ලංකරන්න ඉන්නවා නම් ගස්වල ලස්සන ලොකු මල් පිපෙයි. පටාස්! ( ඒ සැලුට් එක ඈ !)
සිරාවටම. වැස්ස වෙලාවට ඇහෙන සද්ද කෙලකෝටියක් අතරෙන් මේ බොහොම පොඩ්ඩක් ලිව්වෙ. අනික ඒ හැඟීම් ලියන්න ටිකක් අමාරුයි. අනික වැස්සෙ සුවඳ, වාහනවල ලයිට් එළියට වැහි කූරු දිලිසෙන හැඩතල, වැස්සෙ තෙමෙද්දි කටට වැටෙන වැහි බින්දුවල රහ, තෙමුනු පාරවල්වල සුවඳ එකක්, දූවිලි සුවඳ තව එකක්, තණකොල තවත් සුවඳක්...... ලියන්න බැරි දේවල් කොච්චර තියෙනවද බං!
Deleteතැන්කූ ඈ සැලූට් එකට.
ඉක්මනට අර කතාව ලියපන්, වත්සලාගෙ ලමයට උපයා නැන්දා වැහි කතාවක් කියල දෙන කෑල්ලත් දාලා.
බොලාත් එතකොට වැස්සෙ සුවඳ අඳුනනවා.. දිවට වැහි බිංදුවක් වැටෙනකොට කොහොමෙයි? ගස්ලබ්බා තනි වී නොමැත.. හෙහ් හෙහ්..
Deleteහිහී! වෙල්කම් ටු ද ක්ලබ් පැපෝ!
Deleteහාන්ස්ගේ ද ඩ්‍රොප් ඔෆ් වෝටර් කියවල ඇතිනේ..
ReplyDeleteThe Drop of Water
Deleteවතුර බිංදුව ඇතුලේ නගරය නේ?
//මේ ලියපු කතාව, වැස්ස වහින්නෙ කොහොමද? මේ වතුර බිංදු මල් උඩට ආවෙ ඇයි? අර වතුර පාර යන්නෙ කොහෙද? ඒ ඇයි? ඇයි? ඇයි? කියකියා ප්‍රශ්ණ අහන පුංචිත්තන්ට කියාදෙන්න සුදුසු කතාවක් විදියටයි මම දකින්නෙ.//
ReplyDeleteමට හිතෙන විදිහට ඇත්තටම ඔබ සාර්ථකයි...... සුබ පැතුම්........!
බොහොම ස්තූතියි අවංක ආර්යන්!
Deleteහරිම අපූරුයි නෙව... අගේ ඇති නිර්මානයක්.. ඇත්තටම මං හිතුවෙ අර විද්‍යා පාඩං වල කොටහක්ද කියල.. අගෙයි...
ReplyDeleteජයවේවා
තැන්කූ මහියො! නෑ නෑ මේ චුට්ටි ළමා කතාවක්.
Deleteපොඩි එකෙක් නෑ කියලා දෙන්න...ඒ උනාට බස්සියේ මම සෑහෙන්න රස වින්දා කතාව.....
ReplyDeleteබොහොම ස්තූතියි වාසනාවන්ත! :D
Delete"H2o"ය,අරකය,මේකය කියනවාට වඩා මෙහෙම කිව්වාම එක කොයි තරම් ලස්සනද හිටං.එල කතාව පොඩි උන්ට විතරක් නෙමේ අපිටත් රස විඳින්න පුළුවන් යශෝ සුපිරියටම.
ReplyDeleteතැන්කූ තැන්කූ මනෝ!
Deleteමුල ටික කියවද්දි ගිම්හානයට පෙම් බැඳි ආදරණීය ස්නෝ මෑන් 'Olaf' ව මතක් වුනා.
ReplyDeleteඑතනින් පල්ලෙහාට කියවගෙන යද්දි අපේ සිත්තර පැංචාට මං අහන්න දෙන සින්දු දෙකක් මතක් වුනා.
මේක වළාකුළු ගැන: https://www.youtube.com/watch?v=cRFpYU5lbDA
මේක විදුලි කෙටීම හා ගෙරවීම ගැන: https://www.youtube.com/watch?v=mh0dyxoIJJE
ඒ සින්දු පැංචා තරමටම මමත් රස විඳිනවා. :D
අන්තිම ටික කියවගෙන යද්දි බස්සියෝ මට හිතුණේ මට මේ වගේ තව කතා ගොඩක් ඔයාගෙන් අහන්න ඕනේ කියලා. හරිම ලස්සනයි. මේක මම කොපි කරලා අරන් තියාගන්නවා ඔන්න සිත්තර පැංචා තව ටිකක් ලොකු වුනාම කියලා දෙන්න, කමක් නෑනේ? තව මේ වගේ කතන්දර ඕනේ හොඳේ. :)
බොහොම ස්තූතියි සිතූ!
DeleteOlaf කියන්නේ මමත් බොහොම ආදරේ චරිතයක්. මං හිතන්නේ අපිට ඉක්මනින්ම ආයෙත් olaf ව බලන්න ලැබෙයි. Frozen - 2 movie එක හදනවාලු මේ දවස්වල.
වළාකුළු එකනම් කලින් බලල තිබුනා. බොහොම ස්තුතියි ලින්ක් වලට. :)
සෝවියට් කටහ්වක් කියෙව්වා වගේ ටිකක්. එල.
ReplyDeleteඒ මොකෝ ටිකක් එල කියන්නේ ? :P
Deleteස්තූතියි අජිත් අයියේ!
Deleteඉවාන් : ටිකයිලු එල. :P
මෙහෙම සීරිස් එකක් ලියපං අර වැඩබැරි දාසගේ කතා සෙට් එක වගේ ජනප්‍රිය වෙයි මේවත් , ඇත්තටම ... පට්ට ..
ReplyDeleteතැන්කූ මචෝ!!
Deleteමට මාෂා සහ වළහා අලුත් ප්‍රින්ට් එකක් හම්බුනා බුක්ෆෙයා එකෙන්. උඹ දැක්කද බ්ලොක් එකේ අගුපිලකට වෙන්න අපි පොඩිකාලෙ කියෝපු රුසියන් පොත් සහ තව අලුත් පොත් ගොඩාක් තිබුන, ළමයින්ට අරන් දෙන්න මරු!
අහෙම්.. (බස්සිගෙන්ම කොපි කලේ.)
ReplyDeleteපමා උනා නෙව එන්න..
අලේ.... කතාවත් කියලා ලින්ක් එකකුත් එල්ලලා..
කතාව ගැන ආයෙ කියන්න දෙයක් නෑ.ලෙසටම තියෙනවා.. උඩින් ගොඩ දෙනෙක් කරලා තියෙන ඉල්ලීම ගස්ලබ්බත් කොරනවා.. කතා සැට් එකක් ලියමු. මේක ඒ තරම්ම සාර්ථකයි...
ජයවේවා..!!
ඒකනෙ අප්පා. අවුලක් නෑ කොහොමත් ආරාධිත අමුත්තා එන්නෙ අන්තිමටනෙ.
Deleteඔය 'අහෙම්' කියන්නෙ උගුර පාදන සද්දෙ. දන්නවද?
ලියන්නම්කෝ විවේක ලැබෙන විදියට, හොඳේ. දැන් ඉතින් පොඩි එකෙක් හොයාගෙන කියල දෙන්නයි තියෙන්නෙ කතාව. :)