ඇනෙක්සිය අඳුරුයි. පුංචි හතරැස් කවුලුවෙන් පේන්නෙ වැහිබර අහස. යාන්තමට නැහැතුඩ අග දැවටෙන පුස් ගඳ හිතට ගෙනාවෙ අපුලක්.
මං වෙලාව බැලුවා.
හයයි හතළිස් පහයි.
කන් පෙති මත තැවරෙන වැහි පොදවල සිරිසිරියත්, වැස්සත් එක්ක තුරුල් වෙච්ච හීතලත් හොඳහැටි ගුලි ගැහිලා නිදාගන්න කියාපු උත්තේජක. ඒත් කෝ තුරුල් වෙන්න උණුහුමක්. පොරෝණය ඇතුලට කාන්දු වෙන හීතල මාව අවදි කෙරෙවුවා.
උදෑසන දේශන නැතත් මම ලහිලහියේ සූදානම් උනේ විශ්වවිද්‍යාලයට යන්න.
සීතල වතුර දෝතක් මූණට වදිනකොට ඇස් පියන් පවා වෙවුලනවා. හුස්මත් එක්ක තුනී සුදු පාට දුමාරයක් පිටවෙලා ඉහල ඇදෙනව.
පරණ ඩෙනිම, ලා දම් පාට බැගී ටී ෂර්ට් එක, කැරලි කොණ්ඩය එක්කහු කරන රෝස පාට බෑන්ඩ් එක.......
මස්කාරා.....?
එපා.
එයා බලනව ඇස් දිහා.
එහෙනම් චුට්ටක් ගාමු.
අයි ලයිනර්?
යාන්තමට.
දුඹුරු හම් බෑගයට ඔබාගත්ත සටහන්, නිල් සපත්තු ලේස්. අළු පාට ජර්සිය, හිස්වැසුම......
කලු ගල් ඇතිරූ මාවත වැස්සෙන් හේදිලා. පාර දෙපැත්තේ මාරගස් වල කහපාට මල් වැස්සෙන් හේදුන පාර තැන තැන එක්කාසු වෙලා.
මගෙ ඇස් කලබලයි.
බෝඩිමෙන් පිටවෙද්දි ඇදහැලුන කරදරකාර වැස්ස සිහින් හිරිපොදයකට හැරවිලා. කුඩේ අකුලාපු මම වැහි පිණිතිවලින් හිතත් හිසත් ඔහේ තෙමෙන්න ඉඩ දුන්නා.
පුස් ගඳ පහවෙලා ගිහින්, තෙමුන තණබිස්සෙන් හමන්නෙ නැවුම් පුසුඹක්.
යකෙක් කන්න බඩගිනියි.
අකීකරු ඇස් දෙකට තරවටුවක් කරලා මම ආපන ශාලාවට රිංගුවා. දුම් දාන බිත්තර රොටී දෙකයි, කෝපි කෝප්පයයි අරගෙන වාඩි උනේ පිට්ටනියට මුහුණලා තියෙන විශාල කවුලුව පාමුලින්.
කෝපි සූවඳින් පෙණහලු උණුසුම් වෙලා ප්‍රබෝධමත් වේගෙන එනකොට මගේ ඇස් දෙක නිරායාසයෙන්ම අකීකරු කම් නවත්තලා පිට්ටනියේ ඈත කෙලවරකට කේන්ද්‍රගත උනා.
තනියෙන්ම අහස අල්ලන්න ගිය උස විලෝ ගහ යට උද්‍යාන බංකුවේ ඔහු වාඩිවෙලා උන්නා.
අර බොකුටු කොණ්ඩය. මුහුණ පුරා අපිළිවෙලට වැවුනු රැවුල.
උරහිස් දෙකෙන් ලිහිල්ව එල්ලා වැටෙන අලු පාට ජර්සිය. දණහිස උඩ රඳවා ගත් හිස්වැසුම. පොත් පත් කිසිවක් නැතත් පිටේ එල්ලෙන ගිටාරය.
මගේ උගුරු ඇටය තුලින් ඉපැදුනු නුහුරු විදුලි ඉරි දෙකක් දෙකොපුල් හරහා ඇදී ගිහින් කන්පෙති මතදී අතුරුදහන් උනා.
වෙනදා වගේම මලානික එලියක් විහිදුවන දුම්වැටිය අදත් ඔහුගෙ අතේ තිවුනා.
ඉක්මන් කෝපි උගුරු දෙක තුන උගුරෙන් පහලට ඇදෙනකොට දුම් දන අන්නසෝත්‍රය ඇස් අග්ගිස්සෙන් කඳුලු බිංදුවක් වෙලා එලියට කාන්දු වෙනවා.
සටහන් පිරුනු බෑගය ඇදගෙන මම ලහි ලහියේ ආපන ශාලාවෙන් පිට උනා.
හිත හදිස්සියි. ඕනෑවට එපාවට යන ගමන් තාලයට දෙපා සංවර කරගත්තෙ බොහොම අමාරුවෙන්.
පිට්ටනිය කෙළවරේ චලනාභ්‍යාස වල යෙදෙන ක්‍රීඩිකාවන් පිරිසක්.
ලස්සන කෙල්ලො.
හීනි, සුදු, උස, හැඩ කෙල්ලො.
මගෙ හිතට කාන්දු වෙන්නෙ ඉරිසියාවක්.
නෑ. එයා බලන්නෙවත් නෑ…..
ඉරිසියාව දියකරගෙන සතුටු උණුහුමක් හදවතේ පිරෙන්නට වුනා.
එයා උන්නෙ ඈත බලාගෙන. අරමුණක් නැති හිස් බැල්මෙන්.
“මම මෙතනින් ඉඳගත්තට කමක් නැද්ද?”
“ම්හ් හුම්” ඔහු ගිටාරයේ තත් අරමුණක් නැතිව පෙලන්නට වුනා.
බංකුවේ එහා කෙළවරෙන් ඉඳගත්තු මම කකුල් දෙක පටලවා ගත්ත. විලෝ කඳට පිට දීලා ඇස් පියා ගත්ත.
ඔව්, මං භාවනාවක. ඒ පිළිවෙලක් නැති නාද රටා සමග ඒකාත්මික වෙන්න උත්සාහයක.
“ලෙක්චර්ස් නැද්ද?”
“ම්හ් හුම්”
“කැම්පස් ආවෙ?”
“පාළුයි….. ඔයාට ලෙක්චර්ස් නැද්ද?”
“තියෙනව.”
“එහෙනම් මෙතන?”
මට උත්තර දෙනවා වෙනුවට ඔහු වැරෙන් ගිටාරයේ තත් හඬවන්නට වුනා.
Welcome to the Hotel California
Such a lovely place
Such a lovely face
Plenty of room at the Hotel California
Any time of year
You can find it here…..
“පට්ටයි!” මට කියැවුනා.
“මොකද්ද?”
“හැමදේම.”
~ මතු සබැඳි ~
ප.ලි.
ඔන්න දිගටම කවි ලියන්න එපෝ කියපු අයත්, බස්සිගේ ආදර අන්දරය වගේ එකක් ආයෙත් ඕනේ කියපු අයත් වෙනුවෙන් පොඩි කතාවක් ලිවුවා. අනිත් පෝස්ට් ලියන අතරතුරේ මේකත් කොටස් වශයෙන් පළ කරන්නම් හොඳේ.